රටක ජනමතය සංවිධානය කිරීමෙහිලා පුවත්පත් කතුවැකිය ඉටු කරන්නේ ප‍්‍රමුඛ භූමිකාවකි. ‘කතුවැකිය’ පුවත්පතේ මතවාදී ආස්ථානය, සමාජය තුළ එම පුවත්පතෙහි භූමිකාව නිරූපණය වන න්‍යෂ්ටිය ලෙස සැලකීම යුක්ති යුක්ත ය. දේශපාලනික - ආර්ථික - සාමාජික - සංස්කෘතික වශයෙන් සමාජයේ උද්ගතවන කිසියම් ප‍්‍රශ්නයක් හෝ සිදුවීමක් හෝ සම්බන්ධ ව පුවත්පත දරන මතය කතුවැකිය නිරූපණය කරයි. පුවත්පතේ විශේෂාංග ලිපියක් තුළ අදාළ ප‍්‍රස්තූතය සාකච්ඡා කරනවාට වඩා, එකී ප‍්‍රස්තූතය පිළිබඳ ව ‘කතුවැකිය’ ලිවීම වඩාත් බලපෑම් සහගත වේ.
කතුවැකිය, හේතු යුක්තීන්ගෙන් යුතු ව ගොඩනඟන අදහස්වලින් යුක්ත වන්නකි. කතුවැකියක් ලිවීම සඳහා හැම විට ම කාලීන, පොදු ජනතාව වෙත බලපාන වැදගත් මාතෘකාවක්, විෂය ක්ෂේත‍්‍රයක් තෝරාගනු ලැබේ. මෙහිදී සිය අදහස්, මතය ගොඩනැඟීමේදී ඒ පිළිබඳ පාඨක විශ්වසනීයභාවය රැකගනිමින් වඩාත් තර්කාන්විත මතයක් ගොඩනැඟීමට කතුවැකි රචකයාට සිදු වෙයි. කතුවැකිය කෙටිවීමත්, අනවශ්‍ය විචිත‍්‍රකරණයන්ගෙන් තොරවීමත් වැදගත් කරුණකි. ප‍්‍රංශ පුවත්පත්කලාවේදී ඇල්බෙයා කැමූ කතුවැකිය හඳුන්වා දී ඇත්තේ ”කතුවැකිය : එක් අදහසක්, උදාහරණ දෙකක් හා පිටු තුනක්” (Editorial : One idea, Two examples & Three pages) වශයෙනි. එනම්, මූලික ප‍්‍රස්තුත කරුණක්, සරල කෙටි උදාහරණ මගින් ඉදිරිපත් කිරීම හා සාධාරණීකරණය කතුවැකියක අත්‍යවශ්‍ය ගුණාංග වේ.(පියදාස,1993)
සන්නිවේදන විද්වතුන් සඳහන් කරන ආකාරයට, කතුවැකි රචනයේදී ආරම්භයක්, ශරීරයක් හා අවසානයක් යන අංගත‍්‍රය ම තිබිය යුතු වේ. එසේ ම, කතුවැකියේ භාෂාව සම්බන්ධ වැදගත් කාරණා දෙකක් වනුයේ, වචනයක නියතාර්ථ ගැන සැලකිලිමත්වීම හා ලිපියෙහි ස්වරයට ගැලපෙන පරිදි වචන භාවිතයයි.
කතුවැකි, අන්තර්ගතය අනුව වර්ග 7කට බෙදා දැක්වේ. එනම්,
1. මත කෙරෙහි බලපෑම් කෙරෙන කතුවැකි
2. වැරදි කටයුත්තකට විරුද්ධවීමට කෙරෙන අඬගැසීමක් සහිත කතුවැකි
3. පාඨකයින්ට තොරතුරු වැඩිපුර දී ඔවුන් දැනුම්වත් කිරීමේ කතුවැකි
4. යම් ව්‍යාපාරයකට උපකාර කිරීමට ලියන කතුවැකි
5. කෙනෙකුට සුබ පතන්නට හෝ උනන්දු කිරීමට ලියන කතුවැකි
6. ප‍්‍රවෘත්ති සම්බන්ධව සරල ව යමක් කියන්නට ලියන කතුවැකි
7. මහජන අවධානය යොමුකෙරෙන කරුණක් ඉදිරිපත් කරන කතුවැකි
වශයෙනි. (කාරියවසම්,1993)
කතුවැකි ලිවීම, හුදු විශේෂාංග ලිවීම ඉක්ම වූ බැරෑරුම් ලේඛන කාර්යයක් වේ. මෙහිදී රචනාවට මාතෘකා වුණු විෂය ගැන හොඳින් සිතා බැලීම, දෘෂ්ටිකෝණයේ ස්ථාවරභාවය, වේගවත්ව කළඹන්නට හැකිවීම, සම්භාවනීයභාවය හා අධිකාරීත්වයක් තිබීම යන ලක්ෂණ කතුවැකි රචකයකු තුළ අවශ්‍යයෙන් ම තිබිය යුතු වේ.(කාරියවසම්, 1993)
පුවත්පතක කතුවැකිය ප‍්‍රධාන කර්තෘ විසින් ම ලිවිය යුතුයැයි සම්මතයක් නැත. ඇතැම් විට ප‍්‍රධාන කර්තෘ විසින් එය ලියනු ලබන අතර, එසේ නොමැති නම් කර්තෘ මණ්ඩලයේ සිටින බහුශ‍්‍රැත හා සුවිශේෂ ලේඛන දක්ෂතා ඇති ලේඛකයකුට එය පැවරේ. කවරකු කතුවැකිය ලියූව ද, එහි අදහස් හා මතවාදවල වගකීම ප‍්‍රධාන කර්තෘට පැවරේ.
කතුවැකිය, කතුවරයාගේ පෞරුෂයේ කැටපත ද වෙයි. උසස් ආත්ම ශක්තියෙන් යුත්, අභිමානවත්, ස්වාධීන, අභීත කතුවරයකුගෙන් ලියැවෙන කතුවැකියකින් ඒ ගුණාංග හෙළිවෙයි. සියලු ක්ෂේත‍්‍රවල පතළ දැනුම මේ ගුණාංගවලට එක් වූ විට ඔහුගෙන් ලියැවෙන වැකි බැබළෙයි. එය ජන විඥානය හසුරුවන නියමුවෙක් වෙයි. ආයතන හිමියාගේ හෝ රජයේ හෝ ගැත්තකු වූ නිවට කතුවරයකුට යුගයේ කැටපතක් විය නො හැකි ය. ඔවුන්ගෙන් ලියැවෙන කතුවැකි දියාරු ය ; නපුංසක ය. (සිරිවර්ධන,2007)
මෙම සන්නිවේදනාත්මක පසුබිමෙහි තබා බලන විට පුවත්පත් කතුවැකියට හිමිවන සන්නිවේදන භූමිකාව ද, කතුවැකි රචකයකුට තිබිය යුතු සුවිශේෂ ගුණාංග ද හඳුනාගත හැකි ය.
කතුවැකි රචකයකු ලෙස දයාසේන ගුණසිංහ මහතාගේ භූමිකාව ගොඩනැඟෙන්නේ 80 දශකයේ දිවයින ඉරිදා සංග‍්‍රහයෙනි. දිවයින ඉරිදා සංග‍්‍රහයේ නියෝජ්‍ය කර්තෘවරයා මෙන් ම, කතුවැකි රචකයා වූයේ ද ගුණසිංහ මහතා ය. මෙරට කීර්තිමත් ඉංග‍්‍රීසි පුවත්පත් කලාවේදියකු වූ අජිත් සමරනායක මහතා පසු කලෙක සඳහන් කර තිබූ ආකාරයට, දිවයින ඉරිදා සංග‍්‍රහයේ සැබෑ නිර්මාපකයා වූයේ ගුණසිංහයන් ය. ඔහු, දිවයින ඉරිදා සංග‍්‍රහයේ සමාරම්භක පත‍්‍රයේ සිට, කතුවැකිය රචනා කරමින් මෙරට ජනමතය සැකසීම, ජනමතය සංවිධානය කිරීම සඳහා පුවත්පතට දැවැන්ත ප‍්‍රතිරූපයක් හා මතවාදී ආස්ථානයක් ගොඩනඟා දුන්නේ ය.
පුවත්පත්කලාව, පුවත්පත්කලාවේදියා, කතුවැකිය සම්බන්ධ බටහිර සන්නිවේදන නිර්වචන, මතවාද කවරක් වුව ද, තුන්වන ලෝකයේ රටක පුවත්පත්කලාවේදියාගේ සමාජ භූමිකාව කෙබඳු විය යුතු ද යන්න ගුණසිංහ මහතා නිවැරදි ව හඳුනාගෙන සිටියේ ය. එසේ නො වන්නට දයාසේන ගුණසිංහ නමැති පුවත්පත්කලාවේදියා, තවත් එක් පුවත්පත් කලාවේදියකු වන්නට ද, ඔහු හා ඔහුගේ භාවිතය ගැන මෙතරම් බරකින් නැවත නැවත කතා නො කරන්නටද ඉඩ තිබිණ. එහෙත් ඔහු පිහිටා සිටි දැක්ම විසින් අපට නැවත නැවත බලකර සිටින්නේ ඔහුගේ භාවිතය ගවේෂණය කරන්නට ය; හදාරන්නට ය.
ඔහු වරෙක මෙසේ ලිවී ය.
”තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාට තම මෙහෙවර ඉටු කිරීමට සිදුව ඇත්තේ ස්ථාවර සමාජයක නො ව, කැළඹී ඇළලී යන චංචල සමාජයක ය. බොහෝ විට එම සමාජය පවතින්නේ නිදහස් රාජ්‍යයක් ලෙස වර්ධනය වීමේ ප‍්‍රාරම්භක අදියරේ ය. එසේ නොමැති නම් ඊටත් වඩා මඳක් දියුණු අදියරක ය.
තම රටේ දේශපාලන නායකයින්ගේ චින්තනයේ සහ ආකල්ප විකල්පයන්හි ස්ථාවරභාවයක් තිබේ යැයි උපකල්පනය කොට ඒ අනුව කටයුතු කිරීමට පුළුවන්කමක් තුන්වන ලෝකයේ පුවත්පත්කලාවේදියාට නොමැත. දේශපාලකයින්ගේ මෙම චංචල ස්වභාවය හා එමගින් හිමි කෙරෙන චපල බව, පාලන තන්ත‍්‍රය ඔස්සේ පරිපාලන යන්ත‍්‍රයටත් ඒ ඔස්සේ සමස්ත සමාජයටත් කිඳා බසී. ඊට ඔරොත්තුදීමේ ප‍්‍රතිශක්තිය ඇති පුවත්පත් ආයතන පවා විරල ය. එහෙත් මේ සියල්ල මධ්‍යයේ නො සැලී සිටීමේ ශක්තිය පුවත්පත්කලාවේදියා සතු විය යුතු වේ. සමාජය කෙරෙහි ඔහුගේ වගකීම ඉතා බරපතළ ය. බටහිර ලෝකයේ තම සගයින්ට වඩා තියුණු සංවේදීභාවයක් හා පරමාදර්ශීභාවයක් ඔහු තුළ තිබිය යුතු වේ. යහපත් සමාජයක් හා ස්ථාවර රාජ්‍යයක් ගොඩනැංවීමේ භාරධූර කාර්යයෙන් අති විශාල කොටසක් තමන් වෙත පැවරී ඇති බැව් ඔහු විසින් අමතක කළ යුතු නො වේ.
මෙහිදී බටහිර ලෝකයේ පුවත්පත්කලාවේදීන් මෙන් හුදෙක් සන්නිවේදකයින් වශයෙන් පමණක් ක‍්‍රියාකිරීම ප‍්‍රමාණවත් නො වේ. තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියාගේ මෙහෙවර ඉතා සංකීර්ණ ය. විටෙක ඔහු සන්නිවේදකයකු පමණක් නො ව, ගුරුවරයකු හා උපදේශකවරයකු ද විය යුතු ය. තවත් විටෙක විනිසුරුවකු විය යුතු ය. එසේ ම සමාජ ශෝධකයකු හා උද්ඝෝෂකයකු ලෙස ද, අගතියට හා දූෂණයට එරෙහි ව නිරතුරු ව සටන් වදින සෙබළෙකු ලෙසද ක‍්‍රියාකිරීමට ඔහුට සිදුවේ. මේ අන්දමින් ඔහුගේ මෙහෙවර ජනසන්නිවේදනය පිළිබඳ බටහිර සංකල්පයට ඉඳුරා වෙනස් ය...”(ගුණසිංහ,1989)
ඔහු කතුවැකි රචනා සඳහා ගුරු කොට ගත්තේ තමන්ගේ මෙකී දැක්ම බව පැහැදිලි ය. දිවයින ඉරිදා සංග‍්‍රහයේ කතුවැකිය ‘සන්නාමයක්’ බවට පත්වූයේ ඔහුගේ මෙම දැක්ම හා අදීන රචනා ශෛලිය නිසා ය.
1981 ඔක්තෝබර් 04 වන දා සමාරම්භක කතුවැකියෙන්, ඔහු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ලාංකේය සමාජයේ නිරූපණය කරන මාධ්‍ය භූමිකාව කෙබඳු ද යන වග පැහැදිලි කරන්නේ, නව පුවත්පත කෙරෙහි පාඨක සමාජය තුළ විශ්වසනීය ප‍්‍රතිරූපයක් නිර්මාණය කරමිනි.
”... අපේ පිළිවෙත නිදහස් ලෝකයේ නිදහස් පුවත්පත් විසින් අනුගමනය කෙරෙන පිළිවෙතයි. එනම් පොදු ජන අයිතිය රැකීමයි. මේ රටේ ජනතාව අපේ ස්වාමිවරුන් ලෙස අපි පිළිගන්නෙමු. ඔවුන්ගේ ප‍්‍රගතියට හේතු වන්නේ කිමෙක් ද අපි ඊට පක්ෂ වෙමු. ඔවුන්ගේ පරිහානියට හේතු වන්නේ කිමෙක් ද අපි ඊට එක හෙළා ම විරුද්ධ වෙමු. අපි සාමය අගයන්නෙමු. එහෙත් සටන් නො කර බැරි තැනදී එක හිතින් ම සටන් වදින්නෙමු.
බස රැකෙන්නට නම් දෙස ද, දෙස රැකෙන්නට නම් රැස ද රැකිය යුතු බැව් අපි අදහන්නෙමු. එමෙන් ම, රැස රැකෙන්නට නම් කුස රැකිය යුතු බව ද අපේ පිළිගැනීමයි.
මෙහිදී අපේ අවධානය මූලික ව ම යොමු වන්නේ ප‍්‍රතිපත්ති, ක‍්‍රියා මාර්ග හා ඉන් ඇතිවන ප‍්‍රතිඵල කෙරෙහි මිස පුද්ගලයින් කෙරෙහි නො වේ. එහෙයින් අපි පුද්ගලාභිවාදනය පිටුදකින්නෙමු. පුද්ගලාවමානය ද ඒ හා සමාන ව ම පිටු දකින්නෙමු. එහෙත් ජනතාවට සතුරුකම් කරනුයේ කවරෙකු ද ඔහු අපේ සතුරෙක් වෙයි. ජනතාවට මිතුරුකම් කරනුයේ කවරෙකු ද ඔහු අපේ මිතුරෙක් වෙයි...” (දිවයින ඉරිදා සංග‍්‍රහය, 1981 ඔක්තෝබර් 04)
අලුත් පුවත්පතක් වෙළෙඳපොළට පිවිසීමේදී සිය මංගල කතුවැකියෙහි බැරෑරුම් වාග්පාඨ දක්වමින් පාඨකයාට තමන්ගේ අනාගත භාවිතය පිළිබඳ පුරෝකථන ඉදිරිපත් කිරීම, පොරොන්දු දීම සුලබ තත්ත්වයකි. නමුත් තම පළමු කතුවැකියෙන් ඉදිරිපත් කළ දැක්ම, අනාගත භාවිතය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට සමත්වන්නේ පුවත්පත් කීයෙන් කීය ද? නමුත් කතුවැකි රචකයා ගුණසිංහයන් වීම නිසා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට’ එබඳු ඉරණමක් අත් නො වී ය. එය පුවත්පතේ ‘වාසනාවකට’ වඩා, ලාංකේය සමාජයේ ‘වාසනාවක්’ බව අවධාරණය කළ යුතු වේ.
උක්ත කතුවැකියෙන් ‘දෙස, බස, රැස රැකීමට නම් පළමුව කුස රැකිය යුතුය’ යන අපූර්ව ප‍්‍රවාදය ඉදිරිපත් කරමින් ගුණසිංහ මහතා පෙන්වා දෙන්නේ ප‍්‍රායෝගික යථාර්ථයයි. ජනතාවගේ දිවි පැවැත්ම අනතුරට ලක් වෙමින් ඇති මොහොතක, සංකල්ප ලෝකයක දෙස, බස, රැස පමණක් රැකීමට උත්සාහකිරීමේ විහිලුසහගතබව ඔහු නො කියා කියයි.
කතුවැකි රචකයකු ලෙස ගුණසිංහ මහතා සිය ගමනාරම්භය සලකුණු කරන්නේ එතැනිනි. 1981 ඔක්තෝබරයේ සිට 1986 ජූනි දක්වා වූ ඒ ගමන, දැහැමින් සෙමින් ගතවූ දේශපාලන - ආර්ථික හා සමාජ - සංස්කෘතික අවකාශයක සිදු වූ එකක් නො වී ය. ඔහු හුදු පුවත්පත් කතුවැකි රචකයකු ලෙස කියැවීම වෙනුවට, ඒ සමාජ මොහොත තුළ තබා ඔහුගේ භාවිතය අධ්‍යයනය කිරීම අවශ්‍ය වන්නේ එබැවිනි.
80 දශකය ලාංකේය ඉතිහාසයේ තීරණාත්මක අවධියකි. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් උදුරාගනිමින්, දේශපාලන බලවේග මර්දනය කරමින්, තරුපහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පිළිබඳ පුරසාරම් දොඩමින් පැවති අවධියකි. දේශපාලන තන්ත‍්‍රයේ සිට නිලධාරී තන්ත‍්‍රය දක්වා මහා පරිමාණ දූෂණ වංචා අක‍්‍රමිකතා වැඩි වර්ධනය වූ අවධියකි. සමාජ - සංස්කෘතික වශයෙන් ලාංකේය සමාජයේ දැවැන්ත බිඳ වැටීමක් ඇරඹුණු අවධියකි. එහෙව් රටක, ලේඛකයාගේ භූමිකාව කුමක්දැයි පසුකලෙක ගුණසිංහ මහතා මෙසේ ලියා ඇත්තේ, එස්.ජී. පුංචිහේවා මහතාගේ සකසු වැකි සරණිය වූ ‘කළුවර කැටයම’හි ය.
”ජන සමාජයේ කොතැනක හෝ වේවා අයුක්තියක් අසාධාරණයක් ඇසු දුටු සැණින් එය තමන්ට සිදු වූවක් හා සමාන ව සලකා කෝපාවිෂ්ඨ වීම ලේඛකයකු වෙත අවශ්‍යයෙන් ම තිබිය යුතු ලක්ෂණයකි. එහෙත් එය ආවේගයක් සේ පුපුරා යා නො දී, තම ලේඛනයට ජවය සපයන බලශක්තියක් බවට හරවාගත හැකි සංයමය ද ඔහු තුළ තිබිය යුතු ය...”
පුපුරා යාමට තරම් කෝපාවිෂ්ට වන සිදුවීම් සමකාලීන සමාජ මොහොතේ සිදු වෙමින් පැවතුණු අතර, ගුණසිංහ මහතා ද එය සිය කතුවැකි රචනාකිරීම සඳහා ජවය සපයන බලශක්තියක් බවට පරිවර්තනය කර ගත්තේ ය. ඒ තුළ ඔහු වෙතින් නිර්මාණය වූයේ අදීන හා බලවත් වූත්, ජනමත සංවිධානය කිරීමෙහි ලා වඩාත් මඟ පෙන්වන්නාවූත් කතුවැකි රැසකි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය සම්බන්ධ මාදිලිය ලෙස ‘සිංගප්පූරුව’ තෝරාගෙන ඇති බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප‍්‍රකාශ කරන්නට යෙදිණ. අනාගතයේ ලංකාව, සිංගප්පූරුවක් කරන බවට උදාන වාක්‍ය එවක ආණ්ඩුවේ ප‍්‍රචාරක මාධ්‍ය වෙතින් පළ වෙමින් තිබිණ. ඊට ප‍්‍රතිපක්ෂ ව ”ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑව හා මායාව” යන මැයෙන් කතුවැකිය රචනා කරමින් ගුණසිංහ මහතා මෙසේ සඳහන් කරයි.
”... මෙරට ආර්ථිකය පමණක් නො ව සංස්කෘතිය ද, සභ්‍යත්වය ද ඉතා දියුණු අදියරකට එළඹියේ එම ධාර්මික රජවරුන්ගේ රාජ්‍ය කාලයන්හිදී ය. එම යුගවලින් අපට උරුම වූ නෂ්ටාවශේෂ දැනුදු ජාතියක් වශයෙන් අපට අභිමානය හා ආත්ම ධෛර්යය ගෙන දෙයි. වර්තමානයේ ජීවත්වන අප අනාගතය දෙස බැලිය යුත්තේ අතීතයෙන් විහිදෙන එම ආලෝකය ඔස්සේ ය. ඉතිහාසයට පිටුපෑම මුල් සිඳ දැමීමක් හා සමාන ය. මුල් සිඳ දැමීමත් සමග අතීතයෙන් අප ලබන පෝෂණය හා ජීවගුණය සිඳී යයි. ඉන්පසු ඉතිරි වනුයේ මරණය හෝ ජීවයෙන් තොර නිස්සාර පැවැත්මක් පමණකි.
සිංගප්පූරුව, තායිලන්තය, පිලිපීනය හෝ ඉන්දුනීසියාව ගමන් කර ඇත්තේ කවර මාර්ගයකට ද යන්න සොයා බලා ඉන් පාඩම් උගැනීමෙහි වරදක් නැත. එහෙත් අප ඒ මාර්ගයෙහි ම යා යුතු ද? පුද්ගලයින්ට මෙන් ම, රටවලට ද තම තමන්ට ආවේණික වූ දර්ශනයක් තිබිය යුතු ය. එසේ නොමැති ව දුවන්නන් වාලේ දිවීම විනාශයට මුලකි.
එහෙත් අපේ ම පුද්ගලයින් හුදු ආත්මාර්ථකාමී පරමාර්ථ සඳහා රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට මෙන් ම, දේශපාලන පරිණාමයට ද සහමුලින් ම පරිබාහිර වූ ආගන්තුක මත දේශනා කිරීමට අද පෙළඹී සිටින බැව් පෙනේ. මෙය බලවත් වරදකි...” (‘දිවයින ඉරිදා සංග‍්‍රහය’, 1982 නොවැම්බර් 21)
රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් හා සංවර්ධන උපාය මාර්ගයක් ස්ථාපිත කර ගැනීම සඳහා රටට අනන්‍ය ඓතිහාසික තත්ත්ව හා කොන්දේසි මත පිහිටා ගොඩනඟන මාදිලියක් මිස, විදේශයක මාදිලියක් ආදේශ කොටගෙන යා හැකි ගමනක් නැත. විදේශ මාදිලියකින් ‘සංවර්ධන සංදර්ශන’ මවා පෙන්විය හැකි වුව ද, දිගු කාලීන ව ගත් විට එය මායාවක් පමණි. මෙතැනදී කතුවැකි රචකයා හුදු විවේචනයට සීමා නො වී, මාර්ගෝපදේශකයකු ද වෙමින් සිදු විය යුතු ආකාරය ගැන මඟ පෙන්වීම ද සිදු කරයි. මෙය විපක්ෂ දේශපාලකයකුගේ කාර්යයට සපුරා වෙනස් භාවිතයකි. විපක්ෂ දේශපාලකයකුගේ මත දැක්වීම විවේචනයෙන් ඔබ්බට නො යයි. නමුත් කතුවැකි රචකයා වශයෙන් වඩා පුළුල් භූමිකාවක් හා වගකීමක් ගුණසිංහ මහතා තමන් වෙත පවරා ගනී. විපක්ෂ දේශපාලනයේ හුදු ආණ්ඩු විරෝධයට ‘හිසක්’ ලැබෙන්නේ කතුවැකි රචකයාගෙනි. ‘කඩවසම් කවන්ධ’ වටා කරකැවෙන ජනමතය, ‘හිසක්’ කේන්ද්‍ර කොට පෙළ ගස්වන්නට ඔහු කටයුතු කරයි.
1978 වර්ෂයේ මෙරටට හඳුන්වා දුන් වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමය මගින් ශ‍්‍රී ලංකාව නව ලිබරල්වාදී ගෝලීය ප‍්‍රාග්ධන යාන්ත‍්‍රණයට ගැට ගැසීමෙන් පසු ව, විදේශ ආයෝජකයින්ට ලංකාවේ සිය ආයෝජන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීම සඳහා ‘විදේශාධාර’ නමින් විදේශ ණය වඩ වඩාත් සපයන්නට අන්තර් ජාතික මූල්‍ය ආයතන කටයුතු කළහ. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ඒ අනුව මෙරටෙහි ඇරඹිණ. නමුත් මේවා සඳහා ලබාදුන් ණය මුදල් සම්පූර්ණයෙන් ඒ සඳහා නො යෙදවුණු අතර, අදාළ දේශපාලකයින් හා නිලධාරීන් විසින් එම මුදලින් සැලකිය යුතු ප‍්‍රතිශතයක් අයථා ක‍්‍රම මගින් තමන්ගේ පෞද්ගලික සංවර්ධනය සඳහා යොදාගැනීමට කටයුතු කෙරිණ. ‘ජාතියේ සාරය උරාබොන්නෝ” යන මැයෙන් වන කතුවැකියෙහි ගුණසිංහ මහතා එම තත්ත්වය පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි.
”... ජාතියේ සිරුර තුළට කා වැදී සාරය උරා බොන එවැනි ම පණුවන් රැසක් වෙති. ඔවුහු නාස්තියේ හා දූෂණයේ පණුවෝ ය. මෙවැනි පණුවන් බහුල වූ විට සෞඛ්‍යය පිරිහී ජාතිය රෝගී වෙයි. ජාතිය පෝෂණය කිරීම සඳහා කොතෙක් මුදල් වැය කළ ද, කොතෙක් විදේශාධාර ආයෝජනය කළ ද ඉන් ඇති ඵලක් නැත. මන්දයත් එම ධනස්කන්ධයෙන් වැඩි කොටසක් කැපවන්නේ පණුවන්ගේ පෝෂණය සඳහා බැවිනි.
ආර්ථික වශයෙන් අද අපේ ජාතිය පසුවන්නේ මන්ද පෝෂණයයෙන් ගිලන් වූ අවස්ථාවක ය. මෙය ක‍්‍රමයෙන් අසාධ්‍ය වෙමින් පවතියි. මෙම බිහිසුණු අවස්ථාව මඟ හරවාලීමට නම් අන් හැම දෙයකට ම පළමු පණුවන් ඉවත් කරලිය යුතු ය.
එහෙත් ඒ සඳහා උපරිම ශක්තියෙන් තබා අවම වශයෙන්වත් ප‍්‍රයත්නයක් දරනු ලබන්නේ ද?...” (‘දිවයින ඉරිදා සංග‍්‍රහය’, 1982 මැයි 23)
මෙලෙස නව ලිබරල්වාදී ආර්ථිකයේ ආරම්භක මොහොත තුළ ඉපැදුණු මෙම ‘පණුවෝ’ දශක හතරකට පසු අද වන විට පරම්පරා කිහිපයක් බිහිකර මෙරට ජාතික ධනය ගසාකෑම සංස්ථාපිත යාන්ත‍්‍රණයක් මට්ටමට පත් කර තිබෙන බව අමුතුවෙන් නො කිව මනා ය.
වචන හරඹ මගින් ද, සංඛ්‍යාලේඛන මගින් ද සංවර්ධන පුරසාරම් දෙඞීම ආණ්ඩුවක සාමාන්‍ය ස්වභාවයයි. එකක් සිදු කර එය කිහිප ගුණයකින් වර්ධනය කර ප‍්‍රචාරය කිරීම මෙහිදී දැකිය හැකි ය. එබඳු මිථ්‍යාවක් සමාජය හමුවේ තබන්නට පාලකයින්ට සිදු වන්නේ යථාර්ථය පෙන්වාදීම අසීරු නිසා ය. තමන්ගේ සංවර්ධන අඬහැරයට වඩා ඇත්ත සංවර්ධනය හාත්පසින් ම වෙනස් නිසා ය. 80 දශකය මුල් භාගයේදී, ශ‍්‍රී ලංකාව නුදුරේදී ම සහලින් ස්වයං පෝෂිත වන බවට දැවැන්ත ප‍්‍රචාරයක් රජය විසින් ගෙන යන ලදී. ඒ බව තහවුරු කිරීම සඳහා, මෙරට ගබඩා කර තිබූ සහල් තොගයක් නැවක පටවා පිටරට යවනු ලැබිණ. එහෙත් 1982 වර්ෂයේදී මහජන බැංකුව විසින් කරන ලද සමීක්ෂණයක වාර්තාවෙන් අනාවරණය වූයේ 1977-1980 අතරතුර කාලයේදී මෙරට කෘෂිකර්ම අංශයේ වර්ධන අනුපාතිකය 11% සිට 1.5% දක්වා පහත බැස ඇති බව ය. මෙය පදනම් කොටගෙන, ‘සත්‍යය හා මිථ්‍යාව’ යන මැයෙන් කතුවැකිය රචනා කරන ගුණසිංහ මහතා මෙසේ සඳහන් කරයි.
”සත්‍යය අමිහිරි විය හැකිවා සේ ම, මිථ්‍යාව අතිශයින් ම මිහිරි විය හැකි ය. එහෙත් සත්‍යයට පිටුපා මිථ්‍යාවෙහි විසිය නො හැක. ඒ අන් හේතුවක් නිසා නො ව, මිථ්‍යාව මත ගොඩනැඟෙන සුවදායක ලෝකයෙහි ආයුෂ ඉතා කෙටි බැවිනි.
මේ රටේ කෘෂිකර්මය පිළිබඳ මිථ්‍යාවක් දැන් බිඳ වැටී ඇත. එනම්, නුදුරේදී සහලින් ස්වයංපෝෂිත වීමේ මිථ්‍යාවයි.
...මිථ්‍යාවක් ගොඩනැෙඟන්නේ සත්‍යයට මුහුණදීමට ඇති අකැමැත්ත නිසා ය. මෙය මානුෂික දුබලතාවකි. එහෙත් පමා වී හෝ සත්‍යයට මුහුණ දිය යුතු වේ. එවිට මිථ්‍යාවෙන් සිදුවන හානිය ඔඩුදුවා අවසානය...
සාමාන්‍ය පුරවැසියකු මිථ්‍යාවක වෙසෙන කල ඉන් විපතට පත් වන්නේ ඔහුත්, ඔහුට සමීප වූ සීමිත පිරිසකුත් පමණකි. එහෙත් ජනනායකයින් මිථ්‍යාවාදීන් වූ විට මුළු මහත් ජාතියක් ම විපතට පත් විය හැකි ය.” (‘දිවයින ඉරිදා සංග‍්‍රහය’, 1982 මැයි 02)
”රාජ්‍ය නොවන සංවිධාන” මෙරටට වැඩියෙන් ඇතුළු වීමට පටන්ගත්තේ ඉකුත් 80 දශකයේදී ය. විවිධ නාමපුවරු යටතේ, සංවර්ධනය, දිළිඳුකම, ස්ත‍්‍රිය, පරිසරය, කෘෂිකර්මාන්තය, මානව හිමිකම් යනාදී ක්ෂේත‍්‍ර කේන්ද්‍ර කොටගෙන රාජ්‍ය නොවන සංවිධාන රැසක් මෙරට තුළ සිය මෙහෙයුම් ඇරඹූහ. රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීත්වය තුළ ඇති බිහිසුණු අනතුර පෙර දකිමින් ”ශ‍්‍රී ලංකාව යනු ජාත්‍යන්තර අම්බලමක් ද?” යන මැයෙන් වන කතුවැකියෙහි ඔහු මෙසේ සඳහන් කරයි.
”අද මේ රටට මුදල් රැගෙන එන සියලූ දෙනා ම හුදු ව්‍යාපාරික අරමුණු ඇති ආයෝජකයෝ පමණක් ම නො වෙති. විවිධාකාර දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මුදල් රැගෙන එන නොයෙකුත් ඒජන්තවරු ද ඒ අතර වෙති. මහ බලවතුන් අතර ජාත්‍යන්තර ආධිපත්‍යය සඳහා බල අරගලයක් පවතින මෙවැනි වකවානුවක, විවෘත ආර්ථිකයේ හෝ අන් වෙනයම් සැලැස්මක හෝ හේතුවෙන් එබඳු විනාශකාරීන්ට මේ දේශයෙහි දොර ජනෙල් විවෘත කර තැබීම දේශද්‍රෝහී මෙන් ම, ජාති ද්‍රෝහී ද වූ ක‍්‍රියාවකි.
... අද මේ රට තුළ බිහි වී ඇත්තේ මුදල් බලය ඇත්නම් ඕනෑ ම දෙයක් කළ හැකි සමාජයකි. මෙබඳු සමාජයක විවිධ විදේශික බලවේගවලට මේ රටේ තමන් විසින් මිල දී ගනු ලබන රූකඩ මගින් ඕනෑ ම දෙයක් කළ හැකි ය. දැනට නැතත් අවසානයේදී රජයක් පෙරළා දමා තමන් රිසි රජයක් බලයට පත් කිරීමට හැකි තරමට මෙම බලය වර්ධනය විය හැකි ය.
මේ රටේ විවිධ ස්වේච්ඡා සංවිධානවලට ලැබෙන විදේශාධාර සම්බන්ධයෙන් පාලනයක් රජයට නොමැත. එම මුදල් යොදවා කරනු ලබන විවිධ කටයුතු පිළිබඳ ව සොයා බැලීමක් ද නොමැත. එසේ නම් මේ රට පත්ව ඇත්තේ අම්බලමකටත් අන්ත තත්ත්වයකට නො වේ ද?” (‘දිවයින ඉරිදා සංග‍්‍රහය’, 1986 මැයි 25)
වර්තමානය වන විට රාජ්‍ය නොවන සංවිධාන අපේ රටේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධ ව මෙන් ම, මේ රටේ ආණ්ඩු පෙරළි සඳහා ද තීරණාත්මක ලෙස බලපාන තත්ත්වයට පත්ව ඇති පසුබිමක, ගුණසිංහයන් දශක තුනකට පෙර පුරෝකථනය කර ඇත්තේ මෙබඳු අනාගත ලංකාවක් ගැන නො වේ ද?
80 දශකයේ මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පළමු වරට කැළඹීමක් ඇතිවූයේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ ‘අධ්‍යාපන ධවල පත‍්‍රිකාව’ හේතුවෙනි. ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම, දේශපාලන බලවේග රැසක් ද මේ සම්බන්ධ ව සිය විරෝධය පළ කර සිටියහ. අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට එරෙහි ව ශිෂ්‍ය ව්‍යාපාරය විසින් 1982 ජනවාරි 06 වන දා කොළඹදී පැවැත්වූ විරෝධතාවට ආණ්ඩුව පිළිතුරු දුන්නේ පොලීසිය හා වෙනත් මැර කල්ලි යොදවා පහර දීමෙනි. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පුරසාරම් දොඩමින්, මහ පොළොවේ ක‍්‍රියාත්මක කරන ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ පිළිබඳ ව ‘කතාව හා ක‍්‍රියාව’ යන මැයෙන් ලියන කතුවැකියේ ඔහු මෙසේ ලියයි.
”... අද අප ජන ජීවිතයේ ඇතිවන යම් යම් සිද්ධි දෙස බලන විට අපට හැඟී යන්නේ ආණ්ඩු ක‍්‍රමයෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණාංග ව්‍යවස්ථා පොතට පමණක් සීමා වී ඇති බවකි. පසුගිය බදාදා කොළඹ නගර සභා ශාලාව අසලදී ඇති වූ අවාසනාවන්ත සිද්ධිය ඊට එක් නිදර්ශනයකි. එදින විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට විරෝධය පළ කිරීම සඳහා සටන් පාඨ සහිත පුවරු ද අතැති ව මඟ අයිනේ පෙළ ගැසී සිටියහ. අපේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මේ රටේ පුරවැසියනට තම අදහස් පළ කිරීමටත් ඒ සඳහා සංවිධානය වීමටත්, එමෙන් ම සාමකාමී ලෙස වෙනත් අවශ්‍ය පියවර ගැනීමටත් සම්පූර්ණ නිදහස ඇත.
ඉහත කී විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් සිය අදහස් දැක්වීම සඳහා භාවිත කරන ලද්දේ එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසයි. එහෙත් ඔවුන් සතු එම නිදහස ආරක්ෂා වී ද යන්න ප‍්‍රශ්නයකි.මෙම සිද්ධියට කෙළින් ම මැදිහත් වූ සිසුන්ගේත් පොලිසියේත් ප‍්‍රකාශ බැහැර කර එය සියැසින් දුටු පිටස්තර පුද්ගලයින්ගේ ප‍්‍රකාශ පමණක් විමසුමට ලක් කරන විට පෙනී යන්නේ පොලීසිය විසින් කිසිදු පෙළඹීමකින් තොර ව සිසුන්ට පහර දී තුවාල සිදු කළ බවයි. පොලිස් හමුදාව පිහිටුවා ඇත්තේ පුරවැසියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස රැකීමට මිස, එය විනාශ කර දැමීමේ ආයුධයක් කර ගැනීමට නො වේ. එහෙත් මෙම සිද්ධියේදී පොලීසිය ක‍්‍රියාකර ඇති ආකාරය දෙස බලන විට පෙනී යන්නේ එය පොලිස් හමුදාවකට වඩා මැරවර හමුදාවක් ලෙස ක‍්‍රියාකර ඇති බවයි.
සිසුන්ට පහර දුන් පොලිස් හමුදාවෙහි නිල ඇඳුම් ලා ගත් පොලිස් භටයින් මෙන් ම, සිවිල් ඇඳුමින් සැරසුණු යම් යම් උදවිය ද සිටි බැව් එම සිද්ධියේදී අපේ ඡායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද ඡායාරූපවලින් පෙනෙයි. එම පුද්ගලයින් අත බයිසිකල් දම්වැල්, යකඩ පොලූ, කම්බි කූරු හා ස්ප‍්‍රිං දුනු වැනි ආයුධ තිබූ බව ද අපට ඔප්පු කළ හැකි ය. පොලීසියේ සමහර නිලධාරීන් අත ද බැටන්පොලු වෙනුවට දෙපසට යකඩ විලි දැමූ පොලූ තිබූ බව ද ඡායාරූපවලින් පැහැදිලි ව පෙනේ.
මෙම සිද්ධියේදී පොලීසිය ඒ අන්දමින් ක‍්‍රියා කරන්නට ඇත්තේ තමන්ගේ කැමැත්ත අනුව නො ව, තමන්ට ලැබුණු අණක් අනුව විය හැකි ය. එහෙත් එක් කරුණක් ගැන නම් කිසිදු සැකයක් නැත. එනම් පොලීසියේ අරමුණ වූයේ සිසුන් හසුරුවා සාමය රැකීම නො ව, ඔවුන් ප‍්‍රකෝප කර අවසානයේදී ඔවුන්ට අඩන්තේට්ටම් කිරීම බවයි.
අධ්‍යාපන ධවල පත‍්‍රිකාවට එරෙහි ව දැඩි විරෝධයක් මේ රටේ බොහෝ අංශවලින් පළ වී ඇත. එහෙයින් එය සිසුන්ට පමණක් සීමා වූ විරෝධයක් නො වේ. ඔවුන් මෙහිදී ක‍්‍රියාකර ඇත්තේ රටේ සෑම තැනින් ම නැඟෙන පොදු විරෝධයේ එක් අංශයක් හැටියට ය.
මෙබඳු තත්ත්වයක් යටතේ ධවල පත‍්‍රිකාව කෙරෙහි සිය විරෝධය පළකළ සිසුන්ට එරෙහි ව මෙවැනි අන්තවාදී පියවරක් ගැනීම කෙතරම් යුක්ති යුක්ත ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කෙතරම් එකඟ ද?
මෙකී සිසුන් වාමාංශික පක්ෂ විසින් මෙහෙයවනු ලැබූවන් යැයි කී පමණින් ඔවුනට බිහිසුණු ලෙස පහරදීමේ සිද්ධියෙහි දුර්දාන්ත බව වසන් කළ හැකි යැයි අපි නො සිතමු. එවැන්නක් මේ රටේ මැදිහත් පොදු ජනතාව විසින් අනුමත කරනු ඇතැයි ද අපි නො සිතමු.
මේ රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ටිකෙන් ටික දිය වී යන්නට වූයේ අප නිදහස ලැබූ දා සිට ම ය. එම පරිහානිය කිසිදු බාධාවකින් තොර ව දිගින් දිගට ම සිදුවන බවට මෙම සිද්ධිය දෙස් කියයි.
කතාවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීම හා ක‍්‍රියාවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීම එකක් නො ව, දෙකකි. මේ රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ මුලින් කී ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නො ව, දෙවනු කී සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එය අවබෝධ කර ගැනීම පාලකයින්ගේ වගකීමකි. (‘දිවයින ඉරිදා සංග‍්‍රහය’, 1982 ජනවාරි 10)
80 දශකය පුරා ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන යනු ලැබූ ශිෂ්‍ය මර්දනයේ ආරම්භක මොහොත මෙය විය. ඒ පළමු මොහොතේ ම, මර්දනයට එරෙහි ව ජනමතය සංවිධානය කරන්නට ඔහු කතුවැකිය භාවිත කරන්නේ දෙගිඩියාවකින් තොර ව ය. වර්තමානයේ ශිෂ්‍ය විරෝධතාවකට පොලීසිය විසින් පහරදීමක් සම්බන්ධ ව ජනමාධ්‍ය හැසිරීම හා 80 දශකයේ මෙම කතුවැකිය රචනා කිරීම එක මිම්මෙන් මැනිය නො හැකි ය ; නො යුතු ය.
අද මෙන් මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය වැනි මාධ්‍ය ගණනාවක් නො පැවති අවකාශයක, ජනතාව නියෝජනය කරන හඬ ලෙස පුවත්පතට තනි ව සටන් කරන්නට සිදු ව තිබූ මොහොතක, ආණ්ඩුවෙන් එල්ල විය හැකි තර්ජනය මාධ්‍ය කිහිපයක් වෙත බෙදී නො ගොස් එකක් වෙත පමණක් කේන්ද්‍රගතවීමේ අවාදනමක් ඇති මොහොතක, එබඳු අවදානමකදී තමන් වෙනුවෙන් පෙනී සිටින්නට ‘මාධ්‍ය සංවිධාන’ නැති සමාජ අවකාශයක, ශිෂ්‍යයින්ට පහර දුන් බයිසිකල් දම්වැල්, යකඩ පොලු, කම්බි කූරුවලින් සන්නද්ධ සිවිල් ඇඳුමින් සැරසුණු උදවිය හෙට දවසේදී තමන් මහ මඟ යනෙන අතරතුර හමුවන්නට පැමිණිය හැකි මොහොතක, ඒ හමුවීම සටහන් වන්නට ‘සීසීටීවී කැමරා’ නොමැති යුගයක, ගුණසිංහ මහතා ලියන මේ කතුවැකියට හිමි වන ‘දේශපාලනික හා සන්නිවේදනාත්මක බර’ මැනිය හැක්කේ කෙබඳු මිනුමකින් ද?
එක් අතකින් මෙම කතුවැකිය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ව, රජය හා පුවත්පතක් අතර ද්වන්ධ සටනකි. තවදුරටත් මේ පිළිබඳ අන්වීක්ෂ පරීක්ෂාවක් කළහොත් ඇත්තෙන් ම මෙය බහුවිධ බලයෙන් සන්නද්ධ ආණ්ඩුවක් හා පෑනක් පමණක් අතැති තනි පුවත්පත්කලාවේදියෙක්/ කතුවැකි රචකයෙක් අතර ද්වන්ධ සටනකි.
අපේ රටේ ජාතික ගැටලුව වඩාත් වර්ධනය වූයේ 80 දශකයේදී ය. බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේදී බෙදා වෙන් කර පාලනය කිරීම මගින් මෙරට සිංහල - දෙමළ ජාතිකත්ව අතර විරසකභාවයේ බීජ වපුරන ලද අතර, පශ්චාත් යටත් විජිත අවධියේ මෙරට සිංහල - දෙමළ දේශපාලකයෝ මෙම විරසකභාවය තවදුරටත් පෝෂණය කිරීමට කටයුතු කළහ. අවසානයේ මෙරට බෙදා වෙන්කිරීමේ ඉම දක්වා ජාතික ප‍්‍රශ්නය වර්ධනය වූයේ මේවායේ තාර්කික ප‍්‍රතිඵලය ලෙසිනි. මෙහි මූලයන් ගැන මෙන් ම, අනාගත අනතුර ගැන ද සවිඥානික ව සිටි ගුණසිංහ මහතා ”මහ විනාශයක් වන තුරු බලා සිටිනු එපා” යන මැයෙන් වන කතුවැකියේ මෙසේ සඳහන් කරයි.
”... මේ රටේ වර්ගීය වශයෙන් සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, පාර්සි, කාපිරි, භායි සහ පරවර ආදී වූ භේද පැවතියත් ඒ සෑම ජන කොටසක් ම ජාතියක් වශයෙන් ඒකාබද්ධ කළ හැකි ය. මේ දක්වා එය සිදු නො වූයේ නම් ඊට වැරදිකරුවන් වනුයේ ජනතාව නො ව, ජනතාවගේ නායකයන් ලෙස විටින් විට ඉදිරිපත් වෙමින්, ජනතාවගේ ම කරපිටින් පෞද්ගලික සෞභාග්‍යය කරා ගිය ජන නායකයන් ය.
එබඳු ජන නායකයින්ට දුකේදී හා සැපේදී එක් ව සිටින, එක් ව සටන් කරන ජාතියක් ගොඩනැඟීමට වඩා වර්ගීය වශයෙන් භේද වූ ද, ඔවුනොවුන් කෙරෙහි නිරතුරු ව සැකයෙන් හා භීතියෙන් පසුවන්නා වූ ද ජනතාවකගේ පැවැත්ම වාසිදායක වෙයි.
අද සිංහලයෝ ද්‍රවිඩයන් කෙරෙහි ද, ද්‍රවිඩයෝ සිංහලයන් කෙරෙහි ද, මුස්ලිම් ජාතිකයෝ ඒ දෙකොට්ඨාසය ම කෙරෙහි ද බර්ගර්, හෙට්ටි, පරවර ආදී වූ අවශේෂ සුළු ජාතිකයෝ එම තුන් වැදෑරුම් පුද්ගල කොට්ඨාස කෙරෙහි මෙන් ම, ඔවුනොවුන් කෙරෙහි ද භීතියෙන් පසුවෙති. මෙය මිනිස් ලොවක් නො ව, තිරිසන් ලොවකි. එම ලොව කරා සමස්ත ජාතිය ම කැඳවාගෙන ගියාහු දේශපාලකයෝ ය. ඉතිහාසය මුළුල්ලේ සාමයෙන් හා සමගියෙන් විසූ බහුවර්ගීය ජාතියක් මෙකී අවාසනාවන්ත තත්ත්වයකට පත් කර ලීම ගැන ඒ සෑම දේශපාලකයකු ම වග කිව යුතු ය. මීට මුල පිරුණේ අධිරාජ්‍යවාදී යුගයේදී ය.
එහෙත් යුක්තිය අයුක්තිය හෝ සාධාරණය අසාධාරණය පමණක් නො ව, පව් පින් ගැන ද නො තකා එකී අධිරාජ්‍යවාදී කූට ප‍්‍රයෝග දැනුදු ක‍්‍රියාත්මක වෙයි. ජාතියේ කකුලක් හෝ අතක් නො ව, සර්වාංගය ම පුරා භේදයේ තුවාලය ඔඩු දිවෙන්නේ එම නිසා ය. මෙය නො නැවතී සිදු වුවහොත් සමස්ත ජාතියම නිසැක ව ම මියැදෙනු ඇත...” (‘දිවයින ඉරිදා සංග‍්‍රහය’, 1986 පෙබරවාරි 09)
80 දශකයේ සමකාලීන සිදුවීම් ඔස්සේ ගුණසිංහ මහතා අදාළ මොහොතට සරිලන ”එදා වේල” විශ්ලේෂණයකින් නො නැවතී, අදාළ සිදුවීම අනාගතය දක්වා විකාශනය විය හැකි ආකාරය සිය කතුවැකි රචනයේදී ඉදිරිපත් කරයි. එම පුරෝකථනය, ජනමතය සංවිධානය කිරීමෙහිලා අවශ්‍යයෙන් ම වැදගත් වන්නකි. එසේ ම, කතුවැකියේ ස්වරය තුළ ඇත්තේ හුදු කතුවැකි ලියන්නකුගේ ස්වරය නො ව, ඉන් ඔබ්බට ගිය මතවාදී දැක්මකින් යුතු ස්වරයකි; ගැඹුරකි.
එදා ඔහු සමකාලීන දේශපාලන සංසිද්ධි කේන්ද්‍ර කරගෙන ලියූ කතුවැකි තුළ පුරෝකථනය කළ කාරණා වර්තමානය වන විට බිහිසුණු යථාර්ථයක් බවට පත් වී තිබීමෙන් ගම්‍ය වන කරුණු දෙකක් ඇත. පළමුවැන්න, පුවත්පත්කලාවේදියකු ලෙස හුදු සිදුවීමක හතර මායිමට සීමා නො වී එහි මූලයන් ගැඹුරින් හඳුනාගෙන, එය අනාගතයට විකාශනය විය හැකි ආකාරය දකින්නට ඔහු තුළ තිබූ සුවිශේෂී දැක්ම ය. එනම්, දේශපාලන පක්ෂවල පටු දැක්ම ඉක්ම වූ පුළුල් සමාජ - දේශපාලන දැනුමකින් හා දැක්මකින් ඔහු සන්නද්ධ ව සිටියේ ය. දෙවැන්න ඔහු පෙන්වා දුන් කාරණා පිළිබඳ නිසි බරින් සමාජ - දේශපාලන බලවේග ක‍්‍රියාත්මක නො වීම හේතුවෙන් පසුකාලීන ව රටක් ලෙස, මිනිස් සමාජයක් ලෙස අප ගෙවූ හා ගෙවමින් සිටින වන්දියේ තරම ය.
ගුණසිංහ මහතා විසින් කතුවැකි රචනා කෙරුණු කාලවකවානුව මෙරට සමාජයීය හා සංස්කෘතිකමය වශයෙන් වෙනස් ප‍්‍රවණතා ඇරඹුණු හා වර්ධනය වූ අවධියකි. එබඳු බොහොමයක් ප‍්‍රවණතා මෙරට කාලාන්තරයක් තිස්සේ පැවත ආ සමාජ - සංස්කෘතික ප‍්‍රවාහය බිඳ දැමූ අතර, මෙරට සංස්කෘතික අනන්‍යතාවලට ප‍්‍රතිපක්ෂ ප‍්‍රවාහයක් වෙත ඇද දැමිණි. මෙම සමාජ රටාව හැඳින්වීමට ‘බල්ලෝ මරා හෝ සල්ලි හොයන සමාජයක්’ යන යෙදුම නිර්මාණය වූයේ මේ තුළ වූ නීච, පාදඩ ස්වභාවය හේතුවෙනි. සමාජ සාරධර්ම - පුරුෂාර්ථ නො සලකා හැරුණු, හුදු ආර්ථික ඉලක්ක වෙත ම පුද්ගලයා යොමු වුණු සමාජයක නො විය හැක්කේ කුමක් ද?
එතෙක් මෙරට සමාජයේ ගරුත්වයට පාත‍්‍ර වූ වෘත්තීන්හි ප‍්‍රභා මණ්ඩල වාශ්ප විණි. අද වන විට ඉතා බරපතළ තලයකට පැමිණ ඇත්තේ 80 දශකයේ ඇරඹි එකී ප‍්‍රවණතා ය. පාසල් ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙළෙසනු ලැබූ ප‍්‍රවෘත්ති අද නිරන්තර ව වාර්තා වේ. එවකට, මැරයින් පිරිසක් විසින් පාසල් දරුවකු කෙළෙසීම සම්බන්ධ ව, එම පාසලේ විදුහල්පතිවරයාගේ හැසිරීම පදනම් කොටගෙන ගුණසිංහ මහතා ලියන කතුවැකිය, සමාජය කම්පනය කරන සුළු ය. ඔහුගේ දැක්ම තුළ වන සමාජ ශෝධකයකුගේ ස්වරය මෙහි හඳුනාගත හැකි ය. ‘විදුහල්පති සාතන්’ යන මැයෙන් වන එම කතුවැකියෙන් කොටසක් මෙසේ ය.
”... මෙවැනි සිදුවීම් දැන් දුලබ ව නො ව, ඉතා බහුල ව ඇති වෙයි. මින් පෙනී යන්නේ සදාචාර පරිහානියේ පිළිකාව ගුරු වෘත්තිය තුළ ද ඉතා ශීඝ‍්‍රයෙන් ඔඩු දිවෙන බවක් නො වේ ද? රටේ අනාගතය හැඩ ගස්වන ගුරුවරයා සමාජයේ අවශේෂ පුද්ගලයන්ගේ තත්වයට ම පිරිහී ගියහොත් අපේ ඉරණම කෙබඳු වේ ද? මේ රටේ සියලූ ම දෙමව්පියන්ගේ මෙන් ම, සෙසු පුරවැසියන්ගේ ද අවධානය මෙකී ප‍්‍රශ්න කෙරෙහි වහා යොමු විය යුතු ය.
ගාල්ලේ සිද්ධියෙහි කුඩා පාසල් දරුවාට වූ විපත ඔබේ දරුවාටත් සිදු විය නො හැකිදැයි අපි ඔබෙන් අසන්නෙමු. මෙම දරුවාගේ දෙමව්පියන්ට මුහුණ දීමට සිදු වූ බිහිසුණු අත්දැකීමට යම් දිනෙකදී ඔබටත් මුහුණ දෙන්නට සිදු විය නො හැකිදැයි ඔබෙන් අසන්නෙමු. මෙම අමානුෂික සිද්ධිය පිළිබඳ ව මෙම දරුවා සහ ඔහුගේ දෙමව්පියන් පමණක් නො ව, මුළු ජාතිය ම හ`ඩා වැළපිය යුතු ය; කම්පාවෙන් කම්පාවට පත් විය යුතු ය.
මැරවරයින් විසින් කෙළසනු ලැබූ කුඩා දරුවාගේ දෙමාපියන් විදුහල්පතිවරයා හමු වී ඒ ගැන පැමිණිලි කළ විට ඔහු පැවසූ වචන කිහිපය, මේ රටේ පාසල් ඉතිහාසයේ මෙතෙක් සටහන් වී ඇති ඉතා ම නින්දිත වචන කිහිපය බැව් අපි සිතන්නෙමු.
” ඕවා බොහොම සුළු දේවල්. දැන් ඕවා හැම තැනක ම වෙනවා. ඕක අමතක වෙන්න ඉඩ දෙන්න. තව ටික කලකින් මිනිහත් ඕවා ඉගෙන ගනීවි.”
මෙවැනි වචන මාලාවක් සාතන්ගේ මුවින් විනා විදුහල්පතිවරයකුගේ මුවින් පිටවෙතැයි අපට විශ්වාස කළ හැකි ද? ඔහු ඒ මොහොතේ ක‍්‍රියා කළ ආකාරය මෙම අහිංසක දරුවා කෙළෙසූ මැරවරයින්ගේ ක‍්‍රියාවටත් වඩා අමානුෂික නො වේ ද? මිනිස් වේශයෙන් සිටින මෙබඳු මෘගයන් ගුරු වෘත්තියෙහි උසස්වීම් ලබන්නේ ද, කෙතරම් වැරදි කළත් තම පදවි රැකගනිමින් තව තවත් ඉහළට යන්නේ ද අන් හේතුවක් නිසා නො ව, දේශපාලකයින් ඔවුන්ට දක්වන අනුග‍්‍රහය නිසා ය...” (දිවයින ඉරිදා සංග‍්‍රහය”, 1982 ජූනි 20)
ජනසන්නිවේදන මාධ්‍ය අතර ප‍්‍රබල ම මාධ්‍යය ලෙස සැලකෙන රූපවාහිනිය අපේ රටෙහි ආරම්භ වූයේ 1982 වසරේදී ය. එබඳු ප‍්‍රබල මාධ්‍යයකට සමාජයෙහි කළ හැකි වෙනස්කම් බොහොමයකි. එය සාධනීය අර්ථයකින් භාවිත කළහොත් සමාජයේ ප‍්‍රගතියට ද, නිශේධනීය ලෙස භාවිත කළහොත් සමාජයේ අගතියට ද හේතු වීම නො වැළැක්විය හැකි ය. ‘සත්‍යවාහිනිය හා රූපවාහිනිය’ යන මැයෙන් ඔහු විසින් ලියැවුණු කතුවැකියෙහි රූපවාහිනියෙහි අනාගතය පිළිබඳ පුරෝකථනය, රූපවාහිනී මාධ්‍යය අපේ රටට හඳුන්වා දුන් සමයේ, ඒ පිළිබඳ ලියැවුණු ඉතා වැදගත් ලියැවිල්ලකි. මේ ඉන් කොටසකි.
”... මේ රටේ රූපවාහිනිය නොමැතිවීම ශ‍්‍රී ලාංකිකයින්ගේ වාසනාවකැයි පසුගිය කාලයේදී මෙහි පැමිණි ඇතැම් විදේශික බුද්ධිමතුන් පවසනු කිහිප වතාවකදීම අපි අසා ඇත්තෙමු. ඔවුන් එවැනි අදහසක් පළ කළේ, රූපවාහිනිය නිසා තම රටවල් ලද කටුක අත්දැකීම් අනුව බැව් හොඳින් ම පැහැදිලි ය.
එහෙත් රූපවාහිනිය විද්‍යුත් මාධ්‍යයක් පමණකි. එහි හොඳ හෝ නරක රඳා පවතින්නේ එය මෙහෙයවන පුද්ගලයින් අතෙහි ය.
රූපවාහිනී යුගයට පිවිසීමේදී අන් බොහෝ රටවල් සතු නො වූ වාසියක් ද, අප සතු ව තිබිණි. එම වාසිය නම්, අන් රටවල් රූපවාහිනිය නිසා ලද පූර්ව අත්දැකීම්වලින් පාඩමක් උගෙන, එහි ඇති නරක බැහැර කර හොඳ පමණක් ගැනීමේ අවකාශයයි. කෙසේ වුව ද, ජාතික රූපවාහිනිය ඇරඹී මුල් දින කිහිපය තුළ ප‍්‍රචාරය වූ බොහෝ වැඩසටහන් ගැන සලකා බැලීමේදී එවැනි පාඩමක් අපේ උදවිය විසින් ඉගෙන ගනු ලැබුවේ ද යන්න ප‍්‍රශ්නයක් වෙයි.
ජාතික රූපවාහිනී මාධ්‍යයක් ගොඩනැංවීමේදී නොයෙකුත් ප‍්‍රශ්න මතුවීම අපේක්ෂා කළ යුතු දෙයකි. දියුණු රටවලටත් වඩා ශ‍්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට එය විශේෂයෙන් ම අදාළ වෙයි. එහෙත් ඒ ප‍්‍රශ්න සියල්ලක් ම මූල්‍ය හා තාක්ෂණික ප‍්‍රශ්න ය. රූපවාහිනියේ ජාතික මෙහෙවර ගැන යථාර්ථවාදී පැහැදිලි දර්ශනයක් ඇත්නම් එකී ප‍්‍රශ්න අනුක‍්‍රමයෙන් විසඳාගැනීම සුළු දෙයකි.
මේ නිසා අන් හැම දෙයකට ම පළමු ව ජාතියේ ප‍්‍රගතිය සඳහා අද අවශ්‍ය ව ඇත්තේ කවර අන්දමක රූපවාහිනී සේවාවක්දැයි දූරදර්ශී ලෙස විමසා බලා නිගමනයකට එළැඹෙන ලෙස රූපවාහිනී බලධාරීන්ගෙන් මෙන් ම රජයෙන් ද අපි ඉල්ලා සිටින්නෙමු.” (දිවයින ඉරිදා සංග‍්‍රහය”, 1982 පෙබරවාරි 21)
”සේපාල ඒකනායක” නමැති පුද්ගලයකු විසින් ඉතාලියේ අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැහැර ගැනීම 80 දශකයේ සිදු වූ සුවිශේෂී සිදුවීමකි. ඔහු එය සිදු කර තිබුණේ තම ඉතාලි ජාතික බිරිඳ සමග සිටින තම සිව් හැවිරිදි පුත‍්‍රයා තමන් වෙත ලබා ගැනීම සඳහා ය. මෙම සිදුවීම සමකාලීන ලාංකේය සමාජය සමග ගලපමින් ගුණසිංහ මහතා අපූර්ව කතුවැකියක් ලියා තිබේ. ‘වීරයින්ගේ පුරප්පාඩුවක්’ යන මැයෙන් ලියැවුණු එම කතුවැකියෙන් මතු කරන කේන්ද්‍රීය කාරණය, සමාජයක් ලෙස අපට වෙනස් සිතීමක් සඳහා බල කරන්නකි. එම කතුවැකියෙන් කොටසක් මෙසේ ය.
”ඔහු සොරෙක් ද? වංචනිකයෙක් ද? එසේ නැතිනම් ත‍්‍රස්තවාදියෙක් ද?
මෙම ප‍්‍රශ්නවලට පිළිතුරු දීම දුෂ්කර ය. ඒ අන් හේතුවක් නිසා නො ව, එම වචන විවිධ ලෙස අර්ථ නිරූපණයට භාජනය කළ හැකි හෙයිනි... යථාර්ථය කුමක් හෝ වේවා මේ රටේ පොදු ජනතාව විසින් සේපාල ඒකනායක වීරයකු ලෙස පිළිගනු ලැබ ඇත. යමෙකුට ඒ ගැන සැකයක් ඇත්නම් මේ දිනවල බස් නැවතුමක, කඩ පිලක හෝ පදික වේදිකා කොණක ඉමහත් උද්දාමයෙන් හා උද්වේගයෙන් යුතු ව කෙරෙන සංවාදයකට මඳ වේලාවක් සවන්දීමෙන් එම සැකය දුරු කරගත හැකි ය... මෙය සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව මෙනෙහි කර බැලීම කාගේත් හිත සුව පිණිස විය හැකි ය.
ඊට එක් මූලික හේතුවක් වී ඇත්තේ වීරයින් සඳහා මේ රටෙහ,ි විශේෂයෙන් ම සිංහල ජාතියෙහි ඉතා විශාල වශයෙන් පුරප්පාඩු පැවතීමයි. වීරත්වය ජන ජීවිතයට අත්‍යවශ්‍ය වූ අංගයකි. වීරයා තම සමාජයෙහි වෙසෙන අවශේෂ පුද්ගලයින් තුළ වීරත්වය සඳහා පවතින ආශාව මූර්තිමත් කරයි. මෙබඳු වීර මූර්ති ජාතියකට නැති ව ම බැරි ය. පරිපූර්ණ වීර මූර්ති නොමැති වූ විට යම් පමණකින් හෝ වීරත්වයට සමීප වූ තැනැත්තා වීර මූර්තියක් බවට පත් වෙයි.
වීර මූර්තියක අවශ්‍යතාව වඩාත් ම උග‍්‍ර ව දැනෙන්නේ පීඩනයට හසු වූ ජාතියකට ය. සිංහල ජාතියට ද මෙම අවශ්‍යතාව අද ඉතා උග‍්‍ර ව දැනෙන බව අපගේ අවබෝධයයි. මෙවැනි අවස්ථාවක තම ජීවිතය පරදුවට තබා මුළු ලෝකයට ම අභියෝග කර එම අභියෝගයෙන් ජයගත් සිංහලයෙකු අවශේෂ සිංහලයින් අතර වීරයකු බවට පත් වීම පුදුමයක් ද?
ඒ පමණක් නො ව, හදවතට ඉතා ප‍්‍රබලව දැනෙන මානුෂික අංශයක් ද සේපාලගේ අභියෝගයෙහි වෙයි. එනම්, ඔහු තම ජීවිතය ද නො තකා එම අභියෝගය කළේ සිව් හැවිරිදි කුඩා පුතණුවන් වෙනුවෙන් වීමයි. දරු සෙනෙහස උතුම් ලෙස සැලකෙන ජාතියකට එය ඉතා අගනා ක‍්‍රියාවක් වීම පුදුමයක් නො වේ.
මෙබඳු වාතාවරණයක් තුළ සේපාල ඒකනායක මත්ද්‍රව්‍ය පරිහරණය පිළිබඳ ව විවිධ රටවලින් චෝදනා ලද අයකු බව අමතක වී, හද්දා පිටිසරින් ගොස් ලෝකය ජයගෙන පැමිණි සිංහල ගැමි කොල්ලකු බවට පත්වීම ස්වාභාවික ය. එහෙයින් මෙම සිද්ධිය කාට කාටත් ඉතා ප‍්‍රයෝජනවත් පාඩම් ගණනාවක්ම උගත හැකි සිද්ධියකි.” (‘දිවයින ඉරිදා සංග‍්‍රහය’)
මෙම සිදුවීම මතුපිටින් බලා විග‍්‍රහ කළේ නම් මෙබඳු කතුවැකියක් රචනා නො වේ. නමුත් ගුණසිංහ මහතා එම සිදුවීම දකින්නේ පුළුල් සමාජ - දේශපාලනික හා මානුෂික දෘෂ්ටියකින් කුළු ගැන්වෙමිනි. ගුණසිංහයන්ට ම මිස වෙනත් කතුවැකි රචකයකුට මේ සිදුවීම මෙබඳු පුළුල් කෝණයකින් දකින්නට හැකි නො වන බවට විවාදයක් නැත.
1986 වසර වන විට ජයවර්ධන ජනාධිපතිවරයාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වඩ වඩාත් මර්දනීය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයක් ගෙන යමින් තිබූ අතර, ඊට ප‍්‍රතිපක්ෂ ව කතුවැකියට ද වඩාත් තියුණු ලෙස උද්ඝෝෂකයකුගේ, සෙබළකුගේ භූමිකාව නිරූපණය කරන්නට වාස්තවික තත්ත්වයක් නිර්මාණය වී තිබිණ. මේ අතර බහුවිධ වශයෙන් පෝෂණය වන්නට පටන්ගෙන තිබූ කොටි සංවිධානය උතුරේ පමණක් නො ව, අගනුවර ද බෝම්බ පුපුරුවා හරින තරමට වර්ධනය වී තිබිණ. එලෙස කොළඹ නගරයේ බෝම්බ පිපිරීමක් සම්බන්ධ ව ජයවර්ධන ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ, ”තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගත යුතු බවයි.” ගුණසිංහ මහතා විසින් 1986 ජූනි 01 වන දා කතුවැකිය ලියන ලද්දේ මෙම ප‍්‍රකාශය පදනම් කරගනිමිනි. ඉන් කොටස් කිහිපයක් මෙසේ ය.
”මේ රටේ ඉතිහාසයෙහි මෙතෙක් වූ අතිශයින් ම අවාසනාවන්ත හා ඛේදජනක කාල පරිච්ෙඡ්දයට සාක්ෂිකරුවන් වීමේ අභාග්‍යය අපගේ ඉරණම විසින් අප සතු කර දී තිබේ.
මෙහි සාක්ෂිකරුවන් පමණක් නො ව, විපාක විඳින්නෝ ද අපි වෙමු. එහෙත් ජනතාවක් වශයෙන් පොදුවේ සලකා බලන විට මෙබඳු අභාග්‍ය සම්පන්න ඉරණමකට භාජනය වීමට තරම් අපරාධයක් අප විසින් කර නැත.
එසේ නම් අද අප විපාක විඳින්නේ කවරකු විසින් කරන ලද අපරාධයක් වෙනුවෙන් ද? මේ පිළිබඳ ව අවංක ව කරුණු දැක්වුවහොත් තවත් දිනෙක හිරු උදාව දැකීමේ භාග්‍යය පවා අපට නැති වී යනු නිසැක ය. එහෙත් යම් යම් සීමාවන් ඇතුළත හෝ සත්‍යය පෙන්වා දීමේ යුතුකම හා වගකීම අප වෙත පැවරී ඇත. එබැවින් විපාකය කුමක් වෙතත් කිව යුත්ත කියන්නට අපි නො පැකිළෙමු...
...රටක පුරවැසියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරලීම එම රටෙහි පාලන තන්ත‍්‍රය භාර පාලකයින්ගේ මූලික යුතුකමකි. සැඟවී සිට පහර දෙන ත‍්‍රස්තවාදීන් මෙල්ල කිරීම දුෂ්කර යැයි කී පමණින් හෝ ලෝකයේ බොහෝ රටවල මෙබඳු ත‍්‍රස්තවාදී ක‍්‍රියා සිදුවෙතැයි කී පමණින් හෝ එම වගකීමෙන් බේරීමට රජයකට පුළුවන්කමක් නැත...
රටේ ආරක්ෂක කටයුතු සඳහා අමාත්‍යාංශ හයක් ම වෙයි. එහෙත් රටේ ජනතාවට අද මූලික වශයෙන් නැත්තේ ද ආරක්ෂාව ම ය. ඊට වගකිව යුත්තෝ කවරහු ද? තමන්ගේ ආරක්ෂාව පමණක් සෑම විධි විධානයකින් ම යොදාගෙන නිහඬ ව සිටීම පහසු ය. එහෙත් එකී වගකීමෙන් ගැලවිය හැකි ද? රටේ හැම තැනක් ම ආරක්ෂා කළ නො හැකි යැයි ද, එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසාගත යුතු යැයි ද කීම කිසිදු වගකීමකින් තොර ප‍්‍රකාශයකි. එබඳු නපුංසක ප‍්‍රකාශයක් මේ රටේ ඉතිහාසයෙහි මින් පෙර කිසිදු අවස්ථාවෙක කියැවී ඇති බවක් අපි නො දනිමු...”
මෙම කතුවැකිය මගින් ජයවර්ධන ජනාධිපතිවරයාට නිර්දය ප‍්‍රහාරයක් එල්ල කර තිබූ බැවින් මෙමගින් සිදුවුණු කැළඹිල්ල ඉමහත් විය. ආණ්ඩුව විසින් උපාලි පුවත්පත් සමාගමට දැඩි බලපෑමක් එල්ල කරන්නට වූ අතර, එහි තාර්කික ප‍්‍රතිඵලය වූයේ දයාසේන ගුණසිංහ මහතා අනිවාර්ය නිවාඩු යැවීම ය. මෙය ගුණසිංහ මහතා විසින් ලියන ලද අවසන් කතුවැකිය බවට පත් වූ අතර, එය ඓතිහාසික කතුවැකියක් වශයෙන් ලාංකේය පුවත්පත්කලා ඉතිහාසයට එක් විණි.
පුවත්පත්කලාවේදියකු වශයෙන් ජනතාවාදී ජනමත නිර්මාණය කරමින් දිවයින ඉරිදා සංග‍්‍රහයට ප‍්‍රබල ප‍්‍රතිරූපයක් ගොඩනඟා දුන්න ද, පෞද්ගලික ප‍්‍රාග්ධනය මත ක‍්‍රියාත්මක වන පුවත්පත් ආයතනයක් අවසානයේ තෝරාගන්නේ ව්‍යාපාරයක් ලෙස තම පැවැත්ම රැකගැනීම මිස, පුවත්පත්කලාවේදියා හෝ පුවත්පතේ මතවාදී ආස්ථානය හෝ රැකගැනීම නො වන බව මෙම සිදුවීමෙන් මනා ව පැහැදිලි විය. එය සන්නිවේදන විෂයයික වශයෙන් වැදගත් පාඩමකි.
දයාසේන ගුණසිංහ මහතාට සිය රැකියාවෙන් වන්දි ගෙවීමට සිදුවූයේ තමන් පිහිටා සිටි මතවාදී ආස්ථානය වෙනුවෙනි. ඒ මතවාදී ආස්ථානයෙහි ඔහු පිහිටා සිටියේ ජනතාව වෙනුවෙනි. සමකාලීන සමාජ දේශපාලන මොහොත තුළ ඔහු සිය කතුවැකි ජනතාවගේ බහුවිධ යහපැවැත්ම වෙනුවෙන් අදීනව ස්ථානගත කළේ ය. එහිදී ජනතාවගේ යහපතට ද්‍රෝහී ව කටයුතු කරන්නාගේ තරාතිරම ඔහුට වැදගත් නො වී ය. ඒ ද්‍රෝහියා රජයේ නිලධාරියෙක් වුව ද, ඒ ද්‍රෝහියා රටේ සකල විධ බලය තමන් වටා සංකේන්ද්‍රණය කරගත් විධායක ජනාධිපති ධුරය දරන්නා වුව ද ඔහුට එය අදාළ නො වී ය. ඔහුගේ දැක්ම ඒ පුද්ගල සාධක ඉක්ම වූ එකක් විණි.
පුවත්පත මෙරට ප‍්‍රමුඛතම ජනමාධ්‍යය බවට පත් ව තිබූ 80 දශකයේ කතුවැකියේ සන්නිවේදන භූමිකාව ඉතා ප‍්‍රබල තත්ත්වයක පැවති බව ගුණසිංහ මහතාගේ කතුවැකි විමසා බැලීමේදී හඳුනාගත හැකි ය.
ඒ කතුවැකි අධ්‍යයනය කිරීම පුවත්පත්කලාවේදියකුගේ පුවත්පත්කලා භාවිතය අධ්‍යයනය කිරීමකින් එහා ගිය, අපේ රටේ මෑත ඉතිහාසයේ තීරණාත්මක අවධියක් පිළිබඳ සන්නිවේදනාත්මක හා සමාජ - දේශපාලනික ගවේෂණයක් ද වනු ඇති බව අපගේ අවබෝධයයි.
ආශ්‍රිත ග‍්‍රන්ථ / පුවත්පත්
පියදාස, රෝහණ ලක්ෂ්මන්, ‘ප‍්‍රවෘත්ති පත‍්‍ර මතවාද හා විමර්ශන’, 1993, කොළඹ.
කාරියවසම්, තිස්ස, ‘පුවත්පත්කලාවේ මූලධර්ම’, පුවත්පත් කලා සමීක්ෂා, 1993, ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
සිරිවර්ධන, දෙනගම, ‘පුවත්පත් විශේෂාංග රචනය’, 2007, එස්.ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
ගුණසිංහ, දයාසේන, ‘තුන්වන ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමකි.’, විදුසර, 1989 නොවැම්බර් 06
No comments:
Post a Comment