Sunday, October 23, 2022

සිංහල පුවත්පත් කතුවැකි කලාවේ දයාසේන ගුණසිංහ ලකුණ

 

            රටක ජනමතය සංවිධානය කිරීමෙහිලා පුවත්පත් කතුවැකිය ඉටු කරන්නේ ප‍්‍රමුඛ භූමිකාවකි. කතුවැකියපුවත්පතේ මතවාදී ආස්ථානය, සමාජය තුළ එම පුවත්පතෙහි භූමිකාව නිරූපණය වන න්‍යෂ්ටිය ලෙස සැලකීම යුක්ති යුක්ත ය. දේශපාලනික - ආර්ථික - සාමාජික - සංස්කෘතික වශයෙන් සමාජයේ උද්ගතවන කිසියම් ප‍්‍රශ්නයක් හෝ සිදුවීමක් හෝ සම්බන්ධ ව පුවත්පත දරන මතය කතුවැකිය නිරූපණය කරයි. පුවත්පතේ විශේෂාංග ලිපියක් තුළ අදාළ ප‍්‍රස්තූතය සාකච්ඡා කරනවාට වඩා, එකී ප‍්‍රස්තූතය පිළිබඳ ව කතුවැකියලිවීම වඩාත් බලපෑම් සහගත වේ.

Monday, September 19, 2022

‘කැමීලියා’ : තිස්ස නිහාල් වික්‍රමසිංහ (සහෘද සටහනක් )

 

            ‘නවකතාවක් ලිවීම යනු පෞද්ගලික වැඩබිමක් යැයි කියැවෙන කියමනක් කොතැනකදී හෝ කියවා තිබුණා මතක ය. කාලය හා අවකාශය කළමනාකරණය, චරිත හා ගැටුම් කළමනාකරණය ඇතුළු වැඩකටයුතු රාශියක් නවකතා රචකයකුට සිය පෞද්ගලික වැඩ බිම තුළ කරගෙන යන්නට සිදු වන අතර, එම වැඩ බිම වසා දැමෙන්නේ නවකතා අත්පිටපත පොතක් ලෙස ප්‍රකාශයට පත් වූ පසුය. රචකයා සිය මනසෙහි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ඒ පරිකල්පනීය වැඩ බිමෙහි මහරු අස්වැන්න වන්නේ නවකතාවයි.

Friday, July 15, 2022

නේපාලය බිඳ දැමීමේ 2015 ඉන්දියානු සැලැසුම හා ලංකාව බිඳදැමීමේ 2022 ඉන්දියානු සැලසුම

මා විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි 2022 ජූලි 09 වන දින පළ වූ ලිපියකි.

 



ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදයේ මහ මොළකරු ඉන්දියාව බව ඉතා පැහැදිලිය. අප එසේ කියන්නේ, ඉන්දියාව විසින් 2015 වසරේ නේපාලයේ පාලන තන්ත්‍රය බිඳ දැමීමට ක්‍රියාත්මක කළ උපාය මාර්ගික සැලසුම විශ්ලේෂණය කර බැලීමේදී එහි ‘උපක්‍රමික රටාව මේ මොහොතේ ලංකාවේ ආර්ථික - දේශපාලන අර්බුදය තුළද පැහැදිලිව හඳුනාගත හැකි බැවිනි.

පුද්ගලයකුගේ හෝ සංවිධානයක හැසිරීම සම්බන්ධ බුද්ධි තොරතුරු විශ්ලේෂණයේදී හඳුනාගත හැකි සුවිශේෂ දෙයක් වන්නේ එම හැසිරීම් මාලාව තුළ ඊටම අනන්‍ය රටාවක් පැවතීම බවත්, එහි අනාගත හැසිරීම් දිශානති පුරෝකථනය කිරීම හා හඳුනාගැනීම සඳහා එම රටාව හඳුනාගැනීම අතිශයින්ම වැදගත් වන බවත් Richards J. Heuer, Jr. සිය Psychology of  Intelligence Analysis  කෘතියෙහි වැඩිදුරටත් පෙන්වා දෙයි.

             මෙම විග්‍රහය ලංකාවේ වර්තමාන අර්බුදය විශ්ලේෂණය සඳහා තියුණු මඟ පෙන්වීමක් කරයි.

Thursday, May 26, 2022

ලංකාවේ ‘මාධ්‍ය දේශපාලනයේ’ උපාය මාර්ග සකසන ඇමරිකා එක්සත් ජනපදය

     

2022 පෙබරවාරි මස 06 වන ඉරිදා ජාතික පුවත්පත්හි, මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් එම කාර්යාලයේ එක්තරා තනතුරක් සඳහා බඳවාගැනීමට පුවත්පත් දැන්වීමක් පළ කර තිබිණි. එම            තනතුර නම් කර තිබුනේ ‘පුවත්පත් සහ මාධ්‍ය විශේෂඥ යනුවෙනි.

      මෙම දැන්වීමෙහි අන්තර්ගතය විශ්ලේෂණය කර බැලීමේදී එය තවත් එක් ‘රැකියා පුරප්පාඩු දැන්වීමක් ලෙස නොසලකා හැරිය නොහැකි බවත්, එම දැන්වීමේ අන්තර්ගතය මගින් එක්සත් ජනපද වුවමනාවන් සඳහා මෙරට මාධ්‍ය - දේශපාලන න්‍යාය පත්‍රය හැසිරවීමේ උපාය මාර්ගය හඳුනාගත හැකි බවත් අපගේ කල්පනාවයි.

Friday, April 15, 2022

1971 : අඩ සියවසකට පසු ප්‍රති විශ්ලේෂණයක්

 



1971 සිදුවීම තවදුරටත් කැපකිරීම හා වීරත්වය යන පටු චිත්‍රය තුළ තබා කියවමින් සාම්ප්‍රදායික විප්ලවීය ආස්වාදය විඳීම වෙනුවට, වසර 50කට පසුව හෝ වඩා පුළුල් චිත්‍රය තුළ එය ස්ථානගත කොටගෙන විශ්ලේෂණය කර ගැනීම අත්‍යවශ්‍යය. ඇමරිකානු මධ්‍යම තොරතුරු ඒජන්සියේ හෙවත් සී.අයි.ඒ. සංවිධානයේ බුද්ධි තොරතුරු විශ්ලේෂකයකු වූ Richards J. Heuer, (Jr.) සිය Psychology of Intelligence Analysis  කෘතියෙහි සඳහන් කරන ආකාරයට, නිගමන වරදින්නේ දත්ත $ තොරතුරුවල වරදක් නිසා නොව එම දත්ත $තොරතුරු විශ්ලේෂණය කරගන්නා ආකාරයේ වරද නිසා ය. 1971 සිදුවීම සම්බන්ධ තොරතුරු, පුද්ගල අත්දැකීම් පසුගිය වසර 50 තුළ කොතෙකුත් සාකච්ඡා වී තිබේ. නමුත් ඒ සාකච්ඡා $ විශ්ලේෂණ ලංකාව නමැති පශ්චාත් යටත්විජිත ජාතික රාජ්‍යයේ සමාජ - දේශපාලන - ආර්ථීක පටු විෂය රාමුවෙන් ඔබ්බට නොගියේය. ඒ වෙනුවට මෙම විශ්ලේෂණය '1971 සිදුවීම' ඊට පෙර කාලීන, සමකාලීන හා පසුකාලීන ලෝක ආර්ථීක - දේශපාලන මොහොත හා ලාංකේය ආර්ථීක - දේශපාලන මොහොත යන පුළුල් චිත්‍රය තුළ තබා විශ්ලේෂණය කරයි. මෙම විශ්ලේෂණය කිසි විටෙකත් 1971 අරගලයට දායක වූ පරම්පරාවේ ‘සමාජ අභිලාෂය අවතක්සේරු නොකරයි. නමුත් ‘1971 ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ අධිරාජ්‍යවාදී බල ව්‍යාපෘතියේ සවිඥානික කොටසක් බවට පාවිච්චිවීමේ පුළුල් චිත්‍රය විශ්ලේෂණය කරයි.

Thursday, January 6, 2022

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ විදේශීය ඔත්තුසේවා දේශපාලනය (පුංචි පුංචි බණ්ඩලා ගැන ලොකු කතාවක්)



 

පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනයේ ස්වභාවය තීරණය කරන තීරණාත්මක සාධකයක් ලෙස විදේශීය ඔත්තු සේවාවන්ගේ මැදිහත්වීම හඳුනාගත හැකිය. එහෙත් මෙම සුවිශේෂී සාධකය විවිධ මතුපිට හැඩතල විසින් සඟවා ඇති අතර, ඒ හේතුවෙන් එම සාධකයට චිරාත් කාලයක් ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන්නට, ආණ්ඩු පක්ෂ - විරුද්ධ පක්ෂ සිය උපාය මාර්ගික භූ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කළමනාකරණය කරන්නට හැකි වී තිබේ. මෙබඳු පසුබිමක ජනතා පරමාධිපත්‍යය යන්න කෙතරම් විකාරරූපී ස්වරූපයක් ගෙන ඇත්ද යන්න වර්තමාන ලාංකේය දේශපාලනය තුළින්ම වුව හඳුනාගත හැකිය.