Wednesday, June 30, 2021

රනිල් වික්‍රමසිංහ : නැතිවම බැරි මිනිහෙක් ! (ලාංකේය දේශපාලනයේ ‘රනිල් වික්‍රමසිංහ’ සාධකය: ප්‍රති විශ්ලේෂණයක්)

 

ම’විසින් ලියන ලදුව Lanka Lead News වෙබ් අඩවියෙහි පළ වූ ලිපියකි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පසුගියදා දිව්රුම් දුන්නේය. ඒ දිවුරුම් දීම පිටුපස ඇත්තේ රනිල් වික්‍රමසිංහ සාධකය ලාංකේය දේශපාලනය තුළ නැතිව බැරි, අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙන බවය. යම් සංවිධානයක් තුළ පුද්ගල සාධකයක් නැතිව බැරි වන්නේ, අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ සහේතුකවය. එනම්, ඒ පුද්ගල සාධකය විසින් අදාළ සංවිධානය තුළ අන් කිසිවකුට කළ නොහැකි කාර්යභාරයක්, භූමිකාවක් ඉටු කරමින් සිටීම නිසාය; ඒ පුද්ගල සාධකය වෙනුවට ආදේශ කළ හැකි පුද්ගල සාධකයක් ඒ සංවිධාන සීමාව තුළ ගොඩනැඟී නොතිබීම නිසාය. ඒ අනුව ගත් විට, ‘රනිල් වික්‍රමසිංහ නමැති දේශපාලන පුද්ගල සාධකය මෙරට දේශපාලනය තුළ අත්‍යවශ්‍ය සාධකයක් නොඑසේ නම් ‘නැතිවම බැරි මිනිහෙක්’වීම සරලව බැහැර කළ හැකි යමක් නොවන අතර, එය ගැඹුරින් කියවා ගත යුත්තකි.

ජේ.ආර්. ජයවර්ධන : රනිල්ගේ දේශපාලන පීතෘවරයා

පක්ෂයක් ලෙස ගත් විට එක්සත් ජාතික පක්ෂය එකම ‘පංචස්කන්ධයක්’ වුවද එහි දර්ශනයට සාපේක්ෂව ගත් විට ඩී.එස්. සේනානායක දර්ශනය සහිත එ.ජා.ප.ය හා ජේ.ආර්. ජයවර්ධනගේ නව ලිබරල්වාදී දර්ශනයෙන් යුතු එ.ජා.ප.ය යනු පක්ෂ දෙකකි. එක්සත් ජාතික පක්ෂය ජාතික දේශපාලන සන්දර්භයෙන් ඔසොවා අන්තර්ජාතික භූ දේශපාලනයේ යුරෝ - ඇමරිකානු දේශපාලන උපාය මාර්ගයට ගැට ගසන ලද්දේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. මෙම යුරෝ - ඇමරිකා වුවමනාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ ජේ.ආර්. ජයවර්ධනගේ භූමිකාව ගොඩනැඟෙන්නේ ඇමරිකානු මැදිහත්වීම තුළ බව මෙරට පශ්චාත් යටත් විජිත දේශපාලන ඉතිහාසය තුළ ජයවර්ධන භූමිකාවේ විකාශනය විශ්ලේෂණාත්මකව කියැවීමේදී පැහැදිලිව හඳුනාගත හැකිය. 1947 -1977 දක්වා වන දශක තුන තුළ අප්‍රකටව එහෙත් තීරණාත්මක ලෙස ක්‍රියාත්මක වූ මෙම සම්බන්ධතාව 1977න් පසු ප්‍රකට හා පුළුල් තීරණාත්මක තලයකට පැමිණුනි.

1947-1952 ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජේ.ආර්. ජයවර්ධන විසින් මෙරට පළමු මහ බැංකු අධිපතිවරයා ලෙස ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් පත්කරගැනීම, බණ්ඩාරනායක ඝාතනයෙන් පසු ඊට සම්බන්ධ බවට කතා පැතිරුණු හා විශ්‍රාම යැවුණු එවකට නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි සොයිසා 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආරක්ෂක හා යුද කටයුතු පිළිබඳ ප්‍රධාන උපදේශකයකු බවට පත්කර ගැනීම, 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ ප්‍රමුඛයා වූ ඩග්ලස් ලියනගේ 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් බවට පත් කර ගැනීම ආදී ප්‍රසිද්ධ සිදුවීම් හරහා වුව නිදහසින් පසු ජේ.ආර්. ජයවර්ධන සිදු කරමින් සිටි දේශපාලන කාර්යභාරයේ ස්වභාවය කුමක්ද යන්න හඳුනාගත හැකිය.

එසේම ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ 1977 -1985 කාල පරිච්ඡේදය තුළ ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක ජෙනරාල් වර්නන් වෝල්ටර්ස්, රේගන්ගේ නියෝජියතයා ලෙස දෙවරක්ම මෙහි පැමිණ ඇති අතර, පළමුවර පැමිණ ඊශ්‍රායලය සමග සම්බන්ධය ඇති කර ගිය බව හෙළි වී තිබේ. හොවාර්ඩ් ෂෙපර්, ජෝෂප් අඩ්ඩබ්බෝ, රිචඩ් මර්ෆි ඇතුළු තවත් වැදගත් එක්සත් ජනපද නිලධාරීන්ද එවක මෙරටට පැමිණ යුද ආයුධ, හමුදා පුහුණුව ඇතුළු නොයෙකුත් දේ ගැන සාකච්ඡා කොට තිබේ. ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනද වොෂිංටනයට ගිය අතර, ඔහු ගියේ ලැංලේ හරහා යැයි පුවත්පත්වල පළ විණි. ලැංලේවල පිහිටුවා තිබුනේ සී.අයි.ඒ. මූලස්ථානයයි. එවක සී.අයි.ඒ. නියෝජිතයින් ලංකාවේ තත්ත්වය ගැන ඇමරිකානු  සෙනෙට් සභිකයින්ට හා නියෝජිත මන්ත්‍රීවරුන්ට රහසිගතව උපදෙස් දුන් බවක්ද පුවත්පත්වල පළ වී තිබේ.

ජේ.ආර්.ජයවර්ධනට පැවරී තිබූ දේශපාලන භූමිකාව කුමක්ද යන්න මෙම සිදුවීම් මගින් අනාවරණය වේ. ඒ අනුව පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනය තුළ 1988 දක්වා ඇමරිකා එක්සත් ජනපදයට මෙරටින් නැතිවම බැරි පුද්ගල සාධකය වූයේ ජේ.ආර්. ජයවර්ධන ය.

රනිල් වික්‍රමසිංහ : ජේ.ආර්.ගේ සුජාත දේශපාලන පුත්‍රයා

රනිල් වික්‍රමසිංහගේ ජීව විද්‍යාත්මක පියා වන එස්මන්ඩ් වික්‍රමසිංහ පනහ, හැට හා හැත්තෑව දශකවල මෙරට තීරණාත්මක දේශපාලන සිදුවීම් පිටුපස වූ අදෘෂ්‍යමාන හස්ථය වන අතර, 1962 කුමන්ත්‍රණයේ මහ මොළකරු ඔහු බවත්, කිසිදිනෙක පාර්ලිමේන්තුවට යාමට රිසි නොවූ එස්මන්ඩ් වික්‍රමසිංහ සිය නිවසේ සිට විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග ගනුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය හා මෙරට ආණ්ඩු මෙහෙය වූ බවත් ප්‍රසිද්ධ රහසකි. ඒ අනුව ගත් විට රනිල් වික්‍රමසිංහට ජීව විද්‍යාත්මක වශයෙන් ද, දේශපාලන වශයෙන්ද එකම දේශපාලන භූමිකාවක් නිරූපණය කිරීමේ විරල අවස්ථාවක් විවෘත වී තිබිණ.

රනිල් වික්‍රමසිංහ නමැති, ජේ.ආර්. ජයවර්ධනගේ ‘සුජාත දේශපාලන පුත්‍රයා’ 1977 සිට සිය දේශපාලන ගමන අරඹන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් නිර්මාණය කරන ලද ඇමරිකානු හිතවාදී දේශපාලන සන්දර්භය හා පදනම මත සිටය. ඒ අනුව ගත් විට, ජේ.ආර්. තමන්ගේ දේශපාලන සෙවණේ තමන් සේම එක්සත් ජනපදයට නැතිවම බැරි ‘පුත්‍රයකු’ මෙරට තුළ ගොඩනඟා දේශපාලනයෙන් නික්ම යාමට තරම් ඇමරිකානු අර්ථයෙන් ‘විශිෂ්ටයකු’ විය. ඒ ‘දේශපාලන පුත්‍රයා’අන් කවරකු හෝ නොව, ‘රනිල් වික්‍රමසිංහ’ය.

‘තමන්ට ඔටුනු පළඳවන්නට පරම්පරාවක් නොමැති බවට’ ජයවර්ධන කළ ප්‍රකාශය ද්විත්ව අර්ථ සහිත එකකි. එක් අතකින් ඉන් හැඟෙන්නේ ලංකාව සම්බන්ධ ඓන්ද්‍රීය බැඳීමක් තමන්ට නොමැති බවය. (ඔහුගේ පිය පරපුර නියෝජනය කළ අයකු -පියාගේ පියා - ලන්දේසි හා ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගේ ඔත්තුකරුවකු ලෙස කටයුතු කිරීමේ දේශපාලන උරුමය ඔහුට ඓන්ද්‍රීයව ඇති බව අමතක නොකළ යුතුය.) එක්සත් ජනපද වුවමනාවන් වෙනුවෙන් මෙරට දේශපාලනය හැසිරවීම එහි ප්‍රායෝගික යථාර්ථයයි. ඇත්තෙන්ම ජේ.ආර්. ජයවර්ධනට පෞද්ගලික න්‍යාය පත්‍ර නොවීය. ඔහු ඉහළින්ම තැබුවේ රටය. නමුත් ඒ එක්සත් ජනපදයට හිතවත් භූ දේශපාලනික සිතියමක් තුළය. ඒ, ඇමරිකානු භූ දේශපාලන උපාය මාර්ගය තුළ, ආර්ථික - දේශපාලනික - සමාජයීය - සංස්කෘතික වශයෙන් ඇමරිකානු අවශ්‍යතා වෙනුවෙන් ලංකාව පාවිච්චි කිරීම වෙනුවෙනි.

පරපුරකට ඔටුනු පැළඳවීම වෙනුවට, තමන්ගෙන් පසු ‘ධාවන යෂ්ටිය’ භාරගන්නට පුත්‍රයෙක් ලෙස ඔහු රනිල් වික්‍රමසිංහ ගොඩනැඟුවේය. ඒ අර්ථයෙන් ගත් විට, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර්. ප්‍රේමදාස යනු ලාංකේය සන්දර්භය තුළ කලෙක එක්සත් ජාතික පක්ෂයේ පතාකයින් වුවද, ඔවුන් කිසිසේත්ම ඇමරිකාවට මෙරටින් ‘නැතිවම බැරි මිනිසුන්’ නොවීය. ඒ වෙනුවට ජේ.ආර්.ගෙන් පසු ලංකාවේ ඇමරිකාවට නැතිවම බැරි මිනිහා වූයේ සහ තවමත් වන්නේ රනිල්ය.

සිය දේශපාලන පීතෘවරයා වන ජේ.ආර්. ජයවර්ධනට මෙන්ම, රනිල් වික්‍රමසිංහටද ඔටුණු පළඳවන්නට පරපුරක් නැත. එහෙත් රනිල් වික්‍රමසිංහට තමන්ගෙන් පසු ඇමරිකානු උපාය මාර්ගික අවශ්‍යතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළින්ම ‘ධාවන යෂ්ටිය’ භාර දෙන්නට ‘දේශපාලන පුත්‍රයකු’ හෝ ‘දේශපාලන සගයකුද’ නැත. රනිල්ටද ලාංකේය දේශපාලනය තුළ කිසිසේත්ම පෞද්ගලික න්‍යාය පත්‍ර නොමැති බවට විවාදයක් නැත. තමන් සහ තම භාර්යාව මිය යා‍මෙන් පසු සිය නිවස තමන් ඉගෙනගත් රාජකීය විද්‍යාලයට අයිතිවන පරිදි නීත්‍යනුකූලව ලියා තැබීම එහි ඉහළම භාවිතයයි.  

රනිල්ද හැම විටම ඉහළින් තබන්නේ රටය. ඒ ද සිය දේශපාලන පීතෘවරයා මෙන් එක්සත් ජනපදයට හිතවත් භූ දේශපාලනික සිතියමක් තුළය. ඒ ද, ඇමරිකානු භූ දේශපාලන උපාය මාර්ගය තුළ, ලංකාව ආර්ථික - දේශපාලනික - සමාජයීය - සංස්කෘතික වශයෙන් ඇමරිකානු අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කිරීම පිණිසය. එක්සත් ජනපද දේශපාලන ඒජන්තයා ලෙස රනිල් වික්‍රමසිංහට මෙරට තුළ සිදු කිරීමට ලැබුණු දැවැන්තම පැවරුම වන්නේ අගමැතිවරයා ලෙස 2001 ඇරඹුණු ඔහුගේ රජය යටතේ ක්‍රියාත්මක කෙරුණු Regaining Sri Lanka ආර්ථික වැඩපිළිවෙළ හා කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළය. 2003 වසරේ මෙරට අගමැතිවරයාව සිටියදී රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට එවක මෙරට සියලු බුද්ධි අංශ සාකච්ඡාවලට සී.අයි.ඒ. සංවිධානයේ ක්‍රියාකාරිකයකු සහභාගී වූ බවත්, ඔහු මෙරටට කැඳවාගෙන ආවේ මිලින්ද මොරගොඩ බවත් පසුගියදා පුවත්පතක් අනාවරණය කොට තිබිණි. මෙමගින්ම වුව රනිල් වැඩකළ න්‍යාය පත්‍රය කුමක්ද යන්න පැහැදිලි වේ. මෙරට ජාතික බලවේගවල තීරණාත්මක මැදිහත්වීම නොවන්නට, රනිල් වික්‍රමසිංහ ඉතිහාසගත වන්නට තිබු‍නේ ලංකාව තුළ එකී එක්සත් ජනපද පැවරුම ඉහළින්ම ඉටු කළ දේශපාලන ඒජන්තයා වශයෙනි.

රනිල් : එ.ජා.ප.යේ යාවජීව නායකයා වීමේ රහස

රනිල් එක්සත් ජාතික පක්ෂයේ යාවජීව නායකයා වන්නේ, ඔහු තවමත් යාවජීව ඇමරිකානු දේශපාලන ඒජන්තයා වීමේ මතුපිට ප්‍රකාශනය වශයෙනි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අත්හැර නොයාම පිටුපස ඇත්තේ හුදු ඔහුගේ පුද්ගල ලාලසාව නොවේ. රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිටීම, ඔහුගේ දේශපාලන මව්බිම වන එක්සත් ජනපදයේ ආශාව හා අවශ්‍යතාව ය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තීරණය වන්නේ මෙරට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයාගේ කැමැත්ත මත හෝ අවශ්‍යතාව මත හෝ නොවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සමුදුරට බසින්නට, එහි පුද්ගල චරිත ගණනාවක් හත් ගව්වක් සිට අමුඩ ගැසුවද ඒ අභිලාෂය ඉටු කර ගැනීමේ සුදුසුකම් තීරණය වන්නේ ලාංකේය න්‍යාය පත්‍රයක් තුළ නොව, යුරෝ - ඇමරිකා න්‍යාය පත්‍රයක් තුළ බැවින් තවදුරටත් ඔවුන්ගේ අභිලාෂය හීනයකින් ඔබ්බට යන්නේ නැත.

රනිල් තමන්ට එල්ලවන පෞද්ගලික අපහාස උපහාස හෝ දේශපාලන අපහාස උපහාස හෝ සම්බන්ධව සැලෙන්නේ නැත. ඊට හේතුව තමන් කවුද, තමන් මෙරට තුළ ඉටු කරන දේශපාලන කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව ඔහු තුළ වන ගැඹුරු අවබෝධයය. රනිල් ප්‍රකට කරන පරාජයේදී නොසැලීම හා වෙනස් ඉලක්කයක් ඔස්සේ ගමන සීරු මාරුකිරීම ආගමික සංස්කෘතික චින්තාවක ඵලයක් නොව, එක්සත් ජනපදයේ දේශපාලන බුද්ධි මෙහෙයුමක් තුළ වැඩ කරන වඩාත් පළපුරුදු දේශපාලන ඒජන්තයකු ලෙස පුහුණු වූ මනසක ප්‍රතිඵලයක් වේ.

ඔහු තමන්ගේ නායකත්වය යටතේ සිදුවන මැතිවරණ ජය පරාජයන් දකින්නේ හා ඒවා කිරා මැන බලන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රයක් තුළ හෝ එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ දේශීය න්‍යාය පත්‍රයක් තුළ හෝ නොව අන්තර්ජාතික න්‍යාය පත්‍රයක් තුළ තමන්ට ලැබුණු පැවරුමට සාපේක්ෂවය. ඒ අර්ථයෙන් ගත් විට ඔහු පාර්ලිමේන්තුව තුළ සිටියද, නැතද ඔහුගේ ‘යාවජීව දේශපාලන කාර්යභාරය’ වෙනස් හැඩතලවලින් ක්‍රියාත්මක වන්නේය. අගමැති ද, ඇමතිද, පාර්ලිමේන්තු මන්ත්‍රීද, නැතිනම් හිටපු මන්ත්‍රීද, හිටපු ඇමතිද යන්න ඔහුට හුදු බාහිර ඇඟලුමක් පමණි. සිටින තැන කවරක් වුව, එතැන අනුව ඔහුට ලැබෙන පැවරුම වෙනුවෙන් ඔහු වැඩ කරන්නේය. එය හරියට, කිසිදා පාර්ලිමේන්තුවට යාමට කැමති නොවී, එහෙත් සිය නිවසේ සිට විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සම්බන්ධතා පවත්වමින් මෙරට දේශපාලනය හැසිර වූ එස්මන්ඩ් වික්‍රමසිංහ නමැති සිය ජීව විද්‍යාත්මක පියාගේ භූමිකාව නිරූපණය කිරීමකි.

රනිල්ගෙන් පසු ‘ධාවන යෂ්ටිය’ කාටද?

දේශපාලන සත්ත්වයකු ලෙස කෙසේ වෙතත් ස්වාභාවික සත්ත්වයකු ලෙස ගත් විට රනිල්ට යා හැකි ජීව විද්‍යාත්මක දුරක් තිබේ. ඒ දුර ඇමරිකාවට වර්ධනය කළ හැකි එකක් නොවේ. රනිල් නැතැයි කියා, ලංකාවේ සිය භූ දේශපාලන සැලසුම් හකුලා ගන්නට ඇමරිකාව කටයුතු කරන්නේ නැත. එබැවින් රනිල් ජීව විද්‍යාත්මකව නොපවතින අනාගත අවකාශයක් තුළ, එනම් රනිල්ගෙන් පසු අනාගත ලාංකේය දේශපාලන සන්දර්භයක් තුළ පාවිච්චියට ගත හැකි ඇමරිකානු ඒජන්තයා මෙරට කුමක් හෝ දේශපාලන පක්ෂයක් තුළ මේ වන විට තම ආධුනික පුහුණු කාලය ගෙවමින් සිටිනවා විය හැකිය.

හෙට දවසේ ඒ දේශපාලන ඒජන්තයා මතු වන පක්ෂය එක්සත් ජාතික පක්ෂයද, නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද, එසේත් නැතිනම් වෙනත් දේශපාලන පක්ෂයක්දැයි අපි තවම නොදනිමු. එහෙත් නිසැකවම අප දන්නා දෙයක් ඇත. ඒ ජේ.ආර්. ජයවර්ධන සේම, රනිල් වික්‍රමසිංහ සේම ඇමරිකාවට ‘නැතිවම බැරි මිනිහකු’ අනාගත දවසක මෙරට දේශපාලනය තුළ සිය භූමිකාව නිරූපණය කරන බවය. ජෛව පියා කවරෙක් වුව ද, කාට ජාතක වුවද ඒ ඒජන්තයා අතට ගන්නේ ජේ.ආර්.ජයවර්ධන හා  රනිල් වික්‍රමසිංහ අතට ගත් යෂ්ටියම ය. 

 

1 comment: