Saturday, July 24, 2021

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව (1983 කළු ජූලියේ ඊශ්‍රායල භූමිකාව :දේශපාලන අන්වීක්ෂ පරීක්ෂාවක්)

 

විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි පළ වූ ලිපියකි.


 

ජූලියේ ගිනි දැයට වින කළ දා 

අසරණව අප සැවොම ඉකිබින්දා

අපේ කුළැල් ඔබ නොදුටු හින්දා

ඔබත් වියරුව අපට ගිනි බින්දා

වෛරයෙන් වෛරයම ලුහු බැන්දා

මේ පද පෙළ ඇතුළත් වන්නේ මහාචාර්ය අතුල සුමතිපාලයන් විසින් ලියන ලද ගීතයකය. 1983 කළු ජූලිය පිළිබ ප්‍රති විශ්ලේෂණයක් සහා මේ පදවැල් ඉතා උචිත ප්‍රවේශයක් සපයයි. 1983 පිළිබව සාම්ප්‍රදායිකව ලියැවුණු හා ලියැවෙන බොහෝ දේ, පුද්ගල අත්දැකීම්, විග්‍රහ ආදිය කොතෙකුත් දැකිය හැකි නමුත් මෙතෙක් මේ සම්බන්ධව සාකච්ඡා වී නොමැති යටි පෙළක් මේ 1983 ජූලි සිදුවීම් හා සබැී පවතින අතර එය විමර්ශනය කිරීම මෙහි අරමුණයි.

1983 ජූලි යනු ලාංකේය ඉතිහාසයේ හැරුම් ලක්ෂ්‍යයකි. වෙනත් ලෙසකින් කිවහොත් 1983 ජූලි මස 23 වන දාට පෙර ලංකාව හා 1983 ජූලි මස 23ට පසු ලංකාව යනු දෙකක් මිස එකක් නොවේ. ඒ මෙරට ජාතික ගැටලුව, ජාතික රාජ්‍ය සීමාව හා කලාපීය සීමාව ඉක්මවා ලෝක දේශපාලන සිතියම තුළ ස්ථානගත කිරීම සිදුවන්නේ 1983 ජූලි මස සිදුවීම් හේතුවෙන් බැවිනි.

 

1983ට පෙර ජාතික ගැටලුවේ හැඩය

මෙරට සිංහල හා දෙමළ ජාතිකත්ව දෙක පදනම් කරගත් ජාතික ගැටලුව 1983 ජූලි 23ට පෙර හුදු ජාතික රාජ්‍ය සීමාව තුළ දැල්වෙමින් නිවෙමින් යළි දැල්වෙමින් පවතින ගිනි පුපුරක් සේ පැවතිණි. 1958, 1977 හා 1981මෙම ගිනි පුපුර සාපේක්ෂව තදින් ඇවිලුණු අවස්ථා තුනක් වූ නමුත් ඒ සිදුවීම් විදේශ රටවලට මැදිහත්විය හැකි තරම් මට්ටමකට වර්ධනය වූ ඒවා නොවිණි. කෙසේ වුවත් මෙරට තුළ පවතින මේ ජාතිවාදී ගිනිපුපුර හුනාගත් බටහිර බලවේග ‘රෙඩ්බානා වැනි රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙරට දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීමේ ව්‍යාපෘති 70 දශකය වන විට ආරම්භ කරන්නට පටන්ගෙන තිබිණ. එහෙත් අන්තර්ජාතික ජනමාධ්‍ය න්‍යාය පත්‍රය තුළ උණුසුම් ප්‍රවෘත්තියක් වන ‘තුන්වන ලෝකයේ රටක සිවිල් යුද්ධයක් වශයෙන් යුරෝ - ඇමරිකා සමාජ මනෝභාවයට දැනෙන ලෙස අර්ථ ගැන්විය හැකි පරිමාණයට එය වැඩී නොතිබිණ.

1976 වසරේදී පමණ සිට කොටි සංවිධානය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් ආරම්භ කර තිබුනද, උතුරේ වේදිකාව තුළ තවත් දේශපාලන සංවිධාන හා දෙමළ සටන්කාමී සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වූ බැවින් කොටි සංවිධානය එතරම් කැපී පෙනුනේ නැත. කොටි ඇතුළු මෙම දෙමළ සංවිධානවල ක්‍රියාකාරීත්වයට දෙමළ සමාජය තුළ සාධාරණීකරණයක් ලැබී තිබූ නමුත්, මේ සහා සාමාජිකයින් බැුනේ දුරාවාරයේය. එසේ බැුණු සාමාජිකයින් බහුතරය දෙමළ සමාජයේ පහළ තීරු නියෝජනය කළ වුන්ය. ශ්‍රී ලංකා රජය සමග දේශපාලන අරගලයකින් සිය අයිතීන් දිනා ගැනීම හා ශ්‍රී ලංකා රජය සමග සන්නද්ධ අරගලයකින් සිය අයිතීන් දිනා ගැනීම යන කතිකා දෙක සාපේක්ෂව සමාන තලයක උතුරේ දේශපාලනය තුළ මතුව තිබිණි. එසේම මෙම කතිකා දෙකටම අදාළව ඉන්දියානු සාධකයේ මැදිහත්වීම අඩු වැඩි ප්‍රමාණයෙන් එවක සිදු වෙමින් පැවතිණි. වෙනත් ලෙසකින් කිවහොත් ඉන්දියාව මෙම කතිකාවන් දෙකට අදාළ සංවිධාන, මතවාදී වශයෙන්ද, භෞතික වශයෙන්ද පෝෂණය කිරීමට කටයුතු කරමින් තිබිණි. එහිදී ලංකාවේ එක්සත් ජනපද හිතවාදී ජයවර්ධන ආණ්ඩුව පාලනය කිරීමේ ‘දේශපාලන නිලය ලෙස උතුරේ දෙමළ ප්‍රශ්නය ඉන්දියාව විසින් අර්ථ කථනය කරගෙන තිබිණ. ඒ නිසා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියේ නිශ්චිත තැනක් ලංකාවේ මෙම ප්‍රශ්නයට හැම විටම වෙන් වී පැවතිණි.

කෙසේ වතුදු එක්සත් ජනපදයේ අන්තර්ජාතික භූ දේශපාලන උපාය මාර්ගික සැලසුම්හි, දකුණු ආසියානු කලාපය තුළ ලංකාවේ භූ දේශපාලන වැදගත්කම පිළිබව සාකච්ඡාව 70 දශකයේ අගභාගය වන විට නිර්මාණය වී තිබිණ. එවකට එක්සත් ජනපද විරෝධී හා සෝවියට් හිතවාදී ආස්ථානයක සිටි ඉන්දියාව මෙල්ල කිරීමේ අවස්ථාවක් ලෙසද, ආසියානු කලාපය තුළ යුදමය වශයෙන් ත්‍රිකුණාමල වරායේ පවතින සදාතනික වැදගත්කමද මෙම සාකච්ඡාව සහා කේන්ද්‍රීය සාධක වී තිබිණි. එබු පසුබිමක මෙරට ජාතික ප්‍රශ්නය දකුණු ආසියානු කලාපයට - ඉන්දියාවට - දැනෙන සීමාවෙන් ඔබ්බට ගෙන, එය තමන්ට කළමනාකරණය කරගත හැකි දේශපාලන තලයකට ගෙන යාමේ අවශ්‍යතාව ඇමරිකා එක්සත් ජනපදයට තිබිණි. අනෙක් අතට ජාතිකත්වයන් දෙකක් අතර දුරාවාරයේ සිදුවන ගැටුමකට වඩා තමන්ට වෙළෙපොළ වාසියක් අත්පත් කරගත හැකි ‘සිවිල් යුද්ධයක් බවට එම ගැටුම සංවර්ධනය කර ගැනීමේ වෙළෙපොළ අවශ්‍යතාවක්ද අධිරාජ්‍යවාදී බලවේගවලට මෙයට සමාන්තරව තිබිණි.

මූලාශ්‍රවලට අනුව ගත් විට 1972 මැයි 21 දින අධිබලැති විදුලි කුළුනක් පුපුරුවා හැරීමෙන් ජනරජ දිනයේ යාපනය නගරය අඳුරේ තැබීමෙහි සිට 1983 ජූලි 17 දින හමුදා ඔත්තුකරුවකු වූ ඉන්ද්‍රන් කොලොම්බුතුරේදී පැහැරගෙන යාම දක්වා වන වසර 11කට ආසන්න කාලය තුළ ත්‍රස්තවාදී ක්‍රියා 67ක් ද, 1981 ඔක්තෝබර් 15 දින යාපනය කන්කසන්තුරේහිදී ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තු සෙබළකු ඝාතනය කිරීමේ සිට 1983 ජූනි 01 දින වවුනියා නගරයේදී ගුවන් හමුදා භටයකු ඝාතනය කිරීම දක්වා ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඝාතනය කිරීම් 07ක්ද, 1977 පෙබරවාරි 14 සිට 1983 පෙබරවාරි 18 දින දක්වා පොලිස් නිලධාරීන් 31ක් ත්‍රස්තවාදීන් වෙතින් ඝාතනයට ලක් වීමද, 1972 ජූනි 04 දින සිට 1983 ජූනි 04 දින දක්වා දෙමළ සිවිල් වැසියන් 26ක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමද සිදුව තිබේ. මෙම සිදුවීම්වලට සමාන්තරව 1977 හා 1981 වසරවල සාපේක්ෂව ඉහළ පරිමාණයේ ගැටුම්ද රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කළ ඝාතනද පැවතිණි. නමුත් අන්තර්ජාතික යුද විශේෂඥයින්ගේ ගණන්බැලීම් හා තක්සේරු කිරීම්වලට අනුව මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ‘සිවිල් යුද්ධයක මට්ටමක ලා සැලකිය හැකි තත්ත්වයක් නොවන්නට ඇත.

‘වෙළෙපොළ වාසිය නොඑසේ නම් ‘වෙළෙඳපොළ අවශ්‍යතාව යන්න අප මෙහිදී නැවත අවධාරණය කරන අතර, ඕනෑම නිෂ්පාදන සමාගමක් ගත් විට සිය නිෂ්පාදන අලෙවිකර ලාභ ලැබීමට නම් වෙළෙපොළක් හා නිශ්චිත පාරිභෝගික කුලකයක් සිටීම අත්‍යවශ්‍ය කොන්දේසිය වේ. එහිදීද දුරාවාරයේ භාණ්ඩ කිහිපයක් අලෙවිවන වෙළෙපොළක් වෙනුවට, අඛණ්ඩව පුළුල් වන වෙළෙපොළ කොටසක් සහිත වෙළෙපොළක් පවත්වාගැනීම සෑම නිෂ්පාදන සමාගමකම ඉලක්කය වන්නේය. මෙම පොදු වෙළෙපොළ තර්කනය ඖෂධ නිෂ්පාදනය කරන සමාගමකට මෙන්ම, අවි ආයුධ නිෂ්පාදනය කරන සමාගමකටද එක සේ අදාළය. ඖෂධ සමාගමකට වෙළෙපොළක් නිර්මාණය වන අවස්ථාව ඊට අදාළ රෝගය ඇතිවීම හා පැතිරීම වන්නේ යම් සේද, අවි ආයුධ සමාගමකට වෙළෙපොළක් නිර්මාණය වන අවස්ථාව වන්නේ යුද්ධය ඇතිවීම හා එය පැවතීමයි. ඒ අනුව ගත් විට ශ්‍රී ලංකාව විදේශීය ආයුධ නිෂ්පාදන සමාගම් සහා වෙළෙපොළක් බවට පරිවර්තනය කර ගැනීමේ මූල බීජය ඒ වන විට මෙරට දේශපාලන සිතියම තුළ පැවති අතර, අවශ්‍ය වූයේ එම මූල බීජය තමන්ට අවශ්‍ය පරිමාණයේ වෙළෙපොළක් බවට පරිවර්තනය කර ගැනීමට අවැසි පූර්ව ක්‍රියා සිදු කිරීමයි. වෙනත් ලෙසකින් කිවහොත් ගිනි පුපුර, ගිනි මැලයක් බවට පරිවර්තනය කර ගැනීමයි.

එය හුදු හදිසියේ කළ හැකි කාර්යයක් නොවන අතර, එහිදී බුද්ධිමය වශයෙන් කළමනාකරණය කළ යුතු පාර්ශ්ව කිහිපයක් පවතී.ලෝකයේ අවි නිෂ්පාදනය හා වෙළෙදාම ඉතා ප්‍රබල ව්‍යාපාර වේ. ඒවා නැඟී එන ත්‍රස්තවාදී ව්‍යාපාර කල් තබා හුනාගනිමින් ඔවුන්ට විවිධ සහයෝග ලබා දෙමින් තම ආයුධ මිල දී ගැනීමට සලස්වයි. අවි ආයුධ නිෂ්පාදන ව්‍යාපාරවල දේශපාලන බුද්ධි අංශ විසින් ත්‍රස්තවාදී සටන් පවා ඇතැම් රටවල ඉපිදවීමට ජාත්‍යන්තර වශයෙන් විවිධ බලවේග ක්‍රියාත්මක කරනු ලැබේ. (ත්‍රස්තවාදයේ අභියෝගය : දර්ශනය, උපායමාර්ග හා එය පිටු දකින විධි - ඒ.එස්. බාලසූරිය, 1998) මෙබු පසුබිමක ලංකාව තුළ ආයුධ වෙළෙපොළක් බිහිකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය සම්පූර්ණ වී තිබූ අතර, අවශ්‍ය වූයේ එය වෙළෙඳපොළක් බවට වැඩි වර්ධනය කරගැනීමයි.

ඊශ්‍රායල් මොසාඩ් සංවිධානයේ නියෝජිතයකු ලෙස කලක් කටයුතු කළ වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ අනාවරණයන් මත ලියැවුණු
By Way of Deception : The making and unmaking of a MOSSAD Officer නමැති ග්‍රන්ථයෙන් යුද්ධ හා ආයුධ වෙළෙඳාම සම්බන්ධව ඊශ්‍රායලය හා මොසාඩ් සංවිධානයේ මැදිහත්වීම් පිළිබඳව සුවිශේෂ අනාවරණයක් කෙරුණු අතර, එම ග්‍රන්ථයෙහි ලංකාව සම්බන්ධවද ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කෙරිණ. මෙම ග්‍රන්ථයට අනුව මොසාඩ් සංවිධානයේ  ඈත පෙරදිග හා අප්‍රිකානු කලාප අංශය භාර සම්බන්ධීකරණ ප්‍රධානියා වූ Amy Yaar ලංකාවට අදාළ සැලසුම්වල තීරණාත්මක භූමිකාව නිරූපණය කර තිබේ. මෙම කලාපයට අයත් රටවල සිටි Amy Yaar ගේ නියෝජිතයින් ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වටිනා අවි ආයුධ ගනුදෙනුවලට මැදිහත් වී තිබෙන අතර, ඔවුන් අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වී තිබේ. පළමුව එම නියෝජිතයින් අදාළ රටට අවශ්‍ය කුමක්ද, ඒ රට බියක් දක්වන්නේ කුමන පාර්ශ්වවලට හා කටයුතුවලටද සහ අදාළ රට තම සතුරන් ලෙස සලකන්නේ කුමන පාර්ශ්වයක්ද යන්න අනාවරණය කරගනු ලැබේ. එසේ අනාවරණය කරගත් කරුණු අනුව අදාළ රටේ රජය සමග සම්බන්ධතා ඇති කර ගන්නා නියෝජිතයින්, සතුරු පාර්ශ්වය සමග සටන් කිරීම සඳහා එම රජයට ඊශ්‍රායලයේ අවි ආයුධ හා පුහුණුව ලබා දිය හැකි බව දැනුම් දෙනු ලැබේ. මෙම ආයුධ ගනුදෙනුවට අදාළ රටේ නායකයකු සම්බන්ධ වූ විට එම ගනුදෙනුවේ කොටසක් ලෙස ඊශ්‍රායලයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ හා මෙවලම් ද මිල දී ගත යුතු බවත්, ඊශ්‍රායලය සමග නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කරගන්නේ නම් මෙම ගනුදෙනු හා සම්බන්ධතා වඩාත් පුළුල් කර ගැනීමට අවස්ථාව උදාවන බවත් මොසාඩ් නියෝජිතයා විසින් එම රටේ රාජ්‍ය නායකයා වෙත දැනුම් දෙනු ලැබේ. ඔස්ට්‍රොව්ස්කිගේ මෙම අනාවරණයට අනුව Amy Yaar විසින් මෙහෙය වන ලද මොසාඩ් නියෝජිතයින් මෙකී කාර්යයන් සියල්ල ශ්‍රී ලංකාව තුළ සිදුකර තිබේ.

 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා ආගමනය

පසුගිය දශකයේ හතලිස් ගණන්වලදී ඊශ්‍රායලය නමැති රාජ්‍යය බිහිකිරීමෙන් පසු එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීම හා ඒ සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීම අරාබි ලෝකය සහ ඉන්දියාව ඇතුළු පශ්චාත් යටත් විජිත රාජ්‍ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. නමුත් මෙරට පළමු අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායක ඊශ්‍රායලය සමග සම්බන්ධතාවකට මුල පිරුවේ බොහෝ ආසියානු හා අප්‍රිකානු රාජ්‍යයන්ගේ විරෝධය නොසලකා හරිමිනි. සේනානායක අගමැතිවරයාගේ අවධියේදී ලංකා නාවික හමුදාව සිය පළමු ප්‍රහාරක යාත්‍රාව (ගජබාහු 1) ඊශ්‍රායලයෙන් මිල දී ගත්තාය. ඊට අමතරව, මෙවක ඊශ්‍රායල තාක්ෂණික විශේෂඥයින් ශ්‍රී ලංකාවේ උතුරේ වියළි කලාපය තුළ නළ ලිං කැණීම සඳහා සහයෝගය ලබා දී තිබේ. (මේ නළ ලිං කැණීම අනුව ගත්විට  40 දශකයේ අග හා 50 දශකයේ මුල් භාගයේ සිට ඊශ්‍රායලය, මෙරට උතුරේ සමාජය තුළ වැඩ කරන්නට පටන්ගෙන තිබූ බව සිහියේ තබාගෙන සිටීම වැදගත් වනු ඇත.)

නමුත් මෙම ඊශ්‍රායල හා ලංකාව අතර මිත්‍ර සන්ථවය, 1956 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා පත්වීමත් සමග ආපස්සට ගිය අතර, බටහිරට ප්‍රතිපක්ෂ මතවාදයක සිටි අගමැති බණ්ඩාරනායක මහතා ඊශ්‍රායලයට එරෙහි අරාබි රාජ්‍ය සමග සන්ධානගත වෙමින් සූවස් ඇල සම්බන්ධ කාරණයේදී ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ තීරණය හා ඊජිප්තුවේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටියේය.

ඊළඟට, අගමැති සිරිමා බණ්ඩාරනායක මහත්මිය සිය නොබැඳි ප්‍රතිපත්තිය තුළ හිඳිමින් අරාබි රාජ්‍ය සේම ප්‍රසිද්ධියේම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ අතර, පලස්තීන විමුක්ති සංවිධානය සමග සම්බන්ධතා ස්ථාපිත කර ගත්තාය. කොළඹ ඊශ්‍රායල තානාපතිවරයා වූ Yitzhak Navon, ඊශ්‍රායල රාජ්‍යය සහමුලින් වනසන්නට කුමන්ත්‍රණ කරමින් සිටින අරාබි ත්‍රස්තවාදී සංවිධාන සමග ලංකාව පවත්වන මිත්‍ර සම්බන්ධතා හෙළා දුටුවේය. Navon මෙම ප්‍රකාශය කර තවත් මාස දෙකකට පසු, මැදපෙරදිගට පිටස්තරව ඊශ්‍රායලය නීත්‍යනුකූල තත්ත්වය ඉවත් කිරීම ගැන පලස්තීන විමුක්ති සංවිධානයේ සාර්ථකත්වයේ පැහැදිලි දර්ශකය වූයේ ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ 242 සම්මුතිය උල්ලංඝනය කරන බව අදහස් කරමින් බණ්ඩාරනායක මහත්මිය ඊශ්‍රායලය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවතා දැමීමයි. ඇය ගත් තීරණය අරාබි නායකයින් විසින් දැඩිව වර්ණනා කරනු ලැබුවේ එය පලස්තීන ‘විමුක්තිය’ පිණිස ගත් නිර්භීත පියවරක් ලෙසිනි. (Punsara Amarasinghe – The Israeli – Sri Lankan Relationship)

ඊශ්‍රායලය නැවත ලංකාවට සමීප වූයේ 1977 න් ඇරඹුණු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදීය. (ඊශ්‍රායලය නිල වශයෙන් මෙරට සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගත්තේ 1984 වර්ෂයේදීය.) ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා ඊශ්‍රායලයේ ජෙරුසලම්හි පිහිටි හෙබ්‍රෙව් සරසවියේ
(Hebrew University) නීතිය පිළිබඳ ආචාර්යවරයකු ලෙස කලක් කටයුතු කර තිබූ බව මෙතැනදී වැදගත් කාරණයක් වන්නේ පසුව ඔහු ජයවර්ධන ආණ්ඩුව යටතේ ලංකාවේ පළමු ජාතික ආරක්ෂක අමාත්‍යවරයා බවට පත් වූ බැවිනි. එසේම, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පුත්‍රයා වූ රවි ජයවර්ධන, ජයවර්ධන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක උපදේශකයා බවට පත් වීමත් සමග මෙරට යුද හා ආරක්ෂක ක්‍රමෝපාය පිළිබඳ විශේෂඥ ඥානය ලබාගන්නා රට බවට පත් වූයේ ද ඊශ්‍රායලයයි. මූලාශ්‍රවලට අනුව, ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක ජනරාල් වර්නන් වෝල්ටර්ස්, ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ නියෝජිතයා ලෙස දෙවරක්ම මෙරටට පැමිණ ඇති අතර, පළමුවර පැමිණ ඊශ්‍රායලය හා ජයවර්ධන ආණ්ඩුව අතර සම්බන්ධය ඇති කර ගිය බව හෙළි වී තිබේ.

වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ අනාවරණයන් මත ලියැවුණු By Way of Deception : The making and unmaking of a MOSSAD Officer නමැති ග්‍රන්ථයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව අනාවරණය කළ කාරණා හේතුවෙන් ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1990 වසරේදී පත්කරන ලද මොසාඩ් කොමිසමේදී, රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයේ භූමිකාව පිළිබඳව තමන් ලබා දුන් සාක්ෂ්‍යය මර්වින් ද සිල්වා සාරාංශගත කර ඇත්තේ මෙලෙසිනි.

“හමුදාකරණය කළ ආර්ථිකයක් හා සමාජයක් ඊශ්‍රායලය සතුව පවතී. අවි ආයුධ සහ විශේෂඥ ඥානය අලෙවිකිරීම එහි මුදල් උපයන අපනයන කර්මාන්තයකි. ඒ කර්මාන්තය සමෘද්ධිමත් වන්නේ යුද ගැටුම් මත මෙන්ම ඒවා විසඳනු වෙනුවට තව තවත් උත්සන්න කිරීම මතය. ... කුමක් වෙතත් ඊශ්‍රායලයේ ආසියානු ප්‍රතිපත්තියේ අත්‍යවශ්‍ය අංගය වන්නේ ‘ආසියාව පිළිබඳ සිහිනය’ හා ‘ඉන්දියාවට ඇස ගසාගෙන සිටීම’ය. ඊශ්‍රායලය හා බුරුමය අතර ‘රික්තයක්’ පවතී. ඉන්දියාව ඉතා සමීපයෙන් පිහිටි ශ්‍රී ලංකාවට මේ රික්තය පිරවිය හැකි විය.”

මෙබඳු පසුබිමක ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් විට ඊශ්‍රායලය සමග පැවතියේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවක් වුවද, ඊශ්‍රායලයට ශ්‍රී ලංකාව විෂයයෙහි වූයේ තමන්ගේ භූ දේශපාලන මූලෝපායික සිතියම තුළ ස්ථානගත වූ ආසියානු කලාපීය වෙළෙඳපොළක් හා ආර්ථික - දේශපාලන මර්මස්ථානයක් පිළිබඳ ඉලක්කයකි. උතුරේ ප්‍රශ්නය නොඑසේ නම් දෙමළ සටන්කාමී සංවිධානවල බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඊශ්‍රායලයෙන් ජයවර්ධන රජයට යුද හා ආරක්ෂක උපදෙස් ලැබෙන්නේ ඔවුන්ගේ මෙම ‘වෙළෙඳපොළ වුවමනාවට සරිලන පරිදි ය.  

ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වූ ගාමිණී දිසානායකගේ නායකත්වය යටතේ උතුරු පළාතේ සිංහල ජනපද ඇති කිරීමේ ව්‍යාපෘතියක් 80 දශකයේ මුල් කාලයේ දියත් වූ අතර, මේ සඳහා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධනගේ අනුග්‍රහය ලැබී තිබිණ. මෙලෙස උතුරේ සිංහල ජනපද ඇති කිරීම ඇමතිවරයකුගේ හුදු පෞද්ගලික කැමැත්ත මත සිදු වූවක් යැයි සිතිය නොහැකි අතර, මෙය අනාගත ඉලක්කයක් වෙනුවෙන් කළමනාකරණය කරගැනීම සඳහා ඊශ්‍රායලයේ උපදෙස් මත සිදුවූවක් බව හඳුනාගත හැකිය. පලස්තීන භූමිය තුළ ඊශ්‍රායලය විසින් සිය ජනපද ගොඩනඟාගත් ආකාරයට සමාන භාවිතයක් මෙම ජනපද ඇති කිරීම තුළ හඳුනාගත හැකිය.

මෙසේ උතුරේ සිංහල ජනපද ඇති කිරීම, උතුරේ දෙමළ සමාජය වෙත ගෙන ගිය සංඥාව වූයේ දකුණේ සිංහල ආණ්ඩුව බලහත්කාරයෙන් උතුර එනම් තමන්ගේ භූමිය තුළ සිංහලයින් පදිංචි කරවන බවය. මෙතෙක් උතුරු පළාත තුළ, විශේෂයෙන්ම යාපනය තුළ සිංහල ජනතාව ව්‍යාපාර කටයුතු ආදිය කරමින් දෙමළ ජනතාව සමග මිශ්‍රව මනා සහයෝගයෙන් ජීවත් වූ අතර, ඒ තුළ දෙමළ සමාජයට ආගන්තුක යමක් නොදැනිණ. නමුත් මෙලෙස සිංහල ජනපද ඇති කිරීම තුළ දෙමළ සමාජ මනස තුළ නිර්මාණය වූයේ ‘සිංහල විරෝධී ආකල්පයකි. මෙහි අනාගත අරමුණ සහිත පුළුල් චිත්‍රය දන්නා ඊශ්‍රායලයට එම ව්‍යාපෘතිය වැදගත් වූයේ වෙනත් අර්ථයකිනි. පසුකාලීනව කොටි ත්‍රස්තවාදීන් සිංහල ජනතාව වෙත ප්‍රහාර එල්ල කිරීමේදී හා සමූල ඝාතන කිරීමේදී පළමු වටයේම ඉලක්ක කරගත්තේ මෙලෙස ගොඩනැඟූ සිංහල ජනපද / සිංහල ගම් වීම එම සැලසුමෙහි ඊශ්‍රායලයීය අරමුණ සඵල වීමය.

1977 න් පසුව ශ්‍රී ලංකාවේ ජයවර්ධන රජය සමග ඇති කරගෙන තිබූ සම්බන්ධතා මත මෙරට තුළ සිය ආරක්ෂක හා යුද සැලසුම් ක්‍රියාත්මක කිරීමේ පුළුල් පසුබිමක් ගොඩනඟාගැනීමට ඊශ්‍රායලය කටයුතු කරමින් තිබූ අතර, එය මතුපිටට පෙනුණු ප්‍රමාණය ඉක්මවා ගිය තියුණු උපාය මාර්ගික මැදිහත්වීමක් බව පසුකාලීන සිදුවීම් ප්‍රති විශ්ලේෂණය කිරීමේදී හඳුනාගත හැකි වේ.

 

1983 ජූලි 23/24 : බෙදුම් රේඛාව නිර්මාණය කිරීම

1983 ජූලි 23 වන දා ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 13 දෙනකු කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් මරුමුවට පත් වීමෙන් පසු, ජයවර්ධන ආණ්ඩුව ගත් තීරණයට සමාන්තරව කළු ජූලිය ඇරඹුණු බව ප්‍රසිද්ධ රහස වේ. මේ සිදුවීම් සම්බන්ධව ජයවර්ධන ආණ්ඩුවේ ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් යන මැති ඇමතිවරුන්ගේ ඉහළ දායකත්වයක් ලැබී තිබූ බවද ප්‍රසිද්ධ රහසක් වේ. නමුත් මේ සමයට අදාළ එක් සුවිශේෂ අප්‍රකට රහසක් ඇති අතර, එය නම් 1990 වසරේදී පත් කෙරුණු ‘මොසාඩ් කොමිසම
හමුවට කැඳවුණු ජයවර්ධන යුගයේ කටයුතු කළ මැති ඇමතිවරුන්ට හා නිලධාරීන්ට පිළිතුරු දීමට හැකියාවක් නොවූ එක් පැනයක් තිබූ බවයි. ඒ, 1983 ජූලි 14 වැනි දා ලංකාවට පැමිණ අගෝස්තු 06 දින දක්වා මෙරට රැඳී සිටි ඊශ්‍රායල නියෝජිත පිරිස මෙරටට පැමිණි අරමුණ කුමක්දැයි නිශ්චිතව කියන්නට සමත් නොවීමයි. මෙම ඊශ්‍රායල නියෝජිත කණ්ඩායම මෙරට රැඳී හුන් වකවානුව හා ජූලි මස ජයවර්ධන ආණ්ඩුව ආරක්ෂාව විෂයයෙහි ගත් තීරණ හා සිදුවීම් සමග මනාව සමපාත වේ.

1983 ජූලි 24 වැනි දා ඇරඹුණේ මෙරට ඉතිහාසය තුළ අන් කවරදාකවත් නොවූ අන්දමේ පූර්ව සැලසුම්සහිත හා තිරශ්චීන ජන සංහාරයකි. එම්.ආර්. නාරායන් ස්වාමි සිය Inside an Elusive Mind : Prabhakaran කෘතියෙහි මෙසේ සඳහන් කරයි.

“ජූලි 24 වැනි දා සන්ධ්‍යාවේ කොළඹ නගරය මධ්‍යයේ පිහිටි සුසාන භූමියක් අසල  ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රදේශයක් ග්‍රහණයට හසුකර ගැනුණු කලබලවලට ප්‍රථම වරට මුල පිරෙනු දැක ගත හැකි විය. සුසාන භූමිය පිහිටා තිබුනේ ජනාධිපති ජයවර්ධනගේ නිවසින් එතරම් දුරින් නොවේ. මිය ගිය සොල්දාදුවන්ගේ මළ සිරුරු මිහිදන් කිරීමට බලධාරීන් මුලින් තීරණය කර  තිබුනේ මෙහිය. මිය ගියවුන්ගේ පවුලේ සාමාජිකයෝ රටේ වෙනත් ප්‍රදේශවලින් ඒ වන විටත් අවමඟුල සිදු කෙරෙන ස්ථානය කරා ළඟා වී සිටියහ.
සෙනග වැඩි වන්නට පටන් ගැනීමත් සමග ආරම්භයේ හැඟීම් මැඬ පවත්වාගෙන සිටි පිරිසගේ මනෝගතීන්ද වෙනස් වන්නට පටන් ගති. විනය කඩ කිරීම නිසා සේවයෙන් නෙරපා දමා තිබූ හමුදා සෙබළු කණ්ඩායමක් මිය ගිය සොල්දාදුවන් වෙනුවෙන් පළිය ගන්නා බව පවසමින් මොර දුන්හ. කෝපයට පත් වාමාංශිකයින් කණ්ඩායමක් පැතිර යමින් තිබූ කෝපාග්නියට ආණ්ඩු විරෝධී ව්‍යාජ අර්ථකථනයක් ලබා දීමට වෑයම් කළ ද එය අසාර්ථක විය. කළුවර වැටෙත්ම පාලක පක්ෂයේ නායකයින් විසින් මෙහෙයවනු ලැබූ සැහැසි කල්ලි ගොරහැඩි දෙමළ විරෝධී සටන් පාඨ මොර දෙන්නට වූහ.  

එදින රාත්‍රියේ තන්හි තන්හි ප්‍රචණ්ඩ ක්‍රියා පැන නැඟිණි. සිංහල සැහැසි කල්ලිවල ප්‍රථම ගොදුරු වූයේ අවාසනාවන්ත ලෙස ඒ මොහොතේ ඒ ස්ථානය පසු කර යාමට සිදුව තිබූ අහිංසක දෙමළ ජාතිකයින්ය. ප්‍රදේශ ගණනාවක දෙමළ කඩ සාප්පු කොල්ල කනු ලැබ ගිනි තැබිණි. කලබලකාරී තත්ත්වයක පැහැදිලි සලකුණු තිබියදීත් ඇඳිරි නීතිය පනවනු නොලැබීය. ජනාධිපති ජයවර්ධනගේ නිවසේ සිට කඩ සාප්පු ගිනි ගෙන දැවෙනු දැක ගත හැකි විය. එක් දෙයක් සිදු විය. කලින් දිනයේ පිරිස් පාලනය කිරීමට උත්සාහ දරමින් වීදිවල සිටිනු දක්නා ලද පොලිස් නිලධාරීහු පැහැදිලිවම අතුරුදන් වී සිටියහ.”

නාරායන් ස්වාමි තවදුරටත් ජූලි සිදුවීම් මෙසේ විස්තර කරයි.

“අනතුරුව එක් වරම කොල්ලකාරී සන්නද්ධ සැහැසි කල්ලි විසින් කොළඹ නගරය සිය පාලනය යටතට පත් කර ගන්නා ලදී. ඒ වන තෙක්ම තැනෙක සාප්පුවක්ද තවත් තැනෙක මහ මඟ යමින් තිබූ වාහනයක්ද ඉලක්ක කර ගනිමින් හුදෙකලාව සිදු කෙරෙමින් තිබූ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිහිත ප්‍රචණ්ඩත්වයක් බවට පරිවර්තනය විය. අලවංගු, පොරෝ, උදලු, පිහියා මෙන්ම පෙට්‍රල් හා ඩීසල් පිරවූ භාජනවලින් ද සන්නද්ධ වූ සැහැසි කල්ලි දෙමළ ජාතිකයින්ගේ නිවාස හඳුනා ගැනීම සඳහා ඡන්ද ලැයිස්තු කියවමින් නගරය පුරා සැරිසරන්නට පටන් ගත්හ.
සැහැසි කල්ලි දක්නට දුර්ලභ අන්දමේ ක්‍රෑරත්වයකින් යුතුව අහිංසක දෙමළ ජාතික පිරිමින්ට, ගැහැනුන්ට හා ළමයින්ට පහර දීමත් සමග අනපේක්ෂිත හෙණයක් පතිත වූවාක් මෙන් හිටිවනම නගරය රුධිරයෙන් තෙත්ව ගියේය. මීට පෙර 1956, 1958, 1977 හා 1981 යන වර්ෂවල දෙමළ ජාතිකයින්ට එරෙහිව සංවිහිත ප්‍රහාර එල්ල කෙරිණි. එහෙත් ඒ එකදු ප්‍රහාරයක් වත් 1983 ජූලි මාසයේ සිදු වූ සිද්ධීන්ගේ මට්ටමට යන්තමින් හෝ සමීප නොවීය. එය රටේ ප්‍රධාන සුළුතර ජනවර්ගය සැබැවින්ම විනාශ කර  දැමීමේ ක්‍රමානුකූල ප්‍රයත්නයක් ලෙස ක්‍රියාවට නැඟුණු රාජ්‍යයේ අනුග්‍රහ ලද මහා ජන සංහාරයක් විය. ජයවර්ධනගේ කැබිනට් මණ්ඩලයේ සිටි අතිශයින්ම ස්වෝත්තමවාදී සිංහල ඇමතිවරුන් විසින් අධීක්ෂණය කරන ලදුව පොලීසියෙන් එල්ල වන කිසිදු උපද්‍රවයකින් තොරව සන්නද්ධ සැහැසි කල්ලි දෙමළ ජාතිකයින්ගේ නිවාස තෝරාගෙන ඒවාට පෙට්‍රල් බෝම්බ එල්ල කළහ.” (‘ප්‍රභාකරන් - දුරවබෝධ මනසක ඇතුළාන්තය’, එම්.ආර්. නාරායන් ස්වාමි - පරිවර්තනය, සේපාල විජේසේකර, විජිත යාපා ප්‍රකාශන)

‘අරමුණක් නැති’ ඊශ්‍රායල නියෝජිත පිරිස මෙරට රැඳී සිටි කාලය හා කළු ජූලි සිදුවීම් ඇරඹී පැවතුණු කාල සීමාව මනාව සමපාත වීම අහම්බයක් යැයි, අන්තර්ජාතික වශයෙන් ඊශ්‍රායලයේ පූර්ව මැදිහත්වීම් හා මෙහෙයුම් සම්බන්ධ අවබෝධයක් තුළ කිසි විටෙක විශ්වාස කළ නොහැකිය. එසේම ඒ වන විටත් ඊශ්‍රායලය මෙරට රජයට යුද හා ආරක්ෂක උපදෙස් ලබා දෙමින් සිටි යථාර්ථයක මෙම සිදුවීම් අහඹු පැන නැඟීමක් ලෙස හඳුනාගැනීමට පදනමක් නොමැත. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීපතමයින් දෙදෙනකු වූ ගාමිණී දිසානායක හා සිරිල් මැතිව් යන දෙදෙනා දෙමළ ජනතාවට එරෙහි කලකෝළාහලවල ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ක්‍රියාකිරීම ජයවර්ධන ජනාධිපතිවරයා හා ඔහුගේ යුද හා ආරක්ෂක කවයට සම්බන්ධ සෙසු අය නොදැනුම්වත්ව සිදු වූ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකිය. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය වන ‘ජාතික සේවක සංගමයේ සාමාජිකයින්’මෙම සංහාරයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කිරීම කිසිසේත්ම අහම්බයක් වන්නේ නැත. දෙමළ ජනතාවට එරෙහි කෝලාහල මැඩපැවැත්වීමට පොලීසිය හා හමුදාව යෙදවීමට රජය කටයුතු නොකිරීම හා ඇතැම් ස්ථානවල දෙමළ ජනතාවට කළ ප්‍රහාරවලට හමුදා හා පොලිස් නිලධාරීන් සම්බන්ධ වීම ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පෞද්ගලික කැමැත්ත - අකැමැත්ත මත  තීරණය වූවක් හෝ සිදු වූවක් හෝ යැයි විශ්වාස කළ නොහැකිය. එපමණක් නොව, මෙරට එක්සත් ජනපද හා යුරෝපා රටවලට අදාළ තානාපති කාර්යාලවල දොරකඩ සිදුවුණු මෙම මානව විරෝධී ක්‍රියාදාමය වැළැක්වීමට ඒ රටවල් ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම, ඔවුන්ගේ කාර්යභාරය අමතක වීමෙන් සිදුවූ දෙයක් යැයි විශ්වාස කළ නොහැකිය. එවකට ජයවර්ධන රජය සිය සුවිශේෂ තීන්දු තීරණ එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ උපදෙස් හා දැනුම්වත්භාවය මත ගනිද්දී මෙම කැරලි කෝලාහල පමණක් ‘ඉබේ පැන නැඟී - ඉබේ පැතිර යාමට ඇති’ දේශපාලන අවකාශය අප තේරුම් ගත යුත්තේ කෙසේද?

මේ සිදුවීම් මෙසේ සිදුවෙද්දී, නියමිත තිර පිටපතට අනුව ක්‍රියාකරමින් එක්සත් ජනපද හා බටහිර රාජ්‍ය තාන්ත්‍රික පාර්ශ්ව මෙම ගැටුම් වැළැක්වීමට ‘මැදිහත් නොවෙත්දී’ ලංකාව තුළ සිටි අන්තර්ජාතික ජනමාධ්‍ය නියෝජිතයින් සිය කාර්යභාරය මැනවින් ඉටුකරමින් සිටි ආකාරය, මෙම වාර්තාවලින් පෙනේ.

1983 ජූලි 21 වන දා බ්‍රිතාන්‍යයේ The Times පුවත්පත ශ්‍රී ලංකාව සම්බන්ධව මෙසේ වාර්තා කරයි.

“ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, අත්‍යවශ්‍ය සැපයුම්, කැරලි සඳහා පෙළඹවීම, කැරලි කෝලාහළ හෝ සිවිල් කලබල සඳහා පෙළඹවීම් ගැන සියලුම ප්‍රවෘත්ති මත දේශීය හා විදේශීය වශයෙන් බලපැවැත්වෙන පුවත්පත්කලා වාරණයක් පැනවීමට රජය ඊයේ කටයුතු කළාය.”

1983 ජූලි 26 වන දා බ්‍රිතාන්‍යයේ  Daily Telegraph පුවත්පත  වාර්තා කරන්නේ මෙලෙසිනි.

මෝටර් රථ පදවන්නන් ඔවුන්ගේ මෝටර් රථවලින් පිටතට ඇදගෙන ආවේ ඔවුන්ට ගල් හා පොලුවලින් පහර දීමටය. අනෙක් අය පිහි සහ පොරෝවලින් කපා දැමිණි. තරුණ සිංහල කළහකාරීන් දෙමළ ජාතික සුලුතරය වෙන් කර ගැනීම සඳහා නිවාස කඩ සාප්පු කොල්ලකමින් සහ ඒවාට ගිනි තබමින් වීදි හරහා කලබලයෙන් දිව ගියහ. එක් කළහකාරයකු කොළඹ ඇස් රෝහල අසලින් ගිය දෙමළ පාපැදිකරුවකුට පහර දුන්නේය. පාපැදිකරුවා සිය පාපැදියෙන් බිමට ඇද දමා පෙට්‍රල් පොඟවා ඔහුට ගිනි තබන්නට සැරසිණ. ඔහු භීතියෙන් කෑ ගසමින් වීදියේ දිව යද්දී ඔහු නැවත අල්ලාගත් කළහකාරීහු ඔහු බිම පෙරළාගෙන කැළෑ පිහිවලින් කපා දැමූහ.

මේ, 1983 ජූලි 27 වන දා The Times පුවත්පතේ වාර්තාවයි.

කලබල ආරම්භ වූ පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවේ උතුරෙහි, යාපනයට ආසන්නයේ බස් නැවතුමක සිටි නව යොවුන් දැරියන් තිදෙනකු සොල්දාදුවන් විසින් පැහැරගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධව මෙහි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකේය දෙමළ ජාතිකයින් 25,000ක් පමණ චෝදනා කළහ. පසුව එක් දැරියක සිය දිවි නසාගෙන ඇති බව කියැවුණි. එසේම ඔවුහු එම ස්ථානයේම පොලිස් හා හමුදා කණ්ඩායමක් විසින් පාසල් ශිෂ්‍යයින් හය දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති තවත් දාමරිකකමක් පිළිබඳව චෝදනා කරති. දෙමළ ගරිල්ලන් විසින් සෙනසුරාදා ශ්‍රී ලංකා හමුදා වාහනයකට පහර දී සොල්දාදුවන් 13 දෙනකු මිය ගිය අවස්ථාවට පළිගැනීමක් ලෙස ඉහත සිදුවීම් සිදුවන බවට ඔවුහු චෝදනා කරති.

1983 ජූලි 27 වන දා The Times පුවත්පතේ මෙලෙස නැවත වාර්තා කරයි.

“වර්තමාන හිරිහැරවලට වැඩි වශයෙන් යොමු වී සිටින්නේ සිංහලයින්ගේ තාඩන පීඩනවලට ලක් වී ඇතැයි හැඟෙන හොඳින් උගත්, ප්‍රබල ලංකා දෙමළ සුලුතරයයි. ඔවුන්ට උතුරේ ඇත්තේ අඩු කර්මාන්ත අවස්ථාවීම පමණක් නොව විශ්ව විද්‍යාලයට තෝරාගැනීමේ ජයග්‍රහණවලදී දෙමළ ශිෂ්‍යයින්ට වෙනස් ලෙස සලකා ඇත. ඔවුන් සුලුතරය වූවාට බ්‍රිතාන්‍ය පාලනය යටතේ අවුරුදු ගණනක් පුරා දෙමළුන් ව්‍යාපාර සහ පරිපාලනයේ ඉහළ රැකියා දැරූ අතර, සිංහල පාලනය යටතේ ඔවුන්ට නැති වී ඇත්තේද එම රැකියායි. ඒ අනුව වර්තමාන ප්‍රචණ්ඩත්වයට හේතුව විය යුත්තේ බෙදුණු ආර්ථික කොන්දේසි තුළය.” 


1983 ජූලි 2
8 වන දා The Times පුවත්පතේ මෙලෙස සඳහන් කරයි.  

“ඊයේ කොළඹ නගරය පුරාම සිය ගණන් වෙළෙඳසැල්, කාර්යාල, ගබඩා සහ නිවාස වෙතින් දුම් නැඟිණි. දෙමළ ජාතිකයකු සන්තක හෝ ජීවත්වන ඕනෑම ව්‍යාපාරයක්, ඕනෑම නිවසක් දාමරික කණ්ඩායම්වල ප්‍රහාරයට ලක් ව තිබේ.  

රජයේ නිලධාරීන් ඊයේ ඇස්තමේන්තු කළේ නගරය තුළ ව්‍යාපාර 20,000ක් ප්‍රහාරයට ලක්ව ඇති බව සහ කැරලි කෝලාහල හා කොල්ලකෑම්වල සංවිධානාත්මක හා සැලසුම්කළ ආකාරයක් ඇති බවයි. බ්‍රිතාන්‍යය තමන්ගේ තිබුණු කොලනියට නිදහස ලබා දීමට ප්‍රමාද වූ ප්‍රධාන හේතුවක් වන්නේ බහුතරය, දෙමළ සුළුතරය භය ගන්වා පාලනය කරනු ඇතැයි යන බිය නිසාය. නමුත් බහුතර සිංහලයින්ට දැනෙන්නේ ඔවුන්ට තර්ජනයක් එල්ල වන්නේ ඉන්දියාවේ මිලියන 40ක් වූ දෙමළ ජනතාවගෙන් බවයි.”

ලෝක සිතියම තුළ ‘ශ්‍රී ලංකාව යනුවෙන් රටක් ඇති බවට ඇතැම් රටවල ජනතාව පළමු වරට දැනගත්තේ මෙම අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තා මගින් විය හැකිය. ඒ ද යහපත් ප්‍රතිරූපයක් සහිතව නොව, රටේ සුලු ජාතිකත්වයක් ඝාතනය කරන තිරශ්චීන ජාතියක් වෙසෙන රටක් ලෙසිනි. ඇත්තෙන්ම, මේ සම්බන්ධ විශාල චිත්‍රය තුළ සිටි සැලසුම්කරුවන්ට අවශ්‍ය වූයේද ලෝකය තුළ එබඳු  ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාව විෂයෙහි නිර්මාණය කිරීමයි.

ජූලි ප්‍රහාර මගින් එතෙක් රට පුරා ව්‍යාප්තව සිටි දෙමළ ජනතාව යාපනය කේන්ද්‍ර කොටගත් උතුරු ප්‍රදේශය වෙත සංකේන්ද්‍රණය කෙරුණු අතර, ඊට සමාන්තරව උතුරේ සිටි සිංහල ජනතාවට පහර දී දකුණ වෙත පළවා හැරීමට කටයුතු කෙරිණ.

දෙමළ ජනතාව ඉලක්ක කරගෙන සිදු කෙරුණු මෙම ම්ලේච්ඡ සංහාරය කිසිසේත්ම සමස්ත සිංහල ජාතිකත්වයේ ප්‍රකාශනය නොවූ නමුත් මෙම සිදුවීම අන්තර්ජාතික තලයේ නිර්මාණය කරන ලද්දේ එය ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහි සමස්ත සිංහල ජනතාවගේ ප්‍රකාශනය ලෙසිනි. මෙම මෙහෙයුම පිටුපස සිටි සැලසුම්කරුවන්ට එම චිත්‍රය අන්තර්ජාතික තලයේ ගොඩනැඟීම අවශ්‍ය වූයේ   තමන්ගේ මහා සැලැස්මේ ඊළඟ අදියර සාර්ථක වීම සඳහා එම ජාත්‍යන්තර මතවාදය හා මනෝභාවය අත්‍යවශ්‍ය බැවිනි. මෙම දැවැන්ත සංහාරය දෙස සියුම්ව බැලීමේදී ඒ තුළ සැඟවුණු අනන්‍යතා ලකුණ එනම් ‘ඊශ්‍රායල ලකුණ හඳුනාගත හැකිය. ඒ, ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට පහර දී පලවා හැර ඔවුන්ගේ දේපළ හා භූමිය අත්පත් කර ගැනීමේ ක්‍රියාදාමයට සමපාත වන ක්‍රියාදාමයක් 1983 ජූලි ලංකාවේ සිදුවීම් තුළ පැවතීමයි.

එතෙක් සිංහල - දෙමළ වශයෙන් බෙදුම් රේඛාව අපැහැදිලිව, බොඳවි තිබූ මෙරට ජාතික ගැටලුව, ජූලි සංහාරයෙන් පසු පැහැදිලි බෙදුම් රේඛාවක් සහිතව ‘දෙමළ හින්දු උතුර - සිංහල බෞද්ධ දකුණ ලෙස ඛණ්ඩනය විණි. විශේෂයෙන්ම මෙම හැඳින්වීම අන්තර්ජාතික මාධ්‍ය අවකාශය තුළ ප්‍රබල ලෙස මතුකෙරුණු අතර, ‘දකුණේ සිංහල ආණ්ඩුව යන වචනය අන්තර්ජාතික ජනමාධ්‍ය සංදේශ අතරට පැමිණියේද මෙකලය. 

 

1983 ජූලි සිදුවීම්වලින් පසු ලංකාව

1983 ජූලි 23 වන දා වන තෙක්, මෙරට දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයට හා දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පහසුවෙන් කරගත නොහැකි වූ දෙයක් මෙම ජූලි සිදුවීම් හරහා සිදුවුණි. ඒ දෙමළ ජනතාව හා සිංහල ජනතාව අතර භෞමික බෙදීමක් එනම් උතුර දෙමළ - දකුණ සිංහල වශයෙන් පැහැදිලි බෙදුම් රේඛාවක් භෞතික වශයෙන් ද, මනෝ විද්‍යාත්මක වශයෙන් ද නිර්මාණය කිරීමයි. එසේම උතුරේ දෙමළ සමාජ -දේශපාලන මනෝභාවයද සුවිශේෂ පරිවර්තනයකට ලක්වීමට හේතු වූයේ 1983 කළු ජූලියයි. ජූලියේ මහා ජන ඝාතනය දෙමළ බහුජනතාවගේ සියලුම කොටස් එක්සත් කර තිබේ.” යැයි වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රකාශ කළේය. 1983 කළු ජූලියෙන් අපේක්ෂිත අරමුණ ඉටු වූ බවට හොඳම සහතිකය එයයි.

එම්.ආර්.නාරායන් ස්වාමි සඳහන් කරන ආකාරයට, ඒ වන තෙක් ‘තථ්‍ය වශයෙන් එල්.ටී.ටී.ඊ.යට යාපනය තුළ පවා පොදු ජනතාව තුළ පදනමක් නොතිබිණි.’ එපමණක් නොව එතෙක් දෙමළ සටන්කාමී සංවිධාන වෙත තරුණයන් බඳවාගැනීම දුෂ්කර කර්තව්‍යයක් වී තිබුනද, ජූලි සිදුවීම්වලින් පසු මෙම සංවිධාන සඳහා දෙමළ තරුණයින් ඇදී ආවේ රැල්ලක් ලෙස යැයි මූලාශ්‍ර සඳහන් කරයි. ‘1983 ජාතිභේදවාදී කෝලාහලවල විපාක වශයෙන්, දෙමළ සටන්කාමී කණ්ඩායම්වලට අලුතෙන් බැඳෙන්නෝ ගංවතුරක් මෙන් ගලා ආහ.’ (‘බිඳුණු තල් රුක’ - රාජිණී තිරාණගම, රාජන් හූල්, කේ. ශ්‍රී ධරන්, දයා සෝමසුන්දරම්) විශේෂයෙන්ම එතෙක් මෙම සටන්කාමී සංවිධානවල ක්‍රියාකාරීත්වය තම එදිනෙදා ජීවිතයෙන් නොතකා හැර තිබූ දෙමළ මධ්‍යම පංතික තරුණයින් මෙම සංවිධාන වෙත ආකර්ෂණය වන්නට වූයේ මෙම ජූලි සිදුවීම්වලින් පසුවය. එසේම ඉන්දියාව ප්‍රසිද්ධියේම මෙරට දෙමළ සටන්කාමීන් පුහුණු කිරීමට මැදිහත්වීම සිදු වූයේද 1983 ජූලි සිදුවීම්වලින් පසුවය.

මේ සැලසුම පිටුපස සිටි බලවේගවල අරමුණ ඉටු කරමින්, දෙමළ ජනතාවගේ පොදු සතුරා බවට සිංහල ජනතාව පත් කිරීම මේ අනුව සිදු වූ අතර, දෙමළ සමාජය තුළ පැවති මතවාදී බෙදීම් මැකී ගොස් එය ‘සිංහලයාට’ / ‘දකුණේ සිංහල ආණ්ඩුවට’ එරෙහිව නාභිගත කෙරිණි. ජූලි සිදුවීම් හේතුවෙන් මෙරට දෙමළ ජනතාවට යුරෝපා රටවලට පහසුවෙන් ප්‍රවේශවීමේ අවස්ථාවද, ඔවුන් වෙත ජාත්‍යන්තර අනුකම්පාවද නිර්මාණය වූ අතර, දෙමළ ජනතාවගේ අයිතීන් හා ඒ අයිතීන් උදෙසා අරගලය වෙනුවෙන් පෙනී සිටින යුරෝ - ඇමරිකා මතවාදයක් හා ඊට අනුගත සංවිධානද, මේ වෙනුවෙන් මුදල් හා භෞතික ආධාර ලබා දීමේ ව්‍යාපාරද ලෝකය තුළ ගොඩනැඟිණි. ඇන්ටන් බාලසිංහම් ජාත්‍යන්තර වශයෙන් කොටි සංවිධානය වෙත ආධාර එකතු කර ගැනීම සඳහා වන උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කිරීමට ප්‍රභාකරන්ගේ දැනුම්දීම මත මැදිහත් විණි. 1983 ජූලි සිදුවීම් හේතුවෙන් පීඩාවට පත් ව විදේශගත වූ දෙමළ ප්‍රජාව ඉන් පසුව කොටි ත්‍රස්තවාදයේ ප්‍රධාන බල කුළුණක් ලෙස ක්‍රියා කිරීම මෙහි තාර්කික ප්‍රතිඵලයක් විය. දෙමළ බෙදුම්වාදී මතවාදය වෙනුවෙන් අන්තර්ජාතික තලයේ අද ක්‍රියාකරන්නේ එම ප්‍රජාවේ දෙවන හා තෙවන පරම්පරාවල සාමාජිකයින්ය.

එක්සත් ජනපදය, කැනඩාව හා යුරෝපා රටවල් ආදියේ මෙලෙස ජූලි සංහාරයෙන් දැඩිව පීඩාවට පත් දෙමළ විප්‍රවාසික ප්‍රජාවක් ගොඩනැඟීම, ‘දෙමළ බෙදුම්වාදී සන්නද්ධ අරගලය’ සඳහා අවැසි අවි ආයුධ සපයා ගැනීම සඳහා වූ තාර්කික ඊළඟ පියවර වූ අතර, මෙසේ දෙමළ ජනතාව පිළිබඳව ඇති කළ ජාත්‍යන්තර අනුකම්පාව මෙම ත්‍රස්තවාදී සංවිධාන වෙත මුදල් ගලා ඒම සඳහා ප්‍රබල පිටිවහලක් විණි. මහා සැලසුමට අනුව, පළමු වටයේම ඒ මුදල් ලබාගෙන ආයුධ විකිණීමට සූදානම්ව සිටි ප්‍රධාන රාජ්‍යය වූයේ ඊශ්‍රායලයයි. එසේම ශ්‍රී ලංකාවේ දෙමළ සටන්කාමීන් සඳහා පුහුණුව ලබා දීමද ඊශ්‍රායල කඳවුරු තුළ සිදු කෙරිණි. වික්ටර් ඔස්ට්‍රොව්ස්කිගේ By Way of Deception : The making and unmaking of a MOSSAD Officer ග්‍රන්ථයට අනුව ඊශ්‍රායලය එකම පුහුණු කඳවුරක එක් පැත්තක ශ්‍රී ලංකා රජයේ හමුදා නිලධාරීන්ද, අනෙක් පැත්තේ මෙරට දෙමළ සටන්කාමීන්ද පුහුණු කර තිබේ. ඊශ්‍රායල මොසාඩ් නිලධාරීන් විසින් මෙරටින් ගොස් එරට තුළ පුහුණුව ලබමින් සිටි කණ්ඩායම් හඳුන්වනු ලැබ ඇත්තේ වඳුරු පෙනුමක් ඇති මිනිසුන් ලෙසිනි. මෙම ඊශ්‍රායල පුහුණු විසින් එකිනෙකාට එරෙහිව යොදාගත හැකි මූලෝපායික යුද උපක්‍රම මෙන්ම, එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කළ හැකි ආයුධ ද හඳුන්වා දෙනු ලැබිණි. ඊශ්‍රායලයේ එකම කඳවුරේ පුහුණුව ලබා මෙරටට පැමිණි මෙම කණ්ඩායම් දෙක මෙරටදී කිසිදා අවසන් වෙතැයි අපේක්ෂා කළ නොහැකි යුද්ධයක දෙපාර්ශ්වය ලෙස කටයුතු කළහ. 1983 කළු ජූලියක් නිර්මාණය කිරීමේ ‘වෙළෙඳපොළ අවශ්‍යතාව’ පිටුපස වූ බලවේගය කුමක්ද යන්න මෙම සාධකවල හැසිරීම අනුව මනාව හඳුනාගත හැකිය. 

ජයවර්ධන ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලයින් සමග සම්බන්ධතා ඇති කරගත් මොසාඩ් සංවිධානයේ ඈත පෙරදිග හා අප්‍රිකානු කලාප අංශය භාර සම්බන්ධීකරණ ප්‍රධානියා වූ Amy Yaar මෙරටට ආයුධ  විකිණීම් ගිවිසුමකට එළඹුණු අතර, මෙම ගිවිසුම ප්‍රකාරව, වෙරළාසන්න ආරක්ෂක කටයුතු සඳහා යොදාගන්නා PT වර්ගයේ බෝට්ටු ඇතුළු යුද උපකරණ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජයට අලෙවි කොට තිබේ. ශ්‍රී ලංකා රජය අතර මෙලෙස ගිවිසුම්ගතව කටයුතු කරන අතරේ, Amy Yaar මෙරට දෙමළ ත්‍රස්තවාදී සංවිධාන, විශේෂයෙන්ම කොටි සංවිධානය සමගද ගනුදෙනු කරමින් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයට තමන් ලබා දුන් PT වර්ගයේ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කළ හැකි  ආයුධ කොටි සංවිධානයට අලෙවි කළ බව ඔස්ට්‍රොව්ස්කි සිය ග්‍රන්ථයෙන් හෙළි කරයි.

ජේ.ආර්. ජයවර්ධන රජයේ ජාතික ආරක්ෂක ඇමතිවරයා ලෙස ලලිත් ඇතුලත්මුදලි පත් කිරීම පවා අහම්බයක් නොවන අතර, විශ්ව විද්‍යාල ආචාර්යවරයකු ලෙස ඔහු ඊශ්‍රායල සරසවියක කටයුතු කිරීම තුළ ඔහුට අදාළව ගොඩනැඟුණු ඊශ්‍රායල සම්බන්ධතා ඔස්සේ ඔහු සම්බන්ධව කියැවීමක් හා ඇගයීමක් ඊශ්‍රායලයට තිබුණු වග පැහැදිලිය. මෙරට පළමු ‘ජාතික ආරක්ෂක ඇමතිවරයා’ ලෙස ඔහු 1984 වසරේදී පත් කෙරෙන්නේ එම මූලෝපායික සැලසුම තුළය.

“ජාතික ආරක්ෂක සංකල්පය, අන් ඇමරිකානු සංකල්ප මෙන් 1977 වසරේදී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ 1984 වර්ෂයේදී නිල වශයෙන් ජාතික ආරක්ෂක ඇමති ධුරය පත් කිරීමත් සමග ස්ථාපිත විය. ශ්‍රී ලංකාවේ පළමු ජාතික ආරක්ෂක ඇමතිවරයා ලලිත් ඇතුලත්මුදලි විය. ධුරයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ පළමු සාකච්ඡාව යාපනය - පලාලි යුද හමුදා මූලස්ථානයේදී නිලධාරීන් පිරිසක් සමග පැවැත්විණි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන්නා වූ නීති විරෝධී මුහුදු ක්‍රියාකාරකම් ‘පෝක් සමුද්‍ර සන්ධිය’ හරහා සිදුවීම වැළැක්වීම වෙනුවෙන් එම මුහුදු කලාපය ‘ආවේක්ෂණ කලාපයක්’ ලෙස නම් කිරීම හා ඒ සඳහා ඊශ්‍රායල් අධිවේගී ‘ඩෝරා’ යාත්‍රා යොදාගැනීම යන යෝජනාව ඔහු විසින් ඉදිරපත් කරන ලදී. එය වැදගත් යෝජනාවක් වූ හෙයින් එය කාගේත් පැසසුමට ලක් විය. 30 වසරක යුද ගැටුමේදී මෙන්ම වර්තමානයේදීද ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ එයයි. කෙසේ වුවද, අදාළ යෝජනාව පිළිබඳ විපරම් කිරීමේදී එය සී.අයි.ඒ., මොසාඩ් වැනි රහස් ඔත්තු සේවාවන්ගේ රාජ්‍යතාන්ත්‍රික ස්වරූපයෙන් ආ යෝජනාවක් බව හෙළි විය. ඉන්පසුව සිදුවූ යුද අවි මිල දී ගැනීම්, පුහුණුවීම්, යුද උපදේශ සේවාවන් යන සියල්ල ඔවුන්ගේ ‘විවෘත’ හා ‘රහස්’ මැදිහත්වීම යටතේ සිදු විය.” (ලුතිනන් කර්නල් සුසන්ත සෙනෙවිරත්න - ‘ජාතික ආරක්ෂාව අවුල් කරන විදේශීය රහස් ඔත්තු සේවා)

 

1983 ජූලියෙන් පසු ලාංකේය වාමාංශය


ජූලි සිදුවීම්වලින් පසු ජයවර්ධන ජනාධිපතිවරයා ගත් විශේෂ තීරණයක් වූයේ, එම කළකෝලාහලවලට සම්බන්ධ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මෙරට වමේ පක්ෂ කිහිපයක් තහනම් කිරීමයි. එම්.ආර්. නාරායන් ස්වාමි සඳහන් කරන ආකාරයට ‘ජාත්‍යන්තර වශයෙන් එල්ල වුණු චෝදනාවලින් අනතුරුව ආණ්ඩුව එය මොස්කව් පාලනය විසින් උසිගන්වන ලද මෙරට කොමියුනිස්ට්වාදීන්ගේ කුමන්ත්‍රණයකැයි යන උපකල්පනය මත පිහිටා ගර්හාත්මක සිදුවීම්වල වගකීමෙන් සිය අත් සෝදාගත්තේය.’ පසුව ජනතා විමුක්ති පෙරමුණ හැර අනෙක් වමේ පක්ෂ කිහිපයේ තහනම ඉවත්කිරීමට රජය කටයුතු කළ ද, ජ.වි.පෙ. තහනම ඉවත් කිරීමට ජයවර්ධන ආණ්ඩුව කිසි විටෙක කටයුතු කළේ නැත.
 

1983 කළු ජූලියෙන් පසු මෙරට වාමාංශික දේශපාලන කතිකාව ද මතවාදී වශයෙන් තියුණු වෙනසකට ලක් වීම සිදුවිණි. ජනතා විමුක්ති පෙරමුණ හැරෙන්නට මෙරට අනෙකුත් වමේ පක්ෂ දෙමළ බෙදුම්වාදී ව්‍යාපෘතිය නිදහස් අරගලයක් ලෙස හඳුනාගැනීමත්, මාක්ස්වාදී කතිකාවට අදාළ ‘ස්වයං නීර්ණ අයිතිය’ මත පදනම්ව මෙරට ජාතික ගැටලුව නැවත කියැවීමත්, ඒ වෙනුවෙන් පෙනී සිටීමත් ඇරඹුණු අතර, එවකට ජ.වි.පෙ. ලේකම්වරයාව සිටි ලයනල් බෝපගේ පවා මෙම මතවාදය වෙනුවෙන් පෙනී සිටීම හා ඒ මතවාදය අනුව ජ.වි.පෙ.න් කැඩී යාමත් සිදු විණි.  

බෙදුම්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන භෞතික තත්වයන්ට අමතරව, ඒ වෙනුවෙන් සහයෝගය දක්වන මෙම මතවාදී වෙළෙඳපොළ පවත්වාගැනීමද දීර්ඝ කාලීන සිවිල් යුද්ධයක් සඳහා සපුරාගත යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ අතර, ඒ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ද මෙරට නිර්මාණය විණි. විදේශාධාර ලබන මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් මතවාදී පදනමක් සහිත පුද්ගලයින් බිලී බා ගැනීමේ ව්‍යාපෘතියක්ද, පුවත්පත් හා සඟරාවලින් සමන්විත මුද්‍රිත මාධ්‍ය මෙහෙයුමක්ද ඒ වන විට මෙරට සමාජය තුළ වෙනම දියත් කොට තිබිණ.

මෙම සමස්තය පිළිබඳව නිවැරදි දැක්මක් සහිතව කටයුතු කළ නායකත්වය සහිත වාමාංශික දේශපාලන ව්‍යාපාරය වූයේ එවක ජනතා විමුක්ති පෙරමුණ බව රෝහණ විජේවීර විසින් 1985 මාර්තු මාසයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබූ ‘ලංකාවේ ජාතික ගැටලුව හා නිර්ධන පංතියේ විසඳුම’ නමැති වාර්තාවෙන් පැහැදිලි වේ. ලංකාවේ ජාතික ගැටලුවේ ප්‍රභවය හා විකාශනය මෙන්ම, සමකාලීනව ලංකාවේ ජාතික ගැටලුවට ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව මැදිහත් වෙමින් සිටි ආකාරය පිළිබඳව කියැවීමක් සහිත එකම ග්‍රන්ථය වනුයේ එම වාර්තාව පමණි.

මෙලෙස මෙරට තුළ දීර්ඝ කාලීන සිවිල් යුද්ධයක් සඳහා අවැසි භෞතික හා මතවාදී යාන්ත්‍රණය ඊශ්‍රායලයේ හා එක්සත් ජනපදයේ මූලෝපායික සැලසුම තුළ විවිධ පෙරමුණු ඔස්සේ දියත් වී තිබූ බව පැහැදිලිය. ප්‍රධාන සතුරු පාර්ශ්ව දෙක වශයෙන් ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය තම වෙළෙඳපොල වුවමනාව වෙනුවෙන් කළමනාකරණය කරගැනීමට සමාන්තරව, වෙනත් දේශපාලන පක්ෂ සංවිධාන හා බලවේගයන්ද, පුද්ගල සාධකද සිය අවශ්‍යතාව පරිදි අඩු වැඩි වශයෙන් කළමනාකරණය කරගන්නට ඊශ්‍රායලය සමත් විය.

 

ඊශ්‍රායලයට හැරවූ මහවැලිය  

1983 කළු ජූලිය හරහා සිදුකළ දෙමළ සංහාරය හේතුවෙන් දෙමළ ජනතාවගේ අරගලය ජාත්‍යන්තරය තුළ ‘නිදහස් අරගලයක්’ ලෙස වරනැඟීම හා එය සාධාරණීකරණය වීමත්, එකම විසඳුම දෙමළ ජනතාව සඳහා උතුරේ වෙනම රාජ්‍යයක් ගොඩනැඟීම යන බෙදුම්වාදී සංකල්පය තහවුරු කිරීමත්, කොටි සංවිධානය එම අරගලය වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජනතාවගේ නියෝජිතයා යන චිත්‍රය නිර්මාණය කිරීමත් තුළ කොටි සංවිධානය වෙත පෙර නොවූ විරූ ලෙස මුදල් ගලා එන අන්තර්ජාතික සන්දර්භයක් ගොඩනැඟිණ. එසේම අන්තර්ජාතික ජනමාධ්‍ය අවකාශය තුළ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය වෙත සුවිශේෂ අවධානයක් යොමු වීමද සිදු විණි. හුදු යුද ගැටුමක් නිර්මාණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවූ අතර, එම ගැටුම තම වෙළෙඳපොළ අවශ්‍යතාවට අනුව කළමනාකරණය කරමින් ගැටුම් යුද්ධයක් ලෙස  අතර එය අඛණ්ඩව සිදුවීමට අවැසි තත්ත්වයක් පවත්වාගෙන යාමේ වෙළෙඳපොළ අවශ්‍යතාව ඊශ්‍රායලයට තිබිණ.   

කොටි සංවිධානය වෙතට මෙලෙස මුදල් ලැබී ආයුධ ගෙන ශ්‍රී ලංකා රජයට එරෙහිව යුධ වදින විට ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජයේ හමුදා ශක්තිමත් කිරීමටත්, කොටි සමග යුද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට අවැසි ආයුධ ලබාගැනීමටත් අවශ්‍ය වූ අතර, මේ ආයුධ ලබා ගැනීම සඳහා දැවැන්ත මුදලක් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වුණි. එම මුදල සොයාගැනීමටද නැවත ඊශ්‍රායලය සැලසුමක් සකස් කර දුන් බවත්, ඒ අන් කිසිවක් නොව ‘කඩිනම් මහවැලි ව්‍යාපාරය’ බවත් ඔස්ට්‍රොව්ස්කිගේ ග්‍රන්ථයෙන් හෙළි වේ.

ඔස්ට්‍රොව්ස්කි අනාවරණය කරන ආකාරයට, 80 ගණන්වල මුල් කාලය වන විට මෙරට ගොවීන් අතර අසහනකාරී තත්ත්වයක් උද්ගත වෙමින් පැවතීම මෙරට රජයට ගැටලුකාරී තත්ත්වයක් වී තිබේ. මේ නිසා ගොවි ජනතාව රටේ විවිධ ප්‍රදේශවල පදිංචි කරවමින් ගොවීන් බෙදා වෙන් කිරීමට අවශ්‍ය වී ඇත. එහෙත් එය එකවරම නොකළ හැකි නිසා ඊට තාර්කික කාරණයක් අවශ්‍ය වී ඇත. Amy Yaar මෙතැනදී මැදිහත් වී ඇති අතර, මහවැලි ගඟ උතුරට හැරවීමෙන් ලංකාවේ විදුලි බලය දෙගුණ කළ හැකි බවත්, මුඩු බිම් අක්කර 750,000ක් වගා කළ හැකි බවත් ඔහු රජයට පෙන්වා දී තිබේ. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බව සහ ගොවීන් සිය පාරම්පරික ඉඩම්වලින් ඉවත් කළ හැකි බව ලෝක බැංකුවට ඒත්තු ගැන්වීම සඳහා ඊශ්‍රායල ආර්ථික විද්‍යාඥයකුගේ හා ඊශ්‍රායල කෘෂි විද්‍යා මහාචාර්යවරයකුගේ සේවය මොසාඩ් සංවිධානය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දී තිබේ.  

මෙසේ සැලසුම් කෙරුණු කඩිනම් මහවැලි ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 2500ක් විණි. මේ සඳහා ලෝක බැංකුවට අමතරව ස්වීඩනය, ජර්මනිය, කැනඩාව, ජපානය හා යුරෝපා ආර්ථික හවුල මූල්‍යධාර ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය මුල සිටම සැබෑ ප්‍රමාණයට වඩා වැඩියෙන් තක්සේරු කර ඇත. මෙවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත්‍රයාගේ භාර්යාව වූ පෙනී වයිට් ඊශ්‍රායලයට පැමිණි බවත්, ඇයට වැඩිපුරම අවශ්‍ය වූයේ මහවැලි ව්‍යාපෘතිය ගැන තොරතුරු දැනගැනීමට බවත් ඔස්ට්‍රොව්ස්කි අනාවරණය කරයි. ඒ පිළිබඳව ඇය ඔහුට බොහෝ දේ පැවසූ බවත්, මහවැලිය සඳහා ලැබෙන මුදල් හමුදාවේ යුද උපකරණ මිල දී ගැනීමට වැය කරන අන්දම දිගින් දිගටම ඇය කියා සිටි බවත්, මහවැලි ව්‍යාපෘතිය අපේක්ෂිත අන්දමින් සිදු නොවන බවට ඇය පැමිණිලි කළ බවත් සඳහන් කරන ඔස්ට්‍රොව්ස්කි, හාස්‍යයට කරුණ වන්නේ සැබැවින්ම කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නිර්මාණය කළේ ශ්‍රී ලංකා හමුදාවට ඊශ්‍රායලයෙන් අවි ආයුධ මිල දී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලෝක බැංකුවෙන් ලබා ගැනීමට බවත් අනාවරණය කරයි.

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යනු පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ එතෙක් සිදු වූ දැවැන්තම සංවර්ධන යෝජනා ක්‍රමය වූ අතර, ඒ විශාලත්වය හේතුවෙන්ම ඒ සඳහා වෙන් වූ මුදලද සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙරට තුළ වෙන් වූ විශාලතම මුදල විය. ජයවර්ධන රජයට පෙර මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය අවුරුදු 30ක් තුළ දේශීය ආදායම් මූලාශ්‍ර ඔස්සේ ලැබෙන මුදලින් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් තිබුනද, එය නොතකා මෙම විදේශ ණය මත ක්‍රියාත්මක කෙරෙන කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ඊශ්‍රායලයේ සැලසුම අනුව සිදු කෙරිණි. මෙබඳු පසුබිමක, මෙම කඩිනම් මහවැලි ව්‍යාපාරය විෂය භාර ඇමතිවරයා බවට, 1983 කළු ජූලි සිදුවීම්වලට ප්‍රධාන වශයෙන් සම්බන්ධ, එසේම ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීපතම කවයට අයත් ගාමිණී දිසානායක පත්වීම පවා අහම්බයක් ලෙස සැලකිය නොහැකිය.

මෙරට මධ්‍ය කඳුකරයේ පසෙහි පවතින අස්ථාවර බව හේතුවෙන් එම ප්‍රදේශවල ජලාශ ඉදිකිරීමේ භයානකකම මෙරට භූ විද්‍යාඥයින් විසින් කොතෙකුත් පෙන්වා දෙනු ලැබ තිබුනද, ඒ සියල්ල නොතකා මෙම කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ජයවර්ධන රජය පියවර ගත්තාය. එසේම පසුකාලීනව මෙම මහවැලි යෝජනා ක්‍රමයට අයත් භූමි ලවණ කාන්තාර බවට පත්ව තිබෙන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

මහවැලි යෝජනා ක්‍රමයට අයත් ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශයෙහි වේල්ල ඉදිකිරිම සඳහා ආධාර කළ බ්‍රිතාන්‍යයේ විදේශ ආධාර සැපයීමේ වගකීම දරන ‘විදේශ සංවර්ධන පරිපාලන ආයතනය ලෝකයේ අසාර්ථක වූ සංවර්ධන ව්‍යාපෘති සඳහා හොඳම උදාහරණය ලෙස හඳුන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වික්ටෝරියා වේල්ලයි. ලෝකයේ මුල්ම ආරුක්කු හැඩැති වේල්ල මෙම වික්ටෝරියා වේල්ලයි. එය ඔවුන් විසින් සැලසුම් කොට ඉදිකරනු ලැබුවේ පර්යේෂණයක් වශයෙන් බව පසුකාලීනව අනාවරණය විණි.

බ්‍රිතාන්‍යයේ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවලට අනුව, වික්ටෝරියා සංවර්ධන ව්‍යාපෘතියේ මූලික සැලසුම් අනුව වාසභූමි අහිමිවීමට නියමිතව තිබුනේ පවුල් 1300කට පමණක් වුවද, ව්‍යාපෘතිය අවසන් වෙද්දී පවුල් 5,200කට අයත් 30,000ක් පමණ වූ ජනතාවකට වාසභූමි අහිමි වී ඇත. මෙයින් සිදු වූ විනාශය නම්, සිය පාරම්පරික භූමියේදී ස්වාධීන ගොවීන් වූ ඔවුන් පසුව අවුරුදු 4ක් පමණ ගතවන තුරුත් 80%ක් පමණ පිරිසක් ආහාර සහනාධාර මත යැපෙන්නන් වීමයි. එමෙන්ම උත්පාදනය කෙරෙන ජල විදුලි ප්‍රමාණයද අපේක්ෂිත මට්ටමට වඩා 40%ක් ම පහළ මට්ටමක පවතින බවත්, වගා කටයුතු සඳහා බෙදා හැරීමට ජලය රැස්කිරීම අසාර්ථක බවත් එම වාර්තාවේ දක්වා තිබේ.

මේ සාධක අනුව ගත් විට, 1983 කළු ජූලියේ තවත් ප්‍රතිඵලයක් වන ‘කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයේ සැබෑව මෙයයි. මෙබඳු පසුබිමක මෑතකදී මහවැලි අධිකාරිය විසින් ‘මහවැලි අම්මා නමින් එක්තරා ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ආරම්භකරනු ලැබූ අතර, ‘කඩිනම් මහවැලියේ සම්භවය අනුව බලන විට මෙබඳු මාධ්‍ය ව්‍යාපෘතිවල නිශ්ඵලභාවය අමුතුවෙන් කිය යුතු නොවේ.

කෙසේ හෝ අවසානයේ ඊශ්‍රායලය තමන්ගේ ආයුධ වෙළෙඳාමට අදාළ මහ සැලැස්ම තුළ මෙරට ‘සංවර්ධන යෝජනා ක්‍රමයක් තම රටට හරවාගත්තේ මෙලෙසිනි.

ආයුධ වෙළෙඳපොළ අහිමිවීමෙන් පසු ...

ඊශ්‍රායලය 1983 කළු ජූලි සිදුවීම සමග ශ්‍රී ලංකාව විෂයයෙහි ගොඩනැඟූ අවි ආයුධ, යුද්ධෝපකරණ හා යුද විශේෂඥ උපදෙස් වෙළෙඳපොළ 2009 වසරේ මැයි මස දක්වාම අඛණ්ඩව පැවතිණි.

1983 කළු ජූලියෙන් පසු මෙරට ආණ්ඩු වරින් වර වෙනස් විය. ජනාධිපතිවරුන් වෙනස් විය. ආරක්ෂක ඇමතිවරුන් වෙනස් විය. ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙනස් විය. යුද්ධයේ හැඩතල වෙනස් විය. නමුත් ප්‍රභාකරන් බෙදුම්වාදී කොටි සංවිධානයේ අසහාය නායකයා ලෙස 2009 මැයි මස 19 වන දා දක්වා අඛණ්ඩව කටයුතු කළේය.

කොටි සංවිධානය විසින් මිල දී ගත් නැව් ගණන් අවි ආයුධ ලැබෙමින් තිබුණු අතර, 2005 න් පසුව ඒවා හඳුනාගෙන ඈත මුහුදේදීම විනාශ කරන්නට මෙරට නාවික හමුදාව කටයුතු කළේය. බොහෝ විට ඒ සඳහා යොදා ගැනුනේ ද ඊශ්‍රායලය විසින් නිෂ්පාදනය කළ ප්‍රහාරක නාවික යාත්‍රා හා අවි ආයුධය. ආරම්භයේ සිට 2009 දක්වාම ශ්‍රී ලංකා රජයට අවි ආයුධ සපයන නිත්‍ය රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලය කටයුතු කළේය. අනෙක් අතට එය ප්‍රති පාර්ශ්වය වූ කොටි සංවිධානය වෙත ද මුල් යුගයේ සිටම නිත්‍ය ආයුධ සැපයුම්කරුවකු ලෙස කටයුතු කළේය.

කොන්දේසි විරහිතව, කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු බවට ශ්‍රී ලංකා රජය ගත් උපාය මාර්ගික තීරණය නොවන්නට, එසේම එය වැළැක්වීම සඳහා පැමිණි විදේශ මැදිහත්වීම් නොතකා කටයුතු නොකරන්නට අදටත් ශ්‍රී ලංකාව යනු ‘ආයුද වෙළෙඳපොළකි.’ ඊශ්‍රායලය එහි නිත්‍ය අලෙවිකරුවෙකි.

නිෂ්පාදන සමාගමකට නොඑසේ නම් රටකට, තමන්ගේ නිෂ්පාදන සඳහා වූ දැවැන්ත වෙළෙඳපොළක් මුළුමනින්ම අහිමිවීම යනු පහසුවෙක් නොතකා හැරිය හැකි තත්ත්වයක් නොවේ. එසේම නූතන ලෝක දේශපාලන සන්දර්භය තුළ ‘1983 කළු ජූලිය යනු නැවත අත්හදා බැලිය හැකි ‘පර්යේෂණයක් ද නොවේ. නමුත් 1983 ජූලි සිදුවීම්වල පරාවර්තනය හා දෝංකාරය අදටත් ඇසෙන්නේය. පෙනෙන්නේය. දැනෙන්නේය. එය දෙමළ බෙදුම්වාදී දේශපාලන බලවේගවලට ‘ස්ථාවර තැන්පතුවක් සේ අදටත් ප්‍රතිලාභ උපදවමින් තිබෙන බව නොරහසකි.

නමුත් ‘1983 ජූලි වෙනුවට දියත් විය හැකි උපාය මාර්ගික සැලසුම් ශ්‍රී ලංකාව විෂයෙහි ඊශ්‍රායලය සතුව නැතැයි අප රටක් ලෙස කිසි විටෙකත් සිතිය යුතු නොවේ. ඒ සැලසුම් මේ මොහොතේත් ක්‍රියාවට නැංවෙමින් පවතිනවා ඇත. ඊශ්‍රායල තාක්ෂණික විශේෂඥයින්, උපදේශකයින්, කෘෂි විශේෂඥයින්, ආර්ථික විශේෂඥයින් හෝ මෙකී නොකී කවර හෝ පෙනුමක් සහිතව ඔවුන් මේ බිමේ සැරිසරමින් සිටිනවා ඇත. ඒ මහා සැලසුම්හි ප්‍රතිඵල මතුපිටට පෙනෙන දිනය හා මොහොත දක්වා ඇත්තේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් පමණි.

No comments:

Post a Comment