Thursday, December 24, 2020

''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)''

 


වසරකටත් වැඩි කාලයකට පෙර ප්‍රකාශනය සඳහා භාර දී තිබූ මගේ අලුත් ග්‍රන්ථය, ''කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි (ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට අන්තර්ජාතික මැදිහත්වීම්)'' පසුගිය දා මුද්‍රණය කරන ලදුව ගොඩගේ ප්‍රකාශකයින් වෙතින් අද ම'වෙත ලැබිණි.

 

 

 නොකියා ම බැරි වචනයක් - දෙකක්

 

2001 දෙසැම්බරයේ බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා රාජ්‍යය අනතුරු දෙකක් වෙත ඇද දමනු ලැබිණි.

 

පළමු අනතුර වූයේ Regaining Sri Lanka නමැති ආර්ථීක වැඩපිළිවෙළ ඔස්සේ මේ රට නැවත යටත් විජිතයක් බවට පත්කිරීමේ සැලසුමයි.

 

දෙවැන්න, 2002 පෙබරවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම මගින් මේ රට බෙදා වෙන් කොට, කොටි සංවිධානයට වෙන ම රාජ්‍යයක් ගොඩනඟාදීමේ වැඩපිළිවෙළයි.

 

රට හමුවේ නිර්මාණය වී ඇති මේ ද්විත්ව අනතුර නිසි දැක්මෙන් ද, නිසි බරින් ද හඳුනාගත්තේ එවක තිබූ ජනතා විමුක්ති පෙරමුණ ය. එහි ප්‍රතිඵලය වූයේ සිය උපාය මාර්ගික දැක්ම මත පිහිටා, රට හමුවේ ඇති මෙම අනතුරු දෙක පරාජය කිරීම සඳහා බහු විධ උපාය උපක්‍රම, ක්‍රියාමාර්ග, වැඩපිළිවෙළ දියත් කිරීම ය. ''දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය'' පිහිටුවීම එහි ප්‍රමුඛත ම පියවරක් විණි. පක්ෂයක් ලෙස ඍජු ව තමන්ට මැදිහත් විය නො හැකි ක්ෂේත්‍ර වෙත, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය මගින් මැදිහත්වීමටත්, එහි ප්‍රතිඵල පොදු සමාජය වෙත ලබාදීමටත් එවක ජ.වි.පෙ. සමත් විණි. වෙසෙසින් ම, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව රැකගැනීම වෙනුවෙන් මතවාදී - බුද්ධිමය තලයේ ප්‍රමුඛ මැදිහත් වීමක් සිදු කරන ලද අතර, ඛෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයටත්, ඒ හා බැඳුණු බටහිර අධිරාජ්‍යවාදී බලවේගවලට හා රාජ්‍ය නො වන සංවිධානවලටත් එරෙහි ව සිදු කළ මතවාදී සංග්‍රාමය කැපී පෙනේ. මෙහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ නිල මුද්‍රිත ප්‍රකාශනය වූ ''මුරගල'' මාසික සඟරාව මගින් මේ මතවාදී සංග්‍රාමය සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දෙන ලදී.

 

ලංකාවේ ජාතික ගැටළුව හා යුද්ධය මත පදනම් වෙමින් අධිරාජ්‍යවාදී බලවේගයේ මැදිහත්වීම එවක ඉතා තීරණාත්මක හා තීව්‍ර වෙමින් පැවතිණි. ලංකාවේ ජාතික ගැටළුවේ තීරණාත්මක පාර්ශ්වයක් බවට ''ජාත්‍යන්තර බලවේග'' පත්ව තිබිණි. එම මැදිහත්වීම්හි ස්වභාවය හා ඒවායේ දිශානති විශ්ලේෂණය කරමින් ''මුරගල'' සඟරාව සඳහා ලිපි රැසක් මා විසින් ලියන ලදී. ඒ ලිවීම් සඳහා වූ බුද්ධිමය හා මතවාදීමය මඟ පෙන්වීම නිසැක ව ම අයත් වන්නේ ඒ මොහොතේ  ජනතා විමුක්ති පෙරමුණට ය. එහි දැක්මට ය.

 

මෙම ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට ඇත්තේ මා විසින් ලියන ලද ඒ ලිපි අතරින් තෝරාගත් ලිපි කිහිපයකි. ඒ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ පා සිටි අනතුරේ ස්වභාවය හා පරිමාණය මෙන් ම, එවක මෙරට දේශපාලන පක්ෂ හා බලවේගවලත්, ඒවායේ ඇතැම් පුද්ගල චරිතවලත් ''දේශපාලන හැසිරීම'' මෙම ලිපිවලින් හඳුනාගත හැකි ය. මේ ඉතිහාසය සිහිපත් කරන්නට කවුරුන් අකැමති වුවත් රටක් ලෙස හා දේශපාලන සත්ත්වයින් ලෙස අපට මෙම ඉතිහාසය අමතක කර දැමිය නො හැකි ය. නො යුතු ය. තමන් අද නිරූපණය කරන භූමිකාවට වඩා හාත්පසින් ම ප්‍රතිපක්ෂ මතවාදී භූමිකා එවක නිරූපණය කළ ඔවුන්ට මේ ලිපි පෙළ තමන්ගේ අතීතය පිළිබඳ සිහිපත් කර ගැනීමට බල කරනු ඇත.

 

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මිලිටරි මැදිහත්වීමට අදාළ ව කෘති ගණනාවක් මෙරට තුළ පළ වී තිබුන ද, මෙහි දේශපාලන පසුබිම අනාවරණය වන ග්‍රන්ථ පළ වී නො මැති තරම් ය. නමුත් එවක මෙරට පැවති දේශපාලන පසුබිම මෙන් ම, ඒ හා බැඳුණු ජාත්‍යන්තර සාධකය ද හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන්නකි. ''ජාත්‍යන්තර කුමන්ත්‍රණ'' යන වචන පවා හාස්‍යයට කරුණක් ලෙස දකින මෙරට මුග්ධ දේශපාලකයින්ට හා ඊනියා මාධ්‍යකරුවන්ට ලංකාවේ ජාතික ගැටලුව කේන්ද්‍ර කොටගෙන පැවති ''අන්තර් ජාතික මැදිහත්වීම්'' (''ජාත්‍යන්තර කුමන්ත්‍රණ'' යන වචනයට ඔවුන්ට නො දිරවන නිසා) කෙබඳු ද යන්න මෙම ලිපි මගින් හඳුනා ගත හැකි වනු ඇත.

 

එසේ ම, මේ වන විට ලෝකයේ ''නව පුවත්පත්කලාවේ'' නව ප්‍රභේදයක් වී තිබෙන ''දේශප්‍රේමී මාධ්‍යවේදය'' යටතට ගත හැකි ලාංකේය මුද්‍රිත මාධ්‍ය භාවිතය පිළිබඳ ව හඳුනාගැනීම සඳහාත් මෙම කෘතිය පිටිවහලක් වනු ඇත. එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය ලෝක ත්‍රස්තවාදයක් ඉදිරිපිට තබමින් මෑතකදී ''දේශප්‍රේමී මාධ්‍යවේදය'' සංකල්පගත කරන විට ඊට දොහොත් මුදුන් දී පිළිගන්නට ඇතැම් විද්වතුන් සූදානම් ය. නමුත්, යටත් විජිත අවධියේ පටන් අපේ රට තුළ පවතින යටත් විජිත ආධිපත්‍යයට එරෙහි ''දේශප්‍රේමී මාධ්‍ය භාවිතය'' ඔවුන්ගේ මානයට හසු වන්නක් නො වේ. යළි යටත් විජිතකරණ මොහොතට අදාළ මෑත ලාංකේය ඉතිහාසයේ දේශප්‍රේමී මාධ්‍යවේදයේ හැඩයක් මෙම ලිපි වෙතින් හඳුනාගත හැකි වනු ඇත. එය ඇමරිකාවට සාපේක්ෂ දේශප්‍රේමී මාධ්‍ය භාවිතයක් නොව ලංකාවට සාපේක්ෂ දේශප්‍රේමී මාධ්‍ය භාවිතයකි.

No comments:

Post a Comment