Friday, June 3, 2016

සිංහල කෙටිකතා කලාවේ 'දයාසේන ගුණසිංහ ලකුණ'

දයාසේන ගුණසිංහ මහතා මෙරට සිටි අදීන පුවත්පත්කලාවේදියෙකි. වෙසෙසින්ම, ලාංකේය සිංහල තීරු රචනා කලාවේ අභිවර්ධනයට ස්වකීය නිර්මාණශීලී දක්ෂතා දායක කළ අපූර්ව තීරු රචකයෙකි. මේ සියල්ල අතරේම ඔහු, ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතා ලකුණ ගැඹුරින්ම සනිටුහන් කිරීමෙහි සමත් වූ ප්‍රතිභාපූර්ණ සාහිත්‍යකරුවෙකි. කවියකු ලෙසත්, කෙටිකතාකරුවකු ලෙසත්, විද්‍යා  ප්‍රබන්ධ රචකයකු ලෙසත්, පරිවර්තකයකු ලෙසත් ඔහු සිය නිර්මාණකරණ හැකියාවන් සමාජය වෙත දායාද කෙළේය. එහෙත් දයාසේන ගුණසිංහ මහතාගේ සාහිත්‍ය නිර්මාණකරණය ලාංකේය සාහිත්‍ය විචාර කතිකාව තුළ පුළුල් කියැවීමකට, පුළුල් විමර්ශනයකට ලක්ව අැති බවක් දක්නට නොවේ. එනමුදු, ඔහුගේ කවි හෝ කෙටිකතා හෝ මඟහැර ලාංකේය කවිය හා කෙටිකතාව පිළිබඳව කතා කළ නොහැකි තරමට ඔහු එම නිර්මාණ ක්ෂේත්‍ර දෙකෙහි ප්‍රකට කළ ප්‍රතිභාව ප්‍රබලය. ඔහුගේ නිර්මාණ අැසුරු කරන විට ඒවා පේළි අතර කියැවීමේ අවශ්‍යතාව දැඩිව දැනෙන්නේ වෙයි. මෙම වියමනෙන් උත්සාහ කරන්නේ ගුණසිංහ මහතාගේ කෙටිකතාකරණය පිළිබඳව විමර්ශනයක යෙදීමටය.


කෙටිකතාව යනු වර්තමානයේ ලොව බොහෝ භාෂාවන්හි දක්නට ලැබෙන්නාවූ සාහිත්‍යාංගයකි. මෙම සාහිත්‍යාංගය සම්බන්ධව පෙරදිග කලාපයෙන් මෙන්ම, අපරදිග කලාපයෙන්ද ඉදිරිපත් වී තිබෙන නිර්වචන රාශියක් දැකිය හැකිය. කෙටිකතාව පිළිබඳව සිය මතය දක්වමින්, දයාසේන ගුණසිංහ මහතා සිය 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' කෙටිකතා සංග්‍රහයේ අැතුළත් කර අැති 'සිංහල කෙටිකතාව, බටහිර සම්ප්‍රදාය හා තුන්වැනි ලෝකයේ සාහිත්‍ය විප්ලවය' යන මැයෙන් වන විවරණයෙහි මෙබඳු සඳහනක් කරයි.

''කෙටිකතාව යනු කවරේදැයි එකම වැකියකින් පවසන ලෙස යමකු මට කිවහොත්, කෙටිකතාව යනු ජීවිතයේ සමීප රූපයකැයි මම කියන්නෙමි...''

ගුණසිංහ මහතාගේ එම නිර්වචනය වඩාත් විවරණය කරන මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා, සිය 'කෙටිකතා විචාර මූලධර්ම හා සම්ප්‍රදාය' යන කෘතියෙහි මෙසේ සඳහන් කරයි.

''... සිනමා බසෙහි බහුල වශයෙන් භාවිත කෙරෙන මේ යෙදුමෙන් අදහස් කෙරෙන්නේ යමක් ළංකර හෝ විශාල කර දැක්වීමය. සමීප රූපයකදී කැමරාව ගොදුරු කරගන්නේ කේන්ද්‍රීය ප්‍රස්තූතය පමණි. කෙටිකතාවෙන්ද එක් මූලික කරුණක් ඉස්මතු කොට අවධාරණය කෙරෙන හෙයින් එය ජීවිතයේ සමීප රූපයක් ලෙස දැකීම යුක්ති යුක්තය...''

දයාසේන ගුණසිංහ මහතා කෙටිකතාකරණයට අවතීර්ණ වූයේ ඉකුත් 70 දශකයේදීය. සිය පළමු කෙටිකතා සංග්‍රහය වන 'කැනල් පාරේ නිශාචරයෝ' කෘතියෙහි ප්‍රකට කළ නිර්මාණාත්මක ගුණය නිසාම ඔහු 1986 වසරේ හොඳම කෙටිකතා සංග්‍රහය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය. ලාංකේය කෙටිකතා කලාව, සමකාලීන සමාජ සංසිද්ධීන් විවරණය කිරීමෙහි ලා උපයෝගී කරගත හැකි සාහිත්‍යාංගයක් බව ඔප්පු කරමින් මෙමගින් ලාංකේය කෙටිකතාකරණයට නව අැසක් විවර කර දුන්නේය. 'කැනල් පාරේ නිශාචරයෝ' කෙටිකතා  සංග්‍රහයෙහි 'කැනල් පාරේ නිශාචරයෝ', 'යක්ෂයාගේ රාත්‍රිය', 'පින් කුකුළා හැඬලූ වගයි', 'මැණික‍් සොයන්නෝ' සහ 'කපිතන්ගේ පුතුන් දෙදෙනා' යන කෙටිකතා පහ අැතුළත් වේ. ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' 1990 වසරේදී ප්‍රකාශයට පත් වූ අතර, එයද හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තේය. 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' කෙටිකතා සංග්‍රහයෙහි 'මාවතේ දරුවෝ', 'අවියක් නැති සෙනෙවියෙක්', 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්', 'වෘත්තාකාර බන්ධනාගාරයක්', 'ඉන්දුගේ ස්වයංවරය', 'හිරුගේ චි‍තකය' හා 'කොටියාගේ බිරිඳ' යන කෙටිකතා හත අැතුළත් වේ.

දයාසේන ගුණසිංහගේ කෙටිකතා ප්‍රධාන තේමාවන් දෙකක් යටතේ විමසා  බැලීමට පිළිවන. එනම්, සාහිත්‍යමය ප්‍රකාශනයක් හා සමාජමය ප්‍රකාශනයක් වශයෙනි. මෙම ප්‍රකාශනමය ස්වභාවයන් දෙක අවියෝජනීය හා දැඩි අන්තර් සම්බන්ධයක් සහිත අාකෘතීන්ගෙන් ඔහුගේ කෙටිකතා තුළ අන්තර්ගත තිබේ.

සාහිත්‍යමය ප්‍රකාශනයක් ල‍ෙස....

සාහිත්‍යමය ප්‍රකාශනයක් ලෙස කියැවීමේදී ඔහුගේ කෙටිකතා තුළ වන බහුවිධ නිර්මාණාත්මක භාෂා භාවිතයන්, සාහිත්‍යයික තාක්ෂණය යොදාගැනීම් කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුය.


ලේඛකයකුට මැනවින් පෝෂණය කෙරුණු භාෂා ව්‍යවහාරයක් තිබුනද සමාජය වෙත ප්‍රකාශ කරන්නට තරම් දෙයක් ඔහුගේ මනසෙහි නොමැති නම් අර්ථවත් සාහිත්‍යාංගයක් බිහි නොවේ. අනෙක් අතට, ප්‍රකාශ කරන්නට දහසකුත් එකක් දෑ මනස තුළ ගොඩගැසී තිබුනද ව්‍යක්ත හා සංවේදී භාෂා ව්‍යවහාරයක් ඔහු සතුව නොවේ නම් පාඨකයාට යමක් දැනෙන ලෙස ප්‍රකාශ නොවේ. නමුත් ගුණසිංහයන් තුළ මෙම කාරණා දෙක සමගාමීව ගමන් කරන ස්වභාවය කෙටිකතා තුළදී හඳුනාගත හැකිය.

ඔහුගේ මෙම අපූර්ව භාෂා ව්‍යවහාරයට පදනම වී අැත්තේ පැරණි සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය හා මෙරට ජනකතා කලාව බව 'කැනල්පාරේ නිශාචරයෝ' පෙරවදනෙහි ඔහු සඳහන් කර අැත්තේ මෙලෙසිනි. 

''දිවියෙහි පළමුවරට මා කතාවක් අැසුවේ මාගේ මවගෙන් හෝ මිත්තණියගෙනියි මම සිතමි. එවක මව්වරුන් සහ මිත්තණියන් තම දරු මුණුබුරන්ට බොහෝ විට කියා දුන්නේ බණ කතා, ඉතිහාස කතා හෝ ජනකතාය. ඒ ඒ මවගේ හෝ මිත්තණියගේ හෝ ප්‍රතිභා ශක්තිය සංවේදීභාවය හා බස් වහරෙහි නිපුණත්වය අාදී වූ විවිධ සාධක අනුව එම කතාවල රසවත් බව අඩු වැඩි විය. මගේ මවටත් වඩා මගේ මිත්තණිය ඉතා සූර ලෙස කතා කියන්නියක බැව් මට මතකය. අෑ යෙදූ උපමා උපමේය යෙදුම් සහ කට වහරින් මට සිළිටි  වූ සජීවී ගැමි වදන් දැනුදු මා පිරිවරමින් මගේ උදව්වට සිටී.''


ඔහු එම පෙරවදනෙහිම තවත් තැනෙක මෙසේ සඳහන් කරයි.

''අද ජනතාවට කතා කියන්නෝ නවකතාකරුවෝ සහ කෙටිකතාකරුවෝය. බටහිරින් පැමිණෙන සෑම දෙයක්ම උසස් යැයි  පිළිගැනීමේ ප්‍රවනතාවෙන් සාහිත්‍යයද නිදහස් නොවූ බැවින් ඔවුන් කෙරෙහි වැඩි වශයෙන් බලපාන්නේ බටහිර සාහිත්‍ය සම්ප්‍රදායයි. එහෙත් සිංහලයේ පැරණි සාහිත්‍ය සම්ප්‍රදායද, කතා කීමේ කලාවද හැදෑරීමට ඔවුන් යම් උත්සාහයක් ගන්නේ නම් ඉන් මාහැඟි ප්‍රතිඵල නෙළාගැනීමට හැකිවනු නිසැකය. නවකතාකරුවන්ටත් වඩා කෙටිකතාකරුවන්ට එය විශේෂයෙන් ම වැදගත් වනු අැත...''

මේ අනුව බලන විට, ගුණසිංහයන් ස්වකීය නිර්මාණ බස් වහර, අපේ රටේ එ‍ෙතිහාසික සාහිත්‍ය සම්ප්‍රදායෙන් හා ජනකතා කලාවෙන් පෝෂණය කර ගනිමින් ගොඩනඟාගෙන තිබෙන බව පෙනේ. ඔහුගේ කෙටිකතා නිර්මාණයන්හි බස්වහර සියුම්ව අධ්‍යයනය කරන විට එහි අන්තර්ගත නිර්මාණාත්මක භාෂා ලක්ෂණ කිහිපයක් හඳුනාගැනීමට පිළිවන. එනම්, කාව්‍යාත්මක භාෂා ව්‍යවහාරය, අලුත් උපමා රූපක නිර්මාණය, උපහාසය හා උත්ප්‍රාසය මිශ්‍ර භාෂා ව්‍යවහාරය, පුද්ගල ස්වභාවය නිරූපණය වන ලෙස දෙබස් නිර්මාණය, ගැමි වහර හා පුර වහර අැසුරින් තනාගත් යෙදුම් භාවිතය, සංකල්ප රූප මවනසුලු බව හා භාෂාවේ ප්‍රාණවත් බව වශයෙනි. මෙම නිර්මාණාත්මක භාෂා ලක්ෂණ ඔහුගේ කෙටිකතාවන්හි නිරූපණය වී තිබෙන අාකාරය උදාහරණ අැසුරෙන් විමසා බැලීමට පිළිවන

එක් අතෙකින් බලන විට කෙටිකතාකරුවකුගේ භාෂා භාවිතය, කවියකුගේ භාෂා භාවිතයට සමාන වන තැනක් තිබේ. එනම් නිර්මාණයට අනවශ්‍ය එකදු වචනයක් හෝ රහිතව වාංමය වියමනක් ලෙස රචනා කිරීමය. අවසාන නිර්මාණය තුළට එකදු  වචනයක්වත් අැතුළු කරන්නට හෝ ඉන් එකදු වචනයක්වත් ඉවත් කරන්නට හෝ නොහැකි පරිදි කෙටිකතාව රචනා කිරීම සූර රචකයකුගේ ලක්ෂණයකි.  ගුණසිංහයන්ගේ කෙටිකතාවන්හි මෙකී ලකුණු නොඅඩුව දක්නට ලැබෙන අතර, ඔහු සූර කවියකු වීම නිසා එහි ලක්ෂණ ඔහුගේ කෙටිකතා කරණයටද නිරායාසයෙන්ම සේන්දු වී තිබෙන බව පෙනේ. මේ ඔහුගේ කෙටිකතා තුළ හමුවන එබඳු අවස්ථා කිහිපයකි.

''ඉඳහිට ඔහුගේ නිවසට පැමිණ වැඩක් පොළක් කර දී බිරිඳගෙන් රුපියල් දෙක තුනක් ඉල්ලාගෙන යන ජේන් අක්කාගේ පැල්පතෙහි කුප්පි එළිය පොල් අතු දොර අතරින් දිස් වූයේ කණාමැදිරි රෑනක් මෙනි. එහෙත් චණ්ඩව කැළඹෙන සිතුම් සාගරයක ගල් පර මැද අසරණව අතරමංව සිටි ඔහුට එය දිස්වූයේ වෙරළේ පහන් ටැඹකින් විහිදෙන සැනසුම් අාලෝකයක් මෙනි.'' ('යක්ෂයාගේ රාත්‍රිය', 'කැනල්පාරේ නිශාචරයෝ' කෙටිකතා සංග්‍රහය, පිටුව 28)

''ක්ෂණයකින් පිපී පරවූ ගිනිහිරියා මලක් මෙන් නිමේෂයකින් දැල් වී යළි නිවී ගිය ගිනිකූරු එළියෙන් දිස් වූයේ යව්වනයේ අනුපමේය ප්‍රභාව විහිදුවන පහන් වැනි දීප්තිමත් දෑස් අැති සුරූපියකි'' ('කැනල්පාරේ නිශාචරයෝ', 'කැනල්පාරේ නිශාචරයෝ' කෙටිකතා සංග්‍රහය, පිටුව 21)

''කුඩා හෙල් මුදුනක උන් ඔහු වෙතින් හැල්මේ බෑවුම් වී යන බිම්කඩ මද්දහනේ හිරු එළියෙන් දිලිහි දිලිහී කුසීතව ගලන දොළ පහරකින් නිම වෙයි. ඉන් ඔබ්බෙහි අැත්තේ නිම් ඉර දක්වා විහිදෙන වෙල් යායකි. කිරට නැවුණු ගොයමින් වැටලී ගිය කටු මැටි ගෙයක බට කොළ පියස්සෙන් මතුවන සිහින් දුම් රොටුවක් වළා කඩින් තොර අහස සිසාරා සුළඟට හසුව, තුනී වී නොපෙනී යයි...'' ('කපිතන්ගේ පුත්තු', කැනල් පාරේ නිශාචරයෝ කෙටිකතා සංග්‍රහය, පිටුව 47)

''සුළඟ නිරතුරුව හුදෙකලා වේදනාවෙන් හඬ නඟන, කඳුකර තක්සලාවේ තුන් වසරක් ගෙවා නිම කළ ඕ, රළ පෙළ දිවා රෑ විඩා මතින් වැළපෙන මුහුදුකරයේ තම ගම් පියස වෙත පෙරළා යන අතර, අද ඔහු හමුවීමට පැමිණෙන්නීය...'' ('ඉන්දුගේ ස්වයංවරය', 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' කෙටිකතා සංග්‍රහය, පිටුව 90)

නිර්මාණශීලී ලේඛකයකුට සිය භාෂාවේ පවතින සාම්ප්‍රදායික උපමා රූපක ප්‍රමාණවත් නොවන අතර, ඒවා කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් වැරහැලි වූ අැඳුමක් සේ කල් ඉකුත් වූ ස්වභාවයක්ද දැනෙයි. එවිට ඔහුගේ නිර්මාණාක්ෂිය යොමු වන්නේ අලුත් උපමා උපමේය, රූපක නිර්මාණය කරමින්, තම ප්‍රකාශනය සහෘදයා වෙත වඩාත් දැනෙන ලෙස සන්නිවේදනය කිරීමටය. ගුණසිංහයන් සිය කෙටිකතා රචනයේදී භාෂාවේ පවතින උපමා උපමේය, රූපක යනාදියෙන් සෑහීමකට පත් වූවකු නොවීය. ඔහු සිංහල භාෂාවේ එබඳු සීමා පවුරු අතික්‍රමණය කරමින් ඉදිරියට ගියේය. මෙරට එ‍ෙතිහාසික සාහිත්‍ය සම්ප්‍රදායේද, ජනවහරේද ගුණාංග ගුරුකොට ගනිමින් නවමු උපමා රූපක නිර්මාණය කොට සිය නිර්මාණය වඩාත් විචිත්‍රවත් කළේය. මේ ඔහුගේ කෙටිකතාවන්හි හමුවන එබඳු අවස්ථා කිහිපයකි. 

''වැටක වැනූ දිය රෙද්දක් මෙන් පුටුවේ දෑල දිගේ පහතට වැගිරී සිටි මිනිසා මොහොතකට තම දෑස් අයා නැවත පියවා ගත්තේය.''

''අඳුරු සෙවණැල්ලෙන් වැසී ගිය මඩ දිය කඩිති වැනි ඔහුගේ දෑසෙහි එල්ලයක් නොවීය...''

''සරොම් පොට පසෙකින් ඔසොවාගෙන අඳුරු වීදිය මැදින් ඔහු පැමිණියේ රජ මාවත ඔස්සේ ගමන්කරන මහා රජකු මෙනි.''
('කැනල් පාරේ නිශාචරයෝ')

''සවස් කාලයෙහි සිට මුදුන් වන්නට වූ දැලි අඟුරු පැහැති වළාකුළු අහසෙහි පැහැය සොයන්නට හිදැසකුදු නොතබා කිලිටි බදාමයක් සේ සතර දිශාවටම පැතිර ගියේය.''

''ලවක් දෙවක් නැතිව දමා ගසන යෝධ කසයක් මෙන් අකුණු පිපිරෙයි. අහස ගොරවන්නේ ඉන් වියරු වැටුණු පරුමාන කොටියකු මෙනි. වරින්වර කෙටෙන විදුලිය, කවුළු පළිඟු මත ගිනි අවුලයි.''
 ('යක්ෂයාගේ රාත්‍රිය')

''මූණු හපුටු කරගත් කෙල්ලෝ පොල් කටු ගොඩකට ගිනි අැවිලුණු කලෙක මෙන් එහෙන් මෙහෙන් පුපුරන්නට වූහ.''

''ඉවසා බැරිම තැන මනෝමය අධෝ වාතයක් හැර සිතේ පීඩනය අඩු කරගත් හේ අැඹුල් මුහුණින් යුතුව අසුන් ගත්තේය.''
('මැණික් සොයන්නෝ')

''රටක්ම සතුටු වෙනවා නම් පළාතක් අැඬුවට මොකද? නේද සර්?''
('ඉන්දුගේ ස්වයංවරය')

''අසන්නන් කොතෙක් නොඉවසිලිමත් වූවත් කියන්නා කතාව කීවේ ඔහුට ඕනෑ හැටියටය. කිතුල් මලෙන් තෙලිජ්ජ වෑහෙන්නා සේ බින්දුවෙන් බින්දුව වෑහුුණු එම කතාවේ සාරාංශය මෙසේය.''
('අවියක් නැති සෙනෙවියා')

''ඒ සැණින් අායා, සිය බැම දුනු දිය නංවා මුදා හළ, නෙත්සර ප්‍රහාරයෙන් මිදෙන්නට ඔහු වෙත පළිහක් හෝ සන්නාහයක් නොවීය.''
('මාවතේ දරුවෝ')

ඕනෑම ලේඛකයකුගේ රචනා ශෙෙලියේ පොදුවේ කැපී පෙනෙන, ඔහුටම අනන්‍ය වූ ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයක් හඳුනාගැනීමට පිළිවන. මේ අනුව ගුණසිංහයන්ගේ රචනා ශෙෙලියේ ද පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් තිබේ. එනම්, උපහාසය හා උත්ප්‍රාසය මිශ්‍ර භාෂා ව්‍යවහාරයයි. මෙම ලක්ෂණය ඉතා පුළුල් ලෙස දක්නට ලැබෙන්නේ ඔහුගේ පුවත්පත් තීරු රචනාවන්හිය. එමෙන්ම, ඔහුගේ කෙටිකතාවන්හිද මෙම ලක්ෂණය අපූර්ව ලෙස යොදාගෙන තිබෙනු දක්නට පිළිවන. උපහාසය, සදය උපහාස‍ය ලෙසද, තවත් විටෙක නිර්දය උපහාසය ලෙසද අවස්ථාවෝචිතව යොදාගන්නා නමුදු, එය අපහාසයක් දක්වා කිසි විටෙකත් ගමන් නොකරයි. ඒ වෙනුවට දැකිය හැක්කේ තියුණු, අතැම්විට ඒ අරුත පේළි අතර කියැවෙන අන්දමේ උපහාසයකි. උත්ප්‍රාසයකි. මෙබඳු සමත්කමක් පෑ හැක්කේ සිංහල භාෂාවේ බහු විධ ශක්‍යතා කෙරෙහි පළල් අවබෝධයක් සහිත සූර ලේඛකයකුටය. ගුණසිංහයන්ගේ කෙටිකතා තුළ හමුවන එබඳු අවස්ථා කිහිපයක් මෙසේය.

''ජවාධික වෙළඹක බඳු ගැහැණියක සිටියද එකම දරුවකුවත් නැති පොඩි දොස්තර, කුකුළන් අැති කිරීමෙන් අාදායමක් පමණක් නොව, මානසික තෘප්තියක්ද ලැබීය. කුඩා පුළුන් කැටි වැනි කුකුළු පැටවුන් කෙමෙන් වැඩෙමින් නාඹර වියට පත්වනු දකින ඔහු තුළ අැතිවන්නේ ලොකු සතුටකි. මසකට දෙකකට වරක් වෑන් රියක නැඟී කුකුළු දරුවන් 'කොක් කොක්' ගාමින් කොළඹ යන විට නැඟෙන සිනහව උන් විකුණා ලද නෝට්ටු මිටිය යකඩ සේප්පුවෙහි දමා යතුරු ලූ පසුවද බොහෝ වේලාවක් ගත වන තුරු ඔහුගේ මුවෙහි වරින්වර විදුලි කොටයි...'' ('පිං කුකුළා හැඬලූ වගයි')

''පොඩි දොස්තර මාසේ පඩිය ගත් කසල ශාේධකයකු සේ ‍රාජකීය අන්දමින් වෙරි විය.'' ('පිං කුකුළා හැඬලූ වගයි') 

''පාසලේ ගුරුවරුන් හා ළමුන් කට්ට ගල් කැබලි අතගාමින් මැණික් හොයද්දී ඔහු, සංගීත පංති කාමරයේ සිතාර්, එස්රාජ්, වයලීන හා තබ්ලා අතරෙහි සංගීත මිස් සමග 'නොබැඳි සාකච්ඡා' පවත්වන බැව් පාසලේ ඕපාදූප ප්‍රවෘත්ති සේවය මගින් වාර්තා විය. 'අාට් මාස්ටර්' කියා සිටියේ උපාධිකාර රැවුලා සංගීත මිස්ට අලුත්ම රාගයක් උගන්වන බවයි.'' ('මැණික් සොයන්නෝ')

''හමේ ලප කිහිපයකට බෙහෙත් ගැනීම සඳහා චැනල්  පාර ඔස්සේ විශේෂඥ වෙෙද්‍යවරයකු හමුවීමට පැමිණි නෝනා, එම ලප තුරන් වී ගිය පසුවද නිතර නිතර අවුත්, ඔහු මුණ ගැසීම පුරුද්දක් කර ගත්තීය. මෙම චර්ම රෝග විශේෂඥයා, අවිවාහක කඩවසම් තරුණයෙකි.'' ( මාවතේ දරුවෝ')

''වචන තුළ සඟවා අැණුම්පද කීම මෙන් නොව, ඍජුුවම චෝදනාවක් එල්ල කිරීම තරමක් දුෂ්කර කාර්යයකි. සාපරාධී මනුෂ්‍ය ඝාතනයෙහි සිට අරක්කුවලට අපද්‍රව්‍ය මිශ්‍ර කිරීම දක්වා, ක්‍රිස්ටි සොයිසාට විරුද්ධව නැඟිය හැකි චෝදනා රාශියකි. කොටින්ම කිවහොත් සමස්ත අපරාධ නීති සංග්‍රහයෙන්ම ඔහුට දමා ගැසුවද එය එතරම් අසාධාරණයකැයි කිව නොහැක. කරුණු මෙසේ තිබියදී, නීතියේ දිගු අත ඔහු වෙත දිගුවීමට තරම් දිගු නොවන්නේ නම්, එය නීති බලධාරීන්ගේ වගකීමකි.'' ('කොටියාගේ බිරිඳ')

බොහෝ විට පුද්ගලයකුගේ මුවින් පිටවන වැකියක් ඔහුගේ සමස්ත ජීවිතය හෝ ඔහුගේ ඒ මොහොතේ ස්වභාවය නිරූපණය කරන කැඩපතක් බඳුය. වචන දහසකින් පමණ විග්‍රහ කළ යුතු එබඳු ලක්ෂණ එක් වැකියක් තුළ, එක් දෙබසක් තුළ අන්තර්ගත කිරීම භාෂාවේ ස්ප්‍රීතුවක් පෙරාගැනීම තරම් සූක්ෂ්ම නිර්මාණාත්මක සමත්කමකි. එමෙන්ම එම වැකිය වඩාත් තියුණු ලෙස දැනෙන්නේ කතා කරන ස්වරූපයටම සමාන වන ලෙස රචනා කළ විටය. 

'අවියක් නැති සෙනෙවියා' යනු විප්ලවවාදී පුවත්පත්කලාවේදියකුගේ ජීවිතය කේන්ද්‍ර කොටගෙන ගුණසිංහයන් විසින් රචනා කෙරුණු කෙටිකතාවකි. ඔහු කෙටිකතාව තුළ නිරූපණය කර අැත්තේ 'රාජා මහත්තයා' යන නමිනි. මත්පැන් හලට එකතු වී මධුවිත තොලගාමින් සිටින සමාජයේ පහළ පංතියේ නියෝජනයන් වන කම්කරුවන් අැතුළු පිරිසක් 'රාජා මහත්තයා' ගැන කතා කරමින් සිටින අාකාරය එම කෙටිකතාවේ අැතුළත් වන්නේ මෙලෙසනි.

''ඊයෙ මෙතන හරි කෂිලිය...!'' අරක්කු ඩබලක් උඩට සෝ‍ඩා කාලක් දැමූ වීදුරුවක් අතින් ගෙන බාර් අැන්දට පිට දී සිටින මිනිසෙක් තම සගයාට කියයි.
''අැයි මොකද ෂෙල්ටන් අයියා...?''
''කොහෙන්දෝ පාත් වෙච්ච රැවුල්කාර පොලිටිකල් ග්‍රහයෙක් අාව නේද රාජා මහත්තයා එක්ක හැප්පෙන්ඩ...''
''ඉතින්...?''
''කරටියටම වැදිලයි රාජා මහත්තයා හිටියේ...!''
''ඊ...ත්...තීන්!''
''අායි කියන්ඩත් ඕනැද වීරෙ මල්ලී..! රාජා මහත්තයත් එක්ක දේශපාලනේ කතා කරලා මොන ජොකියද වින් ගැහුවෙ..! දුන්නා ටෝක් එක බොක්ක දෙදරන්ඩ ! රැවුලා අන්තිමේදී ෆුල් සරෙන්ඩර්...! යනකොට ෂේක් හෑන්ඩ්ස් කරල මූනත් ඉඹලයි ගියේ...!''
''ෂක් ...! ඊයේ මට එන්ඩ බැරි වුණා. ගෙවල් ළඟ පොඩි පිරිතක්. දැන් නම් රාජා මහත්තයා එන ටයිම් ඒක..!''
''ටිකක් ලේට් වෙන්ඩත් පුළුවන්... මඩකලපුව පැත්තේ ගිනිකෙළිලු! පිට පිට බෝම්බ අැටෑක් තුනක්ද කොහේද? පේපර් එකේ පැලෙන්ඩ වැඩ අැති...!''

'යක්ෂයාගේ රාත්‍රිය' යනු මෙරට ජන සමාජය ප්‍රකම්පනය කළ 1983 කළු ජූලිය පදනම් කොටගෙන ලියැවුණු කෙටිකතාවකි. කෙටිකතාවේ කතා නායකයා හමුදා සෙබළකු වන අතර, ඔහුගේ භාර්යාව දෙමළ ජාතික කාන්තාවකි. ඔවුන්ට දින කිහිපයකට පෙර උපත ලද බිළිඳකු සිටී. මැරයින් ඔවුන් සොයාගෙන එන විට ඔවුහු අසල්වැසි නිවසේ සිටින එදිනෙදා කුළී වැඩ කර ජීවිතය ගැට ගසා ගන්නා 'ජේන් අක්කාගේ' පැල්පත වෙත අාරක්ෂාව පතා යති. මේ ඔවුන්ව පිළිගන්නා ජේන් අක්කාගේ මුවට නැංවෙන දෙබසයි.

''කිරි බුදු අම්මේ'' යැයි අැයට කියැවිණි.
''ගෙට එන්න දෙයියෝ ගෙට එන්න! අන්දකාරේ හීතලේ... මේ කිරිදරුවත් එක්ක.. එහෙනම් උන් එහෙත් අාවා... වලත්ත බල්ලො! දරුවා මගේ අතට දෙන්න නෝනේ.. ඔය වැල් අැඳෙන් වාඩි වෙන්න... පොදේට අහු වුණා නේද? හරිම නරක වෙලාව... කෝ ඉන්න ගිනි කබලක් දෙන්න...''

පුද්ගලයාගේ පංතිය, ජීවන රටාව, ඔවුන් භාවිත කරන බස් වහර අාදී සියල්ල ඉතා සැලකිලිමත්ව කැටි කොට එම දෙබස් නිර්මාණය කර තිබෙන අාකාරය ඉහත නිදසුන් දෙකෙන් මැනවින් හඳුනාගැනීමට පිළිවන.

කෙටිකතාවක රචනා ශෙෙලිය යාන්ත්‍රික වීම එය අවසානය දක්වා කියවීම වළක්වාලන්නට පෙළඹීමක් අැති කළ හැකි සාධකයකි. එහෙත් එම රචනා ශෙෙලිය විචිත්‍ර කෙරෙන තාක්ෂණය මැනවින් දන්නා ලේඛකයකුගේ කෙටිකතාවක් එබඳු අවාසනාවන්ත ඉරණමකට ලක් නොවේ. ගැමි වහර හා පුර වහර එහි සීමාවන් හඳුනාගෙන යොදා ගැනීම නිසා කෙටිකතාවකට ලැබෙන පෝෂණය සුලු පටු නොවේ. එබඳු වදන් බොහෝ විට ජන සමාජයේ කාලාන්තරයක් තිස්සේම භාවිත වී අැති නිසා වචන ගණනාවකින් පැවසිය යුතු දෙයක්, ස්වභාවයක් වචනයකින් හෝ දෙකකින් පහසුවෙන් සහෘදයාට දන්වන්නට පිළිවන. ගුණසිංහයන්ගේ කෙටිකතාවන්හි මෙම ලක්ෂණය දක්නට ලැබෙන අවස්ථා අතරින් වඩාත් තියුණු අවස්ථාවකි මේ.

''ගම්මැදි අම්මණ්ඩිලා අසුර විදිල්ලිය යනුවෙන් හඳුන්වන තාලයේ ගැටිස්සියක වන ඕ, තරමක් හැඩකාර ඊටත් වැඩියෙන් විසේකාර එකියකි. මදමත් හොර බැළලියක සේ අැය, අර අඳින්නේ මොකක් හෝ ජවුසමක් නැටීමට බැව්, එතැන ඒ මොහොතේ, ගම්මැදි අම්මණ්ඩියක සිටියා නම් හූනා කියන්නා වාගේ කියනු නිසැකය...'' ('මාවතේ දරුවෝ'')

සංකල්ප රූප මැවීම වඩාත්ම කාව්‍යකරණයේදී දක්නට ලැබෙන්නකි. නමුත් සූර කෙටිකතාකරුවකුට සිය කෙටිකතාවන්හිදීද කවියකු පානා පෙළහර අන්දමේ පෙළහර පෑ නොහැකි නොවේ. ගුණසිංහයන්ගේ භාෂා ව්‍යවහාරය තුළ මෙම සංකල්ප රූප මවනසුලු බව ඉතාම පැහැදිලිව හා ප්‍රබලව දැකිය හැකි ලක්ෂණයකි. ඔහු සිදුවීම් විග්‍රහ කරගෙන යන ශෙෙලිය තුළ, සිනමා පටයක් සේ අදාළ සිදුවීම පාඨකයාගේ මනසෙහි මැවෙයි. එය නොකැඩී, නොබිඳී අඛණ්ඩව කෙටිකතාවේ මුල සිට අග දක්වාම පවත්වාගෙන යන්නට ඔහු සමත් වෙයි. මේ එබඳු අවස්ථාවකි.

''...මියගිය හිරුගේ චිතකය, තවමත් ගිනිදැල් විහිදුවමින් දැවෙන ක්ෂිතිජය දෙසට, කවුදෝ දෙදෙනකු රළ මැදින් අැවිදගෙන යනු පෙනිණි. ඔවුන් දෙදෙනා, මුහුදේ ස්නානය කරන්නවුන් නොවන බැව්, අවට ලෝකයට හැඟවීමට මෙන් සාරි පොටක් සුළඟේ අැඹරෙමින්, වෙලු කැවෙමින්, වියරුවෙන් දැඟලීය. දවසේ විකාරරූපී දර්ශනය නිමා කැරෙන මෙම අවසාන ජවනිකාව දෙස බලා සිටි හැම දෙනාගේම මුහුණු මත කුතූහලය හා සංත්‍රාසය විනා අන් හැඟීමක් නොවිණි. උකුලක් දියේ බැස සැඬ බවින් තොර රළ මැඬ ගෙන ගිය යුවළ, ගල් කුළක් මතට නැඟ ගත්හ. ඉන් ඔබ්බෙහි වූයේ, චණ්ඩ රළ ගෙඩි කාේපයෙන් පිපිරෙන ගැඹුරු මුහුදයි. ඉක්බිතිව ඔවුන් දෙදෙනා උනුනුන් වැළඳගෙන මොහොතක් නොසෙල් වී සිටියහ.

ඉහළට අැදගත් හුස්ම පහළට හෙළීමටවත් ඉස්පාසුවක්, නරඹන්නන්ට නැති තරම්ය. 'පනීද?' යෝධ ප්‍රශ්නාර්ථයේ ලකුණක් සියල්ලන්ගේම හිසට ඉහළින් ලඹ දෙමින් තිබිණි. කාලයේ ගමනද මොහොතකට නැවතුණාක් මෙනි. 'අා..අා......හ්!' එක් සුදු ගැහැණියක් සිහිසන් නොමැතිව වැල්ල මත අැද වැටුණාය. ජීවිතාරක්ෂක බෝට්ටුවක මෝටරය 'පට්..පට්..පට්' හඬ නඟමින්, ප්‍රාණවත් වීමට දඟලනු අැසිණි.

අවසානයේදී අාලිංගනයෙන් මිදුණු තරුණ යුවළ, අතිනත ගෙන, ගල් කුළෙන් පහළට පිණූහ. මහ සයුර අෑනුමක් හරින්නට මෙන් සිය විශාල මුඛය විවර කර, යළි පියා ගත්තේය....'' ('හිරුගේ චිතකය')

ඉහත සිදුවීම රචකයා විග්‍රහ කරන්නේ සිනමාකරණයෙහි වන සමාන්තර ඡේදන රීතිය කෙටිකතාකරණය වෙත අාදේශ කරමිනි. එහිදී අදාළ යුවළගේ හැසිරීමත්, වෙරළේ නරඹන්නන්ගේ ප්‍රතික්‍රියාවනුත් පාඨක මනසෙහි මාරුවෙන් මාරුවට චිත්‍රණය කෙරෙන අාකාරය අපූර්වය. 

ඉහත කී ලක්ෂණ සියල්ලේ එකතුව වන්නේ ප්‍රාණවත් භාෂාවකි. කෙටිකතාව සඳහා උපයෝගී කොට ගත් භාෂා ශෙෙලියේ ප්‍රාණවත් බව කෙටිකතාවේ අතරමැද සිට  පැවතීම ප්‍රමාණවත් නොවේ. කෙටිකතාවේ අාරම්භය අජීවී, අප්‍රාණික භාෂාවක ලක්ෂණ සහිත වේ නම්, එම කෙටිකතාව කියවන්නට පාඨකයා පොළඹවන සුලු භාවය අවමය. එබැවින් කෙටිකතාව කෙරෙහි අාකර්ෂණය කර ගන්නා, කුතූහලය මුසු අාරම්භක වැකියක් යෙදීම සූර කෙටිකතාකරුවකුගේ ලක්ෂණයකි. ඒ අනුව ගත් විට ගුණසිංහයන්ගේ කෙටිකතාවන්හි මෙම ලක්ෂණය ඉතා නිර්මාණාත්මක ලෙස අන්තර්ගතව පවතින අාකාරය හඳුනාගැනීමට පිළිවන. මේ ඔහුගේ කෙටිකතාවන්හි අාරම්භක වාක්‍යයන්ය.

''සර්... සර්... හොඳටම රෑ වෙලා. දැන් නං ඉතිං වහන්ඩ ඕනෑ....!'' (කැනල් පාරේ නිශාචරයෝ)

''ඔහු සිතූ පරිදිම එදින රාත්‍රිය අති බිහිසුණු විය.'' (යක්ෂයාගේ රාත්‍රිය)

''පින් කුකුළාගේ හැඬලුම අාගයියාට අැසුණේ ලිප ගිනි මොලවමින් සිටියදීය.'' (පින් කුකුළා හැඬලූ වගයි)

''උඹට ඉතිං අමුතුවෙන් මැණික් මොටද? ඔය මැණිකක් ලැබිලා තියෙන්නෙ ! තඩි පේමයා අැසක් හකුළුවා කටද අැඹුල් කර, මහපටැඟිල්ල දුන්නක් සේ නොපිටට නවා රත්නේ දෙසට ගස්සමින් කීවේ ඔහුට පමණක් නොව, මුළු පන්තියටම අැසෙන්නටය.'' (මැණික් සොයන්නෝ)

''ප්‍රාග් එ‍ෙතිහාසික යුගයේ විසූ දැවැන්ත ගොයකු සේ ලන්ද මැදින් බඩ ගෑ කපිතන් ජයවීර අාරා වැටුණු බලුදං පඳුරු අතර වූ හිදැසක් අබියස රැඳී, දෙවැලමිට බිම ඔබා, දෙවුර පොළෝ මට්ටමින් ශේෂයක් ඔසවා, ඒ තුළින් එබී බැලීය.'' (කපිතන්ගේ පුත්තු)

''කුඩා දරු දැරියෝ මාවත අයිනේ මහ ගස් යට වූ දිය කඩිතිවල සෙල්ලම් කරමින් සිටියහ.'' (මාවතේ දරුවෝ)

''සවස් කාලයෙහි මත්පැන් හලට එන ඔවුහු සුරාවට අැබ්බැහි වී සිටි අයුරින්ම එක්තරා මිනිසකුටද අැබ්බැහි වූහ.'' (අවියක් නැති සෙනෙවියා)

''කමාන්ඩෝ නිල අැඳුම් වැනි කොළ බූටෑවෙන් සහ වර්ණාවලියෙහි නන් විසිතුරු පැහ‍ැයෙන් සුපිපි මල් කැකුළුවලින් සැදී ගත්, දැකුම්කළු ලඳු තීරයකින් වට කළ, හෝටල් අංගනයේ කෙළවරක, තම මෝටර් රථය නතර කළ ජයදේව, එකවර ඉන් නොබැස, රියදු‍රු අසුනේ දිග අැදී, මොහොතක් සැනසුම් සුවයේ පසු වීය.'' (කේතුමතී හෝටලයේ රාත්‍රියක්)

''රාත්‍රිය නිහඬ මුත් නුදුරින් අැති මහ මාවත ඝෝෂාකාරීය.'' (වෘත්තාකාර බන්ධනාගාරය)

''ඒ වන විට, නැඟෙනහිර දෙස කඳු වළල්ලෙන් උදා හිරු නැඟී, අඩ හෝරාවක් පමණ ඉක්ම ගොස් තිබෙන්නට අැත.'' (ඉන්දුගේ ස්වයංවරය)

''දැන් ඉතිං කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ එකම එක දෙයයි.'' තරුණයා කීවේය. (හිරුගේ චිතකය)

''ක්‍රිස්ටි සොයිසාගේ තරුණ බිරිඳ, කිතුල් රෑනක් සේ ඝනව වැඩුණු තම කෙස් වැටිය පීරා අවුල් හරිමින් සිටියාය.'' (කොටියාගේ බිරිඳ)

මෙලෙස අාරම්භක වාක්‍යයේ සිටම දක්නට ලැබෙන ප්‍රාණවත් භාෂා භාවිතය කෙටිකතාව පුරාම ඒකතානමය ලෙසින් ගලාගෙන ගොස් තිබෙන බව දක්නට පිළිවන.

මේ කාරණා සියල්ල සමස්තයක් ලෙස ගෙන විමසන විට කෙටිකතාවේ අන්තර්ගතය විසින්ම එහි භාෂාව හා අාකෘතිය ගොඩනඟනු ලැබ තිබෙන බව පෙනේ.මෙහිදී ඔහුගේ 'මාවතේ දරුවෝ ' කෙටිකතාව පිළිබඳව අවශ්‍යයෙන්ම සඳහන් කළ මනාය. මෙම කෙටිකතාව සාහිත්‍යමය ප්‍රකාශනයක් ලෙස ගත් විට, සුවිශේෂත්වයක් ප්‍රකට කරන කෙටිකතාවකි. කෙටිකතාවක් යනු ඒකීය ධාරණාවක් කරා ගෙන යන සිද්ධියකට හෝ කාරණයකට සීමා වන්නක් වන නමුදු, සිනමා විධික්‍රමය ගුරු කොට ගනිමින් කිසියම් අරමුණක් වෙනුවෙන් සිදු වීම් කිහිපයක් සමෝධානය කිරීමක් මෙම කෙටිකතාවේ දක්නට පිළිවන. එබැවින් මෙම කෙටිකතාව ලාංකේය කෙටිකතා කලාව තුළ වන සුවිශේෂ අත්හදා බැලීමක් මෙන්ම, සාර්ථක අත්හදා බැලීමක් ලෙසද සැලකීම යුක්ති යුක්තය.

මේ අනුව ගුණසිංහයන්ගේ කෙටිකතා සාහිත්‍යමය ප්‍රකාශනයක් ලෙස කියවන විට එහි අන්තර්ගත සාහිත්‍යයික භාවිතයන්, නිර්මාණාත්මක අත්හදාබැලීම් රාශියක් පවතින බව හඳුනාගත හැකිය. ඒවා විසින් ලාංකේය කෙටිකතා කලාවට නවමු මාවතක්ද මානයක්ද එක් කරනු ලැබ තිබෙන බව අවිවාදිතය.



සමාජමය ප්‍රකාශනයක් ලෙස...


සෙසු ලාංකේය කෙටිකතාකරුවන්ගේ නිර්මාණ හා සමග බලන විට ගුණසිංහයන්ගේ කෙටිකතා නිර්මාණ, සමකාලීන සමාජ - දේශපාලන නැඹුරුවක් සහිත අත්දැකීම් කෙරෙහි වැඩි බරක් තබා තිබෙන බව පෙනේ. පුද්ගල චෙෙතසිකයන් විවරණය කිරීමට වඩා සමකාලීන ලාංකේය සමාජ මොහොත නන් විධ සිදුවීම් හරහා විවරණය කරන්නට ඔහු පෙළඹී අැත. මේ සඳහා ඔහුට පුවත්පත්කලාවේදී වෘත්තිකයකු ලෙස සමාජය සමග නිරන්තරව ගැටෙන්නට සිදු වීමද යම් ප්‍රමාණයකට හේතු වූවා විය හැකිය. 

ඔහුග‍ේ කෙටිකතා වෙන් වෙන්ව ගෙන බැලුවහොත් 'යක්ෂයාගේ රාත්‍රිය' නමැති කෙටිකතාවෙන් නිශ්චිතවම 1983 කළු ජූලියද, 'කපිතන්ගේ පුත්තු' කෙටිකතාවෙන් 1971 අරගලයද නිරූපණය වී තිබේ. මෙම සමාජ අත්දැකීම් දෙක මෑත ලාංකේය ඉතිහාසයේ ඉතා ප්‍රබල, සමාජ දේශපාලන වශයෙන් මෙරට සමාජයේ හැරුම් ලක්ෂ්‍යයන් වූ සිදුවීම් දෙකකි. 1971 අරගලය විසින් මෙරට සමාජයට අඳුරු සහගත මෙන්ම ප්‍රභාමත් අත්දැකීම්ද ලබා දෙන ලදී. එහෙත් 1983 කළු ජූලිය විසින් ලාංකේය ඉතිහාසය මත නිර්මාණය කළේ කිසිදු දිනෙක සුව වෙතැයි සිතිය නොහැකි අන්දමේ බිහිසුණු තුවාලයකි. සමාජ සංවේදී නිර්මාණකරුවකුට මෙම සමාජ අත්දැකීම් දෙක පිළිබඳව සිය නිර්මාණාක්ෂිය යොමු නොකර සිටිය නොහැකිය. 1971 අරගලයේදී හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කෙරුණේ එම හමුදා නිලධරයින්ගේම සොහොයුරන්, පුත්‍රයින් බඳු තරුණයින්ටය, සොහොයුරන්, දියණියන් බඳු තරුණියන්ටය. මේ පීඩනය හමුදා නිලධරයින්ට නොදැනුනා විය නොහැකිය. එහෙත් නිල අැඳුම ලා ගත් පසු පිළිපැදිය යුත්තේ රජයේ අණ මිස, සිය හදවතේ හඬ නොවේ. 'කපිතන්ගේ පුත්තු' කෙටිකතාවෙදී කපිතාන් ජයවීර වෙතින් ඝාතනය වන්නේ තමන්ගේ කුඩා කල මිතුරකු වූ ඩේවිඩ්ගේ පුත්‍රයාය. මෙය ඔහු තුළ ප්‍රබල මානසික සංතාපයක් අැති කරන්නට සමත්වන අාකාරය කෙටිකතාව තුළ නිරූපිතය. 1971 අත්දැකීම දෙස ප්‍රචාරකවාදීව හෝ ප්‍රහාරකවාදීව නොබලා එය වඩාත් මානුෂික තලයක තබා විවරණය කරන්නට ගුණසිංහ මහතා සමත්ව තිබෙන අාකාරය එම කෙටිකතාවෙන් හඳුනාගැනීමට පිළිවන. මතුපිට දේශපාලනයක් දක්නට නොමැති වුවද එහි ගැඹුරෙහි තියුණු දේශපාලන ප්‍රවාහයක් ගලා නොයන බව කිව හැකි නොවේ. 

1983 කලු ජූලිය, සිංහල ජනතාව තුළ දෙමළ ජනතාවට එරෙහිව කටයුතු කිරීමක් ලෙස හඳුනාගැනීම නිවැරදි නොවේ. එය එවක රජයේ අනුග්‍රහය ලත් මැරයින් හා ඍජුවම අදාළ රජයේ දේශපාලකයින් විසින් නිර්මාණය කොට මෙහෙයවනු ලැබූවක් විය. ඊනියා ජාත්‍යාලයකට මුවා වී දෙමළ ජනතාවගේ දේපළ කොල්ල කෑම හා ඔවුන් ඝාතනය  කිරීම සිදු කෙරිණි. එයට සිංහල ජනතාව අතර සිටි පාදඩ මැර කණ්ඩායම් මැදිහත් වූහ. එහෙත් බොහෝ අවස්ථාවල දෙමළ ජනතාව මැරයින්ගෙන් අාරක්ෂා කර ගැනීමට සිය ජීවිත ගැන පවා නොතකමින් කටයුතු කළ සිංහල වැසියන් බොහොමයකි. දෙමළ ජාතිකයින්ගේ ජීවිත බොහොමයක් ගැලවුණේ සිංහල ජනතාවගේ ඒ නොමළ සහෝදරත්වයට පින් සිදු වන්නටය. ගුණසිංහයන්ගේ 'යක්ෂයාගේ රාත්‍රිය' කෙටිකතාවෙහි නිරූපණය වන්නේ එබඳු අත්දැකීමකි. එහිදී එම දැවැන්ත සමාජ ඛේදවාචකය නමැති අඳුරෙහි දිළෙන පහළ සමාජ පංතියට අයත් දිළිඳු කාන්තාවකගේ මානවීය ගුණය ඉතා මැනවින් විවරණය කරන්නට සමත්ව තිබේ. හමුදා සෙබළාගේත්, ඔහුගේ දෙමළ ජාතික බිරිඳගේත්, දින කිහිපයක් වයසැති කිරිකැටි බිළිඳාගේත් ජීවිත අාරක්ෂා කරන්නට 'ජේන් අක්කා' නමැති ඒම කාන්තාව කටයුතු කරන අාකාරය කෙටිකතාවේ අවසන් කොටසේ මෙසේ නිරූපණය වේ.

''... ‍ජේන් අක්කා කොස් කපන මන්නයද රැගෙන දොර අසලට අවුත් එහි වූ රට අඹලෑලි පෙට්ටිය මත වාඩි වූවාය.

'බැරි වෙලාවත් මේ පැත්තෙ අාවොත් හෙම අම්මපා.....!''

කෙටිකතාවේ කූට ප්‍රාප්තිය වන මේ මොහොත විසින් පාඨකයා තුළ දල්වා ලනු ලබන්නේ ප්‍රබල හැඟීමකි. ඒ හැඟීම පටු ජාති භේද, අාගම් භේද, පක්ෂ භේද  පුපුරුවා ලමින්, ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කරගත යුතු බව මිස අන් යමක් නොවේ. මෙහිදී අපට වැදගත් වන්නේ එම කාරණය සාහිත්‍ය නිර්මාණකරුවකුට අදාළ සීමා වැට නොපැන, විවරණය කරන්නට ගුණසිංහයන් දක්වා තිබෙන නිර්මාණශීලී හැකියාවය.

'පින් කුකුළා හැඬලූ වගයි' කෙටිකතාව එක්තරා වෙෙද්‍යවරයකුගේ අාත්මාර්ථකාමී වූත්, නීචවූත්, අමණවූත් ජීවන චර්යාව පිළිබඳව කතාවක් දිග හරිමින් ඊට යටින් ඔහු නියෝජනය කරන සමාජ පංතියේ නිර්දයභාවය දෙසට අාලෝක ධාරාවක් එල්ල කරමින් එය පාඨකයා හමුවේ අනාවරණය කරයි. තම ගෙවත්තේ පවත්වාගෙන යන කුකුළු කොටුව අාරක්ෂාකර ගැනීම සඳහා නිවස වටා වන කටු කම්බි වැටට විදුලිය කවන්නට ඔහු කටයුතු කර තිබෙන අතර, එක්තරා දිනෙක වූ අතපසුවීමකින් උදෑසන විදුලිය විසන්ධි කරන්නට අමතක වී එම කම්බි වැටෙහි ගැටුණු ගවයකු මිය යයි. මේ ගවයා ගමේ දිළිඳු මිනිසකුගේ කරත්තයේ බැඳ සිටි ගවයාය. අවසානයේ මේ දිළිඳු මිනිසාව රවටාගෙන තමන්ව නීතිය හමුවට යාමෙන් වළකාගෙන, එම මියගිය ගවයාද මස් කඩයට විකුණා තමන් වෙත ඒ මුදලත් ලබාගන්නට මෙම දොස්තර කටයුතු කරයි. එමෙන්ම වරෙක ඉහළ මට්ටමේ සාදයකට යන ඔහු අධික ලෙස වෙරිමත් වන අතර, එහිදී මිතුරු වන තරුණයකු සමග නිවෙසට පැමිණෙන අතර, වෙෙද්‍යවරයාගේ බිරිඳ සාදයේ සිටම ඔහු සමග ඉඟි බසින් ගනුදෙනු අරඹා නිවසට පැමිණි පසු ඒ තරුණයා සමග යහන්ගත වෙයි. මෙම අවස්ථාව නොකියා කියන්නකි. ඒ සිදුවීමට වැඩි තැනක් නොදී රචකයා  ඊට වඩා එම සමාජ පංතිය කෙරෙහි සිය විවරණය යොමු කරන්නට උත්සුක වී තිබේ.

'මාවතේ දරුවෝ' කෙටිකතාවේදී කේන්ද්‍රීය සිදු වීම වන, කුඩා ළදැරියක හදිසියේ අතුරුදන් වීම පදනම් කොට ගෙන ඊට පූර්ව හා පශ්චාත් සිදු වීම් ගලපමින් අපූර්ව සමාජ විවරණයක් කරන්නට ගුණසිංහයන් සමත්ව තිබේ. මෙරට සමාජය තුළ වර්ධනය වූ නව ධනේශ්වර සමාජ රටාව හා බැඳුණු දේශපාලන ප්‍රවණතාවත්, එය සමාජය හා ජන ජීවිතය මත පරාවර්තනය වී අැති අාකාරයත් විවරණය කරන්නට ඔහු මෙමගින් උත්සාහ දරා තිබේ. කුඩා දැරිය අතුරුදන් වී අැති බව දැනගත් මොහොතේ අැගේ පියාගේ ස්වභාවය විග්‍රහ කරන අවස්ථාව මේ නව ධනේශ්වර පංතියේ අැත්ත ස්වභාවය නිර්දය ලෙස විවේචනය කෙරෙන අවස්ථාවකි.

''පුංචි බේබිගේ අතුරුදන්වීම අැසූ සැණින් අැගේ  පියාගේ හදවත හෝස් ගා ගිනි ගත්තේ සිය සුරතල් කුඩා දියණිය කෙරෙහි පවතින, අප්‍රමාණ අාදරය නිසා බිහි වූ ශෝකාවේශයකින් පමණක්ම නොවේ. ඒක්ෂණයෙන් ගිනි ගන්නා වූ බොහෝ දේ, එම හදවතෙහි විය. ව්‍යාපාරික ලෝකය ඔස්සේ දේශපාලනයට පිවිස, එහිද බොහෝ දුර පැමිණි ඔහුගේ ජයග්‍රාහී මාවත දෙපස, ලේ සලකුණුද කවන්ධයෝද බොහෝ වූහ. තමන්ගෙන් පළිගැනීමේ හෝ විශාල කප්පමක් ගැනීමේ චේතනාවෙන් තම දියණිය පැහැරගෙන ගොස් අැති බැව් ඔහුට නිසැකය...''

මෙම විග්‍රහය මෙන්ම, කෙටිකතාවේ චරිතවල දෙබස් හරහාද මෙම සමාජ විවරණය ඉදිරිපත් කරන්නට රචකයා උත්සුක වී තිබේ.

'අවියක් නැති සෙනෙවියා' කෙටිකතාවද මෙරට කෙටිකතා අතර සුවිශේෂී නිර්මාණයකි. ජීවතුන් අතර සිටින පුවත්පත්කලාවේදියකුගේ චරිතය පාදක කරගෙන ලියැවුණු මෙරට එකම කෙටිකතාව මෙය විය හැකිය. මේ සඳහා පාදක වී අැත්තේ ‘සුනිල් මාධව ප්‍රේමතිලක‘ නමැති මෙරට සුවිශේෂී පුවත්පත්කලාවේදියාය. මෙහිදී සමාජය හා වඩාත් සමීප වූත් විප්ලවවාදීවූත් පුවත්පත්කලාවේදියකු වන 'රාජා'ගේ චරිතය කේන්ද්‍ර කොටගෙන සමාජ විවරණයක් ඉදිරිපත් කරන්නට ඔහු උත්සුක වී අැත. පුවත්පත්කලාව අාභරණයක් කොටගෙන බැබළෙන, වැජඹෙන පුවත්පත්කලාවේදීන් අහිනක් මැද පොදු ජනතාව හා සමීප ජීවිතයක් ගෙවන 'රාජාගේ' ජීවිතය අනෙක් පුවත්පත්කලාවේදීන් අභිමුව දැවැන්ත පෞරුෂයකින් යුතු බව මෙම කෙටිකතාවෙන් නොකියා කියැවේ. මත්පැන් පානය කිරීම නිසා රෝගාතුරව රෝහල්ගතව සිටින 'රාජා' මිය යන තුරු, ඔහුගේ තනතුරට එන්නට බලා සිටින පුවත්පත්කලාවේදීන් ගැන මෙම කෙටිකතාවේ සඳහන් වේ. මෙබඳු අත්දැකීම් බොහාමයකට මෙම කෙටිකතාවේ රචකයා වන ගුණසිංහ මහතාටද මුහුණ දෙන්නට සිදු වූ අතර, මෙම කෙටිකතාව සඳහා ඔහු ඒ තම  අත්දැකීම්ද යොදාගෙන අැති බව පෙනේ. මෙම කෙටිකතාව ඔස්සේ ඔහු වෙනස් ඉසව්වක සමාජ තීරුවක් ස්පර්ශ කරන්නට කටයුතු කර තිබේ.

'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' කෙටිකතාව වෙළෙඳපොළ අාර්ථික ක්‍රමය තුළ ඉපැරණි සමාජ වටිනාකම් වලපල්ලට ගොස් මුදලේ අාධිපත්‍යය බලවත් වන අයුරුත්, සියල්ල මුදලට විකිණෙන අයුරුත් නිරූපණය වේ. කේන්ද්‍රීය කතා පුවත ‍ගතහොත් මෙමගින් හොරණ ශ්‍රීපාලි විදුහලේ නිර්මාතෘ සහ ප්‍රගතිශීලී මන්ත්‍රීවරයකු වූ විල්මට් ඒ. පෙරේරාගේ නිවස තානායමක් බවට පත් වීමේ ඛේදවාචකය විග්‍රහ වේ. සරස්වතිය පළවා හරිනු ලැබූ පාලු දෙවොලේ දුෂ්ඨ මුදල් සංස්කෘතිය සිංහාසනාරූඪ වීම මෙහි කියැවේ. අපේ රටට වුණු දේම එකී නිවෙසටත් සිදුව තිබෙන බව කෙටිකතාවේ එක් චරිතයක් හරහා පැවසීමෙන් මෙය හුදෙකලා සිදුවීමක් නොව සමස්ත රටෙහිම ඛේදවාචකයක් බව පෙන්වන්නට ගුණසිංහයන් සමත්ව අැත. 

'වෘත්තාකාර බන්ධනාගාරය' කෙටිකතාව තුළින් වර්තමාන සමාජ පරිහානිය ලාංකේය කුටුම්භ ජීවිතය මත පරාවර්තනය වී තිබෙන අාකාරය අසල්වැසි පවුල් දෙකක චරිතවල සමාජ සම්බන්ධතා හරහා විවරණයට ලක්කර අැත. මෙකී චරිත හුදෙකලා පුද්ගල චරිත නොවන අතර, ඒවා සමාජය තුළ නිශ්චිත සමාජ ධාරාවක් නියෝජනය කරයි. 'කමනි' නමැති පාසල් ශිෂ්‍යාවගේ පවුල තුළ මවත්, පියාත්, අයියාත්, නංගීත් සිටිති. අසල්වැසි නිවසේ සුරංගනී හා ඩග්ලස් අයියාය. කමනිගේ පියා අශ්ව රේස් සඳහා ඔට්ටු අල්ලන, බේබදු පුද්ගලයෙකි. අැගේ මව රූපවාහිනිය වෙත අැලී ගැලී සිටින ගෘහනියකි. අයියා රැකියා විරහිත, රස්තියාදුවේ යන තරුණයෙකි. අසල්වැසි නිවසේ ඩග්ලස් වෘත්තීය සමිති දේශපාලනයේ නිරත හිත හොඳ දුප්පත් කම්කරුවෙකි. සුරංගනී ඔහුගේ බිරිඳ වන අතර, අැය ඔහුට නොගැලපෙන සරාගික කාන්තාවකි. මෙම චරිත හරහා සමකාලීන ලාංකේය සමාජයේ පැතිකඩක් තියුණු ලෙස විවරණය කරන්නට ගුණසිංහයන් කටයුතු කරයි.

'හිරුගේ චිතකය' කෙටිකතාවෙන් සමකාලීන තරුණ පරපුරේ ඛේදවාචකයක් නිරූපණය කෙරෙයි. අාදරය විවාහයෙන් කෙළවර කරගත නොහැකි ලෙස රැකියා විරහිතභාවය දැවැන්ත බාධකයක් ලෙස පැවතීම සමකාලීන තරුණ පරම්පරාව හමුවේ වන ප්‍රබල ප්‍රශ්නයකි. එහෙත් ඔවුන්ගේ තරුණ අාවේග ඉන් වළකාලිය හැකි නොවේ. කෙටිකතාවේ වන තරුණයා හා තරුණිය මේ සමාජ පරම්පරාවේ නියෝජිතයින් දෙදෙනකු වැන්න. තරුණිය ගැබ් ගන්නා අතර, අැය අැගේ මව විසින් නිවසින් එළවා දමනු ලබන්නීය. එහෙත් අැගේ පෙම්වතා වන තරුණයාටද ඔවුන් දෙදෙනාගේ අනාගතය වෙනුවෙන් ගතහැකි සාධනීය පියවරක් නැත. ඒ ගැන ඔහු තුළ නැඟෙන කෝපාවේගය වරෙක පිටවන්නේ මෙලෙසිනි.

''අපට කරන්ඩම දෙයක් නැද්ද නිමල්...?'
'අැයි ‍නැත්තෙ...! අපි මැරෙමු ...! අපි එකට මැරෙමු...!'
'ඒක මහා අපරාධයක්..! නොමැරී ජීවත් වෙන්ට විදියක් අැත්තෙම නැද්ද...?' 
'තියෙනවා...!'
'ඒක නේන්නං...! මොකද්ද නිමල් ඒ...?'
'ඔයා වේසියෙක් ව‍ෙන්ඩ...! මම ඔයාව එක එකාට විකුණන්නං! එතකොට පැය දෙක තුනක් යන්ඩ කලියෙන් මේ හරියෙන්ම රුපියල් හාර පන්සීයක් හොයා ගන්ඩ පුලුවන් වෙයි!''

තරුණයා එසේ කියන්නේ තම පෙම්වතිය සැබැවින්ම වෙෙශ්‍යාවක ලෙස මිනිසුන්ට විකිණීමේ චේතනාවෙන් නොවේ. එම වැකිය හරහා ඔහුගෙන් පිටවන්නේ සමාජය කෙරෙහි ඔහු තුළ වන විරෝධය මිස අන් යමක් නොවේ. කෙසේ හෝ අවසානයේ එක් තීන්දුවක් ගෙන ක්‍රියාත්මක කරන්නට ඔවුන් දෙදෙන කටයුතු කරති. එනම්, මුහුදට  පැන දිවි නසා ගැනීමය. එහෙත් ඒ දෙදෙනා පමණක් නොව, මෙලොව නූපන්නකුද ඔවුන් දෙදෙනා සමගම මියගිය බව රචකයා කෙටිකතාවේ අවසාන වාක්‍යයෙන් පාඨකයාට අඟවයි. ගුණසිංහයන් ඒ මගින් නිරාවරණය කරන සමාජ ඛේදවාචකය අදටත් සමාජයේ පවතී.

'කොටියාගේ බිරිඳ' නමැති කෙටිකතාව ලංකාවේ දේශපාලකයින් පිළිබඳ අපූර්ව විවරණයක් ගෙන එයි. ව්‍යාඝ්‍ර හිසක් තම උරහිසේ පච්චයක් ලෙස කොටාගත් පාතාල සාමාජිකයකු වන ක්‍රිස්ටි සොයිසා නමැති පුද්ගලයා ක්‍රම ක්‍රමයෙන් ඉහළට පැමිණ දේශපාලනය ඔස්සේ සාම විනිසුරකු වෙයි.

''කාලයාගේ හා මහ ඡන්ද කිහිපයක අැවෑමෙන්, කොටි ක්‍රිස්ටියා, ක්‍රිස්ටි අයියා, ක්‍රිස්ටි මහත්තයා සහ ක්‍රිස්ටි මුදලාලි මහත්තයා, අනුපිළිවෙළින් ඉපැදී, අනුපිළිවෙළින් අභාවයට පත්ව, සාම විනිසුරු ක්‍රිස්ටි සොයිසා මැතිතුමා බිහිවිය.''

ඔහුගේ බිරිඳද කෙෙරාටික එකි‍යක වන අතර, ක්‍රිස්ටිට එක්තරා අවස්ථාවකට මුහුණ දීමට අවශ්‍ය විසඳුම නිර්මාණය කර දෙන්නේ අැය විසිනි. දේශපාලනයට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටින ක්‍රිස්ටි සොයිසා ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් අතර, ඔහුගේ බිරිඳද ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම්ය. ''සමහර යක්කුන්ට නරබිලි නොදී බෑ'' යනුවෙන් ක්‍රිස්ටි සොයිසා පවසන සැඟවුණු අරුත් අැති වැකියට ''ඒක මම බලාගන්නම්කෝ..! ඔයා රජ වුනොත් බිසව මමනේ! ඉතින් මොකද?'' යනුවෙන් අැය පිළිවදන් දෙන්නී එබැවිනි. මෙයින් නාෙකියා කියැවෙන්නේ තම සැමියා දේශපාලනයේ ඉහළට ගෙන ඒම සඳහා ඉහළ දේශපාලකයකු සමග යහන්ගත වන්නට පවා අැය සූදානම් බව නොවේද? අනෙක් අතට, තම බිරිඳ වෙනකකු සමග යහන්ගතකොට හෝ දේශපාලනයට පිවිසෙන්නට ක්‍රිස්ටි සොයිසා වැනි පුද්ගලයින් සිටින බව නොවේද? මෙබඳු චරිත දේශපාලනයට පිවිසි කල රටකට අත් විය හැකි ඉරණම ගැන නොකිව මනාය. ලාංකේය දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙබඳු චරිත නැතැයි කිසිවකුටත් කිව හැකිද? සමාජ බලය වෙනුවෙන් කවර හෝ නින්දිත කටයුත්තක් කරන්නට පසුබට නාෙවන දේශපාලකයින් විසින් රටේ අනාගතය යොමු කරනු අැත්තේ කෙබඳු දිශාවකටද? මෙම කෙටිකතාව තුළින් සමකාලීන ලාංකේය සමාජයේ සැඟවුණු පැතිකඩක් නිරාවරණය කරන්නට ගුණසිංහ මහතා සමත්ව තිබෙන බව පැහැදිලිය. 

මේ අනුව සමස්තයක් ලෙස ඔහුගේ කෙටිකතා නිර්මාණ විමසා බලන විට, ඔහු වඩාත් නැඹුරු වී අැත්තේ සමකාලීන සමාජ - දේශපාලන අත්දැකීම් අැසුරෙන් තම කෙටිකතා නිර්මාණයට බව පෙනේ. එමෙන්ම එම අත්දැකීම් තියුණු සමාජ- දේශපාලන වැදගත්කමක් සහිත සමාජයේ පුළුල් කතිකාවකට බඳුන් විය යුතු මට්ටමේ සමාජ අත්දැකීම් බවද පෙනේ. පුවත්පත්කලාවේදියකු ලෙස ඔහුගේ සමාජ-දේශපාලන සංවේදීතාව ඔහුගේ කෙටිකතා නිර්මාණයන් මෙබඳු සමාජ විවරණයක් සඳහා පදනම් වීමට හේතු වී අැති බවද සඳහන් කිරීමට පිළිවන.



සමාලෝචනය

දයාසේන ගුණසිංහ මහතාගේ කෙටිකතාකරණය අධ්‍යයනය කිරීමේදී හඳුනාගත හැකි වූ ප්‍රමුඛතම ලක්ෂණය වන්නේ ඔහුගේ කෙටිකතා ඔස්සේ සෑම විටම ස්වකීය නිර්මාණාත්මක හැකියාවන්ද, සමාජය කෙරෙහි වන ඔහුගේ පුළුල් දෘෂ්ටියද ඒකාත්මික කරමින් සමකාලීන සමාජ-දේශපාලන අත්දැකීම් විවරණය කරන්නට කටයුතු කර තිබෙන බවය.  නූූතන කෙටිකතාකරුවා මිනිස් චිත්ත සන්තානයේ අඳුරු අහුමුලු අතරම ගැවසෙනවාට වඩා සමකාලීන සමාජ අත්දැකීම් කෙරෙහි සිය අවධානය‍ යොමු කළ යුතුය යන්න ඔහුගේ කෙටිකතා කලාවෙහි වන කේන්ද්‍රීය පණිවිඩය ලෙස හඳුනාගැනීම යුක්ති යුක්තය.



එසේම, ඔහු බටහිර කතා කලාවේ අංග ලක්ෂණ වෙනුවට ස්වදේශික ජන සාහිත්‍යයේ හා එ‍ෙතිහාසිකව පැවත හා මෙරට සම්භාව්‍ය සාහිත්‍යයේ අැසුර ලබමින් උකහා ගත් ලක්ෂණ, ස්වකීය කෙටිකතාකරණය තුළ අායෝජනය කරමින් ස්වදේශික සාහිත්‍ය මූලයන්ගෙන්, ඒවා කොතෙක් ඉපැරණි වුවද ඒවායින් නොමඳ‍ අාභාසයක් තවමත් ලද හැකි බව ඉතා පැහැදිලිව ඔප්පු කරමින් ලාංකේය කෙටිකතාවට නව මං පෙතක් විවරණය කර දී තිබෙන බව සඳහන් කළ යුතුය.

එලෙස ලාංකේය කෙටිකතා කලාවේ අභිවර්ධනයට, එහි සුපෝෂණයට ප්‍රබල මැදිහත්වීමක් කරන අතරතුරම, ස්වකීය නිර්මාණාත්මක හැකියාව ඔස්සේ ලාංකේය කෙටිකතාව තුළ 'දයාසේන ගුණසිංහ ලකුණ' සනිටුහන් කරන්නටද ඔහු සමත් වී තිබෙන බව ඔහුගේ කෙටිකතාකරණයෙහි අන්තර්ගත අනන්‍යතා ලකුණුවලින් පෙනේ.

(කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන කටයුත්තක් සඳහා 2006 වසරේදී මා විසින් ඉදිරිපත් කරන ලද පැවරුමක් අැසුරෙනි.)






 





5 comments:

  1. දයාසේන ගුණසිංහයන් වැනි අදීන ලේඛකයෙකුගේ කෙටිකතාව කලාව මතු නොව සමස්ථ නිර්මාණ කලාවම වත්මනෙහි ලේඛනයේ යෙදෙන්නන්ට ආදර්ශයක්.. ඒ නිසා මේ ලිපිය හරිම වටිනවා. මගේ කෙටිකතා රචනයටත් ගුණසිංහයන් බලපෑමක් වුණා.
    එතුමන් දැයෙන් සමුගද්දී මගේ දෙවෙනි කෙටිකතා පොතේ අත්පිටපත එතුමන්ගේ මේසය මත තිබුණා.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ලිපිය කියවූවාට ස්තූතියි හෙන්රි අයියෙ. ගුණසිංහ මහත්තයා මිය ගිහින් අවුරුදු විස්සක් වෙනවා. ඒත් ඔහු ගැන කතා කරන්න අපේ පුවත්පත් කලාවේදීන් තුළ තියෙන්නේ බයක් සහ කුහකකමක්. මට හිතෙන්නෙ කවියේ, කෙටිකතාවේ වගේම තීරුලිපියෙත් ඔහුගේ පරිච්ඡේදය විශිෂ්ටයි. ඔබ අැතුළු පරම්පරාවට ගුණසිංහ මහත්තයා වෙනුවෙන් මේ ඔක්තෝබරයෙ යමක් කරන්න පුලුවන්නම් ඉතාම වටිනවා. මම සිව්දෙස සඟරාවට ලියන්න පටන්ගත්තේ 1995 විතර. ඔහුගේ සෙවණ ලැබූ අන්තිම පරම්පරාවේ සාමාජිකයෙක්. අැත්තටම මා ලියූ පළමු කෙටිකතාවට රුහුණු විශ්ව විද්‍යාලයේ කලා උළෙලකදී ගුණසිංහ මහත්තයා දෙවන ස්ථානය ලබා දී තිබුණා. ඒක මට ලියන්න ලොකු ධෙෙර්යයක් වුණා. ඒක අමූර්ත ශෙෙලියෙන් ලියූ කෙටිකතාවක්. වෙනත් අයකු නම් ඒවැනි ශෙෙලියේ කෙටිකතාවක් පහසුවෙන් නොසලකා හරින්නට තිබුනා. අලුත් පරම්පරාවට අත දීමේ ඔහුගේ විශිෂ්ට ගුණය අමතක කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් මේ ඔක්තෝබරයේ ඔහුගේ මතකය අලුත් කර ගනිමු.

      Delete
    2. අනිවාර්‍යයෙන් මේ ඔක්තෝබරයේ ඔහුගේ මතකය අලුත් කර ගනිමු.

      Delete