Friday, November 19, 2021

මවක් පුතකුට


 

පුතණුවනි,

කියමි මම නුඹට

පළිඟු පියගැටපෙළක් නොවූ වග

ජීවිතය මා හට...

 

කළාල රහිත එබිම අතුළ

ලෑලි පුවරු පැලී

ඇණද ගැල වී ගිය පතුරුද

නිරාවරණය වී තිබිණ

එනමුදු සෑම විටෙකම

නැඟ ගියෙමි ඉහළට

හැරෙමින් කොන් අසලින

ළඟා වීමි පියගැට පෙළෙහි

කෙළවර වෙත...


සමහර වෙලාවට

එළියක් නොමැති තැන

පිය නැඟුවෙමි පුතුණි

අඳුරේම

 

එනිසා පුතණුවනි,

එපා ආපසු හැරෙන්නට නුඹ

දැනුනත් නුඹට එහි දැඩි බව

එපා හිඳගන්නට පියගැට මත

එපා වැටෙන්නට නුඹ...

යනු මැනව සංසුන්ව...

                                                                                                                                                                      

තවමත් මම නඟිමින් සිටිමි

ඒ පියගැට පෙළ...

 

පුතණුවනි,

මට මගේ ජීවිතය

පළිඟු පියගැට පෙළක් නොවන්නෙය...!

 

(කළු අමෙරිකානු කවියකු වූ ලැංග්ස්ටන් හියුස්ගේ Mother to Son නමැති කවියේ අනුවාදයකි.)

'කව්මුතු'. දිවයින ඉරිදා සංග්‍රහය, 2021 නොවැම්බර් 22