Showing posts with label උපහාර. Show all posts
Showing posts with label උපහාර. Show all posts

Wednesday, October 6, 2021

තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමකි. - දයාසේන ගුණසිංහ


අපේ රටේ සුවිශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහයන් අප අතරින් නික්ම ගොස් ඔක්තෝබර් 07 එනම් අද දිනට වසර 25ක් සපිරෙයි. ඔහු විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින, 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නේ ගුණසිංහ මහතා වෙත කරන උපහාරයක් වශයෙනි. දශක තුනකට පෙර ඔහු විසින් මෙම ලිපිය මගින් ඉදිරිපත් කරන අදහස් පුවත්පත්කලාවේදී ඔහු පිහිටා සිටි ආස්ථානය අනාවරණය කරන ඓතිහාසික ලේඛනයක් වන්නේය.

 

            ‘දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැ’යි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා‍ වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ. 

Sunday, November 3, 2019

කෙබඳු ගුරු තරුවක්ද නිවුණේ - කෙබඳු හදකද ගැස්ම සිඳුණේ...


ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේ නිර්මාතෘ පී.ජී. ජයසේන ගුරු පියාණන් වර්ෂ  2019ක් වූ නොවැම්බර් මස 03, එනම් ඊයේ ජීවිතයෙන් නික්ම ගියේය. පරම්පරා ගණනාවකට ඥානාලෝකය පෑදූ ඔහු මෙම විද්‍යාලය ගොඩනැඟීම සහා ගත් වෙහෙස,  මෙරට පාසල් ඉතිහාසය පිළිබඳ ලියැවෙන ග්‍රන්ථයක අනිවාර්ය පරිච්ඡේදයක් විය යුතු තරමට අපූර්වත්වයක් සහිතය.  එමතු නොව එතුමාගේ විදුහල්පති භූමිකාව, ලංකාවේ පාසලක විදුහල්පති භූමිකාව පිළිබඳ පරමාදර්ශයක් බඳුය.  එතුමා සමග  2011 වසරේදී මා විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලද මෙම ලිපිය, මෙස ඔබ හමුව තබන්න ජයසන ගුරු පියාණන්ට උපහාරයක් වශයෙනි.

Friday, September 30, 2016

ගුරුතුමනි අපේ සොඳුරූ...

''සොඳුරු අාඥාදායකයා''යැයි සුගතපාල ද සිල්වා විසින් හඳුන්වනු ලැබූවෝ, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරු ය. එසේ ම, ''ගුරුවරුන් ද'', ''සොඳුරු අාඥාදායක'' යන නාමයෙන් හැඳින්වීමට සුදුස්සන් යැයි මට සිතෙයි. ''පාසල'' නම් වූ අඩවිය තුළ වසර 13ක කාලයක් මේ ''සොඳුරු අාඥාදායකයෝ'' අපගේ ජීවිත සකස් කළහ; වෙනස් කළහ. මඟ කියූහ; මඟ තැනූහ. 

ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේදී සහ බණ්ඩාරනායක විද්‍යාලයේදී මට හමුවූ 'සොඳුරු අාඥාදායක පිරිවරක්' මේ මොහොතේ මගේ මතකයට නැඟෙයි. ඔවුන් පිළිබඳ මතකයන් දශක දෙක තුනක කාලයකට පසුවත් තවමත් අලුත් ය. ඒ මතකයන් තවමත් අලුත් වීමට හේතුව, ඔවුන් පිළිබඳ මට අැත්තේ සොඳුරු මතකයන් මිස, අඳුරු මතකයන් නො වීම විය හැකි ය.

Tuesday, September 6, 2016

සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

'සිරිල් වරුන්' තිදෙනෙක් ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී මගේ සිහියට එයි. සිරිල් ඒ. (සීලවිමල) පළමුවැන්නාය. ඔහු පුවත්පත්කලාව හා ගීත රචනා ක්ෂේත්‍රයෙහි සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. දෙවැන්නා සිරිල් බී. (පෙරේරා)ය. ඔහු පුවත්පත් කලා ක්ෂේත්‍රයේ හා සිනමා විචාර කලාවේ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. මේ 'සිරිල් වරුන්' දෙදෙනාම ජීවිතයෙන් නික්ම ගොස් කලක් ගත වී තිබේ. තෙවැන්නා වූයේ සිරිල් සී. (පෙරේරා)ය. ඔහු පරිවර්තන සාහිත්‍යය තුළ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කරමින් සිටියේය. ඔහුද පසුගියදා ජීවිතයෙන් නික්මිණ.