Thursday, December 29, 2016

සමුගැනීම


මතු යම් දිනෙක
යළි මෙහි මුණ ගැසෙන තුරූ


'ඉතිං අායුබෝවන්'
බ්ලොග්වරුනි ගරූ !

Saturday, November 5, 2016

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'නිම්නයක තනි වී හීන දකින්නී'

'බ්ලොග්' යනු සයිබර් සමුද්‍රයේ වන දූපත් සමූහයක් වැන්න. ඒ ඒ දූපත්වලට අාවේණික ලක්ෂණ, පරිසර තත්ත්වයන්, සංවේදී කලාප, අනන්‍යතා ලකුණු අාදිය තිබේ. සිංහල බ්ලොග් විවිධත්වයේ විචිත්‍රත්වයට හේතු වී අැත්තේ මෙලෙස ඒවාහි වන අනන්‍යතාවන් එකිනෙකට වෙනස් වීම ය. 

බ්ලොග් අඩවි පවත්වාගෙන යන්නවුන් අතරින් බොහෝ දෙනෙක් විවිධ වෘත්තිකයින් ය. නැතිනම්, තෝරාගත් ක්ෂේත්‍රයක් පිළිබඳ ව හදාරන්නවුන් ය. එම පසුබිම තුළ තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ දැනුම විවිධ අත්දැකීම් සමග සංයෝග කරමින් බ්ලොග් අවකාශයට මුදාහැරීම 'පාඨයකා' දකින්නේ වැදගත් වටිනා සමාජ කාර්යයක් වශයෙනි. 'නිම්නයක තනි වී හීන දකින්නී' බ්ලොගය යනු ද සමාජ කාර්යය පැත්තෙන් එක් විශේෂ අනන්‍යතා ලකුණක් පෙන්නුම් කරන බ්ලොගයක් බව 'පාඨයකාගේ' නිරීක්ෂණයයි.

Monday, October 31, 2016

මේ යසෝදරා හැර තවත් යසෝදරාලා නොසිටිත්ද?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල උණුසුම කෙමෙන් හීන වී යමින් තිබෙන මේ මොහොතේත් මට යසෝදරා සිහිවෙයි. පසුගිය සැප්තැම්බරයේ පොතක පිටු අතර අැය මට හමුවිණි.  ''ඉඩක් දෙන්න අැස් අරින්න'' යැයි අායාචනා කරමින් අැය සිටියා ය. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල යට සිට අැගේ ඉල්ලීමේ හඬ නින්නාද වනු මට දැනේ. අැගේ ඒ ඉල්ලීම පෞද්ගලික ඉල්ලීමක් නො ව, සමස්ත පාසල් ශිෂ්‍ය සංහතිය වෙනුවෙන් කරන ඉල්ලීමක් යැයි සිතේ. මේ 'යසෝදරාවත' ලාංකේය පාසල් අධ්‍යාපන යාන්ත්‍රණයේ සැඟවුණු පැතිකඩක් නිරාවරණය කරන්නකි. සිසුන්ගේ ද, දෙමව්පියන්ගේ ද, ගුරුවරුන්ගේ ද අැස් අරවන්නකි. ඉතිං ''නව යසෝදරාවතක්'' ලියූ අැය යසෝදරා දීපචන්දි ගුණසේකර ය. අෑ ලියූ කෘතිය ''ඉඩක් දෙන්න අැස් අරින්න'' ය. 

Tuesday, October 25, 2016

අැඩොල්ෆ් හිට්ලර් ලලිත කලා විද්‍යායතනයේ ප්‍රවේශ විභාගය සමත් වූවා නම්....!

ඔව්! මේ ඔහු ය. අැඩොල්ෆ් හිට්ලර් ය. මානව ඉතිහාසයේ දරුණුත ම මිනිස් සංහාරයට ඔහු මඟ පෙන්වූයේ මේ ''අතිනි''. දරුණු ම වධ හිංසා පමුණුවමින්, ගෑස් කාමරවලට ගාල් කරමින් ලක්ෂ ගණනක් මිනිසුන් ඝාතනය කිරීමට අණ දුන්නේ මේ ''අතිනි''. යුදෙව් සිරකරුවන් මානව විරෝධී පර්යේෂණ සඳහා යොදා ගැනීමට අණ දුන්නේ මේ ''අතිනි''. එහෙත් ඔහුගේ මේ ''අත'' යම් හෙයකින් මෙබඳු මානව විරාේධී ක්‍රියාකාරීත්වයකට යොමු නො වී නම්, ඉන් කෙබඳු භාවිතයක් ලෝකය හමුවේ තබන්නට ඔහු සමත්වනු අැත් ද? එබඳු කල්පනාවක් මට අාවේ ඔස්ට්‍රියාවේ පිහිටි හිට්ලර්ගේ නිවස කඩා දමන්නට එරට ‍රජය තීරණය කර අැති බවට පුවතක් පසුගිය දා කිය වූ විට ය. මේ නිවස පැවතීම නව නාසිවාදී කල්ලිවලට යම් මානසික පිටුබලයක් වී අැති බව ඉන් වැඩි දුරටත් කියැවිණි.

සුගතපාල ද සිල්වා විසින් ලියන ලද 'හිට්ලර් එල්ලා මරයි' ග්‍රන්ථය වසර ගණනාවකට පසු නැවත අතට ගන්නට මට සිතිණි. එහි පිටු අතර මගේ නෙත් දිවයයි. එක් තැනක හදිසියේ ම නවතී.

Thursday, October 20, 2016

'මකර තොරණේ' විස්තරය හෙවත් ප්‍රභාත් ජයසිංහ සහ මාකේස්ගේ අාච්චි

ප්‍රභාත් ජයසිංහගේ 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහය කියවද්දී මගේ සිහියට අාවේ ගේබ්‍රියල් ගාෂියා මාකේස්ගේ අාච්චි ය. ප්‍රභාත් සහ මාකේස්ගේ අාච්චි සම්බන්ධවන මේ හතර බීරි කතාව කුමක්දැයි ඔබට සිතෙන්නට පිළිවන. මාකේස් සිය 'හුදෙකලාවේ සියවසරක්' කෘතියේ පෙරවදනෙහි මෙසේ කියා තිබිණ.

''මගේ මිත්තණිය අද්භූත හා මායාකාරී දේවල් කියූ මුත් අෑ එ්වා සම්පූර්ණ ස්වාභාවික අාකාරයකින් කීවාය. වඩාත්ම වැදගත් දෙය වූයේ අැගේ මුහුණේ ස්වරූපයයි. කතන්දර කියද්දී අැය තම බැල්ම කොහෙත්ම වෙනස් නොකළ අතර, ඉන් සියලු දෙනාම මවිතයට පත් වූහ. මීට පෙර ලිවීමට ගත් උත්සාහයන්හිදී මම කතාන්දරය එය විශ්වාස නොකරමින් කියන්නට වෑයම් කළෙමි. මා කළ යුත්තේ එ්වා විශ්වාස කරමින් මගේ මිත්තණිය ඒවා කියූ විලසින් ගඩොලින් කළාක් බඳු මුහුණෙන් යුතුව කීම බැව් මට තේරුම් ගියේය.''

Wednesday, October 5, 2016

ලක්ශාන්ත අතුකෝරල : සමහර මතකයන් සමග 'සමහර කමටහන්' කියැවීමක්

ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ 1996 කලා අංශයෙන් බිහි වූ මෙරට විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙක් සිටිති. ඒ, සංජීවී සෙනෙවිරත්න සහ ලක්ශාන්ත අතුකෝරල ය. සංජීවී, දියසායම් සිතුවම් කලාවෙහි ස්වකීය සුලකුණ සනිටුහන් කළ තරුණ සිත්තරෙකි. ලක්ශාන්ත, සිංහල කවිය තුළ ස්වකීය සුලකුණ සනිටුහන් කළ රාජ්‍ය සම්මානලාභී තරුණ කවියෙකි.

ලක්ශාන්ත බණ්ඩාරනායක විද්‍යාලයේ උගනින අවධියේ පටන් ම සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තැනක සිටියේ ය. පාඨශාලාන්තර සාහිත්‍ය නිර්මාණ තරගවලින් ජය ලැබූවන් අතර පළමු තැන නිතර ම වෙන් ව තිබුණේ ලක්ශාන්තට ය. විද්‍යාලයීය නිර්මාණ පර්ෂදයේ බිත්ති පුවත්පතෙහි ඔහුගේ කාව්‍ය නිර්මාණ නිතර පළ වී තිබූ වග මතක ය. ඒවාහි නිර්මාණාත්මක ගුණය සමවයස් ශිෂ්‍ය මට්ටම ඉක්මවා තිබිණි.

Friday, September 30, 2016

ගුරුතුමනි අපේ සොඳුරූ...

''සොඳුරු අාඥාදායකයා''යැයි සුගතපාල ද සිල්වා විසින් හඳුන්වනු ලැබූවෝ, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරු ය. එසේ ම, ''ගුරුවරුන් ද'', ''සොඳුරු අාඥාදායක'' යන නාමයෙන් හැඳින්වීමට සුදුස්සන් යැයි මට සිතෙයි. ''පාසල'' නම් වූ අඩවිය තුළ වසර 13ක කාලයක් මේ ''සොඳුරු අාඥාදායකයෝ'' අපගේ ජීවිත සකස් කළහ; වෙනස් කළහ. මඟ කියූහ; මඟ තැනූහ. 

ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේදී සහ බණ්ඩාරනායක විද්‍යාලයේදී මට හමුවූ 'සොඳුරු අාඥාදායක පිරිවරක්' මේ මොහොතේ මගේ මතකයට නැඟෙයි. ඔවුන් පිළිබඳ මතකයන් දශක දෙක තුනක කාලයකට පසුවත් තවමත් අලුත් ය. ඒ මතකයන් තවමත් අලුත් වීමට හේතුව, ඔවුන් පිළිබඳ මට අැත්තේ සොඳුරු මතකයන් මිස, අඳුරු මතකයන් නො වීම විය හැකි ය.

Wednesday, September 21, 2016

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'වලස්පතිගේ අඩවිය'

එක්තරා පුවත්පත්කලාවේදියෙක් සිංහරාජයේ චාරිකාවක ගොස් එනවිට 'ඉරිදා ලක්බිමේ' සගයින්ට තෑගි පිණිස ගෙනා 'කිතුල් හකුරුමුලකට' ප්‍රතිචාර වශයෙන් සගයින් පිරිස කතාවක් පබැඳූහ. ඒ නිධාන කතාව කෙසේද යත්, ''සිංහරාජ වැසි වලසෙක්, දිනක් තම පැටවුන්ට කඩෙන් හකුරු මුලක් ගෙන යමින් සිටියේය. අතරමඟදී ඒ එක්තරා පුවත්පත්කලාවේදියාට වලසා හමු වූ අතර, ඔහු චාටු බස් කියා වලසාගේ හකුරු මුල උදුරාගෙන පැන දිවීය. ඉරිදා ලක්බිමේ සගයින්ට ඔහු ගෙනාවේ ඒ හකුරු මුලයි.'' එතැන් පටන් ඔහු මාධ්‍ය මිතුරන් අතර 'වලස්පති' නම් වූයේය. මේ වලස්පතියා අන් කිසිවකු නොව, ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ය. 

Tuesday, September 6, 2016

සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

'සිරිල් වරුන්' තිදෙනෙක් ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී මගේ සිහියට එයි. සිරිල් ඒ. (සීලවිමල) පළමුවැන්නාය. ඔහු පුවත්පත්කලාව හා ගීත රචනා ක්ෂේත්‍රයෙහි සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. දෙවැන්නා සිරිල් බී. (පෙරේරා)ය. ඔහු පුවත්පත් කලා ක්ෂේත්‍රයේ හා සිනමා විචාර කලාවේ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. මේ 'සිරිල් වරුන්' දෙදෙනාම ජීවිතයෙන් නික්ම ගොස් කලක් ගත වී තිබේ. තෙවැන්නා වූයේ සිරිල් සී. (පෙරේරා)ය. ඔහු පරිවර්තන සාහිත්‍යය තුළ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කරමින් සිටියේය. ඔහුද පසුගියදා ජීවිතයෙන් නික්මිණ. 

Wednesday, August 31, 2016

පාඨයකාග‍ේ බ්ලොග් විචාරය - 'පරිවර්තන - PARIVARTHANA'




'පාඨයකාගේ' පරිවර්තන සාහිත්‍ය සා පිපාසාව කිසිදා සංසිඳවිය හැක්කක‍් නො වේ. අසූ ගණන් අග භාගයේ පමණ සිට 'පාඨයකාට' වැළඳී ඇති මේ තත්ත්වය දිනෙන් දින උත්සන්න වනු මිස සමනය වන පාටක් නැත. මේ සැප්තැම්බරය ද, ගෙවුණු සැප්තැම්බරයන් මෙන් ඒ පිපාසය ඉහවහා ගිය සමයක් වනු ඇතැයි සිතේ.



'පාඨයකා' ඇතුළු බොහෝ දෙනකු පරිවර්තන සාහිත්‍ය කියවීමට පිවිසුණේ සෝවියට් රුසියානු පරිවර්තන ඔස්සේ ය. ඉන්පසු ලතින් ඇමරිකානු පරිවර්තනයන්ගේ රස විඳින්නට අවස්ථාව ලැබිණි. මෙම පරිවර්තන 'පාඨයකාගේ' ජීවිතය කෙරෙහි සිදු කර ඇති බලපෑම කොතෙක්දැයි කිවහොත් 'පාඨයකාට' ලංකාවේ සුන්දර බිම් පෙදෙසකට වඩා සෝවියට් දේශයේ ස්ටෙප්ස් බිම සමීප ය. කොළඹ වීථියකට වඩා ලතින් ඇමරිකානු රටක වීථියක් හිතට සමීප ය. ඒ එම සාහිත්‍ය නිර්මාණ පරිවර්තන සහෘද හද මනස තුළ කර ඇති විපර්යාසයයි. භාෂාව තුළින් මිනිස් මනස තුළ පෑ හැකි ආශ්චර්යයන් කොතෙක්දැයි 'පාඨයකාට' එබඳු අවස්ථාවල සිතෙන්නේ ය.


Sunday, August 7, 2016

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'ගුරුවරියකගේ මතක'



ලංකාවේ වර්තමාන පුවත්පත් කලාවට වඩා‍ සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් කලාව ඉදිරියෙන් ඇතැයි ''පාඨයකාට'' සිතේ. දේශපාලකයින්ගේ පල්හෑලි හා තක+තීරු ලිපි විසින් ලංකාවේ වර්තමාන සිංහල පුවත්පත්කලාව වසා ගනු ලබමින් තිබෙන අතර, 80-90 දශකයන්හි මෙරට පුවත්පත්කලාවේ තිබූ සාරවත්භාවය වර්තමානය වන විට පළා ගොස් ඇති සෙයකි. වසර 15කට ආසන්න කාලයක් පුවත්පත්කලා ක්ෂේත්‍රයේ ''පාඨයකාගේ'' අත්දැකීම් අනුව බලන විට, අපේ රටේ පුවත්පත් කලාව ක්ෂේත්‍රයක් ලෙස කිසියම් අවගමනයක තිබෙන බව පෙනේ. පුවත්පත් අලෙවිය අඩුවීම, පුවත්පත් කියවීම අඩුවීම එක් පැත්තකි. පුවත්පතේ අන්තර්ගතය පැත්තෙන් වන අවගමනය වඩාත් බරපතළය. මේ කෙටි පූර්විකාව තබන්නට ''පාඨයකා‍ට'' සිතුණේ පුවත්පත්කලාව ගැන ලියන්නට නොව, වර්තමාන සිංහල බ්ලොග්කලාව ගැන ලියන්නට ප්‍රවේශයක් ලෙසය. මෙතැන් සිට ඉදිරියට වරින් වර සිංහල බ්ලොග් අඩවි ගැන කිසියම් සන්නිවේදනාත්මක හා සහෘදාත්මක ඇගයුමක් කිරීමට ''පාඨයකා'' බලාපොරොත්තු වේ. මේ එහි පළමු පියවර වන්නේය.


Thursday, July 28, 2016

''තියුණු අසිපතක සෙවණ‍ යට'' - කැඩපත අභිමුව සිට...



තමිළිනී ජෙයක්කුමාරන්ග‍ේ ''තියුණු අසිපතක සෙවණ‍ යට'' පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වන්නට සිතාගෙන සිටියද ඒ අවස්ථාව මඟ හැරිණි. පොත මිලදී ගන්නට සිදු වූයේද දින කිහිපයක් පමා වීය.


තමිළිනීගේ පොතෙහි පසු කවරයෙහි වන, ඇය කොටි සංවිධානයේ නිල ඇඳුමින් සැරසී සිටින සේයාරුව මග‍ේ ඇසට වඩාත් හුරුපුරුදු ය. මතකය දශකයකට එහා අතීතය වෙත ඇදීයයි. 2002-2008 කාල වකවානුවේ පුවත්පත්කලා කටයුතු සම්බන්ධ මතකයන් අතරින්, එවක යුද්ධය සම්බන්ධ ලිපි සංස්කරණය කරමින් සඟරාවේ පිටු නිර්මාණ කරන විට කොටි සංවිධානයට අදාළ සේයාරූ පිරික්සද්දී ඇගේ රුව රැගත් එබඳු සේයාරූ නිතර හමු වූ බව සිහියට නැ‍‍ගෙයි. 

Tuesday, July 5, 2016

ලීලානන්ද ගමාච්චි සමග ලංකාවේ 'හරි පුදුම ඉස්කෝල ගැන' කතාබහක්

ලීලානන්ද ගමාච්චි මහතා මට පළමුවරට හමුවූයේ 2003 ජනවාරියේය. ඒ පුවත්පතක් සඳහා ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවේදීය. ඔහු විසින් සිංහලට පරිවර්තනය කරන ලද '' හරි පුදුම ඉස්කාේලේ '' නමැති පොත ඒ වන විටත් ජනප්‍රිය කෘතියක්ව පැවතිණි. ඉන් පසුව ඔහු කෘති ගණනාවක් පරිවර්තනය කළේය. ප්‍රවීණ අධ්‍යාපනවේදියකු‍ද වූ ගමාච්චි මහතා සමග ලංකාවේ ළමා සාහිත්‍යය හා අධ්‍යාපන ක්‍රමය කේන්ද්‍රකරගෙන සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ සටහන 'ලංකා ඉරිදා සංග්‍රහයේ' (2003 පෙබරවාරි 09 හා 16 කලාපවල") පළවිණි. ඔහු ජීවිතයෙන් නික්ම ගොස් කාලයක් ගතව තිබේ. නමුත් ඔහු මතු කරන කාරණාවන්හි වැදගත්කම සලකා ඔහුගේ සිතිවිලි වසර 13 කට පසුව නැවත ඔබ හමුවේ තබන්නට සිතිණි.

Thursday, June 16, 2016

ස‍ෝමවංශ අමරසිංහ : විසි එක් වසරකට පෙර කියූ මරණයේ පූර්විකාව

පොත් රාක්කයේ දේශපාලන පොත් සහිත තට්ටුවේ පොත් අතර මගේ අතැඟිලි අැදෙන්නේ නොඉවසිල්ලෙනි. අතැඟිලි එක්තරා පොත් පිංචක් අසල හදිසියේම නවතී. මෙතෙක් වේලා සෙවූ ඒ පොත් පිංච අතට ගෙන එහි කවරය දෙස මොහොතක් බලා හිඳිමි. සුදු පැහැ ටී ෂර්ටයකින් සැරසී, උපැස් යුවලක් හා කැප් තොප්පියක් පැළඳ රැස්වීමක් අමතන ඔහුගේ උඩුකය සේයාරුව එවක ප්‍රචාරණ කටයුතුවලදී නිතර යොදා ගැනුණු ඡායාරූපය බව මතකයට නැඟෙයි. පොතේ කවරයේ ඉහළින් ''සමානාත්මතාව සඳහා බෙදුම්වාදයට එරෙහිව...'' යනුවෙන්ද, කවරයේ පහළින් ''සෝමවංශ අමරසිංහ'' යනුවෙන්ද සඳහන් වේ. පොත් පිංච පෙරළා බලන්නට පටන් ගනිමි. දෙවන පිටුවේ එය මා විසින් මිලදී ගත් දිනය ලෙස 1995.10.30 දිනය සටහන් කොට තිබේ. අවුරුදු 21ක් අෑතට මතකය ගෙන යන්නට උත්සාහ කරමි. එහෙත්, එය කොතැනක, කුමන කටයුත්තකදී මිලදී ගත්තේදැයි සිහිපත් නොවෙයි. බොහෝ විට රැස්වීමකදී එය මිලදී ගත්තා විය හැකිය. පිටු පෙරළා බලමි. 

Tuesday, June 14, 2016

සේනක බිබිලේ : යුගයේ මිනිසා සොයායාම

ඒ 1990 දශකයේ මුල් භාගයයි. එවක 'විදුසර' පුවත්පතේ පළවූ ලිපි පෙළක් හේතුවෙන් 'විදුසර' සතිපතා අතට පත්වන තුරු අප සිටියේ මහත් නොඉවසිල්ලෙනි. 'යුගයේ මිනිසා' නමැති එම ලිපි පෙළ 'විදුසරට' ලියනු ලැබුවේ දෙනගම සිරිවර්ධන මහතා විසිනි. ඒ 'යුගයේ මිනිසා' අන් කිසිවකු නොව මහාචාර්ය වෙෙද්‍ය සේනක බිබිලේය. අපේ රටේ සාමාන්‍ය ජනතාව වෙතින් සැඟවී තිබූ, මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාගේ කතා පුවත මෙරට ජනතාව වෙත අනාවරණය කිරීම, දෙනගම සිරිවර්ධන මහතා විසින් මාධ්‍යවේදියකු වශයෙන් ඔහුගේ වගකීම ඉහළින්ම ඉටු කිරීමකි. පසුව එම ලිපි පෙළ 'යුගයේ මිනිසා' නමින් ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශයට පත්විය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු වූ මහාචාර්ය සේනක බිබිලේ අබිරහස් මරණයකට ගොදුරු වී මෙම වසරේ සැප්තැම්බර් 29 වන දිනට වසර 39ක් සපිරේ. ලෝකයට ඔෟෂධ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ මහාචාර්ය බිබිලේය. ඔහු අබිරහස් මරණයකට ගොදුරු වූයේද බහුජාතික ඔෟෂධ සමාගම්වලට එරෙහිව ඔහු ගෙන ගිය අරගලය හේතුවෙනි. 

2004-2005 කාලයේ අප විසින් පක්ෂයට කරන ලද යෝජනාවක් වූයේ මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණය කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හරහා පැවැත්වීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව මහාචාර්ය බිබිලේගේ 28 වන ගුණානුස්මරණය, ''මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ ජාතික සංවිධානය'' නමැති වෘත්තීය සමිති එකතුව විසින් 2005 සැප්තැම්බර් 29 වන දින කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. 

මෙහිදී දෙනගම සිරිවර්ධන මහතා විසින් මහාචාර්ය සේනක බිබිලේ පිළිබඳව දේශනයක් පවත්වන ලදී. මා විසින් මෙම දේශනය අැසුරෙන් සකස් කළ ලිපිය මුල් වරට 2005 නොවැම්බර් 'මුරගල' සඟරාවේ පළ වූ අතර, ඒම දේශනයේ වැදගත්කම සලකා එය නැවත මෙලෙස ඔබ හමුවේ තබන්නට සිතුවෙමි. මහාචාර්ය බිබිලේ යනු කවුද, ඔහුගේ භූමිකාව කුමක්ද යන්න නොදන්නා වර්තමාන සමාජයේ  බොහෝවුන්ට ඒ පිළිබඳව හඳුනාගැනීම පිණිස මෙය සප්‍රයෝජනවත් වනු අැත.

. . . . . . . . . . . . . . . . .

Tuesday, June 7, 2016

කතුවරයා ගැන 'චරිතය' කතා කරයි.

දයාසේන ගුණසිංහ මහතා විසින් රචනා කරන ලද 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' කෙටිකතා සංග්‍රහයේ අැතුළත් 'අවියක් නැති සෙනෙවියා' කෙටිකතාවට පදනම් වී අැත්තේ පුවත්පත්කලාවේදියකු වූ 'සුනිල් මාධව ප්‍රේමතිලක' මහතාගේ ජීවිතයයි. දයාසේන ගුණසිංහ මහතා මියගොස් වසර 10ක් සපිරුණු 2006 වසරේ, ගුණසිංහ මහතා සම්බන්ධව, සඟරාවකට ලිපියක් සකස් කිරීම පිණිස මම 2006.09.09 දින සුනිල් අයියා මුණ ගැසුනෙමි. ඒ සම්මුඛ සාකච්ඡාවේදී සුනිල් අයියා දීර්ඝව සඳහන් කළ කාරණා සංස්කරණය කොට සඟරාවේ පිටුවක ලිපියකට ගතිමි. ගුණසිංහ මහතා මියගොස් වසර 20ක් සම්පූර්ණ වන මේ වසරේ, අදාළ සම්මුඛ සාකච්ඡාවේදී සුනිල් අයියා දීර්ඝව සඳහන් කළ කාරණා මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතිණි. 

 

Friday, June 3, 2016

සිංහල කෙටිකතා කලාවේ 'දයාසේන ගුණසිංහ ලකුණ'

දයාසේන ගුණසිංහ මහතා මෙරට සිටි අදීන පුවත්පත්කලාවේදියෙකි. වෙසෙසින්ම, ලාංකේය සිංහල තීරු රචනා කලාවේ අභිවර්ධනයට ස්වකීය නිර්මාණශීලී දක්ෂතා දායක කළ අපූර්ව තීරු රචකයෙකි. මේ සියල්ල අතරේම ඔහු, ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතා ලකුණ ගැඹුරින්ම සනිටුහන් කිරීමෙහි සමත් වූ ප්‍රතිභාපූර්ණ සාහිත්‍යකරුවෙකි. කවියකු ලෙසත්, කෙටිකතාකරුවකු ලෙසත්, විද්‍යා  ප්‍රබන්ධ රචකයකු ලෙසත්, පරිවර්තකයකු ලෙසත් ඔහු සිය නිර්මාණකරණ හැකියාවන් සමාජය වෙත දායාද කෙළේය. එහෙත් දයාසේන ගුණසිංහ මහතාගේ සාහිත්‍ය නිර්මාණකරණය ලාංකේය සාහිත්‍ය විචාර කතිකාව තුළ පුළුල් කියැවීමකට, පුළුල් විමර්ශනයකට ලක්ව අැති බවක් දක්නට නොවේ. එනමුදු, ඔහුගේ කවි හෝ කෙටිකතා හෝ මඟහැර ලාංකේය කවිය හා කෙටිකතාව පිළිබඳව කතා කළ නොහැකි තරමට ඔහු එම නිර්මාණ ක්ෂේත්‍ර දෙකෙහි ප්‍රකට කළ ප්‍රතිභාව ප්‍රබලය. ඔහුගේ නිර්මාණ අැසුරු කරන විට ඒවා පේළි අතර කියැවීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන්නේ වෙයි. මෙම වියමනෙන් උත්සාහ කරන්නේ ගුණසිංහ මහතාගේ කෙටිකතාකරණය පිළිබඳව විමර්ශනයක යෙදීමටය.

Wednesday, May 18, 2016

ලියවෙන්නෙත් නැති - සම්මානත් නැති කතාමල්ල : අත්තම්මා (අපේ සාහිත්‍යකරුවන් බිහිවුණේ අත්තම්මාගේ ඔඩොක්කුවෙන්)

සැප්තැම්බරය නිමාවීමත් සමග අපේ රටේ සාහිත්‍ය පිළිබඳ කතිකාවන්ද නිවීගිය සේය. ඊළඟ වසරේ සැප්තැම්බරය වන තුරු ‍මෙරට සාහිත්‍ය කතිකාවට නිවාඩුය. එහෙත් නිවාඩු නොලබා සාහිත්‍යය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් ඉටු කරන පිරිසක් වෙසෙති. ඔවුහු සිය මෙහෙවර වෙනුවෙන් කිසි කලෙකත් අැගයුම් සම්මාන උපහාර නොලබති. ඔවුන් නිහඬව කළ මෙහෙවරේ ප්‍රතිඵල සමාජය වෙත ලැබෙන විට ඔවුහු බොහෝ විට ජීවතුන් අතර පවා නොවෙති. මේ සුවිශේෂ පිරිස කවුරුන්ද? ඔවුහු නම් මිත්තණියන් හෙවත් අත්තම්මාවරුය.