Monday, October 31, 2016

මේ යසෝදරා හැර තවත් යසෝදරාලා නොසිටිත්ද?

ශිෂ්‍යත්ව ප්‍රතිඵල උණුසුම කෙමෙන් හීන වී යමින් තිබෙන මේ මොහොතේත් මට යසෝදරා සිහිවෙයි. පසුගිය සැප්තැම්බරයේ පොතක පිටු අතර අැය මට හමුවිණි.  ''ඉඩක් දෙන්න අැස් අරින්න'' යැයි අායාචනා කරමින් අැය සිටියා ය. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල යට සිට අැගේ ඉල්ලීමේ හඬ නින්නාද වනු මට දැනේ. අැගේ ඒ ඉල්ලීම පෞද්ගලික ඉල්ලීමක් නො ව, සමස්ත පාසල් ශිෂ්‍ය සංහතිය වෙනුවෙන් කරන ඉල්ලීමක් යැයි සිතේ. මේ 'යසෝදරාවත' ලාංකේය පාසල් අධ්‍යාපන යාන්ත්‍රණයේ සැඟවුණු පැතිකඩක් නිරාවරණය කරන්නකි. සිසුන්ගේ ද, දෙමව්පියන්ගේ ද, ගුරුවරුන්ගේ ද අැස් අරවන්නකි. ඉතිං ''නව යසෝදරාවතක්'' ලියූ අැය යසෝදරා දීපචන්දි ගුණසේකර ය. අෑ ලියූ කෘතිය ''ඉඩක් දෙන්න අැස් අරින්න'' ය. 


අැය අධ්‍යාපන වෘත්තිකයකු නො වන්නී ය. අැය ශිෂ්‍යාවකි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අභිමුව දෙවසරක පමණ කාලයක් පාසල් පංති කාමරය තුළදී ගුරුවරියක වෙතින් විඳි මානසික ගැහැට අැය අකුරු බවට පත් කරයි. අැය එවක හෙලූ කඳුළු වසර ගණනාවකට පසු අකුරු බවට පත්කරයි. මෙහිදී අැය විග්‍රහ, විශ්ලේෂණ, විවේචන ඉදිරිපත් නො කරන්නී ය. නමුත් අැය මුහුණ දුන් අත්දැකීම් එපරිද්දෙන් ම සටහන් කරන්නී ය. ඒ ඔස්සේ අැය සියලු විග්‍රහ, විශ්ලේෂණ, විවේචන කිරීමේ කාර්යය පාඨකයා අභිමුව තබන්නී ය. ඒ 'පාඨකයා' පාසල් ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක විය හැකි ය. මවක හෝ පියකු විය හැකි ය. පාසල් ගුරුවරයකු හෝ ගුරුවරියක විය හැකි ය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිකයකු විය හැකි ය. මේ සියල්ලෙන් පරිබාහිර ව, ජීවිතේ කවදා හෝ දවසක පාසල් පංතිකාමරයක් තුළ ගුරුවරයකුගෙන් අකුරු කළ අයකු විය හැකි ය. මේ කිසිවකුටත් අැයගේ අත්දැකීම විසින් මතුකරන සංඥාවට පිටු පානු නො හැකි ය.

''ළමයි හොඳට බලා ගන්න, ඔය ඉන්නෙ මේ සැරේ ශිෂ්‍යත්වෙ ෆේල් වෙන ළමයෙක්. එයාගෙ ඔලුවෙ මොළේ කළඳක් නෑ. තියෙන්නෙ ගොම! මැටි! මේ වගෙ හරක්නේ ටියුෂන් පංති යන්නම ඕන. එනව මෙතැන ඔක්කොම ඉස්කෝලෙන් අහගන්න. හිතන් ඉන්නෙ ඔක්කොම පුළුවන් කියලා. ලොකුකම නම් තියෙනවා. මැටි හරකි!'' ගුරුතුමිය කෝපයෙන් පැවසුවා ය.

යසෝදරා කිසිසේත්ම අදක්ෂ දරුවකු නො වේ. ගුරුවරියගේ මුවින් වෙෙරී ලෙස මේ  පිටවන්නේ යසෝදරා එම ගුරුවරියගේ පෞද්ගලික උපකාරක පංතියට සහභාගී නො වීම පිළිබඳ කෝපයයි. අැය පාසල් පංති කාමරය තුළ සෙසු දරුවන් ඉදිරිපිට මෙලෙස අවඥාවට බඳුන් කරන්නේ තමන් වෙත මුදල් ගෙවා ඉගෙන ගැනීමට අැය නො පැමිණෙන නිසා ය.  ගුරුවෘත්තියට නො පිවිසිය යුත්තේ කෙබඳු අය ද යන්න අැය මෙමගින් අපට දෙන සංඥාවයි.

යසෝදරා ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයකට ලකුණු 176 ක් ගත් අවස්ථාවේ සිදුවීම අැය මෙසේ පෙළ ගස්වයි.

''යසෝධරා ! මම අත උස්සන්න කිවුවේ හැත්තැපහට වැඩි අයට නෙවේ. එකසිය හැත්තැපහ. එකසිය හැත්තැ පහට වැඩි ළමයින්ට. තේරුණාද?'' ගුරුතුමිය මා දෙස බලා උපහාසයෙන් පැවසුවාය.

''ඔව් ඔව් ටීචර් මට එකසිය හැත්තෑ හයයි. ඒකයි මම අත ඉස්සුවේ.'' මම අැය දෙස බලා ළෙන්ගතුව සිනාසුණෙමි.  අැයගේ ළෙන්ගතු සිනාවක් දැකීමේ අපේක්ෂාව මගේ සිතෙන් පහව නො ගියේ ය. එබැවින් තව තවත් අැය හා සිනාසුණෙමි.

''බොරුවට විරිත්තන්නෙ නැතුව අත පල්ලෙහාට දානවා! පේපර් එක මෙහාට ගේනව බලන්න.''යි නියෝග කළ අැය ''හරියට ලකුණු දාලා නැතුව අැති. හොර ලකුණු !''යි නොරිස්සුම් ලෙස පැවසුවා ය.

අැය මා හා උපහාසයෙන් සිනාසුණාය. අැගේ සිනා හඬත් සමග පන්තියේ සමහර ළමුන්ගේ සිනා හඬද එක් විය...''

ඒ ගුරුවරිය අැගෙන් පළිගැනීම නො නවත්වන්නී ය. නමුත් යසෝදරාගේ දරාගැනීමේ හැකියාව විශිෂ්ට ය. එය සාමාන්‍ය 5 ශ්‍රේණියේ දරුවකුගෙන් දැකිය නො හැකි තරම් ඉදිරිගාමී ය. එහි අවසාන ප්‍රතිඵලය කුමක් වනු අැත් ද? ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වී තිබේ.

'' ගුරුතුමිය ප්‍රතිඵල රැගෙන එන තෙක් අපි සියල්ලෝ ම නොඉවසිල්ලෙන් පසු වුණෙමු. කාලය ගත වත්ම හිතේ කුතූහලයද එන්න එන්නම වැඩි විය. ගුරුතුමිය ප්‍රතිඵල සටහනද අතැතිව පන්තියට සපැමිණියාය. පන්තිය තුළ පැවති කසු කුසු හඬ ක්ෂණිකව නතර විය. සියල්ලෝම ගුරුතුමිය දෙස නෙත් යොමා බැලූහ.

''අම්මෝ... මට මොනව වෙලා අැතිද? පාස් අැතිද? ෆේල් නැතුව අැති...'' මගේ සිතට නැඟෙන සිතිවිලි පෙර සිතිවිලි සමග තර්ක කරන්නට විය.

''ඉස්කෝලෙ ප්‍රතිඵල හොඳයි. හරිම සතුටුයි. දිස්ත්‍රික්කෙ මුල් දහ දෙනාගෙන් තුන් දෙනෙක්ම අපිට ඉන්නවා...'' පන්තියට පැමිණි විගස ගුරුතුමිය සිනාමුසු මුහුණින් පැවසුවාය.

ගුරුතුමිය ප්‍රතිඵල ලේඛනයේ වූ පිළිවෙළට නමත් ලකුණුත් පැවසුවාය. සියල්ලෝම නිහඬව අැයට සවන් දුන්හ.

මම මාගේ වාරය එළඹෙන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. පුන පුනා බලා සිටියෙමි. චකිතයකින් බලා සිටියෙමි. 

''කේ.ඩබ්ලිව්.එම්.වයි.ඩී. ගුණසේකර'' ගුරුතුමිය හඬ නඟා පැවසුවාය.

''අම්මෝ ඒ මම නේද?'' මගේ හදවත නතර වුණා සේ දැනුණි. මම මගේ අත පපුවට තබා ගත්තෙමි. මම නිරායාසයෙන් අසුනින් නැඟිට්ටෙමි. අැසි පිය නොහෙළා ගුරුතුමිය දෙස බලා සිටියෙමි.

''ලකුණු එකසිය අසූවක් අරන් තියෙනවා.''

''අම්මෝ ඒ මමද? අැත්තටම මමද?'' මට මාව අදහාගත නොහැකි විය. මගේ හදවතට දරාගත නොහැකි සතුටත් උපදිණ. මට සතුටින් උඩ පනිමින්, කෑගසමින්, අත්පොළසන් දෙමින්  නටන්නට සිතුණි. එහෙත් මගේ මුව ගොළු විණි. පාද ගල් ගැසුණි. මම නෙත්  පියා ගත්තෙමි.

''යසෝදරා ඉස්කාේලෙන්ම  දෙවැනියට හොඳම ලකුණු. දිස්ත්‍රික්කෙ  මුල් දහය අැතුළෙත් ඉන්නවා.'' ගුරුතුමිය පවසනු සිහිනෙන් මෙන් මට අැසුණි.  රැස්ව සිටි අය අත්පොළසන් දෙන්නට විය. පෙර මිතුරියන් අනුගමනය කරමින් මම ගුරුතුමියට අාචාර කිරීමේ අටියෙන් අැය වෙත පිය නැඟුවෙමි...''

''ජයග්‍රහණයට පියවරුන් සියයකි.'' ගුරුවරිය එතැනදී සිය චරිතය නිරූපණය කරන්නී මෙලෙසිනි.

''මං දැනන් හිටියා මේ ළමයා මේ වගේ ජයග්‍රහණයක් ලබනව කියල. මේ ළමයා එකම ශිෂ්‍යත්ව පංතියකටවත් ගියේ නෑ. ඔක්කොම දේවල් ඉගෙනගත්තෙ ඉස්කෝලෙන්. මම ගොඩක් මහන්සි වෙලා ඉගැන්නුවා, අද මේ ළමයා ඉන්න තැනට ගේන්න.'' ගුරුතුමිය අාඩම්බර ලෙස පැවසුවාය...''


තවත් ඉන් උපුටා දක්වන්නට නො යමි. ඒ ගුරුවරිය අැතැම්විට අදටත් 5 ශ්‍ර්‍රේණියේ පංතියක උගන්වනවා අැත. අැගේ පංතියේ යසෝදරාලා තවත් සිටිනවා අැත. අැගේ පංතියේ එදා අකුරු කළ ඒ යසෝදරා අද කොහිද? අැය පේරාදෙණිය සරසවියේ කථිකාචාර්යවරියකි. 

යසෝදරා තම අත්දැකීම් සටහන් කළ මෙම කෘතිය අපේ රටේ අධ්‍යාපනය පිළිබඳ නැවත‍ නැවත සිතන්නට කරන බල කිරීමක් සහිත ය. ගුරු ප්‍රජාවට තමන් දෙසට ම හැරී තමන්ගේ භාවිතය කියවා ගන්නට කරන බල කිරීමක් සහිත ය. (අැතැම් ගුරුවරුන්ගේ හෘදය සාක්ෂ්‍යය පහුර‍ැ ගානු අැත.)  ඉදින් විවර වී අැති මේ අැස ඔබට බොහෝ දේ අවබෝධ කරවනු නිසැක ය. ''ඉඩක් දෙන්න අැස් අරින්න'' යනු ඒ අැස ය.

6 comments:

  1. ස්තූතියි කුරුට්ටනි.

    ReplyDelete
  2. ගුරුවරයෙක් හැටියට හොයාගෙනම කියවන්න වටිනව

    ReplyDelete
  3. ඔව්, අැත්තටම වටිනවා ඩබ්.කේ.
    මෙය 'සූරිය' ප්‍රකාශනයක්.

    ReplyDelete
  4. යසෝධරා තව ගොඩක් ඇති තමයි.ඒත් ඒ හැමෝටම මේ යසෝදා තරම් ඉවසීමේ, දරාගැනීමේ හැකියාවක් තියේවිද?එහෙම නැති යසෝදලා නවතින්නේ කොහෙන්ද?

    ReplyDelete
  5. අැත්ත කටුසු. මේ යසෝදරාගේ තාත්තා ගුරුවරයෙක් සහ ලේඛකයෙක්. ඒ නිසා අැයට ඉහළ මානසික ශක්තියකට අවශ්‍ය පසුබිම තිබුණා වගේම, අැය ගැන නිවැරදි හඳුනාගැනීමක් අැගේ මව්පියන්ටත් තිබුණා. නමුත් එවැනි පසුබිමක් නැති යසෝදරාවන්ගේ තත්ත්වය ඛේදවාචකයක්. ලංකාවේ අධ්‍යාපනයේ, අවධානය යොමු කළ යුුතු පැත්තක් මෙය.

    ReplyDelete