Tuesday, June 1, 2021

දයාසේන ගුණසිංහ: 35 වසරකට පෙර ලියූ අවසන් කතුවැකිය

  

අදින් හරියටම වසර 35කට පෙර, එනම් 1986 ජූනි මස 02 වන දින මෙරට ජාතික පුවත්පතක සුවිශේෂ කතුවැකියක් පළවිණ. එම පුවත්පත ‘දිවයින ඉරිදා සංග්‍රහය වූ අතර, කතුවැකියේ රචකයා වූයේ ‘දයාසේන ගුණසිංහ’ නමැති අභීත පුවත්පත් කලාවේදියාය. “අද පවතින්නේ අරාජික යුගයක්ද?” යන මැයෙන් වූ එම කතුවැකියට නිමිත්ත වූයේ, එවක කොටි ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන්ම සිදු කළ බෝම්බ පිපිරවීම් නිසා මෙරට පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබූ පසුබිමක, එවක මෙරට රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්, “රටවැසියා තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගත යුතුය” යනුවෙන් කළ වගකීම් විරහිත ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය නිර්දය ලෙස විවේචනය කරමින් ගුණසිංහයන් විසින් ලියූ කතුවැකිය, ජයවර්ධන ජනාධිපතිවරයා කියවූයේ, එවකට එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව සිටි විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයකු ලවා ඉංග්‍රීසියට පරිවර්තනය කර ගැනීමෙනි. කතුවැකි රචකයා විසින් ජනාධිපතිවරයාට එල්ල කළ ප්‍රහාරය කෙතරම් ප්‍රබල වීද යත්, ඊට ලැබුණු ප්‍රතිප්‍රහාරය වූයේ ගුණසිංහයන් “දිවයින ඉරිදා සංග්‍රහයේ” රැකියාවෙන් වහාම ඉවත්කිරීමට එහි පාලනාධිකාරයට ජනාධිපතිවරයා ඍජුවම නියෝග කිරීමයි. එහි ප්‍රතිඵලය ලෙස, දයාසේන ගුණසිංහයන් විසින් අවසන් වරට ලියන ලද කතුවැකිය බවට 1986 ජූනි 02 වන දා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පළ වූ කතුවැකිය පත් විණි. එසේම පසුකාලීනව එය මෙරට සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂ ලියැවිල්ලක් බවට පත් වූයේ, මෙරට පුවත්පත්කලා ඉතිහාසයේ, කතුවැකි රචකයකුට ස්වකීය මතවාදය හේතුවෙන් සිය රැකියාවෙන් වන්දිගෙවිමට සිදු වූ කතුවැකිය ලෙසට එය හඳුනාගත් බැවිනි.

පහත පළ වන්නේ එම ඓතිහාසිකවූත්, සුවිශේෂීවූත් කතුවැකියයි.

.................................

 

අද පවතින්නේ අරාජික යුගයක්ද ?

 

මේ රටේ ඉතිහාසයෙහි මෙතෙක් වූ අතිශයින්ම අවාසනාවන්ත හා ඛේදජනක කාල පරිච්ඡේදයට සාක්ෂිකරුවන් වීමේ අභාග්‍යය අපගේ ඉරණම විසින් අප සතු කර දී ඇත.

මෙහි සාක්ෂ්‍යකරුවන් පමණක් නොව, විපාක විඳින්නෝද අපි වෙමු. එහෙත් ජනතාවක් වශයෙන් පොදුවේ සලකා බලන විට මෙබඳු අභාග්‍යසම්පන්න ඉරණමකට භාජනවීමට තරම් අපරාධයක් අප විසින් කර නැත.

එසේ නම් අප අද විපාක විඳින්නේ කවරකු විසින් කරන ලද අපරාධයක් වෙනුවෙන්ද? මේ පිළිබඳව අවංකව කරුණු දැක්වුවහොත් තවත් දිනයෙක හිරු උදාව දැකීමේ භාග්‍යය පවා අපට නැති වී යනු නිසැකය. එහෙත් යම් යම් සීමාවන් ඇතුළත හෝ සත්‍යය පෙන්වා දීමේ යුතුකම හා වගකීම අප වෙත පැවරී ඇත. එබැවින් විපාකය කුමක් වෙතත් කිව යුත්ත කියන්නටද නොපැකිළෙමු.

මෑත ඉතිහාසයෙහි මේ රටේ ජන ජීවිතයෙහි ලොකුම අර්බුදය වූ ජනවාර්ගික ප්‍රශ්නය ගත වූ අවුරුදු ගණනාව තුළ කිසිදු විසඳුමක් නොලැබ දිනෙන් දින උග්‍ර වී යන අන්දම අපි බලා සිටියෙමු. එහෙත් ‘අපි බලා සිටියෙමු’ යන්නෙන් අදහස් කෙරෙන්නේ අප නිහඬව සිටි බවක් නොවේ. ජනතාව නියෝජනය කරන පුවත්පතක් වශයෙන් අවශ්‍ය තැනදී කිය යුත්ත නොපැකිළිව අපි කීවෙමු. ගෙවී ගිය පස් වසරක පමණ කාලය තුළ මෙම පුවත්පතෙහි පළ වූ කතුවැකි ඔස්සේ අතීතයට යන අයකුට ඒ බැව් එකහෙළාම වැටහී යනු ඇත. එහෙත් අපගේ අදහස් ගණන් ගත යුතු තරම් යැයි බලධාරීහු නොසිතූහ.

බලය යනු හෂීස් හෝ හෙරොයින් වැනි මත්ද්‍රව්‍යයකට වඩා භයානකය. එමෙන්ම ඇබ්බැහිකම් ඇතිකරවන සුලුය. බලයෙහි ග්‍රහණයට හසු වූවෝ බලයෙන් මත් වී විකාර කරනු විනා මොනම අවස්ථාවකදී හෝ යථාර්ථයට මුහුණදීමට නොපෙළඹෙති. බලය දූෂණයටද, සර්වාධිකාරී බලය සර්ව ව්‍යාප්ත දූෂණයටද මඟ පාදතැයි බ්‍රිතාන්‍ය දේශපාලනඥයකු විසින් ප්‍රකාශ කරන ලද්දේ එබැවිනි. දූෂණය සිංහාසනාරූඪ වූ කල්හි ජන සමාජය වල්වදියි. ජන සම්මතය වල් වැදුණු කල්හි පොදු යහපත අභාවයට යයි.

ජනතාව වෙතින් ලද බලය ජනතාවගේ යහපත සඳහා නොව හුදෙක් ආත්මාර්ථය සඳහා යොදාගන්නා යමෙකු වෙතොත් හේ ජනතා ද්‍රෝහියෙකි. තවත් අයුරකින් කිවහොත් ජාති ද්‍රෝහියෙකි. එබඳු පුද්ගලයින් යටතේ විනාශයක්ම විනා සුගතියක් විය නොහැකිය. මෙය වර්තමාන බලධාරීන් විසින් ඉතා බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තකි. එසේම සලකා බැලීමෙන් නොනැවතී සිය ප්‍රතිපත්ති සඳහා පදනම් කර ගත යුත්තකි. මෙබඳු ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයක් වී නම් අද මේ මොහොතේ මේ රටේ සිදුවන විනාශකාරී ප්‍රචණ්ඩ සිදුවීම් බොහෝ දුරට වළක්වා ලිය හැකිව තිබිණි.

පසුගිය සිකුරාදා ත්‍රිකුණාමලය ආසන්නයේ වූ බිම් බෝම්බ පිපිරීමකින් 18 දෙනෙක් මිය ගියහ. එසේම කොළඹ එලිෆන්ට් හවුස්හි වූ බෝම්බ පිපිරීමෙන් 8 දෙනෙක් මිය ගියහ. ඊට කලින් ඉරිදා දිනයෙහි මහදිවුල්වැව සිංහපුරයේ කුඩා දරුවන් හා කාන්තාවන් ඇතුළු 21 දෙනෙක් ඝාතනය කරනු ලැබූහ. මෙසේ සතියක් තුළ මිය ගිය වුන්ගේ සංඛ්‍යාව හතලිස් හතකි. අකාලයේ මරු දුටු මේ වැඩි දෙනෙකු ම කිසිවකුටත් හානියක් නොකළ අහිංසකයෝය.

රටක පුරවැසියන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරලීම එම රටෙහි පාලන තන්ත්‍රය භාර පාලකයින්ගේ මූලික යුතුකමකි. සැඟවී සිට පහර දෙන ත්‍රස්තවාදීන් මෙල්ල කිරීම දුෂ්කර යැයි කී පමණින් හෝ ලෝකයේ බොහෝ රටවල මෙබඳු ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙතැයි කී පමණින් හෝ එම වගකීමෙන් බේරීමට රජයකට පුළුවන්කමක් නැත.

මෙකී සෑම ප්‍රශ්නයකටම විසඳුම් ඇත. රජය එම විසඳුම් සොයා ඒවා ක්‍රියාත්මක කළ යුතුය. එසේ කළ නොහැකි නම් කළ හැකි අයට ඉඩ දිය යුතුය. අහිංසක දරුවන්, කාන්තාවන් හා මිනිසුන් ත්‍රස්තවාදීන් අතින් සතුන් සේ ඝාතනය වීමට ඉඩ හැරීම පොළොව නුහුලන අපරාධයකි.

තර්ජනයකට මුහුණදීමේදී පළමුව එම තර්ජනයේ ස්වරූපය හා ස්වභාවයද පරිමාණයද මැනගත යුතුය. දෙවනුව එය මැඩපැවැත්වීම සඳහා බුද්ධිමත්ව හා උපායශීලීව ක්‍රමෝපායන් සකසා එකී ක්‍රමෝපායන් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කළ යුතුය.

මේ කිසිවක් සිදුනොවන බැව් උතුරු නැඟෙනහිර පළාත්වල නොව කොළඹ නගරයෙහිම අහිංසකයින්ගේ ජීවිත වනසමින් වරින් වර පිපිරෙන බෝම්බවලින් පැහැදිලිවම ඔප්පු වෙයි. මෙය වැළැක්විය නොහැකිද? සහතික වශයෙන්ම වැළැක්විය හැකිය. අප එසේ කියන්නේ බලධාරීන් අභියෝග කළහොත් ඊටද පිළිතුරු දීමට සූදානම්වය.

පෙරදී උතුරේ සිට කොළඹට සුරුට්ටු ප්‍රවාහනය කළාටත් වඩා පහසුවෙන් අද උතුරේ සිට කොළඹට බෝම්බ ප්‍රවාහනය කෙරෙන බැව් පෙනේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සහ කොළඹ කොටුවේ සී.ටී.ඕ. ගොඩනැඟිල්ලේ ද ඉන්පසු අලියා සිසිල්බීම කම්හලේද පිපිරුවේ උතුරින් එවූ බෝම්බ හෝ උතුරෙන් එවූ පුපුරන ද්‍රව්‍ය යොදා දකුණේ තැනූ බෝම්බය.

සැතපුම් දෙසිය ගණනක් දුර ගෙවා කිසිදු බාධකයකින් තොරව මෙකී පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ දකුණට ප්‍රවාහනය කරන ලද්දේ කෙසේද?

ජීවිත ගණනාවක් නැති කරමින් මට්ටක්කුලියේදී පිපිරුනේ උතුරින් ගෙන ආ ගෑස් සිලින්ඩරයක වූ බෝම්බයකි. අනුරාධපුරයේ තෙල් සංස්ථා ගබඩාවේදී පිපිරුනේ උතුරින් පැමිණි තෙල් බවුසරයක වූ බෝම්බයකි. ගත වූ සතියේ පිපිරෙන්නට කලින් සොයා ගනු ලැබුවේ කොළඹ හතරවැනි හරස් වීථියට උතුරේ සිට පැමිණි ලොරියකින් ගෙන ආ මිරිස් ගෝනියක් තුළ වූ බෝම්බයකි.

මේ සියල්ල සිදුවන්නේ ජනතාවගේ ආරක්ෂාව සඳහා යැයි කියමින් ක්‍රියාත්මක කෙරෙන හදිසි  නීතිය හා උපරිම ආරක්ෂක විධි විධාන යටතේය. මේ සියල්ල තිබියදී ත්‍රස්තවාදීන්ට තමන් රිසි සේ පන්දු කෙළින්නට නිදහස ඇත්නම් ඉන් පෙනී යන්නේ බලධාරීන්ගේ අමණකම් විනා අන් කුමක්ද?

මේ සිද්ධීන් ඇස් පනා පිට සිදුව තිබියදී උතුරින් පැමිණි ලොරියක් කිසිදු පරීක්ෂණයකින් තොරව එලිෆන්ට් හවුස් කොම්පැනිය තුළට ගැනීමට අවසර දුන්නෝ කවරහුද? ඔවුන් හා ඔවුන් මෙහෙය වන්නෝ අමණයෝ නොවෙති නම් අන් කවරහුද?

එසේම ත්‍රස්තවාදීහු සිංහල ගම්මානවලට පැන බල්ලන් බළලුන් මරන්නා සේ අහිංසක ගැමියන් ඝාතනය කර පළා යති. සියලු ආරක්ෂක විධි විධාන යොදනු ලබන්නේ ඉන් පසුවය. මෙය අශ්වයා පැන ගිය පසු ස්තාලයේ දොර වසන්නාක් වැනි බූරු වැඩක් නොවේද?

රටේ ආරක්ෂක කටයුතු සඳහා අමාත්‍යාංශ හයක්ම වෙයි. එහෙත් රටේ ජනතාවට අද මූලික වශයෙන්ම නැත්තේද ආරක්ෂාවමය. ඊට වගකිය යුත්තෝ කවරහුද? තමන්ගේ ආරක්ෂාවට පමණක් සෑම විධි විධානයක්ම යොදාගෙන නිහඬව සිටීම පහසුය. එහෙත් එකී වගකීමෙන් ගැලවිය හැකිද? රටේ හැම තැනක්ම ආරක්ෂා කළ නොහැකි යැයි ද, එබැවින් තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතු යැයිද කීම කිසිදු වගකීමකින් තොර ප්‍රකාශයකි. එබඳු නපුංසක ප්‍රකාශයක් මේ රටේ ඉතිහාසයෙහි මින් පෙර කිසිදු අවස්ථාවක ලියැවී ඇති බවක් අපි නොදනිමු.

එබැවින් ජනතාවගේ ආරක්ෂාව සඳහා උපායශීලීව හා බුද්ධිමත්ව සැලසුම් කළ මධ්‍යගත ක්‍රියා පිළිවෙතක් වහාම ඇති කළ යුතු යැයි අපි එක හෙළාම කියා සිටින්නෙමු. රට වැසියනට තමන් විසින්ම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සිදුවන්නේ අරාජික යුගයන්හිදීය. එබඳු යුගයක් මේ රටේ උදා වී නැතැයි අපි තවමත් විශ්වාස කරන්නෙමු.

 

‘දිවයින ඉරිදා සංග්‍රහය, 1986 ජූනි 02  

1 comment: