Wednesday, September 21, 2016

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'වලස්පතිගේ අඩවිය'

එක්තරා පුවත්පත්කලාවේදියෙක් සිංහරාජයේ චාරිකාවක ගොස් එනවිට 'ඉරිදා ලක්බිමේ' සගයින්ට තෑගි පිණිස ගෙනා 'කිතුල් හකුරුමුලකට' ප්‍රතිචාර වශයෙන් සගයින් පිරිස කතාවක් පබැඳූහ. ඒ නිධාන කතාව කෙසේද යත්, ''සිංහරාජ වැසි වලසෙක්, දිනක් තම පැටවුන්ට කඩෙන් හකුරු මුලක් ගෙන යමින් සිටියේය. අතරමඟදී ඒ එක්තරා පුවත්පත්කලාවේදියාට වලසා හමු වූ අතර, ඔහු චාටු බස් කියා වලසාගේ හකුරු මුල උදුරාගෙන පැන දිවීය. ඉරිදා ලක්බිමේ සගයින්ට ඔහු ගෙනාවේ ඒ හකුරු මුලයි.'' එතැන් පටන් ඔහු මාධ්‍ය මිතුරන් අතර 'වලස්පති' නම් වූයේය. මේ වලස්පතියා අන් කිසිවකු නොව, ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ය. 


ක්‍රිෂ්ණගේ නම 'පාඨයකාට' මුලින් ම අැස ගැටෙන්නේ 1994 පමණ කාලයේ ය. මෙරට එතෙක් පැවති සති අන්ත පුවත්පත් කියවීමේ රටාව වෙනස් කළ 'ලක්බිම ඉරිදා සංග්‍රහය' තුළ ගවේෂණාත්මක පාරිසරික ලිපි සමග ඔහුගේ නම නිතර සඳහන් විණි. 'පාඨයකා' ද පරිසර සංවිධාන සමග කටයුතු කළ කාලයක් බැවින් ක්‍රිෂ්ණගේ ලිපි වැඩි උනන්දුවකින් කියැවූ බව මතක ය. ඔහු ලියූ අැතැම් ලිපි, යම් යම් අධ්‍යයන සඳහා තොරතුරු ලබාගැනීම පිණිස එක්රැස් කරගෙන සිටි බව ද සඳහන් කරන්නේ ඔහුගේ මාධ්‍ය භාවිතයට ගෞරව පිණිස ය. ඉතිං අතීත කතා එසේ වන අතර, මේ ලියන්නට සැරසෙන්නේ ක්‍රිෂ්ණගේ පුවත්පත්කලා භාවිතය ගැන නො ව, ඔහුගේ බ්ලොග් සම්ප්‍රාප්තිය ගැන ය. ක්‍රිෂ්ණගේ බ්ලොග් අඩවිය 'වලස්පතිගේ අඩවියයි.'

ක්‍රිෂ්ණගේ බ්ලොගය පුරා පිළිබිඹු වන්නේ අපේ රටේ පරිසර, වැසි වනාන්තර, දේශීය සම්පත්, ජන සංස්කෘතික, කෘෂිකර්ම, ඉතිහාස හා පුරාවිද්‍යා අාදී ක්ෂේත්‍ර සම්බන්ධව ඔහුගේ අැති ළෙන්ගතු චින්තනය බව පැහැදිලි ව පෙනේ. එසේම, ප්‍රාග් ඉතිහාසය ද, පුරා විද්‍යාව ද, ඉතිහාසය ද, ජනමාධ්‍යය ද, නව මාධ්‍යය ද, ඡායාරූපකලාව ද, සාහිත්‍යකලාව ද, පොත්පත් ද, මැණික් අඩවියේ කතා ද, සංවාද ද, එකී නො කී තවත් බොහෝ දේ වලස්පතියාගේ මල්ලේ තිබේ.

ක්‍රිෂ්ණ සිය බ්ලාෙගය ගැන තේමා සටහනේ තැනෙක සඳහන් කර අැත්තේ 'මගේ දුප්පත් බ්ලොගය' යනුවෙනි. ඒ කාරණයට කිසිසේත් ම 'පාඨයකාට' එකඟ විය නො හැකි ය. ඒ, ක්‍රිෂ්ණගේ බ්ලොගය 'දුප්පත්' යැයි අප පිළිගතහොත් අපගේ බ්ලොග් අඩවි 'දරිද්‍රතා රේඛාවෙන් පහළට ම අැද වැටෙන' බැවිනි. 'වලස්පතිගේ අඩවියට' අැතුළු වී බලන්න. බොහෝ තැන්වල සැරිසරා 'වලස්පතියා' විසින් හකුරු මුල්වලට වඩා වැදගත් බොහෝ දේ සයිබර් අවකාශයට  අප වෙනුවන් ගෙනැවිත් තිබේ.



ආචාර්ය නිමල් පෙරේරා මහතා සමග කළ සාකච්ඡාවක් අැසුරින් ක්‍රිෂ්ණ සකස් කොට අැති "කුරුවිට ‍බටදොඹ ලෙන පිළිබඳ අලුත් කියැවීමක්'' යන ලිපියෙහි මෙසේ සඳහන් වේ.

''ලංකාවේ විසූ නවීන මානවයන් සම්බන්ධ විශේෂ කාරණයක්, ජාත්‍යන්තර ‘සයන්ස් සඟරාවේ’, 2105 මාර්තු 13 කලාපයෙන් ^Science/Vol-347no6227/13March 2015& අනාවරණය කෙරිණි. එය පර්යේෂණ ලිපියකි. එය ඉදිරිපත්කර ඇත්තේ බි‍්‍රතාන්‍යයේ, ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ පැටි‍්‍රක් රොබර්ට්ස්, ලංකාවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආතනයේ ආචාර්ය නිමල් පෙරේරා, ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ඔෂාන් වෙදගේ, බි‍්‍රතාන්‍යයේ, බ්රැඩ්ෆෝර්ඞ්  විශ්වවිද්‍යාලයේ පර්යේෂක, ආචාර්ය සිරාන් දැරණියගල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, ජූඩ් පෙරේරා සහ සමන් ඇරෑගම, බි‍්‍රතාන්‍යයේ, ඇන්ඩෘ ග්ලෙඩ්හිල්, මහාචාර්ය මයිකල් ඩී. පැට‍්‍රාලියා සහ ජුලියා ඒ. ලී-තොර්ප් යන විද්වතුන් විසිනි.
 

එහි සඳහන් වන ආකාරයට, ලොව නවීන මානවයන් ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයට අනුගතව ජීවත්වූ බවට ප‍්‍රථම විද්‍යාත්මක සාක්ෂි සමූහය ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවෙනි. එය සිදුව ඇත්තේ අදින් වසර 20,000ක් තරම් ඈත කාලයේ දී ය. පර්යේෂකයන් මෙම තොරතුරු අනාවරණයකර ගෙන ඇත්තේ, ලංකාවේ ප‍්‍රකට ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා කැණීම් භූමි වන, කුරුවිට ‘බටදොඹ ලෙන’, බුලත්සිංහල ‘පාහියන් ලෙන’, බලන්ගොඩ ‘කූරගල ලෙන්’ සහ උඩ වලවේ ‘බෙල්ලන්බැඳිපැලැස්ස’ යන ස්ථානවලින් ලැබුණු නවීන මානව අවශේෂ, බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ දී ගැඹුරු හැදෑරීම්වලට ලක් කිරීමෙනි.
 

කෙසේ වෙතත්, පාහියන් ලෙන සහ බටදොඹ ලෙන ඇතුළු ලෙන් කැණිම්වලින් හෙළි වූයේ, එකල විසූ මානවයන් ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයෙහි අභියෝග සාර්ථකව ජය ගෙන ජීවත්වූ බවයි. ඔවුන්ගේ ආහාර අපද්‍රව්‍යය අතර, ශාක ද්‍රව්‍යය ද, කුඩා සතුන්ගේ අවශේෂ ද බහුලව තිබිණි. එය ඔවුන්, ඝර්ම කලාපීය (නිවර්තන කලාපීය) වර්ෂා වනාන්තර පරිසරයෙහි අභියෝග සාර්ථකව ජය ගෙන ජීවත්වූ බවට සාක්ෂියක් විය. ‘සයන්ස්’ ජාත්‍යන්තර සඟරාව හෙළි කරන්නේ ඒ කතා පුවතයි.''

ජන මාධ්‍ය හා නව මාධ්‍ය සම්බන්ධ ව මේ සමාජ මොහොතේ අත්‍යවශ්‍ය කතිකාවක් ක්‍රිෂ්ණ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ. ''ජාතික ජන මාධ්‍ය සහ නව මාධ්‍යයෙහි අභියෝගය'' යන මැයෙන් වන ඒ ලිපි පෙළෙහි අවසාන ලිපියෙහි ඔහු මෙසේ සඳහන් කරයි.

''2014 වසරේ සංඛ්‍යාලේඛන අනුව, පෙර සඳහන් කළාක් මෙන් රටේ ජනගහණයෙන් සෑම හය දෙනෙකුටම එක් අයෙක් අන්තර්ජාල ග‍්‍රාහකයෙකි. එය ඉතා ප‍්‍රබල තත්ත්වයකි. ජනතාව අද අන්තර්ජාලය ඔස්සේ මිතුරු සමාජ පවත්වා ගෙන යමින්, තොරතුරු බෙදා-හදා ගනිමින් සිටිති. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය අනුව, අවුරුදු 18-24 අතර වයස් කාණ්ඩයෙහි තරුණයන්ගේ ප‍්‍රමුඛතම ප‍්‍රවෘත්ති මෙවලම ෆේස් බුක් ඇතුළු අන්තර්ජාලයයි.


මෙය ඉතා යහපත් ක‍්‍රියාවලියක් වන අතර, ඉන් නව මාධ්‍යයෙහි ඉන්නා සෑම කෙනෙක්ම ‘සන්නිවේදකයෙක්’ හෝ ‘මාධ්‍යකරුවෙක්’ බවට පත් වෙමින් තිබේ. ‘කොමෙන්ටුකරුවන්’ පවා මේ කාණ්ඩයට ඇතුළත් ය. මෙය හරියට ජන සන්නිවේදන ක‍්‍රියාවලිය, ‘ගෘහ කර්මාන්තයක්’ බවට පත් වූවාක් බඳු තත්ත්වයකි. දැන් තිබෙනුයේ ඔවුන්ගේ ක‍්‍රියාවලිය, සමාජ ගෝචර වන සේ හික්මවා ගැනීම ය.



ඒ සඳහා එක් පැත්තකින් ජාතික ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය, නව ප‍්‍රවේශයකට ගමන් කළ යුතු වෙයි. අනෙක් පැත්තෙන් නව මාධ්‍ය සඳහා ද බල පැවැත්වෙන පරිදි, නීති රීති සහ ආචාරධර්ම පද්ධති යාවත්කාලීන කිරීම ද ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. ඊළඟට එන්නේ බරපතළම කාරණාවයි. ඒ, සෑම අන්තර්ජාල සන්නිවේදකයෙක් ම විධිමත් මාධ්‍ය පුහුණුවකට යටත් කිරීමය.



හෙට දවසේ පැමිණිය හැකි නවීන සන්නිවේදන ක‍්‍රම හෝ දැනටමත් පැතිර ඇති අන්තර්ජාලය, පාලනය කරන්නට හැකි වෙතැයි නො සිතිය යුතු ය. එබැවින් ඒවාට යොමු වන පිරිස් සංවර කරවා ගැනීම අතිශයින් ම වැදගත් වනු ඇත. විධිමත් පුහුණුවක් ලැබූ, මාධ්‍ය ගැන දැන උගත් සන්නිවේදකයන්, අසංවර ව හැසිරෙන්නේ නැත!''

අැත්තකි. ඒ ශික්ෂණය අද අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවට සිංහ‍ල බ්ලොග් අවකාශය තුළින් ම කොතෙකුත් උදාහරණ ගත හැකි ය. ක්‍රිෂ්ණ මතු කර අැති කාරණා සංවාදයට ලක් වී නො තිබීම පිළිබඳ ව 'පාඨයකාගේ' සිතෙහි උපදින්නේ කනගාටුවකි. සිංහල බ්ලොග් අවකාශයේ රළ නැඟෙන අැතැම් සංවාදවලට පාඨකයින් දක්වා අැති දායකත්වයන් සමග බලන විට පාඨයකාගේ ඒ කනගාටුව තවත් වැඩිවීම නො වැළැක්විය හැකි ය.

පසුගියදා පළ වූ, වෙෙද්‍ය චන්න සුදත් ජයසුමන මහතාගේ 'වකුගඩු සටන' ග්‍රන්ථය ගැන ක්‍රිෂ්ණ දීර්ඝ වශයෙන් කරන විචාරයෙහි අැරඹුම මෙසේ ය.
 

''බොහොමයක් විද්වතුන්ට අනුව, රජරට ප‍්‍රදේශයෙන් ඇරඹුණු මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට නිශ්චිත හේතුකාරකයක් තව ම සොයා ගෙන නැත ! එයට ‘ආසනික්’ ඇතුළු බැර ලෝහ සහ ඒවා මහ පොළොවට ගෙන එන කෘෂි රසායන බලපාන්නේ යැයි කීම, තව ම තහවුරු නො වූ කතාවකි!

විද්වතුන් යයි පෙනී සිටින පිරිසක් පතුරුවන මෙම මතවාදය හරියට, ‘අසුවල් එක හංගා ගෙන වෘෂණ කෝෂ මගින් අවල කෙළියේ යෙදෙන්නේ යයි කියන’ ගමේ කතාව සිහි ගන්වයි! මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයට හේතුව, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන ආසනික්, කැඩ්මියම් ඇතුළු බැර ලෝහවල ක‍්‍රියාකාරිත්වය බව, ලොව මහත් සම්භාවනාවට පාත‍්‍ර වූ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවී තිබීම, ඊට හේතුව ය. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ කළ පර්යේෂණ මගින් ද අනාවරණය විය. එසේ තිබිය දීත් සමහර පිරිස් තම ‘අහවල් එක’ සඟවා ගෙන කතා කරති!

මෙබඳු පූර්විකාවක් සටහන් කරන්නට සිතුණේ,  පසුගිය දා (අගෝස්තු 02 වැනි දා) නිකුත්වූ ‘වකුගඩු සටන’ ග‍්‍රන්ථය කියවීමෙන් පසුව ය. කෘතියෙහි කතුවරයා, ලංකාවේ කෙරුණු සුප‍්‍රකට වකුගඩු රෝග පර්යේෂණයේ නියමුවා වන ආචාර්ය චන්න සුදත් ජයසුමන සූරීහු ය. වෛද්‍යවරයෙකු ද වන හෙතෙම, රජරට විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහුගේ ග‍්‍රන්ථයෙහි පිටු සංඛ්‍යාව 478කි. එය පුරාවට සිය වකුගඩු රෝග පර්යේෂණය ගැන සවිස්තර කතා පුවත ඔහු විසින් හෙළිදරව්කර තිබේ. ‘වකුගඩු සටන’, එක හුස්මට කියවා ගෙන යා හැකි තරම් අගනා සරල ශෛලියකින් ලියැවී ඇති, පාඨකයාගේ මනස බුද්ධියෙන් පුබුදුවන දැනුම් සම්භාරයකින් හෙබි ග‍්‍රන්ථයකි.'' 

අදටත් මෙරට පුවත්පත් මගින් මෙම ග්‍රන්ථය ගැන ප්‍රමාණවත් සංවාදයක්, විචාරයක් සිදු කර නැති බව 'පාඨයකාගේ' නිරීක්ෂණයයි. නමුත් ඒ අත්‍යවශ්‍ය කතිකාවට ප්‍රවේශයක් 'වලස්පති අඩවිය' ගෙන තිබේ.

සහෘදයිනි, 'වලස්පතිගේ අඩවිය' ගැන ලිවිය හැකි, ලිවිය යුතු දේ බොහොමයකි. නමුත් ඊට වඩා ඔබ ඒ අඩවියට ගොස් ඒ ලිපි පිළිබඳ ඔබේ අදහස් දැක්වීම ඉතා වැද‍ගත් ය යන්න 'පාඨයකාගේ' කල්පනාවයි. මන්ද යත්, 'වලස්පති' සිය ලිපි මගින් මතු කරන කාරණා අනිවාර්යයෙන් ම සංවාදයකට ලක් විය යුතු ඒවාය. ලංකාවේ පුවත්පත්කලාවෙන් අෑත් වී ගොස් අැති ශාස්ත්‍රීය සංවාද ප්‍රවේශය 'වලස්පති' සිය අඩවියෙන් සයිබර් අවකාශය තුළ මතු කර තිබේ. ඒ අදහස්, ඒ දැනුම නිසැකව ම අපගේ චින්තන පරාසය පුළුල් කරන්නට සමත්ය. 

සිංහලයේ 'පුවත්පත්කලාවේදී' යැයි යෙදුමක් තිබුන ද, 'බ්ලොග්කලාවේදී' යනුවෙන් යෙදුමක් තව ම 'පාඨයකා' දැක නැත. නමුත් හෙට දවසේ එ් වචනය සිංහල බ්ලොග් අවකාශයට අවශ්‍ය වනු අැති බව 'පාඨයකාගේ' විශ්වාසයයි. ඒ 'බ්ලොග්කලාවේදී' යන වචනය භාවිතයට අා දවසක බ්ලොග්කලාවේදීන්ගේ ලයිස්තුවේ ඉහළ තැනක 'වලස්පතිගේ නම' සටහන් කරන්නට 'පාඨයකා' කිසිවිටෙකත් මැලි වන්නේ නැත.

ක්‍රිෂ්ණ, ඔබගේ අතීත පුවත්පත්කලා භාවිතය අපගේ දැනුම වර්ධනය වීමට ඉවහල් වූ බව කියන්නට නො පැකිළෙන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම, ඔබගේ බ්ලොග් ලේඛනය තුළින් අප සමාජයේ චින්තනය, දැනුුම ඉහළ තලයකට ඔසොවා තබන්නට මේ මොහොතේ ඔබ ගන්නා උත්සාහය ද ඉහළින්ම අගය කරන්නට 'පාඨයකා' කැමතිය. 'වලස්පති' ගැවසෙන තැන මෙතැනය. වලස්පතිගේ අඩවිය
 

6 comments:

  1. පාඨයකා වෙත ලියමි.
    මගේ මාධ්‍ය භාවිතය ගැන සහ බ්ලොගය ගැන විචාරයක් ලිවීම සම්බන්ධයෙන් ඔබට බොහෝ ස්තුතිවන්ත වෙමි. 2015 ජූනි මාසයෙන් පසුව හදිසියේ රැකියාව අහිමි විය. ඉතින් කොළඹ හැර පියා ගමට ගියෙමි. දැන් මම කිසිදු පත්තරයකට වැඩ කරන්නේ නැත. එහෙත් වසර ගණනක් තිස්සේ පුරුදුකර ගත් සන්නිවේදනයෙන් ඈත් වීමට නො සිතේ. පත්තරයක් නැතත් බ්ලොගයට ලියන්නේ එබැවිනි. බ්ලොගය වැඩි දියුණුකර ගත්තේ කොළඹ හැරපියා ගමට (ගාල්ලට) ගිය පසුව ය. බ්ලොගය කරන්නේද බොහෝ දුකසේ ය. මගේ නිවස අයත් පෙදෙසට ඉන්ටර්නෙට් සිග්නල් හිගවීම ඊට හේතුවයි. මා යමක් බ්ලොගයට දමන්නේ සීමිතව ලැබෙන ඉන්ටර්නෙට් අවසරය මත ය.

    ඔබේ විචාරය මට වැදගත් එකක් වීමට එය ද එක් හේතුවක් වෙයි. අනෙක, දැන් මගේ මාධ්‍ය දිවියට 27 වසරකි. මා පටන් ගත්තේ ලේක්හවුස් ආයතනයේ කිරිඇල්ල වාර්තාකරු වශයෙනි. අවසාන වරට සේවය කළේ ඉරුදින පත්තරයේ ය. මේ කාලය පුරාවට මගේ ලිපි සහ ලියූ පොත් සම්බන්ධව විවිධ විචාර නම් පළ විය. එහෙත් මගේ බ්ලොගය අධ්‍යනයකර මේ තරම් පුළුල් විචාරයක් පළ වූයේ මුල්ම වතාවට ය. අනෙක, එය මා ඉල්ලා හෝ ඇප්ලිකේෂන් දමා ලියවා ගත් විචාරයක් ද නොවේ. එබැවින් ඔබේ විචාරය අතිශයින්ම වැදගත් ය. එයට බොහෝ ස්තුතිවන්ත වන්නෙමි.
    අනෙක කොළඹ මාධ්‍ය ලෝකයෙන් දුරස්වී සිටින වකවානුවක එවැන්නක් පළවීම ද අපූරුවකි. දැන් මාධ්‍ය ඔස්සේ කෙරෙන ඇතැම් දේවල් ගැන මගේ පැහැදීමක් නැත. එබැවින් බ්ලොගයට ලියමි. ඉස්සර තරම් බරට වැඩ කළ හැකි නොවුණත් බ්ලොගයට යමක් ලියමි.
    ඇත්තටම ඒවා ඔබ කියන තරම් යහපත් දැයි මට නො තේරේ. එහෙත් මා දැනගත් දෙය අන්‍යයන් අතර සන්නිවේදනය කිරීමට ඇති නොතිත් ආශාව නිසා ලියමි. බ්ලොගයට ලියමි. පොත් පත් ද ලියමි. අප දන්නා දෙය කොහේ හෝ ලියා තැබිය යුතු යයි ද අදහමි. ඒවා අනාගතයේ දී හෝ මනුෂ්‍යයන්ගේ දැනුම සහ බුද්ධිය වර්ධනය පිණිස හේතුවේ යයි සිතන්නෙමි. වර්තමාන අප සෙල්ලිපි, වංශකතා,පුරාවස්තු හෝ බ්‍රෝහියර් තවම කියවන්නේ ඇයි? ඔවුන් ඒවා ලියා නො තැබුවා නම් අප ඉගෙන ගන්නේ කොහෙන්ද? එබැවින් හැකිතාක් කල් ලියමි. සන්නිවේදනයේ යෙදෙමි. ඒ උත්සාහයට ඔබේ විචාරය ශක්තියක් බව ස්තුතිපූර්වකව සටහන් කරන්නෙමි.-ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

    ReplyDelete
  2. පාඨයකා වෙත ලියමි.
    මගේ මාධ්‍ය භාවිතය ගැන සහ බ්ලොගය ගැන විචාරයක් ලිවීම සම්බන්ධයෙන් ඔබට බොහෝ ස්තුතිවන්ත වෙමි. 2015 ජූනි මාසයෙන් පසුව හදිසියේ රැකියාව අහිමි විය. ඉතින් කොළඹ හැර පියා ගමට ගියෙමි. දැන් මම කිසිදු පත්තරයකට වැඩ කරන්නේ නැත. එහෙත් වසර ගණනක් තිස්සේ පුරුදුකර ගත් සන්නිවේදනයෙන් ඈත් වීමට නො සිතේ. පත්තරයක් නැතත් බ්ලොගයට ලියන්නේ එබැවිනි. බ්ලොගය වැඩි දියුණුකර ගත්තේ කොළඹ හැරපියා ගමට (ගාල්ලට) ගිය පසුව ය. බ්ලොගය කරන්නේද බොහෝ දුකසේ ය. මගේ නිවස අයත් පෙදෙසට ඉන්ටර්නෙට් සිග්නල් හිගවීම ඊට හේතුවයි. මා යමක් බ්ලොගයට දමන්නේ සීමිතව ලැබෙන ඉන්ටර්නෙට් අවසරය මත ය.

    ඔබේ විචාරය මට වැදගත් එකක් වීමට එය ද එක් හේතුවක් වෙයි. අනෙක, දැන් මගේ මාධ්‍ය දිවියට 27 වසරකි. මා පටන් ගත්තේ ලේක්හවුස් ආයතනයේ කිරිඇල්ල වාර්තාකරු වශයෙනි. අවසාන වරට සේවය කළේ ඉරුදින පත්තරයේ ය. මේ කාලය පුරාවට මගේ ලිපි සහ ලියූ පොත් සම්බන්ධව විවිධ විචාර නම් පළ විය. එහෙත් මගේ බ්ලොගය අධ්‍යනයකර මේ තරම් පුළුල් විචාරයක් පළ වූයේ මුල්ම වතාවට ය. අනෙක, එය මා ඉල්ලා හෝ ඇප්ලිකේෂන් දමා ලියවා ගත් විචාරයක් ද නොවේ. එබැවින් ඔබේ විචාරය අතිශයින්ම වැදගත් ය. එයට බොහෝ ස්තුතිවන්ත වන්නෙමි.
    අනෙක කොළඹ මාධ්‍ය ලෝකයෙන් දුරස්වී සිටින වකවානුවක එවැන්නක් පළවීම ද අපූරුවකි. දැන් මාධ්‍ය ඔස්සේ කෙරෙන ඇතැම් දේවල් ගැන මගේ පැහැදීමක් නැත. එබැවින් බ්ලොගයට ලියමි. ඉස්සර තරම් බරට වැඩ කළ හැකි නොවුණත් බ්ලොගයට යමක් ලියමි.
    ඇත්තටම ඒවා ඔබ කියන තරම් යහපත් දැයි මට නො තේරේ. එහෙත් මා දැනගත් දෙය අන්‍යයන් අතර සන්නිවේදනය කිරීමට ඇති නොතිත් ආශාව නිසා ලියමි. බ්ලොගයට ලියමි. පොත් පත් ද ලියමි. අප දන්නා දෙය කොහේ හෝ ලියා තැබිය යුතු යයි ද අදහමි. ඒවා අනාගතයේ දී හෝ මනුෂ්‍යයන්ගේ දැනුම සහ බුද්ධිය වර්ධනය පිණිස හේතුවේ යයි සිතන්නෙමි. වර්තමාන අප සෙල්ලිපි, වංශකතා,පුරාවස්තු හෝ බ්‍රෝහියර් තවම කියවන්නේ ඇයි? ඔවුන් ඒවා ලියා නො තැබුවා නම් අප ඉගෙන ගන්නේ කොහෙන්ද? එබැවින් හැකිතාක් කල් ලියමි. සන්නිවේදනයේ යෙදෙමි. ඒ උත්සාහයට ඔබේ විචාරය ශක්තියක් බව ස්තුතිපූර්වකව සටහන් කරන්නෙමි.-ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

    ReplyDelete
  3. ක්‍රිෂ්ණ අයියා, අැත්තටම මමත් අවුරුදු 15කට අාසන්න පුවත්පත්කලා ජීවිතයෙන් සමුගෙන දැන් අවුරුදු 6ක් පමණ ගතවෙලා. වර්තමාන මාධ්‍යකලාව ගැන ඔබට වගේම මටත් තිබෙන්නේ බරපතළ කළකිරීමක්. අරමුණු හා විශ්වාසයන් වෙනුවෙන් මා සමග අතීතයේ පුවත්පත්කලා කටයුතුවල යෙදුණු ‍සහෝදර සහෝදරියන් ගණනාවක්ම දැන් එයින් අෑත්වී සිටිනවා. ඔවුන් සමාජ දැක්මක් තිබුණු, ඒ වගේම ඉතා හොඳින් ලියන්නත් පුළුවන් මිනිස්සු. ඒ අෑත්විමට හේතුව වර්තමාන මාධ්‍ය භාවිතය පිළිබඳව තිබෙන කළකිරීම.
    නමුත් දිගු කාලයක් සන්නිවේදකයකු ලෙස කටයුතු කළ විට වැළඳෙන 'නොලියා සිටිය නොහැකි රෝගය' මටත් තිබෙනවා. පුවත්පත්වලට නැතත් බ්ලොග් තුනක් ලියන්නේ ඒ නිසයි. අප ලබාගත් දැනුම අහසින් වැටුණු දෙයක් නෙවෙයි. අපට පෙර සිටි මිනිසුන්ගේ අධ්‍යයනවලින් උපන් දේවල්. අැත්තටම ගත්තොත් සාමූහික දේපළක් වගේ. ඒ ගලාගෙන එන දැනුම් ප්‍රවාහයට මේ සමාජ මොහොතේ මගෙන් ලබාදිය හැකි අංශුමාත්‍ර හෝ දායකත්වයක් වේ නම් එය ලබාදීම තමයි මගේ බ්ලොග් ලිවීමේ අරමුණත්. ඒ දැනුම් අංශුව කවදා හෝ කාට හෝ ප්‍රයෝජනවත් වේවි කියන විශ්වාසය බ්ලොග් අවකාශයේ රැඳී සිටින්නට උත්තේජනයක් වෙනවා.
    ඔබ වැනි සාරවත් මිනිසුන් පුවත්පත්කලාවෙන් අෑත්වීම කනගාටුයි. (ඔබ ලක්බිමේ සිටින කාලයේ එහි සිටි නිලූක කදුරුගමුව සොයුරාත් 'පරිවර්තන' http://nilukakadurugamuwa.blogspot.com/නමින් බ්ලොග් එකක් කරනවා. වෙලාවක බලන්න.)
    මා බ්ලොග් ගැන කරන මේ 'විචාරය' සාරවත් බ්ලොග්කරුවන් ධෙෙර්යවත් කරමින්, ඔවුන්ගේ දායකත්වය අගයමින්, හෙට දවසේ වඩාත් දියුණු හා සාරවත් සිංහල බ්ලොග්කලාවක් පිණිස කරන පුංචි උත්සාහයක්. අැත්තටම ලංකාවේ වර්තමාන පුවත්පත්කලාවට වඩා සිංහල බ්ලොග්කලාව ඉදිරියෙන් තිබෙන බව මගේ අදහසයි. ඉතින් මේ සයිබර් අවකාශයේදී ඔබගේ සාරවත් බ්ලොගය හමුවීම මට අපමණ සතුටක් වුණා. මේ විචාර සටහන එහි ප්‍රතිඵලයක්.
    අවසාන වශයෙන්, ඔබගේ ප්‍රතිචාරයේ අදහසක්ම සංශෝධනය කර ලියන්නට මා කැමතියි.
    'හැකිතාක් කල් ලියමු. සන්නිවේදනයේ යෙදෙමු.'

    ReplyDelete
  4. හිතවත් පාඨකය, මෙන්න මෙය භාවිතා කරන්න ඔබ බ්ලොග් වලට කොමෙන්ටු ලෙස දමන ලින්ක් වලට කෙලින්ම යන්න හැකි වේවී..එයින් බ්ලොග්කරුටත් අන් අයටත් පහසුවක් වේවී..

    මෙහි ලින්කුව දැක්වෙන කොටසක් පමණක් ඒ ඒ පොස්ට් එකට හෝ ලින්ක් එකට අදාලව වෙනස් කරන්න.

    // ඔබගේ බ්ලොගය ගැන සටහනක් මෙතැන අැත //

    මා දමා ඇති "//" සලකුණු නොමැතිව යොදන්න.

    ReplyDelete
    Replies
    1. හිතවත් පාඨකය, මෙන්න මේ ක්‍රමය. භාවිතා කරන්න ඔබ බ්ලොග් වලට කොමෙන්ටු ලෙස දමන ලින්ක් වලට කෙලින්ම යන්න හැකි වේවී..එයින් බ්ලොග්කරුටත් අන් අයටත් පහසුවක් වේවී..සමාවෙන්න ඉහත එක් ක්‍රමයකින් වත් ඔබට පෙනෙන විදිහට එය දමන්න නොහැකි උනාට..

      Delete
    2. ස්තූතියි, ස‍හ‍ෝදරී.

      Delete