Friday, March 2, 2018

'සුසුමකින් සුළි සුළං' මවන ලක්ශාන්ත අතුකෝරලගේ කෙටි කවි

බණ්ඩාරනායක විද්‍යාලයේ 13-M පංතියට ගුරුතුමා තව ම පැමිණ නැත. එක්වරම උස්ව නැඟුණු මිතුරු සිනාවක හඬින් මගේ අවධානය බිඳෙයි. කියවමින් සිටි සඟරාව අතරින් හිස මෑත් කොට හාත්පස බලමි. පොකුණ මැද වන, වැළපෙන විලෝ තුරු මුදුන්, පංතියේ කෙටි තාප්පයට ඉහළින් පෙනෙයි. මිතුරු සමූහයන් තැන තැන විවිධ සාමීචිවලය. ඒ අතර, සංජීවියා නිවීහැනහිල්ලේ සිතුවමක් අඳින්නට පටන්ගෙනය. මධුරංගයාද, මහින්දයාද ඒ අසල ගැවසෙති. ඒ සිත්තර තුන් කට්ටුව එදා සිට එහෙමය. ඔවුනට යාබද අසුනක හිඳ පොතක අග පිටුවේ නිහඬවම යමක් කුරුටුගාමින් සිටින්නේ ඔහුය. ලක්ශාන්තයාය. කුරුටුව නිසැකවම කවියක් විය යුතුය.

හතලිස් අැඳිරිය අතරින් මැවෙන්නේ විසි වසක් ඉපැරණි මිතු සිතුවම්ය. ඒ ස්මරණ සිතුවම් අතරින් මම අැවිද එමි. නවතිමි.


විසි වසකට පෙර එකම පංතියේ යාබද අසුන් දෙකක හිඳ අකුරු කළ මිතුරන් දෙදෙනෙක්, විසි වසකට  පසුව එකම පොතක පිටු අතර සිට මට හමුවෙයි. ඒ සිතුවම් වැනි කවිද, කවි වැනි සිතුවම්ද ලෙසිනි. ඒ, ලක්ශාන්ත අතුකෝරල හා සංජීවී සෙනෙවිරත්න යන විශිෂ්ට දෙමිතුරන්ගේ සොඳුරු සුසංයෝගයකි.

ඉදින් ලියමි. ලක්ශාන්තගේ කෙටි කවි භාවිතයේ දෙවන පිය සටහන වන ''සුසුමකින් සුළි සුළඟ'' ගැන ලියමි.

පොදුවේ කෙටි කවි ගැන නන් විධ වාද විවාද තිබෙන බව අැත්තකි. එහෙත් සැත්කම් පිහි-අඬු ගෙන, කෙටි කවිය කපා කොටා බලා නිගමන නිර්දේශ ඉදිරිපත් කිරීමට මගේ එතරම් කැමැත්තක් නැත. මා කැමති ඒ කවිය තුළට වැද, එහි වන විඳීම හෝ විඳවීම අත් විඳින්නටය. ප්‍රජනන සෞඛ්‍ය පාඩම සිහිකරමින් සම්භෝග සුව විඳිය නොහැක්කාක් මෙනි.

'විඳිනවා නම්
සිරිකඩත් වැස්සක්
තරු තිතත්
එළියක්'

කවියකදී වචන සමග හිතේ හැටියට සංකල්ප ලෝකයක රස්තියාදු වන්නට මා කැමතිය. දිගු කවියකට වඩා, කෙටි කවියකදී ඒ ලැබෙන නිදහසට මා ඉතා ප්‍රිය ය. හරියට යෝජිත විවාහයක් පිණිස නියමිත තරුණිය සමග අැගේ නිවසේ සීමාව අැතුළත ගැවසෙනවාට වඩා, පෙම්වතියක සමග කැමති කැමති තැන, කැමති කැමති විට, රිසි රිසි සේ රස්තියාදු වන්නට ලැබෙන සොඳුරු අවස්ථා මෙනි. එනම්, මට විටෙක දිගු කවිය යෝජිත විවාහයකට නියමිත තරුණියක සේය. කෙටි කවිය පෙම්වතිය මෙනි. ලක්ශාන්තගේ කෙටි කවි කිහිපයක්, මගේ 'පෙම්වතිය' වූයේ මෙලෙසිනි. 'අෑ' සමග රිසි සේ සැරිසරන්නට මම කැමැත්තෙමි.

'මුහුණ - ළැම
නිතඹ නොව
දෙනෙත
පමණකි මතක'

'ඉවුරක 
වරල් සලනෙමි
ගඟත් 
නොබලා බසියි'

'ඉහළ නම් නොබලමියි
සිතන විට
දිය කඩිත්තෙත් 
අහස'

'කොහෙන්ද මේ
නිදි දෙව්දුවට
ඔබෙ  දෙතොල්
අැඟිලි තුඩු'

'නිතර අැස් පැටලෙයි
සීමා මායිම් 
සිහි වී
ළිහෙයි'

තම තම නැණ පමණින්, තම අත්දැකීම් වපසරියෙන් කෙටි කවියෙහි වන වචන කිහිපයකට නව ජීවයක් නිර්මාණය කරන්නට සහෘදයාට ඉඩ අවසරය ලැබේ. එනම්, දිගු කවියකට වඩා කෙටි කවියක් විඳීමේදී සහෘදයාට පැවරෙන භූමිකාව වඩා පුළුල්ය. කවියා කිසි විටෙක අපේක්ෂා නොකළ වින්දන ඉසව් වෙත පවා කෙටි කවිය රැගෙන යාමේ අවස්ථාව රසික සහෘදයන්ට ලැබේ.

අැතැම් කවි කුඩා කෙනිත්තීම් මෙනි. කොහිල කටු අැනෙනවා බඳු ඉවසාගත නොහෙන රිදුම් දෙයි. අතීත මතකයන් ඔස්සේ විවිධ ස්මරණ ඉසව් වෙත අප කැඳවයි. ඉපැරණි මතකයන් වෙලෙයි. පැටලෙයි. ගැලවෙයි. අැලවෙයි.

'සුරාවෙන් දුක
මකන පියෙකුගෙ
සාක්කුවෙ
රස කැවිල්ලක් !'

ඒ පියාගේ සාක්කුවේ අැත්තේ 'කාලෙ බෝතලයක්' නොව රස කැවිල්ලකි. ඉදින් ඒ කවිය අප රැගෙන යන දුර කෙතරම්ද? පියා එන තුරු මඟ බලා හිඳින පුංචි පුතකුගේ, දියණියකගේ නොඉවසිලිමත් දෑස් පිළිබඳ රූපයක් ම'සිත මැවී ඒ සැණින් ම'සැස තුළ කඳුළක් නැඟෙයි.

'තනි කලට
සිතද නැත
එයද ගොස්
ඔබ වෙතට'

එතරම් අසරණ වූ රික්තයන් මිනිසකුට ජීවිතයේ තිබිය නොහැකි නොවේ. අඩුම ගණනේ සිතවත් නැති සඳ? එයද  අෑ වෙතට ගොස් අැති සඳ? ඒ තනිය පිළිබඳ හැඟීම කිසිදු පරිමාණයකට හසු නාෙවන තරම් විශාල නොවේද? එවැනි දරාගත නොහැකි දවස් අපේ ජීවිතවල නොතිබිණිද? නොතිබේද?

දුරට කුඩා එළි තිතක් සේ පෙනෙන කෙටි කවියකට ළංව විඳින විට, එය ග්‍රහලෝකයක් නොවේදැයි සිතෙයි. ඊටම අනන්‍ය විද්‍යාවක් එහි තිබේ. පෘථිවියේ නියාමයන්ට වඩා වෙනස් නියාමයන් වෙනත් ග්‍රහලෝකයන්හි අැතිවාක් මෙනි. එබඳු තත්ත්වයක අප විශ්වයේ තිබිය යුතු නිවැරදිම නියාමය අැත්තේ පෘථිවියේ යැයි කීම හෝ මේ හා සසඳමින් අන් නියාම සරල කිරීම හෝ කළ යුතු නොවන සේය. ගුරුත්ව අාකර්ෂණයට ප්‍රතිපක්ෂ අාකර්ෂණයක් වුව...! අප පිළිගත යුතුය. කවි ද එසේ මැයි! කවියේ විද්‍යාව ඊටම මිස, අන් විද්‍යාවකට අසු වන්නේ නොවේ.

'උදෑසන 
කඳුළු පිරි කඳුවැටි
හිනස්සන්නට
ඉරකට පුළුවනි'

ලක්ශාන්තගේ ඒ කවිය අපූරු උදානයක් සේ පිපී තිබෙනු මම දකිමි.

සියලු කෙටි කවි 'හයිකු ම' විය යුතු ද? හයිකු නොවන සිංහල කෙටි කවියක් නොපැවතිය යුතු ද? ඒ කෙටි කවි බීජ පෙති දෙපෙති ලමින් හිරු කිරණක වෙළෙමින්, පොද වැස්සක තෙමෙමින් කවි කෙත විවිධාංගීකරණය කරමින් වැඩී අා යුතු නොවේද? මසිත නැඟෙන පැනයන් රැසකි. මෙතැනටම ගලපන්නට සුදුසු කවියක් ලක්ශාන්ත මෙසේ ලියයි.

'වනස්පතිය
වියන් බඳියි
පැළෑටි දහසට
ඉර නොපෙනෙන්නට'

අැතැම් කෙටි කවක්, සිතිවිලි සයුරක් රළ නංවන කුඩා සුසුමක් වැන්න. එසේම, දිගු කතාවක් පිණිස සහෘදයා වෙත අපූරු මාතෘකාවක් පිරිනැමීමක් බඳුය.

'යසෝදරා
එක වරකුදු
නොතැවුණෙහිද ඔබ
ගරහා බුදු බව'

ඉතිහාසය පුරා කිසිවෙකුත් අැගෙන් නෑසූ, එහෙත් අති සාධාරණ අැත්තම පැනය නඟන්නේ කවියාය. සියවස් ගණනක් යසෝදරාගේ කාර්යභාරය උත්කර්ෂයට නැංවූවා මිස, වැළපෙන අැගේ සිතෙහි ගැඹුරට කිමිදෙන මනෝ විද්‍යාවක් පිළිබඳ කිසිවකුටත් සිහි නොවූයේ අැයි ?

'වියළි පත්
අමදින අතර
ළා පතක්
දකිමි ඉඳහිට'

'ළමා මරණ අනුපාතය' කාව්‍යමය දෘෂ්ටියෙන් බැලීමක් නොවෙද මේ? ලක්ශාන්තට මේ කව ලියද්දී එබඳු කල්පනාවක් නොවුණා වන්නට පුළුවන. එහෙත් සහෘද සිතක එවැනි සිතිවිල්ලක් ඉපදීම අරුමයක් නොවේ.

'ගොඩ බිම සොයාගත් පසු
පස්ස හරවාගත්
කණුවක් පමණි
ප්‍රදීපාගාරය !'

මෙබඳු 'ගොඩබිම්' ද, ඒවා 'සොයාගත්තවුන්' ද, 'ප්‍රදීපාගාර' ද කොතෙක් නම් අප ජීවිතවල වෙත් ද? ඒ නම් ගම් පෙළ ගස්වාගෙන සිහියට නඟා ගනු මිස හඬ නඟා කියනු කුමටදැයි ලක්ශාන්ත නොකියා කියයි.

'බොහෝ දුර ඉගිලී අැති
පිහාටුවක්
තටුවෙන් ගැලවී
පෑගෙයි අද'

එබඳු පිහාටු වැනි ජීවිත මේ සමාජය තුළ කොතෙකුත් අපට හමු වී තිබේ. සමාජ - දේශපාලන ව්‍යාපාර වෙත පවා මේ කවිය ගැලපිය හැකි යැයි මට සිතෙයි. එබඳු ක්‍රියාධරයින් පිළිබඳ මතකයන්, සාංකාසහගත හැඟීමක් ලෙස ම'සිත පුරා පියමන් කරනු දැනෙයි.

'අතීතේ දිනෙක මිය ගිය
මල් මිටක අවතාර
පිපී අැත හැම තැනම'

මේ කවිය ගැන මට කිසිදු විවරණයක් කරන්නට සිතෙන්නේ නැත. ඒ, එහි අැති අපූරුව නිහඬව 'විඳවන්නට' මට අවැසි බැවිනි. කෙළවරක් නැති සිතිවිලි ලෝකයක මට ඒ කවිය සමග තනි වන්නය අවැසි බැවිනි.

මානව පරිකල්පනය සෑම විටම සීමා මායිම් අතික්‍රමණය කොට පුළුල් විය. ලෝකයට නව නිමැවුම් පිවිසුණේ එහි ප්‍රතිඵලය ලෙසිනි. කවියට පවා ඒ නියාමය වලංගු නොවේද? 'කාව්‍යය' නමැති මිනිස් පරිකල්පනයේ අපූරුතම විශ්වය වඩ වඩාත් පුළුල් විය යුතුය. කවීහු සිය නිරන්තර ගවේෂණ ඔස්සේ ඒ විශ්වය තුළ නව නව කාව්‍ය බීජයන් රාේපණය කරනු අැත්තාහ. ඒවා පණ ගැහෙන අලුත් අලුත් ජීවයන් සහිත නව ග්‍රහලෝක උපද්දවනු අැත. ලක්ශාන්ත යනු එබඳු නිමැවුම්කරුවෙකි. ලක්ශාන්තගේ කෙටිකවි මා දකින්නේද, විඳින්නේද එබඳු මානයකිනි.

නික්ම යන්නට පෙර සංජීවිගේ සිතුවම් ගැන නොලියා කොහොමද? අැත්තටම, විටෙක ලක්ශාන්තගේ කවි පැත්තක තියා, මම සංජීවිගේ සිතුවම් තුළ වූ අපූරු පරිකල්පනයන් සමග තනි වූ බව කිය යුතුමය. මේ සිතුවම් ලක්ශාන්තගේ කවි පොතට අාලෝකයක් යැයි කියන්නට මම මැළිවෙමි. ඒ සිතුවම් වෙනම ලෝකයකි. ලක්ශාන්තගේ කවියකින් සංජීවිගේ සිතුවමක් දිදුළන අතර, සංජීවිගේ සිතුවමකින් ලක්ශාන්තගේ කවියක් දිදුළයි.

ඒ දිදුළන එළි කිරණ දෙකෙහි ප්‍රභාව සිංහල කවියද, දියසායම් සිතුවම් කලාවද චිරාත් කලක් බබළවනු නිසැකය.

2 comments:

  1. හෝඩුවාවට ස්තූතියි ප්‍රභාත්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කෙටි කවිය වැදගත් සාහිත්‍ය අංගයක් කියල පිළිගන්න අකැමැති වටපිටාවක මේ උත්සාහය ඉතාම අගය කළයුතු එකක්. කවිය කුඩා නිසා බොහෝ අය හිතනව ඇති මේක ලේසි වැඩක් කියල. ඒත් එහෙම නෑ. කෙටි කවි ලියන එකයි අමාරුම. කියවන්නාට විවධ දිශා වලින් කවියට ඇතුළුවෙන්න දොරවල් විවර කර තැබිය යුතුයි. එතන එත අකුරක් වචනයක් වත් නෑ ඉවත දමන්න. කෙටි කවි රසවිදීම ඇත්තටම පුහුණූ කළ යුතු දෙයක්. මේ මොන තත්වයක් යටතේ වුණත් කෙටි කවිය සිංහල පාඨකයාට හදුන්වා දෙන්න පුරෝගාමී වුණ රණවීර, නන්දන වීරසිංහ වැනි අයත් ලක්ෂාන්ත, මාලන් බණ්ඩාර, උපේක්ෂා ඉමාලි වගේ කීපදෙනෙක් මේ කෙටි කවියෙ නියැලිලා ඉන්න එක ඇත්තටම සතුටක්.....

    ReplyDelete