Thursday, October 20, 2016

'මකර තොරණේ' විස්තරය හෙවත් ප්‍රභාත් ජයසිංහ සහ මාකේස්ගේ අාච්චි

ප්‍රභාත් ජයසිංහගේ 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහය කියවද්දී මගේ සිහියට අාවේ ගේබ්‍රියල් ගාෂියා මාකේස්ගේ අාච්චි ය. ප්‍රභාත් සහ මාකේස්ගේ අාච්චි සම්බන්ධවන මේ හතර බීරි කතාව කුමක්දැයි ඔබට සිතෙන්නට පිළිවන. මාකේස් සිය 'හුදෙකලාවේ සියවසරක්' කෘතියේ පෙරවදනෙහි මෙසේ කියා තිබිණ.

''මගේ මිත්තණිය අද්භූත හා මායාකාරී දේවල් කියූ මුත් අෑ එ්වා සම්පූර්ණ ස්වාභාවික අාකාරයකින් කීවාය. වඩාත්ම වැදගත් දෙය වූයේ අැගේ මුහුණේ ස්වරූපයයි. කතන්දර කියද්දී අැය තම බැල්ම කොහෙත්ම වෙනස් නොකළ අතර, ඉන් සියලු දෙනාම මවිතයට පත් වූහ. මීට පෙර ලිවීමට ගත් උත්සාහයන්හිදී මම කතාන්දරය එය විශ්වාස නොකරමින් කියන්නට වෑයම් කළෙමි. මා කළ යුත්තේ එ්වා විශ්වාස කරමින් මගේ මිත්තණිය ඒවා කියූ විලසින් ගඩොලින් කළාක් බඳු මුහුණෙන් යුතුව කීම බැව් මට තේරුම් ගියේය.''


ප්‍රභාත් අපට කතා 'කියන්නේද' ඒවා තමන් ම විශ්වාස කරමින්, හරියට 'ගඩොලින් කළාක් බඳු මුහුණකිනි'. ඉතින් එහෙව් කතා කරුවකුගේ කතා පාඨකයාට විශ්වාස නො කර සිටිය නො හැකි ය. 'මකර තොරණ' කෙටිකතා සංග්‍රහයෙහි කෙටිකතා හතකි. ඒවාහි කතා රටාවන්, කතා ලතාවන් එකිනෙකට හාත්පසින් ම වෙනස් ය. ඒ වෙනස තුළ පාඨකයා එම කතා රටාවන්ට කෙතරම් බැඳෙන්නේ ද යත්, සියලු ම කතා කියවා අහවර කොට මිස පොත වසා දැමීමට සිත් නො දෙන්නේ ය. එබඳු සූර වියමනක් 'මකර තොරණ' කෙටිකතාවන්හි දක්නා ලැබේ. එබඳු කෙටිකතා රචනා කාර්යයක් පිටුපස වන නිර්මාණාත්මක ශ්‍රමය සුලු පටු නැත.

ඉසබෙල් අයන්දේ වරෙක මෙසේ  ලියන්නී ය.

''කෙටිකතාවක් ලිවීම හරියට ඊතලයක් විදිනවා වගේ. එයට අවශ්‍ය ඉව, සහජ බුද්ධිය, හුරු පුරුදු වීම, හොඳ දුනුවායකුගේ නියතතාවය- දුන්න අැදීමට ශක්තිය, දුර සහ වේගය පිළිබඳ අැස සහ වාසනාව - ඉලක්කයට විදීමට අවශ්‍ය මේ දේවල්. නවකතාවක් පූර්ණ කිරීමට බොහෝ වෙහෙස වී ක්‍රියා කිරීම අවශ්‍යයි. කෙටිකතාවක නිර්මාණ වෙන්නේ අනුභාවය පමණයි. මට නම් කෙටිකතා කලාව කාව්‍යය තරම්ම අසීරුයි.''

අැත්තකි. එසේම එය හුදු වියමනක් නොව පාඨකයාට දැනෙන වියමනක් වීම අවශ්‍ය ය. ''ලියන්න ඕන කියවලා තේරුම් ගන්න නෙවෙයි, කියවන කොට දැනෙන්න'' යැයි මෙරට වෙළෙඳ ප්‍රචාරණ වෘත්තිකයකු වූ ප්‍රභාත් කරුණාරත්න කළ ප්‍රකාශයක්, අදාළ වෙළෙඳ ප්‍රචාරණ අායතනය විසින් ඔහුගේ අවමංගල්‍ය දැන්වීමෙහි පළ කර තිබුණා මට මතක ය. ප්‍රභාත් ජයසිංහගේ කෙටි කතා අතරින් අැස තෙමෙන්නට තරම් දැනෙන කතාවක් තිබේ. ඒ, 'හොකී විතවුට් ස්ටික්ස්' ය.

''... ඒක සෞම්‍ය හවස් යාමයක්. ඉර බහිනව දැක්කෙ දිග කාලෙකින් වගෙයි දැනෙන්නෙ. මතක ඒ තරං අෑතට ගියෙ කොහොමද? මේක පාර්ක් එකක් මිසක්  කනත්තක් නෙවෙයි වගේ. ඒත් මේක කනත්තක්. නැත්නං සොහොන් කොත් තියෙන්න විදියක් නෑනෙ. මැද්දෙ උසට තියෙන්නෙ මොකක්ද? දැකල පුරුදු දෙයක් නෙවෙයි. සමහර විට අාදාහනාගාරයක් වෙන්න අැති.

කොහොම හරි ගැනල බැලුවාම අපි පස් දෙනෙක් හිටිය. සෙලා, වික්කා, මෙන්ඩියා, නූරි සහ මම. අපි එකාට එකා හමුවෙච්ච එකෙන් ගිනිකන වැටිලයි හිටියෙ.

''ඒයි ටීම් එකෙන් භාගයක් මෙතනනෙ.''
''කොහොමද අපි ඔක්කොම එක පාරට මෙතෙන්ට අාවෙ?''
''මං හිතන්නේ මේක උනේ අපි ගාලු මැච් එකට ගිහින් එනකොට.''
''මොකක්ද?''
''බෝම්බෙ. පිපිරුවෙ කොටුව ස්ටේෂන් එකේදි.''
''උඹ කියන්නෙ ඒකද හේතුව?''
''වෙන මොකද්ද? මට දැං මතක් වෙනවා.''
''වික්ක හරි. ඒක එහෙම තමයි උනේ'' මටත් මතක් වෙන්න ගත්තා.
''අපි මොනව කරාටද උං අපිට මෙහෙම කරේ?'' කියල නූරි අහන කොට සෙලා මඟ අැරල එහාට වෙනව මට දැනුණා.

''ඒ කියන්නෙ අපි මැරිලා?''
''නෑ අපිව මරලා''
''මැරිල නෙවෙයි මරලා.''
''අවුරුදු දහ අටේදි.''
''මරලා. අපිව මරලා. යකෝ අපිව මරලා.'' මෙන්ඩියා කන් කීරි ගැහෙන්න කෑ ගැහුවා... '' (පිටු 25-26)

මෙවැන්නක් වෙන්න පුලුවන්දැයි පාඨකයාට සිතන්නට ඉඩක් නැත. එය අප ඉදිරිපිට සිදු වෙමින් පවතින අයුරු කතාකරුවා පෙන්වා දෙමින් සිටී. අප විශ්වාස කළ යුතු ය. ''තිසා මාර වැඩක්. මට මගෙන් එළියට එන්න පුළුවන්'' ඒ කෙටිකතාවේ එක් තැනක එන දෙබසකි. නමුත් අැත්ත නම් ඒ කෙටිකතාවේ චරිත පමණක් නො ව, එය කියවන 'අප ද අපෙන් එළියට' ගන්නා බව ය. හුදු කියවන්නන් නො ව, අප ද එහි ජීවත්වන බවක් අපට දැනෙන්නට පටන්ගනී. උතුරේ ද, දකුණේ ද මෙබඳු තරුණ අාත්ම සිය දහස් ගණනක් අප අැවිද යන මේ පොළාෙව යට තිබෙන බවත්, 'මේක පාර්ක් එකක් නො ව, කනත්තක්' බවත් අපට සිතෙයි. 'මළවුන් නිදි නැත.' එහෙත් අප නිද්‍රාවක ය. 

කිසිදු ජාතිකත්වයක් අදාළ නො වන මිතුදම් පවතින්නේ ද අපගේ පාසල් අවධියේය. ඒ මිතුදම් සදාකාලික ය. 'මචං' කියා කවදත් අමතන්නට හැකි මිතුරන් වන්නෝ ඔවුහු ය. මෙහි සිටින්නේ එබඳු මිතුරන් ය. ඒ පාසල් හොකී කණ්ඩායමේ මිතුරන් හරහා රචකයා අපට අතීතයද වර්තමානයද එකට මුණ ගස්වයි. මෑත කාලීන සමාජ-දේශපාලන සිදුවීම් සමග සම්බන්ධ කරයි. ඒ තුළ අප කම්පනයට පත් කරවයි. අැත්තට ම, මෙතරම් දැනෙන කෙටිකතාවක් කියවූයේ ඉතා  දිගු කලෙකින් බව සඳහන් කළ යුතු ම ය.

අපේ රටේ පන්සල් අාශ්‍රිත ගෘහ නිර්මාණ ශිල්පයෙහි 'මකර තොරණට' හිමිවන්නේ සුවිශේෂ තැනකි. එහෙව් 'මකර තොරණ' කේන්ද්‍ර කොටගෙන අපේ රටේ බෞද්ධාගමික සංස්ථාව පිළිබඳ ව  උත්ප්‍රාසවත් කියවීමක් කරන්නට ප්‍රභාත් ජයසිංහ සමත් වේ. එහි ජින්තු මුදලාලි මකර දේශයට ගොස් වයෝවෘද්ධ මකරෙක් ත්‍රීවීලරයක දමාගෙන පන්සලට ගෙන ඒමෙහි පටන් ම, ඒ උත්ප්‍රාසය තිබේ. එහෙත් කතාකරුවා කතාව ගොඩනඟන අාකාරය තුළ ඒ සම්බන්ධ ව පාඨකයා තුළ අවිශ්වාසයක් අැති නො වේ. රචකයා ද කතාව විශ්වාස කරමින් කීම ඊට හේතුවයි. එසේ ම, එහි අපූරු රචනා ශෙෙලිය ද අප කතාව කෙරෙහි බැඳ තබාගැනීමෙහි සමත් ය. 

''ජින්තු මුදලාලි පන්සලට ළඟා වන විට මකරා තොරණ  උඩට වී හොම්බ ඉස්සරහ ගාත් දෙකේ දණිස් උඩ තියාගෙන බලාගත් අතේ බලා හුන්නේය. අහන්න අාපු දේවලින් තුන් කාලක්ම නැවතත් හිත අැතුළටම ගිලා බැස්සේ උගේ ඒ අසරණ පෙනුම නිසාය.

''මොකද්ද ඔහේ මේ කරන්නෙ? මටත් ගමේ විසුමක් නැති වේගෙන එන්නෙ.''

මකරා අන්දමන්දව ජින්තු මුදලාලි දෙස බැලුවේය. ඒ අහපු දෙයෙහි අගමුලක් උෟට වැටහී තිබුනේ නැත. 

''කාගෙද දන් බාස්කට් එකක් උඩට වමනෙ කරාය කියන්නේ අැත්තද?''

මකරා නැවතත් අෑත බලාගත්තේය. එහෙම බලාගෙනම උත්තර දුන්නේය.

''මං ඒක හිතල කළේ නෑ. අනිත් එක, හැමදාමත් කොළ කැඳයි, එළවළුයි විතරක් කාල මේක උඩට වෙලා ඉන්න බෑ ඕයි. මට අප්පිරියයි.''

ඒ අැසූ ජින්තු මුදලාලිගේ කේන්තිය තව ටිකක් මෙල්ල විය. 

''මං හොඳට කාපු බීපු, මකරියො කලම්බාපු මකරෙක්.''

ජින්තු මුදලාලි යමක් කියන්නට කට ගත්තේ ය.

''අනික තමුසෙ වුනත් එන්න කලින් මට කිව්වේ නෑ කොළයි, ගෙඩියි, බතුයි විතරක් කකා මේ මැස්ස උඩට වෙලා ඉන්න වෙන බව.මං මොනව කළාට ද ඕයි මට මෙහෙම දඬුවම් කරන්නෙ?'' (පිටුව 53)

යථාර්ථයට ප්‍රවේශවීමට ඔහු තෝරා ගන්නා මාර්ගය අපූරු එකකි. එය මායා යථාර්ථවාදය/ඉන්ද්‍රජාලික යථාර්ථවාදය හෝ අධි යථාර්ථවාදය යන කුමක් වුව එහි අපට නුහුරු නුපුරුදු ගතියක් දැනෙන්නේ නැත. බෞද්ධ සාහිත්‍යය හා පෙරදිග කතාන්දර කලාව තුළ ගැවසෙන සමාජයකට කිසි සේත් ම කතා කරන මකරුන් ගැන සැකයක් උපදින්නේ නැත. පණ පිටින් තාරකා ඉබ්බකු අාහාරය පිණිස දුන් පසු 'සුවපත් වේවා !' කියන, පන්සලේ මකර තොරණේ වැඩ වසන මකරකු ගැන අප කෙසේ සැක හිතන්න ද? තමන්ගේ උපන්දින උත්සවයට මස් මාංශ අැතුළු අාහාර වර්ග සිය ගණන් සහිත දාන සාද පවත්වමින් බුදුවන්නට පෙරුම් පුරන සමන්ත භද්‍රලා සහිත මෙහෙව් සමාජයකට එබඳු මකරකුත් කජ්ජක්දැයි සිතේ. 

'එකමත් එක චරිතාපදානයක්' යනු අපේ රටේ විශ්ව විද්‍යාල සංස්කෘතිය පිළිබඳ ව ලියැවුණු අපූරු කෙටිකතාවකි. එහි එන අපූරු සිදුවීම් (අධ්‍යාපන අැමතිගේ ගෙදර හරක් ගාලේ කිනිතුල්ලන් කඩන වී.සී.ලා, අාර්ථික විද්‍යා පිළිතුරු පත්‍රවලට ලකුණු දෙන සමාජවිද්‍යා කථිකාචාර්යවරු, උද්‍යානයේ ගසක රවුම් හැඩය හතරැස් කිරීම තීරණාත්මක ප්‍රශ්නයක් බවට පත්වීම,..) කිසි දිනෙක සිදු නො වූ බව එම කෙටිකතාවේ කතා නායකයා ලවා ප්‍රභාත් කියවූව ද, මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය අභ්‍යන්තරයේ සිදු වන ඒවා දන්නා අයට නම් මේවාටත් වඩා බරපතළ විහිලු අැති බව රචකයා ම දනී.

'සුදු වෑන්' සමකාලීන සමාජයේ වඩාත් කතාබහට ලක් වූ කාරණයක් කෙටිකතාවක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමකි. එක්තරා පුවත්පත් කලාවේදියකු තමන් සොයා සුදු වෑන් එකක් දැන් එතැයි, දැන් එතැයි මඟ බලා සිටින්නේ ය. එක් මොහොතක 'එය' පැමිණ ඔහු රැගෙන යයි.

''සිහිය එනකොට මං හිටියෙ ඉස්පිරිතාලෙක. පස්සෙ දැන ගත්තෙ එක නොම්මර එකේ ගෙවන ඉස්පිරිතාලයක්. ඉණෙන් පහළ හිරි වැට්ටුව. අයින් කරල බේත් දැම්ම. හිරි වැටිල තිබුණු නිසා අයින් කරනව මං දන්නෙත් නෑ. බිල් ඔක්කොම ගෙවුවෙ ඒ ගොල්ලොමයි.''

ඔහු ඉඟටියට පහළින් වෘෂණ කෝෂ තිබුණු හරියේ දැනෙමින් තිබුණු හීනි වේදනාවත් එක්ක පොර අල්ලමින් කියාගෙන ගියා.....

''අචලා, අායි සුදු වෑන් එන්නෙ නෑ මාව ගෙනියන්න. ඒක සහතිකේටම කියන්න පුළුවන්. ඉතිං ඒකම මදිද? ඒ පටන්ගැන්ම විතරයි. තව කොච්චර දේවල් ලැබෙන්න තියෙනවද?''

''අප්පච්චි, වෑන් අාවෙ නැති වුනාට කමක් නෑ. ප්‍රාඩෝ ජීපුත් එන්නැතුව යයිද?'' කොහෙදෝ ඉඳං පුතා මේ කතා බහ අහං ඉඳල තිබුණා. පොඩි එකාගෙ ස්වරයේ තිබුණෙ බලාපොරොත්තු සුන් වීමක්.

''එනව මගෙ පුතේ. ඒක තමයි මං අම්මට කියන්න ගියෙ. දැං ඉතිං ඒව එන්නෙ අපේම නමට.'' ඔහු පුතාගෙ හිස අතගාන ගමන් අචලා දිහා බැලුව.'' (පිටුව 157)

කලෙක අාණ්ඩුු විරෝධී පුවත්පත්කලාවේදියකුගේ පරිණාමයේ අවසාන තැන වන්නේ එතැන ය. එය සිදුවන්නේ ස්වකැමැත්තෙන් සිය වෘෂණ කෝෂ දෙක ගලවාගැනීමට ඉඩ දීමෙනි. එහි තාර්කික ප්‍රතිඵලය ලෙස වරප්‍රසාද 'අපේම නමට' හඹා එන්නේ ය. මේ සමකාලීන ලාංකේය සමාජ මොහොත නිරූපණයකි. සුනිල් මාධව ප්‍රේමතිලකලා, දයාසේන ගුණසිංහලා ගැවසුණු ලාංකේය පුවත්පත්කලාව 'අද දවසේ' පරිණාමය වී අැත්තේ මෙබඳු තැනකට නොවේ ද?

'කාලක ජාතකය' කෙටිකතාව වූ කලී භාෂාත්මක වශයෙන්ද නිර්මාණාත්මක වශයෙන්ද ගත්විට ජාතක කතා අාකෘතිය හා භාෂා රටාව නූතන සිංහල කෙටිකතාකරණයට භාවිත කිරීම සඳහා සිදු කළ සාර්ථක අත්හදාබැලීමකි. එහි යටි පෙළ තුළ වන්නේ වෙනස් කියැවීමක් සඳහා පාඨකයා කැඳවාගෙන යන අපූරු වියමනකි. උත්ප්‍රාසයෙන් අනූනව සමාජ-දේශපාලන සංසිද්ධියක් ප්‍රතිනිර්මාණය කිරීමකි.

මේ සියලු කෙටිකතා, රචකයා තමන් දකින, අත්විඳින සමකාලීන සමාජ- දේශපාලන මොහොත පිළිබඳව තමන්ට සිතෙන දේ ලිවීමකි. නිර්මාණකරනය යනු එයයි. නො එසේව, අත්දැකීමක් එසේ ම පාඨකයා ඉදිරිපිටට අතහැරීමේ ක්‍රමය ඔහුගේ ක්‍රමය වී නැත. පාඨකයාට සිතන්නට, වෙනස් තලයක තබා ඒ කතා කියවන්නට ඔහු හෘදයාංගම ලෙස අඬගසයි. 

සමකාලීන සිංහල නවකතාකරුවන්ට වඩා සිංහල කෙටිකතාකරුවන් නව අත්හදාබැලීම් සිදු කරමින් සිංහල කෙටිකතාව ඉහළට ඔසොවා තබන ක්‍රියාන්විතය සම්බන්ධව සැලකීමේදී  ප්‍රභාත් ජයසිංහගේ  'මකර තොරණ' කෙටිකතා සංග්‍රහය ඒ පිළිබඳ මහඟු උදාහරණයක් වන බව සඳහන් කළ යුතු ම ය. ඉදින් එය කියැවිය යුතු මතු නො ව විඳිය යුතු, විඳිය හැකි කෙටිකතා සංග්‍රහයක් බව අවසාන වශයෙන් සටහන් කරනු කැමැත්තෙමි.

2 comments:

  1. හොඳ විචාරයක්. මේ බ්ලොගය මගේ බ්ලොග් රෝලේ අන්තිමට වැටිලා තියෙන්නේ. අප්ඩේට් වෙන්නෙත් නැහැ. ඒ ඇයි?

    ReplyDelete
  2. ස්තූතියි අජිත් අයියෙ.
    තාක්ෂණික ප්‍රශ්නයක් නිසාද? මම දන්නේ නැහැ.

    ReplyDelete