Friday, July 2, 2021

සදාකාලික ශිෂ්‍යයකුගේ අස්වැන්න හෙවත් ගෙවුණු දශකයේ මගේ ලිවිසැරි පියසටහන්

ගෙවුණු දශකයේ (2011-2021) මගේ මුද්‍රිත පොත් අස්වැන්න 7කි.

මා විසින් රචිත පළමු ග්‍රන්ථය පළවූයේ 2011 ජූලි මාසයේදීය. ඒ, ‘සී/ස සඳ එළිය’ නමැති කෙටිකතා සංග්‍රහයයි. දෙවන කෘතිය වූ ‘දයාසේන ගුණසිංහ - තීරු රචනා විමර්ශන’ 2011 අගෝස්තු මාසයේදී පළ විණි. මේ ග්‍රන්ථ දෙකම එස්. සිවකුමාර් සහෝදරයාගේ ‘සඳකඩපහණ’ ප්‍රකාශන ආයතනයෙන් පළ කෙරිණ.

පරිසරය හා සංවර්ධනය තේමාව යටතේ මා විසින් ලියන ලද පුවත් පත් - සඟරා ලිපි එකතුවක් වූ ‘සංවර්ධන මිථ්‍යාවන් හා පරිසර දේශපාලනය’ ග්‍රන්ථය ‘ගොඩගේ’ ප්‍රකාශනයක් ලෙස පළ වූයේ 2014 වසරේදීය.

මහින්ද මස්ඉඹුල සොයුරාගේ ‘සන්ථව’ ප්‍රකාශනයක් ලෙස, මා විසින් ලියන ලද කාව්‍ය සංග්‍රහය වූ ‘භින්නෝන්මාදියාගේ රොමෑන්ටික් රාත්‍රිය’ 2015 වසරේදී පළ විණි.

2020 වර්ෂය තුළ මගේ ග්‍රන්ථ 3ක් පළ කෙරිණ. මා පශ්චාත් උපාධිය වෙනුවෙන් සිදු කළ අධ්‍යයනය ඇසුරෙන් සම්පාදිත ‘ශ්‍රී ලාංකේය පාරිභෝගික ජීවන රටා සහ මුද්‍රිත මාධ්‍ය වෙළෙඳ දැන්වීම්’ ග්‍රන්ථය කර්තෘ ප්‍රකාශනයක් ලෙස පළ කෙරුණේ 2020 ජනවාරියේය.

2020 මාර්තු මසදී ‘රිචඩ් ද සොයිසා - නිහඬ කළ හඬ’ සංස්කරණ කෘතිය ප්‍රේම් දිසානායක මහතාගේ ‘සුරස’ ප්‍රකාශනයක් ලෙස පළ විණි.

2020 දෙසැම්බරයේ ‘ගොඩගේ’ ප්‍රකාශනයක් ලෙස පළ වූ ‘කොටි, සුදු කොටි සහ කොටින්ගෙත් කොටි’ ග්‍රන්ථය ලංකාවේ ජාතික ගැටලුවට අදාළ විදේශ මැදිහත්වීම් සම්බන්ධව ‘මුරගල’ සඟරාවට ම’ විසින් ලියන ලද ලිපි එකතුවකි.

නුදුරු කාලයක පළ කිරීමට සූදානම්ව ප්‍රකාශන ආයතනයකට දී ඇති අත්පිටපතක්ද, ප්‍රකාශකයකු සොයා යාමට සැරසී සිටින අත්පිටපත් දෙකක්ද, පළමු දළ පිටපත ලියා තවදුරටත් වැඩි දියුණු කරමින් තිබෙන අත්පිටපත් දෙකක්ද, මූලික අධ්‍යයන සැලසුම සහිතව ටිකෙන් ටික ලියලමින් තිබෙන ලිපිගොනු 3ක්ද ඊළඟ දශකය වෙනුවෙන් බලා හිඳී.

නික්ම යන අනාගත දවසක ලෝකයට ඉතිරි කොට යන්නට ඇත්තේ මෙපමණකි. මේ රට මට ලබා දුන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙරළා කෘත ගුණ දැක්විය හැක්කේ මගේ මේ නිහඬ බුද්ධිමය මෙහෙවරෙන් පමණකි. ඒ අදිටන ම’සිතෙන් කිසිදා වියැකී නොයනු ඇත.

ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුවකුව සිටියදී 1987 පෙබරවාරි මස ‘විජය’ ළමා පුවත්පතේ රචනා පිටුවේ ම’විසින් ලියන ලද කුඩා රචනාවක් පළමු වරට මුද්‍රිත අකුරින් පළ වූ දින, අනාගතයේ මුද්‍රිත අකුරු දිගේ මෙතරම් දුරක් යාමට සිහිනයක් ඉපදී නොතිබිණ. නමුත් 1990 ගණන්වල මැදභාගය වන විට එබඳු සිහිනයක් හඹා යාමට පියාපත් ලියලමින් තිබිණ.

ඒ ලිවිසැරියට දිරි දුන්නෝ බොහොමයකි. කල්‍යාණි රම්‍යලතා ගුරු මෑණියන් හා අනිල් අබේගුණවර්ධන ගුරු පියාණන් ප්‍රමුඛ ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරු මව්පියවරුන්ද, පුවත්පත්කලාවේදී සුනිල් තෙන්නකෝන් මහතාද, දයාසේන ගුණසිංහයන්ද, ‘සිතිජය’ මාධ්‍ය සංසදයේ චන්දන සිරිමල්වත්ත, එස්. සිවකුමාර්, ප්‍රියන්ත ලියනගේ, ප්‍රසන්න කපුගේ, තරින්ද ඇල්විටිගල, මහේෂ් කුමාර සහෝදරවරුන්ද, පුෂ්පාංජනා හේරත් හා විපුලි විදානපතිරණ සහෝදරියන්ද, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ / ‘මුරගල’ සඟරාවේ සාහිත්‍යසූරි වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර, විමල් වීරවංශ, ජීවන්ත ජයතිස්ස සහෝදරවරුන්ද, පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ/ ‘ගවේෂණ’ සඟරාවේ මහාචාර්ය වෛද්‍ය අතුල සුමතිපාල මහතා සහ අරුණ වලිසුන්දර සොයුරාද, සියවස් කාලකට පෙර දිනයක සිට අද දක්වාම මගේ දිවිසැරියටද ලිවිසැරියටද නිබඳව සෙනෙහසින් දිරිදෙන චන්දිමා නිශ්ශංක සහෝදරිය හා තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයාද ගෙවුණු දශකය දෙස ආපසු හැරී බලන මේ මොහොතේ මගේ සිහියට නැඟෙයි.

එමතු නොව මා 23 වසරක් තිස්සේ සේවය කරන ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ මිතුරු සමූහයාද, මගේ පොත් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන හිමිකරුවෝද, පාඨක සමූහයාද වචනයකින් හෝ මගේ ලිවිසැරියට දිරිදුන් සියල්ලෝද දශකයක මගේ පොත් අස්වැන්න දෙස ආපසු හැරී බලන මේ මොහොතේ මගේ මේ කෘතගුණ ලැබුමට නිස්සෝ වෙත්.

No comments:

Post a Comment