Showing posts with label විචාර. Show all posts
Showing posts with label විචාර. Show all posts

Monday, September 19, 2022

‘කැමීලියා’ : තිස්ස නිහාල් වික්‍රමසිංහ (සහෘද සටහනක් )

 

            ‘නවකතාවක් ලිවීම යනු පෞද්ගලික වැඩබිමක් යැයි කියැවෙන කියමනක් කොතැනකදී හෝ කියවා තිබුණා මතක ය. කාලය හා අවකාශය කළමනාකරණය, චරිත හා ගැටුම් කළමනාකරණය ඇතුළු වැඩකටයුතු රාශියක් නවකතා රචකයකුට සිය පෞද්ගලික වැඩ බිම තුළ කරගෙන යන්නට සිදු වන අතර, එම වැඩ බිම වසා දැමෙන්නේ නවකතා අත්පිටපත පොතක් ලෙස ප්‍රකාශයට පත් වූ පසුය. රචකයා සිය මනසෙහි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ඒ පරිකල්පනීය වැඩ බිමෙහි මහරු අස්වැන්න වන්නේ නවකතාවයි.

Thursday, January 16, 2020

''විෂම'' භාග : පරිපූර්ණත්වය පිණිස


      

ලලිත් රත්නායකගේ රූප මාධ්‍ය පෙළහර අප මෙතෙක් දැක තිබුණේ රූපවාහිනී මාධ්‍යයෙනි. එනම්, ටෙලි නාට්‍ය වශයෙනි. එහි දී, ලලිත් සිය අනන්‍යතා සුළකුණ සටහන් කළේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයාට ඉන් පෙර හමු නො වූ අත්දැකීම් ඉසව් සංස්පර්ශ කරමිනි. එපරිද්දෙන් ම, ලලිත් සිය සිනමා ආගමනයේ පළමු පිය සටහන වන 'විෂම භාග' සිනමා ප්‍රේක්ෂකාගාරය අභිමුව තබන්නේ ද එබඳු භාවිතයකිනි.

Friday, March 2, 2018

'සුසුමකින් සුළි සුළං' මවන ලක්ශාන්ත අතුකෝරලගේ කෙටි කවි

බණ්ඩාරනායක විද්‍යාලයේ 13-M පංතියට ගුරුතුමා තව ම පැමිණ නැත. එක්වරම උස්ව නැඟුණු මිතුරු සිනාවක හඬින් මගේ අවධානය බිඳෙයි. කියවමින් සිටි සඟරාව අතරින් හිස මෑත් කොට හාත්පස බලමි. පොකුණ මැද වන, වැළපෙන විලෝ තුරු මුදුන්, පංතියේ කෙටි තාප්පයට ඉහළින් පෙනෙයි. මිතුරු සමූහයන් තැන තැන විවිධ සාමීචිවලය. ඒ අතර, සංජීවියා නිවීහැනහිල්ලේ සිතුවමක් අඳින්නට පටන්ගෙනය. මධුරංගයාද, මහින්දයාද ඒ අසල ගැවසෙති. ඒ සිත්තර තුන් කට්ටුව එදා සිට එහෙමය. ඔවුනට යාබද අසුනක හිඳ පොතක අග පිටුවේ නිහඬවම යමක් කුරුටුගාමින් සිටින්නේ ඔහුය. ලක්ශාන්තයාය. කුරුටුව නිසැකවම කවියක් විය යුතුය.

හතලිස් අැඳිරිය අතරින් මැවෙන්නේ විසි වසක් ඉපැරණි මිතු සිතුවම්ය. ඒ ස්මරණ සිතුවම් අතරින් මම අැවිද එමි. නවතිමි.

Monday, October 31, 2016

මේ යසෝදරා හැර තවත් යසෝදරාලා නොසිටිත්ද?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල උණුසුම කෙමෙන් හීන වී යමින් තිබෙන මේ මොහොතේත් මට යසෝදරා සිහිවෙයි. පසුගිය සැප්තැම්බරයේ පොතක පිටු අතර අැය මට හමුවිණි.  ''ඉඩක් දෙන්න අැස් අරින්න'' යැයි අායාචනා කරමින් අැය සිටියා ය. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල යට සිට අැගේ ඉල්ලීමේ හඬ නින්නාද වනු මට දැනේ. අැගේ ඒ ඉල්ලීම පෞද්ගලික ඉල්ලීමක් නො ව, සමස්ත පාසල් ශිෂ්‍ය සංහතිය වෙනුවෙන් කරන ඉල්ලීමක් යැයි සිතේ. මේ 'යසෝදරාවත' ලාංකේය පාසල් අධ්‍යාපන යාන්ත්‍රණයේ සැඟවුණු පැතිකඩක් නිරාවරණය කරන්නකි. සිසුන්ගේ ද, දෙමව්පියන්ගේ ද, ගුරුවරුන්ගේ ද අැස් අරවන්නකි. ඉතිං ''නව යසෝදරාවතක්'' ලියූ අැය යසෝදරා දීපචන්දි ගුණසේකර ය. අෑ ලියූ කෘතිය ''ඉඩක් දෙන්න අැස් අරින්න'' ය. 

Thursday, October 20, 2016

'මකර තොරණේ' විස්තරය හෙවත් ප්‍රභාත් ජයසිංහ සහ මාකේස්ගේ අාච්චි

ප්‍රභාත් ජයසිංහගේ 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහය කියවද්දී මගේ සිහියට අාවේ ගේබ්‍රියල් ගාෂියා මාකේස්ගේ අාච්චි ය. ප්‍රභාත් සහ මාකේස්ගේ අාච්චි සම්බන්ධවන මේ හතර බීරි කතාව කුමක්දැයි ඔබට සිතෙන්නට පිළිවන. මාකේස් සිය 'හුදෙකලාවේ සියවසරක්' කෘතියේ පෙරවදනෙහි මෙසේ කියා තිබිණ.

''මගේ මිත්තණිය අද්භූත හා මායාකාරී දේවල් කියූ මුත් අෑ එ්වා සම්පූර්ණ ස්වාභාවික අාකාරයකින් කීවාය. වඩාත්ම වැදගත් දෙය වූයේ අැගේ මුහුණේ ස්වරූපයයි. කතන්දර කියද්දී අැය තම බැල්ම කොහෙත්ම වෙනස් නොකළ අතර, ඉන් සියලු දෙනාම මවිතයට පත් වූහ. මීට පෙර ලිවීමට ගත් උත්සාහයන්හිදී මම කතාන්දරය එය විශ්වාස නොකරමින් කියන්නට වෑයම් කළෙමි. මා කළ යුත්තේ එ්වා විශ්වාස කරමින් මගේ මිත්තණිය ඒවා කියූ විලසින් ගඩොලින් කළාක් බඳු මුහුණෙන් යුතුව කීම බැව් මට තේරුම් ගියේය.''

Wednesday, October 5, 2016

ලක්ශාන්ත අතුකෝරල : සමහර මතකයන් සමග 'සමහර කමටහන්' කියැවීමක්

ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ 1996 කලා අංශයෙන් බිහි වූ මෙරට විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙක් සිටිති. ඒ, සංජීවී සෙනෙවිරත්න සහ ලක්ශාන්ත අතුකෝරල ය. සංජීවී, දියසායම් සිතුවම් කලාවෙහි ස්වකීය සුලකුණ සනිටුහන් කළ තරුණ සිත්තරෙකි. ලක්ශාන්ත, සිංහල කවිය තුළ ස්වකීය සුලකුණ සනිටුහන් කළ රාජ්‍ය සම්මානලාභී තරුණ කවියෙකි.

ලක්ශාන්ත බණ්ඩාරනායක විද්‍යාලයේ උගනින අවධියේ පටන් ම සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තැනක සිටියේ ය. පාඨශාලාන්තර සාහිත්‍ය නිර්මාණ තරගවලින් ජය ලැබූවන් අතර පළමු තැන නිතර ම වෙන් ව තිබුණේ ලක්ශාන්තට ය. විද්‍යාලයීය නිර්මාණ පර්ෂදයේ බිත්ති පුවත්පතෙහි ඔහුගේ කාව්‍ය නිර්මාණ නිතර පළ වී තිබූ වග මතක ය. ඒවාහි නිර්මාණාත්මක ගුණය සමවයස් ශිෂ්‍ය මට්ටම ඉක්මවා තිබිණි.

Thursday, July 28, 2016

''තියුණු අසිපතක සෙවණ‍ යට'' - කැඩපත අභිමුව සිට...



තමිළිනී ජෙයක්කුමාරන්ග‍ේ ''තියුණු අසිපතක සෙවණ‍ යට'' පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වන්නට සිතාගෙන සිටියද ඒ අවස්ථාව මඟ හැරිණි. පොත මිලදී ගන්නට සිදු වූයේද දින කිහිපයක් පමා වීය.


තමිළිනීගේ පොතෙහි පසු කවරයෙහි වන, ඇය කොටි සංවිධානයේ නිල ඇඳුමින් සැරසී සිටින සේයාරුව මග‍ේ ඇසට වඩාත් හුරුපුරුදු ය. මතකය දශකයකට එහා අතීතය වෙත ඇදීයයි. 2002-2008 කාල වකවානුවේ පුවත්පත්කලා කටයුතු සම්බන්ධ මතකයන් අතරින්, එවක යුද්ධය සම්බන්ධ ලිපි සංස්කරණය කරමින් සඟරාවේ පිටු නිර්මාණ කරන විට කොටි සංවිධානයට අදාළ සේයාරූ පිරික්සද්දී ඇගේ රුව රැගත් එබඳු සේයාරූ නිතර හමු වූ බව සිහියට නැ‍‍ගෙයි.