Tuesday, June 7, 2016

කතුවරයා ගැන 'චරිතය' කතා කරයි.

දයාසේන ගුණසිංහ මහතා විසින් රචනා කරන ලද 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' කෙටිකතා සංග්‍රහයේ අැතුළත් 'අවියක් නැති සෙනෙවියා' කෙටිකතාවට පදනම් වී අැත්තේ පුවත්පත්කලාවේදියකු වූ 'සුනිල් මාධව ප්‍රේමතිලක' මහතාගේ ජීවිතයයි. දයාසේන ගුණසිංහ මහතා මියගොස් වසර 10ක් සපිරුණු 2006 වසරේ, ගුණසිංහ මහතා සම්බන්ධව, සඟරාවකට ලිපියක් සකස් කිරීම පිණිස මම 2006.09.09 දින සුනිල් අයියා මුණ ගැසුනෙමි. ඒ සම්මුඛ සාකච්ඡාවේදී සුනිල් අයියා දීර්ඝව සඳහන් කළ කාරණා සංස්කරණය කොට සඟරාවේ පිටුවක ලිපියකට ගතිමි. ගුණසිංහ මහතා මියගොස් වසර 20ක් සම්පූර්ණ වන මේ වසරේ, අදාළ සම්මුඛ සාකච්ඡාවේදී සුනිල් අයියා දීර්ඝව සඳහන් කළ කාරණා මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතිණි. 

 

ගුණසිංහ මහත්තයා සහ ඔබ අතර පුවත්පත්කලා ක්ෂේත්‍රයේ අැසුර අැරඹුණේ කොහොමද?


1960 ගණන්වල විතර, මම ලේක්හවුස් එකේ සිළුමිණේ ඉන්දැද්දි ගුණේ හිටියෙ දිනමිණේ. නමුත් ගුණේ සහ මා අතර සම්බන්ධය වැඩි වුණේ වෙනත් කාරණයකින්. මම තාත්තගෙ මරණින් පසුව සිළුමිණට 'හදවත අැඳි ගී' නමින් කවි පිටුවක් කළා. ඒකෙ තමයි ලංකාවේ මුල් වරට නිදහස් කවි පළවෙන්න පටන්ගත්තෙ. එය එවක ජනප්‍රිය වුණු කවි පිටුවක් වුණා. ඒ දවස්වල ගුණේ ඒ කවි පිටුවට නිතරම වගේ කවි ලියුවා. ඒකෙන් තමයි ගුණේගෙයි, මගෙයි සම්බන්ධය වැඩිවෙන්න පටන්ගත්තේ. ඊට පස්සෙ අපි මිතුරන් වශයෙන් දීර්ඝ කාලයක් අාශ්‍රය කළා. දිවයින පත්තරේ පටන්ගන්න විට ගුණෙත්, මමත් ගියා දිවයිනට. ඊට පස්සෙ ඉතිං ලොකු සම්බන්ධයක් තිබුණා. අනිත් එක අපි එකට අවන්හල්වලට යනව. එහෙම මිත්‍රත්වයකුත් තිබුණා.

 

ඔබේ සමකාලීන පුවත්පත්කලාවේදීන්ට වඩා, ඔබට දැනුණු ගුණසිංහ මහත්තයාගේ සුවිශේෂ ගුණාංග මොනවද?

 

ගුණේ බොහොම නිහඬ මිනිහෙක්. ඒ වගේම ඔහු උපහාසයෙන් පිරුණු මිනිහෙක්. ඒක සුන්දර දෙයක්. මොනව කිවුවත් ඒකෙන් මොකක් හෝ සිනාවක් මතු කරන්න ගුණේට පුළුවන්. ඒ අපූරු හැකියාව ඔහුට තිබුණා. අනෙක ගුණේට කවියට වගේම කෙටිකතාවටත් පුදුම නිර්මාණශීලී දක්ෂතාවක් තිබුණා. ඔහුගේ කවි, කෙටිකතා කියවන විට ඒක තේරෙනවා. කතා බහ කරන්න ගියාමත් එහෙමයි.  අඩියක් ගහන්න ගියාමත් එතැන කිසි පාලුවක් නැහැ ගුණේ ඉන්නකොට. ගුණේට කියන්න ඕන තරම් කතන්දර තිබෙනවා. ඔහුගෙ එදිනෙදා ජීවිතයෙන් ගත්ත කතන්දර තිබෙනවා. සාහිත්‍යයෙන් ගත්ත කතන්දර තිබෙනවා.  පුළුල් මිශ්‍රණයක කතාන්දර ගොන්නක් ඔහු තුළ හැම විටම තිබුණා. ගුණේට වැඩිය මම බාලයි. ඒ වුනාට අපි අාශ්‍රය කළේ යාලුවො වගේ. ඔහු අැසුරෙන් ලැබූ අත්දැකීම් මට වුනත් වටිනවා.

 

ඔහු ලියූ තීරු ලිපි ගැන මොකද හිතන්නේ?

 

ඔව්! ලංකාවේ බිහිවුණු පළමුවැනියා ඔහු. තීරු ලිපි කලින් ගියා තමයි පත්තරවල. නමුත් ගුණේගෙ උකුස්සා තමයි ජනප්‍රිය වුණේ. තීරු ලිපියෙන් කියන්න අවශ්‍ය දේ බොහොම ලස්සනට, ව්‍යංගයෙන් ජනතාවට ලබා දුන්නා. මං හිතන විදියට තීරු ලිපිවලට දක්ෂම පුද්ගලයා වුණේ ගුණේ තමයි. 

 

කතුවැකිය සම්බන්ධ ප්‍රශ්නය මතුවෙන විට ඔබත් දිවයිනේ හිටියද?



අන්තිම කාලේ වග‍ේ නේද? මතක විදියට මං එතකොට හිටියේ දිනපතා දිවයිනේ. එහෙම නැතිනම් මං රස්සාවෙන් අයින් වෙලා. දිවයිනෙන් මට කිහිප සැරයක් එළියට බහින්න සිදු වුණානෙ. ගුණේට ඒ ප්‍රශ්න මතුවුණේ  කොන්ද කෙළින් තියාගෙන වැඩ කළ නිසයි. මොකද එක්තරා කාලයක් තිබුණ ගුණේට දිවයිනෙන්ම කැපිලි කෙටිලි අාපු. මම එතකොට හිටියෙ නැහැ දිවයිනේ. මට අාරංචි වුණා ගුණේ යන කොට 'ගුණසිංහ මහත්තයා යනවද ' කියල අහන්නවත් මිනිස්සු හිටියෙ නැහැ කියලා. ඉතිං ඒක ඒතරමටම ඛේදවාචකයක්. මොන තරම් වේදනාවක් මේ මනුස්සයට දැනෙන්න අැත්ද කියල මට හිතුණා. ගුණේ හුදෙකලා වුණා. අර්බුද එද්දි මම දිවයිනේ හිටියෙ නැහැ. ගුණේට යම් යම් අර්බුද දිවයින අැතුළෙ තිබුණ කියල ගුණේම මට කියල තිබෙනවා. ඒ වගේම මටත් අාරංචි වුණා.

 

තරුණ පරම්පරාව විශ්වාස කරන පුවත්පත්කලාවේදීන් අපේ රටේ අඩුයිනෙ. නමුත් ඔබ සහ ගුණසිංහ මහත්තයා තරුණ පරම්පරාව විශ්වාස කළ දෙදෙනෙක්...


ඔව්! ගුණේට මේ රටේ තරුණයෝ අතර ලොකු විශ්වාසයක් තිබුණා. මොකද ගුණේ ලියන එක හරි කියලා. ඒ වගේම ගුණේටත් තරුණ පරම්පරාව ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මම නම් රැස්වීම්වලට යනවා. විරෝධතා පෙළපාලිවලට යනවා. බාර්ගානෙ රස්තියාදු වෙනවා. මං මිනිස්සු අාශ්‍රය කළේ එහෙමනෙ. නමුත් ගුණේ එහෙම ගිය කෙනකුත් නෙවෙයිනෙ. ගුණේ ගැන ඒ පැහැදීම තිබුණා තරුණ පරම්පරාවට.

 

ගුණසිංහ මහත්තයා තමන් සම්බන්ධව සමාජයේ ගාෙඩනැගී තිබුණු ප්‍රතිරූපය පෙරළා භාවිත කළේ කොහාමද, සහ වර්තමාන පුවත්පත්කලාවේදී පරම්පරාව තමන් සම්බන්ධ ප්‍රතිරූප පාවිච්චි කරන්නෙ කොහාමද? සුනිල් අයියට මොකද හිතෙන්නෙ ඒ ගැන...


ඒක අැත්ත ලොකු හිඩැසක් තිබෙනවා. ගුණේ නැති පාඩුව පිරිමහින්න බැරි පාඩුවක්. අනිත් එක ගුණේට සාහිත්‍යය ගැන තිබුණු අවබෝධය අද මාධ්‍යවේදීන්ට අැත්තෙම නැති තරම්නෙ. ගුණේ පොතපත හොඳට කියවපු, බුද්ධිමත්, සංවේදී මිනිහෙක්. ඒ අඩුව කවදාවත් පුරවන්න බැරි පාඩුවක්. 

 

ඔහු ඔබේ ජීවිතය පදනම් කරගෙනත් කෙටිකතාවත් ලියුවා...


මටත් ගුණේ පොත දෙන ගමනුයි කිවුවෙ, 'ඔන්න උඹ ගැනත් එකක් ලියල තියෙනවා' කියලා. ඒ, 'කේතුමතී හෝටලයේ රාත්‍රියක්' පොතේ 'අවියක් නැති සෙනෙවියා' කෙටිකතාව. ගුණේ දන්නව ඒ කාලෙ බ්ලූමැන්ඩල් පාරේ අවන්හලක් තිබුණා උපාලි බාර්ද කොහෙද කියල. අපි ඒකට යනවා. ගුණෙත් මාත් යනවා. ගුණේ නැතිවත් මම නම් දිනපතාම වාගේ යනවා. මං එන කං එතැන, ගුණේගෙ පොතේ අර කියන අන්දමට කම්කරුවො පිරිසක් බලාගෙන ඉන්නවා තමයි. ඒක සියයට සියයක්ම අැත්ත. ඒ කාලෙ මම පේව්මන්ට් එකේ දරුවන්ව ගෝල්ෆේස් එක්කගෙන ගිහින් බුරියානි අරන් දීපු කාලෙනෙ.  ගුණේ ඒ කතාවෙ මගෙ ජීවිතේ ඔක්කොම වගේ අැත්ත ලියල තිබෙනවා. එකම දෙය මට සිරාේසිස් හැදිල අසනීප වුණේ නැහැ අන්තිමට.

 

ගුණසිංහ මහත්තයාගේ පරිච්ඡේදය නැතිව ලංකාවේ පුවත්පත් කලාව ගැන කතා කරන්න පුළුවන්ද?


අැත්ත. ඒක අද ඉන්න මාධ්‍යවේදීන්ගෙ වරදක්. දිවයිනෙන්වත් මොනවත් නැහැනෙ. පුදුම හිතෙනවා. දිවයින පටන් ගන්න අපි අට දෙනයි ගියේ. උපාලි විජේවර්ධන මහත්තය බලාපොරොත්තු වුනෙත් නැහැ සති දෙකෙන් තුනෙන් මේ පත්තරේ ජනතාව අතරට යයි කියල. දිවයින ජනතාව අතරට යන්න හේතුවුණු ප්‍රධානම පුද්ගලයා තමයි ගුණේ.

 

ඔබ පුවත්පත්කලාවේ නිරතවුණු කාලයේ මාධ්‍ය සංස්කෘතිය සහ අද තිබෙන මාධ්‍ය සංස්කෘතිය  අතර වෙනස ඔබ දකින්නේ කොහාමද?


මම පත්තරේක නැති නිසා කියනව නෙවෙයි, අද මාධ්‍ය කියල දෙයක් නැහැ මේ රටේ. මුද්‍රිත මාධ්‍ය ගත්තත්, විද්‍යුත් මාධ්‍ය ගත්තත් තත්ත්වය ඒකයි. මොන පත්තරේ, මොන කොම්පැනිය වුනත් දේශපාලනය තමයි අද ‍මාධ්‍යයට මුල්වෙලා තිබෙන්නේ. දේශපාලකයින්ව පුම්බන එක තමයි අද පුවත්පත්කලාවේ ප්‍රධාන අංගයක් වී තිබෙන්නේ. ගුණෙයි මමයි ලේක්හවුස් එකේ හිටිය මුල්කාලෙ, ජේ.අාර්. යටතෙත් අපි හිටියා. ලේක්හවුස් එකෙන් අපි අයින් වුණේ ජේ.අාර්. ගෙ දේශපාලනය ගැන කලකිරීමෙන්. ඒ නිසයි දිවයිනට ගියේ. නමුත් අදයි, එදයි සංසන්දනය කරන්නට බැහැ. ඒ අතීතයෙ තිබුණු මාධ්‍යයෙ අපි විතරක් නෙවෙයි, පැරණි මාධ්‍යවේදීන් අපේ රටේ හිටිය. අපේ තාත්තල ඉන්න කාලෙ, මාටින් වික්‍රමසිංහ, ඩී.බී. ධනපාල, ඩෙන්සිල් පීරිස්  වගේ මිනිස්සු ඉන්න කාලෙ ඒක මාධ්‍ය තමයි. අද මාධ්‍යවේදියාට වුවමනා දෙය කරන්න බැහැ පුවත්පතක. අද මාධ්‍යවේදියෙක් කවුරු හරි අැමතියකුට විරුද්ධව ප්‍රවෘත්තියක්, ලිපියක් ලිවුවොත් ඔහුට දොට්ට බහින්න වෙනවා. අනිත් එක මාධ්‍ය කොම්පැනිවලින් දොට්ට දාන මාධ්‍යවේදීන් ගැන කතා කරන්න කිසිම සංවිධානයක් අැත්තේ නැහැ. ගුණේ මට ඒ කාලෙ සහාය දුන්න. මං ඒ කාලෙ අවුරුදු 25ක් 30ක් තිස්සේ කෑගහපු දෙයක් තමයි, වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයක් නෙවෙයි අපට අවශ්‍ය, පත්‍ර කලා වෘත්තීය සමිතියක් කියන එක. අද වුනත් එහෙම එකක් නැහැනෙ. ඉතිං බලපන්, කවුද ගුණේ දිවයිනෙන් දොට්ට දැමුවයි කියල කෑගැහුවෙ. ගුණේ දොට්ට දැම්මා එච්චරයි. එහෙම තත්ත්වයක් තමයි මාධ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන්නෙ.

 

පිටතදි සමස්ත මාධ්‍ය නිදහසක් ගැන කතා කරන මාධ්‍යවේදීන් තම අායතන අැතුළෙදි තමන්ට තිබෙන  නිදහස ගැන ප්‍රශ්න කරනවද?


නැහැනෙ. අපට රස්සා නැති වුණේ අායතනත් එක්ක හැප්පෙන්න ගිහිල්ලනෙ. මාධ්‍ය අායතනවල සමිති තිබෙනවා. ඒවා සමිති තමයි ඉතිං. අර පක්ෂෙන් එක සමිතියක් තිබෙනවා. මේ පක්ෂෙන් තව සමිතියක් තිබෙනවා. එහෙම තමයි. ඒ අායතන අැතුළෙ ප්‍රශ්නවලට මුහුණ දෙන මාධ්‍යවේදියා ගැන කතා කරන්නේ නැහැ. සමහර අායතන තිබෙනවා, ඒ සමිතිවල ඉන්න අයවම කපන්න හදනවා. ඉතිං ඔය වගේ සමිතිවලින් අපි කොහොමද මාධ්‍යවේදියාට සාධාරණයක් වේවි කියල හිතන්නේ.

අද මාධ්‍යවේදියාට ප්‍රතිපත්තියක් නැහැ. අපිට අස් වෙන්නට සිදු වුණේ ප්‍රතිපත්ති මත සිටීම නිසා. අද බොහෝ මාධ්‍යවේදීන් ඉන්නේ දේශපාලකයින්ගේ සාක්කුවල. කම්පැනියෙන් පඩි ගන්නවාට අමතරව, දේශපාලකයින්ගෙන් පඩි ගන්න මාධ්‍යකරුවනුත් ඉන්නවා. ඒ වගේම යම් යම් මාධ්‍ය අායතන තිබෙනවා, දේශපාලකයින්ගෙන් මුදල් ලැබෙනවා. ඒ අයගෙ මාධ්‍යකරණය කියන්නේ අදාළ දේශපාලකයින්ව පුම්බල ලියන එක. ඒ අය හිතන්නේ ජනතාව ගැන නෙවෙයි. තමන්ගේ බඩගෝස්තරය ගැනයි හිතන්නේ. ප්‍රතිපත්තියක් තියාගෙන ඉන්නවා නම් එහෙම වෙන්න බැහැනෙ. අනිත් එක බොහෝ මාධ්‍යවේදීන් පොතක් පතක් කියවන්නෙ නැහැ. ලෝක සාහිත්‍යය ගැන කිසිම අවබෝධයක් නැහැ. එහෙම අයගෙන් ප්‍රතිපත්තියක් බලාපොරොත්තු වෙන්න බැහැනෙ. ප්‍රතිපත්තියක් තියෙන්නේ හරයක්, බුද්‍ධියක් තිබෙන මිනිහෙකුට විතරයි. ඒ අවබාේධය නැති මිනිහෙකුට ප්‍රතිපත්තියක් නැහැ. ඔවුන් බලන්නෙ අතට සල්ලි කීයද ලැබෙන්නේ කියල විතරයි.

අපේ කාලෙදි අපි අපේ යුතුකම විදියට දැක්කෙ ජනතාව දැනුවත් කිරීම, බුද්ධිමත් කිරීම. ඒ පමණයි අපට තිබුනෙ. අද රට වෙනස්, පරිසරය වෙනස්. මාධ්‍යවේදියා වගකීම් සහිත පුද්ගලයකු විය යුතුයි.  

 

5 comments:

  1. වටිනා මතක දිගහැරුමක්. දිගටම එන්නම්.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තූතියි. දිගටම ලියන්න උත්සාහ කරනවා.

    ReplyDelete
  4. අදයි මේ පැත්තට ආවේ.......... සින්ඩියටත් දා ගත්තා........ අගෙයි

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete