Tuesday, May 18, 2021

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක්

 


2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.

 

2002 පෙබරවාරි

★ ආයුධ සන්නද්ධ එක ම දෙමළ සංවිධානය බවට කොටි සංවිධානය පත් කරමින්, ආයුධ සන්නද්ධ අනෙකුත් සියලු ම දෙමළ සංවිධාන නිරායුධ කිරීම ආරම්භ වේ. අවබෝධතා ගිවිසුමට අනුව පෙබරවාරි 22 වන දා මධ්‍ය ම රාත්‍රියේ සිට දින 30ක්  හෝ ඊට මඳක් වැඩි කාලයක් තුළ දී ශ්‍රී ලංකා රජය විසින් සියලු ම සන්නද්ධ දෙමළ සංවිධාන නිරායුධ කළ යුතු වේ. මේ හේතුවෙන් මෙතෙක් ආයුධ සන්නද්ධ ව, කොටි සංවිධානයට එරෙහි කටයුතුවල නිරත වූ දෙමළ සංවිධාන අනාරක්ෂිත තත්ත්වයට පත්වෙයි.

 

2002 මාර්තු

උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල සිට දකුණේ ප්‍රදේශවලට පැමිණෙන දෙමළ ජාතිකයින්ට අදාළ ව ක්‍රියාත්මක කෙරුණු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානවල අනිවාර්යයෙන් ම ලියාපදිංචිවීමේ නියෝගය, ශ්‍රී ලංකා රජය(අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය) විසින් මාර්තු 08 වන දා අහෝසි කරනු ලබයි.

කොටි සංවිධානය මඩකලපුව, වව්නියාව හා ත්‍රිකුණාමලය යන නගරවල 'පොංගුතමිල් එරිච්චුලා' (දෙමළ ජනයාගේ පිබිදීමේ උළෙල) නමින් උළෙලක් පවත්වයි. දෙමළ පාසල් සිසු සිසුවියන් හා දෙමළ වැසියන් මෙම උළෙල හා පෙළපාලිය සඳහා බලහත්කාරයෙන් සහභාගීකර ගැනේ. දෙමළ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, යාපනය හා නැඟෙනහිර යන විශ්වවිද්‍යාලවල ඇතැම් ආචාර්යවරු ද, ප්‍රදේශයේ කතෝලික පූජකවරු ද මෙම උළෙලට සහභාගී වෙති. පෙළපාලියේ නඟන සටන් පාඨවලින් හා උළෙලේ පවත්වන කතාවලින් වෙන ම දෙමළ ඊළාම් රාජ්‍යයක් පිළිබඳ ව අවධාරණය කෙරෙයි. ත්‍රිකුණාමලයේ පවත්වන ලද උළෙලේදී ඊළාම් දේශයේ අගනුවර ත්‍රිකුණාමලය බව කොටි සංවිධානය ප්‍රකාශයට පත්කරයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් ආචාර ධර්ම, ආගමන විගමන නීති රීති මුළුමනින් ම උල්ලංඝනය කරමින් කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු පිරිස මාර්තු 25 වන දා ‘සී ප්ලේන් වර්ගයේ ගුවන් යානයකින් මෙරටට ගොඩ බසිති. මෙම ගුවන් යානය ගොඩ බස්වනු ලබන්නේ වන්නියේ ඉරණමඩු ජලාශය මතට ය. එ.ජා.ප. ආණ්ඩුව මෙම නීති විරෝධී ආගමනය සාධාරණීකරණය කරන්නට උත්සාහ ගනී.

නැඟෙනහිර, කාත්තන්කුඩි ප්‍රදේශයේ ධීවරයින්ගේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ධීවර ආම්පන්න කොටි සාමාජිකයෝ පැහැරගනිති. ධීවරයින් මේ පිළිබඳ ව ‘සටන් විරාම නිරීක්ෂණ කමිටුවට පැමිණිලි කරන නමුත්, තමන්ට මේ සම්බන්ධ ව කළ හැකි දෙයක් නැතැයි සටන් විරාම නිරීක්ෂණ කමිටු සාමාජිකයෝ පවසති.

මඩකලපුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පී.ඩී.නාගරාජා පැහැරගනු ලබන කොටි සංවිධානය, ඔහු නිදහස් කිරීම සඳහා රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා සිටී. පසු ව රුපියල් විසි ලක්ෂයක කප්පමක් මත ඔහු නිදහස් කෙරෙන අතර, බියට පත් ඔහු තම පවුලේ සාමාජිකයින් ද සමග කොළඹට පැන එයි.

කොටි සංවිධානයේ මූලිකත්වයෙන් උතුර හා නැඟෙනහිර පළාත් සඳහා අන්තර්වාර පාලන මණ්ඩලයක් ඉදිරි දෙමස තුළ පිහිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කෙරුණු සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටී.

 

2002 අප්‍රේල්

කොටි සංවිධානය අප්‍රේල් 03 වන දා වවුනියාවේ සිය දේශපාලන කාර්යාලයක් විවෘත කරයි. වවුනියාව දිසාපති කේ. ගනේෂ්, වවුනියාව ප්‍රාදේශීය ලේකම් මේරි ඉමෙල්ඩා සුගුමාර්, ‘සේවා ලංකා පදනමේ සභාපති හර්ෂ කුමාර නවරත්න, උතුර නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමි, වවුනියාව කොටි නායක පුවන්නන් මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙති.

ශ්‍රී ලංකා රජයත්, කොටි සංවිධානයත් අතර තායිලන්තයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා සඳහා වන සියලු පිරිවැය ශ්‍රී ලංකා රජය දැරීමට තීරණය කරයි.

වෙනත් ප්‍රදේශවල සිට කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින ප්‍රදේශවලට පැමිණෙන මාධ්‍යවේදීන් හා සිංහල ජාතිකයින් වවුනියාවේ තම දේශපාලන කාර්යාලයෙන් අනිවාර්යයෙන් ම අවසරපත් ලබා ගත යුතු යැයි කොටි සංවිධානය නිවේදනය කරයි.

අප්‍රේල් 08 වන දා මහනුවර යාපනය A9 මාර්ගය මුහාමලෙයි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා රජය ද, කිලිනොච්චිය ප්‍රදේශයේදී කොටි සංවිධානය ද නිල වශයෙන් විවෘත කරන නමුත්, සිවිල් ගමනාගමන කටයුතු සඳහා එම මාර්ගය යොදාගැනීමට කොටි සංවිධානය අවසර නො දෙයි. යාපනය බලා යාමට උත්සාහ කළ ලං.ග.ම. බස් රථයකට ඕමන්තෙන් ඔබ්බට යාමට කොටි සංවිධානය  අවසර නො දුන් බව ශ්‍රී ලංකා රජය පවසා සිටී. මෙසේ සිවිල් කටයුතු සඳහා A9 මාර්ගය යොදා ගැනීමට අවසර නො දීම අවබෝධතා ගිවිසුමේ 2(10) වගන්තිය උල්ලංඝනය කිරීමක් බව සටන් විරාම නිරීක්ෂණ කමිටුව පවසයි.

කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අප්‍රේල් 10 වන දා කිලිනොච්චියේදී ජනමාධ්‍ය හමුවක් පවත්වයි. වෙන ම දෙමළ ඊළාම් රාජ්‍යයක් පිළිබඳ අදහස තමන් අතහැර දමා නැති බව ඔහු පවසා සිටී. එසේ ම, තම රාජ්‍යය පිළිගන්නා ආර්ථීක ක්‍රමය විවෘත ආර්ථීකය බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකා රජයේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වුව ද, තම දෙමළ ඊළාම් රාජ්‍යයේ ජනාධිපති හා අගමැති, වේලුපිල්ලේ ප්‍රභාකරන් බව කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මෙම ජනමාධ්‍ය හමුවේ දී පවසා සිටී.

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා සරණාගත කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බස්රථ සියයෙන් හැත්තෑපහක් කොටි සංවිධානය වෙත ලබා දීමට අදාළ අමාත්‍යවරයා සැලසුම් කරයි.

කොටි සැකකරුවන් සම්බන්ධ නඩු විභාග ඉක්මනින් සිදු කිරීම සඳහා ස්වීඩන් රජය විසින් රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදෙයි.

දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙක් කොටි නායක ප්‍රභාකරන් හමුවන අතර, කොටි සංවිධානයේ නායකත්වය හා මඟ පෙන්වීම අනුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවට පොරොන්දු වෙති. එම සංධානයත්, කොටි සංවිධානයත් ඒකාබද්ධ ව දේශපාලන කටයුතු කිරීම සඳහා මහජන ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා ගැනීමට තීරණය කෙරෙයි.

ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර තායිලන්තයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවල න්‍යාය පත්‍රය සැකසීම සඳහා නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වන්නියේ දී කොටි නායක ප්‍රභාකරන් හමුවෙයි. මෙම හමුවේ දී දෙමළ ඊළාම් රාජ්‍යයේ සිතියම අඩංගු සමරු ඵලකයක් ප්‍රභාකරන් විසින් නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලබයි.

කොටි සංවිධානයේ තමිල් ඊළාම් ප්‍රවාහන සේවයට කෙටි ගමන් ධාවන කටයුතු සඳහා නව බස්රථ 25 ක් මිලට ගනී.

ඊ.පී.ඩී.පී.යේ මහමැතිවරණ අපේක්ෂකයකු ඇතුළු 14දෙනෙක් කොටි සාමාජිකයින් විසින් පැහැරගෙන යනු ලබති.

නැවත ආගමන විගමන නීති රීති උල්ලංඝනය කරමින් බාලසිංහම් යුවල අප්‍රේල් 24 වන දා මාලදිවයින බලා මෙරටින් නික්ම යති.

ගිනි අවි සවිකර තිබූ කොටි බෝට්ටු තුනක් ත්‍රිකුණාමලය අසල මුහුදේ යාත්‍රා කරමින් තිබිය දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලබයි.

මධ්‍ය ම පළාත හා පහසුවෙන් සම්බන්ධතා පවත්වා ගැනීමට මඩකලපුව වඩාත් සුදුසු වීම නිසා, ඉදිරි යුදමය ක්‍රියාදාමයන්වලදී මඩකලපුව තම ප්‍රධාන යුද මධ්‍යස්ථානයක් බවට පත් කරගැනීමට කොටි සංවිධානය තීරණය කරයි.

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ දී සහ සේවා සමාගම්වල කොටස් විකිණීමේදී තමන්ට හිතවත් දෙමළ ව්‍යාපාරිකයින් හරහා එම කොටස් මිල දී ගැනීමට කොටි සංවිධානය කටයුතු කරයි.

ඕමන්තෙයි මුරපොළ හරහා වන්නියට යාමට පැමිණි ලොරියක් යුද හමුදාව විසින් පරීක්ෂා කිරීමේ දී, එහි තිබී යුද ටැංකි අමතර කොටස් තොගයක් සොයා ගැනෙයි. මෙම අමතර කොටස් තොගය යුද හමුදාව රඳවා තබාගන්නා අතර, ඉහළින් ලැබෙන නියෝගයක් මත ලොරිය මුදා හරියි.

කොටි සාමාජිකයින්ට තම කරේ එල්ලා තිබෙන සයනයිඩ් කරල නො ගලවාම ශ්‍රී ලංකා හමුදා පාලනය යටතේ වන ප්‍රදේශවලට පැමිණීමට ශ්‍රී ලංකා රජය අනුමැතිය දෙයි.

කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට එල්ල කළ ප්‍රහාර ඇතුළත් වාර්තා චිත්‍රපට උතුරේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරෙයි. 1996 වසරේ මුලතිව් හමුදා කඳවුර විනාශ කිරීම, 1998 වසරේදී කිලිනොච්චි හමුදා කඳවුර විනාශ කිරීම ආදිය ද මේ චිත්‍රපට අතර වෙයි. කොටි සංවිධානයේ වීරත්වය හුවා දක්වන මෙබඳු චිත්‍රපට උතුරේ පාසල්වල ද ප්‍රදර්ශනය කෙරෙයි.

 

2002 මැයි

කොටි සංවිධානය තම මැයි රැළිය වවුනියාවේ දී පවත්වයි. කොටි නායක ප්‍රභාකරන්ගේ රුව සහිත පුවරු සහ ඊළාම්වාදී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කෙරෙයි.

මඩකලපුවේ වාකරෙයි අසල මුහුදේ දී අවි ආයුධ සහිත කොටි බෝට්ටු 02 ක් නාවික හමුදා ප්‍රහාරයකින් පුපුරා යයි. ආයුධ නැවකට ආරක්ෂාව සපයමින් යාත්‍රා කරමින් තිබූ මෙම බෝට්ටු දෙකට නාවික හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී ආයුධ නැව පළා ගිය බව අනාවරණය වෙයි. සටන් විරාම කාලය තුළ කොටි සංවිධානය සඳහා අවි ආයුධ රැගෙන පැමිණි පස්වෙනි නැව මෙය බව අනාවරණය වෙයි.

කරිකාලන් ඇතුළු කොටි සාමාජිකයින් 30ක් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට මඩකලපුවට පැමිණෙති.

උතුර - නැඟෙනහිර හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල දැනට දේශපාලන කටයුතුවල පමණක් නිරත වන කොටි සංවිධානය, ඉදිරියේ දී එම ප්‍රදේශවල පරිපාලන කටයුතුවල ද නිරතවීමට තීරණය කරයි.

කොටි සංවිධානය තම තමිල් ඊළාම් බැංකුවට අලුතින් නිලධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි. මෙයට අදාළ දැන්වීම කොළඹ පළවන දෙමළ පුවත්පත්වල ද පළවෙයි. කොටි සිය බැංකු කටයුතු පුළුල් කරමින් සිටින අතර, තම පාලනයට අයත් ප්‍රදේශවල සිටින ජනතාවට ශ්‍රී ලංකා රජයේ බැංකුවල මුදල් තැන්පත් කිරීම තහනම් කරයි.

කොටි සංවිධානයට උතුර නැඟෙනහිර ප්‍රදේශවල අන්තර්වාර පාලන අයිතිය ලබා දීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ තීරණය, රටේ ගොඩනැඟෙමින් තිඛෙන විරෝධය හේතුවෙන් වෙනස් කරයි. මේ වන විට උතුර හා නැඟෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන කොටි සංවිධානයේ පාලනය ඒ ආකාරයටම පවත්වාගෙන යාමට කොටි සංවිධානයත්, ශ්‍රී ලංකා රජයත් එකඟ වෙති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගනු ලැබ සිටි කොටි සැකකරුවන්ගෙන්, නඩු පැවරීමට තරම් සාක්ෂ්‍ය නො මැති අය නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය සැරසෙයි.

තමිලර් පුනර්වාල් පුකලහම් (දෙමළ පුනරුත්ථාපන සංවිධානය) නමින් යුතු ව, කොටි සංවිධානයේ කාර්යාලයක් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටුවයි.

කොටි සංවිධානය වන්නි ප්‍රදේශය තුළ මිල පාලනයක් ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙයි.

උතුර නැඟෙනහිර සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ කටයුතු කරන තම සාමාජිකයින්ට ද රජයේ නියෝජිතයින්ට මෙන් රු.30,000.00ක දීමනාවක් ශ්‍රී ලංකා රජයෙන් ලැබිය යුතු යැයි කොටි සංවිධානය පවසයි.

දෙමළ ඊළාම් රාජ්‍යය තුළ පරිපාලන දිස්ත්‍රික්ක වෙන් කිරීම පිළිබඳ ප්‍රථම නිල සිතියම කොටි සංවිධානය ප්‍රකාශයට පත් කරයි. දෙමළ ඊළාම් පරිපාලන දෙපාර්තමේන්තුව යන ශීර්ෂයෙන් යුතුව නිකුත් කර ඇති මෙම සිතියමේ පරිපාලන දිස්ත්‍රික්ක 20ක් සහ ඒවායේ ප්‍රධාන නගර 20ක් සඳහන් වේ. මෙහි හලාවත සිට බටහිර වෙරළ තීරයේ ඉහළටත් පොතුවිල් සිට නැඟෙනහිර වෙරළ තීරයේ ඉහළටත් ඊළාම් රාජ්‍ය මායිම් සලකුණු වී ඇත. ඒ අනුව උතුර නැඟෙනහිර පළාත්වලට අමතර ව වයඹ පළාතේ සැලකිය යුතු කොටසක් ද ඊළාම් රාජ්‍යයට අයත් බව අදහස් කෙරේ.

නැඟෙනහිර පළාතේ විශේෂ කාර්ය බලකා අණසක යටතේ වූ ප්‍රදේශයේ පිහිටි අවසන් කඳවුර වන පානම විශේෂ කාර්ය බලකා කඳවුර මැයි 27 වන දා එම ස්ථානයෙන් ඉවත් කරගැනේ.

 

2002 ජූනි

නැඟෙනහිර පළාතේ පිහිටි රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තු සංචාරක බංගලාවක් කොටි සංවිධානය අත්පත් කරගන්නා අතර, එහි රාජයකුලම් නමින් තම කඳවුරක් ස්ථාපිත කරයි.

කොටි සංවිධානයට හර්තාල් හෝ ඕනෑ ම විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ හැකි යැයි සටන් විරාම නිරීක්ෂණ කමිටුව ප්‍රකාශ කර ඇතැයි කොටි සංවිධානයේ ටැමිල් නෙට් වෙබ් අඩවිය පවසයි.

ප්‍රතිසංවිධානය කරන ලද යාපනය තැපැල් කාර්යාලය, ජනමාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති නැවත විවෘත කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කිරීම කොටි සංවිධානය වළක්වයි. එමෙන් ම, උතුර නැඟෙනහිර පළාත්වල පවත්වන රාජ්‍ය උත්සවවල දී ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය එසවීම වැළැක්වීමට ද කොටි සංවිධානය පියවර ගනී.

කොටි සංවිධානය උතුර නැඟෙනහිර ප්‍රදේශවල ආරම්භ කළ දේශපාලන කාර්යාලවල අවි ආයුධ ගබඩා කරමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශ අනාවරණය කරයි.

කොටි සාමාජිකයින් කණ්ඩායමක් කයිට්ස් දූපතට පැමිණ, සටන් විරාම ගිවිසුම උල්ලංඝනය වන ආකාරයට එහි කටයුතු කිරීමට දරන ලද උත්සාහයක් එම දූපතේ නාවික හමුදා අණ දෙන නිලධාරියා විසින් වළක්වනු ලබයි. පසු ව මෙම සිද්ධිය කොටි සංවිධානය දෙමළ ජාතික සංධානය හරහා ශ්‍රී ලංකා අගමැතිවරයාට දන්වනු ලබන අතර, ඉන්පසු ව මේ පිළිබඳ ව පරීක්ෂා කිරීමට නාවික හමුදාව පාර්ශ්වයෙන් කමිටුවක් පත් කෙරෙයි. පසු ව, එම අණ දෙන නිලධාරියා මාරුකර යැවීමට එම පරීක්ෂණ කමිටුව නිර්දේශ කරයි.

ශ්‍රී ලංකා රජය ජූනි 24 වන දා වන විට උතුර නැඟෙනහිර පළාත්වල පිහිටි හමුදා කඳවුරු හා මුර පොළවල් 213ක් ඉවත් කරගෙන ඇති බව අනාවරණය වෙයි. මේ වන විට උතුරු නැඟෙනහිර පළාත්වල තිබූ හමුදා, පොලිස් කඳවුරු හා මුරපොළවල් 90%ක් ඉවත් කරගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි.

දෙමළ බුද්ධිමතුන් පිරිසක් සකස් කළ, ඓතිහාසික කරුණු ඇතුළත් පාඩම් කිහිපයක් සහ කොටි සංවිධානයේ අධ්‍යාපන අංශය සකස් කළ ඉතිහාසය පෙළ පොතක්, වන්නියේ රජයේ පාසල්වල උගැන්වෙන බව අනාවරණය වෙයි.

උතුර හා නැඟෙනහිර, ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය අඩපණ කර දැමීමේ සැලසුමක් කොටි සංවිධානය ක්‍රියාත්මක කරයි. ඒ අනුව යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ දෙමළ හා මුස්ලිම් ඔත්තුකරුවන් පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන ඉන්පසු ව ඔවුන් ඝාතනය කිරීම ආරම්භ වෙයි.

නැ‍ඟෙනහිර පළාතේ උද්ගත වූ ගැටුම්වලදී එල්.ටී.ටී.ඊ.ය විසින් මුස්ලිම් ජාතිකයින් 13දෙනෙක් මරා දමනු ලබති. මුස්ලිම් ජාතිකයින්ට අයත් නිවාස හා වෙළෙඳ සැල් ද ගිනි තබා විනාශ කර දමයි.

උතුර නැඟෙනහිර තමිල් ඊළාම් පොලීසියට අලුතින් නිලධාරීන් බඳවා ගැනීම සඳහා කොටි සංවිධානය පුවත්පත් දැන්වීමක් මගින් අයදුම්පත් කැඳවයි. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි උදයන් පුවත්පතේ මෙම දැන්වීම පළකරයි.

තමිල් ඊළාම් බැංකුවකට කාර්ය මණ්ඩල බඳවා ගැනීම සඳහා කොටි සංවිධානය අයදුම්පත් කැඳවයි. මෙයට අදාළ දැන්වීම් ද උදයන් පුවත්පතේ පළ කරයි.

තමිල් ඊළාම් මහ බැංකුවක් පිහිටුවීමට කොටි සංවිධානය කටයුතු කරමින් සිටින බව හමුදා බුද්ධි අංශ වාර්තා කරයි.

 

2002 ජූලි

කොටි සංවිධානය ප්‍රථම වරට, කළුකොටි හෙවත් මරාගෙන මැරෙන කොටි සැමරුම් දිනය ලෙස ජූලි 05 ප්‍රකාශයට පත් කර එදින යාපනය, වවුනියාව, ත්‍රිකුණාමලය හා මඩකලපුව යන නගරවල කළුකොටි සැමරුම් උත්සව පවත්වයි. එහි දී කළුකොටි විසින් එතෙක් කරන ලද විනාශකාරී ක්‍රියා, වීරක්‍රියා ලෙස හුවා දැක්වෙයි.

කිලිනොච්චියේ දී සටන් විරාම නිරීක්ෂණ කමිටු ප්‍රධානී ජනරාල් පුරුහව්දේ හමුවන මුහුදු කොටි නායක සුසෙයි, නැඟෙනහිර මුහුදේ මුහුදු ආරක්ෂක කලාපය ඉවත් කළ යුතු බවත් වෙරළේ සිට සැතපුම් 10ක් තුළ නාවික හමුදා අධිවේගී ප්‍රහාරක යාත්‍රා සංචාරය කිරීම නතර කළ යුතු බවත් පවසා සිටී. මෙහිදී, මුහුදු කොටින් පුහුණුව ලබන්නේ මෙම නැඟෙනහිර වෙරළ ප්‍රදේශයේ නිසා නාවික යාත්‍රාවල ආගමනය අනිවාර්යයෙන් ම අත්හිටුවීමට සටන් විරාම නිරීක්ෂණ කමිටුව පියවර ගත යුතු බව කොටි සංවිධානයේ දේශපාලන නායක තමිල් සෙල්වම්, ජනරාල් පුරුහව්දේට පවසා සිටී.

කොටි සංවිධානය සොරිවිල ගම්මානයේ දී දෙමළ අඹු සැමි යුවළක් මරා දමයි. මරා දමනු ලැබූ දෙදෙනා කලින් කොටි සංවිධානයේ කටයුතු කර පසු ව ඉන් ඉවත් වූ අයයි.

ඉරනතිව් දූපත් අසලදී සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමට ගිය සටන් විරාම නිරීක්ෂණ කමිටු සාමාජිකයින් දෙදෙනෙක් කොටි සංවිධානය විසින් රඳවා ගනු ලබති. පසු දින ඔවුන් දෙදෙනා මුදා හැරෙන අතර, මුහුදේ දී අත්අඩංගුවට ගන්නා යාත්‍රා පරීක්ෂා කිරීම සඳහා එම යාත්‍රාවලට ගොඩ නො වීමට සටන් විරාම නිරීක්ෂණ කමිටුව තීරණය කරයි.

උතුර නැඟෙනහිර ප්‍රදේශවල රජයේ ගොඩනැගිලි හා ආගමික ස්ථානවල රඳවා සිටින ශ්‍රී ලංකා හමුදාව, අගෝස්තු 02 වන දාට පෙර එම ප්‍රදේශවලින් ඉවත් කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ට පවසයි.

මුහුදු කොටි බලකායට අලුතින් බඳවාගත් කණ්ඩායමක විසිර යාමේ පෙළපාලියක් පැවැත් වේ. මෙහි දී පළමු වරට මුහුදු කොටි, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ධවල පැහැ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී සිටී. මෙයට පෙර මුහුදු කොටි භාවිත කළේ ද කොටි සංවිධානයේ සාමාන්‍ය කැළෑ ඇඳුම ය. මෙම විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වන්නේ කොටි නායක ප්‍රභාකරන් ය.

නව උපකරණ හා නාවික හමුදාවට පවා නො මැති ප්‍රහාරක අවි යොදා ගනිමින් මුහුදු කොටි පුහුණුවීම්වල නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගු දුර විමර්ශන කණ්ඩායමට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ ඊට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් ඝාතනය කිරීමේ අරමුණින් මඩකලපුවේ සිට කොටි පිස්තෝල කල්ලියක් කොළඹට පැමිණ ඇති බව හෙළිවෙයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල කොටි ඔත්තුකරුවන් අති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙමින් සිටින බව අනාවරණය වෙයි.

ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ පවතින කල්ලඩිහි පැවති කෝවිල් උත්සවයක දී කොටි සංවිධානය දෙමළ ළමයින්  20දෙනකු පැහැර ගන්නා අතර, ඒ පිළිබඳ ව හමුදාවට දැන්වුවහොත් පවුල් පිටින් මරා දමන බවට තර්ජනය කරයි.

මුහුදු කොටි පළමුවරට තමන් සතු, රේඩාර්වලින් සමන්විත සන්නාහ යාත්‍රාවක් ප්‍රදර්ශනය කරති.

නැඟෙනහිර පළාතේ නිව් ඊස්ටන් හා උතුරු බස් සමාගම මිලට ගැනීම සඳහා මැන්ඩරීන් සහ ජය ලක්ෂ්මී යන සමාගම් ටෙන්ඩර් ඉදිරිපත් කරති. මෙම සමාගම් කොටි සංවිධානය සමග ඍජු සබඳතා පවත්වන සමාගම් ය.

මහනුවර - යාපනය මාර්ගයේ මුහාමලෙයි ප්‍රදේශයේදී කොටි සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකු වෙඩි තබා ඝාතනය කරයි.

උතුර නැඟෙනහිර ප්‍රදේශවලින් ඉවත් කරගත් යුද හමුදා කඳවුරු, අලුතින් පිහිටුවා ඇති ස්ථාන පිළිබඳ ව වාණිජමය චන්ද්‍රිකා කිහිපයක් මගින් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප හරහා කොටි සංවිධානය පුළුල් විමර්ශනයක් අරඹයි. කොටි සංවිධානය චන්ද්‍රිකා ඡායාරූප මගින් මෙම කටයුත්තේ නිරත වූ පළමු අවස්ථාව මෙයයි.

A9 මාර්ගයෙන් මිස මුහුදු මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය නො කළ යුතුයැයි කොටි සංවිධානය උතුරේ ව්‍යාපාරිකයින්ට පනවා ඇති නියෝගය නිසා පේදුරුතුඩුව වරායේ කටයුතු සම්පූර්ණයෙන් ම ඇණ හිටී. ගොඩබිම් මාර්ගයේ එන වාහනවලින් මුදල් අයකළ හැකි නිසා කොටි සංවිධානය මෙම නියෝගය පනවා ඇත.

A9 මාර්ගයේ ගෙන යන භාණ්ඩ ලොරිවලින් බර අනුව මුදල් අය කිරීමට කොටි සංවිධානය කටයුතු කිරීම නිසා යාපනයේ භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යයි.

 

2002 අගෝස්තු

උතුරේ අධි ආරක්ෂිත කලාපවල සීමා පටු කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි.

කොටි සංවිධානයට මුහුදු මාර්ගයක් ලබා දීමට ශ්‍රී ලංකා රජය එකඟ වෙයි. කොටි සංවිධානය සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා හරහා මෙම ඉල්ලීම රජයට ඉදිරිපත් කර තිබිණ.

කොටි සංවිධානයට ලබාදුන් මුහුදු මාර්ගය වාකරෙයි සිට ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් නැඟෙනහිර ප්‍රදේශයේ නාවික අධි ආරක්ෂිත කලාප බිඳ වැටෙයි. වාකරේ ප්‍රදේශය කලෙක සිට ම කොටි සංවිධානයේ ආයුධ ගොඩබෑම් සඳහා යොදාගැනුණු අතර, නව තත්ත්වය තුළ එහි ආයුධ ගොඩබෑම් සඳහා මධ්‍යස්ථානයක් කොටි සංවිධානය විසින් ඉදි කරනු ලබයි. මෙම මධ්‍යස්ථානයේ චන්ද්‍රිකා දුරකතන පද්ධතියක් හා නාවික චන්ද්‍රිකා ජාලයක් ද ඇතැයි හෙළි වේ.

කොටි සංවිධානය හදිසියේ ම මඩු මාර්ගය සම්පූර්ණයෙන් ම වසා දමයි. ඉන්පසු එදින රාත්‍රියේ එම මාර්ගයේ අවි ආයුධ ප්‍රවාහනය කර ඇති බවත්, කොටි කණ්ඩායම් දෙකක් වෙනත් ප්‍රදේශයක් වෙත යැවූ බවත් අනාවරණය වෙයි.

යාපනයේ දිසා හමුදා මූලස්ථානය තිබූ යාපනය අධි ආරක්ෂිත කලාපයට අයත් අරියාකුලම් හා වෙම්බයි මාර්ග නැවත විවෘත කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරයි.

උතුරේ සිටින හමුදා සෙබළුන්ගෙන් 99% ක් ම සිංහලයින් නිසා ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ආර්.සම්බන්ධන්, ජී.ගෙජ්න්ද්‍රකුමාර්, එන්.රවිරාජ්, කේ.තංගවේලු යන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආම්ටේජ්ගෙන් ඉල්ලා සිටිති. මෙම හමුව සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඈෂ්ලි විල්ස්ගේ නිල නිවසේදී ය.

උතුර නැඟෙනහිර ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුමක් සැකසීමට, සාම මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ බර්නාඩ් ගුණතිලක හා කොටි සංවිධානයේ දේශපාලන නායක තමිල් සෙල්වම් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වෙති.

ජාතික ගුවන් විදුලි සේවාවල තමන්ටත් ගුවන් කාලයක් වෙන් කර දෙන ලෙස කොටි සංවිධානය ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා ගුවන් විදුලි සංස්ථාවෙන් ඉල්ලීමක් කරයි.

නිවාඩු යන සිය කාඩර්වරුන් මුහුදින් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කොටි සංවිධානයට අවසර දෙයි. මෙම කොන්දේසි සහිත, මුහුදු ගමන් අවසරය මුල් වතාවේ සිට ම කොටි සංවිධානය උල්ලංඝනය කරමින් සිටිතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක ඒ. විනයාගමූර්තිට අයත් බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථය කොටි නායක ප්‍රභාකරන්ගේ පාවිච්චිය සඳහා ලබා ගනී. විනයාගමූර්ති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූයේ තම සංවිධානයේ සහයෝගය මත බැවින්, මෙම රථය තමන්ට අයත් විය යුතු බව කොටි සංවිධානය පවසයි. එම මෝටර් රථය වෙනුවට ලක්ෂ 15ක් වටිනා මෝටර් රථයක් විනයාගමූර්තිට ලබා දෙන ලෙස කොටි සංවිධානය විසින් කප්පම් ගනු ලබන ව්‍යාපාරිකයකුට නියෝග කරයි.

දිය යට දී සිදු කරන පිපිරවීම් පිළිබඳ ව පුහුණු කෙරුණු මුහුදු කොටි 170ක් වාකරේ පිහිටි මුහුදු කොටි කඳවුර වෙත පැමිණෙති. මොවුන් නිවාඩුවක් සඳහා වාකරේ ප්‍රදේශයට පැමිණි බව කොටි සංවිධානය පවසයි.

බස් රථ දෙකක් හා යුද හමුදා ට්‍රක් රථයක් යොදා ගනිමින් කොටි සාමාජිකාවන් 139ක් හා එක් සාමාජිකයෙක් මඩකලපුවේ කළු පාලම හරහා කොටි සංවිධානයේ පාලන ප්‍රදේශයක් වෙත යැවීමට ශ්‍රී ලංකා යුද හමුදාවට සිදු වෙයි.

සාම සාකච්ඡා ආරම්භ කිරීමට ප්‍රථම, සැප්තැම්බර් 06 වන දා සිට කොටි සංවිධානයේ තහනම තාවකාලික ව ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි. තමන්ට එරෙහි ව පනවා ඇති තහනම ‘තාවකාලික ව ඉවත් කිරීමට එකඟ විය නො හැකි බව බ්‍රිතාන්‍යයේ පළවන  ටැමිල් ගාඩියන් පුවත්පතට කොටි සංවිධානය පවසා සිටී.

කොටි සංවිධානය දේදුන්න නමින් සිංහල පුවත් පතක් එළි දක්වයි.

 

2002 සැප්තැම්බර්

ඊ.පී.ඩී.පී. පාලනයට අයත් අල්මායි ප්‍රාදේශීය සභා කාර්යාලයට කොටි ප්‍රහාරයක් එල්ල වේ. කාර්යාලයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර, යතුරු ලියන, ඡායාපිටපත් යන්ත්‍ර, පරිගණක, වායු සමීකරණ යන්ත්‍ර කොටි සංවිධානය පැහැර ගනී. මෙය කොටි සංවිධානයේ ක්‍රියාවක් නිසා මේ සම්බන්ධ පොලිස් පරීක්ෂණ අතරමඟ නතර වේ.

පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලය පිහිටුවා ඇති හමුදා කඳවුර ඉවත් කරන ලෙස උද්ඝෝෂණය කරමින් කොටි සංවිධානයේ ආධාරකරුවන් හා පාසල් සිසුන් දෙදහසක් පමණ පේදුරුතුඩුව හමුදා මූලස්ථානයට කඩා වැදීමට උත්සාහ දරති. ඒ අසල පිහිටි හමුදා බංකර් කඩා දමා සෙබළුන්ගේ කුටිවලට මේ පිරිස් ගිනි තබති. සේනාංක මූලස්ථානය වෙත ළඟාවීමේ ඔවුන්ගේ උත්සාහය හමුදාව විසින් ව්‍යර්ථ කෙරෙයි.

කොටි සංවිධානය පල්ලායි ප්‍රදේශයේ අලුතින් බංකර් ඉදිකරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියමුවන් රහිත ගුවන් යානයක් යොදාගනිමින් ඉහළ අහසේ සිට විමර්ශන කටයුතු කරයි. මෙය කොටි සංවිධානයේ නිරීක්ෂණයට හසුවන අතර, කොටි සංවිධානය මේ බව සටන් විරාම නිරීක්ෂණ කමිටුවට දැනුම් දෙයි. අවබෝධතා ගිවිසුමෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සීමා පනවා නො මැති නමුත්, මෙම යානය නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීම නුසුදුසු ක්‍රියාවක් යැයි සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානියා වන හැන්ග්රොප් හොක්ලන්ඩ් ගුවන් හමුදාවට දන්වා සිටී.

කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන බැංකුවලට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබා දීම කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වේ.

සැප්තැම්බර් 04 වන දා මධ්‍ය ම රාත්‍රියේ සිට කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි.

කොටි සංවිධානය වන්නි දිස්ත්‍රික්කයේ ශ්‍රේෂ්ඨාධිකරණයක් සහ අභියාචනාධිකරණයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි.

කොටි සංවිධානය ශ්‍රී ලංකා යුද හමුදාවේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් භාවිත කරන්නට පටන් ගෙන ඇති බව අනාවරණය වෙයි.

තායිලන්තයේ පැවැත්වීමට නියමිත සාම සාකච්ඡාවලට පෙර කොටි නායක ප්‍රභාකරන්ටත් එහි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ටත් චන්ද්‍රිකා දුරකතන දෙකක් ලබා දෙන ලෙස නෝර්වේ නියෝජිතයින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීමට රජය එකඟ වෙයි.

කොටි සංවිධානය සිය කොටි හ ගුවන් විදුලි සේවය දිවයින පුරා විසිරුවා හරී.

ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක දී සැත්කමකට භාජනය කෙරුණු ‘පුවන්නන් නමැති කොටි නායකයකු ආපසු උතුර බලා යමින් සිටිය දී කුරුණෑගල දඹුල්ල මාර්ගයේ දී රිය අනතුරකට ලක් වී තුවාල ලබයි.

‘තිලීපන් සැමරීමේ උත්සව උතුර නැඟෙනහිර ප්‍රදේශවල පවත්වන අතර, ඒ වෙනුවෙන් යාපනය කච්චේරියේ ඊළාම් ධජය එසවීමට කොටි සංවිධානය කටයුතු කරයි.

1995 වසරේ කොලොන්නාව තෙල් ටැංකි සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරයට සහභාගී වූ, එහි දී හමුදා භටයින් 08 දෙනකු ඝාතනය කරනු ලැබූ කොටි සංවිධානයේ ජෙයවීරන් කුමාරස්වාමිට එරෙහි ව මහා අධිකරණයේ පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස් කර ගනී.

කොටි සාමාජිකයින් පිරිසක් මුතුර් රෝහලට කඩා වැදී එහි විදුලි ජනක යන්ත්‍රය පැහැර ගෙන යයි.

සැප්තැම්බර් 16 වන දා තායිලන්තයේදී ශ්‍රී ලංකා රජයත් කොටි සංවිධානයත් අතර සාම සාකච්ඡා ආරම්භ වෙයි. එහි දී අන්තර් පාලන මණ්ඩලයක් පිහිටුවීමට පෙර ශ්‍රී ලංකා රජයත් කොටි සංවිධානයත් ඒකාබද්ධ ව පාලන කමිටුවක් පිහිටුවීමේ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟ වෙයි.

ත්‍රිකුණාමලයේ වෙනයිපූර් විද්‍යාල ක්‍රීඩාංගණයේදී කොටි සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලියක් පැවැත්වේ. මෙම කණ්ඩායම පුහුණු කරන ලද්දේ මෑතක දී බව ඊට සහභාගී වූ පදුමන් නමැති කොටි නායකයා පවසා සිටී. මෙම උත්සවයට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් සහ සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයකු වන කේ.සිවපාලන් සහභාගී වෙති. මෙහි දී කොටි සංවිධානයේ අලුත් ම අවි ආයුධ ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

මුහුද සැර නිසා ගොඩබිම ඔස්සේ කොටි සාමාජිකයින් 250ක පිරිසක් ප්‍රවාහනය කිරීමට කොටි සංවිධානය රජයෙන් අවසර ඉල්ලා සිටින අතර, රජය ඊට අවසර දෙයි. කොක්කඩිචෝලෙයි කඳවුරේ පුහුණුව ලත් භට පිරිස ස්ථානගත කිරීමක් කොටි සංවිධානය එසේ සිදු කළ බව පසුව අනාවරණය වෙයි.

කනන්කිලප්පුහි අධි ආරක්ෂිත කලාපයට අයත් අක්කර 3000කට අධික භූමි ප්‍රමාණයක් කෘෂිකාර්මික කටයුතුවලට ලබා දීමට රජය තීරණය කරයි.

තායිලන්ත සාම සාකච්ඡාවල දී පත් කිරීමට තීරණය වූ උතුර නැඟෙනහිර පුනරුත්ථාපනය සඳහා වන කාර්ය සාධන බලකායේ සම නායකත්වයට කොටි වෙනුවෙන් තමිල් සෙල්වම් හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බර්නාඩ් ගුණතිලක තෝරා ගැනෙති. උතුර නැඟෙනහිර අධි ආරක්ෂිත කලාපවල කලින් පදිංචි ව සිටි ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධ ව හා උතුර නැඟෙනහිර සංවර්ධන කටයුතු නඟා සිටුවීමට මෙම කාර්ය සාධන බලකාය කටයුතු කිරීමට නියමිත ය. දෙවන වටයේ සාම සාකච්ඡා ආරම්භ වීමට පෙර මෙම කාර්ය සාධන බලකාය ක්‍රියාත්මක කළ යුතු වේ.

රජයේ සාම ක්‍රියාවලිය අනුව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව සියලු ම රාජ්‍ය ආයතන  ප්‍රධානීන් දැනුවත් කිරීමට සාම මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ බර්නාඩ් ගුණතිලක තීරණය කරයි.

උතුර නැඟෙනහිර නො සන්සුන් කිරීමට සාමයට එරෙහි පිරිස් දරන උත්සාහයට හසු නො වී සන්සුන් ව සිටින ලෙස කොටි සංවිධානය නිවේදනය කරයි.

වයස අවුරුදු 18ට අඩු සාමාජික සාමාජිකාවන් 12,000ක් කොටි සංවිධානය සතු ව සිටින බවත්, මේ වසර මුල සිට අගෝස්තු දක්වා කාලය තුළ කොටි සංවිධානය අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කවලින් ළමයින් 4,000ක් පමණ පැහැර ගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස පුහුණු කර ඇති බවත් සටන් විරාම නිරීක්ෂණ කමිටුව සඳහන් කරයි.

ඩෙල්ෆ්ට් දූපතේ නාවික හමුදා කඳවුරක් අලුතින් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කිරීමේ දී කොටි සංවිධානය ඊට එරෙහි වන අතර, සටන් විරාම නිරීක්ෂණ කමිටුව කොටි සංවිධානයේ විරෝධය පිළිගනිමින් නාවික කඳවුර ඉදිකිරීම නතර කරන ලෙස දැනුම් දෙයි. ඩෙල්ෆ්ට් දූපතේ නාවික හමුදා බලය ඉවත් කිරීමත් සමග කොටි සාමාජිකයින් එම දූපතට පැමිණ බලය පතුරුවා ගනී. එහි තිබූ ඊ.පී.ඩී.පී. කාර්යාලය විනාශ කර දමා එහි සිටි එක් ඊ.පී.ඩී.පී. සාමාජිකයකු කොටින් විසින් පැහැරගෙන ගොස් පසු ව සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ මැදිහත් වීමෙන් නිදහස් කෙරෙයි.

රජය භාරයේ පසු වූ කොටි සාමාජිකයින් 11ක් හා කොටි සංවිධානය භාරයේ පසු වූ ආරක්ෂක නිලධාරීන් 07ක් හුවමාරු කර ගැනීම ඕමන්තේදී සිදු කරයි.

කඳවුරේ අවශ්‍යතාවක් සඳහා වැලි ගෙන ඒමට වෙල්ගම්වෙහෙර ප්‍රදේශයට ගිය යුද හමුදා සෙබළුන් හත් දෙනෙක් කොටි සංවිධානය විසින් රඳවා ගනු ලබති. ඔවුන් හත් දෙනා නිදහස් කිරීමට නම් පසුගිය දා පොලිස් අත්අඩංගුවට ගත් තම සාමාජිකයින් දෙදෙනා නිදහස් කළ යුතු බව කොටි සංවිධානය පවසා සිටී.

කුච්චිවේලි වෙරළ අසල නාවික හමුදා මුර පොළක් ඉදි කිරීම සඳහා නාවික හමුදා  බලධාරීන් ගෙන ඇති තීරණයට කොටි සංවිධානය විරෝධය පළ කරයි.

 

2002 ඔක්තෝබර්

ශ්‍රී ලංකා රජය කොටි සැකකරුවන්ගේ නඩු කඩිනමින් විසඳීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ මහාධිකරණයක් පිහිටුවයි.

තමිල් ඊළාම් පොලීසිය නැඟෙනහිර ප්‍රදේශයේ ද ආරම්භ කිරීමට කොටි සංවිධානය කටයුතු කරයි.

අම්පාර කාන්චන්කුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට කොටි සංවිධානය ප්‍රහාර එල්ල කරයි. කඳවුර බේරා ගැනීම සඳහා සෙබළුන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී 06දෙනෙක් මිය යති. මෙහි දී මිය ගිය කොටි සාමාජිකයින් දෙදෙනා පසුගිය කාලයේ රජයේ අත්අඩංගුවේ සිට අවබෝධතා ගිවිසුමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරනු ලැබූ දෙදෙනෙකු බව අනාවරණය වේ.

කොටි සංවිධානය තමිල් ඊළාම් කාන්තා දිනය ප්‍රකාශයට පත්කර කිලිනොච්චියේ දී කොටි කතුන්ගේ නැඟිටීම නම් උළෙලක් පවත්වයි. මෙහි දී පැවැත්වූ පෙළපාලියට කොටි කාන්තා බලකායේ ඒකක 11ක් සහභාගී වෙති.

පසුගිය දා කාන්චන්කුඩා කඳවුරේ සිට (ජනතාවට) වෙඩි තැබූ සෙබළුන්ට දුවම් කරන ලෙස දෙමළ ජාතික සංධානය රජයෙන් ඉල්ලා සිටී.

කොටි සංවිධානය යාපනය විශ්ව විද්‍යාලයේ දී කලා උළෙලක් පවත්වයි. දකුණේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් ද මෙයට සහභාගී වෙති.

බාලසිංහම් යුවළ කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් හෙලිකොප්ටරයකින් වන්නිය බලා යති.

සාම සාකච්ඡා සඳහා කොටි සංවිධානයේ බාලසිංහම් යුවළ, තමිල් සෙල්වම්, කරුණා ඇතුළු පිරිස සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිස එක ම ගුවන් යානයකින් තායිලන්තය බලා පිටත්ව යති.

රජයේ ආරක්ෂක අංශවලට උතුරේ අලුතින් බංකර් හා මුරකුටි ඉදිකිරීමට ඉඩ නො දෙන ලෙස කොටි සංවිධානය සටන් විරාම නිරීක්ෂණ කමිටුවට දැනුම් දෙයි.

 

2002 නොවැම්බර්

තායිලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල දී උතුරේ අධි ආරක්ෂිත කලාපවල ජනතාව නැවත පදිංචි කිරීමට කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා රජයත්, කොටි සංවිධානයත් එකඟ වෙති. යෝජිත උතුර නැඟෙනහිර කාර්ය සාධන බලකායේ මූලස්ථානය අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක නො කිරීමටත් ඊට රජයෙන් හා කොටි සංවිධානයෙන් සිව්දෙනා බැගින් පත් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වෙති.

උතුර නැඟෙනහිරට අන්තර් පාලන මණ්ඩලයක අවශ්‍යතාව දැනට මතු නො වන බැවින්, අනුකමිටු 03ක් පිහිටුවීමේ යෝජනාවට තමන් එකඟ වූ බව බාලසිංහම් පවසයි.

ත්‍රිකුණාමල වරාය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක තිබී ක්ලේමෝ බෝම්බ 35ක් ඇතුළු භාණ්ඩ තොගයක් සහ බෝට්ටුවේ සිටි කොටි සාමාජිකයින් හය දෙනෙක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලබති.

කොටි සංවිධානය නැඟෙනහිර පළාතේ ‘කොටි පොලීසි 2ක් හා ‘කොටි උසාවි 2ක් පිහිටුවා ඇති බව වාර්තා වේ. එක් පොලීසියක් මඩකලපුව පලුගාමම්හි ද, අනෙක් පොලීසිය ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ද පිහිටුවා ඇති බව අනාවරණය වේ.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළ ව පැවති නඩු විභාගයේදී අධිකරණය විසින් ප්‍රභාකරන්ට පනවන ලද වසර 200ක සිර දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා කොටි සංවිධානය මඩකලපුවේ උද්ඝෝෂණ පවත්වයි.

කාන්චන්කුඩා කඳවුරේ අණදෙන නිලධාරියා ඇතුළු භට පිරිසක් වහා ම ක්‍රියාත්මක වන පරිදි මාරු කෙරෙති.

කොටි සංවිධානය සඳහා මඩකලපුව රෝහලේ වෙන ම ඒකකයක් ආරම්භ කෙරේ. රෝහලේ ප්‍රධාන දුරකතන පද්ධතිය හරහා මෙම නව ඒකකයට දුරකතන පහසුකම් ලබා දී ඇති අතර, ශල්‍ය කර්ම, එක්ස් කිරණ පරීක්ෂණ ආදිය කිරීමේ පහසුකම් ද මෙයට ලබා දී ඇත.

‘‘කොටි පොලීසි හා අධිකරණ ඇත්තේ තම බල ප්‍රදේශවල බැවින් ඒවා වසා දමන ලෙස නියෝග කිරීමට ශ්‍රී ලංකා රජයට අයිතියක් නැතැ යි කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් පවසයි.

නෝර්වේ ඔස්ලෝහි පැවති සාම සාකච්ඡාවල දී, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයකට ඉඩ ලැබෙන ෆෙඩරල් ක්‍රමයකට කොටි සංවිධානය සිය එකඟතාව පළ කරයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ විශේෂ උප කාර්යාලයක් යාපනයේ විවෘත කිරීමට කටයුතු කෙරෙයි. මේ  හරහා කොටි සංවිධානය වෙත ඍජු ව ම ආධාර ලබා දීමට බලාපොරොත්තු වෙයි.

මහා වීර දිනය වෙනුවෙන් කොටි නායක ප්‍රභාකරන් කළ කතාවේ දී කොටින්ගේ පිපාසය දෙමළ ඊළාම් මව්බිම බව පවසයි.

මහාවීර සතියේදී මුල්වරට කළු කොටින්ගේ ආචාර පෙළපාලියක් පැවැත්වේ.

සටන් විරාම කාලය තුළ කොටි සංවිධානය මුහුදු කොටි බෝට්ටු සඳහා බර ප්‍රහාරක අවි ගෙන්වා ඇති බව අනාවරණය වෙයි. මහා වීර දිනයේ දී මුලතිව් මුහුදේ යාත්‍රා කළ මුහුදු කොටි බෝට්ටුවල මෙම ප්‍රහාරක අවි සවි කර තිබූ බව ද අනාවරණය වෙයි.

උතුරු ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ, මුළු ශ්‍රී ලංකාව ම සහ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩසටහන් විසුරුවා හැරිය හැකි සහ වෙනත් ගුවන්විදුලි තරංග අඩපණ කළ හැකි අධිබලැති ගුවන්විදුලි සම්ප්‍රේෂණ උපකරණ තොගයක් කොළඹ සිට ඕමන්තෙයි හරහා කොටි සංවිධානය වෙත යැවීමට ශ්‍රී ලංකා රජය පියවර ගනී. මෙම උපකරණ තොගය නෝර්වේ රජය කොටි සංවිධානයේ කොටි හ ගුවන් විදුලි සේවය වෙත පිරිනමන ලද ත්‍යාගයක් බව සඳහන් වේ.

 

2002 දෙසැම්බර්

ෆෙඩරල් දේශපාලන ක්‍රමය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා ඔස්ලෝ සාකච්ඡා අවසානයේ කොටි නියෝජිත පිරිස ස්විට්සර්ලන්තයේ සංචාරයකට සහභාගීවෙති. මෙම සංචාරය ස්විට්සර්ලන්ත රජයේ විශේෂ ආරාධනාවක් අනුව සිදුවන්නකි.

තම සංවිධානවලට මේ වන විට උතුර නැඟෙනහිර ප්‍රදේශවල දී මුහුණ දීමට සිදු ව ඇති අනාරක්ෂිත තත්ත්වය නිසා තමන් රජයට භාරදුන් ආයුධ රජය නැවත තමන්ට දිය යුතු යැයි ඊ.පී.ඩී.පී., ඊ.පී.ආර්.එල්.එෆ්. හා ප්ලොට් යන දේශපාලන පක්ෂ පවසති.

රජයේ පාලනය යටතේ පවතින මරුතකුලම් ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි යුද හමුදා භට පිරිසකගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට ඩබල් කැබ් රියකින් පැමිණි කොටි සාමාජිකයින් පිරිසක් උත්සාහ දරති. මේ පිරිස විසින් හමුදා කණ්ඩායම ආපසු හරවා යවනු ලබයි.

යාපනය නාගදීප විහාරයේ තැන්පත් කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් රැගෙන යමින් තිබූ ධාතු කරුවක් සඳහා ඕමන්තෙයි කොටි මුරපොළේ දී බදු අයකරයි.

උතුරේ පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීමට පෙර අධි ආරක්ෂිත කලාපවලින් හමුදාව ඉවත් විය යුතු බව තමිල් සෙල්වම් පවසයි.

කොටි සංවිධානය, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පිටුපස සිය ඔත්තුකරුවන් යොදවයි. මේ අය හරහා රාජ්‍ය ආයතන, ආරක්ෂක අංශ, කොටි සංවිධානයට එරෙහි දේශපාලන පක්ෂවල  ක්‍රියාකාරකම් ඇතුළු තොරතුරු මෙන් ම දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් කොටි සංවිධානයේ අණ පිළිපදිනවා ද යන්න අනාවරණය කර ගැනීම බලාපොරොත්තු වෙයි.

කොටි සංවිධානයට V SAT නමැති අධිබලැති චන්ද්‍රිකා දුරකතන පද්ධතියක් නෝර්වේ රජය ලබා දී ඇති බව අනාවරණය වේ.

කොටි සංවිධානය විසින් මඩකලපුව පොරතිව් ප්‍රාදේශීය සභාවේ උප සභාපති පුබාලසිංහම් පැහැරගෙන ගොස් ඝාතනය කරයි.

කොටි සංවිධානය ඓතිහාසික ලංකා පටුන සමුද්‍රගිරි විහාරය මුළුමනින්ම විනාශ කර දමයි.

තම සාමාජිකයින්ට ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස කොටි සංවිධානය රජයෙන් ඉල්ලයි.

★ වන්නියේ පෞද්ගලික ගුවන් විදුලි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට කොටි සංවිධානය රජයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ සඳහා සම්ප්‍රේෂණ උපකරණ ලබා ගත්තේ නීත්‍යනුකූල ව බවත් රජය ප්‍රකාශ කරයි.

 

2003 ජනවාරි

ජනමාධ්‍ය ඔස්සේ යුද්ධ කිරීම නවතා සාම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට වගකීමෙන් ක්‍රියා කරන ලෙස අගමැතිවරයා ඉහළ හමුදා නිලධාරීන්ට පවසයි.

තායිලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල දී උතුරේ අධි ආරක්ෂිත කලාප අර්බුදය විසඳා ගැනීම සඳහා ඉන්දියාවේ ලුතිනන් ජනරාල් සතිස් නම්බියාර්ගෙන් වාර්තාවක් ලබාගැනීමටත්, උතුර නැඟෙනහිර පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා ලැබෙන විදේශාධාරවල භාරකාරත්වය ලෝක බැංකුවට පැවරීමටත් ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය එකඟ වෙති.

කොටි සංවිධානයට සාමාජිකයින් 2500ක් බඳවා ගැනීම සඳහා දැවැන්ත වැඩසටහනක් නැඟෙනහිර පළාත කේන්ද්‍රගත ව ආරම්භ වේ.

නිරායුධවීම හෝ සැහැල්ලු හා බර අවි අක්‍රීය කිරීම ගැන හෝ කිසිදු එකඟතාවක් ඇති නො වන බව ඇන්ටන් බාලසිංහම් අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන් කරයි.

කොටි සංවිධානය යාපන අර්ධද්වීපයේ අධි ආරක්ෂිත කලාප සීමා දක්වන ධජ පුළුස්සා විනාශ කරයි.

උතුරේ අධි ආරක්ෂිත කලාපවලින් හමුදාව ඉවත් වීම ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වන බව ලුතිනන් ජනරාල් සතිස් නම්බියාර් සිය වාර්තාවේ සඳහන් කරයි.

කොටි නායකයකු වූ ‘කිට්ටු මියයාමේ 10වන සංවත්සරය යෙදෙන ජනවාරි 16 වන දා සිට එෆ්.එම්. 98 ඔස්සේ ‘කොටි හඬ’ ගුවන් විදුලි සේවයේ විකාශනය පුළුල් කෙරේ. ඒ සඳහා නෝර්වේ රජයෙන් ලැබුණු නව සම්ප්‍රේෂණ උපකරණ යොදා ගැනේ.

කොටි සංවිධානය උතුර නැඟෙනහිර වෙන ම විදුලි සංදේශ ජාලයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජයෙන් අවසර ඉල්ලයි. මේ සඳහා කොටි සංවිධානය විදුලි සංදේශ සමාගමක් අරඹා ඇති අතර, මන්නාරමේ චන්ද්‍රිකා මධ්‍යස්ථානයක් පිහිටුවා වෙන ම ජාත්‍යන්තර විදුලි සංදේශ ජාලයක් පවත්වාගෙන යාමට සැලසුම් කරයි.

ළමයින්ට හමුදා පුහුණුව ලබා නො දෙන ලෙස තමන් කොතරම් ඉල්ලා සිටිය ද කොටි සංවිධානය එම ඉල්ලීම් නො පිළිගන්නා බව සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.

පසුගිය වසරේ සටන් විරාමය උල්ලංඝනය කිරීම් 556ක් වාර්තා වී ඇති අතර, ඉන් 90%ක් ම කොටි සංවිධානය විසින් කරන ලද ඒවා බව සටන් විරාම නිරීක්ෂණ කමිටුව නිවේදනය කරයි.

කොටි සංවිධානය, කරෙයිනගර් වන සම්පත් ආරක්ෂක සංගමය නමින් සංවිධානයක් පිහිටුවාගෙන  හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශවල දර එකතු කරන වැසියන්ගෙන් බදු අය කරයි.

කොටි සංවිධානය කෝටි 06ක පමණ මුදල් වැය කර මඩකලපුවේ තාන්දාමල ප්‍රදේශයේ සුවිසල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇති බව වාර්තා වේ.

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් නිෂාම් මුතාලිෆ් සහ කපිතාන් ෂාහුල් හමීඩ් යන දෙදෙනා ඝාතනය කිරීම සඳහා කොටි සංවිධානය කොළඹ පාතාල කල්ලියකට ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව අනාවරණය වේ.

 

2003 පෙබරවාරි

අවබෝධතා ගිවිසුම අත්සන් කර වසරක් සපිරෙයි.

ඩෙල්ෆ්ට් දූපත ආසන්න මුහුදේ දී කොටි සාමාජිකයින් විසින් පුපුරුවා විනාශ කළ යාත්‍රාවේ තිබුනේ මුලතිව් මුහුදේ දී අබිරහස් නැවකින් ගොඩබාන ලද ආයුධ තොගයක් බව අනාවරණය වේ.

යාපනය පුස්තකාල ගොඩනැගිල්ල තුළ කොටි කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු කරන ලෙස කොටි සංවිධානය යාපනය නගර සභාවේ මන්ත්‍රීවරුන්ට පවසයි. යාපනය නගර සභාවේ මන්ත්‍රීවරු ඉල්ලා අස් වෙති.

කොටි සාමාජිකාවන් විසින් හමුදා භටයෙක් වෙඩි තබා ඝාතනය කරනු ලබයි.

සැ.යු. - මෙම සටහනට ඇතුළත් කර නො මැති බදු අයකිරීම්, කප්පම් ගැනීම්, ළමයින් පැහැරගෙන යාම්, කොටි විරෝධීන්ට වධ හිංසා කිරීම්, ජනතාව හා පාසල් සිසුන් බලහත්කාරයෙන් යොදාගෙන කරන උද්ඝෝෂණ ... ආදිය කොටි සංවිධානය මෙම වසරක කාලසීමාව තුළ නිරන්තරයෙන් ම කරගෙන එන ලදී.

 

(මා විසින් ලියන ලද ‘කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි ග්‍රන්ථයෙනි.)