Sunday, June 20, 2021

ලෝක බැංකුව හා බහුජාතික සමාගම් ඇටවූ කෘෂිකර්මාන්තයේ පංච මහා උගුල්


ලංකාවේ කෘෂි රසායන ආනයනය අත්හිටුවීමත් සමග, අපේ රටේ කෘෂිකර්මය පිළිබඳ නව කතිකාවක් ඇරඹී තිබේ. එය, අඩ සියවසකට නො අඩු කාලයක් තිස්සේ අන්තර්ජාතික මූල්‍ය ආයතන හා බහුජාතික සමාගම් විසින් මේ රට මත විවිධ උපායික සැලසුම් හරහා ගොඩනැඟූ නවීන කෘෂිකර්මයේ ආදීනව හරහා සෞඛ්‍ය - ආර්ථික - සමාජ - දේශපාලන යන ක්ෂේත්‍ර වෙතින් මතු වන නව කියැවීමකි. මෙම ක්‍රමයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ හුදෙකලාව හෝ අසංවිධිතව නැඟුණු විරෝධය වඩාත් පුළුල් හා සංවිධානාත්මක තලයක දියත්ව ඇති මේ මොහොතේ, අන්තර්ජාතික මූල්‍ය ආයතන හා බහුජාතික සමාගම් ජාලය දශක ගණනාවක් තිස්සේ හරිත විප්ලවය යටතේ අපේ වැනි රටවල් තල්ලු කළ කෘෂිකාර්මික උගුල පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් අවශ්‍ය වේ. මන්ද යත් මේ ‘උගුල’ ගැන පුළුල් හඳුනාගැනීමකින් තොරව කටයුතු කිරීමෙන් අලුත් වටයකින් ඒ උගුලටම ගොදුරු වීමේ විභවය පවතින බැවිනි.

අන්තර් ජාතික මූල්‍යායතන හා බහුජාතික සමාගම් විසින් නවීන කෘෂිකර්මාන්තය යන තේමාව යටතේ නිර්මාණය කර ඇත්තේ පංචවිධ උගුලකි. ඒ උගුලට අඩු වැඩි වශයෙන් අපේ වැනි පරිවාරයේ රටවල් බොහොමයක් ගොදුරු වී තිබේ. ඒ උගුලට ගොදුරු වීමේ ප්‍රතිඵල ලෙස ආර්ථික වශයෙන්ද, පාරිසරික වශයෙන්ද, සෞඛ්‍ය වශයෙන්ද රටක් ලෙස - සමාජයක් ලෙස නොහිම් වන්දියක් ගෙවමින් සිටිමු.

 

01. මහා පරිමාණ - ඒක බෝග වගා බිම් උගුල

 අපේ රටවල පැවති කෘෂිකර්මාන්තය තුළ කුඩා පරිමාණ වගාබිම්හි ඉතා කාර්යක්ෂම ලෙස වගා කටයුතු කිරීමට ගොවීහු සමත්වූහ. ඔවුහු එකකට එකක් වෙනස් බෝග කිහිපයක් එකම බිමේ වගා කළහ. මෙම ක්‍රමය බෙහෙවින්ම පරිසර හිතකාමී වූයේය. පසුගිය සියවසේ අසූ ගණන්වල සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල අනුව, බ්‍රිතාන්‍යයේ සැල්ෆෝර්ඩ් සරසවියේ පාරිසරික සම්පත් අංශයේ ආචාර්ය පැමලා එම්. ගූඩි සඳහන් කර තිබුනේ, “ලෝකයේ තිබෙන කුඩා පරිමාණයේ වගා බිම් අතරින් හොඳම තැනට ගැනෙන්නේ ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ගෙවතු වගාව බව තම අධ්‍යයනවලදී හඳුනාගෙන තිබෙන බවයි.” ඇය වැඩි දුරටත් සඳහන් කරන ආකාරයට, “සුළු පරිමාණයේ වගා බිමක් සේ යොදා ගැනෙන්නේ අක්කර එකේ සිට එක හමාර දක්වා වපසරියක්. එහි බෝග විවිධාංගීකරණය වැඩියි. බාහිරින් වගාවට එකතු කරන පොහොර හා කෘමි නාශක ප්‍රමාණය අවමයි. වගාව පවත්වාගෙන යන්නේ තිරසාරව බිම ප්‍රයෝජනයට ගත හැකි වන අයුරින්. කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ගෙවතු වගාව සිදු කෙරුණේ මේ ලක්ෂණ පදනම් කර ගනිමිනි. තුන්වන ලෝකයේ රටවලට පමණක් නොව සංවර්ධිත රටවලටද වඩාත් ගැලපෙන්නේ සුළු පරිමාණයේ වගා බිම් ක්‍රමයයි. නමුත් පසුගිය කාලය තුළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් ආධාර ලබා දුන්නේ මහා පරිමාණයේ වගා බිම් ව්‍යාප්ත කිරීමටය. නමුත් ලෝකයේ එවැනි විශාල පරිමාණයේ වගා බිම් අසාර්ථක වී තිබේ.” (‘ලෝක බැංකුව හා ශ්‍රී ලංකාව : පරාධීනත්වයේ පැතිකඩක්’)

අපේ රටේ ගෙවත්තේ සැකැස්ම ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුවේ. මෙහි තමන්ට සෑහෙන පරිදි ආහාර බෝග ගණනාවක් මෙන්ම ඖෂධීය ශාක ගණනාවක්ද වවාගැනීමට කටයුතු කර තිබිණි. එසේම හිමිකාරීත්වය අනුව ඉඩමක් අනෙක් ඉඩමෙන් වෙන් කරන මායිම් වැට පවා ඊට අනන්‍ය ශාක ගණනාවකින් සමන්විත විණි. ඒ සඳහා මුරුංගා වැනි ආහාරමය හා ඖෂධමය වටිනාකමක් සහිත ශාක තෝරාගෙන තිබිණ. මෙරට වැසියාගේ ආහාර සහිත ‘ශීතකරණය’ මෙන්ම ශාක ඖෂධ සහිත ‘ඔසුසල’ වූයේද තම ගෙවත්තයි. ගෙවත්ත කෙළවර බොහෝ විට වූයේ සිය කුඹුරය. මේ සියල්ල එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සබැඳුණු කොටස් විය. මේ තත්ත්වය තුළ මෙරට නිවාස ඒකකයක් යනු ස්වයං පෝෂිත පැවැත්මක් සහතික කරගත් තැනක් විණි.

ආචාර්ය සූරිය ගුණසේකර සඳහන් කරන ආකාරයට, “අපගේ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය කෙරුණේ අස්වැන්න වඩ වඩාත් ඉහළ නංවා ගැනීමට නොවේ. කෘෂිකාර්මික කටයුතු හුදෙක් එම කාර්යය සඳහා පමණක් නොකෙරුණු අතර, බොහෝ සමාජයීය අවශ්‍යතා සපුරාගැනීම ඒ හා බද්ධව තිබිණ. සොබාදහමින් ලබා දුන් අස්වැන්නෙන් සෑහීමට පත් වූ අතර, එමගින් දෙන ඉහළම ඵලය ලබාගැනීමට හැකි ශිල්ප ක්‍රම ඔවුන් සතු විය. එක් බෝගයක අස්වැන්න වඩ වඩා ඉහළ නැංවීම වෙනුවට හැම නිවර්තනික රටකම යොදාගත් ක්‍රමය වූයේ බෝග කිහිපයක් එකම බිමේ වවා (මිශ්‍ර බෝග) එකවර අස්වනු කිහිපයක් ලබා ගැනීමය.” (‘සංවර්ධන ඇදහිල්ල’ - සූරිය ගුණසේකර) අපේ රටේ කෘෂිකර්මය බහුවිධ අතින් සාර්ථක වූයේ මෙම විවිධත්ව කළමනාකරණය තුළය. ඇත්තෙන්ම මෙම බෝග විවිධත්වය යනු ජාන විවිධත්වයයි. ඒ අනුව අතීත ලාංකේය වැසියා සිය ගෙවත්තේ විවිධ බෝග වගාකිරීම හරහා සිදු කළේ නූතන හඳුනාගැනීම්වලට අනුව ජාන විවිධත්වය කළමනාකරණය කිරීමයි.

නමුත් අන්තර්ජාතික කෘෂි විශේෂඥයින්ගේ උපදෙස් අනුව ලෝකයේ දියුණු රටවල සිදු කළ මහා පරිමාණ වගා බිම්වල අසාර්ථකත්වය පෙන්වන කොතෙකුත් උදාහරණ තිබේ. ජේම්ස් ගෝල්ඩ් ස්මිත් පෙන්වා දෙන ආකාරයට, “ජාන විවිධත්වය නැති වීමෙන් උද්ගත විය හැකි අන්තරායන් ගැන සුප්‍රකට අනතුරු හැඟවීම් බොහෝ ගණනක් ඉතිහාසයෙන් සැපයේ. නිදසුනක් වශයෙන් ලෝකය පුරා තවමත් අර්තාපල් වර්ග 5000ක් ඇත. එහෙත් අයර්ලන්තයේ 19 වන සියවසේදී, සියලුම අර්තාපල් වර්ග පැවතගෙන ආවේ වර්ග දෙකකිනි. ජාන සීමිතභාවය හේතු කොට ගෙන අර්තාපල් කොළ රෝගයට ඔරොත්තු දිය නොහැකිව වසංගත තත්ත්වයට උත්සන්න වීමෙන්, මහා සාගතය හට ගත්තේය. 1960 ගණන්වල දකුණු දිග ධාන්‍ය කොළ රෝගයට අනතුරුව, වසංගතයට ප්‍රධාන හේතුව ධාන්‍ය වර්ගයේ ඒකාකාරභාවය යැයි එක්සත් ජනපද ජාතික විද්‍යා පීඨය සනාථ කළේය. එක් සංයුතියක් අලුත් කොළ රෝගයට ගොදුරු වන සුලු බවට පත් වූ විට, සමස්ත ඇමරිකානු වගාවම අනතුරට පත් විය යන්න එම විද්‍යාපීඨයේ නිගමනය විය. 1970 ගණන්වල රුසියානු තිරිඟු වසංගතය පිළිබඳවද එම කරුණ සැබෑ විය. හෙක්ටයාර් හතලිස් ලක්ෂයක ‘පුදුම බෝගය’ යන විරුදාවලි ලත් එකම ධාන්‍යයක් ඉසිනු ලැබීය. අනපේක්ෂිත ලෙස සහ විද්‍යාත්මක පර්යේෂණ සියල්ල තිබියදීත්, දැඩි ශීත ඍතුවට ඔරොත්තු දීමේ හැකියාව මෙම ධාන්‍ය වර්ගයට නොතිබුණි. ජාන සමානතාව නිසා හටගත් විපාකය වූයේ සමස්ත බෝගයම පාලු වීමය.” (‘උගුල’ - ජේම්ස් ගෝල්ඩ්ස්මිත්)

නමුත් ලෝක බැංකුව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල යන මූල්‍ය ආයතන මෙන්ම, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයද සාර්ථක බව සඳහන් කරන්නේ හා නිර්දේශ කරන්නේ මහා පරිමාණ වගා බිම් ය. මේ මහා පරිමාණ වගා අනුව භූමිය ඵලදායී ලෙස යොදා ගැනීමට ගොවීන්ට නොහැකි වී තිබේ. එපමණක් නොව මෙම වගා ක්‍රමය තුළ කුඩා ගොවීන්ට සිය පැවැත්ම පවා අහෝසි වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.  කෘෂිකර්මය පිළිබඳ ලේකම් වූ බ්‍රට්ස්ට අනුව, “රීතිය නම්, එක්කෝ විශාල විය යුතුය. නැතිනම් ඉවත්ව යා යුතුය.” එනම් කුඩා ගොවීන්ට මේ ක්‍රමය තුළ ඉඩක් නැත. මේ ක්‍රමය තුළ පැවතිය හැක්කේ විශාල ඉඩම්වල මහා පරිමාණ වගා කටයුතු කරන ගොවීන් අතලොස්සකට හෝ බහුජාතික සමාගම්වලට පමණකි. මෙලෙස ඉඩම් සීමිත පිරිසක් අත සංකේන්ද්‍රණය වීම, අඳ ගොවි තත්ත්වය සහ ඉඩම් අහිමි වී යාම නිසා කුලීකරුවන් බවට පත්වීම ආදිය මේ කෘෂි සැලසුම් ක්‍රියාවට නැංවුණු සෑම රටකටම පොදු ඛේදවාචක ය. එක්සත් ජාතීන්ගේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල 1992 දී ලෝකයේ ග්‍රාමීය දිළිඳුභාවය පිළිබඳව රටවල් 114ක කළ අධ්‍යයනයකට අනුව ගෙවුණු වසර 20 (එනම්, 1972 -1992) තුළ, ඒ රටවල් 114 අතරින් වැඩිම වේගයකින් ග්‍රාමීය දිළිඳුභාවය වර්ධනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ බව අනාවරණය විය.

ලංකාවට අනන්‍යව පැවති ස්වයංපෝෂිත කුඩා පරිමාණ වගා බිමේ සිට හරිත විප්ලව සැලසුම්කරුවන්ගේ සිහිනය වූ මහා පරිමාණ වගාබිම් වෙත ලංකාව තල්ලු කිරීම තුළ රටක් ලෙස, සමාජයක් ලෙස අප අත්පත් කරගත් ප්‍රතිඵල, එම සැලසුම් සකස්කළ අන්තර්ජාතික ආයතනවලම අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ මෙලෙසිනි.

මේ ‘මහා පරිමාණ වගාබිම’ නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකළ අවස්ථාවයි.

 

02. රසායනික පොහොර උගුල

ලෝක බැංකුවේ ප්‍රමුඛ මැදිහත්වීම සහිතව නිවර්තන කලාපීය රටවල් පුරා පතුරුවා හළ හරිත විප්ලවයේ හෙවත් නවීන කෘෂිකර්මාන්තයේ ආත්මගත ලක්ෂණය වූයේ රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතයයි. පෝෂණය පිළිබඳ කාරණා නොසලකා, අස්වැන්න වැඩි කිරීමේ කේන්ද්‍රීය අරමුණ සපුරාගනු වස් නිර්මාණය කෙරුණු නව බීජ සදහා මෙම රසායනික පොහොර අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු වූයේය. නව බීජ නිෂ්පාදනයත්, ඊට අනුරූප රසායන පොහොර හා පළිබෝධ නාශක නිෂ්පාදනයත් එකම බහුජාතික සමාගම් විසින් සිදු කෙරිණ.

මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස සඳහන් කරන ආකාරයට, “කෘත්‍රිම පොහොර භාවිතය ඇරඹුණු පනහේ දශකයේ අග දී ගොවියාට පොහොර ලැබුනේ නිකම්ම මෙනි.  දුම්වැටි ප්‍රචාරණය සඳහා පැකට්ටු ගණන් මඟ දිගටම දම දමා ගිය දුම්කොළ සමාගම් මෙන්, කෘත්‍රිම පොහොරද ඇදහිය නොහැකි තරමේ ලාභයට දීමට තරම් බහුජාතික සමාගම්කරුවෝ වෙස්සන්තරලා වූහ. නිකම්ම වාගේ ලැබෙන පොහොර සැබැවින්ම සූරාකෑමේ ආරම්භයක් බව ගොවියෝ නොදත්හ. බහුජාතික උප්පරවැට්ටිය ආරම්භයේ දී ක්‍රියාත්මක වූයේ ඇමක් ගිල්ලවීමෙනි. දැන් ගොවීන් බහුජාතික සමාගම්වල බිලියේ පැටලී හමාරය. කෘත්‍රිම පොහොර කවර මිලකට වුවද ගැනීම අනිවාර්යය.” (‘ගොංකමක් වූ ගොවිකම : දියදම් විරෝධී හෙළ කම්’ - මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස)

මෙම රසායනික පොහොර උගුල ඇටවීමට පෙර, අපේ රටවල පැවතියේ ඓන්ද්‍රීය කෘෂිකර්මයකි. ඒ තුළ ස්වභාවික පරිසරය සමග මනා වූ සබැඳියාවක් සහිත කෘෂි පිළිවෙත් පැවතිණි. මේ පිළිවෙත් මගින් ජෛව විවිධත්ව පෝෂණයක් මිස ජෛව විවිධත්වය වැනසීමක් සිදු නොවීය. පැරණි ගොවියෝ ‘විශේෂඥයින් ’ නොවූහ. නමුත් තමන්ගේ කෘෂිකාර්මික කාර්යය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඔවුන් සතු විය. තමන් විවිධ බෝග වගා කරන පසේ ව්‍යුහය පවත්වාගැනීමටත් ජලයෙන් හා සුළඟින් වන ඛාදනය වළක්වාගැනීමටත් අවශ්‍ය කරන ශක්තිය පසට ලැබෙන්නේ ඊට එකතු වන ඓන්ද්‍රිය ද්‍රව්‍යවලින් බව ගොවීහු කාලාන්තරයක් තිස්සේ දැන සිටියහ. පසෙහි ව්‍යුහය රැකෙන පිළිවෙත් ඔවුන්ගේ වගාබිම්හි ක්‍රියාවට නැංවුණේ ඒ දැනුම්වත්භාවය නිසාය. නමුත් ‘වැඩි අස්වැන්න’ යන කාරණය පෙරට ගෙන අනෙකුත් සියලු සාධනීය ශක්තීන් නොසලකා හැරුණු රසායනික කෘෂිකර්මාන්ත පිළිවෙත් විසින් ඓන්ද්‍රීය කෘෂිකාර්මික පිළිවෙත් අවඥාවෙන් හෙළා දැක ගොවිබිම්වලින් පළවා හැරිණි. මේ කාර්යය සඳහා අපේ රටවලම විශේෂඥයින්ගේ දායකත්වය නොමසුරුව ලැබිණි. නව රසායනික පොහොර භාවිතය නිසා සිදුවන වාසි පිළිබඳ දිවා රෑ ප්‍රචාරය කෙරිණි. 60-70-80 දශකවල මෙරට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් - ගුවන්විදුලි නාට්‍ය සඳහා මෙම රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් අනුග්‍රහය දක්වන ලදී. ඇතැම් ගුවන්විදුලි නාට්‍යවල අන්තර්ගතය සකස් වූයේම, මෙම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට යොමු වීම සඳහා ගොවියාගේ මනස සකස් කරන ආකාරයකිනි.

1960-1970 දශකවලදී හරිත විප්ලවය වැළඳගත් සංවර්ධනය වෙමින් පවතින රටවල් දැවැන්ත සම්පත් ප්‍රමාණයක් කෘත්‍රිම පොහොර ආනයනය, නිෂ්පාදනය, සහනාධාර ලෙස හා බෙදා හැරීම සඳහා වැය කළේය. අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් මේ සඳහා අවශ්‍ය ණය පහසුකම් සම්පාදනය කරන ලදී.

පොහොර හා කෘෂි රසායන නිෂ්පාදන සමාගම්වල ලාභය තරකරනු පිණිස අපේ වැනි රටවල් කැපකර ඇත්තේ මුදල් පමණක් නොවේ. පරිසරය, පස, ජෛව විවිධත්වය, මිනිස් ජීවිත ආදී මේ සියල්ල ඒ වෙනුවෙන් අප වනසාගෙන තිබේ.

 

03. රසායනික පළිබෝධ නාශක උගුල

හරිත විප්ලවය හරහා හඳුන්වා දෙන ලද නව වී වර්ග පැරණි ඒවා මෙන් රෝග හා පළිබෝධවලට ඔරොත්තු නොදුන් නිසා ගොයම් පැළෑටි පළිබෝධකයින්ගෙන් රැක ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පළිබෝධනාශක යෙදිය යුතු වේ. දෙවනුව, වගාවට යොදන කෘත්‍රිම පොහොර නිසා වල් පැළෑටිද ශීඝ්‍රයෙන් වර්ධනය වීම නිසා ඒවා මර්දනය කිරීමටද අනිවාර්යයෙන් පළිබෝධනාශක භාවිත කළ යුතු විය.

කාලාන්තරයක් තිස්සේ පළිබෝධකයින්ට ඔරොත්තු දෙන බෝග විශේෂ තෝරා බේරාගෙන අපේ රටවල ගොවීන් විසින් නිර්මාණය කරගෙන තිබූ මිශ්‍ර බෝග වගාව සහිත සමතුලිත කෘෂි පද්ධති බිඳ දමා ඒත බෝග වගා ක්‍රමය හඳුන්වාදීම තුළ පළිබෝධ හානි ද ඉහළ ගියේය. නමුත් මෙම ඒක බෝග වගාව සහිත නව තත්ත්වයට ඇතැම් විට පැරණි පළිබෝධ මර්දන ක්‍රම නොගැලපිණි. මෙම නොගැලපීම තුළ එම මර්දන ක්‍රම අවඥාවෙන් හෙළා දැකීමට බටහිර කෘෂි විශේෂඥයින්ට අවස්ථාව උදාකළේය. ඒ සඳහා ඔවුන්ගේ පෙර සූදානම් කළ පිළිතුර වූයේ රසායනික පළිබෝධ නාශක භාවිත කිරීමය.

පැරණි පළිබෝධ මර්දන ක්‍රම පරිසර හිතකාමී වූ අතර, එය තනි ක්‍රමයක් මත රඳා පවතිනවාට වඩා ගොවිතැන - පරිසරය හා බැඳුණු සතුන් හා ශාක යන සියල්ල සමග ඒකාබද්ධව පැවති ක්‍රම ලෙස හඳුනාගත හැකිය. ඒවාහි පරිසරය හා සමග වන මාරාන්තික ගැටුමක් නොවීය. වගා බිම් සකස් කර ගැනීමේදී බීජ වී වැපිරීමට පෙර සිදු කරන ‘සී සෑම’ මගින් මී ගවයින්ගේ පාදවලට හසුවන වල් පැළෑටි විශාල වශයෙන් පස යටට  ගිලා බසී. එසේම වී වැපිරීමට පෙර කුඹුරේ ඇති සියලු වල් පැළෑටි මුලින්ම උගුලා මඩ යට ගැසීමෙන් එම වල්පැළෑටිවලට නැවත පැළ වී නැඟී සිටීමට අවස්ථාවක් නොලැබේ. මේ නිසා දේශීය ගොවිතැනට අනුව වල් පැළෑටි හට ගත්තේ මඳ වශයෙනි. එසේම මෙහිදී මේ නවීන කෘෂිකර්මාන්තය අනුව ‘වල් පැළෑටි’ සම්බන්ධ නිර්වචනය අපේ වගා බිමට ගැලපෙන්නක් නොවේ. මේ නවීන කෘෂිකර්මාන්තය තුළ ‘වල් පැළෑටි’ ලෙස අර්ථ දක්වන ඇතැම් ශාක වර්ග අපේ රටේ පලා වර්ග ලෙස කාලාන්තරයක් තිස්සේ ආහාරයට ගත් ඒවාය. උදාහරණ ලෙස ‘ගිරාපලා’, ‘ඇඹුල් ඇඹිලිය’ සඳහන් කළ හැකිය. එසේම ඇතැම් ශාක එනම් ‘තුනැස්ස’, ‘තුන්හිරියා’, ‘පන්’ ආදිය ගෘහ කර්මාන්ත ලෙස වට්ටි පෙට්ටි විවීම සඳහා යොදාගන්නා ලදී. නමුත් කෘෂි රසායන සමාගම්වල නිර්වචනය තුළ මේ සියල්ල වල් පැළෑටි කුලකයට අයත් වූ අතර, එහෙයින් විනාශ කර දැමිය යුතු විණි.

කුඹුරේදී වී පැළයට සතුරු ලෙස ක්‍රියාකරන පැළෑටි මර්දනයට දේශීය ගොවිතැනේදී භාවිත කළ සුවිශේෂ ක්‍රමයක් නම්, කුඹුර පිරෙන්නට වතුර බැඳ තැබීමෙන් වල් පැළෑටි කුණු වී යන්නට සැලැස්වීමෙන් කළ මර්දනයයි. ඉන්දියානු දේශීය ගොවිතැනේදී ද මේ ක්‍රමය භාවිත කර තිබේ. 20 වන සියවස මුල් භාගයේදී ඉන්දියාවෙහි කෘෂිකර්මය පිළිබඳව හදාරා එය නවීකරණය කිරීමට සුදුසු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය රජය විසින් ඉන්දියාවට එවන ලද වොයෙල්කර්, ඉන්දියාවේ වල්පැළ මර්දනය කෙරුණු මෙම ක්‍රමය දැක පවසන්නේ ‘වතුර බැඳ තැබීමෙන් පමණක් වල්පැළ මර්දනය කිරීමේ ක්‍රමය තරම් හොඳ හෝ නිවැරදි ක්‍රමයක් ලොව තවත් තිබිය නොහැකිය යනුවෙනි. (‘සංවර්ධන ඇදහිල්ල’ - සූරිය ගුණසේකර)

පරාක්‍රම එස්. ගුණසේකර පෙන්වා දෙන ආකාරයට, ගොයමට හානි කරන ගොයම් මැස්සා ඇතුළු කෘමීන්ගෙන් ගොයම රැක ගන්නට දේශීය ගොවිතැනේදී අනුගමනය කළ ක්‍රම බොහෝය. මඩු මල් කුඩා කැබලිවලට කඩා කුඹුරේ තැනින් තැන දැමීමෙනුත්, මදුරුතලා ගස් කැබලිවලට කඩා කුඹුරේ තැනින් තැන දැමීමෙනුත් ඒවායින් නික්මෙන ගන්ධය නිසා කෘමීන් පළවා හැරීම සිදු කෙරිණි. (‘දේශීය ගොවිතැන’ - පරාක්‍රම එස්. ගුණසේකර)

වැදගත්ම දේ මේවායින් එම කෘමීන් පළවා හැරීමය. ඔවුන් විනාශ කළා නම් පරිසර පද්ධතිය තුළ එම කෘමීන් මත යැපෙන ඒ හා සම්බන්ධ ශාක හා සතුන් වර්ග ගණනාවකට එය හානිකර ලෙස බලපායි. නමුත් මෙහිදී සිදු කෙරු‍ණේ වගාවෙන් ඔවුන් විකර්ෂණය කිරීමය.

නමුත් මේ ක්‍රමයට ප්‍රතිපක්ෂව බහුජාතික සමාගම් විසින් හඳුන්වා දුන් කෘෂි රසායන හරහා පළිබෝධ නැසීම පැහැදිලිවම ඉතා බිහිසුණු ක්‍රම වේදයක් විණි. ගොවිබිම වෙත කුමන වෙළෙඳ නාමයකින් කෘෂි රසායන පැමිණියත් ඒවා නිපදවීමෙන් ලාභ ලබන්නේ බවර්, හේකෙම්, කෙමිකල් ඉන්ඩස්ට්‍රීස්, හාක්‍රොස්, මැක්වුඩ්ස් වැනි සමාගම්ය. ඒවායේ මව් සමාගම් වන්නේ යුනියන් කාබයිඩ්, සීබාගෙයිගි, ෆෝඩ්, රොක්ෆෙලර්, ෂෙල්, බේයර් වැනි යෝධ බහුජාතික සමාගම්ය. 1950 සිට 1980 දක්වා කාලය තුළ ලෝකයේ පළිබෝධනාශක භාවිතය 32 ගුණයකින් ඉහළ ගොස් ඇත.

මෙහිදී ලංකාවේ කෘෂි රසායන ව්‍යාපාර කටයුතු කළ ප්‍රධාන සමාගමක් වූ ‘සීමාසහිත කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් (කොළඹ)’ විසින් ඉකුත් 90 ගණන්වල මුල්භාගයේ නිකුත් කර තිබූ ඔවුන් විසින් අලෙවිකරන ‘කෘෂි රසායනික ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු’ නමැති අත්පොත පරිශීලනයෙන් පමණක් මෙම කෘෂි රසායන උගුලේ විනාශකාරීත්වය අවබෝධ කර ගැනීමට පිළිවන. මෙම සමාගම විසින් පූර්ව නිර්ගමන වල් නාශක, පශ්චාත් නිර්ගමන වල් නාශක, සියල්ල නසන වල් නාශක, තෝරා නසන වල් නාශක, පූර්ව සහ පශ්චාත් නිර්ගමන වල් නාශක, ඕගනෝ ෆොස්පරස් වර්ගයට අයත් දියර කෘමි නාශක, ඕගනෝෆොස්පරස් වර්ගයට අයත් කෘමි නාශක කුඩු , කාබමේට වර්ගයට අයත් කෘමිනාශක දියර, කාබමේට වර්ගයට අයත් කැට සහිත කෘමි නාශක, පයිරත්‍රොයිඩ් වර්ගයට අයත් කෘමි නාශක, කෘමි වර්ධක නාශක, මී නාශක, දිලීර නාශක, සංස්ථානීය දිලීර නාශක යන වර්ග 14 යටතේ ‍වෙළෙඳ නාම 22කින් කෘෂි රසායන ඉදිරිපත් කර ඇත.

එක් එක් වෙළෙඳ නාමයෙන් යුතු කෘෂි රසායනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව දක්වා ඇති විස්තර ඇඟ හිරිවට්ටන සුලුය.

“ගෝල් 2 ඊ - සක්‍රීය ද්‍රව්‍ය ලෙස 24% ඔක්සිප්ලෝෆේන් අඩංගු පූර්ව නිර්ගමන වල් නාශකයකි. එය තෘණ, පන් සහ පළල් පත්‍රවලට අයත් වල් බීජ ප්‍රරෝහණය සති 8-12 දක්වා මර්දනය කරයි. ගෝල් 2 ඊ වී, ළූනු, සෝයා බෝංචි, අර්තාපල්, තේ සහ උක් වැනි බෝගවල වල් මර්දනයට භාවිත කෙරේ.

රොන්ස්ටා 25 ඊසී - සක්‍රීය ද්‍රව්‍ය 25%ක් අඩංගු පූර්ව නිර්ගමන වල් නාශකයකි. ප්‍රරෝහණය වන වල් පැළ බීජ අංකුරවල වර්ධක ස්ථාන රොන්ස්ටා යෙදූ පසු හා ගැටුණු විගස ඒවායේ වර්ධනය ඇණ හිටී. මෙමගින් වල් පැළ බීජ ප්‍රරෝහනය සති 4-6 කාලයක් දක්වා මර්දනය කෙරේ.

ඩයියුරෝන් 80% ඩබ්ලිව්.පී. - පූර්ව නිර්ගමන වල්නාශකයකි. පසෙහි ඇති රසායන ද්‍රව්‍ය මුල් මගින් උරාගන්නා නිසා ප්‍ර රෝහනය වූ බීජ වහා වැනසේ. මෙය තේ, පොල්, රබර්, අන්නාසි, උක්, දොඩම්, දෙහි, කපු, මිදි, පාම් ඔයිල්, ඉදල් ඉරිඟු, බඩ ඉරිඟු වගාවේ සහ කාර්මික භූමි, රේල් පාරවල්වල ඇති වල් මර්දනයට භාවිත කෙරේ.

ග්‍රැමොක්සෝන් - සක්‍රීය ද්‍රව්‍ය ලෙස ලීටරයට ග්‍රෑම් 200 පැරකොට් අයන අඩංගු ස්පර්ශයෙන් නසන පූර්ණ වල් නාශකයකි. ශාකයන්හි පස මතුපිට  පවතින හරිත වර්ණ වූ සියලුම කොටස් ග්‍රැමොක්සෝන් යෙදීමෙන් ස්පර්ශයෙන් විනාශවන අතර, පසට වැටීමෙන් එහි ක්‍රියාකාරීත්වය හීන වී යයි. මෙය වී වගාවේ මූලික වල් මර්දනයට සහ තේ, රබර්, පොල් කුරුඳු, කෙසෙල්, කෝපි හා උක් වගාවන්හි තෘණ, පන් සහ පළල් පත්‍රවලට අයත් වල් මර්දනයට භාවිත කළ හැකිය.

ඇක්ටලික් 50 ඊ.සී. - ස්පර්ශයෙන්, ශරීරගතවීමෙන් හෝ ධූමකරණයෙන් කෘමීන් මර්දනය කෙරේ. ඇක්ටලික් පත්‍ර මතුපිටට යෙදූ විට ඒවායේ යටි පැත්තටද සංක්‍රමණය වී පත්‍ර යටි පැත්තේ සිටින කෘමීන්ද මර්දනය කරයි.

ඩයිමෙතොඒට් 40 - ඕගනෝපොස්පරස් වර්ගයට අයත් බෝගවලට යෙදූ විගසින් ඒවා තුළට උරාගන්නා අධික ක්‍රියාකාරීත්වයකින් යුත් කෘමිනාශකයකි. මෙය පැළෑටි මත තැවරුණු විගස පැළෑටි තුළට ඇතුළු වී පැළෑටිවල මුල්, කරල්, ගෙඩි වැනි සියලු කොටස් තුළට පැතිරෙන නිසා එම විවිධ කොටස්වලට හානි කරන සියලුම කෘමීන් සැනෙකින් මර්දනය කරයි.

මොනොක්‍රොටෆොස් - ඕගනෝපොස්පර්ස් වර්ගයට අයත් පුළුල් ක්‍රියාකාරී සංස්ථානීය කෘමි නාශක දියරයකි. එය යෙදූ විට ශාකවලට උරාගන්නා අතර, ඒ මගින් හපාකන යුෂ උරාබොන සහ විද යුෂ උරාබොන කෘමීන් මර්දනය කරයි.

මාර්ෂල් 20 ඊ.සී. - සක්‍රීය ද්‍රව්‍ය ලෙස 20% කාබොසල්ෆාන් අඩංගු කාබමේට් වර්ගයට අයත් පුළුල් ක්‍රියාකාරීත්වයක් ඇති සංස්ථානීය කෘමිනාශකයකි. මෙය පසට හෝ පත්‍රවලට යෙදිය හැකි අතර, බෝගවලට හානිකරන, හපාකන, යුෂ උරාබොන හෝ විද යුෂ උරාබොන හා පසේ වෙසෙන කෘමීන්ද මර්දනයට භාවිත වේ.”

මෙම කෘෂි රසායන ක්‍රියාකරන ස්වභාවය විශ්ලේෂණය කරගැනීම මගින් අපේ රටේ බෝගවලට -පරිසරයට - පසට - ජීවීන්ට සිදු කර ඇති විනාශයේ තරම පිළිබඳ පැහැදිලි අදහසක් ගත හැකිය. මේ එබඳු එක් සමාගමක නිෂ්පාදන පමණි. මෙබඳු තවත් සමාගම් ගණනාවක, විවිධ වෙළෙඳ නම්වලින් යුත් කෘෂි රසායන ද්‍රව්‍ය ගණනාවක්, අඩ සියවසකට නොඅඩු කාලයක් තිස්සේ අඛණ්ඩව වගා කන්නයක් කන්නයක් පාසා යෙදීමෙන් සිදුව ඇති විනාශයේ පරිමාණය ගිණිය නොහැකි තරම්ය. මෙය වඩාත් පැහැදිලි වන්නේ සාම්ප්‍රදායික දේශීය කෘෂි කර්මයේ පළිබෝධ මර්දන ක්‍රම ඉදිරිපිට, ඉහත දැක්වූ කෘෂි රසායනවල පළිබෝධ මර්දන ස්වභාවය තබා බලන විටය. අපේ පරිසරයෙන් වී කුරුල්ලන්, බත්කූරන්, සමනළයින්, ගැඩවිලුන්, නලහඳයින් ඇතුළු මිරිදිය මාලුන් වැනි ඇසට පෙනෙන ජීවීන් මෙන්ම, අපේ ඇසට නොපෙනුන ක්ෂුද්‍ර ජීවීන් ගණනාවක්ද වඳ වී යාම පිටුපස ඇත්තේ මේ රසායනික ද්‍රව්‍යවල හැසිරීම නොවේද?

මෙරට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයේ අඩුපාඩු ගැන අඬහැර පා, කෘෂි රසායන මත පදනම් වූ කෘෂි කර්මාන්තයක් මෙරට ස්ථාපිත කිරීමට දේශපාලන මට්ටමේ සිට නිලධාරී තන්ත්‍රය දක්වාද, ආචාර්ය - මහාචාර්යවරුන්ගේ සිට මේවා ගැන වර්ණනා කරමින් ලිපි ලියූ පුවත්පත්කලාවේදීන් දක්වාද, මේවා වෙළෙඳ දැන්වීම් හරහා සමාජගත කිරීමට දැන්වීම් ලියූ පිටපත් රචකයින් දක්වා ද වන සියලු කණ්ඩායම්වලට දැන් කීමට ඇත්තේ කුමක්ද? එකක් නිසැකවම කිව හැකිය. එනම්, දශක හයක් තිස්සේ අපේ ශරීරවලට මෙලෙස කෘෂි රසායන හරහා ඇතුළු වී ඇති විෂ රසායන ප්‍රමාණය අනුව, වෙනත් රටකට කවදාවත් අපට ‘වහ කවා’ මේ රට යටත් කර ගැනීමට නුපුළුවන් බවය. ‘ගොවියාගේ හිතමිතුරා ...’ අපේ රටට කෙළවා ඇත්තේ මෙලෙසිනි.

මේ ‘කෘෂි රසායන’ නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකර ඇති ආකාරයයි.

 

04. කෘෂි තාක්ෂණ උගුල

අපේ වැනි රටවල පැවති කෘෂි කර්මය තුළ මිනිස් ශ්‍රමය වැඩියෙන් යොදා ගැනුණු අතර, සරල යන්ත්‍ර සහිත තාක්ෂණයක්ද භාවිත කෙරිණ. එබැවින් අපේ රටවල පැවතියේ යාන්ත්‍රික නොවූ , එමෙන්ම පැවති සමකාලීන සමාජ - ආර්ථික කොන්දේසි හා සමගාමී වූ ශ්‍රම සූක්ෂ්ම කෘෂි කර්මයකි.

බටහිර කෘෂි විශේෂඥයෝ මෙම ක්‍රම හෙළා දකිමින් මේවා අකාර්යක්ෂම, යල්පැන ගිය ක්‍රම බවත් මහා පරිමාණ කෘෂි කර්මාන්තයකට මෙම ක්‍රම නොගැලපෙන බවත් පැවසූහ. ‘අස්වැන්න වැඩි කිරීම’ පෙරට ගනිමින් ඔවුන් යෝජනා කළේ යාන්ත්‍රික ක්‍රම වැඩියෙන් භාවිත කරන ප්‍රාග්ධන සූක්ෂ්ම කෘෂි කර්මාන්තයකි. මිනිස් ශ්‍රමය ඉතා අඩුවෙන් අවශ්‍ය කරන්නා වූ මෙම නූතන යන්ත්‍ර සූත්‍ර ඉතා කාර්යක්ෂම බවත්, කෘෂි කර්මාන්තයේ වැඩි ඵලදායීබවක් මේ හරහා ගොඩනැඟෙනු ඇති බවත් පැවසුණි. මේ අනුව කෘෂි උපකරණ නවීකරණය කළ යුතු වීම ඔවුන්ට අනුව අත්‍යවශ්‍ය කාර්යයක් විණි. සැබැවින්ම ගතහොත් එතෙක් පැවති සාම්ප්‍රදායික කෘෂිකර්මය තුළ කෘෂි යන්ත්‍රෝපකරණ වෙළෙඳපොළකට ඉඩක් නොවීය. එහෙත් මෙම නව කෘෂිකර්මාන්තයේ එක් කොටසක් වූයේ කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් සඳහා වෙළෙඳ පොළක් ද නිර්මාණය කිරීමයි.

මුල් කාලයේ ඇතැම් ආධාර ආයතන මගින් කෘෂි කර්මය නවීකරණය කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර නොමිලේ සපයන ලදී. ට්‍රැක්ටර් භාවිතය මෙරට ගොවිබිම් වෙතට පැමිණෙන්නේ මෙසේ කෘෂිකර්මාන්තය නවීකරණය යටතේය. මෑතක් වන තුරුම යන්ත්‍ර මගින් සී සෑම අත්‍යවශ්‍ය ඉතා ඵලදායී හා කාර්යක්ෂම නූතන කෘෂිකාර්මික අංගයක් වශයෙන් පිළිගැනීමට ලක් වුණි. නමුත් පර්යේෂණවලින් හෙළිවන තොරතුරු අනුව එම තත්ත්වය වෙනස් වෙමින් තිබේ.

ජර්මනියේ කීල් සරසවියේ රේනර් හෝන් පවසන්නේ යන්ත්‍ර මගින් සීසෑම නිසා වගා බිමක අස්වැන්න 80% අගයක් දක්වා පහත වැටෙන බවයි. පසෙහි ඇති කුඩා ජල මාර්ග පද්ධති බිඳ වැටීම, ශාක පෝෂණය කෙරෙහි ඉතා ඍජු බලපෑම් ඇති කරන සතුන් විනාශ වී යාම ආදිය මේ තත්ත්වයට හේතු වේ. මේ ආකාරයට යුරෝපයේ පමණක් වගා භූමි හෙක්ටයාර් මිලියන 30ක් පමණ ගුණාත්මකව පහළ අගයක් ඇති භූමි බවට දැනටමත් පත්ව තිබෙන බව හෝන් ඇතුළු පිරිස කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ. (‘ලෝක බැංකුව හා ශ්‍රී ලංකාව : පරාධීනත්වයේ පැතිකඩක්’)

මෙරට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ විශේෂඥයකු හා වියළි කලාපයේ සමාජ - ආර්ථික පර්යේෂණවල දීර්ඝ කාලයක් නිරත වූ පර්යේෂකයකු මෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයකු ද වූ, එසේම ‘නියඟය සහ ගොවියා’ නමැති පර්යේෂණ ග්‍රන්ථයේ කතුවරයා වන ආචාර්ය එම්.යූ.ඒ.තෙන්නකෝන් මහතා සමග මෙම ලියුම්කරු කලකට ඉහත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු දැක්වූ අදහසක් මෙතැනදී සඳහන් කිරීම වැදගත් වේ. ආචාර්ය තෙන්නකෝන් මෙසේ පවසයි. “අපට වැරදුණේ අපි මේ කෘෂිකර්මාන්තය කියන එක කරල. මේක කර්මාන්තයක් නෙවෙයි, කෘෂි සංස්කෘතියක්. ඒක ඉංග්‍රීසියෙන් හරි, Agri + Culture  (කෘෂි සංස්කෘතිය). අපි ඒක සිංහලට ගන්නකොට Agri + industry  වෙලා. ඒක බහුබූතයක්. 1998 මමත් සහභාගි වුණු එක්තරා සාකච්ඡාවකට මෙහෙ හිටපු ඇමරිකන් විශේෂඥයකුත් සහභාගි වුණා. ඔහු එතැනදි කියනවා, කුඹුරෙන් අවසාන මී හරකාත් පැන්නුවොත් තමයි මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙන්නේ කියලා. මම කෙළින්ම කිවුවා එතකොට, සමහර මීහරක් දන්නේ නැහැ, මීහරකා අපේ සංස්කෘතියෙම අංගයක් බව කියලා.”

මෙරට කෘෂිකර්මාන්තයේ මී ගවයින් යොදාගෙන සී සෑමේදී යොදාගත් සාම්ප්‍රදායික නගුල් මගින් මතුපිට පස පමණක් උඩට ආ අතර එය සාරවත් පස වූ බැවින් අමුතුවෙන් කෘත්‍රිම පොහොර යෙදීමට අවශ්‍යතාවක් නොවීය. නමුත් ට්‍රැක්ටර් යොදාගෙන සී සෑමේදී වඩා ගැඹුරු පස ඉහළට ආ අතර, එම පස සාරවත් පසක් නොවූ බැවින් එහි වගා කිරීම සඳහා පිටතින් පොහොර යෙදීම අනිවාර්ය අවශ්‍යතාවක් විණි. නවීන තාක්ෂණය ද නැවත රසායනික පොහොර උගුල වෙත ගොවියා ගැට ගැසීමට සැලසුම් කර ඇත්තේ එලෙසිනි.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ගොවිතැන ගැන හදාළ The Ecologist සඟරාවේ කර්තෘ එඩ්වඩ් ගෝල්ඩ්ස්මිත් කියන්නේ නවීකරණය යටතේ සිංහල මිනිසුන්ට අලුතින් ලබා ගැනීමට ඇති එකම දෙය වීල්බැරෝව පමණක් බව කියන උපාලි සේනානායකගේ අදහස නිවැරදි බවයි. (‘සංවර්ධන ඇදහිල්ල’ - සූරිය ගුණසේකර)

ගෙවුණු දශක කිහිපය තිස්සේ නව කෘෂි උපකරණ ආනයනය වෙනුවෙන් රටක් ලෙස වැය කළ මුදලින් තර වූයේ බහුජාතික සමාගම්වල ධනයයි.

මේ ‘නවීන කෘෂි තාක්ෂණය’ නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකර ඇති ආකාරයයි.

 

05. කෘෂි උපදෙස් - නිර්දේශ උගුල

රටක කෘෂි කර්මයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ තම රටේ ජනතාවගේ ආහාර අවශ්‍යතාව පළමුව සපුරාලීමය. ඓතිහාසික වශයෙන්ම රටේ ආර්ථික - නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉතා වැඩි බරක් කෘෂිකර්මය, විශේෂයෙන්ම වී ගොවිතැන විසින් දරනු ලැබූ ශ්‍රී ලංකාව වැනි රටක නිරතුරුව මෙම අරමුණ වෙත ඉලක්කගතව කෘෂිකර්මය සිදු කිරීමේ වැදගත්කම අමුතුවෙන් සඳහන් නොකළ යුතු තරම්ය.

“ශ්‍රී ලංකාවේ අපට (අපේ පැරැන්නන්ට) වී ගොවිතැන යනු සිය ජීවිතයයි. අපේ ජීවන පුරුදු, සිරිත් විරිත්, භාෂාව, කලාව, ක්‍රීඩාව ආදී සමාජයීය ජීවිතයේ සෑම අනුෂාංගයක්ම වී ගොවිතැන කේන්ද්‍ර කොටගත් ඒවා වේ. එහෙත් නව ආර්ථික රටාවකට අනුව නව නිෂ්පාදන සම්බන්ධකම් හඳුනාගැනීමත් සමග ශ්‍රී ලාංකිකයා මේ සියලු සංස්කෘතික සම්බන්ධකම්වලින් විනිර්මුක්ත කෙරිණි. තවදුරටත් වී ගොවිතැන යනු අපේ ජීවිතය නොවේ.” (සටහන, ශ්‍රී ලංකා මහ බැංකුව - 1999 මාර්තු)

අපේ රටේ කෘෂිකර්මයේ ප්‍රධාන අරමුණ නොසලකා හැරීම ආරම්භ වූයේ මෙරට කෘෂිකර්මය අපනයනය අරමුණු කොටගත්, එමෙන්ම වෙළෙඳපොළ වුවමනාවන් පමණක් අරමුණු කොටගත් එකක් විය යුතු බවට ලෝක බැංකුව නිර්දේශ කිරීමත් සමගය. අපේ රටේ කෘෂිකර්මයේ විනාශය ආරම්භ වූයේ මෙරටේ ආර්ථිකය ස්වයංපෝෂිත නොවී, ‘අපනයනය’ අරමුණු කොටගත්තක් විය යුතුය යන දර්ශනයෙනි. කෘෂිකර්මය අපනයනය කරා යොමු කිරීම තුළින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා සාගින්න තුරන් කිරීමට වඩා කෘෂිකර්මය වාණිජකරණයට යොමු කිරීම අපේක්ෂා කෙරිණි.

ආචාර්ය වන්දනා ශිවා සඳහන් කරන ආකාරයට, “ආපසු හැරී බලනවිට මට කල්පනා වන්නේ හරිත විප්ලවයේ සැබෑ අරමුණ කෘෂිකර්මය ලෝකගත කිරීම බවයි. ලෝකයේ අප ජීවත්වන ප්‍රදේශවල ආර්ථික කටයුතු වැඩි ප්‍රමාණයක් කළේ ප්‍රජාවන් විසිනි. ගොවියෝ එකට එක්ව ආහාර නිෂ්පාදනය කළහ. වෙනත් අය වෙනත් වැඩ කළහ. නමුත් දැන් සිදු වී තිබෙන්නේ අර ගොවීන් විසින් කළ කටයුතු, කාර්යභාර ගොවීන්ගෙන් ඉවත්කිරීමට සැලසුම් කිරීමයි. එය කරන්නේ මධ්‍යගත ක්‍රමයක් මගිනි. එසේ කරන්නේ ඇයි? ඒවා ලෝකගත කෙරුණු ක්‍රමයක් තුළට ගෙනැවිත් ක්ෂණිකව පුද්ගලගත කිරීම සඳහාය. මධ්‍යගත කිරීම මගින් මිස එය කළ හැකි අන් ක්‍රමයක් නැත. ප්‍රජා මට්ටමේ සිට එක එල්ලේම පුද්ගලගත කරන්නට පියවර ගතහොත් සමාගම්වලට ගොවි ජනතාව ග්‍රහණය කරගත නොහැකි වේ. ඒ නිසා එය සිදු කරන්නේ රාජ්‍ය පාලනයට යටත් ක්‍රමයක් තුළ මධ්‍යගත පාලනයක් වෙත යාමෙනි. ඒ අනුව හරිත විප්ලවය රිංගවා තිබෙන්නේ කෘෂිකර්මය ලෝකගතකරණ වැඩසටහනේ අනිවාර්ය පියවරක් හැටියටය.” ( ‘ලෝකගතකරණයේ දේශපාලන හා ආර්ථික අභියෝගය හා ගැලවීමට ඇති මඟ’ - ආචාර්ය වන්දනා ශිවා)

ලෝක බැංකුව ප්‍රමුඛ අන්තර්ජාතික මූල්‍ය ආයතන අපේ රටේ කෘෂිකර්මය සම්බන්ධව උපදෙස් - නිර්දේශ ලබා දී ඇත්තේ සහ ලබා දෙන්නේ මෙම සැලසුම මත පදනම් වෙමින් බව පැහැදිලිය.

අපනයනය පිණිස කෘෂිකාර්මික නිෂ්පාදන කළ යුත්තේ රටේ ආහාර අවශ්‍යතාව සපුරාලීම නමැති ප්‍රධාන කාරණය ජයග්‍රහණය කිරීමෙන් පසුවය. සහ එම කෘෂිකාර්මික ජයග්‍රහණය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් තත්ත්වයකට රටේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය ගොඩනඟාගැනීමෙන් පසුවය. නමුත් ලෝක බැංකුවට අවශ්‍ය වන්නේ රටේ කෘෂි නිෂ්පාදන අතින් ස්වයංපෝෂී ආර්ථිකයක් නොව, සුලු පරිමාණ ගොවීන් කෘෂිකර්මාන්තයෙන් එළවා දමා, දැවැන්ත බහුජාතික සමාගම්වලට මෙරට භූමිය අක්කර දහස් ගණනින් පවරා දී අපනයනය ඉලක්ක කොටගත් මහා පරිමාණ කෘෂි කර්මාන්තයක් පවත්වාගෙන යාමටය. 1977න් පසු මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උපාය මාර්ගික ප්‍රතිසංස්කරණ සිදුකර තිබෙනුයේ මේ සැලසුම් තුළය.  

මේ සඳහා අවැසි මොළ සකස් කිරීම සඳහා ක්ෂේත්‍රයේ විද්වතුන් විවිධ ආකාරයෙන් දායක වී තිබේ. පාසල් අධ්‍යාපනය තුළ පවා මෙරට සාම්ප්‍රදායික කෘෂිකර්මය, යැපුම් කෘෂිකර්මය ඵලදායී නොවන බවටත්, නවීන කෘෂි රසායන හා යන්ත්‍රෝපකරණ මත පදනම් වූ මහාපරිමාණ කෘෂිකර්මය වැදගත් බවටත් වන මතය 80 දශකයේ සිට මත සම්පාදනය කරන ලදී. පොහොර සහනාධාර හරහා ගොවීන් පාලනය කළ හැකි තත්ත්වයක් පවත්වාගෙන යන ලදී. කෘෂිකාර්මික විෂයට අදාළ විදේශ ශිෂ්‍යත්ව හරහා ලෝක බැංකුවට හා බහුජාතික කෘෂි සමාගම්වලට අවැසි විශේෂඥයින් කුලකයක් ගොඩනඟාගන්නා ලදී. මෙරට කෘෂිකර්මය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ තීරණාත්මක අංශ තුළ මෙම කුලකයේ සාමාජිකයින් ස්ථානගත කළ විට ක්‍රියාවලිය බාධා විරහිතව පවත්වාගෙන යාමට හැකි වේ.

අප මෙතෙක් සාකච්ඡා කළ උගුල් අතරින් පළමු උගුල් හතර හඳුන්වාදෙමින් ඒවා වරින්වර යාවත්කාලීන කරමින් ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවැසි භූමිය සකස් කිරීම සිදුවන්නේ මෙම කෘෂි උපදෙස් - නිර්දේශ උගුල මගිනි.

පෙනුමෙන් එය අනෙක් උගුල් තරම් භයානක නැතැයි පෙනුනද, වඩාත් බිහිසුණු වන්නේද, මේ උගුලේ න්‍යෂ්ටික කාර්යභාරය ඉටු කරන්නේද මෙම කෘෂි උපදෙස් - නිර්දේශ සම්බන්ධ උගුල යි.

 

කාබනික පොහොර ආනයනය හෙවත් ‘අලුත් උගුලක්’ කැන්දා ගෙන ඒම

අපේ රටේ කෘෂිකර්මය ආශ්‍රිතව ගොඩනඟා තිබෙන මෙම පංච විධ උගුල් මගින් සමස්ත රටටම කර ඇති හා කරමින් ඇති බලපෑම දැවැන්තය. රසායනික පොහොර හා කෘෂි රසායන භාවිතය සීමාකළ විට මෙරට විවිධ පාර්ශ්ව වෙතින් මතු වුනු විරෝධය පිටුපස ඇත්තේ ඒ බලපෑම් කිරීම් සමග බැඳී සිටින එකම බලවේගයකි. ‘අස්වැන්න අඩු වන බවට’ වන මහා පොදු චෝදනාව නඟන කිසිවකුත් මෙරට කෘෂි අස්වනුවලින් විශාල ප්‍රතිශතයක් පසු අස්වනු හානි නිසා (ප්‍රවාහනය, ගබඩා කිරීම ආදී තත්ත්වයන් නිසා) අපතේ යෑම ගැන කිසිවක් නොකියති. රසායනික පොහොර යොදා වැඩි අස්වනු ලබාගෙන ඉන් ඉහළ ප්‍රතිශතයක් අපතේ යනවා නම්, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා වගා කොට ඒ ලැබෙන අස්වනු නිසි ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන්නේ නම් මෙබඳු ගැටලුවක් උද්ගත නොවේ.

කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට ගොඩනඟා තිබූ යථාර්ථය, කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවටත්, අවසානයේ අප එය පරාජය කළා යන තත්ත්වයටත් ගෙන ඒමට නිසි ක්‍රමවේද තුළ, කොටුවෙන් පිටත සිතීම් තුළ, දැවැන්ත කැපකිරීම් තුළ, නිසි කළමනාකරණයන් තුළ රටක් ලෙස සමත් වීමු. නමුත් ඉන් පසු පළාත් සභා සඳහා බලතල ලබා දෙන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීම අර්ථ විරහිත වනු ඇත. එපරිද්දෙන්ම රටක් ලෙස ‘කෘෂි රසායන ත්‍රස්තවාදයෙන්’ ගැලවීමට නොහැකි බවට ගොඩනඟා තිබෙන යථාර්ථය, ‘කෘෂි රසායන ත්‍රස්තවාදය’ පරාජය කළ හැකි බවට විශ්වාසයක් ගොඩනැඟෙමින් පවතින මේ මොහොතේ කාබනික පොහොර ලෙස විදේශ රටවල නාගරික අපද්‍රව්‍ය හා මිනිස් මළ ආනයනය කරන්නට කටයුතු කරන්නේ නම්, එය වෙනත් වටයකින් පෙර කී බහුජාතික සමාගම් උගුලේම වැටෙන්නට යන ගමනක් වනු නිසැකය. මන්ද යත් මේ ආනයනය කළ කාබනික පොහොර යෙදීම හරහා ඇතිවන ගැටලු නිසැකවම බැර වන්නේ ‘රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යෙදීමේ’ ගිණුමට බැවින් ඒ වෙනුවට අලුත් වටයකින් නැවත රසායනික පොහොර හා කෘෂි රසායන වෙත යොමුවීමටම ප්‍රවේශයක් මේ හරහා ගොඩනඟාගැනීමේ විභවය තිබෙන බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. “අපි කිවුවෙ ඕකනේ, කාබනික පොහොර අසාර්ථක බව දැන් පේනවනේ. එකම විසඳුම රසායනික පොහොර තමයි.” යන මතවාදය නැවත මතුවීම වළක්වා ගත හැක්කේ කාබනික පොහොර ආනයනය කිරීම අත්හිටුවීමෙන් මිස වෙනත් ආකාරයකින් නොවේ. කාබනික පොහොර ආනයනය කිරීමට ලබා දී ඇති අවකාශය තුළ රසායනික පොහොර නිෂ්පාදන සමාගම්වලටම මේ රටේ කෘෂිකර්මාන්තය වැනසීම සඳහා (මෙහිදී කාබනික පොහොර ලෙස සැලසුම් කොට මෙරට කෘෂි වගාබිම් වනසන ඕනෑම වසංගතයක් මෙරටට ඇතුළු කිරීමට අවස්ථාව ඇත.)  අලුත් වටයකින් උගුලක් නිර්මාණය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

මේ තත්ත්වය තුළ පෙර කී පංච විධ උගුල්වලින් ගැලවීම පිණිස, ඒවා පරාජය කිරීම පිණිස කාබනික පොහොර ආනයන උගුලින්ද ගැලවීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. එය නොතකා කටයුතු කළ හොත් සිදුවනු ඇත්තේ අලුත් උගුලක් සොයා ගෙන විත් ස්වකැමැත්තෙන් එහි සිරවීමය.

ප්‍රංශ පුවත්පත්කලාවේදියකු සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, නවීන කෘෂිකර්මාන්තය වෙනුවට සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රමවලට යොමුවීමේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරමින් ජේම්ස් ගෝල්ඩ් ස්මිත් ලබාදෙන පිළිතුර මේ මොහොතේ ලාංකේය සමාජ මොහොතට ද අතිශයින්ම අදාළ වේ.  

“ප්‍රශ්නය - අධිවේගී කෘෂිකාර්මික ක්‍රම වෙනුවට අධිවේගීභාවය අඩු ක්‍රම වෙතට යොමුවුවහොත් අවාසි වන්නේ කාටද? ජය ලබන්නේ කවුද?

පිළිතුර - අපි ජයගන්නන්ගෙන් පටන්ගනිමු. ග්‍රාමීය ප්‍රජාවන්ගේ ස්ථාවරභාවය ප්‍රතිෂ්ඨාපනය වනු ඇත. නගර සහ ඒවායේ පදිංචිකරුවන්ට යහපත සැලසෙනුයේ ගම්බද පළාත්වලින් නගර බලා ගලා එන ජන සන්නිපාතය නැවතෙන බැවිනි. පාරිභෝගිකයාට සෞඛ්‍ය සම්පන්න ආහාර කෑමට ගතහැකි වනවා ඇත. රසායනික සහ ජෛව තාක්ෂණික නිෂ්පාදන මගින් සිදුවිය හැකි පාරිසරික දූෂණ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනවා ඇත. ලෝකය පුරාම ජාතීන් ඉඩම් අතහැර යාම නිසා රැකියා අහිමි වන ජනතාවට සුබසාධන සඳහා දැරීමට සිදුවන වියදම් බරින් නිදහස් වනු ඇත. එපමණක් නොව, ගම්බදින් අවතැන් වන්නන්ට නගරබද වාසස්ථාන සඳහා යටිතල පහසුකම් වෙනුවෙන් තව තවත් වියදම් දැරීමට සිදු නොවනු ඇත.

පරාජය ලබන්නන් හඳුනාගැනීම පහසුය. ඔවුහු රසායන සහ ජෛව තාක්ෂණ කර්මාන්තකරුවන්, ඔවුන්ගේ වැටුප් ලබන විශේෂඥයින් සහ වන්දිභට්ටයෝය.”

 

මූලාශ්‍ර -

‘ලෝක බැංකුව හා ශ්‍රී ලංකාව : පරාධීනත්වයේ පැතිකඩක්’- සිතිජය මාධ්‍ය සංසදය(2003), කොළඹ.

‘ආහාරය හඳුනාගනිමු’ - සූසන් ජෝර්ජ් හා නිගෙල් පේජ් (1988), සංවර්ධන අධ්‍යාපන ප්‍රකාශන, කළුබෝවිල.

‘සංවර්ධන ඇදහිල්ල’ - සූරිය ගුණසේකර (1994), විසිදුණු ප්‍රකාශන, කොළඹ

‘ගොංකමක් වූ ගොවිකම : දියදම් විරෝධී හෙළ කම්’ - මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස (1994), මිහිකත භාර අරමුදලේ ප්‍රකාශනයකි, කොළඹ

‘දේශීය ගොවිතැන’ - පරාක්‍රම එස්. ගුණසේකර (1994), ගොඩගේ ප්‍රකාශන, කොළඹ.

‘උගුල’ - ජේම්ස් ගෝල්ඩ්ස්මිත්, (පරිවර්තක - ආනන්ද හේරත්),(1996), සර්වෝදය ග්‍රන්ථ ප්‍රකාශන සේවා, කොළඹ

‘ලෝකගත කරණයේ දේශපාලන හා ආර්ථික අභියෝගය හා ගැලවීමට ඇති මඟ’ - ආචාර්ය වන්දනා ශිවා, (පර්වර්තක - චරිතා විජේරත්න),(1998), දේශීය බීජ රැකගැනීමේ ව්‍යාපාරය, කුරුණෑගල.

සටහන, ශ්‍රී ලංකා මහ බැංකුව - 1999 මාර්තු)

4 comments:

  1. මෙවැනි වැදගත් මාතෘකා සාකච්ඡ කරන විට මුලාශ්‍ර ලබාදීම පිළිගත් ක්‍රමවේදයකි.
    අඩුම වශයෙන් ආචාර්ය පැමලා එම්. ගූඩිගේ මේ පර්යේෂණය පිළිබඳව පලකල ලිපිය (හෝ ලින්කය) ලබාදෙන්නේ නම් කෘතඥ වෙමි.
    ඔබට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබ දැක්වූ අදහස ගැන බෙහෙවින්ම ස්තූතියි.
      මෙම ලිපියේ මූලාශ්‍ර සඳහන් කිරීමට කටයුතු කළෙමි.

      Delete
  2. ප්‍රභාත් මහතා, මුලාශ්‍ර ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි.
    නමුත් 'පරාධීනත්වයේ පැතිකඩක්' සොයා ගැනීමට නොහැකිවුනා. මා ආචාර්ය පැමලා එම්. ගූඩිගේ මුල් නිබන්ධනය සෙවීමට වෙහෙස වුවත් එවැනි කෙනෙක් ගැනවත් සඳහනක් සොයා ගැනීමට නොහැකිවුනා. පර්යේෂක වරියක් වශයෙන් අඩුම තරමේ ඇයගේ නිබන්ධන කීපයක්වත් අන්තර්ජාලය හරහා ලබාගත හැකිවිය යුතුයි යන්න මගේ අදහසයි.

    ඒ කෙසේ වෙතක්, අංක 1 යටතේ ඇති කුඩා ප්‍රමාණයේ වගා බිම්වල කෙරෙන ගෙවතු වගාවේ තිරසාර බව සත්‍යයක් වුවත්, එමගින් කෙරෙන්නේ එම ගෙවත්ත හිමි පවුලේ ආහාර සපයාගැනීම පමණක් බවයි ඔබේ ලිපියෙන් හැඟෙන්නේ. 80 දශකයේ කෙසේ වෙතත්, ප්‍රායෝගිකව මෙම කටයුත්ත වර්තමානයේ කළ නොහැකිබව මගේ අදහසයි. ජනතාව ගොනුවී සිටින්නේ නගරබදව වන අතර ඔවුන්ගේ කුඩා ගෙවතුද පවුලට සෑහෙන ආහාර සපයාගැනීමට නොසෑහේ. එනයින් බලනකල ලෝක බැංකුව වැනි අන්තර්ජාතික ආයතන මහා පරිමාණ ගොවිබිම් සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ ඉදිරියේ එතැයි ඔවුන් අනුමානකළ, වර්තමානයේ අපි සිටින තත්ත්වය ගැන සලකා බලා වියයුතුය. එනයින් ඔවුන්ට දොස් කීම වැරදි සහගතය යන්න මගේ අදහසයි. ජනගහනය වැඩිවනවිට තිබෙන සීමිත බිම් ප්‍රමාණය සාර්ථකව කළමනාකරණය නොකළහොත් ඉන්න හිටීමට තැනක් නැතිවීම හෝ වගාබිම් සඳහා ඉඩකඩ අවමවී සාගින්න වැඩිවීම හෝ ඇතිවියයුතු බව ඔබට පැහැදිලිවේ යයි සිතමි.

    ඔබ ලිපියේ ඉතිරි කොටස් උගුල් ලෙස දැකීම ගැන මම එකඟ නොවෙමි. මේ නව තාක්ෂණ නිසි ආකාරයෙන් මහජනතාව වෙත සන්නිවේදනය නොකිරීමේ ආදිනවා ලෙස මම දකිමි. පමණ ඉක්මවා පොහොර යෙදීමෙන් ඵලදාව වැඩිවේ යයි ගොවීන් සිතන්නේ නම් එය ඇත්තටම සන්නිවේදනයේ අඩුපාඩුවකි. පෙර අස්වනු, පසු අස්වනු නොසලකා ක්‍රියා කිරීමත් එසේමය - එයින් වස විස ආහාරයට එක්වීම සිදුවෙයි. පොහොර, කෘමි, වල්පළෑටි නාශක නියම ප්‍රමිතියට ඇත්දැයි සොයා නොබලා ඒවායින් භෝගයට වසවිස ඇතුළුවේ යයි කීම අසාධාරණයි.

    ඔබගේ ‘අලුත් උගුලක්’ කැන්දා ගෙන ඒම ගැන ලියැවුණු සියලුම දෙයට මම සපුරා එකඟ වෙමි. අනර්ඝයි!

    අදහසක්: මුලාශ්‍ර ඉදිරිපත් කිරීමේදී, අන්තර්ජාතිකව පිළිගත් APA හෝ Harvard ක්‍රමයක් අනුගමනය කළොත් ?
    https://www.bibme.org/apa
    https://www.mendeley.com/guides/harvard-citation-guide

    ඔබට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාගේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.
      මා ඇතුළු කණ්ඩායමක් විසින් 2001 -2002 කාලයේ කරන ලද අධ්‍යයනයක් ඇසුරෙන් ප්‍රකාශයට පත් කළ පොත ‘ලෝක බැංකුව හා ශ්‍රී ලංකාව - පරාධීනත්වයේ පැතිකඩක්’ වේ. එවක මෙතරම් අන්තර්ජාලය ව්‍යාප්තව නොපැවති බැවින් අධ්‍යයන මූලාශ්‍ර සොයාගත හැකි වූයේ පොත් හා පුවත්පත් ඇසුරෙනි. ආචාර්ය පැමෙලා එම්. ගූඩිගේ ප්‍රකාශය පළ වූයේ අසූ ගණන්වල අග හෝ අනූ ගණන්වල මුල විදුසර පුවත්පතේ. ඇය මෙරටට පැමිණ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ කළ දේශනයකදී පැවසූ අදහස් විදුසර පුවත්පතේ වාර්තා කර තිබූ බව මාගේ මතකයයි. මේ මූලාශ්‍රය පෙර සඳහන් කළ ග්‍රන්ථයේ සඳහන් කිරීමට අප කණ්ඩායමට අතපසුවීම බරපතළ අඩුපාඩුවක් බව පිළිගනිමි.
      ඔබ වඩාත්ම මේ ක්ෂේත්‍රය ගැන උනන්දු වන පර්යේෂකයකු බව හැඟෙන බැවින් එම මූලාශ්‍රය අතපසුවීම ගැන වඩාත්ම කනගාටු වෙමි.
      මූලාශ්‍ර සඳහන් කිරීම සම්බන්ධව දැනුම ලබාගත හැකි සබැඳි දක්වා තිබීම ගැන බෙහෙවින්ම ස්තූතියි. ඉදිරි අධ්‍යයන බ්ලොගයේ පළ කිරීමේදී මේ දැනුම නිසැකවම ප්‍රයෝජනයට ගනිමි.


      Delete