Monday, August 26, 2019

ආචාර්ය තිස්ස අබේසේකර : ලාංකේය සිනමාවේ ප්‍රගමනය උදෙසා කළ මෙහෙවර


ආචාර්ය තිස්ස අබේසේකරයන් ජීවිතයෙන් නික්ම ගොස් මෙම වසරට දශකයක් සපිරිණ. ලාංකය සිනමා නිර්මාණ ක්ෂේත්‍රයේ, සිනමා අධ්‍යයන ක්ෂේත්‍රයේ හා සිනමා පරිපාලන ක්ෂේත්‍රයේ ඔහු නිරූපණය කළ භූමිකාව සුවිශිෂ්ටය. මේ ඒ පිළිබඳ විමසුමකි.













තිස්ස අබේසේකර නිර්මාණකරුවකු හා බුද්ධිමතකු ලෙස තම භූමිකාව විශිෂ්ට ලෙස නිරූපණය කරන අතරේම, මෙරට සිනමාව සම්බන්ධ ආයතනයක ඉහළම ධුරය දරමින් පරිපාලකයකු ලෙස ලාංකේය සිනමා කර්මාන්තයේ බහුවිධ අභිවර්ධනයට විශිෂ්ට සේවයක් ද ඉටු කළේය. එහිදී ඔහුට සිනමාව වෙනුවෙන් කරන්නට හැකි වූ දේවලට වඩා, ඔහු කරන්නට සිහින මැවූ දේ බොහොමයකි. 


තිස්ස අබේසේකරට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දරන්නට ලැබුණේ කෙටි කාලයකි. එහෙත් ඔහු ඒ කාලය තුළ ලාංකේය සිනමා කර්මාන්තයේ කෙටිකාලීන හා දිගුකාලීන අභිවෘද්ධිය පිණිස බොහෝ දේ කරන්නට සමත් වූ පරිපාලකයෙකි. 


චිත්‍රපට සංස්ථාවට අයත් ව තිබුන ද, කොළඹ මහ නගර සභාවට පවරාගෙන තිබූ ඉඩමක් සිය බලය හා සියලු සම්බන්ධකම් යොදාගෙන නැවත චිත්‍රපට සංස්ථාව වෙත පවරා ගැනීමට තිස්ස අබේසේකරයන් වරෙක කටයුතු කළේ ය. ඉන්පසුව ඒ බිමෙහි චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කළේ ය. එමෙන් ම දැනට තනා තිඛෙන චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවත් එම සංරක්ෂණාගාරයේ ම කොටසක් ලෙස යොදාගැනීම ඔහුගේ සැලසුම විය. ලෝකයේ සුවිශේෂ සිනමා කෘති, එනම් ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශ වන සිනමා කෘති හා ලෝකයේ ආන්දෝලනයට ලක්වන විශේෂ සිනමා කෘති ඇතැම් විට රට පුරා ප්‍රදර්ශනය කළ නො හැකි තත්ත්වයක් යටතේ වුව මෙම සිනමා ශාලාව තුළ මසකට වරක් හෝ දෙසතියකට වරක් හෝ ප්‍රදර්ශනය කරන්නට ඔහු බලාපොරොත්තු විය. එමෙන් ම, සිනමා විචාරකයින්ට සහ අධ්‍යයන කණ්ඩායම්වලට එම චිත්‍රපට පිළිබඳ සංවාද මණ්ඩපයක් ගොඩනඟාගත හැකි සහ සිනමාව ගැන උනන්දු රසික පර්ෂදවලට ගැවසිය හැකි මධ්‍යස්ථානයක් බවට එය පත් කිරීමට තිස්ස අබේසේකරයන්ගේ බලාපොරොත්තුවක් තිබිණ.


චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස තිස්ස අබේසේකරයන් හැම විටම කටයුතු කළේ මෙරට අනාගත පරම්පරාව වෙනුවෙනි. ඔහු ලාංකේය සිනමාකරුවන් දහසය දෙනෙකුට චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් මුදල් ලබා දීමට කටයුතු කළේය. එහි මුළු වගකීමද චිත්‍රපට සංස්ථාව භාරගත්තාය. මෙහිදී නිර්මාණකරුවාට කෙතරම් ගරු කර තිබුනේද යත්, චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස නම් කළේ ද චිත්‍රපට සංස්ථාවෙන් ණය මුදල ලබාගත් සිනමා කරුවාය. මෙය නොරිස්සූ සමහරු, ඔහු මෙලෙස කරන්නේ මුදල් වංචා කිරීම සඳහා යැයි කීහ. ආණ්ඩු මාරු වූ අවස්ථාවේදී සූක්ෂ්ම ලෙස ගිණුම් පරීක්ෂා කරමින් ඔහු මෙහි මුදල් වංචා කර තිබේදැයි සොයා බැලීය. එබඳු අරමුණකින් සොයනවා මිස, ඔහු ආරම්භ කළ එම ව්‍යාපෘතිය මෙරට සිනමා ක්ෂේත්‍රයට ඵලදායී ලෙස තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා හැක්කේ කෙසේ දැයි කිසිවකුත් සොයා බැලුවේ නැත. එම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ නවක සිනමාකරුවන්ගේ චිත්‍රපට දේශීය හා විදේශීය චිත්‍රපට උළෙලවල දී සම්මාන ගණනාවක්ද දිනාගත්තේය. එහෙත් එවන් දේ ගැන කිසිවකු හෝ සොයාබැලුවේ නැත. ඔහු මුදල් ලබා දෙන විට, මිතුරන්ට මුදල් බෙදනවා යැයි කියමින් සිනාසුණු අය හෝ ඔහු මුදල් වංචා කළා දැයි සොයන්නට උනන්දු වුණු අය හෝ ඔහු සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු පසුවවත් මේවා අනාගත පරම්පරාව ගැන විශ්වාසය තැබූ සභාපතිවරයකුගේ නිර්මාණ නොවේදැයි කියා නැවත ඒවා ගැන කතා කළේද නැත. අඩුම තරමින්, ඒ ව්‍යාපෘතිය යටතේ මුදල් ලබාගත් තරුණ සිනමාකරුවන්වත් තමන්ගේ චිත්‍රපට මේ ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වූ ඒවා බවත්, කවුරුන් බලයේ සිටියත් මෙම ව්‍යාපෘතිය චිත්‍රපට සංස්ථාව යටතේ අනාගත පරම්පරාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවත් කීවේ නැත.


මෙම ව්‍යාපෘතිය යටතේ කරනු ලබන චිත්‍රපට සඳහා රජයේ ජනමාධ්‍ය යොදාගෙන ඉතා අඩු වියදමකින් විශාල ප්‍රචාරයක් ලබා දී එම චිත්‍රපට ආදායම් උපයන තත්ත්වයට පත් කරන්නට ඔහු සැලසුම් කර තිබිණි. ඔහු චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අවස්ථාව වන විටත්, එම ප්‍රචාරක ජාලය සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳව රූපවාහිනී සංස්ථාව හා ගුවන්විදුලි සංස්ථාව සමග සාකච්ඡා කරමින් සිටියේය.  එමෙන්ම, එම චිත්‍රපටවල ඩීවීඩී පට සකස් කොට ඒවා විදේශගතව සිටින ශ්‍රී ලාංකේය ප්‍රජාවට සහ මෙරට තුළ බෙදා හරින්නටත් මේ චිත්‍රපට සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළක් ගොඩනඟන්නටත් ඔහුට විශාල වුවමනාවක් තිබිණ. ම සියල්ලම ඉතා කෙටි කාලයක් තුළ ඔහු සැලසුම් කළේ සිනමා කර්මාන්තයේ සිට සිනමා පරිපාලනයට පැමිණි අයකුගේ කෙටි කාලීන සැලසුම් ලෙසය. එහෙත් ඔහුට ඒවා අවසන් කරන්නට අවස්ථාවක් නොලැබිණ. තිස්ස අබේසේකර මහතා ජීවතුන් අතර සිටි කාලයේ ම, මේ ව්‍යාපෘති සියල්ලම මියැදී තිබුණි. ඔහුට ඒ ගැන පැවතියේ විශාල කම්පාවකි.


සිනමාව පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා චිත්‍රපට සංස්ථාවෙන් ශිෂ්‍යත්වයක් ලබා දීමට පළමු වරට කටයුතු කළේ තිස්ස අබේසේකරයන්ය. විමුක්ති අබේසුන්දරට රුපියල් ලක්ෂ තුන හමාරක් ලැබුණේ ඒ අනුවය. චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් සියලු දෙනාම මෙයට විරුද්ධ වූ අතර, මෙයින් ලැඛෙන ලාභය කුමක්දැයි ඔවුහු විමසා සිටියහ. එයට අපූරු පිළිතුරක් දෙමින් තිස්ස අබේසේකරයන් පවසා ඇත්තේ, ''අල-පරිප්පු වැනි දේවල් විකිණීමෙන් ලබන ලාභය පෙන්විය හැකි වුවද සිනමාව හදාරන්නට සිනමාකරුවකුට  විදේශ ශිෂ්‍යත්වයක්  දීමෙන් රටට ලැඛෙන ලාභය, ඔහු ආපසු මෙරටට පැමිණි මොහොතේ කිරා මැන පෙන්විය නොහැකි බවය''. තමන් විශ්වාසය තැබූ අනාගත සිනමා පරම්පරාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නට ඔහුට තිබූ පෞරුෂය එවැන්නකි. 


ශ්‍රී ලංකාව තුළ සිටින කලාත්මක සිනමාවට පිවිසෙන්නට කැමති තරුණ පිරිසට පිටපත් රචනය ඇතුළු සිනමා ඥානය බෙදා දීම සඳහා අභ්‍යාස ආයතනයක් ගොඩනඟන්නට ඔහුගේ බලාපොරොත්තුවක් තිබිණ. ඔහු රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටියදී එම ආයතනය යොදගෙන වැඩමුළු, සිනමා උළෙල පවත්වමින් තරුණ ජනයා ඒ වෙත ආකර්ෂණය කර ගැනීමට වැඩසටහන් දියත් කළේය.


චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සිටි කාලයේ දී සෑම මාසයකම පාහේ කොළඹදී විදේශ සිනමා උළෙලක් පවත්වමින් මෙරටට විදේශ සිනමා අත්දැකීම් ලබා දෙන්නට කටයුතු කළේය. මෙවැනි කටයුතු වෙනදා කොළඹට කේන්ද්‍රගත වී තිබිණි. එහෙත් ඔහු ඈත ගම්දනව් වෙත ගොස් සිනමා ශාලා නැති ප්‍රදේශවල පවා චිත්‍රපට ප්‍රදර්ශනය කරමින්, විදේශ සිනමා අත්දැකීම් ලබා දෙමින්, ඒ ආශ්‍රිතව සංවාද කතිකා ඇති කරමින් ප්‍රාදේශීයව සිටින තරුණයින්ට සිනමාව අත්විඳින්නට සහ ඔවුන් සිනමාව වෙත ආකර්ෂණය කර ගන්නට විශාල මෙහෙවරක් ඉටු කළේය. 


හැම දෙනාම සිනමාවේ මළගම පිළිබඳව කතා කරන අතරේ, ඒ සියලුම අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් ලාංකේය සිනමාවක් පිළිබඳ නොනවතින ප්‍රාර්ථනා රැසක් ඔහුට තිබිණ. ඔහු සෑම විටම සිතුවේ, විශ්වාස කළේ අනාගත පරම්පරාව ගැනය. මෙරට සිනමාව ගොඩනඟන්නට කොහෙන් හෝ මුදල් ලැඛෙනවා නම් එයින් 50%කට වඩා යා යුත්තේ නමක් නාඳුනන තරුණ සිනමාකරුවන් අතට බව ඔහු කීවේය. ඒ නිසා සෑම විටම රූප මාධ්‍යයේ දක්ෂතා පෙන් වූ තරුණ රූපවාහිනී ශිල්පීන් සිනමාව වෙත ඇදගන්නට ඔහු කළ හැකි සියල්ල කළේය. ඔහු සිනමාවේදියකු පමණක් නොව ඒ කර්මාන්තයේ යහපත් අනාගතයක් පැතූ විශිෂ්ට යුග පුරුෂයකු වන්නේද මේ නිසාය.


ලාංකේය සිනමා සාහිත්‍යයේ අභිවෘද්ධිය සඳහාද තිස්ස අබේසේකරයන් වෙතින් විශිෂ්ට දායකත්වයක් ලැබිණි. අපේ රටේ සිනමාව පිළිබඳ බොහෝ විට කතාබහ කෙරෙන්නේ ඒ සම්බන්ධව ඇති ඉංග්‍රීසි යෙදුම්වලිනි. එහෙත් අබේසේකරයන් ඒ ඉංග්‍රීසි යෙදුම් වෙනුවට, සිංහල වචන නිර්මාණය කළේ ය. සිනමාවේදය යන අර්ථය සහිත දේ පිළිබඳව කතා කරන විට ඔහු ඒ සඳහා යොදාගත්තේ 'සිනමාලංකාරය' යන්නය. එමෙන්ම 'රංග වින්‍යාස', 'පරිශ්‍ර භූමි අලංකරණය', 'කාර්මික වෘන්දය', 'නිෂ්පාදන වෘන්දය' යන අපූර්ව යෙදුම් සිංහල සිනමා සාහිත්‍යයට හඳුන්වා දුන්නේ ඔහුය. කිසිවකුත් මේවා විශේෂ කොට නොදුටුවද මේ සෑම වචනයක්ම අනාගත කාලයක සිංහල භාෂාවෙන් සිනමාව පිළිබඳ කෙරෙන කතිකා සඳහා උපකාරී වනු ඇත.


එමෙන්ම චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයක් වන 'සදිසි' සඟරාව ආරම්භ කරමින් සිංහල සිනමා සාහිත්‍යයේ නිම්වළලු පුළුල් කිරීමට ඔහු කටයුතු කළේය.  චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කරනු ලැබ  සිටි කාලයේ පවා ඔහු මෙම සඟරාව සඳහා සිය බුද්ධිමය දායකත්වය ලබා දී තිබිණ.


අපේ රටේ සිනමාව පිළිබඳව උගන්වන බොහෝ දෙනා අදහස් දක්වන්නේ, සිනමාව යනු බටහිර ඉපදුණු, අපේ පොළොවේ පැළ කළ නොහෙන ආගන්තුක ගසක් පරිද්දෙනි. එහෙත් තිස්ස අබේසේකරයන් සිනමාව පිළිබඳ ව උගන්වන සෑම විටම එය අපේ ජනකලාව, ජන ඉතිහාසය, සංස්කෘතික ඉතිහාසය යනාදී සියල්ල සමග බද්ධ කරමින් ඒ දෙක වෙන් කළ නොහැකි දෙයක් බව පෙන්වා දුන්නේය.


'බුත්සරණ', 'අමාවතුර' සිට ජනකවිය දක්වා පැමිණ ජනකවියේ ඇති රූපකාර්ථ සිනමාව තුළ භාවිත වන්නේ කෙසේදැයි අසිරිමත් ලෙස ඔහු ගෙනහැර දැක්වීය. තිස්ස අබේසේකර අපේ රටේ අනෙක් සිනමාකරුවන්ගෙන් විශේෂ වන්නේ මෙතැනදීය.


ශ්‍රී ලංකාවේ පළමුවරට සිනමාව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමට, ඩිජිටල් සිනමාවක් ඇති කිරීමට ඔහු උත්සාහ කළේය. ඒ කටයුත්ත සඳහා ඔහු සූදානම් වන විට චිත්‍රපට සංස්ථාවේ වගකිය යුතු සියලු දෙනාම පාහේ ඊට විරුද්ධ වූහ. එමෙන්ම, විදේශීය සිනමා කාර්මික ශිල්පීන් සමග ලාංකේය ශිල්පීන් යොදවා සිනමා නිර්මාණ කරන්නට ඔහුගේ සැලසුමක් තිබිණ. එමගින් ඔහු ලෝකයේ නූතන සිනමා තාක්ෂණය ලාංකේය ශිල්පීන්ට පුහුණු කරවා නව තාක්ෂණය දත් නව කාර්මික ශිල්පී පරම්පරාවක් මෙරට තුළ ගොඩනඟන්නට බලාපොරොත්තු විය. 


තිස්ස අබේසේකරයන් ජීවිතයෙන් නික්ම යන තුරුම පසු වූයේ සිනමාව පිළිබඳව ඔහු සතු වූ මහා ඥාන සම්භාරය හා කුසලතා මෙරට අනාගත පරම්පරාවට ලබා දිය හැකි ආකාරය ගැන සිතමිනි.


මෙම කලාකරුවා දේශීය - විදේශීය සම්ප්‍රදායන් පිළිබඳව ඉතා පුළුල් දැනුමක් තිබූ විශිෂ්ට ද්වි භාෂික බුද්ධිමතෙක් විය. එහෙත් ඔහු විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය ඔස්සේ බිහිවූවෙක් නොවීය. අපේ රටේ විශ්ව විද්‍යාල ඔහු සම්බන්ධව කටයුතු කළේ කුහකභාවයකින් යුතුව බව සාවද්‍ය නොවේ. බාහිර දේශකයකු වශයෙන්වත් අඛණ්ඩව, ඔහුගේ දැනුම සරසවි ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබා දීමට අවස්ථාව සලසන්නට අපේ රටේ විශ්ව විද්‍යාල නිහතමානී වූවේ නැත.


දැනට කලකට පෙර ඔහු තම පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන්නට අවස්ථාව සලසා දෙන ලෙසට කැලණිය විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීමක් කර තිබිණ. සිය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් පුද්ගලයින්ට මූලික උපාධිය නොමැතිව, පශ්චාත් උපාධිය හදාරන්නට අවස්ථාව ලබා දෙන සම්ප්‍රදායක් ලෝකයේ විශ්ව විද්‍යාලවල තිබේ. ඒ නම්‍යශීලී බව අපේ රටේ විශ්ව විද්‍යාල පද්ධතියේ නීතිවල තිබේ. එහෙත් කැලණිය විශ්ව විද්‍යාලය මෙම නිර්මාණවදියාට එම අවස්ථාව අහිමි කළේය.


අපේ රටේ සමහර විශ්ව විද්‍යාල තිස්ස අබේසේකරට ''සම්මාන ආචාර්ය'' උපාධියක් හෝ දීම සුදුසු යැයි කල්පනා කරමින් සිටියදී, එවැන්නක්වත් නොදී සිටීමේ අවනම්බුවෙන් ගැලවීමට සමත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයයි. කොළඹ විශ්ව විද්‍යාලය තිස්ස අබේසේකරයන්ට සම්මාන ආචාර්ය උපාධියක් ප්‍රදානය කළාය. සාමාන්‍යයෙන් සම්මාන ආචාර්ය උපාධියක් ප්‍රදානය කළ විට සමාජයේ ගෞරවයට පාත්‍ර වන්නේ එය ලබාගත් පුද්ගලයාය. එහෙත් අබේසේකරයන්ට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමෙන් ගෞරවයට පාත්‍ර වූයේ එය පිරිනැමූ කොළඹ විශ්ව විද්‍යාලයයි. කවුරුත් කීවේ තිස්ස අබේසේකරට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමෙන් කොළඹ විශ්ව විද්‍යාලය කළේ කෙතරම් යහපත් දෙයක්ද කියා මිස, ඔහුගේ නමට ඉදිරියෙන් 'ආචාර්ය' පදවියක් යොදා ගැනීම කෙතරම් අපූරුද කියා නොවේ.

තිස්ස අබේසේකරයන්ට පශ්චාත් උපාධිය හදාරන්නට විශ්ව විද්‍යාලයක් අවස්ථාව ලබා දුන්නේ නම්, ඔහු සිය ක්ෂේත්‍රය ගැන වඩා වඩාත් ගවේෂණය කොට සුවිශේෂ ශාස්ත්‍රඥානයක් ඊට එකතු කරනු ඇති බව නිසැකය. එසේ වී නම්, ඔහු වැනි ප්‍රාඥයකු අධ්‍යයනය තුළින් පුරවා යන මහා දැනුම මෙරට අනාගත පරම්පරාවට ඉතිරි වන්නට ඉඩ තිබිණ. එහෙත් කුහකභාවයෙන් හැසිරුණු අපේ රටේ විශ්ව විද්‍යාල ඔහුට හා රටට ඒ අවස්ථාව නිර්දය ලෙස අහිමි කළේය. මිය ගිය පසු ඔහු ගැන වර්ණනා කරන්නට පෙළ ගැසීමෙන් ඒ වරද වසාගත හැකි නොවේ.


අවසාන වශයෙන්, තිස්ස අබේසේකරයන් ඉතිරි කොට ගිය, මෙරට සිනමා කර්මාන්තය ගොඩනැඟීම සඳහා අවශ්‍ය යැයි සිතා ඔහු ආරම්භ කරන්නට උත්සාහ කළ ක්‍රියාමාර්ග රාශියෙන් කිහිපයක් හෝ සියල්ලම හෝ අනාගත පරම්පරාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාමේ අභියෝගය භාරගන්නට සූදානම් ලාංකේය සිනමාකරුවා කවුද යන පැනය අප අභිමුව තිබේ. තිස්ස අබේසේකර සිනමාවේදියා රෝගාතුරව සිටින විට සුවදුක් විචාරන්නට රෝහලට යාමට හෝ මිය ගිය පසු අවසන් ගෞරව දක්වන්නට කලාභවනට යාමට වඩා විශාල දෙයක් ඔහු ජීවත්ව සිටි කාලයේ කළ යුතුව තිබිණ. ඒ ඔහු සතු ඥාන සම්භාරයෙන්, කුසලතාවලින් ලාංකේය සිනමාව පෝෂණය කරන්නට ඔහුට අවස්ථාව සලසාදීමයි. ඒ දෙය නොකිරීම පිළිබඳව, අතපසු කිරීම පිළිබඳව කිසිවකුටත් දැන් පසුතැවිලි නොවී සිටිය හැකිද?



(මා විසින් ලියනලද මෙම ලිපිය 2009 මැයි මස 03 වන ඉරිදා 'හෙළදිව' පුවත්පතේ ''ඔහුට අවස්ථාව නොදීම ගැන කිසිවකුට පසුතැවිලි නොවී සිටිය හැකිද?'' යන මැයෙන් පළමු වරට පළ විණි.) 

No comments:

Post a Comment