Thursday, December 24, 2020

''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)''

 


වසරකටත් වැඩි කාලයකට පෙර ප්‍රකාශනය සඳහා භාර දී තිබූ මගේ අලුත් ග්‍රන්ථය, ''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)'' පසුගිය දා මුද්‍රණය කරන ලදුව ගොඩගේ ප්‍රකාශකයින් වෙතින් අද ම'වෙත ලැබිණි.

 

 

 නොකියා ම බැරි වචනයක් - දෙකක්

 

2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය අනතුරු දෙකක් වෙත ඇද දමනු ලැබිණි.

 

පළමු අනතුර වූයේ Regaining Sri Lanka නමැති ආර්ථීක වැඩපිළිවෙළ ඔස්සේ මේ රට නැවත යටත් විජිතයක් බවට පත්කිරීමේ සැලසුමයි.

 

දෙවැන්න, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙන ම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

 

රට හමුවේ නිර්මාණය වී ඇති මේ ද්විත්ව අනතුර නිසි දැක්මෙන් ද, නිසි බරින් ද හඳුනාගත්තේ එවක තිබූ ජනතා විමුක්ති පෙරමුණ ය. එහි ප්‍රතිඵලය වූයේ සිය උපාය මාර්ගික දැක්ම මත පිහිටා, රට හමුවේ ඇති මෙම අනතුරු දෙක පරාජය කිරීම සඳහා බහු විධ උපාය උපක්‍රම, ක්‍රියාමාර්ග, වැඩපිළිවෙළ දියත් කිරීම ය. ''දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය'' පිහිටුවීම එහි ප්‍රමුඛත ම පියවරක් විණි. පක්ෂයක් ලෙස ඍජු ව තමන්ට මැදිහත් විය නො හැකි ක්ෂේත්‍ර වෙත, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය මගින් මැදිහත්වීමටත්, එහි ප්‍රතිඵල පොදු සමාජය වෙත ලබාදීමටත් එවක ජ.වි.පෙ. සමත් විණි. වෙසෙසින් ම, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව රැකගැනීම වෙනුවෙන් මතවාදී - බුද්ධිමය තලයේ ප්‍රමුඛ මැදිහත් වීමක් සිදු කරන ලද අතර, ඛෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයටත්, ඒ හා බැඳුණු බටහිර අධිරාජ්‍යවාදී බලවේගවලට හා රාජ්‍ය නො වන සංවිධානවලටත් එරෙහි ව සිදු කළ මතවාදී සංග්‍රාමය කැපී පෙනේ. මෙහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ නිල මුද්‍රිත ප්‍රකාශනය වූ ''මුරගල'' මාසික සඟරාව මගින් මේ මතවාදී සංග්‍රාමය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙන ලදී.

 

ලංකාවේ ජාතික ගැටළුව හා යුද්ධය මත පදනම් වෙමින් අධිරාජ්‍යවාදී බලවේගයේ මැදිහත්වීම එවක ඉතා තීරණාත්මක හා තීව්‍ර වෙමින් පැවතිණි. ලංකාවේ ජාතික ගැටළුවේ තීරණාත්මක පාර්ශ්වයක් බවට ''ජාත්‍යන්තර බලවේග'' පත්ව තිබිණි. එම මැදිහත්වීම්හි ස්වභාවය හා ඒවායේ දිශානති විශ්ලේෂණය කරමින් ''මුරගල'' සඟරාව සඳහා ලිපි රැසක් මා විසින් ලියන ලදී. ඒ ලිවීම් සඳහා වූ බුද්ධිමය හා මතවාදීමය මඟ පෙන්වීම නිසැක ව ම අයත් වන්නේ ඒ මොහොතේ  ජනතා විමුක්ති පෙරමුණට ය. එහි දැක්මට ය.

 

මෙම ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට ඇත්තේ මා විසින් ලියන ලද ඒ ලිපි අතරින් තෝරාගත් ලිපි කිහිපයකි. ඒ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ පා සිටි අනතුරේ ස්වභාවය හා පරිමාණය මෙන් ම, එවක මෙරට දේශපාලන පක්ෂ හා බලවේගවලත්, ඒවායේ ඇතැම් පුද්ගල චරිතවලත් ''දේශපාලන හැසිරීම'' මෙම ලිපිවලින් හඳුනාගත හැකි ය. මේ ඉතිහාසය සිහිපත් කරන්නට කවුරුන් අකැමති වුවත් රටක් ලෙස හා දේශපාලන සත්ත්වයින් ලෙස අපට මෙම ඉතිහාසය අමතක කර දැමිය නො හැකි ය. නො යුතු ය. තමන් අද නිරූපණය කරන භූමිකාවට වඩා හාත්පසින් ම ප්‍රතිපක්ෂ මතවාදී භූමිකා එවක නිරූපණය කළ ඔවුන්ට මේ ලිපි පෙළ තමන්ගේ අතීතය පිළිබඳ සිහිපත් කර ගැනීමට බල කරනු ඇත.

 

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මිලිටරි මැදිහත්වීමට අදාළ ව කෘති ගණනාවක් මෙරට තුළ පළ වී තිබුන ද, මෙහි දේශපාලන පසුබිම අනාවරණය වන ග්‍රන්ථ පළ වී නො මැති තරම් ය. නමුත් එවක මෙරට පැවති දේශපාලන පසුබිම මෙන් ම, ඒ හා බැඳුණු ජාත්‍යන්තර සාධකය ද හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන්නකි. ''ජාත්‍යන්තර කුමන්ත්‍රණ'' යන වචන පවා හාස්‍යයට කරුණක් ලෙස දකින මෙරට මුග්ධ දේශපාලකයින්ට හා ඊනියා මාධ්‍යකරුවන්ට ලංකාවේ ජාතික ගැටලුව කේන්ද්‍ර කොටගෙන පැවති ''අන්තර් ජාතික මැදිහත්වීම්'' (''ජාත්‍යන්තර කුමන්ත්‍රණ'' යන වචනයට ඔවුන්ට නො දිරවන නිසා) කෙබඳු ද යන්න මෙම ලිපි මගින් හඳුනා ගත හැකි වනු ඇත.

 

එසේ ම, මේ වන විට ලෝකයේ ''නව පුවත්පත්කලාවේ'' නව ප්‍රභේදයක් වී තිබෙන ''දේශප්‍රේමී මාධ්‍යවේදය'' යටතට ගත හැකි ලාංකේය මුද්‍රිත මාධ්‍ය භාවිතය පිළිබඳ ව හඳුනාගැනීම සඳහාත් මෙම කෘතිය පිටිවහලක් වනු ඇත. එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය ලෝක ත්‍රස්තවාදයක් ඉදිරිපිට තබමින් මෑතකදී ''දේශප්‍රේමී මාධ්‍යවේදය'' සංකල්පගත කරන විට ඊට දොහොත් මුදුන් දී පිළිගන්නට ඇතැම් විද්වතුන් සූදානම් ය. නමුත්, යටත් විජිත අවධියේ පටන් අපේ රට තුළ පවතින යටත් විජිත ආධිපත්‍යයට එරෙහි ''දේශප්‍රේමී මාධ්‍ය භාවිතය'' ඔවුන්ගේ මානයට හසු වන්නක් නො වේ. යළි යටත් විජිතකරණ මොහොතට අදාළ මෑත ලාංකේය ඉතිහාසයේ දේශප්‍රේමී මාධ්‍යවේදයේ හැඩයක් මෙම ලිපි වෙතින් හඳුනාගත හැකි වනු ඇත. එය ඇමරිකාවට සාපේක්ෂ දේශප්‍රේමී මාධ්‍ය භාවිතයක් නොව ලංකාවට සාපේක්ෂ දේශප්‍රේමී මාධ්‍ය භාවිතයකි.

Saturday, December 19, 2020

පැණිය ගැන පැනය : විද්‍යාවද? Marketing ද?

 





😯 Right Product 

වට්ටෝරුව අවුරුදු 5000ක් ඉපැරණි පැපිරස් පත්රයකින් සොයා ගත්තා කීවා නම්, (ලියා තිබුනෙ මොන භාෂාවෙන්ද කියන එක වැදගත් නැහැ.)
 
පැණියට 'සිරපියා සිලොනිකා' වගේ විද්යාත්මක නමක් දුන්නා නම්, 
 
'කාලි අම්මගෙ දේවාලෙ' නැතිව Kaalee's Pharmaceuticals Product කීවා නම්,

😯 Right Place 

මහා සිසිල් පැන් දන්සැල වගේ 'පිං පිණිස' බෙදන්නෙ නැතිව අගනුවර සුපිරි ෆාමසිවලින් විතරක් මිල දී ගන්න තැබුවා නම්,

😯 Right Price
 
ඉලක්කම් හතර පහක මිලක් පැණි බෝතලයකට නියම කළා නම්,

 
😯 Right Promotion 

අමුතු හැඩයකට (නිකං කොරෝනා ෙෙවරසය වගේ හැඩයකට) ඩිසයින් කරපු බෝතලයකට පැණිය දැම්මා නම්,
 
ඓශ්චර්යා වගේ නිරූපිකාවක්, මෘදු සරාගික සංඥා සහිත මුහුණකින් බෝතලයට මුව තබාගෙන පැණිය බොන හැටි තත්පර 30ක දැන්වීමකට ගත්තා නම්, (කොහොමද ඒක? පවිත්රා මේස හැන්දෙන් පැණි බොනව වගේද?) 

තට්ටෙ තියෙන මිටි කතා නායක නෙවේ, පච්ච කොටපු හයේ හතරෙ පොරවල් ටිකක් මීටරේ පරතරේ නැතිව වෙල් එළියක පැණි බෝතලයක් වටේ සෙට්වෙලා ඉන්න හැටි පෙන්නුවා නම්, (''....... සිරප් නිසා දැන් අපි සෙට් වෙන්නෙ මීටරේ පරතරේ නැතිව !'')
 
සති අන්ත පත්තරවල අඛණ්ඩව මාස තුනක් ෆුල් පේජ් ඇඩ් එකකට වෙන් කර ගත්තා නම්, 
 
පත්තරේ මුල් පිටුවෙ නමත් එක්ක සෙට් කරලා ''ලක්ද්වීපයටම ........ සිරප්' කියලා රට හෙල්ලෙන ඇඩ් එකක් දැම්මා නම්, (''නෙස්ටමෝල්ට්'' කළා වගේ...)
 
ටී.වී. චැනල්වල රියැලිටි ෂෝවලට අනුග්රහය දුන්නා නම්, 

ටී.වී. චැනල්වල බුද්ධිමය සංවාද මණ්ඩපවල මේස මත ' ......... සිරප් ' නම සහිත බඳුන් තැබුවා නම්, 

බඩු නාන්ඩ තියෙන ග්රෑන්ඩ් පාටියක් මාධ්යවේදීන්ට (අනිවාර්යයෙන්ම ප්රාදේශීය මාධ්යවේදීන් සහිතව) සංවිධානය කළා නම්, (මීටරේ පරතරේ ඇතිව...)
 
'මෙඩිකල් රෙප්ලා' විදියට කොටට ඇඳපු, කොණ්ඩෙ කපපු ලස්සන කෙල්ලො ටිකක් ඉස්පිරිතාලවල ගැවසුණා නම්, 

විදේශ සංචාරද, ලැප් ටොප්ද, ස්මාර්ට් ෆෝන්ද, අරවද, මේවද... දෙන්න ලෑස්ති කළා නම්, 
 
ක්රිකට් ක්රීඩකයෙක් 'සන්නාම තානාපති' කර ගත්තා නම්, (ඉස්සර ගමේ වෙල් ඉපනැල්ලෙ ක්රිකට් ගහනකොට බිව්වෙ මී පැණි - කෑවෙ සාදික්කා කියලත්, අදත් ඕනම පිට්ටනියක සතුරු පිළට මුහුණ දෙන්නෙ ඒ ප්රතිශක්තියෙන් කියලත් කිවුවා නම්..)
 
''.... සිරප් එක නැත්නම් කෑම එපා !" කියල විනී අයියගෙ අකුරු මෝස්තරයෙන් ''ජනතාව'' ඇඳපු පෝස්ටරයක් එක රැයින් රට පුරා ඇලවුවා නම්,

ලංකාව තුළ මේ පැණියේ විද්යාත්මක පදනම ගැන, අරවද මේවද සොයන, නොකෙරෙන වෙදකමට ඇමීබා තෙල් ඉල්ලන ප්රශ්න මතු වෙනු ඇත්ද?

ආසියානු - අප්රිකානු - ලතින් ඇමරිකානු සමාජවල ස්වදේශීය වෙදකම් හා සම්බන්ධ ඉපැරණි දැනුම හා බෙහෙත් වට්ටෝරු විවිධ ව්යාපෘති ඔස්සේ ('සංරක්ෂණය කිරීම') සොරාගෙන පර්යේෂණ කරන - නව ඖෂධ නිපදවන බහුජාතික ඖෂධ සමාගම්, යම් දවසක මේ පැණිය සඳහා පදනම් වූ ඖෂධ අනුව නව ඔසුවක් නිපදවා නව ලිබරල්වාදී වෙළෙඳපොළ පිළිවෙළට අනුව ආවොත් මෙරට බලධාරීන්ගේ - නිලධාරීන්ගේ - විද්වතුන්ගේ - වෘත්තිකයින්ගේ හැසිරීම කෙබඳු වේද?

මේ පැණිය ගැන ඇත්ත පැනය, එහි විද්යාත්මකභාවය සම්බන්ධවද? නැතිනම් මේ පැණියට Marketing අවුන්සය මිශ්ර නොකිරීමද?
 
4Pත්, මේ පැණියට එකතු වුණා නම් ප්රශ්න කරන්නට කිසිවකු සිටිනු ඇත්ද?