Friday, October 3, 2025

ලෝකයේ ඝාතන ලයිස්තු දේශපාලනය හා තාක්ෂණය


ගාසා තීරයේ බෝම්බ හෙලීමේ ක්‍රියාන්විතයේදී පලස්තීනුවන් දහස් ගණනක් ඉලක්ක කර ගැනීම සඳහා ඊශ්‍රායලය “ලැවෙන්ඩර්” (“Lavender”)  නම් කෘත්‍රිම බුද්ධි AI පද්ධතියක් භාවිත කිරීම පිළිබඳ සවිස්තර වාර්තාවක්, ඊශ්‍රායලයේ ‘+972’ නමැති මාර්ගගත සඟරාව, පළ කළේය. 2023 ඔක්තෝබර් 7 වැනිදායින් පසු ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන විට, හමාස් හෝ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (PIJ) සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන පලස්තීනුවන් 37,000කගේ දත්ත ගබඩාවක් ‘ලැවෙන්ඩර්’ පද්ධතිය සතුව තිබිණි.

ලැවෙන්ඩර්’ පද්ධතිය, ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය දත්ත මත පදනම්ව ගාසා තීරයේ සෑම පුද්ගලයකුටම එක සිට සියය දක්වා ලකුණු ලබා දෙන අතර, ඉහළ ලකුණු ඇති අයව එහි සැක කටයුතු සටන්කාමීන්ගේ ඝාතන ලැයිස්තුවට ස්වයංක්‍රීයව එක් කරනු ලබයි. ඉන්පසු  ඊශ්‍රායලය  “Where’s Daddy?” (“තාත්තා කොහෙද?”) නමින් හැඳින්වෙන වෙනත් ස්වයංක්‍රීය පද්ධතියක්, මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් ඔවුන්ගේ නිවෙස් තුළදී මරා දැමීම සඳහා ගුවන් ප්‍රහාර කැඳවීමට භාවිත කරයි.