Monday, October 28, 2019

රිචඩ් ද සොයිසා : නිහඬ කළ කටහඬ



ඒ, අනූව දශකයේ අගභාගයයි. හැම විට ම පෙබරවාරිය උදා වූයේ රිචඩ් ද සොයිසා ගැන මතකයන් අවදිකරමිනි. ඔහුගේ මාධ්‍ය භාවිතයන් විමර්ශනය කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කියවමින්, ඔහු ගැන සමරු සම්මන්ත්‍රණ, වැඩසටහන් පැවැත්වීම සඳහා මිතුරන් සමග වෙහෙසෙමින් ගෙවූ ඒ කාලය වේගයෙන් ඉපැරණි ව ගොස් ය.
ශ්‍රියන්ත වල්පොළ විසින් ගන්නා ලද, කාලයක් තිස්සේ පොත් රාක්කය මත වන, රිචඩ් ද සොයිසාගේ ප්‍රසිද්ධ ම සේයාරුව දෙස හැරී බලමි. දෑත් නිකටට තබාගත් රිචඩ්, වම්පස බලා හිඳින ආකාරය සටහන් වූ ඒ සේයාරුව ඔහුගේ ජීවිතය පිළිබඳ බොහෝ දෑ නිහඬ ව දරා හිඳිනු වැනි ය.
මීට වසර 29කට පෙර, එනම් 1990 පෙබරවාරි 18 වන දා අලුයම, පොලිස් කණ්ඩායමක් විසින් රිචඩ් ද සොයිසා පැහැරගෙන යනු ලැබිණි. ඉන් පැය කිහිපයකට පසු මොරටුව, කොරලවැල්ල මුහුදු වෙරළේදී රිචඩ් හමුවිණි. එහෙත් ඒ, වධ දී හිසට හා ගෙලට වෙඩි තබා ඝාතනය කරන ලද රිචඩ්ගේ මළ සිරුර ය.
1990 පෙබරවාරි 20 වන දින පෙරවරුවේ කළුබෝවිල රෝහලේදී එක් මවක් තම පුතුගේ මරණ පරීක්ෂණයේදී මෙසේ කියා සිටියා ය.
''17 වැනි සෙනසුරාදා රාතී්‍ර 10.00ට පමණ මා නින්දට ගියා. ඉරිදාට එළිවීමට පෙර අලුයම 3.00ට පමණ නිවසේ සීනුව නාද කරනු ලැබුවා. මා ඒ අවස්ථාවේ නැඟිට නිවසේ කවුළුවෙන් බලන විට අවිගත්, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් කෙනෙකුත්, කළු ටී ෂර්ට් එකක් හා දිග කලිසමක් ඇඳගත් කෙනෙකුත් සිටිනු දුටුවා. ඒ සමග තවත් හතර දෙනෙකුත් සිටි අතර ඔවුන් සියලු දෙනාම ආයුධ අතැතිව සිටියා. මා ඒ අවස්ථාවේ සිටියේ නිවස තුළයි. පිටස්තර කවුරුවත් නිවස තුළ සිටිනවාදැයි අසා නිවස පරීක්ෂාකරන්න ඕනෑ යැයි ඔවුන් කීවා. මා එවිට ඔවුන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටියා. ඒවා දෙන්න වුවමනාවක් නැහැයි ඔවුන් කීවා. හැඳුනුම්පත් නැතිනම් ඔවුන්ට ගෙට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බව මා කියා සිටියා. මා එසේ කී විට ඔවුන් වෙඩි තැබීම සඳහා ගිනි අවියක් සකස් කළා. ඉන් ඇතිවූ බිය නිසා මට දොර අරින්න සිදුවුණා. එයින් කිහිප දෙනකු මගේ කාමරයට ගොස් සෝදිසි කළ අතර, අනෙක් අය පුතාගේ කාමරයට ගොස් ඔහු පිටතට රැගෙන ආවා. පුතාට පහළට එන්නැයි ඔවුන් කීවා. පුතා ඔවුන්ට කිවුවා zපහළට යන්න ඕනේ නැහැ, මෙතැනදී ප්‍රශ්න කරන්න කියලා. එවිට ඔවුන් මගේ පුතාව පහළට ඇදගෙන ගියා.  එසේ ගෙන ගොස් ජීප් රථයකට නංවා ගත්තා. පැමිණි අයගෙන් දෙදෙනකු මට හඳුනාගන්නට පුළුවන්. පුතා රැගෙන ගිය කොළපාට ජීප් රථයේ අංකය  32 ශ්‍රී 4748 වශයෙන් සඳහන් වුණා. මා වහාම වැලිකඩ පොලීසියට ගොස් සිද්ධිය ගැන පැමිණිලි කළා. සඳුදා රාත්‍රී 8.00ට පමණ පොලීසියෙන් පැමිණ මගේ පුතාට සමාන මළ සිරුරක් කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තිබෙන නිසා එය හඳුනාගැනීමට ඉදිරිපත්වන ලෙස මට දැන්වූවා. ඒ අනුව මා රෝහලට පැමිණ එම මළ සිරුර මගේ පුතාගේ බව හඳුනාගත්තා. මෙම මරණයට කවර කරුණක් හේතුවුණාද කියා කියන්න මම දන්නේ නැහැ. පුතා පුවත්පත් කලාවේදියකු හා රූපවාහිනී නිවේදකයකු හැටියට කටයුතු කළා. එපමණයි...''
ඒ අම්මා මනෝරානී සරවනමුත්තු ය. ඒ රිචඩ්ගේ අම්මා ය.
ඉනික්බිති අපේ රටේ සිය දහස් ගණනක් මව්වරුනට රිචඩ් සිය පුතා බඳු විය. තමන් වෙතින් පැහැර ගෙන ගොස් ඝාතනය කෙරුණු තම පුතා බඳු විය.
රිචඩ් ද සොයිසා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පාසල් අවධියෙහි ඔහු සුවිශේෂී දක්ෂතා රැසක් සහිත ශිෂ්‍යයකු වූයේ ය. ඒ අවධියේ ඔහුගේ කැපී පෙනෙන දක්ෂතා එළිදුටුවේ කථීක, කාව්‍ය නිර්මාණ හා රඟපෑම යන අංශ තුනෙනි. එවක විද්‍යාලය මගින් ඉංගී්‍රසි සාහිත්‍යය සඳහා පිරිනැමුණු විදුහල්පති සාහිත්‍ය ත්‍යාගය, පීරිස් සිරිවර්ධන රන් පදක්කම හා ආර්න්ඩ් ත්‍යාගය යන ත්‍යාග තුන ම දිනාගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා වූයේ රිචඩ් ය. එමෙන් ම, ඔහු විද්‍යාලයීය සාහිත්‍ය සඟරාවේ සම සංස්කාරකවරයා ද වූයේ ය. එසේ ම, අන්තර් පාඨශාලයීය ෂේක්ස්පියර් නාට්‍ය තරගාවලියේ හොඳ ම නළුවාට හිමි සම්මානය දෙවරක් ම (1973 හා 1975වර්ෂවලදී) දිනාගැනීමට සමත් වූ එක ම ශිෂ්‍යයා වූයේ ද රිචඩ් ය. විද්‍යාලයීය විවාද කණ්ඩායමෙහි නායකයා වූ ඔහු, විද්‍යාලයේ ක්‍රියාත්මක කෙරුණු  ආදර්ශ පාර්ලිමේන්තුවෙහි නිදහස් සමාජවාදී පක්ෂයේ නායකයා වශයෙන් ද, කතානායකවරයා වශයෙන් ද, ඇමතිවරයකු වශයෙන් ද කටයුතු කළේය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන මධ්‍යම පාන්තික සිසුනට බොහෝවිට  නො පිහිටන, ලාංකේය සමාජය පිළිබඳ වෙනස් මානයක දැක්මක් ඔහු තුළ එවක පටන් ම වැඩෙමින් තිබිණ.
ඉන්පසු ඔහු බ්‍රිතාන්‍ය මණ්ඩලය සමග නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය ගණනාවකින් ද ''යුගාන්තය'' හා ''සත්‍යග්‍රහණය'' යන සිනමා නිර්මාණවලින් ද, ''යශෝරාවය'' ටෙලි නාට්‍යයෙන් ද සිය රංගන කුසලතා විදහා දැක්වීය. එමෙන් ම, ඉංග්‍රීසි පුවත්පත්කලාවේදියකු ලෙසත් රූපවාහිනී නිවේදකයකු ලෙසත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිය භූමිකාව අනන්‍යතාවක් සහිත ව ගොඩනඟා ගැනීමට ඔහු සමත් විය. රිචඩ් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජාතික තලය ඉක්මවා ජාත්‍යන්තර තලයට ද ප්‍රවිෂ්ට විය. රෝමය මූලස්ථානය කරගනිමින් ස්ථාපිත, ''ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ'' ශ්‍රී ලංකාවේ හා ආසියානු කලාපයේ නියෝජිතයා වශයෙන් සේවය කළේ රිචඩ් ය. ඉන්ටර් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ රෝමයේ ඉංග්‍රීසි සේවා සංස්කාරක හා රිචඩ්ගේ මුල් ම වෘත්තීය පුහුණුකරු වූ ෆිල් හැරිස් රිචඩ්ගේ මරණයෙන් පසු මෙසේ පවසා තිබිණි.
''ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ වැඩකරන කිසිවෙකුත් ලෝකයේ ලොකු වැටුප් ලබන්නේ නැහැ. රිචඩ් මේ ප්‍රවෘත්ති සේවයට බැඳුනේ මේ ආයතනය තුන්වැනි ලෝකයේ ඕනෑ එපාකම් ගැන කටයුතු කරන බව ඔහු විශ්වාස කළ නිසයි.''
සැබැවින් ම රිචඩ්ට සිය ජනමාධ්‍ය වෘත්තිය වෙනස් හා පුළුල් ක්ෂේත්‍රයක දියත් කරන්නට සමාජ දේශපාලන පසුබිමක් ඒ වනවිට ශ්‍රී ලංකාවෙහි නිර්මාණය වී තිබිණි. එ.ජා.ප. ආණ්ඩුව විසින් මුදා හැරුණු රාජ්‍ය ත්‍රස්තවාදය මෙරට සමාජය බිහිසුණු තත්ත්වයකට ඇද දමා තිබිණ. අත්අඩංගුවට ගැනීම්, අතුරුදන්වීම්, ඝාතන දස දහස් ගණනින් සිදුකෙරෙමින් පැවතිණි. රිචඩ් සිය සම්බන්ධතා සූක්ෂ්ම ලෙස යොදාගනිමින් ගවේෂණාත්මක පුවත්පත්කලාවේදියකු ලෙස එවක ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කරමින් සිටියේ ය. විශේෂයෙන් ම, මෙරට තුළ සිදුවෙමින් පැවති මානව හිමිකම් කඩවීම් සම්බන්ධ ව ඔහු තොරතුරු වාර්තා කළේ ය.  ඔහු ''ඉන්ටර්ප්‍රෙස්'' ප්‍රවෘත්ති සේවය වෙත 1990 පෙබරවාරි 15 වැනි දා සැපයූ වාර්තාවෙහි, පරීක්ෂණයක් නො පවත්වා මළ සිරුරු බැහැර කිරීමට අවසර දෙන 55 වැනි හදිසි අවස්ථා රෙගුලාසිය ආණ්ඩුව විසින් ඉවත්කරනු ලැබීම සම්බන්ධ ව ලියමින් මෙසේ සඳහන් කළේ ය. මෙය රිචඩ් සැපයූ අවසන් වාර්තාවයි.
''එහෙත් ජනවාරි 10 වැනි දින පනවන රෙගුලාසි තවමත් බල පවත්වයි. ගැටුම්වලින් පීඩාවට පත් රටේ, නැවත සාමාන්‍ය තත්ත්වය උදා කරන බවට දෙන ලද පොරොන්දුව පරිදි ආණ්ඩුව කි්‍රයා නොකරන්නේය යන චෝදනා ඉන් ඉස්මතු වෙයි.
වැඩකරන ස්ථානවල හෝ අධ්‍යාපන ආයතනවල හෝ යථා කි්‍රයාකාරීත්වය කෙරෙහි හානිකර අන්දමින් බලපැවැත්වීමට ඉඩ ඇති දේශපාලන හෝ වෙනත් සියලු කි්‍රයාකාරකම් හෝ  1990 අංක 01 දරන (හානිකර දේශපාලන කටයුතු වැළැක්වීමේ) හදිසි අවස්ථා රෙගුලාසියෙන් තහනම් වෙයි. එසේම ඉන් මෙම ස්ථානවල සියලු අන්දමේ රැස්වීම්, ඒකරාශීවීම් පෙළපාලි, පෙරහැර හෝ පෝස්ටර් ප්‍රදර්ශනයද තහනම් වෙයි.
        'දේශපාලන හෝ වෙනත් සියලූ කි්‍රයාකාරකම් යන්නෙහි 'වෙනත්' යන පදයට සාමාන්‍ය වෘත්තීය සමිති කටයුතු ද ඇතුළත් වෙතැයි, සමිති ක්‍රියාකාරීහු චෝදනා කරති. මෙම නීතිය සම්මත කිරීමේදී ආණ්ඩුවට සහයෝගය දක්වන අතළොස්සක් හැර, අන් සෑම වෘත්තීය සමිතියක්ම වාගේ විරෝධය පළ කළේය.'' (උපුටා ගැනීම- 'රිචඩ් ද සොයිසා ඝාතනය, පරීක්ෂණය හා නිගමනය'- බැටී වීරකෝන්)
ඒ වන විට රිචඩ් ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ යුරෝපීය සේවාවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ තිබූ අතර, නොබෝ දිනකින් එම තනතුරෙහි වැඩ භාර ගැනීම ස`දහා ඔහු ලිස්බන් නගරය වෙත යාමට නියමිත ව තිබිණ. ඔහු එසේ ගියහොත්, තම රජයට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තත්ත්වය පිළිබඳ ව ප්‍රේමදාස ජනාධිපතිවරයාටත්, ඔහුගේ සමීපතමයින්ටත් වැටහී තිබුණා නිසැක ය. රිචඩ්ගේ මාධ්‍ය භාවිතය තමන්ට හීලෑ කරගත හැකි එකක් නො වූයෙන්, රිචඩ් ඝාතනය කිරීමෙන් මෙපිට ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් ගැලවීමේ මඟක් තමන්ට නොමැති බව ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇතුළු පිරිස වටහා ගන්නට ඇත. ඔවුහු ඉස්සර වූහ. රිචඩ් ඝාතනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවුණු අතර, එහි ප්‍රධානියා වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ ය. මෙම කාර්යය සඳහා ඔහු විසින් තෝරාගනු ලැබූ කණ්ඩායමට කොටුව පොලීසියේ ස්ථාන භාර නිලධාරී පොලිස් පරීක්ෂක රංචාගොඩ, කොම්පඤ්ඤ වීදිය පොලීසියේ පොලිස් පරීක්ෂක දේවසුරේන්ද්‍ර සහ සරත්චන්ද්‍ර යන පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අයත් වූහ.
රිචඩ්ගේ මව මනෝරානී සරවනමුත්තු මහත්මිය, 1990 ජූනි මස 05 වැනි දින පොලීසියට ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කළා ය.
''මා පළමුවෙන් ඔහු දුටුවේ 1990 මැයි 10 වැනි දින රූපවාහිනී ප්‍රවෘත්තිවලින්. ඉන්පසු අයි.ටී.එන් ප්‍රවෘත්තිවලදීද ඔහු දුටුවෙමි. සුදු පාට ටී ෂර්ට් එකක්  හා සුදුපාට කොට කලිසමක් හැඳ සුදු පාට කැප් එකක් ද දමාගෙන එම අවස්ථාවේ මගේ නිවසට පැමිණි පුද්ගලයා ඔහු බවට මට සැකයක් නැත. රූපවාහිනියේ දැක මවිසින් හඳුනාගනු ලැබූ එම පුද්ගලයා රොනී ගුණසිංහ මහතා ය. ඔවුන් මගේ පුත්‍රයා ගෙනයාමට උත්සාහ කරද්දී, එක් අවස්ථාවක මම මගේ පුතාත් ඔහුත් අතර සිට ගත්තෙමි. එවිට ගුණසිංහ මහතාත් මාත් සිටියේ මුහුණට මුහුණ ලා ගෙන ය. ඔහු අත හරස් කොට මගේ පිටුපසින් සිටි පුතා මෑතට ඇද ගත්තේය. මට ඔහු හොඳින් හඳුනා ගැනීමට පුළුවන. රූපවාහිනියෙන් ඔහු දුටු හැටියේම, මගේ නිවසට පැමිණ මගේ පුතා රැගෙන ගිය පුද්ගලයා ඔහු බව මම හඳුනාගත්තෙමි. ඔහු තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග සිටින ඡායාරූපයක්ද පුවත්පතක මම දුටුවෙමි''
රිචඩ් ඝාතනය කරනු ලැබීම ජාතික හා අන්තර්ජාතික වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේ ය. ඔහු ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ ව සිටීම ඊට විශේෂයෙන් ම බලපෑවේ ය. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීම සම්බන්ධ ව  1990 අප්‍රේල් 23 වැනි දා ''ටයිම්'' සඟරාවේ ලිපියක් පළවිය. වහා ම කි්‍රයාත්මක වූ මෙරට රජය ශී්‍ර ලංකාව තුළ ''ටයිම්'' සඟරාව අලෙවි කිරීම තහනම් කළේ ය. එම ''ටයිම්'' සඟරාවේ පළවූ ලිපියෙහි මෙසේ සඳහන් වේ.
''ආණ්ඩුවේ ඝාතක කල්ලිවල කටයුතු විදහාපාන ප්‍රවෘත්ති ලිවීම මෙන්ම විදේශවල මානව හිමිකම් සංවිධාන සඳහා තොරතුරු රැස්කිරීමද කළ, ද සොයිසා බලවත් තර්ජනයක් ලෙස සැලකිණි. තවත් දින කිහිපයකින් ඔහු අලුත් තනතුරක වැඩ භාරගැනීම සඳහා ලිස්බන් බලා පිටත්ව යාමට සිටි බවත් ඔහු මරා දමනු ලැබුවේ ඊට පෙර විය හැකි බවත් ඔහුගේ මිතුරෙක් අනුමාන කරයි. එසේ ගියේ නම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වඩාත් හොඳින් ලෝක අවධානයට යොමු කිරීමට ඔහුට හැකි වනවා ඇත.
... ද සොයිසා තවත් ආකාරයකින් අනතුරුදායක තත්ත්වයක සිටියේය. ප්‍රේමදාසගේ පෞද්ගලික කෝපයට හේතුවන අන්දමේ වැඩපිළිවෙළකට ඔහු සම්බන්ධ විය. ඔහු කළේ වාර්තා කිරීම හා ලිවීම පමණක් නොවේ. ''මේ කවුද? මොනවද කරන්නේ?" නමැති වේදිකා නාට්‍යයේ රචකයාද ඔහු විය. එය ප්‍රේමදාසගේ පාලන කලාව හා සම්බන්ධව ගෙතුණු දේශපාලන උපහාසාත්මක නාට්‍යයකි. පෙබරවාරියේදී නාට්‍යය මුලින්ම පෙන්වීමට බලාපොරොත්තු වූ දිනට පෙරදින එහි නිෂ්පාදකයා පැහැරගෙන යන ලදී. ඔහු, ද සොයිසාගේ මිතුරකු විය. ඔහු මිය යන්නට ඇතැයි සිතනු ලැබේ. සති තුනකට පසු ද සොයිසා ඝාතනය කෙරිණි.''
මෙම ඝාතනය සම්බන්ධ ව පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් කතා කරන විට, ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු රිචඩ් සමලිංගිකයකු, කුඩුකාරයකු යැයි  ඔහුට පරිභව කරමින් ඝෝෂා කළහ. ඔහු ඝාතනය කිරීමෙන් නො නැවතී ඔහුට නින්දිත ලෙස අපහාස කරන්නට ද එජාප ආණ්ඩුව කටයුතු කළේ ය. රිචඩ් ද සොයිසා ඝාතනය කරනු ලැබීම සම්බන්ධ ව කොමිසමක් පත් කළ යුතු බවට විපක්ෂය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ එවක ආරක්ෂක අමාත්‍ය රන්ජන් විෙජ්රත්න  හා ශී්‍ර ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා අතර සංවාදයක් ඇති විය. එය  1990 මාර්තු 20  වැනි දින හැන්සාඩ් වාර්තාවෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

''සිල්වා මහතා - මගේ ප්‍රශ්නය මේ පිළිබඳව කොමිසමක් පත් කරනු ලැබේද යන්නයි.
විජේරත්න මහතා -  සෑම මිනී මැරුමකටම කොමිසමක් පත් කරන්න බැහැ.
සිල්වා මහතා - නමුත් මා අසා සිටියේ මේ මරණය ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරනවද කියන එකයි.
විජේරත්න මහතා - එම කාරණය ගැන වෙහෙසවීම වැඩක් නැහැ. මේ රටේ බොහෝ මරණ සිදුවී තිබෙනවා. ඒ ඔක්කොම විශේෂ ලෙස සිදුවූ මරණ. එකක් අහුලාගෙන, මට මේකට කොමිසමක් ඕනෑ කියන්න ඔබට බැහැ. රිචඩ් ද සොයිසාගේ මිනී මැරුමත් එයින් එකක් විතරයි...''
කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධ ව සොයාබැලීමට කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ඒකාබද්ධ යෝජනාවක්  1990 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්වීම වැළැක්වීමට ආණ්ඩු පක්ෂය දැඩි උත්සාහයක් ගත්තේ ය.  අවසානයේ එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වූ නමුත් ඒ කිසිදු ක්‍රියා මාර්ගයකින් යුක්තිය ඉටු නො වී ය. වැරදිකරුවන් හඳුනාගැනීමට හෝ ඔවුන්ට දඬුවම් පැමිණවීමට හෝ අවශ්‍ය පසුබිමක් පවා නිර්මාණය නො වී ය.
        රිචඩ් ඝාතනය කිරීමට සම්බන්ධ පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ, 1993 මැයි 01 වන දා ආමර් වීදියේදී පිපිරූ බෝම්බයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයාත් සමග ම මරණයට පත්විය.
        රිචඩ් ද සොයිසාගේ මරණය සම්බන්ධ ව සොයා බැලීම පිණිස විපක්ෂය විසින් ඉල්ලා සිටි ස්වාධීන පරීක්ෂණ කොමිසම, එවක පැවති එ.ජා.ප. ආණ්ඩුව 1994 දී බිඳ වැටෙන තුරුත් පත් කෙරුණේ නැත. එ.ජා.ප. ආණ්ඩුව පරාජය කොට පොදු ජන එක්සත් පෙරමුණට බලයට පත්වීම සඳහා රිචඩ්ගේ ඝාතනය විශාල ඉල්ලමක් වූ අතර, රාජ්‍ය නොවන සංවිධාන ද විදේශ අරමුදල් ගරා ගැනීම සඳහා රිචඩ්ගේ ඝාතනය ඉවහල් කොට ගත්හ.
රිචඩ්ගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණයක් කරන්නන් වාලේ සිදු කෙරෙමින් පැවති අතර, අදාළ සැකකරුවන්ගෙන් කිහිප දෙනකු ම ඒ කාලය ඇතුළත මියගොස් තිබිණ. රිචඩ්ගේ මව වූ මනෝරානි සරවනමුත්තු මහත්මිය ද මිය ගියා ය. අවසානයේ රිචඩ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණය නවතා දමන්නට තීරණය කර ඇති බවට පුවතක් වසර කිහිපයකට පෙර පුවත්පතක පළ වී තිබිණි.
1993 පෙබරවාරියේ මනෝරානී අම්මා මෙසේ කීවා ය.
''මුහුද මගේ පුතා ආපහු මා ළඟට ගෙනාවා. සමහරක් විට රෑ ජාමෙට මම හිතනවා දෙවියන්ට මගේ පුතාව බේරගන්න බැරි වුනත්, මහ මුහුද මගේ පුතා මා ළඟට ගෙනාවේ මට සටන් කරන්න හැකි වෙන්න කියලයි."
සැබැවින් ම ඇය සටන් කළා ය. ඇගේ සටනින් ඵල නෙළාගත් දේශපාලකයෝ බලයට පත්වූහ. නමුත් රිචඩ් ඝාතනය කරනු ලැබූ ඝාතකයින්ට දඬුවම් නො ලැබිණි.
මැතිවරණ වේදිකාවලදී ද, රාජ්‍ය නොවන සංවිධානවල මාධ්‍ය සංදර්ශනවලදී ද අදටත් රිචඩ්ගේ මරණය යහමින් වෙන්දේසි වේ.
රිචඩ්ගේ සේයාරුව දෙස යළිත් වරක් හැරී බලමි. රිචඩ් විසින් ලියන ලදුව, දයාසේන ගුණසිංහ මහතා විසින් සිංහලට පරිවර්තනය කෙරුණු ''Parting Gift'' (සමුගැනීමේ තිළිණය) නමැති කවියෙහි අවසානය මගේ සිහියට නැඟෙයි.
''...නත්තල් සමයෙහිදී
ඔබ දුන්නෙහිය මට දිනපොතක්                                                            
නව වසර මහලු වී යන්නටත් පෙර...                                                        

එද එහි සුදෝ සුදු පැහැති   
හිස් පිටු  විලස                                                                            
මමද  මළ ගිය අයෙක් වෙමි.˜



Thursday, October 10, 2019

බටහිර අධිරාජ්‍යවාදී බලවේග සෑම රටකට ම ඇතුළුවන්නේ, යම් කිසි අරමුණක්, අවශ්‍යතාවක් තමන්ට වාසිදායක ලෙස ඉටු කර ගැනීමටයි.



ඉකුත් යුද අවධියේ මෙරටට විදේශ මැදිහත්වීම් ඇති වීම වළක්වා ගැනීමේ හා ඒවාට මුහුණ දීමේ අරමුණින් ශ්‍රී ලාංකේය වෘත්තිකයින් පිරිසක් විසින් 'Protect Sri Lanka' නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලද අතර, ඒ සඳහා පෙරමුණ ගත් වෘත්තිකයකු වූයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාසිරි මහතා ය. ඔහු සමග සිදු කළ මෙම සම්මුඛ සාකච්ඡාවේදී රාජ්‍ය වෙත අන්තර්ජාතික මැදිහත්වීම් සිදුවන සමාජ - දේශපාලන - නෛතික පසුතලය පිළිබඳව වඩාත් ගැඹුරු හා පුළුල් සංවාදයක් ගොඩනඟාගැනීමට හැකි විණි. ඔහු ඉදිරිපත් කළ කාරණා ඒ යුද මොහොතට විශේෂයෙන් අදාළ වුවත්, අදටත් හෙටටත් ලෝකයේ කවර හෝ රටක අභ්‍යන්තරයට අන්තර්ජාතික මැදිහත්වීම් සිදු කරන පසුතලය අවබෝධ කරගැනීම පිණිස සුවිශේෂ මඟ පෙන්වීමක් සිදු කරයි. මෙම ලිපිය මුල් වරට 'මුරගල', 2008 මාර්තු කලාපයේ පළවිය.



අන්තර් ජාතික දේශපාලනයේ දී රාජ්‍යයක ස්වාධිපත්‍යය අර්ථ ගැන්වී ඇති ආකාරයත්, මේ වනවිට අන්තර් ජාතික දේශපාලනය තුළ රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍යයට එල්ල වී ඇති අනතුරත් පිළිබඳ ව මුලින් ම පැහැදිලි කළොත්...

තිස් අවුරුදු යුද්ධයෙන් පසු ව එවකට සිටි බලවත් ජාතීන් සියල්ල ම ''වෙස්ෆේලියා සම්මුතිය'' නමැති ගිවිසුම යටතේ රාජ්‍යයන්ගේ පැවැත්ම සම්බන්ධ ව තීරණයකට එළඹුණා. ඒ, රටක ස්වාධීනත්වය හා ස්වාධිපත්‍යය ඇති අවස්ථාවක දී, එවැනි රටකට පිටස්තර වෙනත් රාජ්‍යයක් විසින් මැදිහත්වීමක් කළ නො හැකි බව. ස්වාධීනත්වය හා ස්වාධිපත්‍යය ඇති සියලූ ම රාජ්‍යවල දේශ සීමා තුළ, තමන් යටතේ ජීවත්වන සියලු ම රටවැසියන් එකී රාජ්‍යයේ පුරවැසියන් වශයෙනුත්, එකී පුරවැසියන් සම්බන්ධයෙන් සියලූ කටයුතුවලට අදාළ වන්නේ එකී රාජ්‍යය යන න්‍යාය බිහිවුණා. එනම්, යම් කිසි දේශසීමාවක් තුළ සිටින සියලු ම පුරවැසියන් එකී රාජ්‍යයට අයත් කොටසක් බවත් එකී භූමි භාගය එම රාජ්‍යයට හිමිවන බවත් සහ එම භූමි භාගයේ සියලු ම කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය එකී රාජ්‍යයට ඇති බවයි. එම න්‍යාය මේ වනතුරුත් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද පවා පිළිගනු ලබන්නේ එවැනි රාජ්‍ය පමණයි. 

නමුත් පසුව බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් අන්‍ය දේශ අයත් කර ගැනීමට ඇති වූ බලලෝභී බව නිසා සහ නව ලිබරල්වාදය අනුව ක්‍රියාකරමින් නව යටත් විජිතවාදයක් ගොඩනැඟුවා. මෙතැනදී ඔවුන්ට අවශ්‍ය වුණේ ''මානුෂික අයිතිවාසිකම්" නමැති සූත්‍රය යටතේ එකී රාජ්‍ය තුළ යම්කිසි ජන කොටසකගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ ය යන චෝදනාව ආ විට, එම රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් විදේශ බලපෑම් ඇති කිරීමට හැකි වන තත්ත්වයක් මතු කර ගැනීම. මේ සම්බන්ධ ව විශේෂයෙන් ම වැදගත් වන්නේ අමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය. ඒ විදේශ ප්‍රතිපත්තිය යටතේ අමෙරිකාව නොයෙක් රටවලට කඩා වැදුණා.  පළමුවෙන් ම කොමියුනිස්ට්වාදයට එරෙහිවත්, දෙවනුව මත්ද්‍රව්‍ය නැති කිරීමේ ප්‍රයත්නයන් මතත්, මේ වනවිට මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නමැති කාරණය මතත් පදනම් වෙමින් තමන්ට අනුගත නො වන රාජ්‍යවල බලය ලබාගැනීමේ කාර්යයක අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් නිරත ව සිටිනවා. ඇත්ත වශයෙන් ම ඔවුන් තම දේශපාලන හා වෙළෙඳ න්‍යාය ව්‍යාප්ත කිරීමටත්, භූ දේශපාලන වශයෙන් තම ජාත්‍යන්තර කටයුතු හා බලය ව්‍යාප්ත කිරීම සඳහා වැදගත්වන ප්‍රදේශවලටත් විවිධ භූගෝලීය සම්පත් සහිත ප්‍රදේශවලටත් කඩා වැදීමට අර අඳිමින් සිටිනවා. 

ස්වෛරී රාජ්‍යයක් මේ තත්ත්වය තුළ නාම මාත්‍රික රාජ්‍යයක් බවට පත්වන ආකාරය කෙබඳු ද?

නාම මාත්‍රික රාජ්‍යයක් වශයෙන් සිදුවන්නේ සමහර රාජ්‍යවලට ඒවායේ ඇති විවිධ දුර්වලකම් නිසා වෙනත් රටවල බලපෑම්වලට යටත් වීම. මෙහිදී සමහර අවස්ථාවලදී ආර්ථීක වාසි හෝ භූගෝලීය තත්ත්වය යටතේ සමහර රටවල් එකිනෙකා සමග බැඳී සිටිනවා. විශේෂයෙන් ම අද අමෙරිකා එක්සත් ජනපදයේ බල ආධිපත්‍යයට යටත් වූ රාජ්‍ය ගණනාවක් තිබෙනවා.  ඒ වගේ ම රුසියාවට යටත් වූ රාජ්‍ය කිහිපයක් ද, යුරෝපා සංගමයට යටත් වූ රාජ්‍ය කිහිපයක් ද තිබෙනවා. මීට අමතර ව, නො බැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් රාජ්‍ය ගණනාවක් ද තිඛෙනවා. බලවත් රාජ්‍ය කුඩා රාජ්‍ය වෙත කඩා වැදීමට යොමුවන්නේ සෑම අවස්ථාවකදී ම තමන්ගේ වාසිය සඳහා බව පෙනෙන්නට තිඛෙනවා. උදාහරණයක් ලෙස ආසියානු කලාපය දෙස බලන විට අමෙරිකා එක්සත් ජනපදය සෑම විට ම ඔවුන්ගේ දේශපාලන අදහස්වලට නො බැඳුණු සියලු ම බෞද්ධ රාජ්‍යවලට පාහේ කඩා වැදී තිබෙනවා. ලාඕසය, කාම්බෝජය, තායිලන්තය වැනි රාජ්‍ය ඒ අතර වෙනවා. ඒ ආකාරයට ම ලංකාව ගොදුරු කර ගැනීමට ද අමෙරිකා එක්සත් ජනපදය වෑයම් කරනවා. මීට අමතර ව මෙවැනි කඩාවැදීම් වෙනත් බලවතුන් විසින් ද සිදු කරනු ලැබ තිබෙනවා. ඉන්දියාව නැඟෙනහිර පාකිස්ථානයට කඩා වැදී බංග්ලාදේශය ඇති කිරීම එවැනි අවස්ථාවක්. මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ ප්‍රදේශයේ බලවතුන් වෙනත් රටවල් ආක්‍රමණය කර ඔවුන්ගේ සතුරු රාජ්‍ය දුර්වල කිරීමට වෑයම් කිරීම බව අපට පෙනෙනවා. 

අන්තර්ජාතික දේශපාලනය තුළ R2P සංකල්පය බිහිවීම සම්බන්ධව ඔබගේ විග්‍රහය කුමක් ද?

Responsibility to Protect (ආරක්ෂා කිරීමට වගකීම) හෙවත් R2P යන සංකල්පය තව ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්වත් පිළිගත් සම්මුතියක් වශයෙන් සලකන්නට බැහැ. ඕස්ටේ්‍රලියාවේ ගැරත් එවන්ස් නමැති පුද්ගලයා විසින් නිර්මාණය කරන ලද මෙම රාමුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු කිරීමට වෑයම් කරමින් සිටිනවා. යම් කිසි බල ප්‍රදේශයක ජීවත් වන ජන සමූහයක, යම් මානුෂික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන අවස්ථාවකදී එකී භූමිභාගය අයත් රාජ්‍යයට ඇතුළුවීමට දොර විවෘත කර ගැනීම පිණිස බටහිර බලවතුන් නිර්මාණය කරගෙන තිඛෙන සූත්‍රය තමයි, එකී ජන කොටසේ මානුෂික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමන්ට එම රාජ්‍යයට ඇතුළුවීමට වගකීමක් තිබේ ය යන R2P සූත්‍රය. නමුත් තවමත් මේ සංකල්පය ජාත්‍යන්තර නීතියෙන්වත් පිළිගෙන නැහැ. අද බටහිර බලවතුන් වෑයම් කරන්නේ එම සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මාණය කරන ලද්දක් බවට පරිවර්තනය කිරීමට.

මේ R2P සංකල්පය ජාත්‍යන්තර නීතිය විසින් හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් පිළිගෙන නැතත්, මෙම සංකල්පය යොදා ගනිමින් බටහිර බලවතුන් තම මැදිහත්වීම් සිදු කළ අවස්ථා ගණනාවක් තිඛෙනවා. ඔවුන් ඇෆ්ගනිස්ථානයට, ඉරාකයට, අපි්‍රකානු කලාපයේ විවිධ රටවලට ඇතුළුවීමට මෙම සංකල්පය යොදාගෙන තිඛෙනවා. මේ සංකල්පය නිර්මාණය කිරීමට පෙරත් මෙවැනි ඇතුළුවීම් සිදුවුණා. නමුත් ඒවා හැඳින්වුණේ සානුකම්පිත මිනිස් අයිතිවාසිකම් ඇති කිරීම පිණිස සිදුවන ඇතුළුවීම් ලෙසයි. නමුත් R2P සංකල්පයේ දී විශේෂ පදනමක් මත ඇතුළුවීමට මැදිහත්වීමට බටහිර බලවතුන් දැන් සූදානම් වෙනවා. 

අධිරාජ්‍යවාදී බලවේගය R2P සංකල්පය යොදාගෙන කිසියම් රාජ්‍යයකට මැදිහත් වීමට පෙර රාජ්‍ය නො වන සංවිධාන විසින් ඒ සඳහා ඉටුකර දෙන කාර්ය කොටස කෙබඳු ද?

CIA වැනි ඔත්තු සේවා ආයතන විසින් නිල වශයෙන් කරන ලද සමහර කාර්ය අද වන විට සමහර රාජ්‍ය නො වන සංවිධාන විසින් ඉටු කරනු ලබමින් සිටිනවා. ඇත්තෙන් ම මේ රාජ්‍ය නො වන සංවිධාන යැපෙන්නේ බටහිර රාජ්‍යවල මුදල් හෝ ඒ රටවල බහුජාතික සමාගම්වලින් ලැබෙන මුදල්වලින්. මේ රාජ්‍ය නො වන සංවිධාන නිල වශයෙන් රටකට ඇතුළුවන්නේ එම රටට කිසියම් සේවයක් කිරීමට බව පවසමින් වුණත්, ඒවායේ නියම අරමුණ වන්නේ හැකිතාක් දුරට එම රට තුළ තමන්ට අවශ්‍ය දේශපාලනික, ආර්ථීක හෝ ඇතැම් විට ආගමික විශ්වාස ප්‍රචලිත කිරීමයි. අද රාජ්‍ය නො වන සංවිධාන විශාල සංඛ්‍යාවක් ලංකාවේ කටයුතු කරමින් සිටින්නේ, ඒවා මේ රටට ඇතුළු වීමට අවසරය ඉල්ලා සිටි අවස්ථාවේ ඉදිරිපත් කළ කාරණා කි්‍රයාත්මක කිරීමට නෙවෙයි. මේ රටේ සිටින ඇතැම් පුද්ගලයින් මුදලට මිල දී ගෙන තමන්ට අවශ්‍ය දේශපාලන වාතාවරණයක් මේ රට තුළ ගොඩනගා ගැනීමට ඒ රාජ්‍ය නො වන සංවිධාන කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අද බටහිර බලපෑම් ඇති නොයෙක් රටවල්වලට එම කාර්යය සඳහා යවන පළමු පෙළේ සොල්දාදුවන් වශයෙන් මෙම රාජ්‍ය නො වන සංවිධානවල ක්‍රියාකාරිකයින් සලකන්නට පුළුවන්. ඔවුන් යම් රාජ්‍යයකට පැමිණි පසු ඒ රාජ්‍යය තුළ, සමාජය තුළ නොයෙකුත් අර්බුද ඇතිකර, ඒ මගින් විදේශ සංවිධානවලට තොරතුරු සපයමින් එවැනි සංවිධානවලට හා වෙළෙඳ සමාගම්වලට ඒවායේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට ආධාර කරනවා. මේ නිසා සමහර බලවත් රටවල් තම රටවලට රාජ්‍ය නො වන සංවිධාන ඇතුළුවීම සම්පූර්ණයෙන් ම වළක්වා තිඛෙනවා. විශේෂයෙන් ම රුසියාව, ඉන්දියාව වැනි රටවල් තම රටවල් තුළට එවැනි රාජ්‍ය නො වන සංවිධානවලට ඇතුළුවීමට කිසිසේත් ම ඉඩ දෙන්නේ නැහැ.

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සමහර රටවල මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන බරපතළ ලෙස කටයුතු කිරීමට සූදානම් වුනත්, තමන්ට ගැති රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ ව වගේ වගක් නැතිවයි කටයුතු කරන්නේ. මේ හැසිරීම ඔබ හඳුනාගන්නේ කෙසේ ද?
 
ඇත්තෙන් ම, සෞදි අරාබිය, ඊජිප්තුව, උස්බෙකිස්ථානය, ඊශ්‍රායලය, තුර්කිය, මෙක්සිකෝව, නයිජීරියාව වැනි රටවල බොහෝ සේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වුනත් ඒවා වැළැක්වීමට අමෙරිකානු - යුරෝපා බලවතුන් කිසිදු පියවරක් ගන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ ඒ රටවල හමුදා බලය ශක්තිමත් කිරීම සහ එම රටවලට විශාල වශයෙන් ආර්ථීක වාසි සැලසීම. නමුත් අමෙරිකානු මතයට යටත් නො වන කියුබාව, ඉරානය, මියන්මාරය, උතුරු කොරියාව, සුඩානය, සර්බියාව, සිරියාව වැනි රටවලට මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට චෝදනා කරනු දකින්නට පුළුවන්. මෙතැනදී විශේෂයෙන් ම සඳන් කළ යුතු කාරණය තමයි, බින් ලාඩන් සම්බන්ධ ව අමෙරිකා එක්සත් ජනපදය ගත් ක්‍රියාමාර්ගය. බින් ලාඩන් ඇත්තට ම ගොඩනඟනු ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදය විසින්. ඔහු රුසියාවට එරෙහි ව සටන් කරන විට අමෙරිකා එක්සත් ජනපදය තමන්ට ආධාර කරන පිරිසක් ලෙස ඇෆ්ගනිස්ථානයට සැලකුවා. නමුත් ඔහු 'තලේබාන් සංවිධානය' සමග සම්බන්ධ වී ක්‍රියා කරන විට ඔහුට එරෙහි ව අමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කරන්නට පටන් ගත්තා. ඒ අනුව බලද්දී අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරන්නේ හැම විට ම තමන්ට වාසිදායක ඉලක්කයක් සඳහා බව පැහැදිලියි.

මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන කතිකාව තුළ වඩාත් ම කතාබහට ලක්වෙමින් තිබෙන කොසෝවෝ සම්බන්ධ තත්ත්වය කෙබඳු ද?

කොසෝවෝ නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීමෙන් පසු එය අමෙරිකා එක්සත් ජනපදය හා බි්‍රතාන්‍යය විසින් පිළිගනු ලැබීමෙන් පසු සිදු ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර නීතියෙන් පිළිගන්නා ලද ''රාජ්‍යය'' නමැති සංකල්පයට සම්පූර්ණයෙන් පිටු පා ස්වාධීන රාජ්‍යයක් වශයෙන් කොසෝවෝ සැලකීමයි. අපි මේ කාරණයේ මූලාරම්භයේ සිටම සඳහන් කරනවා නම්, නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ නායකත්වය දැරූ ප්‍රධාන පෙළේ කොමියුනිස්ට්වාදියකු වූ මාෂල් ටිටෝ යටතේ තිබූ යුගෝස්ලාවියාව, ටිටෝගේ මරණින් පසු කොටස්වලට කැඩී ගියා. ඉන්පසු එහි ප්‍රධාන රාජ්‍යය ලෙස සලකනු ලැබුවේ බෙල්ග්‍රේඩ් අගනුවර සහිත සර්බියාව. 'කොසෝවෝ' නමැති ප්‍රදේශය සර්බියාවේ එක් ප්‍රාන්තයක්. කොසෝවෝ ප්‍රදේශයේ ජීවත් වූ බහුතරය ඇල්බේනියානු මුස්ලිම් ජාතිකයින්. සර්බියානු ජාතිකයින් විසින් සුලු ජාතිකයින්ගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලබන බවටත්, විශේෂයෙන් ම එකී සුලු ජාතිකයින්ට එරෙහි ව වාර්ගික පවිත්‍රකරණයක් සිදු කරන බවටත් චෝදනා කරමින් නේටෝ සංවිධානය සර්බියාවට ගොඩ බැස්සා. ඉන්පසු ඔවුන් කොසෝවෝ ප්‍රශ්නයට මැදිහත් වී එම ප්‍රදේශය තමන්ගේ අණසක යටතට ගත්තා. මෙම නේටෝ සංවිධානය පැමිණීමට ප්‍රථමයෙන් සර්බියාවේ සිදු වූ කටයුත්තක් තිබුණා. ඒ තමයි,  Kosovo Liberation Army (KLA) නමැති, කොසෝවෝ පදනම් කරගත් ත්‍රස්තවාදී සංවිධානය සර්බියාවේ අනෙකුත් ප්‍රදේශවල සිටින සර්බියානු ජාතිකයින්ට එරෙහි ව ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වීම. KLA සිදුකරන මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට පිළිතුරු වශයෙන් සර්බියානු රජය KLA වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන විට එය වැළැක්වීමට ගන්නා උත්සාහයක් ලෙස නේටෝ හමුදා සර්බියාවට පැමිණියා. එසේ පැමිණි ඔවුන් වර්ෂ නවයක් ම කොසෝවෝ පාලනය කළා. මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයට සර්බියාව ඉතා ම අවශ්‍ය වුණා. ඒ, පැරණි යුගෝස්ලාවියාවේ නේටෝ ඒකක පිහිටුවීම සඳහා. ඒ වගේ ම සර්බියාවේ කොසෝවෝ ප්‍රාන්තය භූගෝලීය සම්පත් විශාල ලෙස පිහිටි ප්‍රදේශයක්. ඒ වගේ ම සර්බියාව සෑම විට ම කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ රුසියාවත් සමග. ඒ නිසා නේටෝ හමුදා වර්ෂ නවයක් ම කොසෝවෝ ප්‍රදේශය පාලනය කළා. සර්බියාව ගත් විට එහි කොසෝවෝහි සිටි ඇල්බේනියානු මුස්ලිම්වරුන් සුලු ජාතිකයින් වශයෙන් සිටියත් කොසෝවෝ ප්‍රාන්තයේ සුලු ජාතිකයින් වශයෙන් සිටියේ  'රෝමා' නමැති අහිගුණ්ඨික ගෝත්‍රය හා සර්බියානු ජාතිකයින්. නමුත් නේටෝ හමුදා පැමිණීමෙන් පසු කොසෝවෝ ප්‍රාන්තයේ සුලු ජාතිකයින් ලෙස සිටි රෝමා ගෝත්‍රිකයින් හා සර්බියානුවන් කොසෝවෝ ඇල්බේනියානු මුස්ලිම්වරුන් විසින් දැඩි වාර්ගික පවිත්‍රකරණයකට ලක්කළා. (එය ලංකාවේ උතුරු ප්‍රදේශයේ සුලු ජාතිකයින් වන සිංහලයින් හා මුස්ලිම් ජාතිකයින් වාර්ගික පවිත්‍රකරණයක් යටතේ එම ප්‍රදේශයෙන් පළවා හැරීමට සමානයි.) එමගින් කොසෝවෝහි ජීවත්වන සුලු ජන කොටස් තව දුරටත් සංඛ්‍යාත්මක ව අඩු කළා.

ඒ විදියට වර්ෂ නවයක් පාලනය කරමින් සිටින කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1244 නමැති ප්‍රතිපත්ති මාලාව යටතේ කියා සිටියේ, සෑම අවස්ථාවකදී ම කොසෝවෝ සර්බියාවේ කොටසක් වශයෙන් සලකන බවයි. නමුත් ජාත්‍යන්තර නීතියට හා එක්සත් සංවිධානයේ 1244 නමැති නියෝගයට පටහැනි ව යුරෝපා සහ අමෙරිකා බලවතුන් විසින් කොසෝවෝ ස්වාධීන රාජ්‍යයක් ලෙස පසුගිය දා ප්‍රකාශ කළා. ඔවුන් එය කළේ රුසියාව, චීනය, ඉන්දියාව වැනි රටවල විරුද්ධත්වය මැදයි. මෙය බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ජාත්‍යන්තර නීතියෙන් පිට පැන තම අභිමතය අනුව ස්වාධීන රාජ්‍යයක දේශ සීමාවක් තුළ වෙනත් රටක් ගොඩනැගූ තවත් අවස්ථාවක් වශයෙන් සලකන්නට පුළුවන්. 

නේටෝ විසින් කොසෝවෝ පාලනය කළ වසර නවය තුළ එම ප්‍රදේශය ආර්ථීකමය වශයෙන් විශාල ලෙස පිරිහී තිඛෙනවා. අද වනවිට එහි රැකී රක්ෂා නොමැති පිරිස 60%ක් බව හෙළි වී තිඛෙනවා. ඒ වගේ ම, ඒ ප්‍රදේශය තුළ සංවර්ධන කටයුතු හෝ එහි සිටින ජාතිකත්වයන් අතර කිසිදු සමගියක් ඇති කිරීමට නේටෝවට හැකි වී නැහැ. එම වර්ෂ නවය තුළ අමෙරිකානු හමුදා විසින් Camp Bond Steel නමැති විශාල ආකෘතිය ගොඩනැගීම එහි සංවර්ධනය සම්බන්ධයෙන් ඇති වූ විශේෂතම කාර්යයයි. එය අද යුරෝපයේ බලවත් ම නේටෝවේ මූලස්ථානය බවට පත් වී කටයුතු කරනවා. එය ඇති කිරීම සඳහා සියලු කොන්ත්‍රාත් භාර දී තිබෙන්නේ එක්සත් ජනපදයේ බුෂ් රජයට ඉතා සමීප කොන්ත්‍රාත්කරුවකු වන හැලිබර්ටන්ට. ඒ නිසා එහි සියලු ම ආර්ථීක වාසි ලැබී තිඛෙන්නේ බුෂ් රජය සමග සමීප ඇමරිකානු කොන්ත්‍රාත් සමාගමකට. 

ඒ වගේ ම, කොසෝවෝ ප්‍රදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කෙරුණත් එහි සම්පූර්ණ පාලන බලය තිඛෙන්නේ යුරෝපා සංගමය හා අමෙරිකා එක්සත් ජනපදය විසින් පත් කරනු ලබන ජාත්‍යන්තර සිවිල් බලධාරියාට. විදේශ කටයුතු ප්‍රතිපත්ති, ආරක්ෂාව, අධිකරණය, පොලීසිය හා බන්ධනාගාර යන කටයුතුවලට අමතර ව බැංකු, රේගු, ආදායම් බදු වැනි සියලු කාර්යයන් ද එම සිවිල් බලධාරියාට හිමි වී තිඛෙනවා. මෙහිදී දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ කොසෝවෝ පාර්ලිමේන්තුව මගින් ඉදිරිපත් කරනු ලබන ඕනෑ ම නීතියක් නීතිමය වශයෙන් ක්‍රියාවට නැඟීමේ බලය මේ බලධාරියා සතු වෙනවා. ඒ වගේ ම, ඔහුට අවශ්‍ය වූ විට ඕනෑ ම රජයේ නිලධාරියකු හෝ පාර්ලිමේන්තුවෙයන් පත් විය යුතු නියෝජිතයකු එම තනතුරෙන් ඉවත් කිරීමට ද බලය තිඛෙනවා. ඊට අමතර ව, කොසෝවෝවේ සියලු ම විදේශ කටයුතු හා හමුදා කටයුතු යුරෝපා සංගමයට හා නේටෝ සංවිධානයට ප්‍රදානය කර තිබෙනවා. 

කොසෝවෝ පාර්ලිමේන්තු බලය ලබා සිටින්නේ හා එහි ප්‍රධානියා වන්නේ KLA ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා වූ පුද්ගලයා. නමුත් ඔහුට වුවත් තිබෙන්නේ බලතල ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. ජාත්‍යන්තර සිවිල් බලධාරියාගේ නාමයෙන් ඒ සියලු බලතල තම අතට ගන්නට අමෙරිකා එක්සත් ජනපද රජය හා යුරෝපා සංගමය කටයුතු කර තිබෙනවා. එම පුද්ගලයා වුනත් කොසෝවෝ වැසියකු නෙවෙයි. ඔහු පත් කරනු ලබන්නේ ද යුරෝපා හා අමෙරිකා එක්සත් ජනපද බලවතුන් විසින්.

බටහිර රාජ්‍ය ලංකාව සම්බන්ධ ව ක්‍රියා කරන්නේ ද කොසෝවෝ සම්බන්ධ ව ක්‍රියා කළ ආකාරයෙන්මයි. මොකද, කොසෝවෝ ප්‍රාන්තයට කඩා වැදීමට ප්‍රථම, මානුෂික අයිතීන්, නැතිනම් අද R2P වශයෙන් හඳුන්වනු ලබන තත්ත්වය යටතේ නේටෝවට කොසෝවෝහි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ඒ ප්‍රදේශයට ගොඩබැසීමට අවශ්‍ය බව කියමින් විවිධ ජාත්‍යන්තර සංවිධාන හා රාජ්‍ය නො වන සංවිධාන විශාල ඉල්ලීමක් කළා. එමගින් පිටස්තර මැදිහත්වීමක් කොසෝවෝහි ආරම්භ වුණා. එහි අවසානය වුණේ, ජාත්‍යන්තර නීතියට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියමයන්ට විරුද්ධ ව යමින් අමෙරිකා හා යුරෝපා මහ බලවතුන්ට තම අභිමතය අනුව තීරණයක් ගෙන ඔවුන්ට වෙන ම රාජ්‍යයක් මැවීමට හැකි වීමයි. මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලංකාව ද භාජනය විය හැක්කේ එවැනි ලක්ෂණ ම ලංකාවේත් දක්නට තිබෙන නිසයි. අද මුළු සර්බියන් ජනතාව ම මෙයට විරුද්ධ ව විශාල උද්ඝෝෂණයක් ගෙන යනවා. 

කොසෝවෝ ප්‍රශ්නය සම්බන්ධ ව තවත් දැකිය හැකි කාරණයක් තමයි, ජාත්‍යන්තර ජනමාධ්‍ය හැම විට ම ක්‍රියා කළේ සර්බියානු රජය විසින් කරන ලද මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනයන් පිළිබඳ චෝදනා කිරීමට. මේ ජනමාධ්‍ය අමෙරිකන් ආධාර ලැබූ KLA ත්‍රස්තවාදී සංවිධානය විසින් කරන ලද විශාල, මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනයන් ගැන ඒ සමාන බරකින් චෝදනා එල්ල කළේ නැහැ. 

සර්බියාවට නටෝ හමුදා පැමිණි දා සිට ම රුසියාව ඊට දැඩි විරෝධය පළ කළා. මොකද, සර්බියාව කෙළින් ම සෝවියට් රුසියාව සමග සිටි රාජ්‍යයක්. ඒ වගේ ම, ඊටත් වඩා ලොකු සම්බන්ධයක් රුසියාවට සර්බියාව සමග තිබෙනවා. ඒ, රුසියාවේ ප්‍රධාන ආගම වන ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධාන දේවස්ථානය පිහිටා තිඛෙන්නේ කොසෝවෝවල. සර්බියන් ජාතිකයින් අනුගමනය කරන්නෙත් එම ආගමයි. මෙතැනදී අමෙරිකා එක්සත් ජනපදය මුස්ලිම් කියා බැලුවේ නැහැ. අතනදි මුස්ලිම් බින් ලාඩන්ට අමෙරිකා එක්සත් ජනපදය පහර දෙනවා. නමුත් කොසෝවෝවලදි මුස්ලිම් බින් ලාඩන් සමග සම්බන්ධකම් පවත්වන KLA සමග අමෙරිකා එක්සත් ජනපදය එක් ව කටයුතු කරනවා. අමෙරිකා එක්සත් ජනපදය මෙතැනදි තවත් දෙයක් පෙන්වන්න හැදුවා. ඒ තමයි, අපි වෙනත් තැන්වලදී මුස්ලිම්වරුන්ට එරෙහි ව සටන් කළාට, මෙතැනදී අපි මුස්ලිම්වරුන්ට උදව් කරනවා කියන එක.

ඉතිං ඇත්තට ම මේවා සිදු වෙන්නේ කිසි ම මානුෂික අයිතිවාසිකම් සම්බන්ධ කාරණයක් මත නෙවෙයි. මේවා සිදුවෙන්නේ කාරණා හතරක් මත. පළමුවෙනි කාරණය, තමන්ගේ දේශපාලන න්‍යාය ව්‍යාප්ත කිරීම. දෙවැනි කාරණය, ඒ ඒ ප්‍රදේශවල තිබෙන භූ දේශපාලනික වටිනාකම. තුන්වැනි කාරණය, ඒ ප්‍රදේශවල ඇති භූ ගෝලීය සම්පත් කොල්ලකෑම. හතරවැනි කාරණය, තමන්ගේ අභ්‍යන්තර ආරක්ෂාව සලසා ගැනීම. මේ විදියට බටහිර අධිරාජ්‍යවාදී බලවේග සෑම රටකට ම ඇතුළුවන්නේ යම් කිසි අරමුණක්, අවශ්‍යතාවක් තමන්ට වාසිදායක ලෙස ඉටු කර ගැනීමට. ඒ නිසා, මේ මානුෂික අයිතිවාසිකම් සුරකින්නට යනවා කියන්නේ බොරු මායාවක්.

ප්‍රභාකරන් පසුගිය විරුදින කතාවේදී සඳහන් කර තිබුණා, කොසෝවෝ ප්‍රශ්නයේදී ජාත්‍යන්තර ප්‍රජාව කොසෝවෝව සමග සිටිනවා වගේ ලංකාවේදී ජාත්‍යන්තර ප්‍රජාව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සිටීම අවශ්‍යයි කියා...

ඔව්. මම මේ කියන කාරණයට ඒ කතාව බොහොම වැදගත්. මේ ප්‍රශ්න දෙකේ සමාන ව යන කාරණා රාශියක් තිබෙනවා. පසුගිය විරුදින කතාවේදී ප්‍රභාකරන් කියා සිටියා, අපේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නට නම් ජාත්‍යන්තර ප්‍රජාවගේ ආධාර අපට අත්‍යවශ්‍යයි.

ජාත්‍යන්තර ප්‍රජාව අප කෙරෙහි ඒ ආකාරයට කටයුතු නො කළොත් අපට අත්වන්නේ පරාජයක් බව. වෙනත් විදියකට කියනවා නම්, ප්‍රභාකරන් ඒ විරුදින කතාවෙන් ඉල්ලා සිටියේ, මේ රට තුළ දෙමළ ඊළම බිහිකිරීම සඳහා ජාත්‍යන්තර බලවේගවල සහයෝගය. ඊට ටික දිනකට පසු ව තමයි, ගැරත් එවන්ස් මේ රටට පැමිණ කියා සිටියේ ශ්‍රී ලංකා රජය උතුරට හමුදා ප්‍රහාර එල්ල කළොත් එහිදී මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය වුණොත් අපි R2P අනුගමනය කර මේ රටට විදේශ හමුදා මැදිහත් කිරීම සිදු කරනවා කියලා. 

ඇත්තෙන් ම අද කොටි ත්‍රස්තවාදීන් අහිංසක ජනතාව ඝාතනය කරන අවස්ථාවලදී එය කොටි ත්‍රස්තවාදීන්ගේ වැඩක් විදියට ජාත්‍යන්තර ජනමාධ්‍ය කතා කරන්නේ නැහැ. ඒ ජනමාධ්‍ය කියා සිටින්නේ  ශ්‍රී ලංකා රජයේ හමුදා සිවිල් දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල කරනවා කියලයි. ඇත්තෙන් ම ශ්‍රී ලංකා හමුදාව විසින් දෙමළ ජනතාවට හිරිහැර කිරීමක් නෙවෙයි සිදුවන්නේ. කොටි ත්‍රස්තවාදීනුයි ඒ හානිය කරන්නේ. නමුත් ජාත්‍යන්තර ජනමාධ්‍ය කියා සිටින්නේ රජයේ හමුදා විසින් සිවිල් ජනතාවට හානි කරනවා කියලයි. ඒ ප්‍රකාශ පිටුපස සැඟ වී තිබෙන්නේ ගැරත් එවන්ස්ලාගේ R2P කුමන්ත්‍රණය බව පැහැදිලියි. 

එදා වඩමාරච්චි සටනේදී අපට ජයග්‍රහණය අත ළඟ තිබියදී ඉන්දියාව කළේ මොකද්ද? උතුරේ දෙමළ ජනයාගේ මානුෂික අයිතීන් උල්ලංඝනය වන බව කියමින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ගුවන් මගින් පැමිණ ආහාර, ඖෂධ දැමුවා. ඊට සුලු කාලයකට පසු ව ඉන්දියානු සාම සාධක හමුදාව මේ රටට ගොඩබැස්සා. දැන් අද මේ කොටි ත්‍රස්තවාදය මුළුමනින් ම තුරන් කිරීමට ශ්‍රී ලංකා හමුදා කටයුතු කරන මේ අවස්ථාවේදී එය වැළැක්වීම සඳහා විදේශ හමුදා මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයකින් මානුෂික අයිතීන් යන සූත්‍රය සමග බටහිර බලවේග මේ රටට මැදිහත් වෙන්නයි මේ උත්සාහ කරන්නේ.

කොසෝවෝ වෙන ම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය නො පමා ව, එය තමන් නො පිළිගන්නා බව හා එහි වන අනතුර සම්බන්ධ ව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කළා. ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධ ව තිබෙන විදේශ මැදිහත්වීමක අනතුර, ශ්‍රී ලංකා රජය එබඳු උපාය මාර්ගික දැක්මකින් හඳුනාගෙන ඇතැයි ඔබ සිතනවා ද?

රජය මෙවැනි විදේශ මැදිහත්වීමක් සිදුවේවි කියන එක දන්නවා. නමුත් එයට අවශ්‍ය පිළියම් යෙදීමට රජයට ඒ ගැන උපාය මාර්ගයක් හෝ බුද්ධිමත් ව ඊට යොමුවීමක් සිදු කරන්නේ නැහැ. විශේෂයෙන් ම අපට මෙතැනදි පෙනෙන්නේ ඒ සම්බන්ධ ප්‍රචාරක කටයුතුවලදී රජය ඉතාම දුර්වලයි. අපේ තානාපති සේවය වෙත හා විදේශ මාධ්‍ය වෙත එය විදහා පෑමට රජය අසමත් වී තිබෙනවා.

ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධ ව බටහිර බලවේගයේ භූමිකාවත් ඉන්දියාවේ භූමිකාවත් වරින්වර සීරු මාරු වන අකාරය සම්බන්ධ ව ඔබගේ අදහස කුමක් ද?

ඇත්තෙන් ම අද අමෙරිකා එක්සත් ජනපදයේ, නැතිනම් බටහිර බලපෑම්වලට ඉන්දියාවත් සම්බන්ධ බවට විශ්වාසයක් තිබෙනවා. සටන් විරාම ගිවිසුම නිර්මාණය කිරීමේදී නෝර්වේ ජාතිකයින් ඉන්දියාවෙන් උපදෙස් ලබාගත් බව හිටපු නෝර්වීජියානු විදේශ ඇමතිවරයා සඳහන් කළා. ඒ කාල සීමාව තුළ නෝර්වේත් ඉන්දියාවත් අතර නොයෙක් සම්බන්ධකම් තිබුණා. ඒ නිසා ඉන්දියාව සෑම විට ම ඒ සටන් විරාම ගිවිසුමට සහයෝගය දැක්වූ රටක්. ඇත්තෙන් ම මේ රටට වූ විදේශ මැදිහත්වීම සම්බන්ධ ව කතා කිරීමේදී ඉන්දියානු සාම සාධක හමුදාව මෙරටින් ඉවත් වීමෙන් පසු සිදුවුණු දෙවැනි පියවර වශයෙන් හඳුන්වන්නට සිදුවන්නේ ඒ සටන් විරාම ගිවිසුමයි. මොකද, සටන් විරාම ගිවිසුමෙන් කාරණා තුනක් සම්පූර්ණ වන ආකාරය අපි දැක්කා. පළමුවැනි කාරණය තමයි, අපි බටහිර සාධකය කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ අනුව එම සම්පූර්ණ කාර්යය අපි නෝර්වේ රාජ්‍යයට භාර දුන්නා. (නෝර්වේ රාජ්‍යය ගැනීමට ප්‍රථමයෙන්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ සඳහා ආරාධනා කරන්නට බලාපොරොත්තු වුණේ අද කොසෝවෝහි සිටින විදේශ බලධාරියා වන අටිසාරිට. අටිසාරි මේ රටට ගෙන්වීමට දැඩි ලෙස විරෝධය පළකර, එය නැවැත්වූයේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහත්තයයි. ඊට පසුව තමයි කුමාරතුංග මහත්මිය විසින් මේ කාර්යයට නෝර්වේ යොදාගනු ලැබුවේ.) දෙවැනි කාරණය තමයි, අපේ භූමි භාගය තුළ බටහිර බලවේග, එනම් නෝර්වීජියානු මැදිහත්කරුවන් ක්‍රියාකිරීම නීතිමය වශයෙන් රජයෙන් භාරගැනීම. තුන්වැනි කාරණය තමයි, ස්කැන්ඩිනේවියානු එනම් ස්වීඩනය, පින්ලන්තය, ඩෙන්මාර්කය හා අයිස්ලන්තය යන රටවල් හතරේ නියෝජිතයින්ට මේ රටට ඇතුළු වී ඔවුන්ට, මේ රටේ ඇතිවන තත්ත්වය ගැන වාර්තා කිරීමේ අයිතිය දීම. ඒ නිසා ඒ කාලය වන තුරු මේ ක්‍රියාදාමයට යොදවා සිටි රාජ්‍ය නො වන සංවිධාන වෙනුවට ඊටත් වඩා බලවත් පිරිසක් සටන් විරාම ගිවිසුම මාර්ගයෙන් ලංකාවට යොමු කළා. ජ.වි.පෙ. කළ යෝජනාව භාරගෙන මහින්ද රාජපක්ෂ රජය ඒ සටන් විරාම ගිවිසුම අහෝසි කිරීම හරහා එය වැළැක්වීම මේ රටට කළ විශාල සෙතක්. මොකද, ඒ බලවේග නීතිමය වශයෙන් මේ රටේ ක්‍රියාත්මක වීම, ඒ නිසා වැළකුණා. සටන් විරාම ගිවිසුම තවදුරටත් ක්‍රියාත්මක වුණා නම්, කොසෝවෝ තත්ත්වයට මීට වඩා ශීඝ්‍රයෙන් අපේ රට ගමන් කිරීමේ හැකියාව තිබුණා. නමුත් එය වැළකුණා. සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ විදේශිකයින් පිරිස මෙරටින් පිටමං කිරීම නිසා, එය අසාර්ථක වීම නිසා දැන් ගැරත් එවන්ස් වැනි පිරිස R2P මත මේ රටට නැවත වරක් රාජ්‍ය නො වන සංවිධාන හරහා මේ කාරණය එළිපිට ම ගෙන එමින් තිබෙනවා. නමුත් තවමත් ශ්‍රී ලංකා රජය විසින් නෝර්වේ රාජ්‍යය මේ සාම ක්‍රියාවලියේ මැදිහත්කරු යන තනතුරින් ඉවත් කර නැහැ. ඔවුන් දැන් තිරය පිටුපස මැදිහත්කරු වශයෙන් ක්‍රියාත්මක නො වුණත් ඒ තනතුරේ අද වනතුරුත් සිටිනවා. ඒ අනුව බලද්දී අපේ රටට නෝර්වේ විසින් ඇති කරන ලද තර්ජනය තවමත් සම්පූර්ණයෙන් ඉවත්කර නැහැ. ඒ නිසා සටන් විරාම ගිවිසුමට අමතර ව, ඒ තනතුර හරහාත් නෝර්වේ ක්‍රියාත්මක වුණොත් අපේ රටට ඇතිවන්නේ හානිදායක තත්ත්වයක්.

මේ වන විට ශ්‍රී ලංකා රජය කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි ව දැඩි යුදමය ක්‍රියාමාර්ග ගන්නා අතරේ, අනෙක් පැත්තෙන් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නට සූදානම් වී සිටිනවා. මේ තත්ත්වය සම්බන්ධ ව ඔබගේ අදහස කුමක් ද?

මට පෙනෙන විදියට, ශ්‍රී ලංකා රජය ඒ ක්‍රියාව කරන්නේ ඉන්දියාව සතුටු කිරීම පිණිසයි. මොකද, අද ඉන්දියාව ශ්‍රී ලංකා රජයට විරුද්ධ ව යම්කිසි ආකාරයකට ක්‍රියාත්මක වුනොත් නැවත, එදා වඩමාරච්චියේදී අපේ ජයග්‍රහණය වැළැක්වූවා වගේ, ඍජු හෝ වක්‍රාකාරයකින් කොටි සංවිධානය ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ට ආයුධ සැපයීමේ ප්‍රයත්නයක යෙදී සිටිනවා. එය වැළැක්වීම අත්‍යවශ්‍යයි. ඒ නිසා ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේ සිදු කර තිබෙන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව දේශපාලන යෝජනාවලියේ සඳහන් කිරීම. ඇත්තෙන් ම, 13  වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතියේ කොටසක්. ඒ නිසා රජය මෙහිදී කර තිබෙන්නේ එම නීතිය ක්‍රියාත්මක කරන බවට සහතික වීම. නමුත් ඒ නීති තුළ තිබෙනවා, භයානක කොන්දේසි ගණනාවක්. ඒ අතර වන පොලිස් බලතල විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි. එය ක්‍රියාත්මක වුනොත් නැවත වරක් බෙදුම්වාදයට නීතිමය වශයෙන් කි්‍රයාකිරීමට ආධාර කිරීමක් වනවා වගේ ම, ඒ ප්‍රදේශවලට පොලිස් බලතල හා ආයුධ ලැබීමෙන් නැවත ත්‍රස්තවාදී කොටස්වලට පණ ගැන්වෙන්නට හැකි අවස්ථාවක් එළඹෙනවා. ඒ නිසා 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ නීතියක් වුණත් අප දකින ආකාරයට පසුගිය කාලය තුළ එය ක්‍රියාත්මක වීමේ අසාර්ථකභාවය මනාව හෙළිදරව් කර තිබෙනවා. එවැනි අවස්ථාවක, අප එම අතීත අත්දැකීම් මනාව අවබෝධකරගෙන, බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු නැවත කොටි සංවිධානයට හෝ වෙනත් බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමකට හිස එසවීමට අවස්ථාවක් නො දීම සඳහා, 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති භයානක කොන්දේසිවලට ඉඩ නො දීම රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක්. කෙසේ නමුත් මේ සියලු දේ කිරීමට ප්‍රථමයෙන් දැනට රජය විසින් කළ යුත්තේ එක ම දෙයයි. ඒ ඛෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කිරීම. එසේ කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් විනාශ කිරීමෙන් පසු, නැවත ත්‍රස්තවාදයට හිස එසවීමට නො හැකි වන ආකාරයට නීති සකස් කර, දෙමළ ජනතාවගේ හොඳ හිත දිනාගෙන, එම ප්‍රදේශවල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඉඩ කඩ සකස් කොට, එම ප්‍රදේශවල දේශපාලන හා සංවර්ධන කටයුතුවල නිරත වී, ඒකීය රාජ්‍යයක් තුළ විවිධ ජනකොටස්වල සමගිතාව ඇති කිරීම පිණිස ක්‍රියාත්මක විය යුතුයි.

ඔබ ඇතුළු වෘත්තිකයින් පිරිසක් විසින්  'Protect Sri Lanka' නමින් නව සංවිධානයක් පසුගිය දා පිහිටුවා ගනු ලැබුවා. මෙම සංවිධානය පිහිටුවීමේ අරමුණ සහ එහි කාර්යභාරයන් අප අවසාන වශයෙන් දැනගන්නට කැමතියි.  

මේ සංවිධානය ඇති කිරීම සඳහා අපට පෙනුණු ප්‍රධාන දෙයක් තමයි, ශ්‍රී ලංකා රජයේ හමුදාව බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට එරෙහි ව ගෙන යන සටන ඉතා ම ජයග්‍රාහී තත්ත්වයකට පත්වුණු අවස්ථාවක එය ව්‍යර්ථ කිරීම පිණිස, බටහිර බලවතුන් විසින් 'මානුෂික අයිතීන් උල්ලංඝනය කිරීම' යන චෝදනාව එල්ලකරනු ලබමින්, මේ රටට ඇතුළු වීමට වෑයම් කරමින් සිටිනවා. එවැනි අවස්ථාවක රජය විසින් එයට විරුද්ධ ව ගෙනයන කි්‍රයාකලාපය සාර්ථක නො වන බව පෙනෙන නිසා මේ රටේ බුද්ධිමතුන්ට යුතුකමක් තිබෙනවා, නිහඬ ව නො සිටීමට. අපි මෙහිදී බලාපොරොත්තු වුණේ ඒ අඩුපාඩුව සම්පූර්ණ කරමින්, හමුදාව ගෙන යන ඒ සටනට ආධාර කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමත්, විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ විදේශ මැදිහත්වීම් වැළැක්වීමට සහ ලංකාවට එල්ලවන තර්ජනවලට විරුද්ධව ක්‍රියාකිරීමට සංවිධානයක් ගොඩනැගීමයි. මොකද, අපට වෘත්තිකයින් වශයෙන් මේ ආකාරයට මේ රටේ ජීවත්වීමට අපට හැකි වුණේ, හමුදාව විසින් අපට එවැනි ආරක්ෂා සහිත වාතාවරණයක් ඇති කර තිබෙන නිසයි. ඒ නිසා හමුදාව සහ රට ආරක්ෂා කිරීමට වෘත්තිකයින් වශයෙන් අපට යුතුකමක් තිබෙනවා. වෘත්තිකයින්ගේ තිබෙන ලොකු අඩුපාඩුවක් තමයි, ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා හා ඔවුන්ගේ ආර්ථීක හා සමාජ තත්ත්වය දියුණු කරගැනීමට පමණක් සීමා වී කටයුතු කිරීම. අපි එයින් බැහැර වී, මේ සංවිධානය ඇති කළේ වෘත්තිකයින්ට මේ සංවිධානය වෙත ඒකරාශී වී මේ රටට ඇතිවන මේ උවදුර වැළැක්වීමට ක්‍රියාකිරීම සඳහා ඔවුන් උනන්දු කිරීමටයි.