Wednesday, August 31, 2016

පාඨයකාග‍ේ බ්ලොග් විචාරය - 'පරිවර්තන - PARIVARTHANA'




'පාඨයකාගේ' පරිවර්තන සාහිත්‍ය සා පිපාසාව කිසිදා සංසිඳවිය හැක්කක‍් නො වේ. අසූ ගණන් අග භාගයේ පමණ සිට 'පාඨයකාට' වැළඳී ඇති මේ තත්ත්වය දිනෙන් දින උත්සන්න වනු මිස සමනය වන පාටක් නැත. මේ සැප්තැම්බරය ද, ගෙවුණු සැප්තැම්බරයන් මෙන් ඒ පිපාසය ඉහවහා ගිය සමයක් වනු ඇතැයි සිතේ.



'පාඨයකා' ඇතුළු බොහෝ දෙනකු පරිවර්තන සාහිත්‍ය කියවීමට පිවිසුණේ සෝවියට් රුසියානු පරිවර්තන ඔස්සේ ය. ඉන්පසු ලතින් ඇමරිකානු පරිවර්තනයන්ගේ රස විඳින්නට අවස්ථාව ලැබිණි. මෙම පරිවර්තන 'පාඨයකාගේ' ජීවිතය කෙරෙහි සිදු කර ඇති බලපෑම කොතෙක්දැයි කිවහොත් 'පාඨයකාට' ලංකාවේ සුන්දර බිම් පෙදෙසකට වඩා සෝවියට් දේශයේ ස්ටෙප්ස් බිම සමීප ය. කොළඹ වීථියකට වඩා ලතින් ඇමරිකානු රටක වීථියක් හිතට සමීප ය. ඒ එම සාහිත්‍ය නිර්මාණ පරිවර්තන සහෘද හද මනස තුළ කර ඇති විපර්යාසයයි. භාෂාව තුළින් මිනිස් මනස තුළ පෑ හැකි ආශ්චර්යයන් කොතෙක්දැයි 'පාඨයකාට' එබඳු අවස්ථාවල සිතෙන්නේ ය.




පරිවර්තන සාහිත්‍ය නිර්මාණ කියවන විට අදාළ පරිවර්තකයාගේ නම 'පාඨයකාගේ' සිතෙහි සටහන් වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ පරිවර්තනයේ රසවත්භාවය විසින් 'පාඨයකා' තුළ මවන ප්‍රතිරූපයක් ද සහිත ව ය. එවැනි පරිවර්තකයකුගේ 'නම' පුවත්පතක කෙටිකතා පිටුවක හෝ කවි පිටුවක හෝ දුටුවිට දෙවරක් නො සිතා ම 'පාඨයකා' කියවීමට පෙළඹෙන්නේ පරිවර්තනයට සාධාරණය ඉටු කර ඇති බවට වන විශ්වාසදායී හැඟීමෙනි. ඇතැම් නීරස පරිවර්තනයක් කියවූ විට ඒ නිර්මාණය මෙන් ම, පරිවර්තකයාගේ නම ද 'පාඨයකාගේ' මතකයෙන් ඈත් වී ගොස් ඇත්තේ නිරායාසයෙනි.



එහෙව් පරිවර්තන හා පරිවර්තකයින් අතර, අනූව දශකයේ අවසාන භාගයේ පුවත්පත් පිටු මත පරිවර්තන කෙටිකතා, කවි සමග නිතර සඳහන් වුණු නමක් 'පාඨයකාට' තවමත් මතක ය. එහෙත් පසුව මේ නම සෑහෙන කාලයක් සිංහල පුවත් පිටු අතර හමු නො විණි. මෑත දවසක 'සින්දු ඇනෝ' බ්ලොග් අඩවියේ ' කිත්සිරි නිමල් ශාන්ත මහතාගේ ගීත රචනා' පිළිබඳව ලියැවුණු ලිපියකට දක්වා තිබූ ප්‍රතිචාරයක ඒ නම සඳහන් ව තිබෙනු 'පාඨයකාට' ඇස ගැටිණ. ''නිලූක කදුරුගමුව'' ඒ නම ය. ඒ නම ඔස්සේ 'පාඨයකා' හඹා ගියේ ය.



දුකක් මෙන් ම, සතුටක් ද දැනුණේ ‍එකවර ම ය. දුක, ඔහුගේ හැකියාවන් ලංකාවේ පුවත්පත්කලාවට තවදුරටත් නො ලැබීම ය. සතුට, ඔහු පුවත්පත්කලාවේ නැතත් සිය පරිවර්තන හැකියාවේ මහරු ඵල පාඨකයින්ට ලබාදීම සඳහා බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම ය. ''පරිවර්තන-PARIVARTHANA'' නිලූකගේ බ්ලොග් අඩවියයි. 'විශ්ව සාහිත්‍යයෙන් බිඳක් සිංහල අන්තර්ජාල පාඨකයා වෙත ගෙන ඒමට දරනා වෑයමකි.' වශයෙන් නිලූක සිය බ්ලොගයේ තේමාව සඳහන් කර තිබේ. එවක පුවත්පත්වලදී බොහෝ විට කවි හා කෙටිකතාවලට සීමා වී තිබූ ඔහුගේ පරිවර්තන ප්‍රවර්ග, බ්ලොග් අඩවිය තුළදී කවි, කෙටිකතා, උපමා කතා, ජනකතා, සුරංගනා කතා, දේවකතා, විහිලු කතා වශයෙන් පුළුල් වී තිබේ.  



'පාඨයකා' කොහොමත් කවියට වඩාත් ඇලුම් බැඳුම් ඇති ‍එකෙක් බැවින්, නිලූක පරිවර්තනය කර ඇති පැබ්ලෝ නෙරූදාගේ 'රැජන' නමැති කවිය සිතෙහි තදින් ඇනුණේ ය.



''අබිසෙස් කළෙම් ඔබ 
රැජනක් ල‍ෙසින්                                                             
සිටියද ඔබ හට වඩා උස ලියන්,

සිටියද ඔබ හට වඩා පිවිතුරු කතුන්,

සිටියද ඔබ හට වඩා මනකල් ළඳුන්,

රැජන නම් ඔබ වේමය ඉතින්.



වීදියෙහි ඔබ යනෙනා කලට

නොහඳුනති කිසිවෙක් ඔබව.

නොදකිත් කිසිවෙකුත්

ඔබ පැළඳි මිණි කිරුළ,

නොබලත් කිසිවෙකුත්

පා තබන රත්රන් පළස දෙස,

නොපවතින ඒ පළස දෙස.



එහෙත් ඔබ පැමිණි කල,

හඬ නගා ගලන්නෙය

සියලු ගංගා මා සිරුර තුළ,

සීනුවල නාදයෙන්

වෙව්ලයි නබෝගැබ,

ගීතිකාවක හඬින්

පිරී යයි මිහිතලය.



සවන් දෙන්නේ ඒ ගී නදට

ඔබ හා මා පමණකිය.

මා සොඳුර,

ඔබ හා මා පමණකිය.''



මෙම කවිය ඇතුළු තවත් කවි කිහිපයක් කියවමින් රස විඳි 'පාඨයකා' ඉනික්බිති ව පිවිසුණේ නිලූක විසින් පරිවර්තනය කර ඇති 'උපමා කතා' ප්‍රවර්ගයට ය. මේ ඉන්නේ නස්රුදීන් ! මීට පෙර නස්රුදීන්ගේ කතා සිය ගණනක් 'පාඨයකා' කියවා තිබුනත්, ඒ කිසිවක් අතර හමු නො වුණු අපූරු කතාවක් එහි තිබිණ. එය නිලූක විසින් පරිවර්තනය කරනු ලැබ තිබුණේ 'ගැඹුරු කල්පනා' යනු‍ව‍ෙනි.



''දවසක් මුල්ලා නස්රුදීන් වෙළෙඳපොළේ ඉන්න කොට දැක්කා එකෙක් රියාල් පන්සීය ගණනේ කුරුල්ලන්ව විකුණනවා. මා ගාව ඉන්න කිකිළි මේ හැම කුරුල්ලෙකුටම වඩා විශාලයි. ඒ නිසා ඌ මීට වඩා හුඟක් වටිනවා කියලා හිතපු නස්රුදීන් පහුවදාම තමන්ගේ කිකිළිය වෙළෙඳ පොළට ගෙනිච්චා විකුණන්න. ඒත් කිසි කෙනෙක් රියාල් පනහකට වඩා කිකිළියට ගෙවන්න කැමති වුණේ නෑ. කේන්ති ගිය මුල්ලා නස්රුදීන් කෑ ගහන්න පටන් ගත්තා.



මිනිස්සුනේ මේක මහා අවමානයක් ! ඊයේ නුඹලා මේ කිකිළියගෙන් බාගයක් වත් නැති කුරුල්ලෙකුට මේ වගේ දහ ගුණයක මිලක් ගෙව්වා.



කෙනෙක් ඔහුගේ කෑ ගැහිල්ලට බාධා කළා: නස්රුදීන්, ඊයේ රියාල් පන්සීය ගාණෙ විකුණුවේ ගිරවුන්ව, කතා කරන කුරුල්ලන්ව. උන් කතා කරන නිසා වැඩිපුර වටිනවා.



මෝඩයා! නස්රුදීන් පෙරළා කෑ ගැහුවා. නුඹලා ඒ කුරුල්ලන්ට වැඩි වටිනාකමක් ගෙවන්නේ උන්ට කතා කරන්න පුළුවන් නිසයි. ඒත් ඔලුව ඇතුළෙ බොහොම ගැඹුරු කල්පනාවල් තියෙන, ඒත් කච කච ගාලා තමුන්ගේ කතාවෙන් මිනිස්සුන්ට කරදර නොකරන මගේ කිකිළිව නුඹලා ප්‍රතික්ෂේප කරනවා.



'පාඨයකාට' මෙම පරිවර්තන කියවා තවදුරටත් ඉවසා සිටීමට නො හැකි තැන, 'ගැඹුරු කල්පනාවල්' තිබෙන, එහෙත් බ්ලොග් නො ලියන මිතුරියකට 'පරිවර්තන' බ්ලොගයේ සබැඳිය ඊ මේල් කළේ මෙබඳු සටහනක් ද සමගිනි.


''නිලූක කදුරුගමුවගේ පරිවර්තන තිබෙන බ්ලොග් එකක් හමුවුණා. මෙන්න ලින්ක් එක.''


ඇය හැරෙන තැපෑලෙන් මෙබඳු සටහනක් මා වෙත එවුවා ය.


''මම ඔ‍යාගේ බ්ලොග් එකේ තිබුණු ලිස්ට් එකේ දැකල නිලූකගේ බ්ලොග් එක පහුගිය සති අන්තය පුරාම කියෙවුවා. නියමයි. අපි වගේ නිලූකත් කවදාවත් ලොකු වෙන්නෙ නැති එකෙක් නේද?''


ඉතිං ඔබ තවදුරටත් මෙතැන නො සිට, එතැනට යා යුතුය. අපූරු පරිවර්තන කවි, කෙටිකතා, උපමා කතා, ජනකතා, සුරංගනා කතා, දේවකතා, විහිලු කතා ඔබ පිළිගන්නට සැදී පැහැදී සිටී. තැන, මෙතැනය. 'පරිවර්තන'

3 comments:

  1. හෝඩුවාවට ස්තූතියි සහෝ. ඒ පැත්තේ ගිහින් බැලුවා. එය තවත් අපූරු බ්ලොග් පිටුවක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ප්‍රභාත්.

    ReplyDelete
  3. මමත් නොවරදවා කියවන අඩවියක්..
    මම කැමතියි ඔබ නිම්නය ගැනත් විචාරයක් ඉදිරිපත් කරනවා නම්, ඔබේ පළපුරුදු ලිවිමේ හැකියාව දකින විට මට එහෙම කියන්න හිතුනා..

    ReplyDelete