Saturday, October 9, 2021

‘ලංකාව තමන්ගේ නිජභූමිය බව කියන්නට අයිතිය තිබෙන්නේ වැදි ජනතාවට පමණයි‘. - ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල

මගේ පුවත්පත්කලා ජීවිතයේ ලද මහඟු අවස්ථාවක් වූයේ විවිධ විද්වතුන් සමග විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධව සම්මුඛ සාකච්ඡා පවත්වන්නට ලැබීමය. ‘මුරගල’ සඟරාවේ කටයුතු කරමින් සිටි අවධියේ එබඳු අවස්ථා ගණනාවක් උදා වූ අතර, ඒ අනුව එබඳු සුවිශේෂ සම්මුඛ සාකච්ඡාවක් 2007 නොවැම්බර් 25 වන දා පැවැත්වීමට ලැබුණේ කුරුවිට එක්නැලිගොඩ වලව්වේදීය. ඒ දැනට දින කිහිපයකට ඉහත ජීවිතයෙන් සමුගත්, ලෝ ප්‍රකට විද්වතකු වූ ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා සමගය. ඔහු සිය පුරා විද්‍යා කැණීම් මගින් අනාවරණය කරගත් කාරණා ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධව ලෝක පරිමාණ වැදගත්කමක් උසුලයි. එසේම, ලංකාවේ ඉතිහාසය පිළිබඳ පිළිගත් මති මතාන්තර අභියෝගයට ලක්කරන පුරා විද්‍යාත්මක සාධක රැසක් ඔහුගේ පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබේ. ආචාර්ය දැරණියගල මහතා සමග සිදු කෙරුණු මෙම සම්මුඛ සාකච්ඡාවෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳව එබඳු සුවිශේෂ කරුණු රැසක් අනාවරණය කරගත විණි.

පැයකට ආසන්න කාලයක් එතුමන් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව නිමවා නික්ම එන්නට සූදානම් වෙද්දී සිහිවටනයක් ලෙස මා වෙත පිරිනැමුණේ එතුමන් විසින් රචිත Pre - historic basis for the rise of Civilization in Sri Lanka and Southern India ග්‍රන්ථයේ පිටපතකි.

මෙම සම්මුඛ සාකච්ඡාව ‘මුරගල’ (2007 දෙසැම්බර්/2008 ජනවාරි) කලාපයේ පළ වූ අතර, එය නැවත උපුටා පළ කරන්නේ මෙම ශ්‍රේෂ්ඨ විද්වතාට උපහාරයක් වශයෙනි.



ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසකරණයේ ආරම්භය හා ව්‍යාප්තිය සිදු වී ඇති ආකාරය කෙබඳු ද?

නවීන මානවයාගේ මුල තිබුණේ අවුරුදු 150,000කට පමණ ඉහතදී අප්‍රිකාවේ බවට ශාස්ත්‍රීය මට්ටමේ අලුත් ම මතයක් දැන් බිහි වී තිබෙනවා. මේ මානවයා අප්‍රිකාවෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ අවුරුදු 80,000කට පමණ පෙර. මේ මානවයා එක ශාඛාවක් ලෙස නැඟෙනහිර අප්‍රිකාවෙන් උතුරට හා යුරෝපයටත් අනෙක් ශාඛාව ආසියාවටත් ව්‍යාප්ත වී තිබෙන බව ජාන විද්‍යාව අනුව විශේෂඥයින් පවසන අලුත් ම මතයයි. ආසියාවට පිටවුණු පිරිස නැඟෙනහිර අප්‍රිකාවෙන් ඔරුවලින් හෝ පාරුවලින් මුහුද හරහා අරාබියට ගොස් අරාබි වෙරළ ඔස්සේ ඉන්දියාවට එන තුරු පැමිණ එතැනින් ඉන්දියාවට හා අග්නිදිග ආසියාවටත් ව්‍යාප්ත වී, ඕස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්ත වුණු බව මේ මතයේ කියැවෙනවා. ඒ අතරතුරම ලංකාවටත් මේ මානවයින් ව්‍යාප්ත වුණු බවට අදහසක් තිබෙනවා. නවීන මානවයා ඉන්දියාවට ව්‍යාප්ත වුණේ කුමන කාල වකවානුවේ ද කියල හරියාකාර ව කියන්නට අමාරුයි. එහෙත් අවුරුදු 50,000- 60,000 කට පෙර බවයි හිතන්නේ. අවුරුදු 75,000 වෙන්නත් පුළුවන්. ලංකාවටත් ඒ කාල වකවානුවේ ම ව්‍යාප්ත වෙන්නට ඇති. ලංකාව හා ඉන්දියාව ලෙස අද හඳුන්වන ගොඩබිම් ප්‍රදේශ ඒ කාලයේ එක ම ගොඩබිම් ප්‍රදේශයක් ලෙස පැවතුණු නිසා ‘ඉන්දියාවෙන් ‘ලංකාවට ව්‍යාප්ත වෙන්නට කිසිම බාධකයක් තිබුණේ නැහැ. ඒ වගේ ම මුහුදු මට්ටමත් දැනට වඩා පහතින් තිබුණේ. එවක මේ ගොඩබිම් දෙක අතරෙ මුහුදක් තිබුණේ නැහැ. තිබුනත් ඒ මානවයින්ට හැකියාවක් තිබෙන්නට ඇති කෙටි ගමන්වලදී මුහුදෙන් යන්න.

ඉතිං අවුරුදු 75,000කට ඉහත දී පටන් ලංකාවේ නවීන මානවයින් සිටින්නට ඇති බවයි අපි සිතන්නේ. නමුත් බුන්දල පතිරාජවෙල කළ කැණීම්වලින් අපට හමු වී තිබෙන ශිලා මෙවලම් අවුරුදු 125,000ක් පැරණි බවට කාල නිර්ණය කර තිබෙනවා. මේ ජනාවාස කැණීමේදී එතැන මානවයින් සිටි බව තහවුරු කරමින් ලැබුණු මේ ශිලා මෙවලම් විශ්ලේෂණය කිරීමේදී ඒවා ඉතාමත් දියුණු බව හඳුනාගත හැකි වුණා. ඒ අනුව මේ ශිලා මෙවලම් නිෂ්පාදනය කරන්නට ඇත්තේ නවීන මානවයා බවට අපේ අදහසක් තිබෙනවා. ඒ අනුව අවුරුදු 125,000කට ඉහතදී නවීන මානවයා ලංකාවේ සිටි බව කියන්නට අපට හැකියාව තිබේවි කියා අප බලාපොරොත්තු වෙනවා. මේ බුන්දල කැණීම්වලින් අප සොයාගෙන තිබෙන සාධක නිසා, ජාන විද්‍යාව ඇසුරෙන් දැනට ගොඩනඟාගෙන තිබෙන මතය වන අවුරුදු 75,000කට පෙර නවීන මානවයෙක් අප්‍රිකාවෙන් පිටත සිටියේ නැහැ කියන මතය වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා. ඉතිං ඒ කැණීම් තවදුරටත් පවත්වාගෙන යන්නට ඕන. නමුත් ඊට අවශ්‍ය නවීන ක්‍රමවේද, නවීන තාක්ෂණය අපේ රටේ නොමැති නිසා අපේ විශේෂඥයෝ සහ පුරාවිද්‍යාඥයෝ ජාත්‍යන්තර මට්ටමේ කණ්ඩායමක් එක්රැස් කරගෙන මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යා යුතු ව තිබෙනවා.

අපේ රටේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස තිබී ඇති බවට දැනට පුරා විද්‍යාත්මක ව හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මොනවා ද ?

බුන්දල අවුරුදු 125,000කට ඉහත මානවයින් සිටි බවට කාල නිර්ණය කර තිබෙනවා. ඒ වගේ ම, අවුරුදු 75,000කට ඉහත දී බුන්දල පතිරාජවෙල සිටි බවටත්, නැවත අවුරුදු 28,000කට ඉහතදී බුන්දල සිටි බවටත් කාල නිර්ණය කර තිබෙනවා. ඊට අමතර ව, අවුරුදු 40,000කට පමණ ඉහත දී පාහියන් ලෙනෙහි මානවයින් සිටි බව ඔප්පු වී තිබෙනවා. එතැනින් මානවයින්ගේ ඇටකටුත් හමු වී තිබෙනවා. කුරුවිට බට දොඹ ලෙනේ අවුරුදු 30,000කට ඉහතදී මානවයින් සිටි බව ඔප්පු වී තිබෙනවා. මේවා තමයි ප්‍රධාන ස්ථාන. ඒ වගේ ම, රට පුරා තවත් ස්ථාන කිහිපයක් ම තිබෙනවා. ඒවායේ මූලික පර්යේෂණ පමණයි මෙතෙක් පවත්වා තිබෙන්නේ. ඉදිරියට ක්‍රමානුකූල ව පර්යේෂණ පවත්වන්නට දශක දෙක තුනකට ඇති වෙන්නට තරම් ස්ථාන තිබෙනවා.

මෙම ප්‍රදේශවල සිය ජනාවාස ගොඩනඟා ගන්නට සුවිශේෂ කාරණා බලපා තිබෙන බවත් පුරා විද්‍යාත්මක ව හඳුනාගෙන තිබෙනවා ද ?

නැහැ. රට පුරා ම මෙවැනි ස්ථාන තිබෙනවා. විශේෂයෙන් ම බුන්දල වගේ ස්ථානවල පුරාණ වැලි කඳුවලින් අපට හමු වී තිබෙනවා, වෙරළබඩ එළිමහන් වැලිකඳුවල ප්‍රාග් ඓතිහාසික මානවයින් වාසය කර තිබෙන බවට සාධක. ඒ කියන්නේ ඒ මානවයින් පාවිච්චි කළ ශිලා මෙවලම්වල අවශේෂ හමු වී තිබෙනවා. නමුත් එළිමහන් වැලි කඳුවල පැවැත්ම හොඳ නැති නිසා ශිලා මෙවලම් සමඟ මිනිසුන්ගේ හා සතුන්ගේ ඇටකටු සෝදාපාලුවට ලක් වී දිරාපත් වෙලයි තිබෙන්නේ. මෙවැනි අවශේෂවල පැවැත්ම හොඳින් ආරක්ෂා වෙන විදියට තැන්පත් වී තිබෙන්නේ ගල් ලෙන්වලයි. කුමන හේතුවක් නිසා ද කියා නිශ්චිත ව දන්නේ නැහැ, තෙත් කලාපයේ ගල්ලෙන්වලින් තමයි වැඩි ප්‍රමාණයක් හමු වී තිබෙන්නේ. එවැනි වැදගත් ම ස්ථාන තමයි, කුරුවිට බටදොඹ ලෙන, බුලත්සිංහල පාහියන් ලෙන සහ කිතුල්ගල බෙලි ලෙන. ඒ ලෙන් තුළින් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධ ඉතා වැදගත් සාධක හමු වී තිබෙනවා. මේ වගේ තවත් ලෙන් කිහිපයක් තිබෙන්නට ඉඩ තිබෙනවා. මෙතෙක් පරීක්ෂණ පවත්වා තිබෙන්නේ ඒ ලෙන් තුනේ පමණයි. වියළි කලාපයට අයත් කුඩුම්බිගල හා බඹරගස්තලාවේ තිබෙන ලෙන්වල අපි 1970දි අත්හදා බැලීම් කැණීම් පැවැත්වුවා. නමුත් මේ තෙත් කලාපයේ ලෙන්වල වගේ ඒ කැණීම් ප්‍රතිඵල සාර්ථක වුණේ නැහැ.

අපේ රටේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ තාක්ෂණික මෙවලම් භාවිතය සම්බන්ධ ව අනාවරණය වී තිබෙන කාරණා කෙබඳු ද ?

එය ඉතා ම වැදගත්. මම කිව්වනෙ බුන්දල පතිරාජවෙල ස්ථානයේ අවුරුදු 125,000ක් පැරණි ශිලා මෙවලම් හමු වී තිබෙන බව. ඒ සාධක, හරියාකාර ව කියන්නට ප්‍රමාණවත් නො වුනත් මූලික සාධක අනුව, ලෝක මට්ටමින් ගෙන සංසන්දනය කර බැලුවා ම එවක ලංකාවේ මානවයින් සතු ව ඉතා දියුණු තාක්ෂණයක් තිබුණු බව කියන්නට පුළුවන්. කෙසේ වෙතත් අවුරුදු 36,000 වන විට ඉතාමත් ම දියුණු තාක්ෂණයක් ලංකාවේ බිහි වී තිබුණා. එය හඳුන්වන්නේ ‘ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණය ලෙසයි. මෙය මධ්‍ය ශිලා යුගයට අයත් වෙනවා. ලෝකයේ රටවලින් ගත් විට බටහිර අයර්ලන්තයේ, ස්වීඩනයේ පටන් දකුණු අප්‍රිකාව, දකුණු ආසියාව හරහා ඕස්ට්‍රේලියාව දක්වා මේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණයට සාධක ලැබී තිබෙනවා. නමුත් ලංකාවේ තමයි මේ තාක්ෂණයට අදාළ පැරණි ම සාධක මෙතෙක් ලැබී තිබෙන්නේ. අපේ රටේ ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණය අවුරුදු 36,000ක් පැරණියි. අප්‍රිකාවෙත් මීට සමානයි. සමහරවිට මීට වඩා පැරණි වෙන්නත් ඉඩ තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ අපට වඩා මෑත කාලීන තාක්ෂණය තිබෙන්නේ. යුරෝපයේ අවුරුදු 12,000කට වඩා පැරණි නැහැ. ලංකාවෙයි, අප්‍රිකාවෙයි තමයි, ජ්‍යාමිතික ක්ෂුද්‍ර මෙවලම් තාක්ෂණයට පැරණි ම සාක්ෂ්‍ය මෙතෙක් ලැබී තිබෙන්නේ. මේ ශිලා මෙවලම් විශාලත්වයෙන් නියපොත්තක පමණ ප්‍රමාණයක, ඉතාමත් සියුම් තාක්ෂණයක්. බොහොම දියුණුයි.


ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ සංස්කෘතික ජීවිතය හෙළි කරන කෙබඳු සාධක ද හමු වී තිබෙන්නේ?

ඔවුන් විසින් ආහාරයට ගත් සතුන්ගේ ඇට කටු හමු වී තිබෙනවා. වාසය කළ ස්ථානවල ලිප් වැනි දෑ හමු වී තිබෙනවා. ඊළඟට කෙනෙකු මිය ගියා ම වල ලා දැමීම සම්බන්ධ සුසාන චාරිත්‍ර හඳුනාගන්නට පුළුවන්. ශිලා මෙවලම් හා සත්ත්ව ඇට කටුවලින් නිපද වූ මෙවලම් තිබෙනවා. මේවායින් තාක්ෂණය කොයි ආකාරයට දියුණු වුණා ද කියා කියන්නට විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ වගේ ම, පබළු හමු වී තිබෙනවා. පැරණි ම පබළු ඇටය හමු වී තිබෙන්නේ කුරුවිට බටදොඹ ලෙනෙන්. එය අවුරුදු 36,000ක් පැරණියි. මේ පබළුව දිය බෙල්ලන්ගේ කටුවලින් ඉතා අලංකාර ලෙස නිපදවා තිබෙනවා.

ප්‍රාග් ඓතිහාසික මානවයින් අඳින ලද ලෙන් සිතුවම් ලංකාවේ හමු වී තිබෙනවා ද ?

කිසි දෙයක් නැහැ. මෙතෙක් හමු වී තිබෙන ලෙන් සිතුවම් වැද්දන් ඇන්ද ඒවා ද, ප්‍රාග් ඓතිහාසික මානවයින් ඇන්ද ඒවා ද කියා නිශ්චිත ව කියන්නට බැහැ. අපි බොහෝ දුරට හිතන්නේ ඒ ලෙන් සිතුවම් වැද්දන් විසින් අඳින ලද ඒවා බවයි. මොකද, සෙලිග්මාන් 1911 පමණ මේ රටේ වැඩ කරන විට, වැද්දන් මෙවැනි චිත්‍ර ලෙන්වල ඇන්ද බව සටහන් කොට තිබෙනවා.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස ඒකක රටේ විවිධ ප්‍රදේශවල පැතිර තිබූ තත්ත්වයක මේ ජනාවාස ඒකක අතර යම් සම්බන්ධතාවක් පැවතුණු බවට සාධක තිබෙනවා ද? නැතිනම් මේ ජනාවාස ඒකක හුදෙකලා ඒකක ලෙස ද පැවතී තිබෙන්නේ?

ජනාවාස ඒකක අතර සම්බන්ධතාවක් තිබෙන්නට ඇතැයි අප සිතනවා. මොකද, උදාහරණයක් වශයෙන් ගත්තොත් කිතුල්ගල බෙලි ලෙනට වෙරළබඩ ප්‍රදේශවල සිට ලුණු ගෙන ආ බවට සාධක හමු වී තිබෙනවා. ඒ කියන්නේ කලපුවල සිටින ඉතා කුඩා බෙල්ලන් වර්ගයක් හමු වී තිබෙනවා, කිතුල්ගල බෙලි ලෙනෙන්. මේවා අවුරුදු 24,000කට වඩා පැරණියි. එය ඉතා වැදගත් සාධකයක්. ඒ වගේ ම, මුහුදු බෙල්ලන්, මෝරුන්ගේ ඇට කැබලි හමු වී තිබෙනවා. මේ කලාපයේ මානවයින් හා වෙරළබඩ කලාපයේ මානවයින් අතර සම්බන්ධතාවක් පැවතී ඇති බව පෙනෙනවා. සමහර විට මානවයින් එහා මෙහා යන්නත් ඇති. සැතපුම් 80ක් විතර දුරක්නේ ඇවිදින්නට තිබෙන්නේ.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා හඳුන්වන්නට පොදුවේ ‘බලංගොඩ මානවයා යන යෙදුම ව්‍යවහාර වෙනවා. මෙය කෙතරම් දුරට නිවැරදි ද?

එය නිවැරදියි කියන්නට අමාරුයි. මොකද, ලංකාව ඉන්දියාවට සම්බන්ධ වී තිබුනේ අන්තිම අවුරුදු ලක්ෂය තුළදියි. අන්තිම වරට ගොඩබිම් දෙකක්/රටවල් දෙකක් විදියට බෙදී තිබෙන්නේ අවුරුදු 7,000කට විතර ඉහතදී. ඊට පෙර තනි ගොඩබිමක් තිබුණෙ. ඒ කියන්නේ දිගට ම ජාන හුවමාරුවක් සිදු වෙන්නට ඇති. ඒ නිසා එකම මානව වර්ගයක් මේ රටේ සිටියා කියන්නට අමාරුයි. ඉන්දියාවෙත් නොයෙකුත් ජාන සංචිත තිබෙන්නට ඇති නිසා විශාල මිශ්‍රණයක් සිදු වෙන්නට ඇති. ඒ නිසා මේ පිරිස තනි වර්ගයක් කියල මම හිතන්නේ නැහැ. ‘බලංගොඩ මානවයා නමින් පොදුවේ ජනවහරේ හැඳින්වුවාට ඒ අදහස වැරදියි.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ශාරීරික ව්‍යුහාත්මක ස්වභාවයන් ලංකාවේ පසුකාලීන ජනතාවට සම්බන්ධ වී ඇති ආකාරය කෙබඳු ද?

විශේෂඥයින් ඒ සම්බන්ධ ව පර්යේෂණ බොහොමයක් පවත්වා තිබෙනවා. දැන් ඔවුන් පැහැදිලි ව ම කියන්නේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයින්, අපේ ආදි වාසීන් වන වැද්දන්ට බොහෝ සමාන බවයි. ඒ කියන්නේ කිට්ටු ම සම්බන්ධතාව තිබෙන්නේ වැද්දන්ට බවයි. ඒ වගේ ම, ලංකාවෙන් පිට මෙලනීසියාවේ සිටින ආදිවාසීන්ට සමාන බවත් කියනවා. ඕස්ට්‍රේලියාවේ ඇබොරිජින්වරුන්ටත් සමානත්වයක් තිබුනත් ඊට වඩා මෙලනීසියාවේ ආදිවාසීන්ට සමාන බව කියනවා.

අපේ රටේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා කරන විට ‘නීට්ටෑවන් හා ‘සබරයින් යනුවෙන් මානව කණ්ඩායම් දෙකක් ගැන ඇතැමුන් සඳහන් කරනවා. මෙම මානවයින් ලංකාවේ වාසය කර තිබෙන බව තහවුරු වී තිබෙනවා ද?

‘නීට්ටෑවන් ගැන නම් මෙතෙක් කිසිම සාධකයක් ලැබී නැහැ. ‘සබරයො කියන්නේ ආදි වාසීන් කොටසක් වෙන්නට ඇති. නමුත් හරියාකාර ව කියන්නට අමාරුයි. ඒ කියන්නේ දැන් සිටින වැද්දන්ට කොයිතරම් සමීප ද, නැතිනම් වෙන ම පිරිසක් ද කියා කියන්නට අමාරුයි. මේ සබරගමු පළාතේ සිටි ඒ ‘සබරයින් කියන ජන කොටස දැන් අපේ සිංහලයින්ට මිශ්‍ර වී ඉවරයි. දැන් සිංහලයින් වශයෙනුයි හැඳින්වෙන්නේ. ඒ නිසා ජාන විශ්ලේෂණයක් සිදු කර අනාගතයේදී එවැනි විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් පවත්වන්නේ නැති ව දැනට නම් කියන්නට හැකියාවක් නැහැ. එවැනි පර්යේෂණ මාලාවක් කෙරෙන්නට ම ඕන දෙයක්.

ලංකාවේ නව ශිලා යුගයක් නො තිබුණු බවට මතයක් තිබෙනවා. මේ සම්බන්ධ ව ඔබගේ අදහස කුමක් ද ?

ඔව්. ලංකාවේ නව ශිලා යුගයක් තිබුණු බවක් තව ම හරියට ඔප්පු වී නැහැ. මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ පැවැත්වූ කාලයේ මේ සම්බන්ධ ව යාන්තම්වත් සාධක තිබෙන බවට එක තැනයි සොයා ගත්තේ. ඒ, දොරවක් ලෙන. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ කැණීම් අධ්‍යක්ෂ හා පසු ව අධ්‍යක්ෂ ජනරාල් වුණු ඩබ්ලිව්.එච්. විජේපාල මහතා දොරවක් ලෙන කැණීම් සිදු කළා. එහිදී ඔහුට ශිලා මෙවලම්, මැටි බඳුන් කැබලි හා ධාන්‍ය වර්ගයක් ලෙස සැක කරන ඇට වර්ගයක් හමු වී තිබෙනවා. ඒ ධාන්‍ය වර්ගය තව ම හරියාකාර ව හඳුනාගෙන නැහැ. ශිලා මෙවලම් සහ මැටි බඳුන් එකට හමු වීමයි විශේෂ කාරණය. විජේපාල මහතා කියන්නේ එය හරි කියලයි. එහෙම නම් එය නව ශිලා යුගය වෙන්නට පුළුවන්. මට ඒ ගැන සියයට සියයක් ස්ථිර වශයෙන් අදහසක් පළ කරන්නට විදියක් නැහැ. ඒ ගැන තවදුරටත් පර්යේෂණ පවත්වන්නට අවශ්‍යයි.

ඊට අමතරව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ගාමිණී අධිකාරි මහතා මෑතකදී වාරණ ගල්ලෙනක කළ කැණීම්වලින් ශිලා මෙවලම් හා මැටි බඳුන් එකට හමු වී තිබෙනවා. ධාන්‍ය හමු වී නැහැ. මේවා සම්බන්ධ ව කාබන් 14 කාල නිර්ණය කරනකම් හරියට ම කියන්නට බැහැ මේවා නව ශිලා යුගයේ ද, නැතිනම් වෙනත් යුගයක ද කියලා. නැතිනම්, කැළෑවල සිටි පැරණි ශිලා යුගයේ ශිලා තාක්ෂණයේ පැවැත්මක් සිදු වුණා ද කියල ඓතිහාසික යුගය වන තුරු ම. ඒ ප්‍රශ්නය විසඳා ගන්නට නම් මේ පස් ස්ථර හරියට ම කාල නිර්ණය කරන්නට ඕන.

ඒ වගේ ම, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රාජ් සෝමදේව මහතා ඇඹිලිපිටියේ රංචාමඩම නමැති ස්ථානයේ මෑතකදී කළ කැණීමකදී සොහොන් භූමියක් මතු වී තිබෙනවා. මේ සොහොන්වල තිබී ශිලා මෙවලම් සහ මැටි බඳුන් එකට හමු වී තිබෙනවා. මමත් ඒ ස්ථානය බැලුවා. එතැනත් හරියාකාර කාල නිර්ණයක් එනතුරු කියන්නට බැහැ මෙය නව ශිලා යුගයක් ද, නැතිනම් ඓතිහාසික යුගයේ තිබුණු පැවැත්මක් ද කියල. මේ ස්ථාන දෙකේ ම ප්‍රශ්නය විසඳා ගන්න ඒ කාල නිර්ණයන් එන්නට ඕන.

පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ ටී.ආර්.ප්‍රේමතිලක මහතා ඇතුළු කණ්ඩායමක් හෝටන් තැන්නේ කළ පර්යේෂණවලදී නව ශිලා යුගයට අදාළ සාධක සොයාගත් බව දැනට වසර කිහිපයකට ඉහතදී සඳහන් වුණා...

මෙහෙමයි. අසූගණන්වල ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්ව විද්‍යාලයෙන් කණ්ඩායමක් අපේ රටට ආවා, සීගිරි දිය අගලේ පරාග පිළිබඳ ව පර්යේෂණ කරන්න. එහිදී අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට යෝජනා කළා සීගිරිය විතරක් නෙවෙයි හෝටන් තැන්නෙත් මඩ වගුරු තිබෙනවා, ඒවායේ තිබෙන පරාග ගැනත් විශ්ලේෂණයක් කරන්න, මේ අන්තිම අවුරුදු 20,000 -10,000 කාලය තුළ මේ රටේ දේශගුණය කොයි ආකාරයට වෙනස් වුණා ද කියල ඒවායින් දැනගන්න පුළුවන් වේවි කියල. ඒ පර්යේෂණය කරද්දි ප්‍රේමතිලක මහතාත් එයට සම්බන්ධ වී එම පර්යේෂණයේ දත්ත විශ්ලේෂණය කර ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කළා. ඔහුගේ ඒ විශ්ලේෂණයෙන් කියන්නේ අවුරුදු 20,000කට ඉහත සිට මේ රටේ බාර්ලි හා ඕට්ස් යන ධාන්‍ය වර්ග ගෘහස්ථකරණය කිරීමක ආරම්භක සාධක තිබෙන බවයි. අවුරුදු 17,000ක සිට ක්‍රම ක්‍රමයෙන් සිදු වී අවුරුදු 10,000 වන විට මේ බාර්ලි හා ඕට්ස් යන ධාන්‍ය වර්ග දෙක සම්පූර්ණයෙන් ම ගෘහස්ථකරණය සිදු කර ඇති බවට පැහැදිලි සාධක තිබෙන බව ඔහු කියනවා. ඒ සමග ම එවක සතුන් ඇති කර තිබෙන බව මේ පරාග විශ්ලේෂණවලින් ඔහු ඔප්පු කර තිබෙනවා. ඒ කියන්නේ ගවයින් වැනි සතුන් ඇති කළොත් ඒ අවට තිබෙන පැළෑටි වර්ග වෙනස් වෙනවා. ඒ මගිනුත් ඔහු කියා සිටින්නේ සතුන් ඇති කිරීම සහ ගොවිතැන යන දෙක ම අවුරුදු 10,000 වන විට එනම්, ක්‍රි.පූ. 8,000 වන විට පැහැදිලි ව ම මේ රටේ තිබුණු බවයි. තවදුරටත් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම අත්‍යවශ්‍යයි. මොකද, මෙය ඉතා ම වැදගත්. මෙය හරි බව තහවුරු වුනොත් ලංකාව පැළෑටි ගෘහස්ථකරණය කිරීම හා සතුන් ඇති කිරීම සිදු කළ ලෝකයේ පැරණිත ම ස්ථානයක් වෙනවා. අග්නිදිග ආසියාවේ එනම්, දකුණු චීනයේ සහ මැද පෙරදිග හැර ලංකාව තමයි පැරණි ම. ඒ ප්‍රදේශ තුනේ තමයි මුලින් ම පැළෑටි ගෘහස්ථකරණය ඇති වී තිබෙන්නේ. ඒ සම්බන්ධ ව මගේ නම් සැකයක් නැහැ. සමහරුන් කියනවා මේ ගැන තවදුරටත් පර්යේෂණ කළ යුතුයි කියලා. මොනවා වුනත් මම කියන්නේ ලංකාවේ ධාන්‍ය ගෘහස්ථකරණයක් ඇති වී තිබෙන බව සොයා ගැනීම ඉතාමත් ම වැදගත් සොයා ගැනීමක්.

මේ සාකච්ඡාව තරමක් මෑත කාලවකවානුවක් වෙත යොමු කරගන්නට අප කැමතියි. අනුරාධපුර ඇතුළුනුවර ඔබ කළ කැණීම්වලදී ලංකාවේ ඉතිහාසයේ ඉතා සුවිශේෂී කාරණා අනාවරණය කර ගන්නට ඔබ සමත් වුණා...

ඔව්. අනුරාධපුරයේ ඇතුළුනුවර කළ කැණීම්වලදී, ක්‍රි.පූ. 900 පටන්, ඒ කියන්නේ විජයාගමනයට අවුරුදු 400කට පෙර සිට ලංකාවේ යකඩ තාක්ෂණය (එය ඉන්දියාවෙන් තමයි එන්නට ඇත්තේ...), දියුණු කුඹල් තාක්ෂණය, වී වගාව, ගවයින් - අශ්වයින් ඇති කිරීම තිබුණු බවට පැහැදිලි සාධක ලැබී තිබෙනවා. ඒ කියන්නේ විජයාගමනයට වසර 400කට පෙර සිට ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතී තිබෙනවා. එහි කර්තෘන් වන මානවයින්ගේ ශාරීරික ලක්ෂණ බලංගොඩ මානවයාට කොච්චර වෙනස් ද කියා කියන්නට අමාරුයි. විල්පත්තුවේ පොම්පරිප්පු සොහොන් භූමියේ පමණයි මෙතෙක් එවැනි පර්යේෂණ පවත්වා තිබෙන්නේ. පොම්පරිප්පු     සොහොන් භූමියෙන් ලැබුණු මානව අවශේෂ අනුව පොම්පරිප්පුවෙ මානවයා බලංගොඩ මානවයාට වඩා වෙනස් බවත්, සිංහලයාට වඩාත් ම සමාන බවත් අලුත් ම වාර්තාවල කියැවෙනවා. හැබැයි පොම්පරිප්පුවෙත් කාල නිර්ණය කර නැහැ. ඒ නිසා ඒ කාල නිර්ණය කරන තුරු මේවා ක්‍රි.පූ. 200 ද, ක්‍රි.පූ.500 ද, ක්‍රි.පූ. 1,000 ද කියා කියන්නට බැහැ.

කෙසේ වෙතත් පණ්ඩුකාභය රජුට පෙර අනුරාධපුර ඇතුළු නගරයේ ක්‍රි.පූ. 700 පමණ වන විට නගරයක ප්‍රමාණයට ව්‍යාප්ත වී තිබුණා. එය අක්කර 150ක් ඉක්මවා තිබුණා. එනම්, ක්‍රි.පූ. 200 වන විට නගරයක් තිබුණා. පණ්ඩුකාභය රජුගේ කාලේ ඒ නගරය තවදුරටත් දියුණු කරන්නට ඇති. හැබැයි ඊට පෙර ඔතැන නගරයක් තිබුණු බවට සාධක ලැබී තිබෙනවා, අනුරාධපුරයේ ඇතුළු නගරයෙන්. එය ඉතා ම වැදගත්.

ඒ වගේ ම, අපේ රටේ බ්‍රාහ්මීය අක්ෂර භාවිතය ක්‍රි.පූ. 600  - ක්‍රි.පූ. 500 පමණ වන විට මේ රටේ තිබුණු බව දැන් ඔප්පු වී තිබෙනවා. වළං කැබලිවල ආර්ය ප්‍රාකෘත අක්ෂරවලින් ලියා තිබෙන ‘අ නු ර ද යන වචනයෙන් ඒ බව ඔප්පු වෙනවා. අපේ කැණීම්වලින් පමණක් නෙවෙයි, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් පැමිණි පිරිසක් ක්‍රි.පූ. 400 වන විට පැහැදිලි ව ම බ්‍රාහ්මීය අක්ෂර භාවිතය මේ රටේ තිබුණු බව ඔප්පු කර තිබෙනවා. අපේ කාල නිර්ණය ඊට වඩා සීයක් හමාරක් පැරණියි. ඒ වළං කටුවේ ලියා තිබෙන අක්ෂර සම්පූර්ණයෙන් ම ආර්ය ප්‍රාකෘත. කොහෙවත් ද්‍රවිඩ, දෙමළ අක්ෂර ගෑවිලාවත් නැහැ.

මෙවැනි පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් ලංකාවේ වංශකතා සාහිත්‍ය ඉතිහාසය තහවුරු වෙනවා ද? නැතිනම් එකිනෙක ගැටෙනවා ද?

ගැටෙන්නේ නැහැ. තහවුරු වෙනවා. ඉතිහාසඥයො කාලයක් තිස්සේ කියා සිටියෙ මේ වංශකතා විශ්වාස කරන්න බැහැ, ක්‍රිස්තු පූර්ව සියවස්වල භික්ෂූන් වහන්සේ ඕන ඕන විදියට ලියා තිබෙනවා කියලනෙ. නමුත් දැන් එය එහෙම නෙවෙයි. පැහැදිලි ව ම පෙනෙන්නට තිබෙනවා. ක්‍රි.පූ. 500 වන විට අක්ෂර භාවිතය අපේ රටේ ඇති වී තිබෙනවා. තවත් සංස්කෘතිකාංග වෙනස් වීම ඇති වී තිබෙනවා. හරියට ම විජයාගමනය කියන ඒ යුගයට ම ගැලපෙනවා. ඉතිං ඒ වංශකතා සම්පූර්ණයෙන් ම බොරු ය කියා කියන්නට බැහැ. කුමක් හෝ වී තිබෙනවා. උතුරු ඉන්දියාවෙත් එක්ක ම ආර්ය භාෂාවක් තිබුණා. ඊට පෙර මේ රටේ කුමන භාෂාවක් තිබුන ද කියා කවුරුවත් දන්නේ නැහැ. මොකද, මේ රටේ ක්‍රි.පූ. 500 - 600ට පෙර ලිඛිත සාධක නැහැ, අක්ෂර භාවිතයක් නො තිබුණු නිසා.

ලිඛිත මූලාශ්‍ර පදනම් කරගෙන ගොඩනඟන ඉතිහාසය හා භෞතික සාධක මත පදනම් ව ගොඩනඟන ඉතිහාසය සම්බන්ධ ව ඔබගේ අදහස කුමක් ද ?

මම නම් කියන්නේ මේ දෙක එකට ම යා යුතුයි. ලිඛිත ඒවා සමහර විට කිසියම් එක් පාර්ශ්වයකට නැඹුරු වෙන්නට ඉඩ තිබෙනවා. නමුත් භෞතික සාධකවලින් එක්තරා දුරකට අනෙක් පැත්තත් අල්ලා ගන්නට පුළුවන්. එහෙත් ලිඛිත මූලාශ්‍ර භාවිතය වගේ නෙවේ, භෞතික සාධකවලින් ගත හැකි අර්ථකථන සීමිතයි. ලිඛිත මූලාශ්‍රවලින් ඊට වඩා බොහොමයක් විස්තර අපට සොයා ගන්නට පුළුවන්. ඒ නිසා මේ දෙක එක්වයි ගමන් කළ යුත්තේ.

දෙමළ ජාතිවාදී උගතුන් ඉදිරිපත් කර ඇති ‘දෙමළ නිජබිම කියන කාරණය ඔබ දකින්නේ කොහොම ද?

මොන නිජභූමියක් ද ? මේ රට අපට සිංහලයින්ගේ නිජභූමිය කියන්නත් බැහැ. මොකද, ඒ පිටුපසින් මේ රටේ ආදිවාසීන් වන වැද්දෝ සිටිනවනෙ. ඒ කියන්නේ මේ රට තමන්ගේ නිජභූමිය කියා කියන්න හිමිකරුවන් සිටිනවා නම්, ඒ ආදි වාසීන් වන වැද්දන් පමණයි. කාරණය තිබෙන්නේ, මේ රටට අවුරුදු ලක්ෂ ගණනාවක් තිස්සේ විවිධ ජාතීන් ව්‍යාප්ත වී තිබෙනවා. ඉතිං කවුද මේ රටේ අයිතිකාරයො? දෙමළ මිනිසුන්ට කියන්න බැහැ මේ රට ඒ අයගෙ නිජභූමිය කියලා. ඒ වගේ ම, සිංහලයින්ට පෙර මේ රටේ වාසය කළේ කවුද කියන එක අපි දැන් හඳුනාගෙන තිබෙනවා. බලංගොඩ මානවයා වාසය කළ බවට භෞතික සාධක පුරාවිද්‍යාවේ තිබෙනවා. ඉතිං මේ රටේ කාට හෝ අයිතියක් තිබෙනවා නම් ඒ අයිතිය තිබෙන්නේ වැද්දන්ටයි. මොකද, බලංගොඩ මානවයාගේ කිට්ටු ම ඥාතීන් වන්නේ මේ වැද්දන් නිසා. ඒ නිසා වැදි පරපුරටයි මේ රට නිජභූමිය කියා කියන්න අයිතිය තිබෙන්නේ. අපි ඊට පසු ව පැමිණි අයනෙ.

ලංකාවේ පුරාවිද්‍යාත්මක ගවේෂණ, පර්යේෂණ පිළිබඳ ව ඔබ අවසාන වශයෙන් අවධාරණය කරන යමක් තිබෙනවා ද?

පළමුවෙන් ම මේ පුරාවිද්‍යා පර්යේෂණ ඉදිරියට ගෙන යා යුතුයි. මුලින් ම, දැනට සොයාගෙන තිබෙන මූලික දත්ත සනාථ කරගන්නට ඕන. උදාහරණයක් විදියට, හෝටන් තැන්නෙන් සොයාගත් ගොවිතැන සම්බන්ධ සාධක. එය ඉතා ම වැදගත්. එය එක පුද්ගලයකුට කරන්නත් බැරි මට්ටමක තිබෙන්නේ. ඊළඟට, මම කලින් සඳහන් කළ වැලිකඳු. ඒවායේ පර්යේෂණත් දිගටම කරගෙන යන්නට ඕන. ඒවාට අතගහලවත් නැහැ හරියාකාර ව. අපි 1970 එවක තිබුණු කැණීම් අනුව කැණීම් කළේ දළ වශයෙන්. නමුත් දැන් නවීන ක්‍රමවේද තිබෙනවා. ඒවා භාවිත කර පර්යේෂණ තව ඉදිරියට ගෙන යා යුතු වෙනවා. ආචාර්ය රාජ් සෝමදේව සහ ආචාර්ය ගාමිණී අධිකාරී යන මහත්වරු කරගෙන යන පර්යේෂණ ඉතා ම වැදගත්. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගයට පරිවර්තනය වූ අවස්ථාව ගැන පර්යේෂණ ඉතා ම අවශ්‍යයි. මොකද, ඒ ගැන අපේ දැනුම ඉතාමත් ම ස්වල්පයයි. රංචාමඩම සහ වාරණ ලැබී තිබෙන සාධක සම්බන්ධ ව කාබන් 14 කාල නිර්ණය කළ යුතුයි. ඒ සම්බන්ධ නිශ්චිත අදහසකට ආ හැක්කේ ඒ කාල නිර්ණයෙන් පසුවයි. 

Wednesday, October 6, 2021

තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමකි. - දයාසේන ගුණසිංහ


අපේ රටේ සුවිශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහයන් අප අතරින් නික්ම ගොස් ඔක්තෝබර් 07 එනම් අද දිනට වසර 25ක් සපිරෙයි. ඔහු විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින, 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නේ ගුණසිංහ මහතා වෙත කරන උපහාරයක් වශයෙනි. දශක තුනකට පෙර ඔහු විසින් මෙම ලිපිය මගින් ඉදිරිපත් කරන අදහස් පුවත්පත්කලාවේදී ඔහු පිහිටා සිටි ආස්ථානය අනාවරණය කරන ඓතිහාසික ලේඛනයක් වන්නේය.

 

            ‘දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැ’යි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා‍ වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ. 

             තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාට තම මෙහෙවර ඉටු කිරීමට සිදු වී ඇත්තේ ස්ථාවර සමාජයක නොව කැළඹී ඇළලී යන චංචල සමාජයකය. බොහෝ විට එම සමාජය පවතින්නේ නිදහස් රාජ්‍යයක් ලෙස වර්ධනය වීමේ ප්‍රාරම්භක අදියරේය. එසේ නොමැති නම් ඊටත් වඩා මඳක් දියුණු අදියරකය. 

             තම රටේ දේශපාලන නායකයින්ගේ චින්තනයේ හා ආකල්ප විකල්පයන්හි ස්ථාවරභාවයක් තිබේ යැයි උපකල්පනය කොට ඒ අනුව කටයුතු කිරීමට පුළුවන්කමක් තුන් වැනි ලෝකයේ පුවත්පත් කලාවේදියාට‍ නොමැත. දේශපාලකයින්ගේ මෙම චංචල ස්වාභාවය හා එමගින් හිමි කැරෙන චපල බව පාලන තන්ත්‍රය ඔස්සේ පරිපාලන යන්ත්‍රයටත් ඒ ඔස්සේ සමස්ත සමාජයටත් කිඳා බසී. ඊට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය ඇති පුවත්පත් ආයතන පවා විරලය. 

             මේ අන්දමින් නිරන්තර වෙනස්වීම්වලට භාජනය වන සමාජයක වෙසෙන පුවත්පත් කලාවේදියාට යටත් පිරිසෙයින් තම රැකියාව ගැන හෝ තම වැටුපෙහි සැබෑ මූල්‍ය අගය ගැන පවා එතරම් විශ්වාසයක් තබා කටයුතු කළ නොහැකිය. ඔහු සේවය කරන පුවත්පත මුද්‍රණ කඩදාසි නොමැතිකමින් හෝ අන් බාධා තහංචියක් නිසා හෝ හදිසියේ වැසී යා හැකිය. එසේම, ඊළඟ මාසය වන විට ඔහුගේ වේතනයේ සැබෑ මූල්‍ය අගය සියයට තිහ හතලිහකින් පමණ වුව පහත වැටිය හැකිය.

             එහෙත් මේ සියල්ල මධ්‍යයේ නොසැලී සිටීමේ ශක්තිය ඔහු සතු විය යුතු වේ. සමාජය කෙරෙහි ඔහුගේ වගකීම ඉතා බරපතළය. බටහිර ලෝකයේ තම සගයින්ට වඩා තියුණු සංවේදීභාවයක් හා පරමාදර්ශීභාවයක් ඔහු තුළ තිබිය යුතු වේ. යහපත් සමාජයක් හා ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීමේ භාරදූර කාර්යයෙන් අති විශාල‍ කොටසක් තමන් වෙත පැවරී ඇති බැව් ඔහු අමතක කළ යුතු නොවේ. 

             මෙහිදී බටහිර ලෝකයේ පුවත්පත්කලාවේදීන් මෙන් හුදෙක් සන්නිවේදකයින් වශයෙන් පමණක් ක්‍රියා කිරීම ප්‍රමාණවත් නොවේ. තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා‍ගේ මෙහෙවර ඉතා සංකීර්ණය. විටෙක ඔහු සන්නිවේදකයකු පමණක් නොව ගුරුවරයකු හා උපදේශකයකුද විය යුතුය. තවත් විටෙක විනිසුරුවකු විය යුතුය. එසේම සමාජ ශෝධකයකු සහ උද්ඝෝෂකයකු ලෙස අගතියට හා දූෂණයට එරෙහිව නිරතුරුව සටන් වදින සෙබළෙකු ලෙසද ක්‍රියා කිරීමට ඔහුට සිදුවේ. මේ අන්දමින් ඔහුගේ මෙහෙවර සන්නිවේදනය පිළිබඳ බටහිර සංකල්පයට ඉඳුරා වෙනස්ය. 

             පුවත්පතෙහි පළවන කවර නම් දෙයක් හෝ වේවා අවබෝධයට ගැනීමේ හැකියාව හා ඊට අවශ්‍ය දැනුමත්, පුවත්පතක් මිල දී ගැනීමේ ආර්ථික ශක්තියත් පාඨකයාට තිබේය යන්න බටහිර ලෝකයේ නියත සම්මතයකි. ඒ ගැන තවත් සිතා බලන්නට දෙයක් නැත. එහෙත් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාට එවැනි සම්මතයක පිළිසරණයක් නැත. තම පාඨකයින් අතර උගත්කමින්, දැනුමෙන්, අවබෝධයෙන් හා මූල්‍ය ශක්තියෙන් විවිධ මට්ටම්වලට අයත් නන් වැදෑරුම් පුද්ගලයින් සිටින බැව් ඔහුට මො‍හොතකටවත් අමතක ක‍ළ නොහේ. තමන් දැන උගත්කම් ඇති පිරිසකට තොරතුරු හා ආරංචි සපයන්නකු සේම එම භාග්‍යය නොලද පිරිසක් දැනුවත් කාර්ය භාරයටද උර දෙන්නකු බැව් හැම විටම සිහියේ තබා‍ ගැනීම ඔහුගේ යුතුකමකි. 

             තුන්වැනි ‍ලෝකයේ බොහෝ දෙනා නිතර නව අත්දැකීම්වලට මුහුණ දෙන අය වෙති. නිදසුනක් වශයෙන් ගතහොත් තුන්වැනි ලෝකයේ බොහෝ ගම්මානවලට විදුලිය ලැබෙන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. එම ගැමියන්ට විදුලි බල ශක්තිය හා එහි භාවිතය පිළිබඳ දැනුමක් ලබාගැනීම, ජනප්‍රිය නිළියකගේ අලුත්ම ප්‍රෙ‍ම සම්බන්ධය ගැන දැන ගැනීමට වඩා වැදගත් වේ. 

             කියවීම හා ලිවීම එතරම් ව්‍යාප්ත නොවූ රටක පුවත්පත්කලාවේදීන්ගේ කාර්යභාරය වඩාත් බැරෑරුම්ය. එවැනි පසුබිමක පුවත්පත් කියවන උදවිය සිටින්නේ ඉතා අල්ප වශයෙනි. ජනමතය මෙහෙයවන්නෝද ඔවුහුම වෙති. එබඳු සමාජයක ඇත්තේ එකම පුවත්පතක් පමණක් නම් එහි වගකීම වඩාත් බැරෑරුම් වේ. 

             තුන්වැනි ලෝකයේ බොහෝ රටවල පුවත්පත් හා වෙනත් ජනමාධ්‍ය යටත් විජිත යුගයේ අධිරාජ්‍යවාදී ස්වාමිවරුන්ගේ අවශ්‍යතා සපුරාලීමට පිහිටුවන ලද ඒවා විය. එම ජනමාධ්‍ය රටේ බහුතරයගේ නොව, ර‍ජයේ හා සමාජයේ ඉහළ යැයි කියන මට්ටම්වල උදවියගේ රුචි අරුචිකම් හා වුවමනා එපාකම්වලට සරිලන සේ හැඩගැසුනේද විය. මෙම යුගයේ නෂ්ටාවශේෂ මේ රටේ ඇතැම් ඉංග්‍රීසි පුවත්පත්වල අදත් දක්නට ඇත. 

             එනමුත් පොදු වශයෙන් ගත් කල අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. බහුතර පාඨකයින්ගේ සිතුම් පැතුම් වෙනස් වී යමින් පවතී. එම වෙනස්වීම් සමාජයට හිතකර ලෙස මෙහෙයවීමේ කාර්යභාරය පුවත්පත්කලාවේදියා වෙතද ‍පැවරෙයි. ජාතික හා සමාජ අනන්‍යතා පරිවර්තනයට ලක්වන අතර, පුවත්පත එම පරිවර්තනයෙහි කැඩපත විය යුතුද‍ වේ. 

             රටේ පාලනය මෙහෙයවන හා රටේ ඉරණමට බලපාන තීරණ ගන්නා‍ පුද්ගලයින්ට ඔවුන්ගේ ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති මාර්ග හා විවිධාකාර තීරණ සම්බන්ධයෙන් ජනතාව දක්වන ප්‍රතිචාර පෙරළා සන්නිවේදනය කිරීමේ වගකීම බටහිරට වඩා බැරෑරුම් ලෙස තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරේ. සන්නිවේදනය යනු හුදෙක් සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයා වෙත ගලා යන්නක් පමණක් නොවිය යුතුය. ප්‍රතිසන්නිවේදනය හෙවත් ග්‍රාහකයාගේ ප්‍රතිචාරය සන්නිවේදකයා වෙතටද ආපසු ගලා යාම ද පරිපූර්ණ සන්නිවේදනයේ අනිවාර්ය අංගයක් විය යුතුය. මෙනයින් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා විසින් ජනතාවගේ භෞතික මෙන්ම මානසික අවශ්‍යතාද, බලාපොරොත්තු හා අපේක්ෂාද, භයශංකාද, විවිධ මතිමතාන්තරද දේශපාලන නායකයන් හා වෙනත් ප්‍රමුඛයන් වෙත ප්‍රතිසන්නිවේදනය කළ යුතුය. මෙවැනි පුවත්පත්කලාවේදියකු යම් පාලනයක් විසින් සතුරකු හෝ කඩාකප්පල්කාරයකු ලෙස සලකන්නේ නම් එය එම පාලනයෙහි පමණක් නොව එම පාලනයට යටත් ජනතාවගේද මහත් අභාග්‍යයකි.

             මේ අන්දමින් පාලකයා සහ පාලිතයා අතර අවරෝහණ සහ ආරෝහණ වශයෙන් සන්නිවේදනයේ යෙදෙන අතරම වැසියා හා වැසියා අතර සමාන්තර සන්නිවේදනයකට මඟ පාදා දීමද තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ වගකීමකි. මිනිසුන්ට තම තමන්ගේ අදහස් උදහස් හුවමාරු කරගැනීමටත්, මතවාද පිළිබඳව සංවාදයෙහි යෙදීමටත් අවකාශ තිබිය යුතුය. සමාජයක දියුණුවට හේතුවන නව බුද්ධිමය ප්‍රවණතා සහ නව චින්තන රටා බිහිවන්නේ එවිටය. 

             බටහිර ලෝකය පිළිබඳ සාම්ප්‍රදායික මිථ්‍යා සංකල්පවලින් මිදී එය හේතුවාදී ලෙස අවබෝධ කර ගැනීමට තම පාඨකයින්ට මං සැලසීමද තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ සුවිශේෂ කාර්යභාරයක් වේ. තුන්වැනි ලෝකයේ සියලු රටවලට පොදු වූ එක් සාධකයක් නම් බටහිර ලෝකය මත රඳා පැවතීමයි. ඉන් මිදීමට ඇති මඟ යටත් විජිතවාදී භාවයේ විවිධ වේශයන්ගෙන් නිදහස් වීමයි. මෙහිදී සන්නිවේදකයා වෙත පැවරෙන වගකීම ඉතා බැරෑරුම්ය. ඊට නිදසුනක් ලෙස අපි එන ප්‍රශ්නයක් ගනිමු. එනම්  සංවර්ධනය විය යුත්තේ යුරෝපය හෝ ඇමරිකාව අනුව යමින්ද යන්නයි. එම සංවර්ධන සංකල්පයන් තුන්වැනි ලෝකයේ යම් රටකට නොගැලපෙනවා පමණක් නොව අනතුරුදායකද විය හැකිය. මෙහිදී අනුකරණයේ විපාක කල්වේලා ඇතිව පෙන්වා දීම පත්‍රකලාවේදියාගේ යුතුකමකි. එසේම බැහැරින් එන සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී සංවර්ධන සංකල්ප ගැනත් න්‍යායික බැඳීම්වලින් තොරව සලකා බැලීමට තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා සමත් විය යුතුවේ. 

             එසේම තුන්වැනි ලෝකය පිළිබඳ සැබෑ අවබෝධයක් බටහිර ලෝකයාට දීමත් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ මෙහෙවරකි. විදේශික වාර්තාකරුවන් තුන්වැනි ලෝකය ගැන බටහිරට සපයන ප්‍රවෘත්ති වාර්තා බොහෝ විට ඔවුන් කියවන‍ හෝ අසන දේවලටත් මතුපිට දක්නා දේවලටත් සීමා වේ. මෙය ඇතැම් විට අතිශයින් බිහිසුණු ප්‍රතිඵල ඇති කරවයි. තුන්වැනි ලෝකය පිළිබඳ සැබෑ අවබෝධයක් යුරෝපයට හෝ ඇමරිකාවට වී නම් තුන්වැනි ලෝකය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ ආක්‍රමණික පිළි‍වෙත සහ වෙනත් දේශපාලනමය ඇඟිලි ගැසීම් වළක්වා ගත හැකිව තිබිණි. එම රටවල විදේශ ප්‍රතිපත්ති ජනමතය මගින් මෙහෙයවීමට පුළුවන. ඇමරිකාව අවසානයේදී වියට්නාමයෙන් ඉවත්වීමට ප්‍රමුඛ හේතුව වූයේ ඇමරිකානු ජනමතයයි. 

             අවසාන වශයෙන් තවත් යමක් කිව යුතුය. එනම් තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා සමා‍ජයේ සෙසු උදවියටත්, විශේෂයෙන්ම තරුණ පරපුරටත් ආදර්ශයක් විය යුතු බවයි. තමන්ගේ විශ්වාසය දිනාගත් පත්‍රකලාවේදීන් ඇතුළු විවිධ කලාකරුවන් තම ආදර්ශක අනුරූපයන් ලෙස ගැනීම තරුණ පරපුරේ ස්වභාවයකි. නිදහස් ලෙස, දක්ෂ ලෙස හා ආචාර ධර්මානුකූලව ක්‍රියාකරන පුවත්පත්කලාවේදියා‍ මේ අතින් සමස්ත සමාජයටම මහඟු ආදර්ශයක් වේ. 

             ඉහත සඳහන් ගුණාංග සියල්ලෙන්ම පරිපූර්ණ වූ යම් පුවත්පත්කලාවේදියකු තුන්වැනි ලෝකයේ වෙතොත් හේ නමස්කාරයට පාත්‍ර විය යුතු පරමාදර්ශී මිනිසකු වන්නේය. එහෙත් එවැනි මිනිසුන් පෘථග්ජන ලෝකයේ සිටිය නොහැකිය. එසේ වුවද පුවත්පත්කලාවේදියා පෘථග්ජනයන් අතර සුවිශේෂ පෘථග්ජනයෙකි. සමානයන් අතර ප්‍රමුඛයෙකි. එහෙයින් ඔහු තුළ එම ගුණාංග යම් පමණකින් හෝ තිබිය යුතුය. එසේම ඔහු පරමාදර්ශී වීමට නිරන්තර වෑයමක යෙදී සිටින්නකු ද විය යුතුය. මන්දයත් අනාගත අපේක්ෂාවන්ගෙන් පිරී ගිය ලක්ෂ සංඛ්‍යාත දෑස් ඔහු වෙත යොමු වී ඇති බැවිනි. එසේම ඔහුගේ ව්‍යායාමය ඔහුගේ පැවැත්මට වඩා සමස්ත සමාජයේම යහපත සඳහා කෙරෙන්නක් බැවිනි.

 දයා‍සේන ගුණසිංහ

Sunday, September 19, 2021

සටන් සගයකුගේ සමුගැනීම : ‘දිනේෂ් / පරාක්‍රම සහෝදරයාගේ’ හෙවත් වෛද්‍ය සුදත් බණ්ඩාරගේ නික්ම යාම

 


තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයා කතා කළේ උදාසනමය.

මල්ලි... මගේ ළඟම හිතවත් ඩොක්ටර් කෙනෙක් මැරිලා කොවිඩ් හැදිලා. කුරුණෑගල හොස්පිට්ල් එකේ වැඩ කළේ. මට අවුරුදු 32කින් මුණගැහිලා නැහැ. සුදත් බණ්ඩාර කියල ඩොක්ටර් කෙනෙක්. ඒ කාලෙ මාර පොරක් !

මට කුතූහලයක් දැනිණ. අවුරුදු 32කින් මුණගැහිලා නැති ළඟම මිත්‍රයෙක් !

එසේම, නම ‘සුදත් බණ්ඩාර. ඒ නම කොහේ කොතැනක හෝ කියවා මතකයක් ඇති බවක් එසැණින් මට දැනිණ.

තිස්ස සහෝදරයා අතීත මතකයක් ඔස්සේ ඇවිද යයි.

එවක, සුදත් බණ්ඩාර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසුවෙකි. පක්ෂය තුළ දිනේෂ් හෙවත් පරාක්‍රම නමින් වැඩ කළ ඔහු ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ ප්‍රමුඛ වගකීමක් දැරීය. බාහිර ආයතන සමග සම්බන්ධීකරණ වගකීම ඉටුකළ දිනේෂ් හෙවත් පරාක්‍රම සහෝදරයා දැඩි විනයකින් කටයුතු කළ දියුණු සංවිධායකයෙකි. එසේම ආරක්ෂාව ගැන දැඩි අවධානයකින් කටයුතු කළ ඔහු, සිය සගයින්ටද ඒ ගැන අවබෝධකරවමින් කටයුතු කර තිබිණ. ඔහුගේ ඒ ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම් හේතුවෙන් ජීවිත බේරාගැනීමට හැකි වූ සගයින් කිහිප දෙනෙකි. එවකට විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද සාකච්ඡාවලට සහභාගී වූ ඔහු ඒ සෑම තැනකදීම තමන් නියෝජනය කළ දේශපාලන ධාරාවේ පෞරුෂය රැකගනිමින්, කිය යුතු දේ මුහුණටම කියන්නට කටයුතු කර තිබිණ.

ම’විසින් සංස්කරණය ලද ‘රිචඩ් ද සොයිසා : නිහඬ කළ හඬ’ ග්‍රන්ථයේ එක් ලිපියක් ලියා තිබු‍‍ණේ රිචඩ් ද සොයිසා කලක් ඇසුරු කළ මිත්‍රයකු විසිනි. ඔහු රිචඩ් වෙත හඳුන්වාදීම සඳහා කැඳවාගෙන ගොස් තිබුනේ එක්තරා වෛද්‍ය ශිෂ්‍යයකු විසිනි. මේ ‘එක්තරා වෛද්‍ය ශිෂ්‍යයා’ වූයේ දිනේෂ් සහෝදරයාය. ඇත්තෙන්ම රිචඩ් ද සොයිසා සමග පක්ෂයේ සම්බන්ධීකරණ කාර්යය සිදු කිරීමට පැවරී තිබුණේ මේ දිනේෂ් සහෝදරයාටය.

ඒ ලිපියේ ඇරඹුම මගේ මතකයට නැඟිණි.

“අද රෑ විශේෂ වැඩක් යොදාගෙන තිබෙනවද?”

මගේ සමීප මිතුරකු වූ වෛද්‍ය ශිෂ්‍යයකු එසේ ඇසුවේ මා නේවාසිකාගාරයට වී සිටිද්දීය.

“නෑ. ඇයි? මොකද වෙන්න ඕනෙ?”

මම පෙරළා ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ඔහු සිහින් සිනාවක් මුවගට නඟා ගත්තේය.

අපි අද යාලුවෙක් හම්බ වෙන්න යමුද?

“හරි යමු. කොහාටද යන්න ඕනෙ?”

මගේ මිතුරා ඊට උත්තරයක් දුන්නේ නැත. මම යළිත්, හමුවීමට යන්නේ කවුරුන්දැයි ඔහුගෙන් විමසුවෙමි.

“මං දන්න විශේෂ යාලුවෙක් හම්බවෙන්නයි යන්නෙ. හැබැයි කිසිම කෙනෙකුට මේ ගැන කියන්න එපා. එයා දැක්ක ගමන් ඔයාට ඒ කවුද කියලා මතක් වේවි.”

වෛද්‍ය ශිෂ්‍ය හිතවතා මා හට පැවසුවේ මගේ කුතූහලය දෙගුණ තෙගුණ කරමිනි. එහෙත් කොතරම් ඇවිටිලි කළත්, අප හමුවීමට යන තැනැත්තා කවුරුන්දැයි ඔහු මට කීවේ නැත. එහෙත් ඔහු ඒ වෙනුවට අදාළ විශේෂ පුද්ගලයාගේ පවුල් පසුබිම පිළිබඳව යම් ප්‍රමාණයකට විස්තර කළේය. මගේ කුතූහලය උපරිම තත්ත්වයකට පත් වුවද, තවදුරටත් හාරා ඇවිස්සීමට මට හැකියාවක් නොතිබිණි. ඊට හේතු වූ සමාජ වටපිටාවක්ද ඒ වන විට ඇති වී තිබිණි.

මගේ මිතුරා මට එවැනි ඇරයුමක් කළ දිනය කවදා දැයි මට මතක නැත. එහෙත් ඒ 1989 වසරේ මැද භාගය බව නම් මතකයේ රැඳී තිබේ. විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොව, රටේ සියලු තරුණ තරුණියන්ට සුවිශේෂ අපල කාලයක් උදා වී තිබූ වකවානුවකි, ඒ...” (‘රිචඩ් ද සොයිසා : නිහඬ කළ හඬ’)

රිචඩ් ද සොයිසා ගැන ‘සිතිජය මාධ්‍ය සංසදය’ විසින් සංවිධානය කළ සමරු සම්මන්ත්‍රණයක දේශනයකට පැමිණි ගාමිණී හත්තොට්ටුවේගම මහතා අපූරු කතාවක් කියූ බව මට මතකය. “ඇත්තටම ඉතිං ඒ කාලෙ රිචඩ් ද සොයිසාගෙ මෝටර් බයිසිකලය වැඩිපුර පාවිච්චි කළේ කැම්පස්වල ළමයිනේ...”

“මට මතකයි ගොඩක් දවස්වලට රිචඩ්ගෙ ට්‍රේල් බයික් කැම්පස් එකේ හොස්ටල් එක ගාව තියනවා. රිචඩ්ගෙ  කහ පාට ට්‍රේල් මෝටර් බයික් එක වැඩිපුර පක්ෂෙ වැඩවලට පාවිච්චි කළේ දිනේෂ්...”

තිස්ස සහෝදරයා තවත් මතකයක් කම්පාවෙන් මුමුණයි.

              

ඔහුගේ කතාව අතරතුර ‘සුදත් බණ්ඩාර නම මගේ සිහියට නැඟිණ.

ස්පාර්ටකස් පොත ට්‍රාන්ස්ලේට් කරල තියෙන්නෙ ඔය ඩොක්ටර් නේද?

හරියට හරි! ඔය පොත පරිවර්තනය කරල තිබුනෙ දෙදහස් ගණන්වල මුල. මාත් ඊට පස්සෙ කාලෙක තමයි ඒක දන්නෙ. මොකද දිනේෂ් සහ පරාක්‍රම කියන නමින් මිසක්, සුදත් කියන නමින් මම මනුස්සයව දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා මර්දනයෙන් පසුව විසිරිලා ගියාට පස්සේ දිනේෂ් ජීවතුන් අතර ඉන්නවද කියලවත් දැනගන්න විදියක් තිබුනෙ නෑ.

සැබැවි. එසේ විසිර ගිය ඇතැමුන් ජීවතුන් අතර සිටියද එකිනෙකා සිටින බවක් හෝ නොදැන සිටින බව නොරහසකි.

              

මා, දෙදහස් ගණන්වල මුල් කාලයේ ‘ස්පාර්ටකස්’ නමැති මෙම පොත පරිවර්තනය වූ අවදියේදී සිටම මේ පොත සොයා ගන්නට උත්සාහ කළද, හමු නොවිණි. එහෙත් පසුගිය ජූනි මාසයේදී පොත්හලක පොත් පීරමින් සිටින අතර රාක්කයක තිබී මේ පොත නෙත ගැටුණේ අහම්බෙනි.

ක්‍රි.පූ. 71 දී රෝම අධිරාජ්‍යයට එරෙහිව පැන නැඟුණු වහලුන්ගේ මහා කැරැල්ල මේ කතාවෙහි තේමාවයි. ස්පාර්ටකස් නමැති ත්‍රේෂියානුවා මේ කැරැල්ලේ නායකයා වූයේය. තුන් වැනි පරම්පරාවේ වහලකු වූ ඔහු නුබියානු කාන්තාරයේ රන් පතලක වාල්කම් කරමින් සිටියදී ඇරීනාවේ ද්වන්ධ සටන් සඳහා වහල් හිමියකු විසින් මිල දී ගනු ලැබ ‘කැපුවා’ නම් ඉතාලි නගරය වෙත ගෙන එන ලදී. කැපුවාහි සටන් පාසලක දී වහල් මල්ලවයකු ලෙස මනා සටන් පුහුණුවක් ලබන හේ සෙසු මල්ලවයින්ද සමග එක්ව සටන් පාසල බිඳ පලා යයි. අනතුරුව මහා වහල් කැරැල්ලකට මුල පුරයි. එහිදී හැට දහසක් පමණ වහල්ලු ඔහු හා එක්ව සටන් වදිති.

හොවාර්ඩ් ෆාස්ට් විසින් ලියන ලද ‘ස්පාර්ටකස්’ නමැති ඉංග්‍රීසි පොත වෛද්‍ය සුදත් විසින් සොයමින් සිට ඇත්තේ අසූ ගණන්වල මුලදීය. එහෙත් එය ඔහුට හමු වී ඇත්තේ ඉන් වසර 20කට පමණ පසු බව ඔහු සිය පරිවර්තනයේ පෙරවදනේ සඳහන් කරයි. වෛද්‍ය සුදත් බණ්ඩාර විසින් කර ඇත්තේ සැබැවින්ම විශිෂ්ට පරිවර්තනයකි.

ඒ පරිවර්තනයේ අවසන් ජේද දෙක පමණක් උපුටා දක්වමි.

“ජනවහර පුරාවෘත්ත බවටත්, පුරාවෘත්ත සංකේත බවටත් පත්වෙමින් මිනිස් ඉතිහාස ප්‍රවාහයේ ගලා යැවෙයි. එසේ ගලා යන්නා වූ මේ සංකේත විටින් විට අවැසි තැන්වලදී උචිත අන් මිනිස් ආත්මයකට පැන ආවේශ වී අනුරූප චරිත බිහිකරමින් මිනිස් වග පුරා ජීවමාන වෙයි. ස්පාර්ටකස් වැන්නන් අතින් නිදහස පිණිස මුල පුරනු ලැබ එය අහිමි වූවන් විසින් ඉදිරියට ගෙන යන ලද සටන්වල ආලෝකය කාලය හා උච්චාවචනයට පාත්‍ර වෙමින් එහෙත් නොනිමී දැල්වෙමින් මිනිස් ඉතිහාසය පහන් කරයි. ස්පාර්ටකස්ගේ පරපුර ලේ නෑකම් අනුව පැවතෙන්නක් නොවේ. එය නිදහස වෙනුවෙන් පෙරුම් පුරන්නා වූ මිනිසුන්ගේ ආධ්‍යාත්මයෙහි ජනනය වූ ලේ නෑකම පැරයූ නිදහස්කාමය නම් බැම්මෙන් බැඳී ගියා වූ පරපුරෙක් වී. ස්පාර්ටකස්ගේ මරණයෙන් වැඩි කලක් ගෙවෙන්නට මත්තෙන් තමා විසින් නිර්මාණය කරගන්නා ලද සතුරන් අතින් රෝමය වැනසී ගියේය. පලා ගොස් සැඟවුණු වහලුන්, ප්‍රවේණිදාසයින්, බදු බරින් පීඩීත ගොවියන් හා නිදහස් ජර්මානු ඈ වනචාරී ගෝත්‍ර කණ්ඩායම් අතින් ඒ දේ සිදුවිණි.

නිකමුන් කොටසකගේ සැප උදෙසා තවත් මිනිසුන් කොටසක් නොකැමැත්තෙන් නිකරුණේ දුක් විඳිනා තැනක් අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයේ වූයේ වී නම් ස්පාර්ටකස් ඒ නමින් නොහොත් වෙනත් නමකින් හෝ විලාසයකින් හෝ ඔවුන් අතර ජීවමානය. විටෙක නිරුදක නුබියානු නිරයෙහිදී නොඑසේනම් කැපුවාහි බැටියේටස්ගේ ඇරීනාවෙහිදී ඔහු මිමිනූ බස් ඉන් මතුදු අනෙකුත් නිසා දුකට පත් උන් මුවින් මිමිණෙනු ඇත. තවත් වරෙක රෝමානු අදිරදය කම්පා කරවමින් ඔහු නැඟූ කාහලය මහා මිනිස් කැළක් නඟන්නා වූ මහා කාහලයක්ව මිනිස් මතකයෙන් කළ එළි බසියි, බසිනු නියතය.”

ඔහු නියෝජනය කළ දේශපාලන මතවාදය හරහා මේ පරිවර්තනයට අපූර්ව ජීවගුණයක් එක්කරන්නට වෛද්‍ය සුදත් සමත්ව තිබෙන බව ඒ ග්‍රන්ථය කියවීමේදී ගැඹුරින් දැනෙයි.

ඉදින්, වෛද්‍ය සුදත් බණ්ඩාර හෙවත් ‘දිනේෂ් සහෝදරයා’ හෙවත් ‘පරාක්‍රම සහෝදරයා’ මෙරට සමාජ - දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක මොහොතක නියෝජනය කළේ ‘ලේ නෑකම් අනුව පැවත නොඑන ඒ ස්පාර්ටකස්ගේ පරපුරයි.’ මරණය පෙනි පෙනී දේශපාලනය කොට අහම්බෙන් ජීවිතය ගැලවුණු අතලොස්සකට හිමි වූ ‘බෝනස් ජීවිත කාලයක්’ ඔහුටද ගෙවන්නට සිදු විණි. එකට හිඳ නික්ම ගිය සටන් සගයින් පිළිබඳ වේදනාබර මතකයන් ඔහුගේ සිත තුළ සදා මතකයක්ව තිබෙන්නට ඇත. තිස්ස සහෝදරයා නොකියන්නට ඒ ඇතැම් මතකයන් සදාකාලික රහස්ව මියැදෙනු ඇත.

මේ සටහන, වෛද්‍ය සුදත් බණ්ඩාරට මතු නොව ‘දිනේෂ් සහෝදරයාගේ හෙවත් පරාක්‍රම සහෝදරයාගේ පරපුරටම’ උපහාරයක් වනු පිණිසය.