Wednesday, December 25, 2024

අපේ ජීවිත, කුරුල්ලෙකුගේ ජීවිතය තරම්වත් වටින්නේ නැහැ ! - භෝපාල් ගෑස් ඛේදවාචකයේ වින්දිතයන්

 


1984 දෙසැම්බර් 2 හා 3 දිනවල ඉන්දියාවේ සිදු වූ ‘භෝපාල් ගෑස් කාන්දුව’ ලෝකයේ මාරාන්තික කාර්මික ව්‍යසනය ලෙස සැලකේ. එම ඛේදවාචකයට පසුගියදා වසර 40ක් සම්පූර්ණ විණි. භෝපාල්  ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් කාන්තාවන් දෙදෙනකු වන රෂීඩා බී සහ චම්පා දේවි ශුක්ලා ඉන්දියාවේ දීර්ඝතම පාරිසරික යුක්ති ව්‍යාපාරයට නායකත්වය දුන්හ. ඉන්දියාවේ FRONTLINE සඟරාව ඔවුන් දෙදෙනා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියක් පසුගියදා පළ කරන ලදී. මේ, ඒ ඇසුරෙන් සැකසුණු ලිපියකි. (මෙම සම්පූර්ණ ලිපිය සංස්ක‍රණය කොට සැකසුණු ලිපිය 2024 දෙසැම්බර් 25 විදුසර පුවත්පතේ පළ වී ඇත.)



, 1984 වසරේ දෙසැම්බර් 2 හා 3 දිනයන්ය. භෝපාල්හි ‘යුනියන් කාබයිඩ්’ පළිබෝධනාශක කම්හලෙන් උග්‍ර විෂ සහිත methyl isocyanate වායුව ටොන් 40ක් පමණ කාන්දු වී ගියේ, පැය කිහිපයක් ඇතුළත නගර වැසියන්ගේ හුස්ම හිර කර, ඇස් අන්ධ කරමින් සහ එහි වඩාත්ම අවදානමට ලක්විය හැකි වැසියන් දරුණු ලෙස පීඩාවට ලක් කරමිනි. මෙම ව්‍යසනය, පැහැදිලි නිරාපදතා අඩුපාඩු, වියදම් අඩුකිරීම් සහ තාක්ෂණික අසාර්ථකත්වයන් හේතුවෙන්, එතැන් සිට ජීවිත 25,000කට අධික සංඛ්‍යාවක් බිලිගෙන ඇති අතර, ජීවිත කාලය පුරාම තුවාල, නිදන්ගත රෝග සහ කම්පනවලින් මිලියන භාගයකට අධික ජනතාවක් පීඩාවට පත් කර තිබේ.

1985 දී ඉන්දීය රජය විසින් ‘භෝපාල් ගෑස් කාන්දු ආපදා (හිමිකම් සැකසීමේ) පනත’ සම්මත කරන ලද අතර, වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ වන්දි ඉල්ලීම් හැසිරවීමට තනි අයිතිය ලබා දෙන ලදී. මුලදී ඩොලර් බිලියන 3.3ක් ඉල්ලා සිටියද, ආණ්ඩුව 1989 දී යුනියන් කාබයිඩ් සමාගම සමඟ අධිකරණයෙන් පිටත සමථයක් ඇති කර ගත්තේ, හුදෙක් ඇමරිකන් ඩොලර් මිලියන 470ක් පමණක් ලබාගැනීමටය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දිවි ගලවා ගත් 93%කට (පුද්ගලයින් 522,000කට පමණ) වසර 8 සිට 20 දක්වා කාලයක් බලා සිටීමෙන් පසු ලැබුණේ ඉන්දියානු රුපියල් 50,000 බැගින් පමණි. 2010 දී ඉන්දීය රජය ප්‍රතිකාරක පෙත්සම් (curative petitions) හරහා අමතර වන්දි (2022 දී ඉන්දියානු රුපියල් කෝටි 13,998.54) ඉල්ලා සිටියද, ශ්‍රේෂ්ඨාධිකරණය 2023 මාර්තු මාසයේදී ඒවා නිෂ්ප්‍රභ කළේ යුනියන් කාබයිඩ් සමාගමට මුලින් එකඟ වූ ප්‍රමාණයට වඩා වැඩි වගකීමක් පැටවීම නුසුදුසු බව තර්ක කරමිනි. 


 

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පරිසර හා මානව ශාස්ත්‍ර පිළිබඳ මහාචාර්ය රොබ් නික්සන්, ලෝකයේ මාරාන්තික කාර්මික ව්‍යසනය වන බෝපාල් ගෑස් ඛේදවාචකය, ‘මන්දගාමී ප්‍රචණ්ඩත්වයට’ (“slow violence”) නිදසුනක් ලෙස සඳහන් කරන්නේ, විනාශකාරී, දිගුකාලීන බලපෑම් සමඟ හානිය ක්‍රමයෙන් හා නොපෙනෙන ලෙස දිග හැරෙන ආකාරය දක්වමිනි. භෝපාල් ඛේදවාචකය සංස්ථාපිත ගිජුකම සහ ගජමිතුරු ධනවාදය පිළිබඳ සිහිවටනයක් ලෙස පවතී. ඒ අතරම, එය බහුජාතික සමාගම් සහ ආණ්ඩු යන දෙඅංශයෙන්ම ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා වගකිව යුතු බවට අධිෂ්ඨාන කර ගත්, සමාජ සහ පාරිසරික යුක්තිය සඳහා වන සාමාකාමී බිම් මට්ටමේ කාන්තා ව්‍යාපාරයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව තිබේ.

අප 2024 දෙසැම්බර් 3 වන දින භෝපාල් ගෑස් ඛේදවාචකයේ 40 වන සංවත්සරය සනිටුහන් කරන විට, ඉන් දිවි ගලවා ගත්, සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන රෂීඩා බී සහ චම්පා දේවි ශුක්ලා, පවතින ව්‍යසනය සහ යුක්තිය සඳහා කාන්තාවන් විසින් දශක හතරක් තිස්සේ ගෙන යන අරගලය පිළිබඳ ඔවුන්ගේ සජීවී අත්දැකීම් නිරාවරණය කරති.

 

1984 දෙසැම්බර් 2 හා 3 දිනවල යුනියන් කාබයිඩ් කම්හලෙන් විෂ වායුව කාන්දු වී භෝපාල් මාරාන්තික වලාකුළක ගිල්වා දැමූ රාත්‍රිය පිළිබඳ ඔබේ මතකයන් මොනවාද?

ගෑස් කාන්දුවට පෙර මම ජීවත් වුණේ 37 දෙනෙකුගෙන් යුතු ඒකාබද්ධ පවුලක, එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට නිවසේ බීඩි ඔතමින්. දිගු වෙහෙසකර දිවා කාලයකට පසු, ඒ දෛවෝපගත රාත්‍රියේ, අපි නිදාගන්නට යද්දී, පිටත හදිසි කලබලයක් ඇති වුණා. ඒ ගැන කුතූහලයෙන්, මගේ බෑණා දොර විවෘත කළා. නමුත් එසැණින් ඔහු දරුණු ලෙස කහින්නට පටන් ගත්තා. අපේ ඇස් ගිනි ගත්ත වගේ පිච්චුණා. ‘කවුරුහරි මිරිස් බදිනවා’ කියමින් ඔහු, ඒ ගැන පරීක්ෂා කිරීමට එළියට ගියා. නමුත් සුළු මොහොතකින්, ඔහු කලබලයට පත් වී, ‘දුවන්න! දුවන්න! නැත්තම් අපි ඔක්කොම මැරෙනවා’ කියා කෑ ගසන්නට පටන් ගත්තා.

යන්නේ කොතැනට දැයි නොදැන අපි දිවගියේ අවුල් ජාලයකට. අපේ පළායාමට යන්තම් මීටර් 500 ක් පමණ දුරින්, අපේ හුස්ම හිරකරමින් තිබුණා. අපේ ඇස්වලට දැනුණේ ඉඳිකටුවලින් සිදුරු කරනවා වගේ. දුවන, පය පැකිලී ඇද වැටෙන, අඬන මිනිසුන්ගෙන් වීථි පිරී ගියා. ඇද වැටුණු අය පෑගුණා. හුස්ම ගන්නවත්, තව දුරටත් දුවන්නවත් බැරිව අපි බිම ඇද වැටුනේ මරණයෙන් දයාන්විතව නිදහස් කරන ලෙස අල්ලාට යාඥා කරමින්.

පැය ගාණකට පස්සේ, ඒ කලබල මැද්දේ ‘යුනියන් කාබයිඩ්’ කියන නම මට මුල් වතාවට ඇහුණේ, ‘කම්හලේ ගෑස් කාන්දුව නතර වෙලා දැන් ගෙදර එන එක නිරුපද්‍රිතයි’ කියලා කවුරුහරි කෑ ගහද්දි.

ජීප්, ට්‍රක් සහ වෙනත් වාහනවලට මිනිසුන් ගොඩ වී රෝහල් කරා ගියා. අපිව ජහන්ගිරාබාද්හි රෝහලකට දැම්මා. රෝගීන් ගලා ආවේ වේදනාවෙන් ඇඹරෙමින්. බොහෝ දෙනෙක් යාන්තම් ජීවිතය අල්ලාගෙන සිටියත්, සුළු මොහොතකින් ඔවුන් මිය ගියා. රෝහල ඉක්මනින්ම ත්‍රාසජනක දර්ශනයක් බවට පත් වුණා. මිනිසුන් බිහිසුණු වේගයකින් මිය යමින් සිටියා. රෝගීන්ට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි සිතාගත නොහැකි වුණු වෛද්‍යවරු වැඩ කළේ වියරුවෙන් වගේ. සමහරු අක්ෂි දියර බිංදු ලබා දුන් අතර, තවත් සමහරු එන්නත් ලබා දුන්නා.

මිනිසුන් වට පිට බැලුවේ කාංසාවෙන්. ඔවුන් රාත්‍රිය පුරාම තම පවුලේ අය කවුදැයි පරීක්ෂා කළා. අපේ තාත්තා කොහේවත් හිටියේ නැහැ. බලාපොරොත්තු සුන් වූ අපි ඔහු සොයා ‘හමිඩියා රෝහල’ වෙත දිව ගියා. අපි දැක්කේ වචනවලින් කිව නොහැකි තරම් බිහිසුණු බවක්. කාන්තාවන්, ළමයින් සහ පිරිමින් එහි වැතිරී සිටියා, පණ නැති සහ සුදුමැලි වූ ඔවුන්ගේ ඇස් ඉදිමී, මුඛයෙන් පෙණ නඟිමින් තිබුණා. විකෘති වූ මුහුණු හඳුනාගත නොහැකි වුණා. හද කම්පා කරවන විලාප හඬ අප වටා දෝංකාර දුන්නා. මගේ මස්සිනාට පවුලේ සාමාජිකයන් හත් දෙනෙක් හිටියා. ඒ හැමෝම අතුරුදන්. කෙසේ හෝ අපගේ සමීපතමයන් තවමත් ජීවතුන් අතර සිටිනු ඇතැයි යන තෝන්තුවාවෙන් අපි මළවුන් පෙරලා බැලුවා.

ඒ ශීත ඍතුවේ භෝපාල් භීතියට පත් වුණා. මිනිස්සු රංචු පිටින් පලා ගියා. දුම්රිය - අයියෝ, ඒවා ඉන්දියාව සහ පකිස්තානය බෙදීම පිළිබඳ හොල්මන් මතකයන් නැවත ගෙනාවා. අවකාශයේ සෑම අඟලක් තුළම මිනිසුන් පිරී ඉතිරී ගොස් සිටියා. තවත් කෝච්චි පෙට්ටි ඇමිණුවත් පලා යන පිරිසට ඉඩ සැලසීමට ඒවා ප්‍රමාණවත් වුණේ නැහැ. සෑම කෙනෙකුම තම පවුල, ඥාතීන් හෝ ආරක්ෂිත තෝතැන්නක් ඇති ඕනෑම තැනකට පලා යමින් සිටියා. මාස හයක් යනතුරු ආපසු නොඑන්නට අපි ද එම නික්මයාමේ කොටස්කරුවන් බවට පත් වුණා.

 

 

1989 දී ඔබ අගමැති රජිව් ගාන්ධි හමුවීමට දිල්ලියට විරෝධතා පා ගමනක් මෙහෙයවුවා. ඔබ රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් මොනවාද,‍ මඟදී ඔබට මුහුණ දීමට සිදු වූ අභියෝග මොනවාද, ඔබට කිසියම් සහයෝගයක් ලැබුණාද?

අපි වෙනස් කොට සැලකීමට විරුද්ධව සටන් කළා. රජය විසින් භෝපාල්හි පවත්වාගෙන යනු ලබන ලිපි ද්‍රව්‍ය කම්හලේ සේවය කරන, ගෑස් කාන්දුවෙන් වින්දිත කාන්තාවන් සඳහා සමාන වැටුප්, රැකියා විධිමත් කිරීම සහ කර්මාන්ත ශාලා පනත බලාත්මක කරන ලෙස ඉල්ලා අපි සටන් කළා. අපේ හඬ පුළුල් කිරීම සඳහා, අපි Bhopal Gas Peedit Mahila Stationery Karmchari Sangh නමින් කාන්තා සංගමයක් පිහිටුවා ගත්තා. නමුත් මධ්‍ය ප්‍රදේශ් රජය අපගේ නීත්‍යනුකූල ඉල්ලීම් නොසලකා හරින විට අපි ඒවා කෙලින්ම අගමැති රජිව් ගාන්ධි වෙත ගෙන යාමට තීරණය කළා. සතයක් අතේ නැති නමුත් අධිෂ්ඨානශීලීව, කාන්තාවන් 100ක්, ළමයින් 25ක් සහ පිරිමින් 10ක් සමඟ අපි දිල්ලිය බලා පිටත් වුණා.

පාගමන අභියෝගවලින් පිරී තිබුණා. අපි කවදාවත් දිල්ලියට නොයන බව අවධාරණය කරමින්, අපි කාන්තාවන් විනාශයකට ගෙන යන බවට අපේ විරුද්ධවාදීන් අනතුරු අඟවා තිබුණා. ඒ චම්බල්හි මංකොල්ලකාරයින්  අපව කොල්ලකා මරා දමනු ඇති බව කියමින්. නමුත් අපි චම්බල් නිම්නයට ළඟා වූ විට, මංකොල්ලකාරයින් ඔවුන්ගේ සංවේදීකමින් අපව පුදුමයට පත් කළා. “මෙහෙ ආණ්ඩුව සවන් නොදෙන නිසා, අපේ සහෝදරියන්ට දිල්ලියට පෙළපාලි යාමට සිදුවීම ලැජ්ජාවක්.” එක් අයෙක් පැවසුවා. ඔවුන් අපට කිරි, බර්ෆි සහ ආහාර සඳහා රුපියල් 400ක් පිරිනැමූ අතර, චම්බල් පාලම දක්වා අපව කැඳවාගෙන ගියා.

මඟ දිගේ සිටි කාරුණික නාඳුනන අය තේ, කිරි සහ කෑම පිළිගැන්නුවා. බොහෝ කාන්තා විරෝධතාකරුවන් ආහාර මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ මංගල්සූත්‍ර සහ පා සළඹ විකුණා තිබුණා. කිලෝමීටර් 800 ක පමණ දුෂ්කර පාගමනකින් පසු අපි අවසානයේ දිල්ලියට ගියේ මාසයකුත් දින තුනකින්.

අපි රජිව් ගාන්ධිගේ බංගලාවට ළඟා වූ විට, ඔහු දින 15කට පැරීසියට යන බව අපට කීවා. අධෛර්යයට පත් වූ නමුත් අධිෂ්ඨානශීලීව, අපි ‘ඉන්දියා ගේට්’ අසල කඳවුරු බැඳ, ඔහු නැවත එනතුරු බලා සිටියා. අපගේ දින 10 ක කාලය තුළ, (හිටපු නියෝජ්‍ය අගමැති සහ හිටපු හර්යානා මහ ඇමති) දේවි ලාල් අප වෙත පැමිණ අපට ආහාර සඳහා රුපියල් 2,000 ක් ලබා දුන්නා. අවසානයේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා වූ මෝතිලාල් වෝරා අපේ ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු වෙමින් අපට පණිවිඩයක් එව්වා. ඔහු නැවත භෝපාල් වෙත යන ලෙස අපෙන් ඉල්ලා සිටි අතර, අපගේ දුම්රිය ගමනාගමනය සකස් කළා. මහ ඇමැතිවරයකු බොරු නොකරනු ඇතැයි විශ්වාසයෙන් අපි ආපසු ගෙදර ගියා. කෙසේ වෙතත්, වරක් අපි භෝපාල් වෙත ගිය පසු, ඔහු හමුවීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වුණා. එදා තමයි අපි යුක්තිය වෙනුවෙන් අපේ සටන අධිකරණයට ගෙන ගියේ.

 


1989 පෙළපාලියෙන් දිල්ලි දක්වා ගමන් කිරීම, යුක්තිය සඳහා වන භෝපාල් අරගලයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට කාන්තාවන්ට මඟ පෑදුවේ කොහොමද?

1989 කාන්තා පෙළපාලිය ඓතිහාසික මෙන්ම විප්ලවවාදී වුණා. එය දිළිඳු, ආන්තික සහ බොහෝ විට හඬක් නැති කාන්තාවන් ඔවුන්ගේ සාමූහික ශක්තියේ බලය සොයා ගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළා. ඒ පාගමන අපිට විශ්වාසයක් ඇති කළා, පිරිමින් තරමටම ගැහැනුත් ශක්තිමත් සහ දක්ෂයි කියලා. අපි එක්ව, ‘යුනියන් කාබයිඩ්’හි බලයට අභියෝග කිරීමට සහ ප්‍රතිචාර නොදක්වන, අසංවේදී සහ බොහෝ විට සතුරු, ආණ්ඩුවලට මුහුණ දීමට නොබියව ප්‍රබල බලවේගයක් බවට පත් වුණා. එදා පළමු වතාවට පෙළපාලි ගිය අය අදටත්, දිවි ගලවා ගත් අයගේ අයිතීන් වෙනුවෙන් සටන් කරමින් එකමුතු වී සිටිනවා.

2001දී, Dow Chemical Company යුනියන් කාබයිඩ් අත්පත් කරගත් විට, ඔබ එම සමාගමටත් එරෙහිව ප්‍රබල බිම් මට්ටමේ ව්‍යාපාරයක් සංවිධානය කරමින් භෝපාල්හි කාන්තාවන් බලමුළු ගැන්වුවා. ඔබට එම අරගල සහ ඒවායින් ඇති වූ දේ ගැන වැඩි විස්තර බෙදා ගන්න පුලුවන්ද?

2001දී, Dow Chemical Company විසින් යුනියන් කාබයිඩ් අත්පත් කර ගත් අතර, එක්සත් ජනපදයේ ඇස්බැස්ටස් වින්දිතයන්ගේ හිමිකම් පෑම වැනි අවස්ථාවල එහි වගකීම් සඳහා වගකීම භාර ගත්තා. කෙසේ වෙතත්, එය භෝපාල්හි නොවිසඳුණු වගකීම් සම්බන්ධව ආමන්ත්‍රණය කිරීම ප්‍රතික්ෂේප කළා.

2001දී, භෝපාල්හි කාන්තාවන් 300ක් මුම්බායි හි Dow Chemical කාර්යාලයට කඩා වැදී, පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඔවුන්ගේ පණිවිඩය පැහැදිලියි: භෝපාල්හි විෂ සහිත ජලය සහ පස පිරිසිදු කිරීමත්, දිවි ගලවා ගත් අයට සහ ඔවුන්ගේ රෝගී දරුවන්ට සහාය වීමත් තමයි ඒ පණිවිඩය. අපි ඔවුන්ගේ කාර්යාලයට රතු පාට ආලේප කළා - එය භෝපාල්හි රුධිරයේ සංකේතයක්. නමුත් වගකීම භාර ගන්නවා වෙනුවට Dow Chemical පොලිසියට කතා කර අපට නඩු පවරනවා.

2002 දී අපි දිල්ලියේ මාරාන්තික උපවාසයක් සංවිධානය කළේ භෝපාල් දිවි ගලවා ගත් අයට යුක්තිය ඉල්ලා සිටීම සඳහා. යුනියන් කාබයිඩ් හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී වොරන් ඇන්ඩර්සන් පිටුවහල් කිරීම අපේ ප්‍රධාන ඉල්ලීම්වලට ඇතුළත් වුණා. දූෂිත පස සහ ජලය පිරිසිදු කිරීම, දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගේ දරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂාව, අසනීප හේතුවෙන් වැඩ කිරීමට නොහැකි පවුල් සඳහා ආර්ථික ආධාර සහ ව්‍යසනයේ සෞඛ්‍ය බලපෑම් පිළිබඳ තොරතුරු නිකුත් කිරීම ඒ ඉල්ලීම් අතර වුණා.  

එම වසරේම, අපි භෝපාල් දිවි ගලවා ගත් අයගෙන් කොසු 5,000 ක් එකතු කර “ජාදූ මාරෝ ඩව් කෝ” (“Jhadoo Maro Dow Ko”- ඩව්ට තදින් තලන්න) ව්‍යාපාරය ආරම්භ කළා. ඔවුන්ගේ වගකීම සිහිපත් කිරීමක් ලෙස අපි Dow Chemical හි මුම්බායි කාර්යාලයට කොසු මාලයක් පිරිනැමුවා. ඊට ප්‍රතිචාර වශයෙන්, ඔවුන් අපට අපගේ දුක්ගැනවිලි Dow America වෙත ගෙන යන ලෙස පවසා, අපට එරෙහිව තවත් නඩුවක් ගොනු කළා.

ආයතනික නියෝජිතයින් සහභාගී වූ සම්මන්ත්‍රණයක් සඳහා භෝපාල් සිට නියෝජිත පිරිසක් දකුණු අප්‍රිකාවට ගියා. භෝපාල්හි කාන්තාවන් වූ අප මුහුණ දුන් භීෂණය වෙනත් තැන්වල නැවත සිදු නොවන බව සහතික කිරීමට ස්ථාවරයක් ගෙන ඇති බව ප්‍රකාශ කරමින්, අපි අපේ කොසු ඉහළට එසවූවා. අපි ඔවුන්ට භෝපාල් ව්‍යසනය මතක් කර දුන්නා. ඒ අතර අනතුරුදායක කර්මාන්ත ශාලා ඉදිකරන Dow වැනි සමාගම්වලින් වගවීම ඉල්ලා සිටියා. ඇත්තටම අපේ පණිවිඩය අනුනාද වුණා, දකුණු අප්‍රිකාවේ කාන්තාවන් අප සමඟ සහයෝගයෙන් සිටියා.

අපි එක්සත් ජනපදයේ Dow සමාගමේ කොටස් හිමියන්ගේ රැස්වීම පැවැත්වෙන ස්ථානයෙන් පිටත විරෝධතා දැක්වූවා. ඒ වගේම, එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් හමුවී යුරෝපයේ Dow සමාගමේ විධායකයින්ට කොසු පිරිනැමුවා. ඔවුන් කොසුවලට එතරම් බිය වුණා. ආයතනික පාරිසරික අපරාධ පිළිබඳ දැනුම්වත් කිරීමේ අපේ ගෝලීය ව්‍යාපාරයට ශිෂ්‍යයින්, කොටස් හිමියන් සහ පුරවැසියන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. Dow සමාගමේ පුළුල් මහජන සම්බන්ධතා උත්සාහයන් නොතකා, අප විසින් නිර්මාණය කරන ලද පීඩනය යටතේ ඔවුන්ගේ කොටස් වටිනාකම පහත වැටුණා. 

 


2004 දී, බිම් මට්ටමේ පාරිසරික ක්‍රියාකාරීත්වයේ ඔබේ නායකත්වය වෙනුවෙන්, ‘හරිත නොබෙල්’ (Green Nobel) ලෙසද හැඳින්වෙන කීර්තිමත් ගෝල්ඩ්මන් පාරිසරික ත්‍යාගය (Goldman Environmental Prize) ඔබට ලැබුණා. ඉන් වසර දෙකකට පසු ඔබ Chingari Trust Rehabilitation Centre ආරම්භ කළා. එම මධ්‍යස්ථානයේ කාර්යයේ ඉලක්කය සහ බලපෑම කුමක්ද?

අපට ලැබුණු සම්මානය යුනියන් කාබයිඩ් සහ එහි මිත්‍ර පාර්ශ්වයෙන් සිදු වූ අසාධාරණයට එරෙහිව නොබියව නැගී සිටි භෝපාල් ප්‍රදේශයේ කාන්තාවන් ප්‍රමුඛ සැම දෙනාටම හිමි වෙනවා. එම සාමූහිකත්වයේ ආනුභාවයෙන් එම සම්මාන මුදල ලබා ගැනීමටත් පෙර අප නිවේදනය කළේ, එය ගෑස්වලින් බේරුණු අයගේ සුබසාධනය සඳහා යොදවන බවයි. අපි ප්‍රධාන අරමුණු තුනකට අරමුදල් කැප කළා. පළමුව, භෝපාල් ව්‍යසනයෙන් විපතට පත් දරුවන්ට නොමිලේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කිරීම. දෙවනුව, ජීවනෝපාය කර ගැනීමට අරගල කරන ගෑස් කාන්දුවෙන් විපතට පත් පවුල් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ තෙවනුව, ගෝල්ඩ්මන් පාරිසරික පදනම අපගේ උත්සාහයන් හඳුනාගෙන දිරිමත් කළා සේම, ග්‍රාමීය ප්‍රදේශවල පරිසරය සුරැකීමට කටයුතු කරන කාන්තාවන්ට ගෞරව කිරීමට හා ඔවුන් දිරිගැන්වීමට අපි තීරණය කළා.

2006 දී ආරම්භ කරන ලද ඒ මධ්‍යස්ථානය, භෝපාල් ගෑස් ඛේදවාචකයෙන් සහ ජලය දූෂණයෙන් බලපෑමට ලක් වූ පවුල්වල දෙවන සහ තුන්වන පරම්පරාවේ දරුවන්ට සහාය දක්වනවා. එය වෘත්තීය චිකිත්සාව, භෞත චිකිත්සාව, කථන චිකිත්සාව, විශේෂ අධ්‍යාපනය, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, පෝෂ්‍යදායී ආහාර සහ තවත් දේ ඇතුළුව පුළුල් පරාසයක සේවා සපයනවා.

අපේ මූලික අරමුණ වුණේ රජයට ආදර්ශයක් දෙන්න බලාපොරොත්තුවෙන් දරුවන් 100කට ආධාර කිරීම. චින්ගාරි මධ්‍යස්ථානය වෙතින් මෙම දරුවන්ට ලැබුණු රැකවරණය කැපී පෙනෙන දියුණුවක් ගෙන දුන්නා. එයින් අපගේ උපකාරය පැතීමට තවත් පවුල් පෙළඹුණා. කෙසේ වෙතත්, සීමිත සම්පත් සමඟ, අපි සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන්නා. රජයේ ආධාර ඉල්ලා කිහිප වතාවක්ම ආයාචනා කළත් ඒවා ලබා දුන්නේ නැහැ. 2009 දී, Bhopal Medical Appeal (එක්සත් රාජධානිය) අත්‍යවශ්‍ය මූල්‍ය සහාය සහිතව පියවර ගත්තා. එයින් අපගේ උත්සාහයන් පුළුල් කිරීමට සහ පවත්වා ගැනීමට අපට හැකි වුණා.

අද, චින්ගාරි මධ්‍යස්ථානය, ව්‍යසනයේ දීර්ඝ කාලීන සෞඛ්‍ය බලපෑම්වලින් පීඩා විඳි දුප්පත් පවුල්වල ළමයින් සිය ගණනක් සඳහා ජීවනාලිය ලෙස සේවය සලසනවා. ආබාධ සහිත දරුවන් 1,300කට අධික සංඛ්‍යාවක් අප මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී සිටිනවා. නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවා ලබා ගැනීම සඳහා දිනකට 300ක් පමණ චින්ගාරි වෙත පැමිණෙනවා. අපගේ මෙහෙවර වන්නේ ගෞරවනීය හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මෙම දරුවන් සවිබල ගැන්වීමයි.

බොහෝ දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව චින්ගාරි මධ්‍යස්ථානයයි. අතීතයේ වෛද්‍යවරු නිතර කීවේ ආබාධ සහිත දරුවන් වැඩි කල් ජීවත් නොවන බවයි. එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට වෙහෙසෙන බොහෝ දෙනෙකුට රැකියාවට යන විට තම දරුවන් නිවෙස්වලට දමා වසා දැමීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. මෙම දරුවන් කුසගින්න, පිපාසය සහ නොසලකා හැරීම විඳදරාගත්තා. බොහෝ විට තමන්ගේම මළ මුත්‍රවල වැතිර සිටිමින්, හුදකලාව නිහඬව දුක් වින්දා. මෙම නොසලකා හැරීම නිසා බොහෝ දෙනෙක් මිය ගියා. අද, චින්ගාරි මධ්‍යස්ථානයේ පුනරුත්ථාපන ප්‍රයත්නයන්ට ස්තූතිවන්ත වන්නට, මෙම දරුවන්ට රැකවරණය ලැබෙනවා. බොහෝ දෙනෙක් තමන්ගේ දෛනික චර්යා කළමනාකරණය කරගන්නවා පමණක් නොව, කාර්මිකයන්, එළවළු වෙළෙන්දන් සහ තවත් බොහෝ වුන් ලෙස ස්වාධීන ජීවිතයක් ගත කරනවා. තමන් ජීවතුන් අතර නැති වූ පසුවත්, තම දරුවන් ගෞරවාන්විතව ජීවත් වනු ඇති බවටත්, ඔවුන්ට තනිව දුක් විඳීමට ඉඩ නොතබනු ඇති බවටත් චින්ගාරි මධ්‍යස්ථානය දෙමාපියන්ට බලාපොරොත්තුවක් ලබා දී තිබෙනවා.

2006 සහ 2008 දී, දිවි ගලවා ගත් අයගේ සහ ආධාරකරුවන්ගේ කණ්ඩායම් කිහිපයක් අගමැති මන්මෝහන් සිං හමුවීමට භෝපාල් සිට දිල්ලිය දක්වා පාගමන් සංවිධානය කළා. මෙම විරෝධතා අතරතුර ඔබ මතු කළ ප්‍රධාන කරුණු මොනවාද?

අතහැර දැමූ යුනියන් කාබයිඩ් කම්හල් සීමාව තුළ පස සහ ජලය මෙන්ම, ඒ අවට ප්‍රදේශ භයානක ලෝහ හා රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇති බව පර්යේෂණ - අධ්‍යයනවලින් හෙළිවුණා. 2004 දී ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍ය ප්‍රදේශ් රජයට නියෝග කළේ යුනියන් කාබයිඩ් කම්හල අවට ජනවාස සඳහා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසයි. 2005 දී කාන්තාවන් සිය ගණනක් භෝපාල් ගෑස් සහන සහ පුනරුත්ථාපන අමාත්‍යවරයාගේ බංගලාව වෙත පා ගමනින් ගියේ සුරක්ෂිත පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින්. ප්‍රශ්නය විසඳනවා වෙනුවට ඇමතිවරයා අප 12 දෙනෙකුට එරෙහිව කොල්ලකෑම සම්බන්ධව නඩුවක් ගොනු කළ අතර, එයින් අපව නිදහස් කළේ වසර පහක් ඒ නඩු ඇදගෙන යාමෙන් පසුවයි.

2006 දී, භෝපාල්හි පුද්ගලයන් 50 ක් පමණ, වැඩි වශයෙන් කාන්තාවන් සහ ගෑස්වලින් බේරුණු අය - ඉන් සමහරුන් වයස අවුරුදු 80 ගණන්වල පසුවුණු අය - අගමැති මන්මෝහන් සිං හමුවීමට දිල්ලියට ගමන් කළා. භෝපාල්හි දිවි ගලවාගත් අය සඳහා සෞඛ්‍ය, පර්යේෂණ, ආර්ථික පුනරුත්ථාපනය සහ සමාජ සහයෝගය කළමනාකරණය කිරීම සඳහා අධිකාරි බලය සහ සම්පත් සහිත ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් අපි ඉදිරිපත් කළා. දූෂිත භූගත ජලයෙන් පීඩාවට පත් ජනාවාස සඳහා ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය සහ අක්‍රිය වූ යුනියන් කාබයිඩ් කම්හලේ සහ ඒ අවට දූෂණය පිළිබඳ විද්‍යාත්මක ඇගයීමක් කිරීම සහ පිළියම් යෙදීම ඒ අතර තිබුණු ඉල්ලීම්. 2008 දී අපි නැවත වරක් දිල්ලියට පාගමනින් ගියේ මෙම ඉල්ලීම් නැවත අවධාරණය කිරීමටයි. මේ විරෝධතා හේතුවෙන් ජලය අපවිත්‍ර වීමෙන් විපතට පත් ඇතැම් ජනාවාස ප්‍රදේශවලට නළ ජලය ලබාදීම ද සිදු වුණා.



2018 දී, අතහැර දැමූ යුනියන් කාබයිඩ් කම්හල අසල දූෂිත ජලයෙන් පීඩාවට පත් වූ ජනපද 42 ක් Indian Institute of Toxicology Research විසින් හඳුනා ගත්තා. භෝපාල් පදනම් කරගත් Sambhavna Trust Clinic විසින් 2022 වසරේදී සිදු කළ අධ්‍යයනයකින් අතිරේක ජනපද 29 ක දූෂිතබව වාර්තා වුණා. ගෑස් සහ දූෂිත ජලයට නිරාවරණය වීමෙන් ඇතිවන වඩාත් පොදු සෞඛ්‍ය ගැටළු මොනවාද?

ව්‍යසනයෙන් පසු, දිවි ගලවා ගත් අය ඔවුන්ගේ අත් පාවල නිරන්තර වේදනාව, ශ්වසන අපහසුතා, දුර්වල ප්‍රතිශක්තිය, ආහාර ජීර්ණ ආබාධ, තෙහෙට්ටුව, අධි රුධිර පීඩනය, මානසික අවපීඩනය සහ පශ්චාත් කම්පන ආතති ආබාධ ඇතුළු පුළුල් පරාසයක සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන්නා. ඔවුන්ගේ සෞඛ්‍යය පිරිහෙමින් තිබියදීත්, බොහෝ දෙනෙකුට තම පවුල් නඩත්තු කිරීම සඳහා නැවත රැකියාවට යාම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත්, ඔවුන්ගේ ජීව ශක්තිය නැති වී ගොස් තිබුණු අතර, ඔවුන් ඉතා ඉක්මනින් වෙහෙසට පත් වුණා. දූෂිත භූගත ජලයේ බලපෑම වඩාත් පැහැදිලි වන විට, මිනිසුන් පිළිකා, අක්මා සහ වකුගඩු ආබාධ, තයිරොයිඩ් ගැටළු, ක්ෂය රෝගය සහ වෙනත් ශ්වසන රෝග වැනි දරුණු රෝගවලින් පෙළෙන බව සොයා ගත්තා. විශේෂයෙන්ම කාන්තාවන් ඔසප් වීම ප්‍රමාදවීම, වඳභාවය, ගැබ්ගැනීම් සංකූලතා, ගබ්සාවීම් සහ ගර්භාෂ පිළිකා ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දී සිටිනවා. තුන්වන පරම්පරාව පවා දරුණු ආබාධවලින් පෙළෙනවා. එහි ස්වභාවය සහ ප්‍රමාණය සිතාගත නොහැකි තරම්.

 


භෝපාල් ගෑස් ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් අයට මෙතරම් කාලයක් යුක්තිය මඟ හැරියේ ඇයි? ඔබට තවමත් බලාපොරොත්තුවක් තිබෙනවාද?

අපේ රජය සැබෑ සැලකිල්ලක් දැක්වූවා නම්, වින්දිතයින්ට යුක්තිය ඉක්මනින් ඉටු කිරීමට ඉඩ තිබුණා. යුනියන් කාබයිඩ් සාහසික අපරාධ සිදු කළ නමුත්, ඒ සම්බන්ධව සමාගමේ වගවීම වෙනුවට, අහිංසක දිවි ගලවා ගත් අයට දඬුවම් කිරීමටයි රජය තෝරා ගත්තේ. වෙනත් රටවල, තෙල් කාන්දුවකින් මුහුදු කුරුල්ලන් කිහිප දෙනෙකු මිය ගියත් ඩොලර් මිලියන ගණනක දඩ මුදලක් ගෙවීමට සිදු විය හැකියි. මෙහිදී මනුෂ්‍යයින් දහස් ගණනක් මිය ගියා, සිය දහස් ගණනක් සිතාගත නොහැකි දුක් වේදනා විඳදරා ගෙන ජීවත් වෙනවා. නමුත් ආණ්ඩු උදාසීනයි. අපේ ජීවිත කුරුල්ලෙකුගේ ජීවිතය තරම්වත් වටින්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. යම් දිනක, අපට ලැබිය යුතු යුක්තිය ඉල්ලා සිටීමට තරම් අපගේ එකමුතු හඬ ශක්තිමත් වනු ඇති.

 


භෝපාල් ගෑස් ඛේදවාචකයේ වින්දිතයන්ට යුක්තිය සඳහා බිම් මට්ටමේ කාන්තා ව්‍යාපාරයෙන් උගත හැකි පාඩම් මොනවාද?

අපගේ දශක හතරක අරගලය විසින් කටුක සත්‍යයක් හෙළිදරව් කර තිබෙනවා: ඒ, ආණ්ඩු දුප්පතුන් ගැන තැකීමක් නොකරන බවයි. ඉන්දියානු ආණ්ඩුව, ඇමරිකානු ආණ්ඩු, හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වේවා සියල්ලෝම ඔවුන්ට අරමුදල් සපයන බලවත් සමාගම්වලට යටත් වෙනවා. තමන් සේවය කිරීමට නියමිත පුද්ගලයන්ට වඩා, තම ආයතනික මිතුරන් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙන විට බලයේ සිටින අයගෙන් යුක්තිය අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

දුප්පතුන්ට යුක්තිය සුරක්ෂිත කළ හැක්කේ සාමූහික, පරාර්ථකාමී, සාමකාමී, පාරදෘශ්‍ය, සහභාගිත්ව සහ ප්‍රජාතන්ත්‍රවාදී බිම් මට්ටමේ විරෝධතා ව්‍යාපාර හරහා පමණයි. ගෑස්වලින් බේරුණු අයට ලැබී ඇති සීමිත සහන කුමක් වුවත් ඒවා ඔවුන්ගේ නොනවතින අරගලයේ ප්‍රතිඵලයක්. එකමුතු වුණු කාන්තාවන්ට විශාල බලයක් තිබෙනවා. යුක්තිය සඳහා භෝපාල් සටන මෙහෙයවනු ලැබ ඇත්තේ සහ බොහෝ ආකාරවලින් ජයග්‍රහණය කර ඇත්තේ එහි දුප්පත්, ජීවිතයේ වැරදීම් සහිත, රෝගී, පීඩිත සහ නිර්භීත සාමාන්‍ය කාන්තාවන්.