Sunday, April 11, 2021

අපි ඔබ වෙනුවෙන් හදාරමු! (උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි නිබන්ධ කුළියට ලියනු ලැබේ.)


 Lanka Lead News ව‍ෙබ් අඩවියට මා ලියූ ලිපියකි.

 

සති අන්ත සිංහල හා ඉංග්‍රීසි පුවත්පත්වල දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන විසින් පවත්වනු ලබන උපාධි – පශ්චාත් උපාධි – ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ දැන්වීම්වලින් ද, ඒවායේ උපාධි ප්‍රදානෝත්සවවල ආකර්ෂණීය ඡායාරූපවලින් ද සැරසුණු පිටු – අතිරේක බලන විට හැඟෙන්නේ, වර්තමානයේ මෙරට තුළ පවතින උසස් අධ්‍යාපන අවස්ථා, ඒවාට යොමුවීමට තරුණ ප්‍රජාවේ ඇති ශාස්ත්‍රාභිලාෂය, පර්යේෂණ කොට පශ්චාත් උපාධි හදාරා නව දැනුමක් සමාජයට එකතු කරන්නට ඇති කැමැත්ත, ඉහළ වෘත්තිකයින් තුළ පවා නව පර්යේෂණ කිරීමට – ආචාර්ය උපාධිය හැදෑරීමට ඇති අරමුණ පිළිබඳ පහන් සංවේගයකි.

විදේශීය විශ්ව විද්‍යාලවල මෙන් ම, මෙරට රජයේ හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ද උසස් අධ්‍යාපන ආයතනවල ද මුදල් ගෙවා / නොගෙවා විවිධ පාඨමාලා හදාරමින් මූලික උපාධි, ශාස්ත්‍රපති, විද්‍යාපති, දර්ශනපති, දර්ශන සූරි (PhD) ආදී පශ්චාත් උපාධි මෙන්ම, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ඩිප්ලෝමා ආදී සහතික/ ප්‍රතිඵල ලබන්නට දිවා රෑ නොතකා ශාස්ත්‍ර ගවේෂණය කරමින්, ක්ෂේත්‍රය පිළිබඳ දෙස් විදෙස් මූලාශ්‍ර පරිශීලනය කරමින් පර්යේෂණ කරමින් තරුණ – වැඩිහිටි – වෘත්තික – ශිෂ්‍ය ප්‍රජාව ගන්නා අසීමිත වෙහෙස කෙතරම් විය හැකි ද?

බොහෝ ආයතනවල (රජයේ හා පෞද්ගලික) ඉහළ නිලතල දරන ඇත්තන්ගේ කාර්ය බහුලත්වය කෙතරම් ද යත්, හුස්ම ගැනීම ඉබේ සිදු නොවී තවත් වැඩක් ලෙස කරන්නට සිදු වී නම්, හුස්ම ගැනීමට බැරිවීම නිසා මෙබඳු වෘත්තිකයින් ගණනාවක් කාර්ය බහුලත්වය මැද ආයතන පරිශ්‍ර තුළම මියැදී අවසන්ය. එහෙත් කෙතෙරම් කාර්ය බහුල වුව මේ ඇත්තන් ඊළඟ උසස්වීමට හෝ වෙනත් ආයතනයක ඉහළ තනතුරකට යාමට හෝ අවැසි පශ්චාත් උපාධි – වෘත්තීය සුදුසුකම් සපුරා ගන්නේ විස්මයජනක ලෙසිනි. ඒ ඔවුන්ගේ විශිෂ්ට කළමනාකරණ හැකියාව, විශේෂයෙන්ම කාලය කළමනාකරණය සම්බන්ධ දක්ෂතාව ලෙස කෙනෙකුට පෙනී යා හැකිය. ඇත්තෙන්ම එසේ නොවනවා ද නොවේ.

විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන පාඨමාලා පිළිබඳ අවකාශ ප්‍රමාණයෙන් විශාල දැන්වීම් පුවත්පත් පිටු පුරා පළවන අතරේ, එම පුවත්පත්වල ලුහුඬු දැන්වීම් පිටුවල – අතිරේකවල සෙන්ටිමීටර් 4×2 තරම් කුඩා අවකාශ ප්‍රමාණයේ තවත් දැන්වීම් විශේෂයක් පළවෙයි. (මෙබඳු “දැන්වීම්” මීට පෙර බෙහෙවින්ම වූයේ අන්තර්ජාලයේ ය.)

මේ එබඳු දැන්වීම් කිහිපයකි.

“ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි, (PHD) පාඨමාලා සඳහා පැවරුම් සහ නිබන්ධ. මුළු ක්‍රියාවලියම බැහැරින් සිදුකිරීමේ සේවය (දුරකථන අංකය)”

“උපාධි සහ පශ්චාත් උපාධි සඳහා නිබන්ධ, පර්යේෂණ නිබන්ධ, පර්යේෂණ වාර්තා, ඉදිරිපත් කිරීම්, සියලුම විෂය ක්ෂේත්‍ර සඳහා, දේශීය හා විදේශීය විශ්වවිද්‍යාලවල පාඨමාලා සඳහා ඉහළ ගුණාත්මයෙන් යුතුව, නියම වේලාවටම සිදුකරදෙනු ලැබේ. (දුරකථන අංකය)”

“CIM සියලුම අදියරවල පැවරුම් / විශිෂ්ට සාමාර්ථ්‍යයක් සහතික කිරීම සමඟ ශ්‍රී ලංකාව පදනම් කරගත් විදේශීය වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මුළු පාඨමාලාවේ අදියර 3 ම ආවරණය කරයි. (දුරකථනඅංකය)”

“CIM / ICBT / HND/ උපාධි BMS ඩිප්ලෝමා / උපාධි IDM / HND පැවරුම් පිළිගත් වෘත්තිකයින් කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබේ. (දුරකථන අංකය)”

“KDU කොළඹ විශ්වවිද්‍යාලය APITT / CFPS / BCAS මහන්සි නොවී සම්පූර්ණ කරගන්න වෘත්තිකයින් කණ්ඩායමක් මගින් (දුරකථන අංකය)”

“ඕනෑම ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක LLM, MBA, BSc, PhD මහන්සියක් නැතිව වෘත්තිකයින් කණ්ඩායමක් මගින් කර ගන්න(දුරකථනඅංකය)”

“MSU කොළඹ විශ්වවිද්‍යාලය, PIM ජ’පුර, රුහුණ, කැලණිය හෝ වෙනත් ඕනෑම දේශීය හෝ විදේශීය විශ්ව විද්‍යාල සඳහා සම්පූර්ණ PhD නිබන්ධ ලිවීමේ රචකයින්, විශිෂ්ට සාමාර්ථ්‍යය සහතික කරනු ලැබේ. (දුරකථන අංකය)”

මෙම දැන්වීම් කිහිපය, සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක ලුහුඬු දැන්වීම් අතිරේකයේ පළ වී තිබූ දැන්වීම් අතරින් කිහිපයක සිංහල පරිවර්තන වේ.

වෙළඳ දැන්වීමක් පළවන්නේ එම කණ්ඩායමට හෝ සේවාවට අදාළ සමාජ අවශ්‍යතාවක්, වෙළෙඳපොළක් හා පාරිභෝගික ප්‍රජාවක් ඇති විටය. මෙකී දැන්වීම්වල ඉලක්ක පාරිභෝගිකයා ගමේ කඩේ බංකුවට වී දාම් අදින, ‘ලංකාදීපයේ’ ‘දෙයියෝ සාක්කි’ කියවන පාරිභෝගිකයා නොවේ. අද දවසේ මෙරට ආයතනවල කළමනාකරණ – විධායක තලවල සිටින, වැදගත් සහ උපායමාර්ගික තීන්දු තීරණ ගන්නා ප්‍රජාව මෙන්ම, හෙට දවසේ එබඳු තලයකට පිවිසීමට බලාපොරොත්තුවන අද දවසේ ශිෂ්‍යයින් මේවායේ ඉලක්ක පාරිභෝගිකයින් වේ. “අපි ඔබ වෙනුවෙන් හදාරමු” යන්න එබඳු දැන්වීමක තේමා පාඨය විය.

මෙලෙස පැවරුම්, නිබන්ධ කුළියට ලියවාගෙන උපාධි, පශ්චාත් උපාධි ලබාගැනීම එතෙරම් රහසක් නොවන බව පෙනෙන්නේ, රජයට අනුබද්ධ විශ්වවිද්‍යාලයක් මගින්ම මෑතකදී පළ කල නිර්මාණශිලී පුවත්පත් දැන්වීමකද “යාලුවෙකුට දීලා පැවරුම් ලියවා ගත්තා - සල්ලි දීලා නිබන්ධය ලියවාගත්තා”යනුවෙන් සඳහන් වී තිබූ බැවිනි.

සහතිකමේනියාව විසින් අපේ රටේ උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය රැගෙන විත් ඇත්තේ මෙතැනටය. මෙය කවුරුත් දන්නා එහෙත් නොදන්නා සේ සිටිමින් ඒ ව්‍යාජය තුළ තමන්ගේ පැවැත්ම සකසාගෙන තිබෙන තත්ත්වයකි.

මෙහිදී, මේ ලියුම්කරුගේ අත්දැකීම් තුනක් සඳහන් කරන්නට කැමති ය.

පළමුවැන්න, දැනට වසර කිහිපයකට පෙර මේ ලියුම්කරු මෙරට විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින අවධියේ, නොදැන සිටි අංකයකින් ලියුම්කරුගේ ජංගම දුකරථනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන්වූයේ මුදල් ගෙවා අදාළ පැවරුම් හා නිබන්ධ ලියවා ගත හැකි සේවාවක් ගැන හඳුන්වාදීමකි. ලියුම්කරු පශ්චාත් උපාධිය හදාරන බවට තොරතුරු පැවතියේ අදාළ විශ්වවිද්‍යාලය සතුව පමණක් බැවින්, මෙම “කුලියට ලිවීමේ” සේවා ක්‍රියාත්මක වනුයේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ පාර්ශ්ව හරහාම බව ලියුම්කරුගේ විශ්වාසය විය.

දෙවැන්න, දිගු කලක් මේ ලියුම්කරු සමග මාධ්‍ය කටයුතු කළ මිත්‍රයෙකුගෙන් ලද ඇරයුමකි. “මචං.. මගේ යාලුවෙකුට පෝස්ට් ග්‍රැජුවේට් කෝස් එකක ඩෙසටේෂන් එකක් ලියා ගන්න ඕන වෙලා තියෙනවා. ඌට තියෙන වැඩත් එක්ක ඒක ලියන්න වෙලාවක් නැහැලු. ඇත්තම කතාව ඌට ලියන්න බැහැ. උඹට පුලුවන්ද වැඩේ කරලා දෙන්න. සෑහෙන්න ගානක් හොයාගන්න පුළුවන් වැඩක්…” ලියුම්කරුගේ අධ්‍යයන කටයුත්තට යෙදවිය යුතු කාලය හා ශ්‍රමය එසේ කුළියට ලිවීමේ වැඩකට වැයකිරීමට කැමැත්තක් නොවූ බැවින් එය ප්‍රතික්ෂේප කෙරිණි.

තෙවැන්න, කළමනාකරණ වෘත්තිකයෙකු හා ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන, එසේම සිය ආචාර්ය උපාධිය සඳහා සැබවින්ම වෙහෙසෙමින් සිටින දේශක මහතෙකු පසුගියදා දේශනයක් අතරතුර පර්යේෂණ ගැන කියූ අතුරු කතාවකි. “මම දන්නා ආයතන ප්‍රධානියෙක් පිටරට යුනිවසිටි එකකින් මේ ළඟඳි PhD එක ගත්තා. මං හොඳටම දන්නවා මිනිහා සල්ලි දීලා තීසිස් එක ලියවා ගත්තේ. වයිවා එකත් කොහොම කොහොම හරි ගොඩ දාගෙන තිබුණා. හැබැයි පොර දැන් මට මූණ දෙන්න එන්නේ නැහැ. මඟ හරිනවා. මොකද මිනිහා කරපු රිසර්ච් එක ගැන මං අහයි කියලා…”

මෙම සිද්ධි තුනම ප්‍රස්තූත කාරණයට අදාළ හැඩතල අනාවරණය කරයි. මෙම හැඩතල පිළිබඳව මෙරට උසස් අධ්‍යාපන බලධාරීන්ද, නිලධාරීන්ද, උසස් අධ්‍යාපන ආයතනවල ආචාර්ය, මහාචාර්යවරුන්ද නොදන්නවා නොවේ. අල්ලස, දූෂණය, සංස්ථාපිත වී තිබෙන සේම මෙයද අද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංස්ථාපිත තත්වයක් වී තිබේ. නිරීක්ෂණය කළ මෙබඳු එක් දැන්වීමක සඳහන් වූයේ කුළියට PhD නිබන්ධ ලිවීමේ රචකයින් ලෙස කටයුතු කරන්නේ මහාචාර්යවරුන් කණ්ඩායමක් බවයි. ඉදින් නඩුත්- බඩුත් හාමුදුරුවන්ගේ ය.

අ.පො.ස (සා/පෙළ) හා (උ/පෙළ) විභාග ලියන විට කොපිකර අසු වූ විට හෝ විභාග අපෙක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයෙතු විභාගයට ලියා අසුවූ විට හෝ එය බරපතළ විභාග වංචාවක් ලෙස සලකා විභාග දෙපාර්තමේන්තු බලධාරීන් විසින් ජීවිතාන්තය දක්වා ඔවුන්ට විභාගවලට පෙනී සිටීම තහනම් කළ පුවත් අසන්නට දකින්නට ලැබේ.

නමුත් ඩිප්ලෝමා, උපාධි සිට ආචාර්ය උපාධි දක්වා වන උසස් අධ්‍යාපන තලයේදී අදාළ අපේක්ෂකයා වෙනුවට වෙනත් පුද්ගලයෙතු පැවරුම්/ නිබන්ධ ලිවීම වංචාවක් නොව “නම්බුකාර වෘත්තියකි.”

ද්විතීයික අධ්‍යාපන තලයේදී එක් ශිෂ්‍යයකු සා /පෙළ විභාගයේදී කොපි කර අසු වී ජීවිතය කාලකන්නි කර ගනිද්දී, උසස් අධ්‍යාපන තලයේදී පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි කුළියට ලියවා ගෙන ඉදිරිපත් කොට අධ්‍යාපන ජයග්‍රහණ අත්පත් කරගන්නා අනෙක් ශිෂ්‍යයා සමාජයේ ද, වෘත්තීය ක්ෂේත්‍රයේ ද ඉහළින් පිදුම් ලබයි: සැලකුම් ලබයි.

ඉදින් මෙහෙම රටක අපි උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ ගැන – දැවැන්ත ජයග්‍රහණ ගැන පුරසාරම් දොඩමු. ආසියාවේ බුද්ධි කේන්ද්‍රය වන දිනය ගැන ඇඟිලි ගනිමු.

 

Thursday, April 1, 2021

මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම : වනාන්තරයකදී ගන්නා හුස්ම පොදක් පාසා අප ඔහුට ණය ගැති ය.

 

 



            2001 වසරේදී මෙරට වනාන්තර විෂයය පැත්තෙන් එක්තරා බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබිණ. එනම්, ඇමරිකා එක්සත් ජනපදය තමන්ට ලෝකයේ රටවල් ඇති ණය හිලව්වට ඒ රටවල ඇති වනාන්තර  ඇමරිකාවට පවරාගැනීමට අවශ්‍ය නීතියක් ඇමරිකාවෙහි සම්පාදනය කරගෙන ඇති බවයි. මෙය මෙරට පරිසර ක්ෂේත්‍රයේ බලවත් සංවාදයක් ඇති කරන්නට සමත් විය. මේ කාරණය නිමිති කරගෙන ''සිතිජය'' සඟරාවේ කවරයේ කතාව ලියන්නට අපි කටයුතු කළෙමු.

            මෙහිදී ලංකාවේ වනාන්තර සම්බන්ධව මීට පෙර උද්ගත වූ අනතුරුදායක තත්ත්ව ගැන තොරතුරු ලබාගැනීම පිණිස මම උද්භිද විද්‍යා මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම මහතා හමු වීමි. ඒ වන විටත් අවුරුදු 81ක් පමණ වයසැති මහාචාර්යතුමා තමන්ගේ විෂය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවට එකඟ වූයේ ඉතා කැමැත්තෙනි.

            අද මහාචාර්ය බී.ඒ. අබේවික්‍රම මහතා ජීවතුන් අතර නැත. එතුමා 2011 වසරේදී ජීවිතයෙන් නික්මිණ.

            අපේ රටේ වනාන්තර සම්බන්ධව කතා කිරීමේදී මේ විශිෂ්ට විද්වතා විසින් ඉටු කර ඇති සුවිශිෂ්ට භූමිකාව අප නැවත නැවත සිහිපත් කිරීම වටනේ යැයි සිතේ. මෙරට වැසි වනාන්තරයකදී අප ගන්නා හුස්ම පොදක් වෙනුවෙන් පවා අප ඔහුට ණය ගැති ය. මා එසේ කියන්නේ මක් නිසාදැයි මෙම ලිපිය කියවීමෙන් ඔබට වැටහෙනු ඇත.

 

 ''බී.ඒ.අබේවික්‍රම'' නම් ඔහු, ලංකාවේ සිටි කීර්තිමත් උද්භිද විද්‍යාඥයෙකි. ලාංකේය දේශය පිළිබඳ හෘද සාක්ෂ්‍යයක් සහිත අතලොස්සක් ලාංකේය විද්වතුන් අතර ප්‍රමුඛයෙකි; මෙරට සතු වටිනා බුද්ධිමය සම්පතකි. ඉකුත් දශක කිහිපය තිස්සේ ම උද්භිද විද්‍යා විෂයයට, උද්භිද විද්‍යාව හදාරන ශිෂ්‍යයින්ට ඔහුගෙන් ඉටු වූ මෙහෙවර ඛෙහෙවින් ම පුළුල් ය. එය විශ්ව විද්‍යාල ආචාර්යවරයකුගේ හුදු රාජකාරි සීමාවන් ඉක්ම වූ පුළුල් පරාසයක විහිදුණේ වෙයි. ලංකාවේ ශාක පිළිබඳ ව නාමාවලියක් සැකසීම ආරම්භ කළේ ඔහු ය. ඒ අනුව මුලින් ම සැකසුණේ ලංකාවේ සපුෂ්ප ශාකවල නාමාවලියයි. උද්භිද විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ක්ෂේත්‍රයේදී තමන්ට ම ශාක හඳුනාගත හැකි වන ලෙස ශාක කුලවලට වෙන් වෙන් වශයෙන් අත්පොත් සකස් කිරීම ආරම්භ කළේ ඔහු ය. ඊට අමතර ව, විෂයය සම්බන්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ බොහොමයක ඔහු සම්පත් දායකයෙකි. මේ ආදී වශයෙන් ඔහුගෙන් ඉටු වූ මෙහෙවර අගයනු පිණිස, කොස්ටමාන් නමැති විදේශීය උද්භිද විද්‍යාඥයා තමන්ට අලුතෙන් හමුවුණු ශාකයක් Abarema abeywickramae යනුවෙන් නම් කළේ ය.

උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරික තලයේ ද හසල අත්දැකීම් ඇති අබේවික්‍රම මහතා, උද්භිද විද්‍යාව සම්බන්ධ ජාත්‍යන්තර වැඩසටහන්වලදී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කළේ ය. ජාත්‍යන්තර ආයතනවල යෝජනා වශයෙන් මෙන් ම, ලංකාවේ අමණ දේශපාලකයින්ගේ යෝජනා වශයෙන් ද ක්‍රියාවට නංවන්නට සැරසුණු මෙරට පරිසරයට, වනාන්තරවලට මරු කැඳවන ව්‍යාපෘති රාශියකට විරුද්ධ ව කටයුතු කළේ ය. එනිසා නො වන්නට මෙරට වනාන්තරවල අවසන් කටයුතු සිදු වී බොහෝ කල් ය.

2001 වසරේ මහාචාර්ය අබේවික්‍රමයන් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේදී අප විමසූ පැනයන්ට ඔහුගෙන් ලද පිළිතුරු ඇසුරෙන් සැකසුණු මේ සටහන, ඔබ නො දැන සිටි අතීතයක් හෙළිදරව් කරනු ඇත. මෙම සාකච්ඡාව පළමු වරට ''සිතිජය'' මාසික සඟරාවේ - 2001 ජූලි කලාපයේ පළ විණි.

 

ලංකාව ජෛව විවිධත්වය අතින් ඉදිරියෙන් ම සිටින රටක්. ආසියානු කලාපයේ අනෙක් සියලු ම රටවලට වඩා වැඩි සත්ත්ව විශේෂ හා ශාක විශේෂ විවිධත්වයක් ලංකාවේ දකින්නට පුළුවන්. ලංකාවේ උද්භිද විද්‍යාත්මක ව තිඛෙන විවිධත්වය සංඛ්‍යාත්මක ව දක්වනවා නම්, මේ රටේ මිරිදිය ජලයේ ඇල්ගී වර්ග 890කට ආසන්න සංඛ්‍යාවක්, දිලීර 1920ක්, ලයිකන 110ක්, පාසි වර්ග 575ක්, අක්මා ශාක 190ක්, පර්ණාංග 314ක්, විවෘත බීජක 01ක් (මඩු ශාකය), ආවෘත බීජක 3100ක් ... ආදී වශයෙන්  තිඛෙනවා. මේ තොරතුරු කලකට ඉහත කෙරුණු පර්යේෂණවලින් සොයාගත් ඒවා. අද වන විට මේවායේ සුලු එහා මෙහා වීමක් තිඛෙන්නට පුළුවන්.

 

අතීතයේ ලංකාවේ තිබුණේ ධරණීය සංවර්ධනයක්

ඇත්තට ම අපේ රටේ තිබුණු පැරණි සමාජ සැකැස්ම නිසා තමයි මේ ජෛව විවිධත්වය, වනාන්තර මේ තාක් දුරට ආරක්ෂා වුණේ. ජනතාව මේවා ප්‍රයෝජනයට නො ගෙන සිටියේ නැහැ. ඔවුන් තමන්ගේ එදිනෙදා වුවමනා එපාකම්වලට ඒවා ප්‍රයෝජනයට ගත්තා. නමුත් විනාශ කළේ නැහැ. තමන්ට අවශ්‍ය දේ පමණක් අරගත්තා. අනෙක්වා පරෙස්සමින් රැක බලා ගත්තා.

''වන සංරක්ෂණය'' කියන සංකල්පය රජ කාලේ පටන් ම අපේ රටේ පැවතුණා. වනාන්තර ආරක්ෂා කිරීම රජවරුන්ගේ ප්‍රධාන වගකීමක් වුණා. මහනුවර උඩවත්ත කැළෑව වැනි රාජසන්තක කැළෑ තිබුණා. ඒවාට කිසි ම කෙනෙකුට ඇතුළු වෙන්න පවා තහනම්. තව කැළෑ කොටසක් තිබුණා, වැසියන්ට ඒවා තුළට යන්න පුළුවන්, අවශ්‍ය දර ආදිය අහුලාගෙන ඒමට. නමුත් ගස් කපන්න, ඒවාට හානි කරන්න තහනම්.

අතීතයේ වනාන්තර එළි කිරීම වුනත්, ඒ කියන්නෙ හේන් ගොවිතැන සඳහා වනාන්තර එළි කිරීම කළේ එක්තරා පිළිවෙළකට. අතීතයේ හැම කුඹුරු යායකට ම යාබද ව පුංචි කැළෑවක් තිබුණා. හේන් වගාව කළේ ඒ කැළෑවෙ. නමුත් හේන් වගාව සඳහා එළි කරන්න අවසර තිබුනෙ කැළෑවෙ මුළු භූමි ප්‍රමාණයෙන් 10%කට නො වැඩි ප්‍රමාණයක් දක්වා විතරයි. එළිකරන කොටසෙ අවුරුදු 5ක් පමණ වගා කළාට පස්සේ නැවතත් එහි කැළෑව වැවෙන්නට ඉඩ හරිනවා. මේ ක්‍රමය නිසා පාංශු ඛාදනයක් සිදු නො වුණු තරම්. ඒ වගේ ම, වනාන්තරත් ආරක්ෂා වුණා. අතීතයේ හේන් වගාව කෙරුණේ එහෙමයි.

අද බටහිර විශේෂඥයො අලුත් දෙයක් වගේ හඳුන්වා දෙන ''ධරණීය සංවර්ධනය'' තමයි අවුරුදු දෙදහස් ගණනක් තිස්සෙ ලංකාවෙ තිබුණෙ. ධරණීය ආකාරයට කටයුතු කෙරුණු නිසයි අපේ රටේ ජෛව සම්පත් ආරක්ෂා වුණේ. නමුත් දැන් ඔය කෙටි කාලීන ව ''ධරණීය'' කියල කරන බොහොමයක් දේවල් අසාර්ථකයි.

 

යටත් විජිත පාලනය ලංකාවේ වන විනාශයට ප්‍රධානතම හේතුවයි

ජනගහණය වැඩිවීමත් පරිසර විනාශයට බලපෑ එක කාරණයක්. ඊට වඩා අපේ රටේ පරිසර විනාශයට, වන සංහාරයට ප්‍රධාන වශයෙන් ම හේතු වුණේ යටත් විජිත පාලනයන්. ලංකාවේ වනාන්තර කපන්න පටන් ගත්තේ පෘතුගීසි යුගයෙදි. පෘතුගීසි පාලකයො ලංකාව තුළ ඔවුන්ගේ ප්‍රයෝජනයට සහ පිටරට යැවීමට අපේ රටේ වනාන්තරවල තිබුණු වටිනා දැව වර්ග කපන්නට පටන් ගත්තා. ලන්දේසීනුත් ඒ ක්‍රමය ම අනුගමනය කළා. කළුමැදිරිය කියන ශාකය ලංකාවේ බහුල ව තිබුණු ශාකයක්. ඒ ශාකය ලන්දේසීන්ගේ ගෘහභාණ්ඩ තැනීම සඳහා විශාල වශයෙන් භාවිත කෙරුණා. මේ නිසා අද වන විට අපේ රටේ කළුමැදිරිය ඉතා දුර්ලභ ශාකයක්. බ්‍රිතාන්‍ය යුගයේදීත් මේ වන සංහාරය විශාල වශයෙන් සිදු කෙරුණා. ඒ වන සංහාරයේ තරම කොච්චර ද කියනවා නම්, මෙහෙ බ්රිතාන්‍ය පාලකයින්ට ම බයක් ඇති වුණා, ඒ විදියට වනාන්තර කැපුවොත් රටේ අවශ්‍යතාවන්ට, ඒ කියන්නේ කෝච්චි දුවවන්නවත් දර හොයා ගන්න බැරිවේවි කියලා.

මේ නිසා තමයි බ්රිතාන්‍ය පාලකයො, 1880 ගණන්වල අපේ රටේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියල එකක් පටන් ගත්තෙ. ඒක පටන් ගත්තේ රජයට අවශ්‍ය දැව සහ දර ලබාගන්න. ඒ කාලෙ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරයක් කීවා ම ඒකෙ ගහකොළ ආරක්ෂා කිරීමක් නැහැ. ආණ්ඩුවේ අවශ්‍යතාවලට අනුව, සමහරවිට සම්පූර්ණයෙන් ම වනාන්තර කපා දමනවා. නැත්නම් මේරූ ගස් විතරක් කපනවා. කොහොම වුනත් වනාන්තර පවත්වා ගත්තේ දැව සහ දර අවශ්‍යතා සපුරා ගන්න විතරයි. 1948න් පස්සෙත් 1960 ගණන් වන තුරුත් අපේ රටේ වනාන්තර පවත්වා ගත්තේ මේ අවශ්‍යතා දෙක සපුරා ගන්න විතරයි.

 

පස වෙනස් වීම නිසා කුඩා පැළෑටි වඳ වුණා.

මම පර්යේෂණ කටයුතු සඳහා මුලින් ම වනාන්තරවලට ගියේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන්. ඊට පස්සෙ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන්. ඒ දවස්වල විශ්ව විද්‍යාලවල උද්භිද විද්‍යාව හදාරන ශිෂ්‍යයින් අවුරුද්දකට වතාවක් වනාන්තරවලට ගෙනියනවා. මේ විදියට ගාල්ලෙ කන්නෙලිය වනාන්තරයට ගියාම මට දැනුණු දෙයක් තමයි, මුල් වතාවල දකින්නට ලැබුණු පැළෑටි වර්ග පසුව යන වතාවලදි දකින්නට නැති එක. මේ තත්ත්වය පිළිබඳ ව සොයා බැලූවා ම ඒකට හේතුව හෙළිවුණා. වනාන්තරේ මැද විශාල ගස් කපලා, ඒ දැව කඳන් බිම දිගේ ඇදගෙන ඒම නිසා හැදුණු පාරවල්වල පස තද වෙලා, පස වෙනස් වෙලා ඒ පුංචි පැළෑටි වඳ වෙන්න පටන් අරන්.

 

1960 දශකයේ අන්තර් ජාතික මට්ටමින් ලෝකය පුරා ම පර්යේෂණ වැඩසටහනක් ආරම්භ වුණා. ඒකෙ ලංකාවේ නියෝජිතයා වශයෙන් මාව පත් කෙරුණා. ඉන් අවුරුදු කිහිපයකට පසු අපි කිහිපදෙනෙක් එකතු වෙලා වෙන ම කමිටුවක් පිහිටුවා ගත්තා. එතැනදි මං යෝජනාවක් කළා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, අපේ රටේ වනාන්තරවල ගස් කපල ඉවත් කරද්දි වනාන්තරවල මැදින් පළමුවෙන් ම ගස් ඉවත් කරන්න පටන් ගන්න එපා කියලා, කිසියම් දුරකට හෝ කුඩා පැළෑටි ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ කාලෙ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා මේ යෝජනාව පිළිගත්තා.

 

ඒ දවස්වල වනාන්තර තිස් ගණනක් විතර තෝරාගෙන සීමා ලකුණු කරල බෝඩ් ලෑලි දැමුවා, 'අන්තර් ජාතික රක්ෂිත වනාන්තර' කියල නම් කරලා. මේ 'අන්තර් ජාතික' කියන වචනෙ නිසා මිනිස්සු මේවා ගැන සැලකිල්ලක් දැක්වුවා. ඒවට අත තියන්න ගියේ නැහැ. ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණයට මේ මගින් ලොකු වාසියක් වුණා.

 

සිංහරාජය කපන්නට පිඹුරුපත් සැකසේ

60 දශකය අග භාගයේ සිංහරාජ වනාන්තරයේ ගස්, දැව සඳහා කපන්න යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ දැව යොදාගෙන තුනී ලෑලි සහ දැව කර්මාන්තය කිරීමයි සැලසුම වුණේ. මේ සඳහා අවිස්සාවේල්ලේ, කොස්ගම විශාල කර්මාන්ත ශාලාවක් පවා ඉදි කෙරුණා. මේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර තිබුණේ එවකට තුනී ලෑලි සංස්ථාවෙ සභාපති ඩබ්ලිව්.ජී. වීරරත්න මහත්තය. මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තෙ 1967. මේ වගේ එක කර්මාන්ත ශාලාවකට පමණක් නෙවෙයි, තවත් විශාල එකකට වුණත් පාවිච්චි කරන්න තරම් දැව ලංකාවෙ තියෙනව කියල ඔහු කියා තිබුණා. ඒ කාලේ තිබුණෙ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවෙ කර්මාන්ත ඇමති වෙලා හිටියෙ පිලිප් ගුණවර්ධන මහත්තයා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළොත් තමන්ගෙ අවිස්සාවේල්ල ආසනේ මිනිස්සුන්ට රැකියා ලබා දෙන්න පුළුවන් වෙන නිසා, පිලිප් ගුණවර්ධන මහත්තයා මේ ව්‍යාපෘතියට බොහොම කැමති වුණා. කොස්ගම කැලණි ගඟට සැතපුම් තුනක් පමණ ආසන්නයේ තිඛෙන නිසා, කිතුල්ගලින් කපන දැව කැලණි ගඟ දිගේ ගෙනැවිත් ඇල මාර්ගයක් කපා ඒ දිගේ කර්මාන්ත ශාලාව වෙත ගෙන එන්නට යෝජනා වී තිබුණා. මේ වගේ හේතු මහ ගොඩක් ඉදිරිපත් කර මේ කම්හල සඳහා ඉතා ම සුදුසු කොස්ගම කියල තෝරාගෙන තිබුණා. ඒ විවිධ වාසි ගැන හිතල පිලිප් ගුණවර්ධන මහත්තයා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

 

වැරදි ඇස්තමේන්තු වැරදි තීරණ

අපි කිහිප දෙනෙක් පෞද්ගලිකවත් ආයතනික වශයෙනුත් මේ ව්‍යාපෘතියට විරෝධය පළ කළා. සිංහරාජය කැපුවොත් පස සෝදා පාලු වෙනවා, ගංගාවලට ලැබෙන ජල ප්‍රමාණය අඩු වෙනවා, ඉතිං මේක ක්‍රියාත්මක කළොත් පරිසරයට මොන වගේ බලපෑමක් වේවි ද කියල අධ්‍යයනය නො කර මේක ක්‍රියාත්මක කරන එක සුදුසු නැහැ කියල අපි කිවුවා.

කොස්ගම කර්මාන්ත ශාලාව ඉදිකර අවසන් වුණේ 1972 දි. ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළිලා බලයේ හිටියේ සමගි පෙරමුණ. අපි මේ ව්‍යාපෘතිය ගැන කළ බලපෑම් නිසා සමගි පෙරමුණු ආණ්ඩුව තීරණයක් ගත්තා, මේ ගැන සොයා බලන්න කමිටුවක් පත් කරන්න.

මේ කමිටුවේදී අපි වීරරත්න මහත්තයාගෙන් ඇසුවා, දැව විශාල ප්‍රමාණයක් තිඛෙන බව ඔබ කියන්නේ මොන සාධක මත ද කියලා. ඔහු කිවුවා, කැනේඩියානු පිරිසක් විසින් 1951-56 කාලෙ ලංකාවෙ සිදු කළ අධ්‍යයනයක වාර්තාවට අනුව කියලා. නමුත් ඒ වාර්තාවෙ තිබුණේ ලංකාවෙන් අවුරුද්දකට ගන්න පුළුවන් දැව ප්‍රමාණය මෙපමණයි, එයින් භාගයක් විතර ප්‍රමාණයක් ගස් මැදින් දිරල මේ නිසා ප්‍රයෝජනයට ගන්න  පුළුවන් සම්පූර්ණ දැව ප්‍රමාණයෙන් භාගයක් විතරයි කියල.

ඊළඟට අපි කිවුවා, තුනී ලෑලි සඳහා පාවිච්චි කරන දැව කඳන් නියමිත විශ්කම්භයක් සහිත ඒවා විය යුතුයි, ඊට වඩා අඩු දැව කඳන් පාවිච්චි කරන්නත් බැහැ, අනිත් එක මේ සඳහා වියළි කලාපීය වනාන්තරවල ගස් යොදා ගන්නත් බැහැ, මොකද ඒවා ගොඩක් ශක්තිමත්, ඒ නිසා පහසුවෙන් කපන්න පුළුවන් තෙත් කලාපීය වනාන්තරවල ගස් විතරයි යොදා ගන්න වෙන්නේ කියලා.

ඉතිං මේ විදියට බලාගෙන යනකොට ඔය තුනී ලෑලි කර්මාන්තයට භාවිත කළ හැකි මට්ටමේ තියෙන්නේ ඉතා ම සුලු දැව ප්‍රමාණයක් කියල අපි පෙන්වා දුන්නා. අන්තිමේ වීරරත්න මහත්තයා පිළිගත්තා, ඔහු ඒ කැනේඩියානු වාර්තාව හරියට කියවල තේරුම් ගන්නේවත් නැතිවයි මේ ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන්නේ කියල.

ඊළඟට අපි මේ ගැන තිබුණු ඇස්තමේන්තු පරීක්ෂා කළා. ඒවයේ කියල තිබුණෙ සිංහරාජයේ අක්කරයකින් දැව ඝන අඩි 1500-1800ක් ගන්න පුළුවන් කියලා. මං කිවුවා, ඝන අඩි 1500-1800ක් නෙවෙයි, එයින් 1/3ක් විතරයි ගන්න පුළුවන් කියල. අවසානයේ කපල බලනකොට අපි කියපු ප්‍රමාණය තමයි ලැබුණෙ.

මේ කමිටුවෙ වාර්තාව අපි අගමැතිතුමියට ඉදිරිපත් කළා. ඒක පරීක්ෂා කරල ඇය ඇසුවා, ආණ්ඩුවට පාඩුවක් විඳගෙන හරි මේ ෆැක්ටරියයි ඒකෙ යන්ත්‍ර සූත්‍රයි වෙන කාට හරි විකුණා දාන්න පුළුවන් ද කියලා. ඒ වන විට මේ කම්හල වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කොට තිබුණා. ඒ සඳහා ලැබුණු ණයත් පොළියත් ගෙවන්න සිදු වී තිබුණා. එතකොට ඩොරික් ද සූසා මහත්තයා කිවුවා, 'නෑ මැඩම් කවුරුවත් ඕක ගන්නේ නෑ' කියලා. ඒ නිසා සිංහරාජය සම්පූර්ණයෙන් ම කපා දමන්නේ නැති ව, එයින් අක්කර 5000ක් පමණක්  අවුරුදු 5ක් තිස්සේ කපමින් කම්හලේ වැඩ කරගෙන යන්න තීරණය වුණා. ඒ අතරෙ ම, රබර් දැව යොදාගන්නත් යෝජනා වුණා. මේක 1973-1978 දක්වා ක්‍රියාත්මක වුණා. නමුත් අපි කීව ප්‍රමාණයට වඩා තරමක් වැඩියෙන් සිංහරාජයෙ දැව කපා තිබුණා. 1978 වෙද්දි රජය නැවතත් වෙනස් වෙලා. එතකොට ජයවර්ධන මහත්තයාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබුණෙ. රජය මාරුවෙලා තිබුනත් සිංහරාජය කපන එක දිගට ම කෙරීගෙන ගියා. නමුත් මේක නැවැත්වීමේ අවශ්‍යතාව අපට තිබුණා. ඒ දවස්වල හිටපු නෙළුවේ ගුණානන්ද හාමුදුරුවන් මාර්ගයෙන් ඔහුට දක්වපු කරුණු දැක්වීමකදි, ෙජ්.ආර්. ජයවර්ධන ජනාධිපති කැමති වුණා මේ ව්‍යාපෘතිය නවතා දමන්න.

 

ලංකාවේ වනාන්තරවලට ලෝක බැංකු - ෆින්ලන්ත හෙනහුරෙක්

1981 දි ලංකාවට ෆින්ලන්තයෙන් පර්යේෂකයින් පිරිසක් ඇවිත් අවුරුදු 4-5ක කාලයක් අධ්‍යයනයක් කළා, ලංකාවෙ වනාන්තරවල කොපමණ දැව තිඛෙනව ද කියල. ඒ අධ්‍යයනයේ වාර්තාව Forestery Master Plan of Sri Lanka කියල 1986 දි ඉදිරිපත් කළා. ඒ වාර්තාවෙ ඔවුන් කිවුවා, ලංකාවේ භූමියෙන් 30%ක් වනාන්තර තිඛෙනව, ඒවයින් විශාල ප්‍රමාණයක් දැව වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ දැවවලින් කර්මාන්ත ඇති කරල මුදල් උපයන්න ව්‍යාපෘතියක් යෝජනා කර තිබුණා. මේ සඳහා ආධාර කෙරුණේ ලෝක බැංකුවෙන් සහ ෆින්ලන්තයේ ෆිනීඩා ආයතනයෙන්.

මේ ව්‍යාපෘති වාර්තාව ලංකාවේ විද්‍යාඥයින්ටවත්, මහජනයාටවත් ඉදිරිපත් කරන්නේ නැති ව, මුලින් ම රජයේ ස්ථීර ලේකම්වරුන්ගේ කමිටුවකදි සම්මත කර තිබුණා. පිටු 150ක විතර මේ රහසිගත වාර්තාව මට කියවන්න ලැබුණා. මං ඒක තුන් වතාවක් ම කියෙවුවා. මගේ හිතට විශාල කම්පනයක් දැනුණා. ඒ වාර්තාවෙ යෝජනා කර තිබුණේ අපේ රටේ වනාන්තර සියල්ල ම කපා දමන්න කියලා. මං වහා ම මේ ගැන මධ්‍යම පරිසර අධිකාරියටයි, විද්‍යා සභාවටයි දැන්වුවා, මේක නිසා පරිසරයට වන හානි සොයා බලන්නේ නැති ව මේක ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඊට පස්සේ අපි මේ ගැන සාකච්ඡා කරන්න රැස්වීමක් කැඳවුවා. අපි කළ ආරාධනයට අනුව මේ ව්‍යාපෘතියට මූලික වූ ෆින්ලන්ත සමාගමේ ප්‍රධානියත් මේ රැස්වීමට ආවා. රැස්වීම අවසානයේ ඔහු කිවුවා, මේක අවසාන වාර්තාව නෙවෙයි, තව සංශෝධන කරන්න තියෙනවා, මේ රැස්වීමේ මතු වූ අදහස් අනුව කල්පනා කරල ඒ සංශෝධන කරනව කියල.

ඒ අය ඊළඟට දෙවැනි වාර්තාවක් සකස් කළා. ඒත් පළමුවැනි එකෙත් මේකෙත් වැඩි වෙනසක් තිබුණෙ නැහැ. නමුත් ඒකෙ අවසානයෙ සඳහන් කර තිබුණා, මේ ව්‍යාපෘති යෝජනාවලට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැමති නැහැ, මෙසේ විරෝධතා මැද කටයුතු කරන්නට සිදුවන නිසා තමන්ගේ යෝජනා සම්පූර්ණයෙන් ම සාර්ථක වේවි ද කියන්න බැහැ, මේ නිසා අපේක්ෂා කරන ලාභය 25%ක් වුණත් එය 4% දක්වා අඩු වෙන්න පුළුවන්, නමුත් මෙමගින් ලැඛෙන ලාභය 4%ක් බව සඳහන් කළා ම මේ ව්‍යාපෘතියට ආධාර දෙන්න අපේක්ෂාවෙන් සිටින ආයතන ආධාර දෙන්න කැමති වෙන්නෙ නැහැ කියල.

ඊට පස්සේ ඒ දෙවැනි වාර්තාවත් සංශෝධනය කර, තුන්වැනි වාර්තාවක් සකස් කළා. මේක 1987 නොවැම්බර්වල කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගන්න ඉදිරිපත් කර තිබුණා. එතකොට අගමැති ප්‍රේමදාස මහත්තයා ඔහුගෙ ලේකම්ට කියා තිබුණා, මේ වාර්තාව ගැන මගේ අදහස් මොනවද කියල දැනගෙන තමන්ට දන්වන්න කියල. ඔවුන් කිවුවෙ එක වාර්තාවයි තිබෙන්නේ කියල. මං කිවුව මේ සම්බන්ධ ව වාර්තා තුනක් ඉදිරිපත් කර තිඛෙනවා, මේ වෙන කොට ඒ වාර්තා තුනේ ම පිටපත් මා ළඟ තිබෙනව, ඒ වාර්තාවල අඩංගු කරුණු බොහොමයක් වැරදියි, ඔවුන් කියන තරම් 30%ක වනාන්තර ප්‍රමාණයක් ලංකාවේ ඇත්තෙත් නැහැ, 24%ක විතර ප්‍රමාණයක් තිබෙන්නේ කියල.

කැබිනට් එකේ මේ වාර්තාව ගැන සාකච්ඡා කිරීම අවුරුදු කිහිපයක් යටපත් වී තිබුණා. නමුත් 1989 විතර ආණ්ඩුව විසුරුවා හරින්න ටික දවසකට කලින් නැවතත් මේ වාර්තාව ගැන කැබිනට් එකේ සාකච්ඡා කර තිබුණා. එක ඇමතිවරයෙක් මෙතැනදි කියල තිබුණා, 'ඉස්සර මේ ව්‍යාපෘතියට විරුද්ධ වුණු හැමෝම දැන් මේ යෝජනාවලට එකඟයි. අර මහාචාර්ය අබේවික්‍රම විතරයි මේකට තවමත් විරුද්ධ වෙන්නෙ. එයා කියන දේවල්වල ගණන් ගන්න තරම් දෙයක් නැහැ. එයා කියන තරම් අනතුරක් මේකෙ නැහැ. ඒ නිසා කැබිනට් අනුමැතියෙන් වහා ම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න පටන් ගනිමු' කියල.

නමුත් නැවතත් මගෙන් මේ ගැන අදහස් විමසුවා. මං මේ ව්‍යාපෘතියට විරුද්ධ වෙන්නට හේතු එක්  එක් කාරණා යටතේ පැහැදිලි ව සඳහන් කළා. අන්තිමේ කොහොම හරි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ නැහැ.

ඊට ටික කාලෙකට පස්සේ මේ ව්‍යාපෘතියට ආධාර දෙන ලෝක බැංකුව, මේ ව්‍යාපෘතිය ගැන නැවතත් සොයා බලන්න පටන් ගත්තා. ඒ දවස්වල 'වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ' සභාපතිතුමා මට කිවුවා, මේ ව්‍යාපෘතියට විරුද්ධ ව නැවතත් කරුණු දක්වන්න,  නැත්නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න නැවතත් පටන් ගනීවි කියලා.

මම පැය කිහිපයක් තිස්සේ කරුණු ඉදිරිපත් කළා, ලෝක බැංකුවෙ නියෝජිතයින්ට, මේ ව්‍යාපෘති වාර්තාවෙ කියන කාරණා වැරදියි, මේව ක්‍රියාත්මක කළොත් අපේ රටේ පරිසරයට විශාල හානියක් වෙනවා කියල.

ලෝක බැංකු නියෝජිතයො කිවුවා, ලංකාවෙ වනාන්තරවල දැව කොපමණ තිඛෙනව ද කියන එක ගැන නැවත සොයා බලල මේ පිළිබඳව ඔවුන්ගේ තීරණය අවුරුද්දකින් දැනුම් දෙන්නම් කියල. මාස හයකට විතර පස්සෙ ඔවුන් අපට දන්වා එවුවා ඔවුන්ට අප දැක්වූ කාරණා ඇත්ත, ඒ වාර්තාවල සඳහන් කර තිබුණු දැව ප්‍රමාණයෙන් 40%ක් වගේ ප්‍රමාණයක් තමයි ලංකාවෙ වනාන්තරවල තිඛෙන්නෙ කියල. අන්තිමේ ඒ ව්‍යාපෘතියට අනුව ලංකාවේ කැළෑ කපන යෝජනා නැවතුණා. ඊට පස්සේ රජය තීරණය කළා, ලංකාවේ තෙත් කලාපීය වනාන්තරවල දැව කැපීම සම්පූර්ණයෙන් ම නවත්වන්න. ඒ වුණාට තවමත් වනාන්තරවල දැව කැපීම නො නවත්වා ම අනවසරයෙන් සිදු කෙරෙනව. දවස ගානෙ දැව මඩුවලට දැව ප්‍රවාහනය කෙරෙනවා. ලංකාවේ මේ වන විට වනාන්තර තිබෙන්නේ 20%කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මේ දැව කපන විදියට මේ වනාන්තර ප්‍රමාණය තව කොපමණ කාලයක් තිබේවි ද කියන්න බැහැ.

 

ජෛව සම්පත් කොල්ලය නවත්වන්න ලෙහෙසි නැහැ.

ලෝකය පුරා ම දැන් ජෛව සම්පත් කොල්ලයක් ක්‍රියාත්මක වෙනවා. මේක බහුජාතික සමාගම්වල වැඩපිළිවෙළක්. ඔවුන් අපේ රටවල ජාන සම්පත් හොරෙන් අරන් යනවා. මට නම් හිතෙන්නේ මේක නවත්වන්න හුඟක් අසීරුයි කියලයි. මොකද පවතින තත්ත්වයන් තුළ ඕව හොරෙන් ගෙනියන එක පහසුවෙන් ම කරන්න පුළුවන් වී තිඛෙනවා. විදේශ විනිමය ලබාගන්න කියල මේ වෙනකොට විශාල වශයෙන් ලංකාවෙ පැළ අපනයනය කරනවා. මේවා අතරෙ හොරෙන් මොන මොන පැළෑටි යනව ද කියල කවුරුවත් දන්නේ නැහැ. මල් ඇට වගේ ඒව සාක්කුවක දාගෙන වුනත් කාටවත් නො පෙනෙන්න රැගෙන යන්න පුළුවන්. මේ විදියට ලංකාවේ පැළෑටි ගෙනිහින් හොනලුලූවල විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. රේගුවෙන් උත්සාහ කරනව බොහෝවිට මේවා නවත්වන්න. නමුත් නීතිමය වශයෙන් වුනත් මේක නවත්වන්න ලෙහෙසි නැහැ.

දැන් බලන්න මේ රටේ වනාන්තරවලින් ගත් වනජ ද්‍රව්‍යයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නීත්‍යනුකූල අවසරයකින් තොර ව විදේශගත කරන්න බැහැ. නමුත් මේ වනවිට අපේ රටේ එක උසස් අධ්‍යාපන ආයතනයක් විසින් ලංකාවේ වනාන්තරවල තිබෙන පැළෑටි ගණනාවක නිස්සාරක රට යවා තිබෙනවා, කාගෙවත් අවසරයක් නැති ව.

 

බහුජාතික සමාගම් ලෝකය ම පාලනය කරන මාෆියාවක්

ජාන වෙනස් කළ ආහාර ගැන ලෝකය පුරා ම ආන්දෝලනයක් ඇති වී තිඛෙනවා. මේ දවස්වල අපේ රටෙත් මේ ගැන කතා බහ කෙරෙනව. කවුරුවත් තව ම හරියට ම දන්නේ නැහැ, මේ ජාන වෙනස් කළ ආහාර නිසා මිනිසාට මොන වගේ බලපෑම් ඇති වෙනව ද කියල. අවුරුද්දක් හෝ දෙකක් බැලුවයි කියල, මේවා මගින් හානියක් වෙන්නේ නැහැයි කියල නිගමනය කරන්න බැහැ.

1940 ගණන්වල විතර 'දුම්බීම ඇඟට ගුණයි' කියනව මිස, ඒකෙන් හානි වෙනව කියල කිව්වේ නැහැ. 'දුම්බීම අහිතකරයි' කියල ඉදිරිපත් වුණු මත දුම්කොළ සමාගම් විසින් යටපත් කර දැමුවා. මේ සමාගම් විශ්ව විද්‍යාලවල පර්යේෂකයින්ට මුදල් දීල 'පර්යේෂණ ' කෙරෙවුවා, දුම්බීමෙන් හානියක් නැහැ, ගුණයි කියල පෙන්වන්න. ඊට පස්සේ ඒව විශ්ව විද්‍යාල සඟරාවල, විද්‍යා සඟරාවල පළ කෙරෙව්වා. මේවා සඳහා මුදල් ලබා දුන්නෙ දුම්කොළ සමාගම්.

දැන්වනවිට ජෛව තාක්ෂණයත්, තොරතුරු තාක්ෂණයත් හැම රටකට ම බැරෑරුම් ප්‍රශ්න ඇති කරමින්  තිබෙනවා. මේ සියල්ල ම තිබෙන්නේ බහුජාතික සමාගම් සතු ව. පර්යේෂණ කරන්නේ, භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ ඔවුන්. ලෝකෙ පුරා ම ජනමාධ්‍ය පාලනය කරන්නේ ඔවුන්. භාණ්ඩ ගැන වුනත් දේශපාලන වශයෙන් වුනත් ඔවුන් කියන දේවල් තමයි ලෝකයට ඇත්ත විදියට යන්නේ. මේ සමාගම් අද ලෝකය පුරා ම පැතිරුණු, ලෝකය ම පාලනය කරන මාෆියාවක්. 

 

Friday, March 26, 2021

එච්.එස්. සුබසිංහ : විදුලිය බෙදාහැරීමේ ගුණත්වයේ සුලකුණක් තැබූ සරල ඉංජිනේරුවා

මා 23 වසරක් තිස්සේ සේවය කරන ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ (LECO) නිර්මාතෘවරයා වූ ඉංජිනේරු එච්.එස්. සුබසිංහ මහතා පසුගිය පෙබරවාරි මස 24 වන දා අභාවප්‍රාප්ත විය. ඒ වන විට ඔහු 98 හැවිරිදි විය. මෙරට සුප්‍රකට විදුලි ඉංජිනේරුවරයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා විසින් එච්.එස්. සුබසිංහ මහතා පිළිබඳව ලියන ලද කෙටි හා අපූරු ලිපියක් 2021.03.21 දින Sunday Times පුවත්පතේ පළ වී තිබිණ. මා එය කියවූ මොහොතේම එහි අන්තර්ගතයේ සුවිශේෂී වැදගත්කම සලකා එය සිංහලට පරිවර්තනය කොට ඔබ සමග බෙදා ගන්නට මට සිතිණ. මේ එම ලිපියේ පරිවර්තනයයි.


එච්.එස්. සුබසිංහ: විදුලිය බෙදාහැරීමේ ගුණත්වයේ සුලකුණක් තැබූ සරල ඉංජිනේරුවා

ඉහළ කාර්යශූරත්වයකින් යුතු වෘත්තිකයකු වූ, සියල්ල අභිබවා යන ඉස්තරම් ආයතනයක් තනන්නා වූ, ඉංජිනේරු එච්.එස්.සුබසිංහ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1983 වර්ෂයේදී තෝරාගනු ලැබුවේ ඒ කාලයේ ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් විසඳා ගැනීමටය. ඒ ප්‍රශ්නය වූයේ එවකට නගර සභා හා පළාත් පාලන ආයතන විසින් කළමනාකරණය කරමින් තිබූ විදුලිය බෙදාහැරීමේ ජාලයන්හි පැවති දුර්වල තත්ත්වයයි. බොහෝ නගර තුළ, නව නිවසකට විදුලි සම්බන්ධතාවක් ලබාගැනීමට නොහැකි විණි. ඊට හේතුව, විදුලිය බෙදා හැරීමේ රැහැන් මගින් ප්‍රමාණය ඉක්මවා විදුලි සම්බන්ධතා ලබා දී තිබීමයි. අඩු ආයෝජන සහ දුර්වල මූල්‍ය කළමනාකරණය යටතේ වසර ගණනාවක් නොසලකා හැර තිබූ තත්ත්වය තුළ මෙම විදුලිය බෙදා හැරීමේ ජාල නිශ්ඵල වී තිබුණි. තාක්ෂණික වශයෙන්, නාගරික වැසියන්ට විදුලිය තිබූ නමුත්, ප්‍රායෝගික වශයෙන් ගත් විට විදුලිය ඇති නැති තරම් විය. එසේම, විදුලි බිඳ වැටීම්ද බහුලව සිදු වූ බව පැරැන්නන්ට සිහියට නඟා ගත හැකිය.

රජය සතු ඉතා හොඳ සමාගමක් ආරම්භ කිරීම, ගරා වැටුණු විදුලි රැහැන් පද්ධති පවරා ගැනීම, නව රැහැන් පද්ධති නිර්මාණය කිරීම, නිර්භය ආයෝජන, පැරණි රැහැන් පද්ධති බිමට ඇද දැමීම, නව රැහැන් පද්ධති තැනීම, සමකාලීන යුගයේ නවීන තාක්ෂණය තුළට පිම්මක් පැනීම පහසු කාර්යයන් නොවීය. අතලොස්සක් වූ කණ්ඩායමට සක්‍රීය නායකත්වයක් ලබා දෙමින් ඉංජිනේරු සුබසිංහ ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (LECO) නිර්මාණය කළේය. LECO රජයට අයත් තවත් දෙයක් වීමට ඉඩ නොතැබූ ඔහුට සියලු දේටම නැවුම් ප්‍රවේශයන් තිබිණි. රැහැන් මාර්ග තනන්නේ කෙසේද, විදුලි කණුවේ ගුණාත්මය, කාර්යක්ෂම පාරිභෝගික සේවය සහ එවෙලේම පාරිභෝගිකයාට විදුලි බිල්පතක් නිකුත් කිරීම ඊට උදාහරණ කිහිපයකි. ''රාජ්‍ය අංශයේ ස්ථාවරත්වය - පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාව'' LECO වෙනුවෙන් ඔහුගේ ඉලක්කය වූ අතර, ඔහු එය අත්පත් කරගත්තේය.

LECO සඳහා ඉතා උසස් කණු යොදා ගැනීමට ඔහුට වුවමනා වූ විට ඊට සහයෝගයක් නොලැබෙද්දී ඔහු වාද කළේ, ''අපේ විදුලි කණුවල වාරු කණු ඔවුන්ගේ ගෙමිදුල් තුළ පිහිටුවමින් නාගරික වැසියන්ගේ අනර්ඝ ගෙවතු අවකාශ අප අත්පත් කරගත යුත්තේ ඇයි?'' කියමිනි. නාගරික රැහැන් මාර්ග සඳහා පරිවරණය කළ විදුලි කම්බි භාවිත කරන විට එය බොහෝ විවේචනයන්ට ලක් විය. නමුත් ඔහු කීවේ, ''අපට පරිවරණය කළ විදුලි කම්බි භාවිත කිරීමේ විකල්පය තිබෙන විට, ගෙවතුවල තිබෙන කෙසෙල් ගස්, අඹ ගස් අප විනාශ කළ යුත්තේ ඇයි'' කියාය. 1990 ගණන්වලදී, LECO ඒ වන විටත් කලාපය තුළ සියලුම විදුලිය බෙදා හරින ආයතනවලට උදාහරණයක් වී තිබිණ. දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවල්වලට තවමත් LECO 1990 ගණන්වලදී සැලසූ තරම් ගුණාත්මක සේවයක් සැලසීමේ මට්ටමට ළඟාවීමට හැකි වී නැත.

''අන්තර්ගත කළමනාකරණයේ'' ඔහුගේම ශෛලිය භාවිත කරමින් ඔහු LECO සඳහා අඛණ්ඩව 16 වසරක් නායකත්වය දුන්නේ බොහෝ ආණ්ඩු, ජනාධිපතිවරුන් හා ඇමතිවරුන් හරහාය. ඒ සියලු දෙනාටම ඔහු දැනුණේ එහි මිලියන භාගයක තෘප්තිමත් පාරිභෝගිකයින්ට ලබාදෙන සේවාව තුළ අඛණ්ඩව LECO වෙත නායකත්වය ලබා දීමට හොඳම සුදුස්සා වශයෙනි. ''මම සරල ඉංජිනේරුවෙක්, මගේ රැකියා ජීවිතයේදී වඩාත්ම මම උඩුගම්පල බස් හෝල්ට් එකට පයින් ඇවිදගෙන එනවා, ගම්පහට බස් එක ගන්නවා, ඊළඟට කෝච්චියෙන් කොටුවට ඇවිත් ඊළඟට කාර්යාලයට පයින් ඇවිදගෙන එනවා. මට දේශපාලන සම්බන්ධකම් තිබුනේ නැහැ. මම තවමත් දන්නේ නැහැ, ජනාධිපති LECO නිර්මාණය කරන්න සහ LECO එකට දීර්ඝ කාලයක් සඳහා නායකත්වය දෙන්න මාව තෝරගත්තේ ඇයි කියලා.'' ඔහු එසේ කියා තිබුනේ 96 හැවිරිදි වියේදී පැවැති සම්මුඛ සාකච්ඡාවක් අතරතුරය. සිතෙන හැටියට එය ඔහුගේ අවසන් 'නිල කටයුත්තයි'.

 සංවර්ධනය වෙමින් පවතින ආසියාවේ විදුලිය බෙදාහැරීමේ ගුණත්වයේ සුලකුණ තැබූ, එච්.එස්. සුබසිංහ නමැති, ගමෙන් පැමිණි සරල ඉංජිනේරුවා පෙබරවාරි 24 වන දා, සිය 98 හැවිරිදි වියේදී නික්ම ගියේය.

ආචාර්ය තිලක් සියඹලාපිටිය

Sunday Times, 2021.03.21