Sunday, August 7, 2016

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'ගුරුවරියකගේ මතක'



ලංකාවේ වර්තමාන පුවත්පත් කලාවට වඩා‍ සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් කලාව ඉදිරියෙන් ඇතැයි ''පාඨයකාට'' සිතේ. දේශපාලකයින්ගේ පල්හෑලි හා තක+තීරු ලිපි විසින් ලංකාවේ වර්තමාන සිංහල පුවත්පත්කලාව වසා ගනු ලබමින් තිබෙන අතර, 80-90 දශකයන්හි මෙරට පුවත්පත්කලාවේ තිබූ සාරවත්භාවය වර්තමානය වන විට පළා ගොස් ඇති සෙයකි. වසර 15කට ආසන්න කාලයක් පුවත්පත්කලා ක්ෂේත්‍රයේ ''පාඨයකාගේ'' අත්දැකීම් අනුව බලන විට, අපේ රටේ පුවත්පත් කලාව ක්ෂේත්‍රයක් ලෙස කිසියම් අවගමනයක තිබෙන බව පෙනේ. පුවත්පත් අලෙවිය අඩුවීම, පුවත්පත් කියවීම අඩුවීම එක් පැත්තකි. පුවත්පතේ අන්තර්ගතය පැත්තෙන් වන අවගමනය වඩාත් බරපතළය. මේ කෙටි පූර්විකාව තබන්නට ''පාඨයකා‍ට'' සිතුණේ පුවත්පත්කලාව ගැන ලියන්නට නොව, වර්තමාන සිංහල බ්ලොග්කලාව ගැන ලියන්නට ප්‍රවේශයක් ලෙසය. මෙතැන් සිට ඉදිරියට වරින් වර සිංහල බ්ලොග් අඩවි ගැන කිසියම් සන්නිවේදනාත්මක හා සහෘදාත්මක ඇගයුමක් කිරීමට ''පාඨයකා'' බලාපොරොත්තු වේ. මේ එහි පළමු පියවර වන්නේය.




''පාඨයකා'', සිංහල පුවත්පත්කලාවේ ''ඊර්ෂ්‍යා කරන'' ලේඛකයින් සිව් දෙනෙක් සිටිති. ඈත පරපුරෙන් ගත්විට ගුණසිංහ මහත්තයා (දයාසේන ගුණසිංහ) සහ සුනිල් අයියා (සුනිල් මාධව ප්‍රේමතිලක) සිටින අතර, මෑත පරපුරෙන් භාෂණ (රෝහිත භාෂණ අබේවර්ධන) හා මංජුල (මංජුල වෙඩිවර්ධන) සිටිති. පාඨකයකු වශයෙන් ඔවුන් සිව් දෙනාගේ ලේඛන ශෛලීන් කෙරෙහි ''පාඨයකා'' තුළ ඇත්තේ අතිශය ප්‍රිය මනාපයකි. එපරිද්දෙන්ම ''ඊර්ෂ්‍යා කරන්නට'' සිතෙන බ්ලොග් අඩවියක් මෑතක දී ''පාඨයකා‍ට'' හමු විණි. ඒ අන් කිසිවක් නොව ''ගුරුවරියකගේ මතක - ළමයි ඉගැන්වූ පාඩම් (golden memories of teacher)'' බ්ලොග් අඩවියයි. එහි ලියන්නිය පාසල් ගුරුතුමියකි.



ලෙක පාසල් ගුරුවරයකු ලෙස සේවය කළ අැන්.ටී. කරුණාතිලක මහතා පසුලෙක ලියූ නවකතාවක නම වූයේ ''ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි'' යන්නය. එබඳු උත්තම පුරුෂයන් විසින් සාහිත්‍යයේ තබා ගොස් අැති පියසටහන් අදටත් අගේ සාහිත්‍ය සා පිපාසා සංසිඳුවමින් සිටී. අතීතයේ පාසල් ගුරුවරුන් විසින් මේ රටේ සාහිත්‍යයට කරන ලද සේවය මායා රංජන්, පියසේන කහඳගමගේ ආදීන්ගේ කෘති මගින් හඳුනාගැනීමට පිළිවන. නූතන සයිබර් අවකාශය තුළ ඉහත බ්ලොග් අඩවිය ලියන ගුරුතුමිය සිදු කරන මෙහෙවරද සුවිශේෂී එකක් බව ''පාඨයකාගේ'' කල්පනාවයි. එක් පැත්තකින් ඇය සිංහල බ්ලොග් කලාවට සිදුකරන මහඟු දායකත්වයයි. අනෙක ගුරු වෘත්තිය තුළ ඇගේ මෙහෙවර හා අත්දැකීම් ඔස්සේ පාඨකයා වෙත ලබා දෙන ජීවිතාවබෝධයයි. එසේම ඇය විසින් ලංකාවේ අගනාගරික ප්‍රදේශවලින් පරිබාහිරව මහපොළොවේ පවතින පාසල් අධ්‍යාපනය පිළිබඳව අපට සිතන්නට කරන නිහඬ බලපෑමයි. මෙවැනි පසුබිමක ඇගේ බ්ලොග් අඩවිය අධ්‍යාපනික, සන්නිවේදනාත්මක, නිර්මාණාත්මක හා සමාජ විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රවේශයකි. විශේෂයෙන්ම නූතන ගුරු භවතුන් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු අැගේ බ්ලොග් අඩවිය, තම පංති කාමරයේ වන දරුවන් දෙස වඩාත් සංවේදී හා අලුත් අැසකින් බලන්නට ඔවුන්ට උගන්වන බව කිව මනාය.



'ළමයින් ඉගැන්වූ පාඩම්' යන ඇගේ බ්ලොග් උප ශීර්ෂයම අප වෙනස් මානයක් වෙත කැඳවයි. ඇය ලියන ශෛලිය ඉතාම සරලය. (ඇතැම් විට ''යමක් ලියා තිබේද'' කියා පවා සිතේ.) අමුතු සාහිත්‍ය මෝස්තර නැත. පාඨකයා විශේෂයෙන් ඇද බැඳ තබාගන්නට යොදන අටෝරාශියක් සාහිත්‍ය ප්‍රයෝග නැත. නමුත් ආරම්භක වැකියට යොමුවන පාඨකයාට පෝස්ටුව අවසානය දක්වා කියවන ලෙසට වන හෘදයාංගම බල කිරීමෙන් මිදෙන්නට කිසිවිටක හැකි ‍වන්නේද නැත. ප්‍රබන්ධයට වඩා සත්‍යයෙහි වන ආකර්ෂණීයත්වය ඇය සොයා යන්නීය.  'ඉන්ටර්වල්' යනුවෙන් ඇය 2016 ජූනි 20 දින ලියන '34 වන මතකය' උපුටා දක්වන්නට ''පාඨයකා'' කැමතිය.



''ඉන්ටවල් එක අවසන් වෙන සීනුව නාද වෙනවා මං අහගෙන. අතට ගත්ත කහට කෝප්පෙ ගිනි වතුර පිටින් කටේ හලාගෙන යන්න බැරි කමට විනාඩි දෙකක් පහුවෙනකං උන්නෙ පීරියඩ් එක දොළහේ පන්තියට අයිති නිසා. විනාඩි දෙකක ඉවසුමක්, ටිකක් තේරෙන වයසේ ඉන්න පොඩි එවුන්ට නැතිවාම නෙවෙයිනේ. වැරදි වුනත් මම මගේ හිත හැදුවෙ එහෙම. මොකද දිව කට වේලෙන හුළං කාලේ අපිම හදාගන්න තේ කහට කෝප්පය දිවට අමෘතයක් නිසාම.

''මේ වෙලාවෙ පන්තියක් තියෙනවා නේද... මෙතැන තවත් කයිය ගගහ ඉන්නෙ. අනික් ගුරුවරු ගිහින් උගන්වන්නත් පටන් අරන්.''

විදුහල්පතිතුමාගේ ගෝරනාඩුවට තේ කහට එක මිදුලට වීසි කෙරුණේ විදිල්ලක් වගේ.

''අනික් ගුරුවරු පීරියඩ් අටම වැඩ නෑනේ සර්...''

මට එහෙම කියන්න ඕන වුණා. ඒත් කොහේදෝ නැති සංසුන්කමක් හිත පුරා පැතිරෙද්දි මම පන්ති කාමරයට එන්න ආවා. පොඩි උන් වැඩ. මට තනියම හිනා. කොහොමත් මගේ පීරියඩ් එක වෙලාවට වෙන වැඩක් කරනවාට වඩා විෂය ආශ්‍රිතව වැඩක ඉන්න එක ඇඟට හොඳයි කියල මාත් එක්ක ඉඳලම පොඩි උන් දන්නවා. වෙන වැඩක හිටියොත් ගුටියට, බැනුමට වඩා මගෙ දඬුවම් වෙනස්. ඒක හරි සාර්ථකයි මගෙ අරමුණ හොයාගන්න.

මම පාඩම පටන්ගත්තා. විනාඩි ගානක වැඩ අතරේ පන්තියේ හිටපු සුදුමැලිම කෙල්ල ඈණුම් අරිනවා මං බ‍ලාගෙන. එක දිගටම. ඒ මදිවට නිදිමත බේරෙන ඇස්. මං පාඩම නතර කළා.

''මොකද මධුෂි. වැඩිපුර කෑවම ‍ඔහොම තමා... නින්ද යනවා.'' මං කිවුවෙ පොඩි එකීව නින්දෙන් ඇහැරවන්න හිතාගෙන.

පොඩි එකී ඇහැරුනා නම් තමයි. ඒත් බයාදු හිනාවක් එක්ක.

''නිදිමතද''

''හ්ම්''

''නිදි මැරුවද''

''නෑ''

''මොනවද කෑවේ ඉන්ටවල් එකට''

''එයා කෑවෙ නෑ ටීච'' ඒ උත්තරය මධු‍ගෙන් නෙවේ. ළඟ හිටපු නිශානිගෙන්.

ප්‍රශ්නාර්ථයක් එක්ක මං මධුෂි දිහා බැලුවා.

''ඇයි නිශා මධුෂිවත් කෑමට හවුල් කර ගන්න තිබ්බනෙ.''

මං එහෙම කිවුවෙ මධුෂි කෑම ගේන්න නැතිව ඇති කියලා උපකල්පනය කරලා.

''මං කෑම ගෙනාව ටීච''

''එහෙනම් නොකෑවෙ''

'බඩගිනි නෑ. උදේ කාලනෙ ආවෙ''

''උදේ කාපු එක මේ වෙනකං තියෙනවද බොල... දෙනවා මෙහාට කෑම ‍එක..''

බෑග් එක පාදලා පොඩි එකී කෑම එක මගෙ අතේ තිබ්බා.

''එනවා මගේ පස්සෙන්''

තරවටුවට වුනත් මම දන්නවා බඩගින්නෙ උගන්වලා වැඩක් නෑ කියලා.

පරිගණක කාමරයට ගිහින් මම කෑම එක දිගහරිනවා පොඩි එකී බලාගෙන. ඒ ඇස්වල තිබ්බේ එපා කියන්න බැරිකමක්. මට ඒක තේරු‍ණේ කෑම එකේ පිළුණු ගඳට ඇකිළුන මගේ නහය දිහා කෙල්ල දුකෙන් බලන් ඉද්දි. ''





එක හුස්මට ඇදී යන ඇගේ ඒතක ලියමන එතැනින් හමාර වෙයි. නමුත් පාඨකයාගේ කාර්යභාරය එතැනින් හමාර ක‍ළ නොහේ. එය ඇරඹෙන්නේ එතැන් සිටය. පාඨකයාට නොසිතා සිටිය නොහැකිය. ඇසේ රැඳුණු තෙතකින් සැහැල්ලු වන්නටද අවැසිය. ඒ අතර සිතන්නට බොහෝ දේ තිබේ. පෙරදින රාත්‍රියේ රූපවාහිනියේ විකාශනය වූ වෙළෙඳ දැන්වීම්හි වන බුද්ධිමත් වන්නට, ශක්තිමත් වන්නට නිර්දේශ කරන අහවල් අහවල් කෑම කා පාසල් යන දරුවන්ගේ දැන්වීම් සිහියට නැ‍‍‍‍ගෙයි. ඔවුන් පිරිපුන්ය. දඟකාරය. නමුත් ඒ සිහිනයෙන් අප උස්සා පොළොවේ ගසන්නට ගුරුතුමිය කටයුතු කරන්නීය. 

ඇය මහ පොළොවේ සිටින පාසල් දරුවන්ගේ ඇත්ත තත්ත්වය ඉදිරිපිට පාඨකයා සිටුවන්නීය. ළමයි ඇයට උගැන්වූ පාඩම ඇය වඩාත් සංවේදී ලෙස පාඨකයාට උගන්වන්නීය. කෙබඳු අරුමයක්ද? නිර්මාණාත්මක සිතන්නෙකුට හෝ සිතන්නියකට සීගිරසෙල් පවුර වුව, සයිබර් අවකාශය වුව කජ්ජක් නොවන්නේය. සිංහල භාෂාවෙන් කළ හැකි දේ කෙතරම්ද?  නිකමට ාඩ වැදී බලන්න. ඔබට ඒ මතකයන් කිසිදා අත් හැර යා නොහැකි වනු නිසැකය. තැන මෙතැන ය. ගුරුවරියකගේ මතකය 

5 comments:

  1. බොහෝම ස්තූතියි ඔත්තුවට. ඒ බ්ලොග් එක හොයලා මමත් මගේ බ්ලොග් රෝලට දා ගත්තා. දැන් ඉතින් ඉඩ පාඩු ලැබෙන වෙලාවට කියවන්න පුලුවන්. ස්තූතියි ආයේ සැරයක්

    ReplyDelete
  2. අපූරු බ්ලොග් එකක් පිළිබදව දැනුවත් කළාට ස්තූතියි, සහෝ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ගුඩ්.. හෝප් යු විල් බී අ ගුඩ් යකා.. හැක්..

    ReplyDelete
  4. නියමයි. නේ පාඨයකෝ මගේ බ්ලොගියත් කියවලා පොඩි මෙව්වා එකක් දාන්න හොදේ.
    https://ranwanmakara.blogspot.com

    ReplyDelete
  5. මම ඇයව කියවන්න ගත්තු දා ඉඳලා හිතෙන්නේම ඒ වගේ පළාතක ළමයින්ට උගන්නන යන්න.. මගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරුන්.. ඔබේ මේ විචාරය ඇගේ ලිපි අතර කොමෙන්ටුවක තිබිලයි හොයාගෙන ආවේ.. ඇත්තටම හොඳ වැඩක්..

    ReplyDelete