Friday, September 30, 2016

ගුරුතුමනි අපේ සොඳුරූ...

''සොඳුරු අාඥාදායකයා''යැයි සුගතපාල ද සිල්වා විසින් හඳුන්වනු ලැබූවෝ, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරු ය. එසේ ම, ''ගුරුවරුන් ද'', ''සොඳුරු අාඥාදායක'' යන නාමයෙන් හැඳින්වීමට සුදුස්සන් යැයි මට සිතෙයි. ''පාසල'' නම් වූ අඩවිය තුළ වසර 13ක කාලයක් මේ ''සොඳුරු අාඥාදායකයෝ'' අපගේ ජීවිත සකස් කළහ; වෙනස් කළහ. මඟ කියූහ; මඟ තැනූහ. 

ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේදී සහ බණ්ඩාරනායක විද්‍යාලයේදී මට හමුවූ 'සොඳුරු අාඥාදායක පිරිවරක්' මේ මොහොතේ මගේ මතකයට නැඟෙයි. ඔවුන් පිළිබඳ මතකයන් දශක දෙක තුනක කාලයකට පසුවත් තවමත් අලුත් ය. ඒ මතකයන් තවමත් අලුත් වීමට හේතුව, ඔවුන් පිළිබඳ මට අැත්තේ සොඳුරු මතකයන් මිස, අඳුරු මතකයන් නො වීම විය හැකි ය.


පසුගිය ඔක්තෝබරයේ අාදි ශිෂ්‍ය සංගමයේ සොහොයුරෙක්, ගුරු දිනය නිමිති කරගෙන අාදි ශිෂ්‍ය සංගමය විසින් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කරන වැඩමුළුවකට අදාළ අැරයුම්පතට කවියක් ලියා දෙන්නැයි කීය. පහත සඳහන් කවිය සටහන් කෙරුණේ ඒ වෙනුවෙනි.

''ජීවිතේ මුල්වරට
පියාඹන කුරුලු පැටවුන්ට
සිප් අහස කොතෙක් නම් විශාලද?

පියාපත් පවා බර වැඩි යැයි සිතන
කුරුලු බිළිඳුන්ට
ජීවිතය දිනන්නට - සිප් අහස තරණයට
ශිල්ප ක්ෂීරය සමග ධෙෙර්යයද පොවාලන 
නියමුවාණන් ඔබමැයි !

සැඩ සුළං - වැහි කෝඩ 
අබිමුවෙහි පසු නොබා
දැනුමෙන්ද, ගුණයෙන්ද පිරිපුන්ව
ඊ හිසක් විලාසෙන 
ඉලක්කය හඹා යනු පිණිස 
ශ්‍රී බෝධි පැටවුන්ට මඟ කියන 
ගුරු තරුව ඔබ‍මැයි ! ''

අප පාසල් ගිය කාලයේ 'ගුරු දිනය' යනුවෙන් විශේෂ සැමරුම් දිනයක් තිබූ බවක් මතකයට නො එයි. එහෙත් එබඳු දිනයක් නො වුණා කියා, ගුරුවරුන් කෙරෙහි අප තුළ වූ ගෞරවනීය හැඟීමෙහි කිසිදු අඩුවක් නො වීය. පාසල් අවධිය තුළ ගුරුවරුන්ට තෑගි පිරිනැමූ බවක් ද මතකයේ නැත. එවැනි දෑ ඔවුන් බලාපොරොත්තු වූයේ ද නැත. නමුත් වර්තමානයේ නම්, මා ලියන පොතක පිටපත් කිහිපයක් ගුරු මව්පියවරුන් කිහිප දෙනකුට පිරිනැමීම සිරිතකි. පොතක් පිරිනමා වඳින විට ඔවුන් තුළ දැල්වෙන පහන් හැඟීම, ඔවුන් සමග සිදු කරන සාමීචිය පුරා ම පවතී. මඟ තොට හමු වූ විටෙක පවා 'පුතේ පොතක් ලියුවෙ නැද්ද?'යි පහන් සිතින් විමසයි. පැරණි පොතක ගුණ දොස් පවසයි. ඔවුන් වෙතින් තවමත් හමා එන්නේ ඒ ඉපැරණි ගුරු ගුණ සුවඳ යැයි සිතමි.

මෙවර ගුරු දිනය වෙනුවෙන් සිය ගුරු මෑණිවරුන්ට හා ගුරු පියවරුන්ට පිරිනැමීම පිණිස සුබ පැතුම් පත් නිර්මාණය කරමින් සිටින දියණිය අසල සිටින මට, අපේ රටේ කවීන් ස්වකීය කාව්‍යකරණය තුළ 'ගුරු භූමිකාව' දැක අැති, විඳ අැති සැටි සොයා බලන්නට සිතෙයි. මම හුනස්නෙන් නැඟිටිමි. දියණිය හිස ඔසොවා බලයි.

''අප්පච්චි ඔය ඉතිං යන්න ද?''

''ඉන්නකො,  මමත් පොඩි වැඩකට පොත් ටිකක් අරගෙන එන්නම්...!'' 

පොත් රාක්ක පීරා කවිපොත් කිහිපයක් තෝරාගෙන නැවත එන මම, ඒ පොඩි වැඩයට ප්‍රවේශ වන්නෙමි.

පරාක්‍රම කොඩිතුවක්කු වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහුගේ 'අකීකරු පුත්‍රයකුගේ ලෝකය' කාව්‍ය සංග්‍රහය පළ වූයේ 70 දශකයේ ය. එය සමකාලීන තරුණ පරපුර හා තරුණ කවීන් තුළ ඉමහත් උද්යෝගයක් අවුළුවා ලූ කාව්‍ය සමුච්ඡයක් විණි. 'ඉවර නො වූ පාඩමක්...' යන මැයෙන් පරාක්‍රම කොඩිතුවක්කු ලියූ මේ කව අැතුළත් ව අැත්තේ එම කාව්‍ය සංග්‍රහයේ ය.

''එක එක එක කරවුන කොළ
මිදුල පුරා ගොඩ ගැහෙනව
පොල්කිච්චෙක් බිම වහලා
'ටුවික්' කියා හඬ නඟනව

පොල්කිච්චෝ නුඹ අහන්නෙ
ප්‍රශ්නයක්ද
ගුරුවරයෙක් නිසා මගෙන් ?

ජීවිතයෙන් හරි අඩක්ම 
ප්‍රශ්නවලට පිළිතුරු දී 
ඉහ සුදු වුන මගේ සිතට
තවත් ඊට සවිබල නැත

මගෙන් ප්‍රශ්න අහපු අෑයො 
දැන් කොතැනක සිටිනවාද
ඒ අය දැන් ප්‍රශ්නවලට 
දෙන පිළිතුරු මොන මොනාද?

කැලේ මල් දිගේ අකුරට අාපු ළමා
හෙලේ වලාකුළු එක්කා අාපු ළමා
දොලේ බැසා පා දොවලා අාපු ළමා
අනේ කියන් නුඹලා දැන් සිටින තැනා

ඉස්කෝලෙට පිට්ටනියක් නැහැ තිබුනේ
බස් පාරෙයි රේස් යන්න පුරුදු වුනේ
පය පිච්චෙන මහ පාරේ
මීටර් සියයක් දිවුවේ
වංගුව ළඟ වාහන ගැන
සෝදිසියෙන් මං සිටියේ...

නුඹලා දැන් කොහේ අැද්ද
කොහේ වුනත් 
අත උස්සා මට පේන්ඩ
'සිටිමි' කියාපන් අැහෙන්ඩ

එදා වගෙම අදත් උඹල
මහ වැස්සට තෙමෙනවාද
කුනාටුවට අසු වුනාද
දොළ තරණය කරනවාද
ඉරේ සිනා දකිනවාද
පාර දිගේ දුවනවාද
ජය කනුවක් දකිනවාද?

ජීවිතයෙන් හරි අඩක්ම
ප්‍රශ්නවලට පිළිතුරු දී
ඉහ සුදුවුන මගේ සිතට
තවත් ඊට සවිබල නැත. ''

1989 දෙසැම්බරයේ, කුමාර හෙට්ටිඅාරච්චිගේ සිව්වන කාව්‍ය සංග්‍රහය වූ 'රුවන් සක්මන' එළි දුටුවේ ය. එහි අැතුළත් 'ඉස්කෝලයේ අම්මාවරු' යන කවිය සමකාලීන අවධියේ ගුරුවරුන්ගේ සමාජ පසුබිම කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී අැති බව පෙනේ.

''කටු සාරිය පොරවාගෙන 
ඩිප්ලෝමා සහතිකයක් ඉහළාගෙන
ඉස්කෝලේ අම්මාවරු
ඩෙස් පුටු නැති මහපාරේ බිම බලාන
බස් නැවතුම ළඟ වැඩ හිඳ

මළ පොත පපුවට තබාන 
අනාගතය හෑන්ඩ් බෑගයේ දමාන
ලුණු දාඩිය චේන් පොටට
බරට බරේ කඳුළු තැල්ල පළඳවාන
අතේ මැණික් කටුව ගාව
සැලෝලයිඩ් පාරා වළලුද දමාන.

රූපත පැහැපත රූපත
තක්සලාවේ අකුරු උල්පත 
එකම හැන්දෙන් ශිල්ප බෙදනා
වළං හූරන කටුක අත් දෙක

හැට පිරුණම
පැන්ෂන් ගොස් බිමින්ම යන
සතොසේ කුළුබඩු තෝරන 
සීට්ටුවෙන් සීට්ටුවට වයසට යන

බඳ වටේට රිදී හවඩි සර්පයාය
පිළිකන්නේ උඩු බුරනා ණය තුරුස්ය
අාර්ථිකය පෙනේ කරන වේ තුඹස්ය
අාමාශේ කොස් පොළොස්ය

කකුස්සියට කටක් ගන්ට
උකස් තැබුව මඟුල් මුද්ද
සේප්පුවක් සිරබත් කන හැටි මතක්ව
දෙතනේ ලේ කිරි වියැළී
කිරි පිටි සේ කැටි ගැසිලා

පඩි පතින් ඔරුවක් තනාගෙන
මදුරු දැලකින් රුවල් බැඳගෙන
කෙසේ තරණය කරනු හැකිවෙද
සංසාර සාගරේ දිය කඳ

හදවතම කළු ලෑල්ලක් වී
ලෝක සිතියම අැඳී බැබළෙන
පෙනෙයි තුන්වන ලෝකයේ රුව
දිරාපත් දර ඉපල්ලක් ලෙස''

මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ 'විසි වසක ශේෂ පත්‍රය'  කාව්‍ය සංග්‍රහය එළි දුටුවේ 1992 වසරේ ය. එහි එන '1989 හෙවත් එතැන් සිට' මැයෙන් වන කව, 88-89 ශිෂ්‍ය අරගලය දෙස ගුරුමවක/ගුරුපියකු හෙළන දයාර්ද්‍ර බැල්මකි.

''ගුරු වත සොයා ගිය මවුපිය දකින්නට
රට වට නැණ පහන් වැට සෑදූ දරු නොමැත
සලමින් අකුරු හැම තැන නොතැන වටපිට
කිම්දැයි දරුවනේ බැසලා මහ මඟට?

දැකලා අායුබෝවන් කීවේ නැතුවා
ගාථා සිලෝ කව් ගී අැසුණෙ නැතුවා
හඬක් මිසක වදනක් අැසුණේ නැතුවා
වදනක් නැතිව අරුතක් නැගුණේ නැතුවා

කාල කල්ප මඳ මඳ ඉතිරිව පැවතී
බැති මල් මැලව ගුරු පා මුල අැද වැටෙතී
විදුලි රැසින සිසු ගණ අැසි පිය සැලෙතී
බලනුය දිසාපාමොක් උතුමෝ හඬතී

තරග වැද පැරද වැටෙමින්ම එදා එදිනෙදා
ගණිත මිනිත අංශක නොවරදන ලෙදා
තරග ජය මතුර පිදු එම අැදුරු සඳා
කලල ගිලුණු ගිජිඳකු විය යුතුද මෙදා

අැතිද සැකක් පාඩම වැරදුණු වගට
කරුණු නොවේමය එය දෙමඟෙක යන්ට
දිරිය වෙද ගිලුණු නැණ නැව් ගොඩලන්ට
නැකත දැන් අලුත් පාඩම කියවන්ට''

යමුනා මාලනී පෙරේරාගේ 'බිංගෙයි සැණකෙළිය' නමැති සිව්වන කාව්‍ය සංග්‍රහය 1992 දෙසැම්බරයේ පළ විණි. 'ගුරු ගීතය' එහි අැතුළත් කවකි. පංති නාම ලේඛනයේ නම අැතත්, ඒ සිසුන් තවදුරටත් වාඩි නො වන හිස් පුටු රැසක් සහිත පංති කාමර 1990 දශකයේ මුල භාගයේ කෙතෙක් නම් මෙරට පාසල් තුළ වී ද? එවක ගුරුවරුන් තුළ කැකෑරුනු කවිය ලියන්නී යමුනා ය.

''අහවරය නෙළුෑ මල් පිපුණු මල් පරවුණිය
තවත් මල් පිපේදැයි කියන්නට නම් බැරිය
නාලිනීලා නොමැත මල් පිපීදැයි බලන
ඉදින් කවදා එයිද මලින් පසු ඵල සමය

වවුලනේ වඳුරනේ සිත් පුරා ඵල ඉරූ
ඵල සපිරි ගස් සොයා තිස් පැයම සැරි සැරූ
ගල් ගසා පොලු ගසා ඵල කඩා ගෙන ගිහින් 
ගමත් ගිනි තියා උන් පාසලත් බිඳ ගිහින්

පොත් මිටිය වඩාගෙන දෙවැට දිග කිරි සුදට
පා  නැඟූ සාමලා අමරලා නැත අදට
අමරලා මිය ගොසිනි සාමලා ගොස් යුදට
නාලිනී...! කියන්නත් දුකයි මේ වග නුඹට

මල් සුවඳ විලක් වෙන් ! විලෙන් නිව් ගින්දරෙන්
විල් ජලය ගඟක් වෙන්! ගඟෙන් එගොඩවැ වරෙන්
ගල්ලෑලි පොත් වඩන් ගන්න සිප් නැණ වරම්
එන්න සාමත් එක්ක මල් අරන් සුන්දරම් !''

කලක් විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කළ රත්න ශ්‍රී විජේසිංහගේ සිව්වන කාව්‍ය අස්වැන්න, 'සල් ගහ යට' කාව්‍ය සංග්‍රහයයි. ගුරු වෘත්තියේ දුක්ඛ දෝමනස්සයන් අත් විඳිමින්, එහි හැටි සොබා පිරිසිඳ දත් ඔහු අතින් ලියැවෙන 'දුප්පත් ගුරුවරයාගේ යථාර්ථවාදය' කවිය එම කාව්‍ය සංග්‍රහයේ අපට හමුවෙයි.

''පෙදෙහි රස හව් විඳුනා
පුෂ්ටිමත් ගුරුවරු
ගිලදමත්වා මේ කව්
විළිකුන් සුරත් පල නම්

පල'ග මුතුලැල් ලෙළදුන් 
තරසර හිවි මහල්
පෙනී සිහිනෙන් පිබිදෙම්
දිරූ වහලේ අැඟිලි අතරින්
වැගිරෙනා වැහි වතුරෙන්

පණුවන් කෑ දත් කැකුළු
පාමින් සොටු සූරමින්
දරුවෝ කෙළිති ගෙබිමේ
දුප්පත්කමේ ලගිමින් 
මිරි මිරියේම මඬිමින්

කඩේ ණය පොත සරසන
නින්දෝපමා ලංකෘත
විරිත බිඳ බිඳ නැඟෙනා
කනට අමිහිරි රිද්මය

විචාරය නොඉවසන
කන්තෝරු දොරකඩ
ව්‍යංජනා ගුණ නැති 
රොස් පරොස් බස් එළිවැට

කිසි දා මට නොවැටහෙන
මේ බ්‍රහ්මාස්වාදය
විඳගනු මැනවි රිසිනම්
දරුවනි, තොපට පවරම්''

රත්න ශ්‍රී විසින් ම ලියැවුණු 'තරු ලකුණ' අාඛ්‍යාන කාව්‍යය ගුරුවරයකු කේන්ද්‍ර කොට ගත්තකි. එය පළ වූයේ 1997 දෙසැම්බරයේ ය. එම අාඛ්‍යාන කාව්‍යය අාරම්භයේ ඔහු විසින් සටහන් කරනු ලබන්නේ මේ කවියයි.

''සමනොළ ගල වනන්තරේ මල් යහන
සකිසඳ නුඹ එම යහනට සඳ පහන
සිඹ සනහා එහි නිදනා කිරි සිහින
කිරි මවු දෝ නුඹ ස‍ුමිතුර කිරි පොවන

ඉස්කෝලේ මානා හෙවණට බැඳුන
මකුළු දැලේ උඩු වියනේ මුතු බඳින
සීතල හිරිකඩ දෙපතුල් ළඟ අඬන
සකි සඳුනේ සුව නැත දළ රළු යහන

නොපෙනේ පාර නිවිලා සඳකඩ පහණ
ගල්කණු වැට දෙපස මුරගල් නිදි කිරන
මැරිලා පලාපෙති ලියවැල් කොළ හැළුණ
නැඟිටින් සුරත් සකිසඳ නිමකොට සිහින

මෙබිම දුකට බෙහෙතක් වී වල් වැදුන
සස්සඳ සඳරාජ ඉරමුසු වන උයන
ඔෟෂධ හෙට දවසට වේ නම් අගුණ
කොතැනක හරි අැති බෙහෙතක් පිරි මහින

හාමත් පැටවුන්ට දුක සැපතැයි සිතන
පහනක් වෙමින් බැබළී පාසල මුදුන
නොනිවී සුළඟින් සිව් දිග සිට හමන
අවුලා ලිය යුතු දස දහසක් නුවන

රොනින් පිරී රාෙන්සුණු සඟවා තබන
මලක් නාෙවී වන ගැබ පරවී වැටෙන
කුරුල්ලකු වෙමින් නව යුගයට අඬන
ඉතින් නැඟෙනු මැන මා පිය සකි සඳින.''

කලක් ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ චන්දන සිරිමල්වත්තගේ 'අකල් නිද්‍රාව' කාව්‍ය සංග්‍රහය පළවූයේ 2000 මාර්තු මසදී ය. 'පාසලේ පංති සටන්බිම' කවිය එහි අැතුළත් කවියකි. 

''උදෑසන මම ගමන් අරඹමි
බෝ දුරක් යා යුතුය පෙරමඟ
දුක් පීඩාවන්ට එරෙහිව
සටන් අැවිලේ පාසල් බිමෙහි

පැන්සල් කැබලි රැගෙන පැමිණෙන
උන්ය මාගේ සටන් සගයන්
හුණු කැබැල්ලකි මා අත
විටෙක එය කගපත ඉක්මවනු අැත

කටු මැටි ගෙයින් නික්මී
පීඩිත මුහුණු රොක්වන
දුක්බර දිවිය පරයන
නිර්ධන පාසලය මේ

වේවැල් කෝටු නැත...
සටන් බිම මේය අපහට
දුක්බර පසල් ජනපදයට
ගෙන එමි පංති ප්‍රේමය

දුෂ්කර ක්‍රියාවට මේ
වෙහෙසෙමි විඩා මට නැත
දුක් පීඩා නිබඳ
විඳ ගමි සටන් සගයින් මැද

හුණු කැබැල්ලකි මා අත
පැන්සල් කැබලි උන් අත
අවැසි නම් අසිපත් 
ලෙළවන්ට දිරිය සිත් අැත''


අාසන්න දශක හතරකදී කවීන් සිය කවි සිතුවම්හි ගුරු භූමිකාව විවරණය කර අැත්තේ එලෙසිනි. ඒ කවි තුළ සිට අප සිත් පිරිමදින ඒ ගුරු ගුණ සුවඳ, සදාකල්හි ම අප ජීවිතවලට අනුප්‍රාණය එක් කරනු නිසැකයැයි මට සිතෙයි.

දියණියගේ සුබපැතුම් නිර්මාණයට එබී බලමි.

''අනේ දැන්ම බලන්න එපා අප්පච්චි.''

අැය සුබපැතුම් පතක් සැණෙකින් සඟවා ගනිමින් පවසයි.

''ඉවර කරලම පෙන්නන්නම්කෝ...!''

මම නැවත පාසල් දිවියේ ඉපැරණි ගුරු ගුණ සුවඳ පිළිබඳ මතකයන් සොයා අතීතය වෙත පිය මනිමි. (ගුරුතුමනි මගේ සොඳුරූ ගීතය - ශාලිත අබේවික්‍රම)

2 comments:

  1. හරි ලස්සන පද වැල් එකතුවක් ප්‍රභාත්..ස්තුතියි මේ පෙළ ගැස්මට... අර සුබ පැතුම් පත දකින්න මටත් ආසයි...

    ReplyDelete
  2. ස්තූතියි නිම්නි.
    සුබ පැතුම්පත ඉල්ලා ගන්න අමතක වුණානෙ. මේ දවස්වල, දුව ලකුණු 183ක් ලබා ශිෂ්‍යත්වය සමත්වීමේ සතුට විඳිමින් ඉන්නේ..

    ReplyDelete