Saturday, August 31, 2019

දිවිය දිනවන කවියක් : 'ගස' - රත්න ශ්‍රී විජේසිංහ




















දිගු නියං සමය නිමා විණ. වැසි වැටෙමින් තිබේ. කවුළුවෙන් පිටත බලමි. හාත්පස වැසි අඳුර දලූ දමයි. ගෙවත්තෙහි තුරුලිය නිහඬ ප්‍රමෝදයකිනි. මිදුලේ තෘණ තලාව ළා කහවන් ව, වියළී ගොස් තිබුනේ දින කිහිපයකට පෙර ය. එහෙත් වැසි වැටුණු දින දෙක තුනට තෘණ තලාව යළි හරිත පැහැ සළු පැළඳ පණ ගසා විත් තිබේ. තුරු පත් කිති කවමින් රූරා වැටෙන වැහි බිඳු අපූරු ප්‍රමෝදයක් තුරු වෙත පිරිනමන සේ ය. තුරුපත්හි සංතෘප්තිමත් ඉසියුම් මෘදු කෙඳිරුම් ඇසෙන්නාක් මෙනි. හාත්පස කෙමෙන් අඳුරින් වැසෙයි. කවුළුව වසා දමමි. 
     කවියක් රස විඳින්නට, කවියක් සමග සිතු සේ රස්තියාදු වන්නට කදිම මොහොතකි. රත්න ශ්‍රී විජේසිංහගේ 'ගස' නමැති කවිය, වෙනස් මානයකින් රස විඳින්නට වුවමනාවක් මා තුළ ඉපැදී තිබුනේ කලෙක සිට ය. මේ අහඹු ලෙස එළඹී ඇත්තේ ඊට හොඳ ම වේලාව ය. 

      ගස

          ගසක් නම් ඉහළට වැඩෙයි 
          සැඩ හිරුට නොබියව මුහුණ දෙයි 
          බහල පෘථීවිය විනිවිදියි 
          දිය සොයාගෙන
          මිස නොනවතියි

          ගිමත් කල හාමත්ව යෙයි 
          කොළ දළු සලා 
          නිහ`ඩව ඉඳියි 
          එහෙත් ඒ නිශ්ශබ්දතාවෙහි 
          අධිෂ්ඨානය කැටි ගැසෙයි 
          පොළෝ ගැබ සංචිතව යෙයි

          වැලක් දුබලව වැද හෝන සඳ 
          වාරු කොට දෝතට වඩයි 
          දහක් සිරසට ගිම්තාපයට 
          සෙවණ වී සිසිලස සදයි

          නැතක් දුක් මැද ඍජුව සිට 
          හර සොය සොයා අරටුව තනයි 
          බිඩලූ ගලවාලා බලත් 
          හර මිසක බොරු නැති බව පෙනෙයි

          ගසක් නම් ඉහළට වැඩෙයි 
          සැඩ හිරුට නොබියව මුහුණ දෙයි 
          අඳුර පිළිකෙව් කරයි 
          සඳ එළියෙනුදු සෑහී නොනවතියි

          මලක් සිරසෙහි පැළඳ මිස 
          කිසිදාක සැතපෙන්නේ නොවෙයි. 
      

          'ගසක්' ගැන උද්භිද විද්‍යාඥයකුට ඇත්තේ විෂය මූලික වූ නිර්වචනයකි; විවරණයකි. 'ගස' නම් වූ ප්‍රපංචය මානව ජීවිතය සමග සමාන්තර ව තබමින්, ඒ ජීව පද්ධති දෙක සමීකරණය කරමින්, නැවත වෙන් කරමින් අපූර්ව විවරණයක යෙදීමේ අවසරයක් විෂයයික වශයෙන් උද්භිද විද්‍යාඥයකුට නොමැත. එහෙත් කවියකුට එසේ නො වේ. රත්න ශ්‍රී විෙජ්සිංහයන් ප්‍රයෝජනයට ගන්නේ, කවියකුට පමණක් ඇති ඒ සුවිශේෂ ඉඩ අවසරයයි. ඔහුගේ 'ගස' නමැති කවිය, එබඳු අපූරු සංකල්පීය පදනමක් මත නිමැවුණු, මානව ජීවිත පැවැත්ම පිළිබඳ කල්පනා දල්වාලන අපූරු නිර්මාණයකි.

     ''ගසක් නම් ඉහළට වැඩෙයි 
      සැඩ හිරුට නොබියව මුහුණ දෙයි 
      බහල පෘථීවිය විනිවිදියි 
      දිය සොයාගෙන
          මිස නොනවතියි''

          ගසක් ඉහළට වැඩෙයි. එහි අමුත්තක් නැත. ස්වභාව ධර්මයේ නියමය එයයි. එහි පැවැත්ම එයයි. එහෙත් එය ඉහළට වැඩෙන්නේ නිකම් නො වේ. සැඩ හිරුට නිබය ව මුහුණ දෙමිනි. ශාක ලෝකයේ, ජෛව ලෝකයේ පැවැත්ම ඇත්තේ හිරු සමග ය. හිරුගෙන් තොර ව ගසකට පැවැත්මක් නැත. එහෙත් හිරු මෘදු නැත. සැඩ ය. හිරු කොතෙක් සැඩ වුව, ගස නිබය ව හිරු සොයා යමින් හිරුට මුහුණ දෙමින් ඉහළට යාමේ සිය ගමන නො නැවත යයි. ඉහළට යාමේ අරමුණ අත් නො හරියි. 
         මානව ජීවිතය තුළ පවතින්නේ ද ගසට සමාන්තර පැවැත්මකි. මිනිසෙක් නම්, පෞද්ගලික ජීවිතයේ ද, සාමූහික සමාජ ජීවිතයේ ද නන් විධ අරමුණු හඹා යමින්, ඒවා ජයගනිමින් ඉහළට වැඩෙයි. ඉහළට වර්ධනය වීමේ අරමුණට ඉදිරියෙන් හැම විට ම ඇත්තේ අභියෝග ය. අභියෝග ද හිරු මෙනි. සැඩ ය; කටුක ය. එහෙත් මානව ජීවිතයට අභියෝග වෙත එළඹීම, ඒවාට මුහුණ දීම හා ඒවා ජයගැනීම යන තත්ත්වයන්ගෙන් තොර ව, අත්පත් කරගත හැකි වර්ධනයක් නොමැත.

          හිරුට නිබය ව මුහුණ දෙමින්, ගසකට අහස අරා වැඩෙන්නට නම් නිසැක ව ම එහි මූල පද්ධතිය සවිමත් විය යුතු ම ය. තුරු හිසට සැඩ හිරු රශ්මියට නොබිය ව මුහුණ දී සිටින්නට සවිය ලැඛෙන්නේ එහි මූල පද්ධතිය පෘථීවිය විනිවිද යමින්, ශෛල තලා පුපුරුවා හරිමින් ගොස් උරාගන්නා ජලයෙනි. දිය සොයාගෙන මිස, මුලක් නො නවතී. දිය සොයා නො ගෙන අතරමඟ නවතින මුල් සහිත ගසක් වේ නම්, ඊට හිරුගේ රශ්මියට අඛණ්ඩ ව මුහුණ දීමේ ප්‍රතිශක්තියක් නොමැත. පැවැත්ම අනතුරක ය. හිරු රැස සැඩ ය; උණුසුම් ය. දිය දහර මෘදු ය; සිහිල් ය. හිරු රැස හා දිය දහර ! ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය !  ගසක් ඉහළට වැෙඩන්නේ ඒ ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වය තුළිනි. මානව ජීවිතය පවතින්නේ ද, එබඳු ප්‍රතිපක්ෂයන්ගේ ඒකත්වයක් තුළ ය. 
          මානව ජීවිතයකට අභියෝග වෙත එළඹෙමින්, ඒ හමුවේ සසල නො වෙමින්, අරමුණු ඉලක්ක ජයගනිමින් වැඩෙන්නට ස්වකීය සමාජ සංස්කෘතික පොළොවෙහි ගැඹුරට මුල් ඇදුණු, එකී සමාජ සංස්කෘතික සම්ප්‍රදාය නමැති දියෙන් පෝෂණය වන පැවැත්මක් අවැසි ය. එබඳු සුපෝෂිත පැවැත්මක් සහිත මානව ජීවිතයකට සැඩ අභියෝග හමුවේ ඇද නො වැටෙමින්, ඊට උපක්‍රමශීලී ව මුහුණ දෙමින් පවතින්නට හැකි ය. නමුත් සිය සමාජ සංස්කෘතික පොළොවෙහි ගැඹුරින් මුල් අල්ලා නැති මානව ජීවිතයකට, අභියෝග වෙත එළඹීමේ හා ඒ හමුවේ සසල නො වී හිඳීමට ඇති ප්‍රතිශක්තිය අවම ය. ඊට සංස්කෘතික සම්ප්‍රදාය නමැති භූගත දිය දහරාවෙන් පෝෂණය වී ලබන ප්‍රතිශක්තිය අවැසිම ය. හිරු යට, නැතක් අභියෝග ජයගන්නේ ඒ ප්‍රතිශක්තියෙන් සපිරි ජීවිත ය.

          සොබාදහමෙහි සැම දා වසන්තය නැත. ඊට ප්‍රතිපක්ෂ ගිම්හානය ද, සොබාදහමේ නියතයකි. ගසක් ඒ නියතයට අනිවාර්යයෙන් ම යටත් විය යුතු ය. එය මඟ හැර යා නො හේ.

          ''ගිමත් කල හාමත්ව යෙයි 
          කොළ දළු සලා 
          නිහඬව ඉඳියි 
          එහෙත් ඒ නිශ්ශබ්දතාවෙහි 
          අධිෂ්ඨානය කැටි ගැසෙයි 
          පොළෝ ගැබ සංචිතව යෙයි''

          ගසක් ගිම්හානයට මුහුණ දෙන්නේ සොබාදහම උගන්වා ඇති උපාය උපක්‍රම ඇසුරෙනි. හිරුගේ අණසකට යටත් වූ ගිම්හානයෙහි පොළොවෙහි දිය දහරා සිඳී යයි. වසන්තයේ මෙන් සරු දිය දහරක්, සරු පෝෂණයක් ගිම්හානයේ දී ගසකට නො ලැඛෙයි. ගස හාමතිනි ! එසේ වුව, මියැදෙන්නට අදහසක් ගසට නැත. නො නැසී පැවැත්ම වෙනුවෙන් ගස, උපක්‍රම ක්‍රියාවට නඟයි. කොළ දලූ හලා දමා ගස නිහඬ වෙයි ! කොළ දලූ නොමැති නිසා උත්ස්වේදනය අවම වෙයි. පොළොවෙන් උරාගන්නා දිය සුඟ, ගසට නො නැසී පැවතීමට පමණක් සෑහෙයි. වස්සානයේ මෙන් සුළඟින් මෘදු ව සැලෙන තුරුපත්, අතු අග පිපි මල්, අතු පුරා ඵල මෙසමයේ ගසට හිමි නැත. සාර මල් ඵල සපිරි සමයේ ගස සොයා පැමිණි, ගසෙහි නිරතුරු ගැවසුණු නන්නාඳුනන නේක විහඟුන්, සමනළුන්, මී මැසි - බමරුන් කිසිවෙක් දැන් ගස දෙස නොබලති. හුදෙකලා කපුටෙක් ඉඳ හිටක පැමිණ වියළි අත්තක හදිසියේ වසා, මඳකට ගිමන් නිවාගෙන පියාඹා යනු පමණකි.
          මේ සකල කටුක සංසිද්ධි විඳ දරා ගනිමින් ගස නිහඬ ව හිඳියි. එහෙත් ගස නිහඬ යැයි සිතෙන්නේ පිටතින් බලන කල ය. ගස නිහඬ නැත. ගස තමන් සමග අභ්‍යන්තර සංවාදයක ය. ගැඹුරු හෘද සංවාදයක ය. ඒ සංවාදය පිටතට නො ඇසේ; නො දැනේ. කම් නැත. ගස අධිෂ්ඨානයක ය. කවදාක හෝ වස්සානය යළි එළඹෙන තුරු නො නැසී හිඳින බවට ගසෙහි වන අදිටන, ඊට ප්‍රාණය ලබා දෙයි. ඒ අධිෂ්ඨානය කිසිවකුට නො පෙනෙන, නො දැනෙන ලෙස පොළෝ ගැබ තුළ සංචිත ව තබා ගන්නට ගස උපායශීලී වෙයි. වස්සානය එළඹෙන තුරු නො නැසී හිඳිමි ! ඒ, ගසෙහි එක ම අධිෂ්ඨානයයි. ඒ රහස් අධිෂ්ඨානය ම, ගසට ස්වයං අභිමානයක් උපදවාලයි. හාත්පස ලෝකයේ පරිසර පද්ධතීන්ගේ, දේශගුණ - කාලගුණ රටාවේ සකල විපර්යාස හමුවේ ගසෙහි සංචිත ගත වූ අධිෂ්ඨානය නො නැසෙයි; නො බිඳෙයි. ගසක් එසේ ය.

          මානව ජීවිත පැවැත්ම තුළ සෞභාග්‍යය සෑම කල්හි ම එක ලෙස නො පවතී. දුෂ්කර, කටුක අවධි එළඹෙයි. තමන් වටා රොද බැඳ හුන් පිරිවර, එබඳු දුෂ්කර අවධිවලදී කෙමෙන් කෙමෙන් තමන් අත හැර යයි. සෞභාග්‍යවත් අවධියේ තමන් සමග ලොව ම සිනාසුන ද, එළඹි දුෂ්කර අවධියේ තමන් අතහැර ලොව ම සිනාසෙන්නට වෙයි. බිහිසුණු හුදෙකලාවක් අත් විඳිමින් නිහ`ඩවන්නට සිදුව ඇත. ඊට වඩා මියයාම සැපතකැයි සිතෙන තරම් සාංකාවක් දැනෙයි. එහෙත් නො නැසී සිටිය යුතු බවට සිතිවිලි න්‍යෂ්ටියක් හදවතේ නාඳුනන ඉසව්වක සිට මතුරයි. දුෂ්කර ඍතුවෙහි ජීවිතයේ අභ්‍යන්තර හෘද සංවාදය උපදින්නේ ඒ සිතුවිලි න්‍යෂ්ටියෙනි. හරිගිය - වැරදුණු තැන් කිරා මැන බලන විශ්ලේෂණයකට, නව අරමුණක ගමන්පථයක් නිර්මාණය කර ගැනීමට ඒ අභ්‍යන්තර සංවාදය මඟ කියයි. එහි අවසන, හෙට දවස වෙනුවෙන් අත්හළ නො හෙන අරමුණක් වෙනුවෙන් පවතින්නට, මානව ජීවිතයට ඒ අධිෂ්ඨාන සංචිතය ප්‍රාණය ලබා දෙයි. කවදාක හෝ තමන් වෙත වසන්තය එනු නිසැක බව මානව ජීවිතය දනී. කටුක ගිම්හානයේත් වසන්තය හුස්ම ගන්නා බව, එවන් ජීවිතයකට දැනෙයි.

          ගසකට ඇත්තේ තමන් උදෙසා පමණක් වූ පැවැත්මක් නො වේ. ඊට පොදු විශ්වීය කාරයභාරයක් තිබේ. ගස් හා වැල් අතර අන්‍යෝන්‍ය සහජීවන සබඳතාව අතැර දමා තනි ව පැවැත්මක්, ගසකට නො වේ.

          ''වැලක් දුබලව වැද හෝන සඳ 
          වාරු කොට දෝතට වඩයි''

          වැලක් දුබල ය. නමුත් ඒ නිරපේක්ෂ දුබලකමක් නො ව, ගසකට සාපේක්ෂ දුබලකමකි. ඇතැම් විට ගසකට නොමැති විභවතා වැලක පවතී. කෙසේ වුව, ස්වාභාවික හෝ බාහිර හේතුවක් මත හෝ වැලක් දුබල ව වැතිර හිඳින අවස්ථා තිබිය හැකි ය. එබඳු විටෙක වැලට වාරුවක් වී, වැල දෝතට ගෙන ඊට බාහිර ශක්තියක් වන්නට ගසකට පිළිවන. ගස එසේ කරයි. ජීවිතයේ එක් මොහොතක, එක් යුගයක දුබල ව සිටි වැල, ගසෙහි වාරුවෙන් නැඟී සිට, ඒ ගස වටා වෙලෙමින් ඉහළට ගොස් මතු යම් දිනෙක ඒ තුරු සිරස මත මලක් පළඳා ගස කළ උපකාරය වෙනුවෙන් ස්වකීය හරසර පුදනු ඇත. ඒ මොහොතේ ගසට කෙබඳු හැඟීමක් දැනෙනු ඇත් ද ? දෙපාවලට පෑගෙමින්, උවදුරුවලට ලක්වෙමින් තෘණ තලාවක ඉබාගාතේ යන්නට හැරුණු වැලක් එක්තරා අහඹු මොහොතක වාරුකොට ඉහළට යන්නට සවිය වූ ගස, තමන් වෙනුවෙන් මලක් පුබුදා කෘතගුණ දක්වන වැලක මහරු ගුණය කෙසේ විඳිනු ඇත් ද ?

          මානව ජීවිත පැවැත්ම ද ස්වාර්ථකාමී නැඟී සිටීමක් නො වී, මානව සමාජයේ නන්විධ දුෂ්කර කොන්දේසි මත දුබල ව හිඳින වර්ගයා ඉන් මුදාගෙන ඉහළට යාමට වාරුවක් වන පැවැත්මක් විය යුතු ය.

          ගස සැඩ හිරු රැස් හමුවේ දැවෙයි; තැවෙයි. සහසක් තුරුපත් හිරු රැසින් උණුසුම් වෙයි. එහෙත් ගස ඒ සියල්ල විඳ දරාගනී. තමන් පා මුලට එන සියලූ සත්ත්වයිනට තමන් විඳින කටුක උණුසුම අත්විඳින්නට කටයුතු නො කරයි. ඒ වෙනුවට ගස පිරිනමන්නේ සෙවණයි, සිසිලසයි.

          ''දහක් සිරසට ගිම්තාපයට 
          සෙවණ වී සිසිලස සදයි''

        ගිම්හානයේ තාපයෙන් දැවෙන දහසක් ජනයා ගස වෙත එන්නේ තාවකාලික සෙවණක්, සිසිලක් පතාගෙන ය. ඔවුනට ඒ පීඩාකාරී මොහොතේ ගස මිස, අන් සරණක් නැත. ගස ඔවුන් වෙනුවෙන් ස්වකීය ජීවිත යුතුකම ඉටු කරයි. ගස තමන්ගේ හිස ගිම්තාපයෙන් දැවෙද්දී, තමන් පාමුල හිඳින ජනයාට සිසිලස පිරිනමයි. තැවුණු ජනයා ඒ සෙවණේ සැනහෙති.

          සමාජය තුළ විවිධ දුක් දෝමනස්ස නිසා දැවෙන තැවෙන සමූහයා අපමණ ය. ඉන් එකෙකු දෙන්නකු වුව, අනෙකෙකුගේ පිළිසරණක් අපේක්ෂා කරයි. යම් පමණකින් හෝ ඒ තැවීම, දැවීම සමහන් කොට අනෙකාගේ සිතට සිහිලක් ලබා දීමේ යුතුකමක් මානව ජීවිත වෙත වෙයි. ඒ සෙවණ, ඒ සිහිල පීඩාවට පත්ව සිටි අනෙකා වෙත නව ජීවිත අපේක්ෂා දල්වාලනු  ඇත.

          ගසක් අබිමුව වන දුක් පිරිපත බොහෝ ය. එහෙත් ඒ හමුවේ නො වැටෙන ප්‍රතිශක්තියක් ගසක වෙයි. බාහිර පරිසරයෙන් විවිධ ස්වභාවික බලපෑම්වලින් තම පැවැත්මට අවැසි ගුණ - හර - උකහා ගනිමින් සිය අභ්‍යන්තරය ශක්තිමත් කර ගනී. 
       

          ''නැතක් දුක් මැද ඍජුව සිට 
          හර සොය සොයා අරටුව තනයි 
          බිඩලූ ගලවාලා බලත් 
          හර මිසක බොරු නැති බව පෙනෙයි''
       
       ගසක ආධ්‍යාත්මය අරටුව ය. එය ගොඩනැඟෙන්නේ එක් රැයක ප්‍රාතිහාර්යයක් ලෙසින් නො වේ. අරටුව ගොඩනඟාගැනීමට ගසකට හදිසියක් නැත. තමන්ගේ අරටුව පරීක්ෂාවට ලක්වන්නේ බාහිරින් විවිධ බලපෑම් එල්ලවන විට ය. නැතක් දුක් විඳින විට ය. ඒවායින් සසල නො වී ඍජු ව සිටගත් විට ලබන පන්නරයෙන් උපදින 'හර' තිරසාර ය. අරටුව තනාගත යුත්තේ එබඳු හරයන්ගෙනි. ඒ සඳහා ගසට ඇත්තේ අසීමිත ඉවසීමකි. එබඳු අසීමිත ඉවසීමකින්, ෙසෙලයෙන් ෙසෙලය ගොඩනඟාගත් අරටුවක් ඇති ගසක බාහිර පොතු හැර බැලූවහොත්, අභ්‍යන්තරයෙහි එකී හර මිස, ව්‍යාජයන් නැති බව ඇස් පනාපිට දක්නා ලැඛෙයි. ගසක් නම් එසේ ය.

          මානව ජීවන පැවැත්ම වෙත එළඹෙන දුෂ්කරතා, දුක්පිරිපත අප්‍රමාණ ය. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් යනු එබඳු අවස්ථා අබිමුව නො වැනෙන, නිසසල ඍජු පැවැත්මකි. එවන් ජීවිතයක් තමන් හමුවේ එළඹෙන දුෂ්කරතා දෙස බලන්නේ අභියෝග ලෙසිනි. මතුපිටින් දුකක්, දුෂ්කරතාවක් ලෙස පෙනෙන සංසිද්ධිය න්‍යෂ්ටියෙහි වන අභියෝගමය ගුණය හඳුනාගෙන, ඒ ගුණය සමග සිය ගනුදෙනුව ගොඩනඟාගන්නා ජීවිතයක්, ඒ දුෂ්කරතාවට මුහුණ දීම ඔස්සේ, තමන් තුළ නිර්මාණය වන ගුණාංග 'හර' ලෙස ස්වකීය ආධ්‍යාත්මයට එකතු කරගනී. ඒ හර, පුද්ගල පැවැත්ම ද, සමාජ පැවැත්ම ද ආලෝකවත් කරන්නේ වෙයි. එවන් 'හර' සපිරි ජීවිතයක ඇත්තේ ස්ථීරසාර ආධ්‍යාත්මයකි, අරටුවකි. ඒ ජීවිතයේ පෞද්ගලික පැවැත්ම බැලුව ද, සමාජ පැවැත්ම බැලුව ද හඳුනාගත හැක්කේ එහි හර මිස බොරු නැති බවයි. හරියට ගසක් මෙනි.

          ගසක අනන්‍යතාව තුළ එහි පැවැත්ම සමග බැඳුණු සුවිශේෂ ගුණාංග වෙයි. 

          ''ගසක් නම් ඉහළට වැඩෙයි 
          සැඩ හිරුට නොබියව මුහුණ දෙයි 
          අඳුර පිළිකෙව් කරයි 
          සඳ එළියෙනුදු සෑහී නොනවතියි 
          මලක් සිරසෙහි පැළඳ මිස 
          කිසිදාක සැතපෙන්නේ නොවෙයි.''



          ගසක් ඊට ස්වාභාවික ව නියත උස දක්වා අඛණ්ඩ ව ඉහළට වැෙඩයි. හිරුගේ සැඩ අභියෝගයට මුහුණ දෙමින් වැඩෙයි. හිරු එළිය කොතෙක් නම් සැඩ වුව ද, අඳුරක් තුළ වන පැවැත්මක් ගස නො පතයි. අඳුර ප්‍රතික්ෂේප කරන ගස, මෘදු සඳ එළියෙන්වත් කිසි විට සෑහීමකට පත් නො වෙයි. ඊට අවැසි හිරු ආලෝකය ම ය. මුහුණ දෙන්නට අවැසි හිරුගේ සැඩ බලයට ම ය. තමන්ගේ අනෙකා හිරු වූ විට, තම පන්නරය හා වර්ධනයත්, තමන්ගේ අනෙකා සඳ වූ විට තමන්ගේ පන්නරය හා වර්ධනයත් එකිනෙකට වෙනස් බව ගස දනී. තමන්ගේ අනෙකා සැඩ වූ විට ඊට ප්‍රතිපක්ෂ ව ගස තුළ වැඩෙනුයේ ප්‍රබල, ශක්තිමත් අනන්‍යතා ගුණාංග ය. තමන්ගේ අනෙකා මෘදු වූ විට ඊට ප්‍රතිපක්ෂ ව අවැසි වන්නේ මෘදු, ළා ශක්තීන් ය. නමුත් ගසකට පාරිසරික වශයෙන් නො නැසී පැවැත්ම සඳහා අවැසි වන්නේ ප්‍රබල ශක්තිමත් අනන්‍යතා ගුණාංග ය. සඳ එළියෙන් සෑහීමට පත් වූ විට එබඳු සවිමත් ගුණ ගසක නූපදී. පැවැත්ම පිණිස හිරු ආලෝකය ගසකට අවැසි එබැවිනි.

          ගසක පැවැත්මේ කූටප්‍රාප්තිය මලකි. ඒ මල තමන් උදෙසා වන්නක් නො වේ. සොබාදහම උදෙසා ය. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ය. ඒ මල සොබාදහම තුළ මහත් ඵල, මහානිශංස උදාකරන විභවයක් සහිත ය. සෑම ගසක් ම තමන්ට ඇති ස්වාභාවික පැවරුම අනුව යම් දවසක සිය තුරු සිරසෙහි මලක් පුබුදුවා ගනී. එය ගසක් එතෙක් ගත කළ පැවැත්මේ, දැරූ වෙහෙසේ තාර්කික ප්‍රතිඵලය වෙයි. ගසක් කිසිවිටෙකවත් සිය සිරසෙහි මලක් පුබුදුවා ගැනීම අත්හැර නො දමයි. මලක් පුබුදුවා මිස ගසක් සිය ස්වාභාවික ජීව කාලය නිමා කොට මිය නො ඇදෙයි; මිහි මත නො වැතිරෙයි. ගසකට ස්වකීය පැවැත්ම තුළ සොබා දහමට පෙරළා පිරිනැමිය හැකි උපරිමය, ඒ මල යි. ඒ මල උපදිනා තෙක් ගසක් විඳින වෙහෙස ඉමහත් ය. ඒ වෙහෙස පිටතට නො පෙනේ; නො දැනේ. තමන්ගේ අධිෂ්ඨාන සංචිතය ඒ වෙහෙස අබිබවයි. නැතක් දුක් මැද, ගිම්හාන තාප මැද බිඳ නො වැටුණු ගසෙහි අදිටන අවසානයේ මලක් ලෙස සුපුෂ්පිත වී සිය මෙහෙවර නිමා කරයි. සොබා දහමේ ප්‍රාර්ථනය, ඒ මලයි. සොබා දහමේ හෙට දවස වනුයේ ඒ මලයි. ඒ මලෙහි හිරුගේ ශක්තිය ද, පෘථීවියේ සැඟවුණු දිය උල්පතක ගුණය ද, එ'ගසින් ම මහලු ව, බිම පතිත ව දිරා ගොස් ඒ ගසට ම උරාගැනුණු තුරුපතක පෝෂණය ද සුසංයෝග ව පවතී. ඒ අනුව අවසානයේ ඒ මල ගසෙහි කොටසක් නො ව, ගස ම ය. ඒ මල සොබාදහමේ කොටසක් නො ව, සොබා දහම ම ය. ඒ මල පෘථීවියේ කොටසක් නො ව, පෘථීවිය ම ය. ඒ මල විශ්වයේ කොටසක් නො ව, විශ්වය ම ය.

          මානව පැවැත්ම ද එබඳු ය. එය ද අභියෝග හමුවේ වැටෙමින්, නැඟිටිමින් අඛණ්ඩ ව වැෙඩයි. සමස්ත මානව පරිණාමය තුළ ඇත්තේ එබඳු ගමනකි. පුද්ගල පැවැත්ම තුළ ඇත්තේ ද එබඳු ගමනකි. මානව ජීවිතයට අන්ධකාරය අවැසි නැත. එය ප්‍රතික්ෂේපිත ය. අඳුර ප්‍රතික්ෂේප කරන්නේ කුමක් හෝ එළියක ගෙවන ජීවිතයක් වෙනුවෙන් නො වේ. ස්වභාවධර්මයේ වන උපරිම ආලෝකය, සූර්යාලෝකය වන්නේ යම් සේ ද, මානව ජීවිතයට සාපේක්ෂ ව උපරිම ආලෝකයක් අවැසි වෙයි. මානව දිවි පැවැත්ම වඩාත් සුපුෂ්පිත වනුයේ එබඳු ආලෝකයක් මධ්‍යයේ ය. නමුත් එබඳු ස්වකීයමය පමණක් වූ ආලෝකයක් මධ්‍යයේ සිය පැවැත්ම ගෙන යාමට මානව ජීවිතයකට අයිතියක් තිබේ ද? නැත. මානව ජීවිතයකට, ජෛව පද්ධතියක් වශයෙන් සොබාදහමට ද, සමාජ සත්ත්වයකු වශයෙන් සමාජයට ද ඇත්තේ නො තකා හළ නො හෙන, බන්ධනයකි. ඒ බන්ධනය තුළ සොබාවික සත්ත්වයකු ලෙස ද, සමාජ සත්ත්වයකු ලෙස ද මානව ජීවිතය නිර්මාණය විණ. මානව ජීවිතයට සියල්ල ලැබුනේ සොබාදහමින් සහ සමාජයෙනි. එහෙයින් මේ මොහොතේ මානව ජීවිතයක ස්වාභාවික වයස යනු විශ්වයේ වයස ය. මේ මොහොතේ මානව ජීවිතයක සමාජ වයස යනු සමස්ත මානව සමාජයේ වයස ය. මානව ජීවිතය පසුබිමෙහි විශ්වයක් ද, සමස්ත මානව සමාජයක් ද පවතී. එබැවින් විශ්වය වෙනුවෙන් ද, සමාජය වෙනුවෙන් ද මානව ජීවිතය වෙත බැෙඳන පැවරුමක් වෙයි. සොබාදහම ගසකට මලක් නිමවා දීම පවරා ඇති සේ ය. මානව ජීවිතය ද විශ්වය වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් 'මලක්' නිමවා දිය යුතු ය. ඒ ''මල'', සමාජය වෙනුවෙන් සිය පුද්ගල ජීවිතය, වෘත්තීය ජීවිතය, සමාජ ජීවිතය මගින් සිදුකරන සුවිශේෂ මෙහෙවර වෙයි. ඒ ''මල", ස්වකීය බැබළීම උදෙසා පළඳින්නක් නො ව, සමාජය සුගන්ධවත් කිරීම උදෙසා සුපුෂ්පිත විය යුතු ය. එබඳු මලක් මානව සමාජයට, විශ්වයට පිරිනමා මිස මියැදෙන්නට අයිතියක් මානව ජීවිතයට නොමැත. ගසකට සේ ම, මානව ජීවිතයට ද ඒ පැවරුම නියතයකි.

          ඉදින් රත්න ශ්‍රීගේ මේ කවිය අප වෙත ලබා දෙන ජීවිත පරිඥානය කෙතරම් පුළුල් ද? ඔහු මේ කවිය තුළ සංචිතගත කර ඇත්තේ අපූර්ව ධනාත්මක දැක්මකි.


          මින් පසු 'ගසක්' දෙස, මේ ඇසින් බලන්න.         

          මින් පසු ඔබගේ 'ජීවිතය' දෙස, මේ ඇසින් බලන්න.         

          අපට විඳිය හැකි දේ, අපමණ ය.

          අපට දිනාගත හැකි දේ, අපමණ ය.

          අපට සමාජය වෙත පිරිනැමිය හැකි දේ, අපමණ ය.

No comments:

Post a Comment