Wednesday, October 5, 2016

ලක්ශාන්ත අතුකෝරල : සමහර මතකයන් සමග 'සමහර කමටහන්' කියැවීමක්

ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලයේ 1996 කලා අංශයෙන් බිහි වූ මෙරට විශිෂ්ට කලාකරුවන් දෙදෙනෙක් සිටිති. ඒ, සංජීවී සෙනෙවිරත්න සහ ලක්ශාන්ත අතුකෝරල ය. සංජීවී, දියසායම් සිතුවම් කලාවෙහි ස්වකීය සුලකුණ සනිටුහන් කළ තරුණ සිත්තරෙකි. ලක්ශාන්ත, සිංහල කවිය තුළ ස්වකීය සුලකුණ සනිටුහන් කළ රාජ්‍ය සම්මානලාභී තරුණ කවියෙකි.

ලක්ශාන්ත බණ්ඩාරනායක විද්‍යාලයේ උගනින අවධියේ පටන් ම සාහිත්‍ය නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ තැනක සිටියේ ය. පාඨශාලාන්තර සාහිත්‍ය නිර්මාණ තරගවලින් ජය ලැබූවන් අතර පළමු තැන නිතර ම වෙන් ව තිබුණේ ලක්ශාන්තට ය. විද්‍යාලයීය නිර්මාණ පර්ෂදයේ බිත්ති පුවත්පතෙහි ඔහුගේ කාව්‍ය නිර්මාණ නිතර පළ වී තිබූ වග මතක ය. ඒවාහි නිර්මාණාත්මක ගුණය සමවයස් ශිෂ්‍ය මට්ටම ඉක්මවා තිබිණි.


බණ්ඩාරනායක විද්‍යාලයෙන් 1993 වසරේදී 'සිල්ප දෙනුමැයි' නමින් ත්‍රෙෙමාසික සඟරාවක් පළ කිරීම අැරඹිණි. එහි මංගල කලාපයෙහි ''සැඳෑ විල්තෙර'' මැයෙන් ලක්ශාන්තගේ කවි පංතියක් පළවී තිබිණි. මේ ඒ අතරින් කවි දෙකකි.

''පිණි කැට විසුළ තණ පත් වැලි ගොඩැලි                  වල
නිරතුරු වදී මඳ පවනෙහි සුමට                                  දළ
දිය මතුපිටට පැන අාකාසයෙහි                                  නිල
තම පැහැයෙන්ම සරසයි මේ සුනිල                           විල

සුදු මීදුවක් වන් කැටි වුණ කැරළි                              වළා
වැව සහ අවට නරඹයි පැත්තකට                              වෙලා
තුරුවැල් - ඉදුණු ගෙඩි හෙමිහිට බිමට                       හලා
වට පිට සුළං එලවයි, අතුපතර                                  සළා''

ලක්ශාන්ත අ.පො.ස. (උ/පෙළ) සඳහා තෝරාගත්තේ ගණිත විෂය ධාරාවයි. නමුත් මාස දෙකකට පමණ පසුව ලක්ශාන්ත ගණිත අංශයට 'අායුබෝවන්' කියා කලා අංශයට පැමිණියේ ය. තමන්ගේ භූමිකාව ගොඩනඟා ගත හැකි ක්ෂේත්‍රය කුමක් ද යන්න ඔහු නිවැරදි ව හඳුනාගෙන තිබිණි. එ් තෝරාගැනීමෙහි තාර්කික ප්‍රතිඵලය වූයේ ඔහු 1996 වසරේ උ/පෙළ විභාගයේදී කලා අංශයෙන් A4ක් ලබා ගැනීම ය. ඉන්පසු ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට අැතුළත් විණි. 


මේ සටහන් කළේ හරියටම අවුරුදු 20කට එහා අතීතයකි. 

අ.පො.ස. (උ.පෙළ) අවධියෙන් පසු ගෙවුණු විසි වසරක කාලය තුළ මට ලක්ශාන්ත මුණ නො ගැසිණ. එහෙත් පුවත්පත් කවි පිටුවල ද, කාව්‍ය සංග්‍රහයන්වල ද ඔහු හමු විණ. මේ දිනවල ඔහු මට නැවත හමු වී අැත්තේ ඔහුගේ අලුත් කාව්‍ය සංග්‍රහය වන ''සමහර කමටහන්'' කෘතියෙනි.

කවීහු සාමාන්‍යයෙහි වන අසාමාන්‍යය දකින්නෝ වෙති. එය වහා හඳුනාගන්නෝ වෙති. ඉනිදු නො නැවතී එය කවියක් ලෙස ප්‍රතිනිර්මාණය කොට සහෘද සමාජය වෙත පිරිනමන්නෝ වෙති. බොහෝ වුන්ට නෙත නො ගැටෙන, නෙත ගැටුන ද එහි වන ඉසියුම් විශේෂතා නො දැනෙන, එහෙයින් ම එය සාමාන්‍යය සේ සලකා තමන්ගේ සුපුරුදු සංසාර ගමන යන පෘථග්ජනයින් අතර ලක්ශාන්ත අපට හමුවන්නේ නැත. ඒ වෙනුවට සාමාන්‍යය තුළ වන අසාමාන්‍ය විශේෂය, අන්වීක්ෂ අැසකට පෙනෙන ඉසියුම් ගුණය වහා හඳුනාගන්නා ලක්ශාන්ත, අපගේ සංසාරික ගමන මොහොතකට නවතාගෙන අප එතෙක් නො දුටු, ඔහු පමණක් ම දුටු ඒ විශේෂතාව සමග 'සුන්දර රස්තියාදුවක' යෙදෙන්ට අපට අඬගසයි. ඊට පිටුපා යා නො හේ. 'මල් ලැදි තැනට මල් පූජා වේද මලේ' යනු එබඳු ඉසියුම් ගුණය හඳුනාගත් කවියකි. ඒ කවියේ අවසාන පද මෙසේ ය.

''හොරෙන් හිනැහී බලන
මලක් දෙමලක් තිබෙයි
මළ ගෙයක දෙණ අසල
දකිමි මම හඬා වැටෙනා මලක්
සුබ පැතුම් මල් පැසක''


ලක්ශාන්තගේ කවිවල හමුවන ළතෙත් බව ඔහුට වඩාත් අනන්‍ය ගුණයකි. දැවැන්ත යකඩ ගොඩක් දෙස පවා සංවේදී, හෘදයාංගම අැසකින් බලන්නට ලක්ශාන්තගේ කවි අැස තියුණු ය; දයාර්ද්‍ර ය. ''වෙහෙසෙන එන්ජින් හදවත් දුටුවද සැහැල්ලු කුරුල්ලනේ'' යන මැයෙන් වන කවියෙහි එකී ගුණය නො මඳ ව දක්නා ලැබේ.

''දැවැන්ත දුම්රිය අැදගෙන
සද්දන්ත යානාව ඔසවගෙන
පෙරට පෙරට යන විට
මහන්සි අැති එන්ජින‍්වලට
නොනැවතී ගැහෙන හදවත්වලට

මීදුම් රේන්දෙක පැටලි පැටලී
වලා හිම කැදලි තුළ කිමිදී 
සැමදාම යන ගමන
සිසිල තැවරෙන - හිරිගඬු කිති විසිරෙන 
සෞන්දර්යයකැයි කියාවි
දුරින් සිට බලන ඔබ

එහෙත් අැතුළත
කළු කුඩු පොඩිවෙයි
ග්‍රීස් තාවර අැඹරෙයි
දුම් වැවෙයි - තෙල් ගඳ උනයි

විවේක කුටියෙන් මෑත්ව
බලන්න අැවිදින්
සදාකල් හඬයි එන්ජින්
අපා දුක් විඳියි හදවත්

පුළුන් අහුරු බඳු බටිත්තන්ට මෙන්
චෙරි ගෙඩියක හොට ගසා
පිනි බිඳිකින් තෙමෙන්නට
ඉස්පාසුවක් නොමැත
දුම්රිය හදට - යානා හිතට

එහෙත් කෙළිලොල් බටිත්තන් දන්නවද
උද්‍යානයේ මල් අතර
එහෙට මෙහෙට ඉගිල්ලෙන
පුළුන් කුරුල්ලන් දන්නවද
බර අැදගෙන - බර ඔසවගෙන
යළි යළිත් ඒ යාන්ත්‍රික හදවත්
දුවන බව බාෙහෝ දුර''


ලක්ශාන්තගේ කාව්‍ය නිර්මාණයන්හි හමු වන්නේ මෙරට පැරණි හා තරුණ කවීන්ගේ කවි මඟට වෙනස් කාව්‍ය ව්‍යවහාරයක් යැයි මට සිතේ. එසේ ම ලක්ශාන්ත ගමන් කරන්නේ කවියේ දුෂ්කර හා අපූර්ව දුර්ග මාර්ග ඔස්සේ බව සඳහන් කළ යුතු ම ය. තරුණ කවීන් බොහෝ විට මඟහැර යන 'සඳැස් කවිය' නමැති දුර්ග මාර්ගය තුළ ලක්ශාන්ත පියවර නඟන්නේ, අප පෙර නො දුටු විරූ දර්ශන අප අභිමුව මවාලමිනි. ඒ දුර්ග, දුෂ්කර මඟෙහි ඔහු පාන පෙළහර එක රැයක ප්‍රාතිහාර්යයක් නො වේ. පාසල් අවධියේ සිට ම ඔහු අනුදත්, විශේෂයෙන් ම ඔහු ඒ ඉපැරණි අවධියෙහි ලියූ 'කවිකතා' මේ අනාගත දුෂ්කර දුර්ග තරණයෙහිලා ඔහුට අවැසි පූර්ව අභ්‍යාසය හා පුහුණුව ලබා දෙන්නට අැතැයි සිතමි. ''මළානික බිං කළුවරක් සහ ජීවිතාශා බැබළුමක්'' නමැති කවිය, ඔහුගේ සඳැස් දුර්ග තරණය තුළ තදින් මසිතේ අැනුණු කවියකි.

''සිඳෙන ගඟක මෙරු තටුවක පර මලක
අනිත්‍යයේ සලකුණු දකින මොහොතක 
හැපුණිද සිත ගොසින් සෝ සිතුවිලි තෙරක
පාළු මනෝ දූවක - දුරු ඉසව්වක

මාන - ඊර්ෂ්‍යා - මද රැඳි මනස පිට 
පැතුම් පිපෙයි දිවි කල් තුන හතරකට
අප හා හෙමින් අැවිදින් යන්නට නොසිට
කාලයෙ ජවධි තුරඟා දිව යයි පෙරට

සුදු ගුඩු නිහඬ දුක වැකි මළ ගෙවල්වල
සව් කොළ කැබලි - සැරසිලි වැනිය පණ නල
දෙණ ළඟ තබන පළඳන ඉසින මල් වැල
පැතුම් රැසය මිය යන විටම අත් හළ

සොවින් මිදුණ ලේ ඕජා මධු ඔඩම
හැලී ගියා දෙන් මේ සාදය තුළම
පල් දිවි දියේ - ගැඹරේ පැහෙන අතරම
නව ජල ඕඝ වස්සානෙක සරමි මම

දුඹුරු ඉපල් කටුසර වදුලෙන් දුරුව
මලක් හැලේ නම් පොළාෙවට යුහු යුහුව
සුළඟේ අැලී කෙළෙසී යන්න පළමුව
මම එය තබමි පුදසුන් පෙළට නුදුරුව

අතැර තිමිර දුම ඉහිරෙන රජ දහන
මිදී රාත්‍රියෙ අඬු අතරින් පැමිණ
සොයමි ඉරක පහනෙළි උණුසුම් සරණ
බදා ගනිමි කිටි කිටියේ උදෑසන''

වර්තමාන තරුණ කවීන්ගේ කවි තුළ සේකර, රත්න ශ්‍රී, රණවීර යන කවීන්ගේ සෙවණැලි පදාස අපට බොහෝවිට හමුවෙයි. නමුත් ලක්ශාන්තගේ කවි තුළ ඔහු ම මිස අන් කිසිදු කවියකු හමු නො වේ. (පාසල් අවධියේ මිතුරන් අතරදී ඔහු 'අපේ කාලයේ සේකර' යනුවෙන් හැඳින්වුණු බව මතක ය.) එය ඔහුගේ ලකුණ ය ; ඔහුගේ අනන්‍යතාවය ය. ඔහුගේ '' යාළුවන් උපදින තුරු පසු බසින් පුංචි මාළුවෝ'' නමැති කවියෙහි වන මෙම පැතුම තුළ කියැවෙන බොහෝ දේ තිබේ.

''මේ අසිරි පතුළෙන්
අසල්වැසි ගුල් සහසින් 
පිටව පැටවුන් නුඹ වන්
රෑනක් හැදුණු දවසට
යා හැක එක්ව සටනට''

ලක්ශාන්තගේ 'සමහර කමටහන්' හි කවි මාතෘකා ද 'කවි' වැනි අපූර්ව ස්වභාවයකින් යුතු ය. එය සිංහල කවියට නවමු 'මාතෘකා අාකෘතියක්' හඳුන්වාදීමකි. මේ බලන්න.

''සුමිතුරේ ඔබ දහවලේ වැහි පොදක් සේ''
''කඳු මුදුනේ අකුරු වැස්ස රෝද තුනේ වන්දනාව''
''කඩා වැටුණු කළු අහසේ ශේෂ තරු කැටේ''
''සිහිවටන සිහිනයේ හඹා එන සිහිනි හඬ''

එබඳු අපූරු කවි මාතෘකා කිහිපයකි. මෙබඳු පද ගැලපුම් හුදු වචන බාස්ලාට කළ හැකි සරල කාර්යයක් නො වේ. එහි අැත්තේ භාෂාවේ නිර්මාණාත්මක ගුණය පිළිබඳ අනවරත හෑදෑරීමක අස්වනු ය. භාෂාව තම නිර්මාණ අභිලාෂය උදෙසා යටත් කරගැනීමට සිදු කරන අනවරත අරගලයක ජයග්‍රහණයන් ය. විටෙක මාතෘකාව පමණක් වුව කවියක් ලෙස විඳින්නට සිතෙන තරමට ඒවා අපූර්ව ය.

අැතැම් කවීන්ගේ කවි කියවන විට සහෘදයකු ලෙස මා හට දැනී අැති දෙයක් නම්, ඒ සමහර කවි කෙටි වූවානම් අගෙයි කියා ය. නමුත් ලක්ශාන්තගේ කවි කියවද්දී සහෘදයකු ලෙස මා හට දැනී අැත්තේ සමහර කවි තව දිගු වූවානම් අගෙයි කියා ය. ඒ ඔහුගේ කවි තුළ හමුවන අපූර්ව අත්දැකීම් විවරණ, භාෂා රටා සහ සුසංයෝග වෙතින් දැනෙන 'රහට හිතන ගතිය' නිසා ය.

ඉදින් මා හට රහට දැනුණු 'සමහර කමටහන්' පිළිබඳ මේ සටහන තැබුවේ ලක්ශාන්ත අතුකෝරලගේ ඒ අලුත් කවි පොත ඔබ ද රහ විඳිනු දකිනු රිසියෙනි.

4 comments:

  1. "මෙබඳු පද ගැලපුම් හුදු වචන බාස්ලාට කළ හැකි සරල කාර්යයක් නො වේ." ලක්ශාන්තගෙ කවි වලටත් වඩා රහයි උඹේ ලියැවිල්ල...හරි ආසාවෙන් කියෙව්ව...මිනිස්සු විවිධාකාර වු සිතිවිලි ඇත්තන්ය.ඔවුන්ගේ රසයද වෙනස්ය...එකකට එකක් වෙනස්ය...එය ලොව වසන සියල්ලෝම දනිති.....නමුදු ඉහත උදෘත කොමා යටතේ ඇති වාක්‍ය ඛණ්ඩය නුඹේ ලියවිල්ලේ නොතිබුණානම්....කොච්චර වටනේද ? යැයි මට සිතේ....

    ReplyDelete
    Replies
    1. සහෝ, මට ඒ වචනය අාවේ නූතනයේ අපට අැසෙන 'ගීත' (අප අසන ගීත නොවේ.)ගැන හිතද්දි. කිසිවකුගේ හෝ ලේඛන නිර්මාණ ශෙෙලියකට ගැරහීමේ අරමුණක් ඒ වැකියෙන් මම අදහස් කළේ නැහැ. ලක්ශාන්තගේ භාෂා ශෙෙලීයේ අැති හැදෑරීමේ ගුණය ඔසොවා තැබීම අවශ්‍යයි. එය අපේ තරුණ කවීන් බොහෝ දෙනකුට වඩා ඉදිරියෙන් අැත්තේ ඒ හැදෑරීම නිසා කියලයි මම හිතන්නේ.

      Delete
    2. ප්‍රභාත්, ඔබේ කතාව මං පිළිගන්නවා. නමුත් මේසන් බාස් කෙනෙක් ගඩොල් කැටයෙන් කැටය එකතු කර නිමවන ලද සත්මහල් ප්‍රාසාදය විශ්මිත නොවේද? මෙතරම් තාක්ෂණය නොතිබුණු යුගයක නිමවුණු අවුකන පිළිම වහන්සේ සරල කාර්යයකින් පසු ජනිත වූවක්ද..අද පවා විශ්මිත ගොඩනැඟිලි නිමවන බාසුන්නැහේලා සරල විය හැකිද...( මෙය තර්කයක් නොවේ). එසේනම් වචන එහෙ මෙහ කර තනන අති විශිෂ්ට නිර්මානයක් වචන බාස්ලා අතින් සිදුවන සරල කාර්යයක් වේද? සිදුවන්නේ රසවින්ඳනය හා ගුණාත්මක අතින් අඩු නිර්මාණයන් බිහිවීමයි. ඒ සඳහා ඔවුන් දිරිමත් කල හැක. ඒ ලක්ශාන්ත වැනි තරුණ නිර්මාණ කරුවන්ගේ කුසලතා ජනගත කිරීමෙනි.... (අදහස් පළ කිරීමක් පමණි) ඔබට ස්තූතියි...

      Delete
  2. samahara kamatahan kiyaweeme asawa obe lipiya nisa thawath balawath una obata thuthi

    ReplyDelete