Tuesday, October 25, 2016

අැඩොල්ෆ් හිට්ලර් ලලිත කලා විද්‍යායතනයේ ප්‍රවේශ විභාගය සමත් වූවා නම්....!

ඔව්! මේ ඔහු ය. අැඩොල්ෆ් හිට්ලර් ය. මානව ඉතිහාසයේ දරුණුත ම මිනිස් සංහාරයට ඔහු මඟ පෙන්වූයේ මේ ''අතිනි''. දරුණු ම වධ හිංසා පමුණුවමින්, ගෑස් කාමරවලට ගාල් කරමින් ලක්ෂ ගණනක් මිනිසුන් ඝාතනය කිරීමට අණ දුන්නේ මේ ''අතිනි''. යුදෙව් සිරකරුවන් මානව විරෝධී පර්යේෂණ සඳහා යොදා ගැනීමට අණ දුන්නේ මේ ''අතිනි''. එහෙත් ඔහුගේ මේ ''අත'' යම් හෙයකින් මෙබඳු මානව විරාේධී ක්‍රියාකාරීත්වයකට යොමු නො වී නම්, ඉන් කෙබඳු භාවිතයක් ලෝකය හමුවේ තබන්නට ඔහු සමත්වනු අැත් ද? එබඳු කල්පනාවක් මට අාවේ ඔස්ට්‍රියාවේ පිහිටි හිට්ලර්ගේ නිවස කඩා දමන්නට එරට ‍රජය තීරණය කර අැති බවට පුවතක් පසුගිය දා කිය වූ විට ය. මේ නිවස පැවතීම නව නාසිවාදී කල්ලිවලට යම් මානසික පිටුබලයක් වී අැති බව ඉන් වැඩි දුරටත් කියැවිණි.

සුගතපාල ද සිල්වා විසින් ලියන ලද 'හිට්ලර් එල්ලා මරයි' ග්‍රන්ථය වසර ගණනාවකට පසු නැවත අතට ගන්නට මට සිතිණි. එහි පිටු අතර මගේ නෙත් දිවයයි. එක් තැනක හදිසියේ ම නවතී.


''චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඔබට ලොකු අාසාවක් තිබුණා?'' නීතිඥයා අැසුවේ ය.
''ඔව්..''
''අම්මා මොකද කීවෙ ?''

තමා කවදත් අම්මාට ළෙන්ගතුව සිටිය බව ඔහු සිතුවේ සන්තෝෂයෙනි. තමා මේ සා මවට ළං කෙරුණේ පියාගේ දඩබ්බර ස්වභාවය විසින්ද? තාත්තාගේ මරණයෙන් පසු අම්මා ගෙයත් ඉඩමත් විකුට කුඩා තට්ටු ගෙයක පදිංචියට ගියේ තාත්තා පිළිබඳ මතක ඔබා මැඩ ගැනීමටද? විශ්‍රාම වැටුපත් ඉඩම විකිණීමෙන් ලද මුදලත් නිසා අග හිඟකම් අැය නොපෙළුවේය. එහෙත් රැකියාවක් සාෙයාගන්නැයි අම්මා නිරන්තරයෙන්ම තමාට අැවිටිලි කළ බව සිතන ඔහුගේ සිතට නඟින්නේ අමනාපයකි. තමාට වූයේ එකම සිහිනයක් බව අැය නොදැන සිටියා නොවේ. පාසලින් වියෝ වී නිවසට ගෙවුණු දෙවස තුළ චිත්‍ර ශිල්පියකු වීමට තමා වෙහෙසුණේ මේ සිහිනය සැබෑ කර ගැනීමට නොවේද? කලා වාසනා ගුණය තමාට නැතැයි අැද කුද දුටු මිනිසුන් තමා වාග්නර් සංගීතයට ප්‍රිය කළ බව නොසිතුවේ අැයි? තමා නිතර නාට්‍ය නැරඹීමට පුරුදු වූයේ මෙකල නොවේද?

''ඔබ චිත්‍ර ශිල්පය තෝරා ගත්තාට අම්මා කැමති වුණාද?'' ඔහුගේ නිහඬතාව දුටු නීතිඥයා යළි අැසුවේය.
''මම අම්මා කැමති කරවා ගත්තා. යන වියපැහැදම් අම්මා බලා ගන්නම්  කීවා..''
''ඔබේ ළමා කාලය කටුක එකක් බව කියන්නේ බොරුවට නේද?''
හිට්ලර් තාෙල් අැද කළේය.
''ඔබ වියානාවේ ලලිතකලා අායතනයේ ප්‍රවේශ විභාගයට පෙනී සිට අසමත් වුණා ?''
''ඔව්..''
''අසමත් වූ විට ?''
''මම කම්පා වුණා...''
''අන්න හරි. ඔබ කම්පා වුණා. මේ පරාජය කොතරම් සිත් තැවුලක්ද කීවොත් පිළිකා රෝගයෙන් මරණාසන්න මව බැලීමට වත් ඔබ ගමට ගියේ නෑ. දෙමාසෙකට පස්සෙ ගමට ගියේ අැගේ මළ ගමට. ඊටත් දෙමාසෙකට පස්සෙ ඔබ අායෙත් වියානාවට අාවා...'' මොහොතක් නිහඬව සිටි නීතිඥයා ''අැයි වියානාවට අාපහු අාවේ?'' අැසුවේය.
''ඒත් චිත්‍ර ශිල්පය හදාරන්න..''
''හැදෑරුවද?'' 

හිට්ලර් නිරුත්තර වීය. මරණ පරීක්ෂකයකු මළ කුණක් විච්ඡේදනය කරන කලෙක මෙන් ඔවුන් තමාගේ යට ගියාව අවුස්සමින් විශ්ලේෂණය කරමින් මේ අරාඳින්නේ කුමක් පිණිසද? ක්‍රීඩාවක වැදගත් වන්නේ ජය පරාජය නොව සහභාගීත්වය සේ දකින මිනිසුන්ට රණ කෙළියේ වටිනාකමත් එපමණක් බව සිතාගන්නට  බැරි මන්ද?

''මෙවර ලලිත කලා අායතනයේ ප්‍රවේශ විභාගයට පෙනී සිටින්නට වත් ඔබට අවසර දුන්නේ නෑ?'' නීතිඥයා අැසුවේය.
''අවසර නොදුන් එක අැත්ත. මට පෞද්ගලික බලපුළුවන්කාරකමක් වත්, මගේ පිටුපස්සෙන් බලපුළුවන්කාරයෙක්වත් හිටියෙ නෑ..''

''අැයි එහෙම අදහස් කරන්නෙ?''
''ඔවුන් මට ගෘහ නිර්මාණ ශිල්පී අායතනයට පාර පෙන්නුවා..''
''ඔබ ඒ පාරේ ගියාද?''

හිට්ලර් නිහඬ වීය. අෑත අහසේ දේවතාවන් පන්දු කෙළින කලෙක මෙන් කාගේ දෝ බඩ ගොරවන හඬක් අැසුණේය.
''ඔබට පාසල් හැරයාමේ විභාග සහතිකය තිබුණාද?'' නීතිඥයා අැසුවේය.
''නැහැ.''
''ගෘහ නිර්මාණ ශිල්පී අායතනයේ දොර වැහුණේ ඒ නිසා නේද? අවශ්‍ය අවම සුදුසුකමවත් ඔබ ළඟ තිබුණේ නෑ.''
''නැ - හැ - '' පින්සලය හීලෑ කිරීමට පෑන් පැන්සල් හරඹය අහවල් කාරියකටදැයි අැසීමට අා සිත ඔහු මැඩ ගත්තේය.

''ඊළඟ අවුරුදු කීපය ඔබ සැඟවුණු අප්‍රකට ජීවිතයක් ගත කෙළේ මේ ලැජ්ජාව ඉවසා ගන්න බැරුව?''

''.... ඔබේ ජීවිතයේ අවාසනාවන්තම කාල පරිච්ඡේදය වියානාවට ගෙවුණු මේ දවස් බව ඔබ 'මගේ අරගලය' කෘතියේ සඳහන් කරනවා. මීට විශේෂ හේතුවක් තිබුනද?'' නීතීඥයා අැසුවේය.

''ඒ දවස්වල මම මොක හරි  පොඩි චිත්‍රයක් අැඳල එහෙමත් නැත්නම් සුළු කුලී වැඩක් කරල එදා වේල පිරිමහ ගත්ත. සමහර දාක මම හාමතේ ඉබාගාතෙ ගියා. මා සන්තක හැම දෙයක්ම උගස් කළා. නැතිනම් විකුණාගෙන කෑවා. බාච්චු අැඳුම් එල්ලා වැටුණා. අත මිට හිඟ වෙන කොට මගේ පෙනුමත් වෙනස් වෙලා සමාජයේ පහත්ම මට්ටමට වැටුණා. කාලෙකට පස්සෙ කුළී වැඩට නොගොස් ජීවත් වෙන්න පොටක් පෑදුණා. මම ප්ලෑන්ස් අැන්දා. දිය සායම් චිත්‍ර අැන්දා...''

''ඔය කියන්නෙ අතට මුදල් අාවා ?''

''සුළු මුදලක් අතට අාව. අනුන්ට ඔළුව පාත් නොකොට ජීවත් වෙන්න  තරම් සුළු මුදලක්. ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන තැනට මං ඩිංග ඩිංග ළං වුණා....'' (පිටු 17-19)


පහත පළ කොට අැත්තේ පෙර කී අවධියේ අැඩොල්ෆ් හිට්ලර් විසින් අඳින ලද සිතුවම් කිහිපයකි. 

ඉතිං... මිනිසකුගේ ජීවිතයේ අහඹු සිදුවීම් විසින්  ඒ පුද්ගල ජීවිතයේ මතු නො ව, සමාජයේ ම සිදු කළ හැකි වෙනස්කම් කෙබඳු ද? අාඥාදායකයින් බිහිවන්නේ ඕපපාතික ව නො වන්නේ ය. ඔවුන්ට ප්‍රාණ වායුව සපයන්නේ සමාජය ම නො වේ ද?

අැඩොල්ෆ් හිට්ලර් ලලිත කලා විද්‍යායතනයේ ප්‍රවේශ විභාගය සමත් වූවා නම්...? 

එක්කෝ සහතික නැතිව වුව ඔහුගේ සිත්තර හැකියාවට අවස්ථාව ලබා දුන්නා නම්...?


 

6 comments:

  1. //මානව ඉතිහාසයේ දරුණුත ම මිනිස් සංහාරයට // ඔහොම කීවට මාඕ සේ තුං, ස්ටාර්ලිං වගේ අය ඔයිට වඩා මරලා තියෙනවා...

    ගොඩක් වටින ලිපියක්... හිට්ලර්ගේ ජීවිතයෙන් දැනට උනත් ගොඩක් ආදර්ශ ලබාගන්න පුලුවන් බව අමතක කරන්න එපා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිථිල අදහස් දැක්වීම ගැන.

      Delete
  2. මානව ඉතිහාසය පුරාම සිටි දරුණුම ඝාතකයා මාවෝ සේතුන් දෙවෙනියා ස්ටාලින් තුන්වෙනියා කොලොම්බස්

    ReplyDelete
    Replies
    1. ඝාතකයින්ගේ සංඛ්‍යාලේඛන සම්බන්ධ විවිධ විවාද තිබෙන බව අැත්ත. චීනයේ සංස්කෘතික විප්ලව සමයේ සිදු කළ ඝාතන හිතාගන්න බැරි තරම් අමානුෂිකයි.
      නමුත් මට මතු කරන්නට අවශ්‍ය වුණේ මිනිසකුට සමාජයීයව අවස්ථා අහිමි කිරීම තුළ ඔහු ඊට පෙරළා ප්‍රතිචාර දක්වන විදිය, මේ මොහොතේ අහඹු සරල සිදුවීමක් පවා යම් අනාගත මොහොතක් තුළ ප්‍රකාශයට පත් විය හැකි බිහිසුණු අාකාරය, අපේ රටෙත් අධ්‍යාපන ක්‍රමය තුළින් පිටමං කෙරෙන මිනිසුන් සිය හැකියාවන් සඟවාගෙන, සමාජ විරෝධී හා වෙෙරී මානසිකත්වයකින් කටයුතු කිරීමට අැති ඉඩකඩ ගැන... වැනි කාරණා ටිකක්. හිට්ලර්ගේ පරිණාමය දිහා වෙනස් කෝණයකින් බැලීමෙන් ඒ අත්දැකීම සමාජයට හිතකර ප්‍රවේශයක් ලෙස යොදාගැනීම අවශ්‍යයි කියා මම හිතනවා.
      ස්තූතියි මධ්‍යස්ථ මතධාරියා මෙහි ගොඩවැදුනට.

      Delete
  3. සිහිනයක් බිඳ වැටුණු විට අපරාධකරුවන් බිහිවන බවට මීටත් වඩා උදාහරණ කොහෙන්ද? එදා හිට්ලර් චිත්‍ර ශිල්පය උගත්තා නම් අද සමහර විට කළා ගාර වලට වැඩි අපි ඔහුගේ නිර්මාණ අගය කරනවුන් අතර හින්දිවී..ලෝක ඉතිහාසය මොනතරම් වෙනස් වන්නට තිබුනාද..අපට ගන්නට හැකි පාඩම..ඔබේ දරුවා දක්ෂ සහ ප්‍රිය කරන විෂයයන් වලට ඔවුනට නිදහසේ ලං වන්න ඉඩ හරින්න එයට අවශ්‍ය දා සම්පාදනය කරන්න..හෙට දවසේ ලස්සන ලෝකයක් ගොඩ නැගේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් රේණු. ඒ මොහොතේ පුද්ගලබද්ධ කුඩා අහම්බ සිදුවීම් විසින් පසුකාලීනව ලෝක ඉතිහාසයේ සිදු කර අැති හැරවුම් නම් කොතෙක්ද? හිට්ලර්ට එදා ඒ අවස්ථාව නොදීම සම්බන්ධව සමාජයට වගකීමක් තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් අවස්ථා ලබාදීමට වඩා අවස්ථා අහිමි කිරීමට වැඩි නැඹුරුවක් සහිත එකක්. ඒවායේ සමාජීයය ප්‍රතිඵල සාධනීය වන්නේ නැහැ.
      මගේ දුවත් ගොඩක් කියවනවා. ලියනවා. පුතත් අක්කාගේ කියවීම අනුගමනය කරනවා. අැත්ත ඔවුන්ගේ හැකියාවන්ට නිදහසේ දැල්වෙන්න අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සම්පාදනය කිරීම දෙමව්පියන් වශයෙන් අප කරනවා. නමුත් රේණු පෞද්ගලිකව දෙමව්පියන්ට එබඳු හැකියාවන් අඩු, එහෙත් දක්ෂ දරුවන්ට කොතෙක් නම් මේ ක්‍රමය තුළ අවස්ථා අහිමි වෙනවද? හෙට දවසේ ලස්සන ලෝකයක් කියන එක අපි අපිවම රවටාගන්න මායාවක් නොවේද?

      Delete