Sunday, May 9, 2021

කොවිඩ් සටනින් දේශීය වෙදකම පළවාහැරීම : විද්‍යාත්මක අරමුණක්ද? වෙළෙඳපොළ වුවමනාවක්ද?


 

අත්‍යවශ්‍ය පෙර සටහන :

කොවිඩ් මර්දනය සඳහා මෙරට තිබූ ප්‍රධානතම  බාධකය මේ වන විට බිඳ දමා අවසන්ය. ඒ බාධකය වූ කලී දේශීය දැනුම පදනම් කර ගත් ඖෂධ - ප්‍රතිකාර කොවිඩ් පාලනය සඳහා භාවිත කිරීමයි. මෙහි කූට ප්‍රාප්තිය ලෙස ගත හැක්කේ කොවිඩ් වෛරසය මැඩ පැවැත්වීම සඳහා ධම්මික පැණිය අසමත් බව සායනික පරීක්ෂණ අනුව තහවුරු කිරීමත්, ඒ අනුව එම පැණිය තවදුරටත් නිෂ්පාදනය කිරීම අත්හිටුවීමට පියවර ගැනීමත්ය. මේ අතර කොවිඩ් වෛරසය පාලනය සඳහා එකම විසඳුම එන්නත්කරණය බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඓතිහාසික වෛද්‍ය සම්ප්‍රදායක්, වසර සිය දහස් ගණනක් තිස්සේ පැවත ආ මානව සෞඛ්‍යය හා සබැඳි චින්තන ප්‍රවාහයක් - සංස්කෘතියක් කෙළ පිඩක් සේ බැහැර කර තිබේ.

ලංකාවේ ඊනියා ගවේෂණාත්මක පුවත්පත්කලාවේ නාමයෙන් කෑගල්ලේ කරක් ගසා අප්පු කංකානමලාගේ ධනපාල හෙවත් ධම්මික කපු මහතාගේ පැටිකිරිය, සියවසේ මහා අනාවරණය ලෙස ලියා පළ කළ ප්‍රාදේශීය හා මාණ්ඩලික පුවත්පත්කලාවේදීන්ට, ඒ මෙහෙවර වෙනුවෙන් හිමි වූයේ පුවත්පත් ආයතනයෙන් ගෙවන මාසික වැටුප හෝ ලිපියේ සෙන්ටිමීටර් ප්‍රමාණයට ගෙවන මුදල පමණක් යැයි අප කිසි විටෙකත් විශ්වාස කරන්නේ නැත.

අප්පු කංකානමලාගේ ධනපාල හෙවත් ධම්මික පිළිබඳ අනාවරණයන්හි සඳහන් වුණු විශේෂ කාරණයක් තිබිණ. එනම්, ඔහු ප්‍රදේශයේ පන්සලක ගත කළ අවධියේ එහි භික්ෂූන් වහන්සේ නමක් සතුව තිබූ වෙදකම සම්බන්ධ පුස්කොළ පොත් ගණනාවක් සොරාගැනීම සම්බන්ධවය. මෙරට සන්නිවේදන ඉතිහාසය තුළ පුස්කොළ පොත් යනු සමකාලීන අවධියේ දැනුම ගබඩා කෙරුණු ප්‍රමුඛතම මාධ්‍යයයි. මෙරට නූතන පුවත්පත්වලට හා සමාජ මාධ්‍යවලට වඩා සාපේක්ෂ හරයාත්මක බරක් පුස්කොළ පොත් මාධ්‍යය තුළ තිබූ බව සත්‍යයකි. යම් දැනුමක් පුස්කොළ පොත් තුළ අන්තර්ගත කළේ එම දැනුම් සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාම සඳහා මිස, ලියන්නාගේ බඩ රස්සාව පිණිස නොවේ. අතීතයේ කලාපීය ආක්‍රමණිකයින් විසින් ගිනි තබා විනාශ කළ මෙරට බෞද්ධ විහාරාරාම ආශ්‍රිත පොත්ගුල්වල තිබූ පුස්කොළ පොත් සමග වැනසී ගියේ මහාර්ඝ දැනුම් සම්භාරයක්, පර්යේෂණ ගණනාවක් වන අතර, එය හුදු මෙරටට මතු නොව මානව ශිෂ්ටාචාරයටම අහිමි වූ දැනුමක් ලෙස අප වටහාගත යුතුය. එසේම, මෙතැනදී පුස්කොළ පොත් යනු දේශීය වෙදකම සම්බන්ධ දැනුම් පද්ධතිය අන්තර්ගතව පැවති ප්‍රධාන මූලාශ්‍රය බව අමතක නොකළ යුතුය.

සැබෑ ගවේෂණාත්මක පුවත්පත්කලාවේදීන් කළ යුතුව තිබුනේ ධම්මික කපු මහතා සමග අඩව් ඇල්ලීම නොව, ඔහු නිපද වූ දේශීය පැණියට පදනම් වූ දේශීය වෛද්‍ය දැනුම් සම්ප්‍රදාය පිළිබඳව ගවේෂණය කරමින් මෙරට සමාජය තුළ වඩා ගැඹුරු හා ප්‍රයෝජනවත් සංවාදයකට, කතිකාවකට පිටිය නිර්මාණය කිරීමය. නමුත් මෙරට පුවත්පත්කලාව තුළ එබඳු භාවිතයන් විරලය. එබඳු අවකාශයක, මෙම අධ්‍යයනයේ අරමුණ දේශීය වෙදකම හා සබැඳි විශාල චිත්‍රය හා බටහිර ඖෂධ කර්මාන්තයේ හැඩරුව හඳුනාගනිමින් මේ මොහොතට අත්‍යවශ්‍ය කතිකාවක් ගොඩනැඟීමය.


වෙදකම
: සංස්කෘතික සම්ප්‍රදායක් ලෙස...

ලංකාවේ වෛද්‍ය කර්මය - සෞඛ්‍යය - ඖෂධ හා සම්බන්ධ චින්තන සම්ප්‍රදාය සියවස් ගණනාවක් ඈත ඉතිහාසය වෙත ගමන් කරයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙරට වෛද්‍ය ක්‍රම සම්බන්ධව ඇති තොරතුරු අල්ප වන අතර, එම අවධියේ මෙරට වැසියන්ට වැළඳුණු රෝග සුවකිරීම සඳහා ප්‍රත්‍යක්ෂයෙන් දැනගත් ඖෂධ කිහිපයකට ඔවුන්ගේ වෛද්‍ය දැනුම සීමා වී තිබෙන්නට ඇති බවට මත පළ වී ඇත.

වෛද්‍ය සී.ජී.ඌරගොඩ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසය ග්‍රන්ථයෙහි (මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශත සංවත්සරය වෙනුවෙන් 1987 වසරේදී පළමුවරට පළකෙරිණි.) සඳහන් කරන ආකාරයට, රාමායණයේ ප්‍රසිද්ධ වූ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික රජු වූ රාවණාට වෛද්‍ය කරුණු පිළිබඳව මනා දැනුමක් තිබුණු බවට පාරම්පරිකව විශ්වාසයක් පවතී. ඔහුගේ කාලයේදී ඉන්දියාවේ පැවති වෛද්‍ය සම්මේලනයකදී ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ බවද සඳහන් වේ. රාවණා, වෛද්‍ය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ බව විශ්වාස කරනු ලැබේ. එයින් ඉතා ප්‍රසිද්ධ වූ ග්‍රන්ථ අතර, අර්ක ප්‍රකාශය, නාඩි විඥානනය, කුමාර තන්ත්‍රය සහ උද්දීස ශාස්ත්‍රය ද වේ. කර්තෘත්වය පිළිබඳ එවැනි නිගමන අනුමාන මත රඳා පවතී. එම ප්‍රාග් ඓතිහාසික අවධියේ ලියූ පොත්වල භාවිත කරන ලද අත්අකුරු, යොදාගත් භාෂාව, ග්‍රන්ථකරණය සඳහා උපයෝගීකරගත් ද්‍රව්‍යයේ ස්වභාවය ගැන සතුටුදායක කරුණු පැහැදිලි කිරීමක් තිබිය නොහැකි බැවිනි.

පුරාණෝක්ති අධ්‍යයනය වෙනත් රටවල විශ්ව විද්‍යාල මට්ටමේ බරපතළ අධ්‍යයන ක්ෂේත්‍රයක් වුවද ලංකාවේ එවැනි තත්ත්වයක් දක්නට නොවේ. ඒ කෙසේ වුව, රාවණා පුරාණෝක්තිය ඔස්සේ මතුකර ගත හැකි සත්‍යය නම්, ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව ඉතා දීර්ඝ අලිඛිත ඉතිහාසයක් පවතින බවයි. (මෙය බොහෝ විට මෙරටට පමණක් අනන්‍ය තත්ත්වයක් නොවන අතර, ආසියානු - අප්‍රිකානු - ලතින් ඇමරිකානු කලාපවල ඉපැරණි ශිෂ්ටාචාර පැවති රටවල මහා පොදු සාධකයක් සේ සැලකිය හැක්කකි.) දේශීය වෙදකම හා ඉන්දියාවෙන් පැමිණි ආයුර්වේද ශාස්ත්‍රය හා සබැඳි දැනුම් පද්ධතිය විවිධ ප්‍රජා සමූහ, විශේෂ පරම්පරා ඔස්සේ අඛණ්ඩව ගලා එමින් පවතී. විටෙක සුරැකෙමින්ද, විටෙක ඇතැම් කොටස් සදාකාලිකව අභාවයට යමින්ද මේ චින්තන ප්‍රවාහය ඉදිරියට පැමිණ තිබේ. අදටත් මෙරට වෙද පරම්පරා තුළ මූලාශ්‍රයක් නිශ්චිතව කිය නොහැකි වෛද්‍යකර්ම සම්ප්‍රදායක් පවතින අතර, ඒවාහි මූලයන් ඉතිහාසයේ ඉතා දුර ඈතට ගමන්කරයි.

ලාංකේය ඉතිහාසය තුළ රජවරුන්, දේශීය වෙදකමට අදාළව සුවිශේෂ මැදිහත්වීම් සිදුකර ඇති බව ඓතිහාසික මූලාශ්‍ර ගවේෂණයේදී දක්නා ලැබේ.

මහාවංසයට අනුව බුද්ධදාස රජතුමා වෙදරජ ලෙස ප්‍රසිද්ධය. ඔහු වෛද්‍ය කර්මය, ශල්‍යකර්මය, සූතිකා කර්මය මෙන්ම පශු වෛද්‍ය කර්මයෙහිද නිපුණයෙකි.

7  වැනි අග්ගබෝධි රජු (ක්‍රි.ව. 766 -772) මුළු ලංකාවේම තිබෙන ඖෂධ පැළෑටි රෝගීන්ට හිතකරද, අහිතකරද යන වග පරීක්ෂා කිරීමට අධ්‍යයනයක් සිදු කර ඇත. සමහර විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණය පිළිබඳ වාර්තාගත ප්‍රථම සිද්ධිය මෙය විය හැකි බව වෛද්‍ය ඌරගොඩ සඳහන් කරයි.

වෛද්‍ය ඌරගොඩ වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට, වෛද්‍යකර්මයෙහි දක්ෂයකු වූ පරාක්‍රමබාහු රජතුමා ගම්මාන සහ වෙළෙඳ නගර උත්සාහයෙන් සොයාගෙන තමන්ගේ ශිල්පය ව්‍යවහාර කරන ලෙස රෝග සුවකිරීමේ ශිල්පයෙහි සුදුසුකම් ලැබූ අයට නියම කළේය. මෙම නියෝගයෙහි අභිප්‍රාය වූයේ දක්ෂතා සහිත පුද්ගලයින්ගේ සේවාවන් උපරිම වශයෙන් උපයෝගී කර ගැනීමයි.

අතීත ලංකාවේ බල දේශපාලන සම්බන්ධතා දේශීය වෙදකම විෂයෙහි බද්ධව පැවති ආකාරය මෙයින් හඳුනාගත හැකිය.

මහාචාර්ය ගුණපාල ධර්මසිරි බටහිර වෙදකම හා දේශීය වෙදකම සංසන්දනය කරමින් පළ කරන මේ මතය ඉතා වැදගත්ය. බටහිර වෙදකම සාමාන්‍ය මිනිසාගෙන් සම්පූර්ණයෙන්ම දුරස්ථ වූවකි. සෑම සුළු රෝගයකටම හෝ අපහසුකමකටම බටහිර වැසියාට දොස්තර හමුවීමට අවශ්‍යය, නිර්දේශිත බෙහෙතක් ලබා ගත යුතුය. මෙයට ප්‍රධාන හේතුව නම්, නූතන බටහිර වැසියාට රෝග හෝ ඖෂධ ගැන කිසිම දැනුමක් නැති තරමට ඒ දෙකෙන්ම ඔහු සම්පූර්ණයෙන්ම දුරස්ථ වී සිටීමයි. එහි දොස්තර හමුවීමට යන අයගෙන් වැඩි ප්‍රතිශතයක් පෙළෙන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හෝ අජීර්ණය වැනි සරල ආබාධවලින් බව හෙළි වී ඇත. රෝග පිළිබඳ ඒ තරම්වත් කිසිදු දැනීමක් ඔවුන්ට නැත. මෙයට විරුද්ධ ආකාරයෙන්, අපේ වෙදකම සාමාන්‍ය ජනතාව සමග සම්පූර්ණයෙන්ම එකට ඒකාබද්ධව පවතින්නේය. මෙයට එක හේතුවක් නම්, මුළු මහත් ඖෂධ ගබඩාවම ඉබේ කැළේට වැවෙමින් ගේ වටේ තිබීමත්, ඒවා ගැන සාමාන්‍ය අවබෝධයක් කාට කාටත් පිහිටා තිබීමත්ය. එමෙන්ම සෑම ගැමියෙක්ම එක්තරා දුරකට වෛද්‍යවරයෙක් වන්නේය. මක්නිසාද, සෑම දෙනාම පාහේ මූලික ඖෂධ ගැන දන්නා නිසාය. මව්වරු සෑම විටම ළදරු රෝග පිළිබඳ විශේෂඥවරුන් වශයෙන් ක්‍රියා කළහ.

වෙදකම පරිසරයේ කොටසක් ලෙස ගත් කල දේශීය වෙදකමෙහි ඖෂධ නිර්මාණය වූයේ ශාක කොටස් සරල පරිවර්තනයන්ට ලක් කිරීමෙනි. ඒ අනුව පරිසරය සහ වෙදකම අතර පැවතියේ අති සමීප ඥාතීත්වයකි. අදටත් මෙරට ගෘහාශ්‍රිතව යම් යම් ඖෂධ පැළෑටි වවාගෙන ඒවා අත්බෙහෙත් ලෙස යොදාගැනීමට මෙරට ජනතාව කටයුතු කරන්නේ දැන හෝ නොදැන ඒ ඉපැරණි සම්ප්‍රදායට අනුගත වෙමිනි.

මහනුවර යුගයේදී සිරකරුවකු ලෙස මෙරට ගතකළ රොබට් නොක්ස් සඳහන් කරන ආකාරයට, මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ ඒ සඳහා වෙන වෙනම නම් දැරූ විශේෂ වෛද්‍යවරු හෝ ශල්‍ය වෛද්‍යවරු හෝ නැත්තාහ. කෂාය බෙහෙත් ගැන හා කැපුම් කෙටුම් පෑස්සුම් ගැන කොයි කාටත් සාමාන්‍ය පළපුරුද්දක් ඇත. ඔවුන් ඖෂධ පිළියෙළ කරගන්නේ ගස්වැල් කොළ පොතු ආදියෙනි.

මෙරට තුළ දේශීය වෙදකම සංස්කෘතිය හා සංයුක්ත කොටසක් ලෙස, සාම්ප්‍රදායික දැනුම් පද්ධතියක් හා චින්තන සම්ප්‍රදායක් ලෙස පැවතී ඇති ආකාරය මෙයින් පෙනේ.

දේශීය වෙදකමට යොමු වූ යටත්විජිතවාදී ඇස

මූලාශ්‍ර අනුව බලන විට, ලංකාවේ ශාක - ඖෂධ පැළෑටි සම්බන්ධව විශේෂ අවධානයක් යටත් විජිත අවධියේ යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ තිබුණු ඖෂධ පැළෑටි ගැන විස්මයට පත් ලන්දේසීහු ඒවා එක් රැස්කර පර්යේෂණ කටයුතු සඳහා ඕලන්දයට යැවීමට ක්‍රියා කළහ. 1746 දී, නැව්ගත කළ එක් තොගයක ලැයිස්තුවක් රාජ්‍ය ලේඛනාගාරයේ සුරක්ෂිත කොට තිබේ. මෙම පැළෑටි ලතින්, සිංහල, මලබාර්(දෙමළ), ලන්දේසි හා පෘතුගීසි නම් යටතේ චක්‍රගත කරන ලදී. සෑම සටහනකම අනතුරුව එහි ඖෂධීය ගුණ දැක්වෙන සවිස්තරාත්මක පේළි කිහිපයක් විය. පසුව මෙම ශාක සංග්‍රහ එවකට පැවති හොඳම ඒවා බවට ජාත්‍යන්තරව ගෞරවයෙන් පිළිගන්නා ලදී. මේවා මුළු ලෝකය පුරා උද්භිද විද්‍යා අභිප්‍රායන් දියුණු කිරීමට හේතු විය.” යනුවෙන් වෛද්‍ය ඌරගොඩ සඳහන් කරයි.

වෛද්‍ය ඌරගොඩ වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට, හර්මන්, මෙහි සේවය කළ ලන්දේසි වෛද්‍යවරුන්ගෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වෛද්‍යවරයා විය. ඔහු ඕලන්දයට යැවූ පැළෑටි රාශිය ලිනියස්ගේ වර්ගීකරණයට පදනම විය. හර්මන් පොත් රාශියක කතුවරයා වූයේය. ශ්‍රී ලංකාවේ පැළෑටි ගැන ලියූ මියුසියම් සිලනිකුම් සහ ෆ්ලෝරා සිලනිකා යන ග්‍රන්ථ දෙකම ඔහුගේ මරණින් පසු ප්‍රසිද්ධ කරන ලදී. ෆ්ලෝරා සිලනිකා සංස්කරණය කළ ලිනියස්, ආදර්ශක 657කින් 429ක් වර්ග කළේය. වෛද්‍ය කොම්, මෙසේ ලිවීය. සිය වෘක්ෂලතාදිය පිළියෙළ වීම ගැන ලංකාව විශිෂ්ටභාවයට පත්වන බවත්, පැළෑටි පිළියෙළ කිරීමේදී ප්‍රථම වරට සිය ලිංගික ක්‍රමය පොතක යෙදූ ලිනියස් ඒවා විස්තර කළ බවත් මතක තබාගත යුතුය.

දේශීය වෙදකම සිය පෙළහර පෑ පිටිය වූයේ මෙරට පරිසරයේ පැවති වෘක්ෂලතාදියයි. පසුකාලීනව යටත් විජිතවාදීන් මේ බිමේ වටිනාකම තක්සේරු කරන්නේ මේ පාරිසරික වටිනාකම මෙන්ම, ඒ හා සබැඳි සාම්ප්‍රදායික දැනුම් පද්ධතියද සමග බව අප තේරුම්ගත යුතුය. යටත්විජිතවාදීන් අපේ රටෙන් ඉපැරණි පුස්කොළ පොත් ඇතුළු ලේඛන දස දහස් ගණනක් රැගෙන ගොස් සිය පුස්තකාලවල අදටත් සංරක්ෂණය කරමින් ඒවා නැවත නැවත ගවේෂණය කරන්නේ, ඒවායේ අන්තර්ගත සුවිශේෂ දැනුම නිසා බව අමුතුවෙන් කිය යුතු නොවේ.

සිය පාලන සමයේ අග භාගය ආසන්නයේදී ලන්දේසීහු ශ්‍රී ලංකාවේ තිබූ එක් එක් ලන්දේසි රෝහලට දේශීය වෛද්‍යවරුන් ඇතුළත් කරගත්හ. ඔවුන්ගෙන් ඖෂධ පැළෑටි සහ ඒවායේ ප්‍රයෝජන ගැන ඉගෙන ගැනීම සඳහා එසේ කරන ලදී. යටත් ජාතියකින් ඉගෙන ගැනීමට ලන්දේසීන් සූදානම් වීම දේශීය වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ ශාක ප්‍රතිකාර පිළිබඳව ඔවුන් තුළ පැවති උසස් සැලකිල්ල එයින් පෙන්නුම් කරයි. ලන්දේසීන් ශ්‍රී ලංකාවේ සිය කාලය තුළදී වෙනත් විෂයයක කටයුතු සම්බන්ධයෙන් ඔවුන් මේ ආකාරයට කටයුතු කළේද යන වග සැක සහිතය. යනුවෙන් වෛද්‍ය ඌරගොඩ සඳහන් කරයි.

මේ අනුව මෙරට දේශීය වෛද්‍ය සම්ප්‍රදාය හා ඖෂධ පැළෑටි සම්බන්ධව ලෝක අවධානය යොමුවීමේ ප්‍රාරම්භක අවස්ථා සම්බන්ධ ඉතිහාසය කෙබඳුදැයි අපට හඳුනාගැනීමට පිළිවන.

නූතන ඖෂධ කර්මාන්තය = ජෛව විවිධත්ව ගවේෂණ + සාම්ප්‍රදායික දැනුම

ලෝකයේ ඇති ඖෂධ පැළෑටි වර්ග 35,000කට අධික ප්‍රමාණයෙන් 80%ක් පමණ ඇත්තේ නිවර්තන කලාපයේ රටවල දියුණු වෙමින් පවතින රටවල බව හඳුනාගෙන තිබේ. මේ රටවල වාසය කරන ජනතාවගෙන් 80%කට වැඩි පිරිසක් සිය ප්‍රාථමික සෞඛ්‍යය රැකගන්නේ තමන් ජීවත්වන පරිසරයේ තිබෙන ඖෂධ පරිහරණය කිරීමෙන් බව බටහිර පර්යේෂකයින් සොයාගැනීමෙන් අනතුරුව, ලෝකය පුරාම ඖෂධ පැළෑටි ජාවාරම වැඩි වර්ධනය වීමට පටන් ගැනිණ.

“මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය තුළ ඖෂධීය කටයුතු සඳහා උපයෝගී කරගෙන ඇති ශාක විශේෂ සංඛ්‍යාව අති විශාලය. සමහර ගණනය කිරීම්වලට අනුව එය 30,000ක් තරම් විශාල වේ. චීන සාම්ප්‍රදායික වෙදකමේ පමණක් භාවිත වී ඇති ශාක විශේෂ සංඛ්‍යාව 5,100ක් පමණ වේ.

අද භාවිත වන ඖෂධවලින් විශාල පංගුවක උපත ඇත්තේද වන මලක, බැක්ටීරියාවක හෝ දිලීරයකය.

එක් ගණනය කිරීමකට අනුව නූතන බටහිර ඖෂධ විශ්ව කෝෂයක හමුවන ඔසු අතරින් 7,000කට වැඩි ගණනක් ශාකවලින් ලබාගත්තේ වෙයි. 1990දී ඒවා අලෙවියෙන් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 50 ඉක්මවීය.

ස්වාභාවික පරිසරය තුළ සැඟව ඇති මෙතෙක් හඳුනා නොගත් ඖෂධ ගබඩාවේ විභවය පිළිබඳව ඔසු සමාගම්වලට හොඳ අවබෝධයක් ඇත. ලොව පුරා රටවල් රැසක ඖෂධ සමාගම් ඖෂධ සෙවීමේ විවිධ ව්‍යාපෘති ප්‍රසිද්ධියේ හා අප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කොට ඇත.” (වජිර ධර්මවර්ධන - ගස් ගෙම්බෝ, සිංහල සහල් සහ ජාන හොරු : ජෛව විවිධත්වය පිළිබඳ තෙවන ලොව දැක්මක්)

මෙහිදී ඖෂධ සමාගම්වල අවධානයට ලක්වන්නේ හුදු පැළෑටි පමණක් නොවේ. ඒ පැළෑටිය හා සම්බන්ධව පවතින සමාජ දැනුම, ජනප්‍රවාද, සාම්ප්‍රදායික වෙදකම් තුළ එය යොදාගැනීම් ඔවුන්ට ඉතා වැදගත් වේ.

ඇතැම් ඖෂධ සමාගම් නව ඖෂධයක් පිළිබඳව පර්යේෂණ කරන්නට යොමු වන්නේ ඒ සම්බන්ධව සාම්ප්‍රදායික දැනුම සහිත ඖෂධ වට්ටෝරුවක් තිබේ නම් පමණි. එබඳු වට්ටෝරුවක් සහිත පර්යේෂණයකට වැය වන්නේ, එවැන්නක් නැති පර්යේෂණයකට වැය වන මුදලින් 10%ක් පමණක් බව ඇමරිකා එක්සත් ජනපදයේ ෂර්මන් ඖෂධ සමාගම සඳහන් කරයි.

“ඖෂධ නිෂ්පාදන සමාගම් විවිධ ව්‍යාපෘති ලෙස ලෝකයේ ජෛව විවිධත්ව ගවේෂණ සිදු කරති. ඇමරිකන් සයනමයිඩ් සමාගම මෙක්සිකෝ, චිලී හා ආර්ජන්ටිනාව යන රටවල ශුෂ්ක බිම්වල වැවෙන ශාක එකතු කරන්නේ බෝග වැඩි දියුණුවට යැයි පවසමිනි. ඇන්ඩීස් ෆාමසූටිකල්ස් සමාගම බොලීවීයාව, කොලොම්බියාව හා ඉක්වදෝරය යන රටවල ජෛව විවිධත්ව ගවේෂණ සිදු කරන්නේ පැළෑටිවලින් ඖෂධ නිපදවීම සඳහාය. බ්‍රිස්ටල් මයර්ස් ස්ක්විබ් සමාගම කොස්ටරිකා, කැමරුන්, නයිජීරියාව, සුරිනාමය යන රටවල කෘමීන් හා වැසි වනාන්තර ශාක සාම්පල එකතු කරන්නේ තෙවන පාර්ශ්ව හරහාය. එක්සත් රාජධානියේ ග්ලැක්සෝ සමාගම ආසියාවේ හා ලතින් ඇමරිකාවේ ශාක දිළීර හා සාගර ජීවීන් එකතු කරයි. මැක්සස් ඉක්වදෝර් සමාගම ඉක්වදෝරයේ ප්‍රාථමික වැසි වනාන්තරවල ශාක විශේෂ 1200ක එකතුවක් ගවේෂණය කරයි. මර්ක් සමාගම ලතින් ඇමරිකාවේ දිලීර, ක්ෂුද්‍ර ජීවීන්, සාගර ජීවීන් හා ශාක එකතු කරයි.” (වජිර ධර්මවර්ධන - ගස් ගෙම්බෝ, සිංහල සහල් සහ ජාන හොරු : ජෛව විවිධත්වය පිළිබඳ තෙවන ලොව දැක්මක්)

ඖෂධ සමාගම්වල මෙම ගවේෂණවලට ලක්වන රටවල් බොහොමයක් පැරණි ශිෂ්ටාචාර පැවති, එසේම අදටත් ආදිවාසී ගෝත්‍ර වාසය කරන රටවල් වේ. මේ සමාජවල මිනිසුන් පරිසරය සමග, වෘක්ෂලතාදිය සමග පවත්වන සම්බන්ධය තුළ විශේෂ දැනුම් සංචිත පවතින බව  නොරහසකි. උදාහරණ ලෙස, යම් රෝගාබාධයක් සඳහා වසර සිය දහස් ගණනක් තිස්සේ භාවිත කරන පැළෑටියක් මෙබඳු ගෝත්‍ර අතර තිබිය හැකිය. ඒ පැළෑටිය හා ඒ සමග සබැඳි දැනුම අත්පත් කර ගැනීම යම් සමාගමකට ඩොලර් කිහිපයක ගනුදෙනුවක් පමණක් වන නමුත්, ඉනික්බිති ඒ පැළෑටිය හරහා නිෂ්පාදනය කරන ඖෂධයක් එම සමාගමට හිමිකර දෙනු ඇත්තේ ඩොලර් බිලියන ගණනක ආදායමකි. මෙබඳු සිද්ධීන් ඖෂධ සමාගම් ඉතිහාසය තුළ විරල නැත.

අදින් දශක දෙකකට පමණ පෙර ලෝක බැංකුව අනුග්‍රහයෙන් මෙරට ක්‍රියාත්මක කරන්නට යෙදුණු “ඖෂධ පැළෑටි සංරක්ෂණය හා තිරසාර භාවිතය” නමැති ව්‍යාපෘතිය සම්බන්ධව සොයාබැලීමේදී අනාවරණය වූයේ මෙරට යම් යම් පරම්පරා ආශ්‍රිතව පවතින බෙහෙත් වට්ටෝරු ලබාගැනීම හා නිල්ගල ආදිවාසීන් සම්බන්ධව ගවේෂණය කිරීම එම ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර ඇති බවයි. එහි අවසාන ඉලක්කය කුමක්දැයි අමුතුවෙන් කිය යුතු නොවේ.

ගමේ වෙද මහත්තයාගෙන් බෙහෙත් වට්ටෝරුව අසාගත් අපේ පැරැන්නෝ සිය ගෙවත්තෙන් හෝ අසල ලඳු කැළෑවකින් ඒ ඖෂධ පැළෑටි සොයාගෙන අදාළ ඖෂධය සකසා ගත්හ. එම පරම්පරාව ඖෂධ පැළෑටි ගණනාවක් නමින් දැන හුන් අතර, ඒවා යොදාගන්නේ කෙබඳු රෝගාබාධ සඳහාද යන්නද දැන සිටියහ. නමුත් අද පරපුරෙන් එම දැනුම් පද්ධතිය දුරස්ය. ගෙවත්තේ වූ අත්බෙහෙත්වලින් සුවකරගත් රෝගාබාධ වෙනුවෙන් අද දුවන්නේ බටහිර වෛද්‍යවරයකු චැනල් කිරීමටය, නැතිනම් ෆාමසියකින් පෙත්තක්, කරලක් හෝ සිරප් වර්ගයක් මිල දී ගැනීමටය.

අපේ වෙදකම හා සබැඳි චින්තන සාම්ප්‍රදාය පිළිබඳව ඇති විශ්වාසය සමාජය තුළ බිඳ වැටීම අහම්බෙන් සිදුවූවක් යැයි අපි නොසිතමු. ඒ පිටුපස ඇත්තේ ඖෂධ සමාගම් විසින් නඩත්තු කරන දැවැන්ත බලවේගයකි. අරිෂ්ටයක්, ගුලියක්, කල්කයක්, පැණියක් වෙනුවෙන් මෙරට සමාජය තුළ රුපියල් කිහිපයකින් සිදුවන ගනුදෙනු වෙනුවට, මෙම ඖෂධ සමාගම්වලට ඇත්තේ ඩොලර් මිලියන, බිලියන ගණනින් ගනුදෙනු සිදුවන වෙළෙඳපොළ වුවමනාවකි. ඊට අවැසි භූමිය අපිරිසිදු කරන, බාධා කරන දේශීය වෙද හෙදකම් / විකල්ප වෛද්‍ය ක්‍රම පළවා හරින්නට විවිධ වෙසින් කටයුතු කරන මෙම සමාගම්, අනෙක් අතින් කරන්නේ එම දේශීය වෙදකම් සඳහා පදනම් වන දැනුම් පද්ධතිය සොරාගැනීමය. එමගින් තම කර්මාන්තය සඳහා නව පර්යේෂණ පදනම් ගොඩනඟා ගැනීමය.

හමාර කියමන

ධනපාල හෙවත් ධම්මික කපු මහතාගේ පැටිකිරිය මෙරට සමාජයට සුවිශේෂ අනාවරණයක් වෙද්දී, ලෝක කොවිඩ් වෙළඳපොළ අවකාශය තුළ ඖෂධ සමාගම්වලට සුවිශේෂ වන්නේ ඔහු නිෂ්පාදනය කළ පැණියට අදාළ බෙහෙත් වට්ටෝරුව බවට සැකයක් නැත. ‘ධම්මික කපු මහතාගේ හැසිරීම්’ විහිලුවක් වූවාට, ඔහු නිපද වූ පැණිය පිටුපස වන දැනුම් සම්ප්‍රදාය කිසිසේත්ම විහිලුවක් නොවේ.

“ධම්මික පැණිය” අසමත් වීම (?) මගින්, කොවිඩ් සටන සඳහා දේශීය විකල්ප ක්‍රමවේද යොදාගැනීම පිළිබඳ මතවාදය අඩපණ කරන්නට අදාළ පාර්ශ්වවලට අවසානයේ හැකි වී තිබේ. ඒ පිටුපස ඇති වුවමනාව වෙළෙඳපොළ සම්බන්ධ කාරණය මිස, කොවිඩ් පැරදවීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද පමණක් යොදාගැනීම වශයෙන් ජනප්‍රිය කරමින් පවතින වුවමනාව යැයි අපි කිසිසේත්ම නොසිතමු.

 

ආශ්‍රිත ග්‍රන්ථ

වෛද්‍ය සී.ජී. ඌරගොඩ - “ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසය”

මහාචාර්ය ගුණපාල ධර්මසිරි - “වෛද්‍ය ශාස්ත්‍රයේ ස්වභාවය”

වජිර ධර්මවර්ධන -  “ගස් ගෙම්බෝ, සිංහල සහල් සහ ජාන හොරු : ජෛව විවිධත්වය පිළිබඳ තෙවන ලොව දැක්මක්”

සිතිජය මාධ්‍ය සංසදය - “ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව : පරාධීනත්වයේ පැතිකඩක්”

සම්පත් ආරියසේන - “සොබාදහම සමග ජීවත්වීම”

No comments:

Post a Comment