Tuesday, May 18, 2021

19 වසරකට පෙර ශ්‍රී ලංකාව : ආපසු හැරී බැලීමක්

 


2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දැමු ප්‍රධාන අනතුර වූයේ, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙනම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කොට 12 වන වසර සමරන මේ මොහොතේ එම ජයග්‍රහණයේ බර වඩාත් තදින් දැනෙනු ඇත්තේ එම ගිවිසුම මගින් මෙරටෙහි ඇති කළ බිහිසුණු තත්ත්වය පිළිබඳ අවබෝධයක් තුළ බව අපගේ විශ්වාසයයි. එකී අවබෝධතා ගිවිසුමෙන් පසු වසරක කාලයක් ඇතුළත ලංකාව තිබූ තත්ත්වය මේ සටහන මගින් ඔබට සිහිපත් කරනු ඇත.

Sunday, May 9, 2021

කොවිඩ් සටනින් දේශීය වෙදකම පළවාහැරීම : විද්‍යාත්මක අරමුණක්ද? වෙළෙඳපොළ වුවමනාවක්ද?


 

අත්‍යවශ්‍ය පෙර සටහන :

කොවිඩ් මර්දනය සඳහා මෙරට තිබූ ප්‍රධානතම  බාධකය මේ වන විට බිඳ දමා අවසන්ය. ඒ බාධකය වූ කලී දේශීය දැනුම පදනම් කර ගත් ඖෂධ - ප්‍රතිකාර කොවිඩ් පාලනය සඳහා භාවිත කිරීමයි. මෙහි කූට ප්‍රාප්තිය ලෙස ගත හැක්කේ කොවිඩ් වෛරසය මැඩ පැවැත්වීම සඳහා ධම්මික පැණිය අසමත් බව සායනික පරීක්ෂණ අනුව තහවුරු කිරීමත්, ඒ අනුව එම පැණිය තවදුරටත් නිෂ්පාදනය කිරීම අත්හිටුවීමට පියවර ගැනීමත්ය. මේ අතර කොවිඩ් වෛරසය පාලනය සඳහා එකම විසඳුම එන්නත්කරණය බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඓතිහාසික වෛද්‍ය සම්ප්‍රදායක්, වසර සිය දහස් ගණනක් තිස්සේ පැවත ආ මානව සෞඛ්‍යය හා සබැඳි චින්තන ප්‍රවාහයක් - සංස්කෘතියක් කෙළ පිඩක් සේ බැහැර කර තිබේ.

Sunday, April 11, 2021

අපි ඔබ වෙනුවෙන් හදාරමු! (උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි නිබන්ධ කුළියට ලියනු ලැබේ.)


 Lanka Lead News ව‍ෙබ් අඩවියට මා ලියූ ලිපියකි.

 

සති අන්ත සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන උපාධි – පශ්චාත් උපාධි – ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ දැන්වීම්වලින් ද, ඒවායේ උපාධි ප්‍රදානෝත්සවවල ආකර්ෂණීය ඡායාරූපවලින් ද සැරසුණු පිටු – අතිරේක බලන විට හැඟෙන්නේ, වර්තමානයේ මෙරට තුළ පවතින උසස් අධ්‍යාපන අවස්ථා, ඒවාට යොමුවීමට තරුණ ප්‍රජාවේ ඇති ශාස්ත්‍රාභිලාෂය, පර්යේෂණ කොට පශ්චාත් උපාධි හදාරා නව දැනුමක් සමාජයට එකතු කරන්නට ඇති කැමැත්ත, ඉහළ වෘත්තිකයින් තුළ පවා නව පර්යේෂණ කිරීමට – ආචාර්ය උපාධිය හැදෑරීමට ඇති අරමුණ පිළිබඳ පහන් සංවේගයකි.

Thursday, April 1, 2021

මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම : වනාන්තරයකදී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය.

 

 



            2001 වසරේදී මෙරට වනාන්තර විෂයය පැත්තෙන් එක්තරා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබිණ. එනම්, ඇමරිකා එක්සත් ජනපදය තමන්ට ලෝකයේ රටවල් ඇති ණය හිලව්වට ඒ රටවල ඇති වනාන්තර  ඇමරිකාවට පවරාගැනීමට අවශ්‍ය නීතියක් ඇමරිකාවෙහි සම්පාදනය කරගෙන ඇති බවයි. මෙය මෙරට පරිසර ක්ෂේත්‍රයේ බලවත් සංවාදයක් ඇති කරන්නට සමත් විය. මේ කාරණය නිමිති කරගෙන ''සිතිජය'' සඟරාවේ කවරයේ කතාව ලියන්නට අපි කටයුතු කළෙමු.

            මෙහිදී ලංකාවේ වනාන්තර සම්බන්ධව මීට පෙර උද්ගත වූ අනතුරුදායක තත්ත්ව ගැන තොරතුරු ලබාගැනීම පිණිස මම උද්භිද විද්‍යා මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම මහතා හමු වීමි. ඒ වන විටත් අවුරුදු 81ක් පමණ වයසැති මහාචාර්යතුමා තමන්ගේ විෂය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවට එකඟ වූයේ ඉතා කැමැත්තෙනි.

Thursday, December 24, 2020

''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)''

 


වසරකටත් වැඩි කාලයකට පෙර ප්‍රකාශනය සඳහා භාර දී තිබූ මගේ අලුත් ග්‍රන්ථය, ''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)'' පසුගිය දා මුද්‍රණය කරන ලදුව ගොඩගේ ප්‍රකාශකයින් වෙතින් අද ම'වෙත ලැබිණි.

Wednesday, June 24, 2020

Lanka Lead News වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාව


මා විසින් රචිත ''ශ්‍රී ලාංතේය පාරිභාේගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්" කෘතිය සම්බන්ධව Lanka Lead News වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකච්ඡාව පහත පළ වේ.







පුරවැසි කොලම
June 24, 2020 9:39 am | Lanka Lead News

සාහිත්‍ය නිර්මාණකරුවකු, නිදහස් පුවත්පත්කලාවේදියකු, සන්නිවේදන පර්යේෂකයකු හා බ්ලොග් රචකයකු වන ප‍්‍රභාත් චින්තක මීගොඩගේ විසින් රචිත නවතම පර්යේෂණ කෘතිය වන ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්”, මෑතකදී ප‍්‍රකාශයට පත් විණි.  ඔහු සමග කළ මේ සංවාදය ඒ නිමිත්තෙනි.

Tuesday, June 9, 2020

රිචඩ් ද සොයිසා : නිහඬ කළ හඬ




රිචඩ් ද සොයිසා. ඒ ඔහු ය.
සිය මාධ්‍ය භාවිතය හේතුවෙන් රාජ්‍යය විසින් මරා දමනු ලැබූ ජනමාධ්‍යවේදියා ඔහු ය.
අදින් දශක තුනකට පෙර, 1990 පෙබරවාරි 18 වන දා වයස අවුරුදු 31 දී ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදු විණි.
ඒ නිකම් ම සමුගැනීමක් ලෙස නො වේ.
කෘෘර වධ බන්ධන පමුණුවා සිදු කළ ඝාතනයක් ලෙසිනි.
ඔහු මරාදමනු ලැබුවේ ඔහු නිකම් ම නිකම් පෘථග්ජනයකු වූ නිසා නො වේ.
ඔහු ජනමාධ්‍යවේදියකු වීම හේතුවෙනි.
ජනමාධ්‍යවේදියකු මරා දැමීම පිටුපස ඇත්තේ අන් කිසිවක් නො ව, ඔහුගේ භාවිතයයි.
ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ අනන්‍යතා ලකුණක් සනිටුහන් කිරීමට සමත් ජනමාධ්‍යවේදියෙක් වූ රිචඩ් ද සොයිසා පිළිබඳව මා විසින් සංස්කරණය කෙරුණු කෘතිය සුරස ප්‍රකාශන වෙතින් පළ කර අතට ලැබුනෙ අද.

සියලුම ප්‍රධාන පොත්හල් වෙතින් ඔබට මිල දී ගන්නට පුළුවන්.

Monday, March 2, 2020

ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්


මම, ''ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්'' නමැති අධ්‍යයනය සිදු කළේ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාවේ පර්යේෂණ නිබන්ධය වශයෙන්. 

මේ පර්යේෂණ නිබන්ධය කවදා හෝ ග්‍රන්ථයක් ලෙස පළ කිරීමේ සිහිනයක් මට තිබුණා. ඒ තවත් පොතක් පළ කරනවාට වඩා ලංකාවේ ජනසන්නිවේදන, වෙළෙඳ  ප්‍රචාරණ හා අලෙවිකරණ විෂයයන්ට වැදගත් වන පුරෝගාමී පර්යේෂණයක් සමාජගත කිරීමේ අරමුණක්. හෙට දවසේ තවත් පර්යේෂකයින්ට ඉදිරියටයාමට පර්යේෂණාත්මක පියවරක් තැබීමේ අරමුණක්. මේ රට මට ලබාදුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ණය ගෙවීමක්.


මේ සැබෑ වී තිබෙන්නේ ඒ හීනය; ඒ අරමුණ.


''ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්''


අපූරු කවරය නිර්මාණය කර දුන්නේ දර්ශන කරුණාතිලක සොහොයුරා. පෙරවදන මහාචාර්ය අතුල සුමතිපාල මහතාගෙන්.


මෙම ග්‍රන්ථය, කළමනාකරණ - අලෙවිකරණ - ජන සන්නිවේදන - වෙළෙඳ ප්‍රචාරණ - සමාජ විද්‍යා විෂයයන්ට අදාළ උපාධි හා පශ්චාත් උපාධි විද්‍යාර්ථීන්ට මෙන් ම, වෙළෙඳ ප්‍රචාරණ හා අලෙවිකරණ වෘත්තිකයින්ට ද අත්‍යවශ්‍ය වන ''අන්තර් සංස්කෘතික අධ්‍යයන'' විෂයයට සප්‍රයෝජනවත් දැනුමක් සම්පාදනය කර තිබෙනවා.


ඔබට මේ කෘතිය, ප්‍රසිද්ධ පොත්හල්වලින් ළඟඳීම මිල දී ගන්න පුළුවන්. (පිටු 460 / මිල රු.950.00)


ඒ වගේම දැනට කොළඹ දී මිල දී ගන්නවා නම් 011-2371684 අංකයට අමතා, පැමිණ මිල දී ගන්න පුළුවන්.



Friday, January 31, 2020

''අපිත් මාතෘකා, අපි නැති තැන්වල'' ( 'නූතන ප්‍රස්ථා පිරුළු' හෙවත් ත්‍රිරෝද රථ කියමන්)



විවිධ වෘත්තීන් හා රැකියා සම්බන්ධව ගොඩනැගුණු භාෂාමය උප සංස්කෘති සමාජයේ පවතී. නූතන ලාංකේය සමාජයේ රැකියාවලට අදාළ එක්තරා උප සංස්කෘතික භාෂා සන්නිවේදන ධාරාවක හැඩය, ත්‍රිරෝද රථවල පිටුපස සටහන් කොට ඇති වැකිවලින් හඳුනා ගත හැකිය. ඒ වැකිවල අන්තර්ගත වෙනස් සන්නිවේදන අර්ථ අපූර්වත්වයකින් යුතුය. එසේම, ඒ වැකි / පාඨ ඒවායේ සන්නිවේදකයාගේ එනම් ත්‍රිරෝද රථ හිමිකරුවාගේ මනෝභාවය හඳුනාගත හැකි කැඩපතක් බඳුය. පහත සටහන් වන්නේ අගනුවර හා ආසන්න නගරවලදී ත්‍රිරෝද රථ පිටුපස ලියා තිබෙනු දැක, සටහන් කරගත් එබඳු අපූරු වැකි කිහිපයකි. 




සල්ලි හම්බ කළාට මිනී ඇඳුමෙ සාක්කු නෑ   

ඉබ්බො ඉගිල්ලෙන්න ගත්තහම කොක්කුන්ට හරි වදේ

ඉබ්බන්ට ඉගිලෙන්න හිතුණාම කොක්කුන්ට හරි වදේ

නැන්දම්මේ උඹත් එපා. උඹෙ මහ ලොකු දුවත් එපා.

පොල් අතු වැටෙනකොට ගොක් අතු හිනා වෙනවා.
ඒත් ගොක් අතුත් දවසක පොල් අතු වෙනවා.

ළිඳ මගේ නම්, මං ළිඳේ නම් කාටවත් ඇයි වේදනා

පාර හරි නම්, යන්නෙ මම නම් කාගෙවත් සිතියම් මට මොකටද?

පාර හරි නම්? යන්නෙ මම නම් අනුන්ගෙ සිතියම් අදාළම නෑ Bro

පාර හරි නම්, යන්නෙ මම නම් පාර අයිනෙ ඉඳන් බුරන බල්ලො අදාළ නෑ Bro

සිංහලේ, දෙමළේ, මුස්ලිම් ලේ - මියගියාම එකම වලේ

කටුස්සො හිතාගෙන ඉන්නෙ උන් උකුස්සො කියලා...

ගුල්ලා වැඩ්ඩෙක් වෙන්නේ, බාල ලෑල්ලක් දැක්කාම

රාක්කෙට ආවට පස්සෙ, ආප්පෙට මතක නෑ, තාච්චියෙ හිටපු හැටි

නුඹ ගඟක් වෙලා ගලන්න - මට හුඟක් වෙලා නාන්න

අපි නැඟිටිනවට කැමති, බස් එකේ හිටගෙන යන මිනිස්සු විතරයි

හිනාවෙන්න එපා මචං, නැඟිට්ටේ මේකෙන් 

ඇත්ත මොහොතකට රිදවුවත්, බොරුව සදාකාලිකව රිදවයි

ඇලේ මාලු වෙලට ඇවිත් 'අපි වැවේ' කියනවා.

වයසට ගියත් - හවසට ගෙදර 

මට නැහැනෙ සතුරන් - ඒකයි තවම පෙට්ටියේ පතුරන්

ජීවිතං අනියතං - රක්ෂණං නියතං

මහ වැස්සට තෙමුණු අපිට - පොද වැස්ස ගේමක් නෑ බ්‍රෝ

අපිත් මාතෘකා, අපි නැති තැන්වල

තරු 'පොඩි' නෑ,  ඒ ඔබට පෙනෙන හැටි - අපි 'ලොකු' නෑ,  ඒ ඔබට හිතෙන හැටි

No Race - Wife Case

No Race -  අම්මා Case

බලන අයට බුදු සරණයි - රවන අයට දෙවි පිහිටයි

ගත්තේ හැදෙන්නයි, යාලුවො නිසා බෑ 

කළු - සුදු ඉත්තො මැද මමයි තනි රෙඩා

අපිට හිනා වුණු අයට රෝද තුනක්වත් තිබුනෙ නෑ අම්මෙ

ටිකක් රස්තියාදුවෙ ගියාට ජීවිතේ නාස්ති කර ගන්නෑ අම්මේ

රෝද තුනක් උඩ - හීන ගොඩක් ඇත

රෝද තුනයි - හීන ගොඩයි

රවන්නෙපා ගහපු ඇහැට - කොල්ලගෙ දඟකාරකමට

වැටුණු තැන්වල නැවතුණා නම් සමහරු අපිව පාපිසිවලටත් අරගෙන මහත්තයෝ

සියල්ල කන්න - කාලය නොකන්න

කතාව මගේ නම් - රටාවත් මගේ බ්‍රෝ

කෝ තාත්තෙ යාලුවො? සල්ලි තියෙනකං විතරනෙ පුතේ 

ඌරො රංචු පිටින් ආවට, සිංහයා යන්නෙ තනියම.

ලොකුකම්වලට කොර වෙන්නෙත් නෑ. 
මනුස්සකම්වලට අහක බලන්නෙත් නෑ.

ලියන්න මොකුත් නෑ Bro

Silent එකේ හිටියට හැම දේම Note කරන් ඉන්නෙ Bro
 
නරි නාවන්නෙ බලාගෙන මහත්තයෝ, උන් ස්තූති කරන්නෙත් හූ කියලා.

පරවියෝ රංචු පිටින් ඉගිලෙයි. උකුස්සා තනියම පියාඹයි.

ගින්දරත් නැටුවට වතුරට බයයි Bro

ගල් බෝතලේට යාලුවො Set වුණාට, සේලයින් බෝතලේට අම්ම තාත්ත විතරයි Bro

යකා, යකා මිස කොකා නෙවෙයි Bro

කොල්ලො ළපටියි- කෙල්ලො කපටියි.

ජීවිතේ පට්ට වෙන්න, මුලින් ලැබුණු කට්ට කාල ඉන්න ඕන Bro

ගංවතුරෙ උඩුගං පීනන මිනිස්සුන්ට ඉවුරෙ ඉඳන් හිනාවෙන මිනිස්සු අදාළ නෑ.

හැමෝම දාන වදන්වලින් අපි දැන් පදං වෙලා Bro

ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො

දුවල දෙන්න ගෙදර පහන. අපි ලයිටර්ද අම්මෙ?

පාර රජයේ වුනාට සෙල්ලම මගේ බ්‍රෝ

විඳවීම හුරු එකාට වේදනාවත් පට්ට රහයි බං.

යක්කු බලාගත්තු අපට දුව මොනවද නැන්දම්මේ.

රඟපාන සමහරු හිතාගෙන ඉන්නෙ අපි පිටපත දන්නෙ නෑ කියල.

රාජාලියෙක් එක්ක පියාඹන්න ඕන නම්, පාත්තයින්ගෙන් ඈත් වෙලා හිටපං මචං

නරි උපදෙස් දෙන විට ඔබගේ කුකුළන් ගැන සෙවිල්ලෙන් සිටින්න.

තරු පොඩි නෑ. ඒ පේන හැටි -  අපි පොඩි නෑ. ඒ දකින හැටි

Thursday, January 16, 2020

''විෂම'' භාග : පරිපූර්ණත්වය පිණිස


      

ලලිත් රත්නායකගේ රූප මාධ්‍ය පෙළහර අප මෙතෙක් දැක තිබුණේ රූපවාහිනී මාධ්‍යයෙනි. එනම්, ටෙලි නාට්‍ය වශයෙනි. එහි දී, ලලිත් සිය අනන්‍යතා සුළකුණ සටහන් කළේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයාට ඉන් පෙර හමු නො වූ අත්දැකීම් ඉසව් සංස්පර්ශ කරමිනි. එපරිද්දෙන් ම, ලලිත් සිය සිනමා ආගමනයේ පළමු පිය සටහන වන 'විෂම භාග' සිනමා ප්‍රේක්ෂකාගාරය අභිමුව තබන්නේ ද එබඳු භාවිතයකිනි.

Sunday, November 3, 2019

කෙබඳු ගුරු තරුවක්ද නිවුණේ - කෙබඳු හදකද ගැස්ම සිඳුණේ...


ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේ නිර්මාතෘ පී.ජී. ජයසේන ගුරු පියාණන් වර්ෂ  2019ක් වූ නොවැම්බර් මස 03, එනම් ඊයේ ජීවිතයෙන් නික්ම ගියේය. පරම්පරා ගණනාවකට ඥානාලෝකය පෑදූ ඔහු මෙම විද්‍යාලය ගොඩනැඟීම සහා ගත් වෙහෙස,  මෙරට පාසල් ඉතිහාසය පිළිබඳ ලියැවෙන ග්‍රන්ථයක අනිවාර්ය පරිච්ඡේදයක් විය යුතු තරමට අපූර්වත්වයක් සහිතය.  එමතු නොව එතුමාගේ විදුහල්පති භූමිකාව, ලංකාවේ පාසලක විදුහල්පති භූමිකාව පිළිබඳ පරමාදර්ශයක් බඳුය.  එතුමා සමග  2011 වසරේදී මා විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලද මෙම ලිපිය, මෙස ඔබ හමුව තබන්න ජයසන ගුරු පියාණන්ට උපහාරයක් වශයෙනි.