Saturday, October 11, 2025

ඩිජිටල් යුගයේ සංස්කෘත ලකුණ


ඉන්දියාව
යනු දැවැන්ත සංස්කෘතික උරුමයන්ගෙන් පිරිපුන් දේශයකි. ඒ උරුමයෙහි බලපෑම කොතෙක්ද යත්, ඉන්දියාවේ නූතන විද්‍යා තාක්ෂණ පර්යේෂණවලදී පවා ඒ අතීත දැනුම් පද්ධතියේ නන් විධ මූලයන් ඔස්සේ සිදු කරන ගවේෂණවල ලකුණු දක්නට ලැබේ. එලෙස, ඉපැරණි ඉන්දියානු උරුමයන් අතර වන සංස්කෘත භාෂාව, නූතන විද්‍යා සන්නිවේදනය, පරිගණක වැඩ සටහන් කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කිරීම යනු ක්‍රිස්තු පූර්ව අවධියේ දැනුමක් නූතන ඩිජිටල් යුගය තුළ ස්ථානගත කරන සුවිශේෂී අවස්ථාවකි. ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය පුනිත් කුමාර් සහ ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයෙහි උපදේශක සහ ප්‍රධානියා වූ ආචාර්ය සංජිවි කුමාර් වනි විසින් Science India සඟරාවට ලියන ලද ලිපියක් ඇසුරෙන් සැකසුණු මේ ලිපිය, ඉපැරණි ඉන්දියානු භාෂා උරුමයක් නූතන ඩිජිටල් ලෝකය තුළ ස්ථානගත කිරීමේ ඒ අපූරු කටයුත්ත ගැනය.

Monday, October 6, 2025

යුක්‍රේනය හෙවත් AI යුද විද්‍යාගාරය


 

2022 ජූනි 1 වැනි දින උදෑසන, දත්ත විශ්ලේෂණ සමාගමක් වන Palantir Technologies හි ප්‍රධාන විධායක නිලධාරී වන ඇලෙක්ස් කාර්ප්, සිය සගයන් පස් දෙනෙකු සමඟ පා ගමනින් පෝලන්තය සහ යුක්‍රේනය අතර දේශ සීමාව තරණය කළේය. අනෙක් පැත්තේ, තැලුණු Toyota Land Cruiser වාහන දෙකක් ඔවුන් එන තුරු බලා සිටියේය. සන්නද්ධ ආරක්ෂකයින් විසින් පැදවූ ඔවුන්ගේ වාහන දෙක බෝම්බ හෙලන ලද ගොඩනැගිලි, කාලතුවක්කු ප්‍රහාර වලින් හානි වූ පාලම්. පිළිස්සුණු ට්‍රක් රථවල නටබුන් පසු කරමින් හිස් අධිවේගී මාර්ග ඔස්සේ යුක්‍රේනයේ අගනුවර වූ කියෙව් දෙසට වේගයෙන් ගමන් කළේය.

Friday, October 3, 2025

ලෝකයේ ඝාතන ලයිස්තු දේශපාලනය හා තාක්ෂණය


ගාසා තීරයේ බෝම්බ හෙලීමේ ක්‍රියාන්විතයේදී පලස්තීනුවන් දහස් ගණනක් ඉලක්ක කර ගැනීම සඳහා ඊශ්‍රායලය “ලැවෙන්ඩර්” (“Lavender”)  නම් කෘත්‍රිම බුද්ධි AI පද්ධතියක් භාවිත කිරීම පිළිබඳ සවිස්තර වාර්තාවක්, ඊශ්‍රායලයේ ‘+972’ නමැති මාර්ගගත සඟරාව, පළ කළේය. 2023 ඔක්තෝබර් 7 වැනිදායින් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විට, හමාස් හෝ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන පලස්තීනුවන් 37,000කගේ දත්ත ගබඩාවක් ‘ලැවෙන්ඩර්’ පද්ධතිය සතුව තිබිණි.

ලැවෙන්ඩර්’ පද්ධතිය, ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය දත්ත මත පදනම්ව ගාසා තීරයේ සෑම පුද්ගලයකුටම එක සිට සියය දක්වා ලකුණු ලබා දෙන අතර, ඉහළ ලකුණු ඇති අයව එහි සැක කටයුතු සටන්කාමීන්ගේ ඝාතන ලැයිස්තුවට ස්වයංක්‍රීයව එක් කරනු ලබයි. ඉන්පසු  ඊශ්‍රායලය  “Where’s Daddy?” (“තාත්තා කොහෙද?”) නමින් හැඳින්වෙන වෙනත් ස්වයංක්‍රීය පද්ධතියක්, මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ නිවෙස් තුළදී මරා දැමීම සඳහා ගුවන් ප්‍රහාර කැඳවීමට භාවිත කරයි.

Wednesday, December 25, 2024

අපේ ජීවිත, කුරුල්ලෙකුගේ ජීවිතය තරම්වත් වටින්නේ නැහැ ! - භෝපාල් ගෑස් ඛේදවාචකයේ වින්දිතයන්

 


1984 දෙසැම්බර් 2 හා 3 දිනවල ඉන්දියාවේ සිදු වූ ‘භෝපාල් ගෑස් කාන්දුව’ ලෝකයේ මාරාන්තික කාර්මික ව්‍යසනය ලෙස සැලකේ. එම ඛේදවාචකයට පසුගියදා වසර 40ක් සම්පූර්ණ විණි. භෝපාල්  ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් කාන්තාවන් දෙදෙනකු වන රෂීඩා බී සහ චම්පා දේවි ශුක්ලා ඉන්දියාවේ දීර්ඝතම පාරිසරික යුක්ති ව්‍යාපාරයට නායකත්වය දුන්හ. ඉන්දියාවේ FRONTLINE සඟරාව ඔවුන් දෙදෙනා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියක් පසුගියදා පළ කරන ලදී. මේ, ඒ ඇසුරෙන් සැකසුණු ලිපියකි. (මෙම සම්පූර්ණ ලිපිය සංස්ක‍රණය කොට සැකසුණු ලිපිය 2024 දෙසැම්බර් 25 විදුසර පුවත්පතේ පළ වී ඇත.)



, 1984 වසරේ දෙසැම්බර් 2 හා 3 දිනයන්ය. භෝපාල්හි ‘යුනියන් කාබයිඩ්’ පළිබෝධනාශක කම්හලෙන් උග්‍ර විෂ සහිත methyl isocyanate වායුව ටොන් 40ක් පමණ කාන්දු වී ගියේ, පැය කිහිපයක් ඇතුළත නගර වැසියන්ගේ හුස්ම හිර කර, ඇස් අන්ධ කරමින් සහ එහි වඩාත්ම අවදානමට ලක්විය හැකි වැසියන් දරුණු ලෙස පීඩාවට ලක් කරමිනි. මෙම ව්‍යසනය, පැහැදිලි නිරාපදතා අඩුපාඩු, වියදම් අඩුකිරීම් සහ තාක්ෂණික අසාර්ථකත්වයන් හේතුවෙන්, එතැන් සිට ජීවිත 25,000කට අධික සංඛ්‍යාවක් බිලිගෙන ඇති අතර, ජීවිත කාලය පුරාම තුවාල, නිදන්ගත රෝග සහ කම්පනවලින් මිලියන භාගයකට අධික ජනතාවක් පීඩාවට පත් කර තිබේ.

Sunday, October 23, 2022

සිංහල පුවත්පත් කතුවැකි කලාවේ දයාසේන ගුණසිංහ ලකුණ

 

            රටක ජනමතය සංවිධානය කිරීමෙහිලා පුවත්පත් කතුවැකිය ඉටු කරන්නේ ප‍්‍රමුඛ භූමිකාවකි. කතුවැකියපුවත්පතේ මතවාදී ආස්ථානය, සමාජය තුළ එම පුවත්පතෙහි භූමිකාව නිරූපණය වන න්‍යෂ්ටිය ලෙස සැලකීම යුක්ති යුක්ත ය. දේශපාලනික - ආර්ථික - සාමාජික - සංස්කෘතික වශයෙන් සමාජයේ උද්ගතවන කිසියම් ප‍්‍රශ්නයක් හෝ සිදුවීමක් හෝ සම්බන්ධ ව පුවත්පත දරන මතය කතුවැකිය නිරූපණය කරයි. පුවත්පතේ විශේෂාංග ලිපියක් තුළ අදාළ ප‍්‍රස්තූතය සාකච්ඡා කරනවාට වඩා, එකී ප‍්‍රස්තූතය පිළිබඳ ව කතුවැකියලිවීම වඩාත් බලපෑම් සහගත වේ.

Monday, September 19, 2022

‘කැමීලියා’ : තිස්ස නිහාල් වික්‍රමසිංහ (සහෘද සටහනක් )

 

            ‘නවකතාවක් ලිවීම යනු පෞද්ගලික වැඩබිමක් යැයි කියැවෙන කියමනක් කොතැනකදී හෝ කියවා තිබුණා මතක ය. කාලය හා අවකාශය කළමනාකරණය, චරිත හා ගැටුම් කළමනාකරණය ඇතුළු වැඩකටයුතු රාශියක් නවකතා රචකයකුට සිය පෞද්ගලික වැඩ බිම තුළ කරගෙන යන්නට සිදු වන අතර, එම වැඩ බිම වසා දැමෙන්නේ නවකතා අත්පිටපත පොතක් ලෙස ප්‍රකාශයට පත් වූ පසුය. රචකයා සිය මනසෙහි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ඒ පරිකල්පනීය වැඩ බිමෙහි මහරු අස්වැන්න වන්නේ නවකතාවයි.

Friday, July 15, 2022

නේපාලය බිඳ දැමීමේ 2015 ඉන්දියානු සැලැසුම හා ලංකාව බිඳදැමීමේ 2022 ඉන්දියානු සැලසුම

මා විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි 2022 ජූලි 09 වන දින පළ වූ ලිපියකි.

 



ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදයේ මහ මොළකරු ඉන්දියාව බව ඉතා පැහැදිලිය. අප එසේ කියන්නේ, ඉන්දියාව විසින් 2015 වසරේ නේපාලයේ පාලන තන්ත්‍රය බිඳ දැමීමට ක්‍රියාත්මක කළ උපාය මාර්ගික සැලසුම විශ්ලේෂණය කර බැලීමේදී එහි ‘උපක්‍රමික රටාව මේ මොහොතේ ලංකාවේ ආර්ථික - දේශපාලන අර්බුදය තුළද පැහැදිලිව හඳුනාගත හැකි බැවිනි.

පුද්ගලයකුගේ හෝ සංවිධානයක හැසිරීම සම්බන්ධ බුද්ධි තොරතුරු විශ්ලේෂණයේදී හඳුනාගත හැකි සුවිශේෂ දෙයක් වන්නේ එම හැසිරීම් මාලාව තුළ ඊටම අනන්‍ය රටාවක් පැවතීම බවත්, එහි අනාගත හැසිරීම් දිශානති පුරෝකථනය කිරීම හා හඳුනාගැනීම සඳහා එම රටාව හඳුනාගැනීම අතිශයින්ම වැදගත් වන බවත් Richards J. Heuer, Jr. සිය Psychology of  Intelligence Analysis  කෘතියෙහි වැඩිදුරටත් පෙන්වා දෙයි.

             මෙම විග්‍රහය ලංකාවේ වර්තමාන අර්බුදය විශ්ලේෂණය සඳහා තියුණු මඟ පෙන්වීමක් කරයි.

Friday, April 15, 2022

1971 : අඩ සියවසකට පසු ප්‍රති විශ්ලේෂණයක්

 



1971 සිදුවීම තවදුරටත් කැපකිරීම හා වීරත්වය යන පටු චිත්‍රය තුළ තබා කියවමින් සාම්ප්‍රදායික විප්ලවීය ආස්වාදය විඳීම වෙනුවට, වසර 50කට පසුව හෝ වඩා පුළුල් චිත්‍රය තුළ එය ස්ථානගත කොටගෙන විශ්ලේෂණය කර ගැනීම අත්‍යවශ්‍යය. ඇමරිකානු මධ්‍යම තොරතුරු ඒජන්සියේ හෙවත් සී.අයි.ඒ. සංවිධානයේ බුද්ධි තොරතුරු විශ්ලේෂකයකු වූ Richards J. Heuer, (Jr.) සිය Psychology of Intelligence Analysis  කෘතියෙහි සඳහන් කරන ආකාරයට, නිගමන වරදින්නේ දත්ත $ තොරතුරුවල වරදක් නිසා නොව එම දත්ත $තොරතුරු විශ්ලේෂණය කරගන්නා ආකාරයේ වරද නිසා ය. 1971 සිදුවීම සම්බන්ධ තොරතුරු, පුද්ගල අත්දැකීම් පසුගිය වසර 50 තුළ කොතෙකුත් සාකච්ඡා වී තිබේ. නමුත් ඒ සාකච්ඡා $ විශ්ලේෂණ ලංකාව නමැති පශ්චාත් යටත්විජිත ජාතික රාජ්‍යයේ සමාජ - දේශපාලන - ආර්ථීක පටු විෂය රාමුවෙන් ඔබ්බට නොගියේය. ඒ වෙනුවට මෙම විශ්ලේෂණය '1971 සිදුවීම' ඊට පෙර කාලීන, සමකාලීන හා පසුකාලීන ලෝක ආර්ථීක - දේශපාලන මොහොත හා ලාංකේය ආර්ථීක - දේශපාලන මොහොත යන පුළුල් චිත්‍රය තුළ තබා විශ්ලේෂණය කරයි. මෙම විශ්ලේෂණය කිසි විටෙකත් 1971 අරගලයට දායක වූ පරම්පරාවේ ‘සමාජ අභිලාෂය අවතක්සේරු නොකරයි. නමුත් ‘1971 ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ අධිරාජ්‍යවාදී බල ව්‍යාපෘතියේ සවිඥානික කොටසක් බවට පාවිච්චිවීමේ පුළුල් චිත්‍රය විශ්ලේෂණය කරයි.

Thursday, January 6, 2022

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ විදේශීය ඔත්තුසේවා දේශපාලනය (පුංචි පුංචි බණ්ඩලා ගැන ලොකු කතාවක්)



 

පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනයේ ස්වභාවය තීරණය කරන තීරණාත්මක සාධකයක් ලෙස විදේශීය ඔත්තු සේවාවන්ගේ මැදිහත්වීම හඳුනාගත හැකිය. එහෙත් මෙම සුවිශේෂී සාධකය විවිධ මතුපිට හැඩතල විසින් සඟවා ඇති අතර, ඒ හේතුවෙන් එම සාධකයට චිරාත් කාලයක් ලාංකේය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය තීරණය කරන්නට, ආණ්ඩු පක්ෂ - විරුද්ධ පක්ෂ සිය උපාය මාර්ගික භූ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කළමනාකරණය කරන්නට හැකි වී තිබේ. මෙබඳු පසුබිමක ජනතා පරමාධිපත්‍යය යන්න කෙතරම් විකාරරූපී ස්වරූපයක් ගෙන ඇත්ද යන්න වර්තමාන ලාංකේය දේශපාලනය තුළින්ම වුව හඳුනාගත හැකිය.

Friday, November 19, 2021

මවක් පුතකුට


 

පුතණුවනි,

කියමි මම නුඹට

පළිඟු පියගැටපෙළක් නොවූ වග

ජීවිතය මා හට...

Saturday, October 9, 2021

‘ලංකාව තමන්ගේ නිජභූමිය බව කියන්නට අයිතිය තිබෙන්නේ වැදි ජනතාවට පමණයි‘. - ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල

මගේ පුවත්පත්කලා ජීවිතයේ ලද මහඟු අවස්ථාවක් වූයේ විවිධ විද්වතුන් සමග විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධව සම්මුඛ සාකච්ඡා පවත්වන්නට ලැබීමය. ‘මුරගල’ සඟරාවේ කටයුතු කරමින් සිටි අවධියේ එබඳු අවස්ථා ගණනාවක් උදා වූ අතර, ඒ අනුව එබඳු සුවිශේෂ සම්මුඛ සාකච්ඡාවක් 2007 නොවැම්බර් 25 වන දා පැවැත්වීමට ලැබුණේ කුරුවිට එක්නැලිගොඩ වලව්වේදීය. ඒ දැනට දින කිහිපයකට ඉහත ජීවිතයෙන් සමුගත්, ලෝ ප්‍රකට විද්වතකු වූ ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා සමගය. ඔහු සිය පුරා විද්‍යා කැණීම් මගින් අනාවරණය කරගත් කාරණා ප්‍රාග් ඓතිහාසික මානවයා සම්බන්ධව ලෝක පරිමාණ වැදගත්කමක් උසුලයි. එසේම, ලංකාවේ ඉතිහාසය පිළිබඳ පිළිගත් මති මතාන්තර අභියෝගයට ලක්කරන පුරා විද්‍යාත්මක සාධක රැසක් ඔහුගේ පර්යේෂණ මගින් අනාවරණය කර ගෙන තිබේ. ආචාර්ය දැරණියගල මහතා සමග සිදු කෙරුණු මෙම සම්මුඛ සාකච්ඡාවෙන් ප්‍රාග් ඉතිහාසය පිළිබඳව එබඳු සුවිශේෂ කරුණු රැසක් අනාවරණය කරගත විණි.

Wednesday, October 6, 2021

තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමකි. - දයාසේන ගුණසිංහ


අපේ රටේ සුවිශිෂ්ට පුවත්පත්කලාවේදියකු වූ දයාසේන ගුණසිංහයන් අප අතරින් නික්ම ගොස් ඔක්තෝබර් 07 එනම් අද දිනට වසර 25ක් සපිරෙයි. ඔහු විසින් 1989 නොවැම්බර් මස 06 වැනි දින, 'විදුසර' පුවත්පතේ දෙවර්ෂ පූර්ණ අතිරේකයට ලියන ලද මෙම ලිපිය උපුටා දක්වන්නේ ගුණසිංහ මහතා වෙත කරන උපහාරයක් වශයෙනි. දශක තුනකට පෙර ඔහු විසින් මෙම ලිපිය මගින් ඉදිරිපත් කරන අදහස් පුවත්පත්කලාවේදී ඔහු පිහිටා සිටි ආස්ථානය අනාවරණය කරන ඓතිහාසික ලේඛනයක් වන්නේය.

 

            ‘දෙවියන් වහන්සේ යම් අයකු සමග ඉතා තදින් උරණ වූ විට එම තැනැත්තා තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියකු බවට පත් කරතැ’යි කියමනක් පුවත්පත් ලෝකයේ වෙයි. සැබැවින්ම තුන්වැනි ලෝකයේ පුවත්පත්කලාවේදියා‍ වෙත පැවරී ඇත්තේ මෙහෙවරක් නොව දඬුවමක් යැයි සිතෙන තරමට ඔහුගේ වෘත්තිය දුෂ්කරය. එමෙන්ම කටුකය. එහෙත් ඇතැම් විට එය අන් කිසිදු වෘත්තියකින් නොලැබිය හැකි තරමේ තෘප්තියක් හා චෛතසික සුවයක් ලබා දෙන වෘත්තියක් බවද කිය යුතු වේ. 

Sunday, September 19, 2021

සටන් සගයකුගේ සමුගැනීම : ‘දිනේෂ් / පරාක්‍රම සහෝදරයාගේ’ හෙවත් වෛද්‍ය සුදත් බණ්ඩාරගේ නික්ම යාම

 


තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයා කතා කළේ උදාසනමය.

මල්ලි... මගේ ළඟම හිතවත් ඩොක්ටර් කෙනෙක් මැරිලා කොවිඩ් හැදිලා. කුරුණෑගල හොස්පිට්ල් එකේ වැඩ කළේ. මට අවුරුදු 32කින් මුණගැහිලා නැහැ. සුදත් බණ්ඩාර කියල ඩොක්ටර් කෙනෙක්. ඒ කාලෙ මාර පොරක් !

Saturday, July 24, 2021

ඊශ්‍රායලය තැනූ පිට්ටනියේ 30 වසරක් යුද වැදුණු ශ්‍රී ලංකාව (1983 කළු ජූලියේ ඊශ්‍රායල භූමිකාව :දේශපාලන අන්වීක්ෂ පරීක්ෂාවක්)

 

විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි පළ වූ ලිපියකි.


 

ජූලියේ ගිනි දැයට වින කළ දා 

අසරණව අප සැවොම ඉකිබින්දා

අපේ කුළැල් ඔබ නොදුටු හින්දා

ඔබත් වියරුව අපට ගිනි බින්දා

වෛරයෙන් වෛරයම ලුහු බැන්දා

මේ පද පෙළ ඇතුළත් වන්නේ මහාචාර්ය අතුල සුමතිපාලයන් විසින් ලියන ලද ගීතයකය. 1983 කළු ජූලිය පිළිබ ප්‍රති විශ්ලේෂණයක් සහා මේ පදවැල් ඉතා උචිත ප්‍රවේශයක් සපයයි. 1983 පිළිබව සාම්ප්‍රදායිකව ලියැවුණු හා ලියැවෙන බොහෝ දේ, පුද්ගල අත්දැකීම්, විග්‍රහ ආදිය කොතෙකුත් දැකිය හැකි නමුත් මෙතෙක් මේ සම්බන්ධව සාකච්ඡා වී නොමැති යටි පෙළක් මේ 1983 ජූලි සිදුවීම් හා සබැී පවතින අතර එය විමර්ශනය කිරීම මෙහි අරමුණයි.

Saturday, July 17, 2021

ඇමරිකානු පදයට ලෝකය නටවන USAID

 විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි පළ වූ ලිපියකි.

එවකට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිගේ මැදිහත්වීමෙන් 1961 වසරේදී United States Agency for International Development (USAID) ආයතනය පිහිටු වූයේ ‘ඇමරිකා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය හා ‘අන්තර්ජාතික සංවර්ධන ආධාර යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කරමිනි. එමගින් එක්සත් ජනපදයේ අන්තර්ජාතික භූ දේශපාලන උපාය මාර්ගය පුළුල් පරාසයක ක්‍රියාත්මක කිරීමටත්, එහිදී වඩා වැඩි ඵලදායීභාවයක් අත්පත් කරගැනීමටත් අපේක්ෂා කෙරිණි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොටගත් කඳවුරු දෙක සහිත සමකාලීන ද්වි ධ්‍රැවීය ලෝක දේශපාලන යථාර්ථය තුළ තම කඳවුරේ බලය ව්‍යාප්ත කර ගැනීම එහි අප්‍රකාශිත අරමුණ විණි.

Friday, July 2, 2021

සදාකාලික ශිෂ්‍යයකුගේ අස්වැන්න හෙවත් ගෙවුණු දශකයේ මගේ ලිවිසැරි පියසටහන්

ගෙවුණු දශකයේ (2011-2021) මගේ මුද්‍රිත පොත් අස්වැන්න 7කි.

මා විසින් රචිත පළමු ග්‍රන්ථය පළවූයේ 2011 ජූලි මාසයේදීය. ඒ, ‘සී/ස සඳ එළිය’ නමැති කෙටිකතා සංග්‍රහයයි. දෙවන කෘතිය වූ ‘දයාසේන ගුණසිංහ - තීරු රචනා විමර්ශන’ 2011 අගෝස්තු මාසයේදී පළ විණි. මේ ග්‍රන්ථ දෙකම එස්. සිවකුමාර් සහෝදරයාගේ ‘සඳකඩපහණ’ ප්‍රකාශන ආයතනයෙන් පළ කෙරිණ.

Monday, June 7, 2021

අධ්‍යාපනය : වෙළෙඳපොළ සඳහා ද? ශිෂ්ටාචාරය සඳහාද?

මා විසින් Lanka Lead News වෙබ් අඩවියට ලියූ ලිපියකි.


ලාංකේය ස්වභාෂා අධ්‍යාපනයට ඉහළින් නැවතත් කනකොක් හඬක්ද, කනකොක් පියාසැරියක්ද අසන්නට දකින්නට අපට සිදුවී තිබේ.

එක් ආගමික සාහිත්‍යයක මෙබඳු පාඨයක් සඳහන්ව තිබෙනු අපි අසා ඇත්තෙමු.

“වෙනස් කළ යුතු දේ වෙනස් කිරීමට දිරියද, වෙනස් නොකළ යුතු දේ නොවෙනස්ව තබා ගැනීමට සවියද ඒ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට නුවණද කරුණාවෙන් මට දානය කළ මැනව.”

Tuesday, June 1, 2021

දයාසේන ගුණසිංහ: 35 වසරකට පෙර ලියූ අවසන් කතුවැකිය

  

අදින් හරියටම වසර 35කට පෙර, එනම් 1986 ජූනි මස 02 වන දින මෙරට ජාතික පුවත්පතක සුවිශේෂ කතුවැකියක් පළවිණ. එම පුවත්පත ‘දිවයින ඉරිදා සංග්‍රහය වූ අතර, කතුවැකියේ රචකයා වූයේ ‘දයාසේන ගුණසිංහ’ නමැති අභීත පුවත්පත් කලාවේදියාය. “අද පවතින්නේ අරාජික යුගයක්ද?” යන මැයෙන් වූ එම කතුවැකියට නිමිත්ත වූයේ, එවක කොටි ත්‍රස්තවාදීන් විසින් නිරන්තරයෙන්ම සිදු කළ බෝම්බ පිපිරවීම් නිසා මෙරට පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබූ පසුබිමක, එවක මෙරට රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින්, “රටවැසියා තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගත යුතුය” යනුවෙන් කළ වගකීම් විරහිත ප්‍රකාශයයි. මෙම ප්‍රකාශය නිර්දය ලෙස විවේචනය කරමින් ගුණසිංහයන් විසින් ලියූ කතුවැකිය, ජයවර්ධන ජනාධිපතිවරයා කියවූයේ, එවකට එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව සිටි විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයකු ලවා ඉංග්‍රීසියට පරිවර්තනය කර ගැනීමෙනි. කතුවැකි රචකයා විසින් ජනාධිපතිවරයාට එල්ල කළ ප්‍රහාරය කෙතරම් ප්‍රබල වීද යත්, ඊට ලැබුණු ප්‍රතිප්‍රහාරය වූයේ ගුණසිංහයන් “දිවයින ඉරිදා සංග්‍රහයේ” රැකියාවෙන් වහාම ඉවත්කිරීමට එහි පාලනාධිකාරයට ජනාධිපතිවරයා ඍජුවම නියෝග කිරීමයි. එහි ප්‍රතිඵලය ලෙස, දයාසේන ගුණසිංහයන් විසින් අවසන් වරට ලියන ලද කතුවැකිය බවට 1986 ජූනි 02 වන දා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පළ වූ කතුවැකිය පත් විණි. එසේම පසුකාලීනව එය මෙරට සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂ ලියැවිල්ලක් බවට පත් වූයේ, මෙරට පුවත්පත්කලා ඉතිහාසයේ, කතුවැකි රචකයකුට ස්වකීය මතවාදය හේතුවෙන් සිය රැකියාවෙන් වන්දිගෙවිමට සිදු වූ කතුවැකිය ලෙසට එය හඳුනාගත් බැවිනි.

පහත පළ වන්නේ එම ඓතිහාසිකවූත්, සුවිශේෂීවූත් කතුවැකියයි.

Tuesday, May 18, 2021

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක්

 


2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.

Sunday, May 9, 2021

කොවිඩ් සටනින් දේශීය වෙදකම පළවාහැරීම : විද්‍යාත්මක අරමුණක්ද? වෙළෙඳපොළ වුවමනාවක්ද?


 

අත්‍යවශ්‍ය පෙර සටහන :

කොවිඩ් මර්දනය සඳහා මෙරට තිබූ ප්‍රධානතම  බාධකය මේ වන විට බිඳ දමා අවසන්ය. ඒ බාධකය වූ කලී දේශීය දැනුම පදනම් කර ගත් ඖෂධ - ප්‍රතිකාර කොවිඩ් පාලනය සඳහා භාවිත කිරීමයි. මෙහි කූට ප්‍රාප්තිය ලෙස ගත හැක්කේ කොවිඩ් වෛරසය මැඩ පැවැත්වීම සඳහා ධම්මික පැණිය අසමත් බව සායනික පරීක්ෂණ අනුව තහවුරු කිරීමත්, ඒ අනුව එම පැණිය තවදුරටත් නිෂ්පාදනය කිරීම අත්හිටුවීමට පියවර ගැනීමත්ය. මේ අතර කොවිඩ් වෛරසය පාලනය සඳහා එකම විසඳුම එන්නත්කරණය බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඓතිහාසික වෛද්‍ය සම්ප්‍රදායක්, වසර සිය දහස් ගණනක් තිස්සේ පැවත ආ මානව සෞඛ්‍යය හා සබැඳි චින්තන ප්‍රවාහයක් - සංස්කෘතියක් කෙළ පිඩක් සේ බැහැර කර තිබේ.

Sunday, April 11, 2021

අපි ඔබ වෙනුවෙන් හදාරමු! (උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි නිබන්ධ කුළියට ලියනු ලැබේ.)


 Lanka Lead News ව‍ෙබ් අඩවියට මා ලියූ ලිපියකි.

 

සති අන්ත සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන උපාධි – පශ්චාත් උපාධි – ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ දැන්වීම්වලින් ද, ඒවායේ උපාධි ප්‍රදානෝත්සවවල ආකර්ෂණීය ඡායාරූපවලින් ද සැරසුණු පිටු – අතිරේක බලන විට හැඟෙන්නේ, වර්තමානයේ මෙරට තුළ පවතින උසස් අධ්‍යාපන අවස්ථා, ඒවාට යොමුවීමට තරුණ ප්‍රජාවේ ඇති ශාස්ත්‍රාභිලාෂය, පර්යේෂණ කොට පශ්චාත් උපාධි හදාරා නව දැනුමක් සමාජයට එකතු කරන්නට ඇති කැමැත්ත, ඉහළ වෘත්තිකයින් තුළ පවා නව පර්යේෂණ කිරීමට – ආචාර්ය උපාධිය හැදෑරීමට ඇති අරමුණ පිළිබඳ පහන් සංවේගයකි.

Thursday, April 1, 2021

මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම : වනාන්තරයකදී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය.

 

 



            2001 වසරේදී මෙරට වනාන්තර විෂයය පැත්තෙන් එක්තරා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබිණ. එනම්, ඇමරිකා එක්සත් ජනපදය තමන්ට ලෝකයේ රටවල් ඇති ණය හිලව්වට ඒ රටවල ඇති වනාන්තර  ඇමරිකාවට පවරාගැනීමට අවශ්‍ය නීතියක් ඇමරිකාවෙහි සම්පාදනය කරගෙන ඇති බවයි. මෙය මෙරට පරිසර ක්ෂේත්‍රයේ බලවත් සංවාදයක් ඇති කරන්නට සමත් විය. මේ කාරණය නිමිති කරගෙන ''සිතිජය'' සඟරාවේ කවරයේ කතාව ලියන්නට අපි කටයුතු කළෙමු.

            මෙහිදී ලංකාවේ වනාන්තර සම්බන්ධව මීට පෙර උද්ගත වූ අනතුරුදායක තත්ත්ව ගැන තොරතුරු ලබාගැනීම පිණිස මම උද්භිද විද්‍යා මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම මහතා හමු වීමි. ඒ වන විටත් අවුරුදු 81ක් පමණ වයසැති මහාචාර්යතුමා තමන්ගේ විෂය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවට එකඟ වූයේ ඉතා කැමැත්තෙනි.

Thursday, December 24, 2020

''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)''

 


වසරකටත් වැඩි කාලයකට පෙර ප්‍රකාශනය සඳහා භාර දී තිබූ මගේ අලුත් ග්‍රන්ථය, ''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)'' පසුගිය දා මුද්‍රණය කරන ලදුව ගොඩගේ ප්‍රකාශකයින් වෙතින් අද ම'වෙත ලැබිණි.

Wednesday, June 24, 2020

Lanka Lead News වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාව


මා විසින් රචිත ''ශ්‍රී ලාංතේය පාරිභාේගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්" කෘතිය සම්බන්ධව Lanka Lead News වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාව පහත පළ වේ.







පුරවැසි කොලම
June 24, 2020 9:39 am | Lanka Lead News

සාහිත්‍ය නිර්මාණකරුවකු, නිදහස් පුවත්පත්කලාවේදියකු, සන්නිවේදන පර්යේෂකයකු හා බ්ලොග් රචකයකු වන ප‍්‍රභාත් චින්තක මීගොඩගේ විසින් රචිත නවතම පර්යේෂණ කෘතිය වන ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්”, මෑතකදී ප‍්‍රකාශයට පත් විණි.  ඔහු සමග කළ මේ සංවාදය ඒ නිමිත්තෙනි.

Tuesday, June 9, 2020

රිචඩ් ද සොයිසා : නිහඬ කළ හඬ




රිචඩ් ද සොයිසා. ඒ ඔහු ය.
සිය මාධ්‍ය භාවිතය හේතුවෙන් රාජ්‍යය විසින් මරා දමනු ලැබූ ජනමාධ්‍යවේදියා ඔහු ය.
අදින් දශක තුනකට පෙර, 1990 පෙබරවාරි 18 වන දා වයස අවුරුදු 31 දී ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදු විණි.
ඒ නිකම් ම සමුගැනීමක් ලෙස නො වේ.
කෘෘර වධ බන්ධන පමුණුවා සිදු කළ ඝාතනයක් ලෙසිනි.
ඔහු මරාදමනු ලැබුවේ ඔහු නිකම් ම නිකම් පෘථග්ජනයකු වූ නිසා නො වේ.
ඔහු ජනමාධ්‍යවේදියකු වීම හේතුවෙනි.
ජනමාධ්‍යවේදියකු මරා දැමීම පිටුපස ඇත්තේ අන් කිසිවක් නො ව, ඔහුගේ භාවිතයයි.
ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ අනන්‍යතා ලකුණක් සනිටුහන් කිරීමට සමත් ජනමාධ්‍යවේදියෙක් වූ රිචඩ් ද සොයිසා පිළිබඳව මා විසින් සංස්කරණය කෙරුණු කෘතිය සුරස ප්‍රකාශන වෙතින් පළ කර අතට ලැබුනෙ අද.

සියලුම ප්‍රධාන පොත්හල් වෙතින් ඔබට මිල දී ගන්නට පුළුවන්.

Monday, March 2, 2020

ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්


මම, ''ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්'' නමැති අධ්‍යයනය සිදු කළේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාවේ පර්යේෂණ නිබන්ධය වශයෙන්. 

මේ පර්යේෂණ නිබන්ධය කවදා හෝ ග්‍රන්ථයක් ලෙස පළ කිරීමේ සිහිනයක් මට තිබුණා. ඒ තවත් පොතක් පළ කරනවාට වඩා ලංකාවේ ජනසන්නිවේදන, වෙළෙඳ  ප්‍රචාරණ හා අලෙවිකරණ විෂයයන්ට වැදගත් වන පුරෝගාමී පර්යේෂණයක් සමාජගත කිරීමේ අරමුණක්. හෙට දවසේ තවත් පර්යේෂකයින්ට ඉදිරියටයාමට පර්යේෂණාත්මක පියවරක් තැබීමේ අරමුණක්. මේ රට මට ලබාදුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ණය ගෙවීමක්.


මේ සැබෑ වී තිබෙන්නේ ඒ හීනය; ඒ අරමුණ.


''ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්''


අපූරු කවරය නිර්මාණය කර දුන්නේ දර්ශන කරුණාතිලක සොහොයුරා. පෙරවදන මහාචාර්ය අතුල සුමතිපාල මහතාගෙන්.


මෙම ග්‍රන්ථය, කළමනාකරණ - අලෙවිකරණ - ජන සන්නිවේදන - වෙළෙඳ ප්‍රචාරණ - සමාජ විද්‍යා විෂයයන්ට අදාළ උපාධි හා පශ්චාත් උපාධි විද්‍යාර්ථීන්ට මෙන් ම, වෙළෙඳ ප්‍රචාරණ හා අලෙවිකරණ වෘත්තිකයින්ට ද අත්‍යවශ්‍ය වන ''අන්තර් සංස්කෘතික අධ්‍යයන'' විෂයයට සප්‍රයෝජනවත් දැනුමක් සම්පාදනය කර තිබෙනවා.


ඔබට මේ කෘතිය, ප්‍රසිද්ධ පොත්හල්වලින් ළඟඳීම මිල දී ගන්න පුළුවන්. (පිටු 460 / මිල රු.950.00)


ඒ වගේම දැනට කොළඹ දී මිල දී ගන්නවා නම් 011-2371684 අංකයට අමතා, පැමිණ මිල දී ගන්න පුළුවන්.