Sunday, September 19, 2021

සටන් සගයකුගේ සමුගැනීම : ‘දිනේෂ් / පරාක්‍රම සහෝදරයාගේ’ හෙවත් වෛද්‍ය සුදත් බණ්ඩාරගේ නික්ම යාම

 


තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයා කතා කළේ උදාසනමය.

මල්ලි... මගේ ළඟම හිතවත් ඩොක්ටර් කෙනෙක් මැරිලා කොවිඩ් හැදිලා. කුරුණෑගල හොස්පිට්ල් එකේ වැඩ කළේ. මට අවුරුදු 32කින් මුණගැහිලා නැහැ. සුදත් බණ්ඩාර කියල ඩොක්ටර් කෙනෙක්. ඒ කාලෙ මාර පොරක් !

මට කුතූහලයක් දැනිණ. අවුරුදු 32කින් මුණගැහිලා නැති ළඟම මිත්‍රයෙක් !

එසේම, නම ‘සුදත් බණ්ඩාර. ඒ නම කොහේ කොතැනක හෝ කියවා මතකයක් ඇති බවක් එසැණින් මට දැනිණ.

තිස්ස සහෝදරයා අතීත මතකයක් ඔස්සේ ඇවිද යයි.

එවක, සුදත් බණ්ඩාර පේරාදෙණිය වෛද්‍ය පීඨයේ සිසුවෙකි. පක්ෂය තුළ දිනේෂ් හෙවත් පරාක්‍රම නමින් වැඩ කළ ඔහු ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ ප්‍රමුඛ වගකීමක් දැරීය. බාහිර ආයතන සමග සම්බන්ධීකරණ වගකීම ඉටුකළ දිනේෂ් හෙවත් පරාක්‍රම සහෝදරයා දැඩි විනයකින් කටයුතු කළ දියුණු සංවිධායකයෙකි. එසේම ආරක්ෂාව ගැන දැඩි අවධානයකින් කටයුතු කළ ඔහු, සිය සගයින්ටද ඒ ගැන අවබෝධකරවමින් කටයුතු කර තිබිණ. ඔහුගේ ඒ ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම් හේතුවෙන් ජීවිත බේරාගැනීමට හැකි වූ සගයින් කිහිප දෙනෙකි. එවකට විපක්ෂයේ පක්ෂ නායකයින් සමගද සාකච්ඡාවලට සහභාගී වූ ඔහු ඒ සෑම තැනකදීම තමන් නියෝජනය කළ දේශපාලන ධාරාවේ පෞරුෂය රැකගනිමින්, කිය යුතු දේ මුහුණටම කියන්නට කටයුතු කර තිබිණ.

ම’විසින් සංස්කරණය ලද ‘රිචඩ් ද සොයිසා : නිහඬ කළ හඬ’ ග්‍රන්ථයේ එක් ලිපියක් ලියා තිබු‍‍ණේ රිචඩ් ද සොයිසා කලක් ඇසුරු කළ මිත්‍රයකු විසිනි. ඔහු රිචඩ් වෙත හඳුන්වාදීම සඳහා කැඳවාගෙන ගොස් තිබුනේ එක්තරා වෛද්‍ය ශිෂ්‍යයකු විසිනි. මේ ‘එක්තරා වෛද්‍ය ශිෂ්‍යයා’ වූයේ දිනේෂ් සහෝදරයාය. ඇත්තෙන්ම රිචඩ් ද සොයිසා සමග පක්ෂයේ සම්බන්ධීකරණ කාර්යය සිදු කිරීමට පැවරී තිබුණේ මේ දිනේෂ් සහෝදරයාටය.

ඒ ලිපියේ ඇරඹුම මගේ මතකයට නැඟිණි.

“අද රෑ විශේෂ වැඩක් යොදාගෙන තිබෙනවද?”

මගේ සමීප මිතුරකු වූ වෛද්‍ය ශිෂ්‍යයකු එසේ ඇසුවේ මා නේවාසිකාගාරයට වී සිටිද්දීය.

“නෑ. ඇයි? මොකද වෙන්න ඕනෙ?”

මම පෙරළා ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. ඔහු සිහින් සිනාවක් මුවගට නඟා ගත්තේය.

අපි අද යාලුවෙක් හම්බ වෙන්න යමුද?

“හරි යමු. කොහාටද යන්න ඕනෙ?”

මගේ මිතුරා ඊට උත්තරයක් දුන්නේ නැත. මම යළිත්, හමුවීමට යන්නේ කවුරුන්දැයි ඔහුගෙන් විමසුවෙමි.

“මං දන්න විශේෂ යාලුවෙක් හම්බවෙන්නයි යන්නෙ. හැබැයි කිසිම කෙනෙකුට මේ ගැන කියන්න එපා. එයා දැක්ක ගමන් ඔයාට ඒ කවුද කියලා මතක් වේවි.”

වෛද්‍ය ශිෂ්‍ය හිතවතා මා හට පැවසුවේ මගේ කුතූහලය දෙගුණ තෙගුණ කරමිනි. එහෙත් කොතරම් ඇවිටිලි කළත්, අප හමුවීමට යන තැනැත්තා කවුරුන්දැයි ඔහු මට කීවේ නැත. එහෙත් ඔහු ඒ වෙනුවට අදාළ විශේෂ පුද්ගලයාගේ පවුල් පසුබිම පිළිබඳව යම් ප්‍රමාණයකට විස්තර කළේය. මගේ කුතූහලය උපරිම තත්ත්වයකට පත් වුවද, තවදුරටත් හාරා ඇවිස්සීමට මට හැකියාවක් නොතිබිණි. ඊට හේතු වූ සමාජ වටපිටාවක්ද ඒ වන විට ඇති වී තිබිණි.

මගේ මිතුරා මට එවැනි ඇරයුමක් කළ දිනය කවදා දැයි මට මතක නැත. එහෙත් ඒ 1989 වසරේ මැද භාගය බව නම් මතකයේ රැඳී තිබේ. විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොව, රටේ සියලු තරුණ තරුණියන්ට සුවිශේෂ අපල කාලයක් උදා වී තිබූ වකවානුවකි, ඒ...” (‘රිචඩ් ද සොයිසා : නිහඬ කළ හඬ’)

රිචඩ් ද සොයිසා ගැන ‘සිතිජය මාධ්‍ය සංසදය’ විසින් සංවිධානය කළ සමරු සම්මන්ත්‍රණයක දේශනයකට පැමිණි ගාමිණී හත්තොට්ටුවේගම මහතා අපූරු කතාවක් කියූ බව මට මතකය. “ඇත්තටම ඉතිං ඒ කාලෙ රිචඩ් ද සොයිසාගෙ මෝටර් බයිසිකලය වැඩිපුර පාවිච්චි කළේ කැම්පස්වල ළමයිනේ...”

“මට මතකයි ගොඩක් දවස්වලට රිචඩ්ගෙ ට්‍රේල් බයික් කැම්පස් එකේ හොස්ටල් එක ගාව තියනවා. රිචඩ්ගෙ  කහ පාට ට්‍රේල් මෝටර් බයික් එක වැඩිපුර පක්ෂෙ වැඩවලට පාවිච්චි කළේ දිනේෂ්...”

තිස්ස සහෝදරයා තවත් මතකයක් කම්පාවෙන් මුමුණයි.

              

ඔහුගේ කතාව අතරතුර ‘සුදත් බණ්ඩාර නම මගේ සිහියට නැඟිණ.

ස්පාර්ටකස් පොත ට්‍රාන්ස්ලේට් කරල තියෙන්නෙ ඔය ඩොක්ටර් නේද?

හරියට හරි! ඔය පොත පරිවර්තනය කරල තිබුනෙ දෙදහස් ගණන්වල මුල. මාත් ඊට පස්සෙ කාලෙක තමයි ඒක දන්නෙ. මොකද දිනේෂ් සහ පරාක්‍රම කියන නමින් මිසක්, සුදත් කියන නමින් මම මනුස්සයව දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා මර්දනයෙන් පසුව විසිරිලා ගියාට පස්සේ දිනේෂ් ජීවතුන් අතර ඉන්නවද කියලවත් දැනගන්න විදියක් තිබුනෙ නෑ.

සැබැවි. එසේ විසිර ගිය ඇතැමුන් ජීවතුන් අතර සිටියද එකිනෙකා සිටින බවක් හෝ නොදැන සිටින බව නොරහසකි.

              

මා, දෙදහස් ගණන්වල මුල් කාලයේ ‘ස්පාර්ටකස්’ නමැති මෙම පොත පරිවර්තනය වූ අවදියේදී සිටම මේ පොත සොයා ගන්නට උත්සාහ කළද, හමු නොවිණි. එහෙත් පසුගිය ජූනි මාසයේදී පොත්හලක පොත් පීරමින් සිටින අතර රාක්කයක තිබී මේ පොත නෙත ගැටුණේ අහම්බෙනි.

ක්‍රි.පූ. 71 දී රෝම අධිරාජ්‍යයට එරෙහිව පැන නැඟුණු වහලුන්ගේ මහා කැරැල්ල මේ කතාවෙහි තේමාවයි. ස්පාර්ටකස් නමැති ත්‍රේෂියානුවා මේ කැරැල්ලේ නායකයා වූයේය. තුන් වැනි පරම්පරාවේ වහලකු වූ ඔහු නුබියානු කාන්තාරයේ රන් පතලක වාල්කම් කරමින් සිටියදී ඇරීනාවේ ද්වන්ධ සටන් සඳහා වහල් හිමියකු විසින් මිල දී ගනු ලැබ ‘කැපුවා’ නම් ඉතාලි නගරය වෙත ගෙන එන ලදී. කැපුවාහි සටන් පාසලක දී වහල් මල්ලවයකු ලෙස මනා සටන් පුහුණුවක් ලබන හේ සෙසු මල්ලවයින්ද සමග එක්ව සටන් පාසල බිඳ පලා යයි. අනතුරුව මහා වහල් කැරැල්ලකට මුල පුරයි. එහිදී හැට දහසක් පමණ වහල්ලු ඔහු හා එක්ව සටන් වදිති.

හොවාර්ඩ් ෆාස්ට් විසින් ලියන ලද ‘ස්පාර්ටකස්’ නමැති ඉංග්‍රීසි පොත වෛද්‍ය සුදත් විසින් සොයමින් සිට ඇත්තේ අසූ ගණන්වල මුලදීය. එහෙත් එය ඔහුට හමු වී ඇත්තේ ඉන් වසර 20කට පමණ පසු බව ඔහු සිය පරිවර්තනයේ පෙරවදනේ සඳහන් කරයි. වෛද්‍ය සුදත් බණ්ඩාර විසින් කර ඇත්තේ සැබැවින්ම විශිෂ්ට පරිවර්තනයකි.

ඒ පරිවර්තනයේ අවසන් ජේද දෙක පමණක් උපුටා දක්වමි.

“ජනවහර පුරාවෘත්ත බවටත්, පුරාවෘත්ත සංකේත බවටත් පත්වෙමින් මිනිස් ඉතිහාස ප්‍රවාහයේ ගලා යැවෙයි. එසේ ගලා යන්නා වූ මේ සංකේත විටින් විට අවැසි තැන්වලදී උචිත අන් මිනිස් ආත්මයකට පැන ආවේශ වී අනුරූප චරිත බිහිකරමින් මිනිස් වග පුරා ජීවමාන වෙයි. ස්පාර්ටකස් වැන්නන් අතින් නිදහස පිණිස මුල පුරනු ලැබ එය අහිමි වූවන් විසින් ඉදිරියට ගෙන යන ලද සටන්වල ආලෝකය කාලය හා උච්චාවචනයට පාත්‍ර වෙමින් එහෙත් නොනිමී දැල්වෙමින් මිනිස් ඉතිහාසය පහන් කරයි. ස්පාර්ටකස්ගේ පරපුර ලේ නෑකම් අනුව පැවතෙන්නක් නොවේ. එය නිදහස වෙනුවෙන් පෙරුම් පුරන්නා වූ මිනිසුන්ගේ ආධ්‍යාත්මයෙහි ජනනය වූ ලේ නෑකම පැරයූ නිදහස්කාමය නම් බැම්මෙන් බැඳී ගියා වූ පරපුරෙක් වී. ස්පාර්ටකස්ගේ මරණයෙන් වැඩි කලක් ගෙවෙන්නට මත්තෙන් තමා විසින් නිර්මාණය කරගන්නා ලද සතුරන් අතින් රෝමය වැනසී ගියේය. පලා ගොස් සැඟවුණු වහලුන්, ප්‍රවේණිදාසයින්, බදු බරින් පීඩීත ගොවියන් හා නිදහස් ජර්මානු ඈ වනචාරී ගෝත්‍ර කණ්ඩායම් අතින් ඒ දේ සිදුවිණි.

නිකමුන් කොටසකගේ සැප උදෙසා තවත් මිනිසුන් කොටසක් නොකැමැත්තෙන් නිකරුණේ දුක් විඳිනා තැනක් අතීත, වර්තමාන, අනාගත කාලත්‍රයේ වූයේ වී නම් ස්පාර්ටකස් ඒ නමින් නොහොත් වෙනත් නමකින් හෝ විලාසයකින් හෝ ඔවුන් අතර ජීවමානය. විටෙක නිරුදක නුබියානු නිරයෙහිදී නොඑසේනම් කැපුවාහි බැටියේටස්ගේ ඇරීනාවෙහිදී ඔහු මිමිනූ බස් ඉන් මතුදු අනෙකුත් නිසා දුකට පත් උන් මුවින් මිමිණෙනු ඇත. තවත් වරෙක රෝමානු අදිරදය කම්පා කරවමින් ඔහු නැඟූ කාහලය මහා මිනිස් කැළක් නඟන්නා වූ මහා කාහලයක්ව මිනිස් මතකයෙන් කළ එළි බසියි, බසිනු නියතය.”

ඔහු නියෝජනය කළ දේශපාලන මතවාදය හරහා මේ පරිවර්තනයට අපූර්ව ජීවගුණයක් එක්කරන්නට වෛද්‍ය සුදත් සමත්ව තිබෙන බව ඒ ග්‍රන්ථය කියවීමේදී ගැඹුරින් දැනෙයි.

ඉදින්, වෛද්‍ය සුදත් බණ්ඩාර හෙවත් ‘දිනේෂ් සහෝදරයා’ හෙවත් ‘පරාක්‍රම සහෝදරයා’ මෙරට සමාජ - දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක මොහොතක නියෝජනය කළේ ‘ලේ නෑකම් අනුව පැවත නොඑන ඒ ස්පාර්ටකස්ගේ පරපුරයි.’ මරණය පෙනි පෙනී දේශපාලනය කොට අහම්බෙන් ජීවිතය ගැලවුණු අතලොස්සකට හිමි වූ ‘බෝනස් ජීවිත කාලයක්’ ඔහුටද ගෙවන්නට සිදු විණි. එකට හිඳ නික්ම ගිය සටන් සගයින් පිළිබඳ වේදනාබර මතකයන් ඔහුගේ සිත තුළ සදා මතකයක්ව තිබෙන්නට ඇත. තිස්ස සහෝදරයා නොකියන්නට ඒ ඇතැම් මතකයන් සදාකාලික රහස්ව මියැදෙනු ඇත.

මේ සටහන, වෛද්‍ය සුදත් බණ්ඩාරට මතු නොව ‘දිනේෂ් සහෝදරයාගේ හෙවත් පරාක්‍රම සහෝදරයාගේ පරපුරටම’ උපහාරයක් වනු පිණිසය.

 

No comments:

Post a Comment