Friday, April 15, 2022

1971 : අඩ සියවසකට පසු ප්‍රති විශ්ලේෂණයක්

 



1971 සිදුවීම තවදුරටත් කැපකිරීම හා වීරත්වය යන පටු චිත්‍රය තුළ තබා කියවමින් සාම්ප්‍රදායික විප්ලවීය ආස්වාදය විඳීම වෙනුවට, වසර 50කට පසුව හෝ වඩා පුළුල් චිත්‍රය තුළ එය ස්ථානගත කොටගෙන විශ්ලේෂණය කර ගැනීම අත්‍යවශ්‍යය. ඇමරිකානු මධ්‍යම තොරතුරු ඒජන්සියේ හෙවත් සී.අයි.ඒ. සංවිධානයේ බුද්ධි තොරතුරු විශ්ලේෂකයකු වූ Richards J. Heuer, (Jr.) සිය Psychology of Intelligence Analysis  කෘතියෙහි සඳහන් කරන ආකාරයට, නිගමන වරදින්නේ දත්ත $ තොරතුරුවල වරදක් නිසා නොව එම දත්ත $තොරතුරු විශ්ලේෂණය කරගන්නා ආකාරයේ වරද නිසා ය. 1971 සිදුවීම සම්බන්ධ තොරතුරු, පුද්ගල අත්දැකීම් පසුගිය වසර 50 තුළ කොතෙකුත් සාකච්ඡා වී තිබේ. නමුත් ඒ සාකච්ඡා $ විශ්ලේෂණ ලංකාව නමැති පශ්චාත් යටත්විජිත ජාතික රාජ්‍යයේ සමාජ - දේශපාලන - ආර්ථීක පටු විෂය රාමුවෙන් ඔබ්බට නොගියේය. ඒ වෙනුවට මෙම විශ්ලේෂණය '1971 සිදුවීම' ඊට පෙර කාලීන, සමකාලීන හා පසුකාලීන ලෝක ආර්ථීක - දේශපාලන මොහොත හා ලාංකේය ආර්ථීක - දේශපාලන මොහොත යන පුළුල් චිත්‍රය තුළ තබා විශ්ලේෂණය කරයි. මෙම විශ්ලේෂණය කිසි විටෙකත් 1971 අරගලයට දායක වූ පරම්පරාවේ ‘සමාජ අභිලාෂය අවතක්සේරු නොකරයි. නමුත් ‘1971 ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ අධිරාජ්‍යවාදී බල ව්‍යාපෘතියේ සවිඥානික කොටසක් බවට පාවිච්චිවීමේ පුළුල් චිත්‍රය විශ්ලේෂණය කරයි.