Thursday, July 28, 2016

''තියුණු අසිපතක සෙවණ‍ යට'' - කැඩපත අභිමුව සිට...



තමිළිනී ජෙයක්කුමාරන්ග‍ේ ''තියුණු අසිපතක සෙවණ‍ යට'' පොත එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වන්නට සිතාගෙන සිටියද ඒ අවස්ථාව මඟ හැරිණි. පොත මිලදී ගන්නට සිදු වූයේද දින කිහිපයක් පමා වීය.


තමිළිනීගේ පොතෙහි පසු කවරයෙහි වන, ඇය කොටි සංවිධානයේ නිල ඇඳුමින් සැරසී සිටින සේයාරුව මග‍ේ ඇසට වඩාත් හුරුපුරුදු ය. මතකය දශකයකට එහා අතීතය වෙත ඇදීයයි. 2002-2008 කාල වකවානුවේ පුවත්පත්කලා කටයුතු සම්බන්ධ මතකයන් අතරින්, එවක යුද්ධය සම්බන්ධ ලිපි සංස්කරණය කරමින් සඟරාවේ පිටු නිර්මාණ කරන විට කොටි සංවිධානයට අදාළ සේයාරූ පිරික්සද්දී ඇගේ රුව රැගත් එබඳු සේයාරූ නිතර හමු වූ බව සිහියට නැ‍‍ගෙයි. 



ඒ මොහොතේ ඇය ඇගේ දේශපාලන සංවිධානය විසින් තෝරන ලද දේශපාලන උපාය මාර්ගය තුළ සක්‍රීයව සිටියාය. අපි අපගේ දේශපාලන ව්‍යාපාරය විසින් ඒ මො‍හොතේ දකුණේ තෝරන ලද දේශපාලන උපාය මාර්ගය තුළ සක්‍රීයව  සිටියෙමු. ඇගේ දේශපාලන භාවිතය දෙමළ සමාජයේ සමාජ විමුක්තිය පිණිස යැයි ඇය විශ්වාස කළාය. අපි අපගේ දේශපාලන ව්‍යාපාරයේ දේශපාලන උපාය මාර්ගය තුළ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ පුළුල්තම සමගිය උදෙසා බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම අත්‍යවශ්‍ය බව විශ්වාස කළෙමු. ඒ සඳහා මතවාදී තලයේ ක්‍රියාත්මක වූයෙමු.


අවසානයේ ඇගේ දේශපාලන ව්‍යාපාරය භෞතිකව පරාජය කර දමන්නට රාජ්‍යය සමත් විණි. තිස්පස් වසරක ‍යුද්ධයේ ශේෂ පත්‍රය වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ මළ කඳන්ය. ඇය හුස්මක් හෙළුවාය.


''මම මගේ ශිෂ්‍ය ජීවිතයේදී මගේ සමාජයට කුමක් හෝ යහපතක් කළ යුතුය යන අපේක්ෂා‍වෙන් සටන්කාමියකු බවට පත් වූයෙමි. මගේ ජීවිතයෙහි අවසන් හුස්ම දක්වා සටන්කාමියකුව සිට ජනතාවට සේවය කිරීමට කැමැත්තෙන් උන්නෙමි. ආයුධ එසවීම මගින් හෝ එසේත් නොමැතිනම් පලියට පලිගැනීම මගින් හෝ මගේ සමාජයටවත්, රටටවත්, ලෝකයාටවත් කිසිම යහපතක් අප විසින් කළ නොහැකිය යන්න අපේ අත්දැකීම් අපට උගන්වා ඇත.'' (පෙරවදන)


අපිදු හුස්මක් හෙලුවෙමු. අප හෙලූ හුස්ම කිසිසේත්ම දෙමළ ජනතාව සංහාරය කිරීමක් පිළිබඳ ජයග්‍රාහී හුස්මක් නොවීය. නමුත් කොටි සංවිධානය පරාජය කොට යුද්ධය අවසන් වීම පිළිබඳ සැහැල්ලුවක් සමාජයට දැනුණු වග රහසක් නොවේ.


''තියුණු අසිපතක සෙවණ යට'' පොත එළි දැක්වීමේ අවස්ථාවේ, එහි පරිවර්තක සාමිනාදන් විමල් මෙසේ පවසා තිබිණි. ''අවසන් වු‍ණේ යුද්ධය මිස ප්‍රශ්නය නොවේ කියන එකත්, ඒ ප්‍රශ්න විසඳාගැනීමට නොහැකි වීමේ අනතුරක් අපට තවමත් තිබෙන බව අවධාරණය කළ යුතුයි...'' ඇත්තකි. අපට සිතන්නට එය මනා ප්‍ර‍වේශයකි.


කොටි සංවිධානය විසින් සිය ඉතිහාසය පුරා සිදු කරන ලද සිංහල හා මුස්ලිම් මිනිස් සංහාරයන්ගේ මිනී කඳු අප අභියස එක් පසෙකද, රජයේ හමුදා විසින් 90 ගණන්වල දෙමළ ගම්මානවලට එල්ල කළ ප්‍රහාර නිසා මිය ගිය දෙමළ වැසියන්ගේ මළ කඳන් එක් පසෙකද තිබේ. මේ කිසිවක් කිසිවකුටත් අමතක කළ නොහැකිය. අමතක කළ යුතුද නොවේ. අමතක නොකළ යුත්තේ නැවතත් එබඳු මිනිස් ජීවිත විනාශයක් ලක් බිම මත සිදු වීමට ඉඩ නොතැබීමේ අර්ථයෙන් විනා ඒ මරණ පිළිබඳ මතකයන් සිතෙහි පැසවමින් පළිගැනීමේ අර්ථයකින්‍ නොවේ. සමාජ විමුක්තිය පිළිබඳ සාමූහික මිනිස් විශ්වාසයන් හා අනාගතවාදී ක්‍රියාකාරකම් උදෙසා මේ මළ කඳන්වල බර අප තවදුරටත් ඔසොවාගෙන යා යුතු නැත. කොටි සාමා‍ජිකයින්ගේ මරණය පිළිබඳ වීරාභිවාදන මෙන්ම, හමුදා සොල්දාදුවන්ගේ මරණය පිළිබඳ වීරාභිවාදන විසින්ද සමාජ මනසෙහි ඇති කරනු ලබන හැඟීම පිළිබඳව අප නැවත සිතා බැලිය යුතුය. දෙවර්ගයේම ජාතිවාදීන්ට මෙම මළ කඳන් සිය පැවැත්ම පිණිස අත්‍යවශ්‍ය සාධකය බව නොරහසකි. නමුත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් හා සිංහල ජාතිවාදය වෙනුවෙන් රටක් ලෙස සමාජයක් ලෙස අප ගෙවා ඇති වන්දිය ඕනෑවටත් වඩා වැඩිය.


තමිළිනී, 1993 සැප්තැම්බරයේ සිය අත්දැකීමක් මෙසේ සටහන් කරන්නීය.


''හමුදාවේ සහ කොටින්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු වැසි ජලයෙන් තෙත බරිතව තැනින් තැන ගල්ගැසී තිබුණි. රත් පැහැ රුහිරු වැසි ජලය සමග එක්ව ගලා යමින් තිබුණි. සුලු වේලාවකට පෙර සතුරු හැඟීමෙන් යුතුව පිල් බෙදී සටන් කළ අය මහ පොළොවේ මළ සිරුරු බවට පත්ව වැටී විසිරී තිබුණු දර්ශනය මවකගේ ඇකයෙහි නිදාගෙන සිටින ළදරුවන්ව සිහිපත් කරන්නට සමත් විය. සියලුම ගැටුම්, එදිරිවාදිකම් අර්ථශූන්‍ය වී යන තැන යුද බිමයි යන්න මුළුමනින්ම අවබෝධ කර ගැනීමට අවශ්‍ය බුද්ධිය ඇත්තෙන්ම ඒ වන විට මා තුළ තිබුනේ නැත.'' (පිටුව 93)


සැබැවින්ම සිංහල හා දෙමළ‍ දෙපාර්ශ්වයටම අනාගතය උදෙසා දැන් වැදගත් වන්නේ ඒ අව‍බෝධයය. බුද්ධියය. ඒ මොහොතේ තමිළිනී ඇතුළු බොහෝවුන්ට නොතිබූ ඒ අවබෝධයය. බුද්ධියය.


තමිළිනී මෙසේ ලියන්නීය.


''ජනයාගේ විමුක්තිය උදෙසා අරගල කිරීමේ සිහිනයෙන් සංවිධානයට බැඳුණු මට නොසිතූ අයුරින් ජනතාව අතරෙහි දේශපාලන කටයුතු කිරීමේ වගකීම පැවරුවේය. මම ජනතාව කෙරෙහි මහත් ආදරයක් දැක්වූ හෙයින් කැමැත්තෙන්ම දුෂ්කර කටයුතුවල යෙදුනෙමි. සියලුම ජනයා සැනසිල්ලේ සහ සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වෙන සමාජයක් පිළිබඳ පවා මට මහත් සතුටක් විය. විමුක්ති කොටි සංවිධානය ජයග්‍රහණය කර එවැනි රටක් නිර්මාණය කරනු ඇතැයි මම දැඩිව විශ්වාස කළෙමි. ඒ වෙනුවෙන් මම මගේ හදවත, ශරීරය, ජීවය, ආත්මය යන සියල්ලක්ම කැප කර සටන් කිරීමට අදිටන් කළෙමි. ඊට පසු කාලයන්හිදී මට ලැබුණු අත්දැකීම්, පාඩම්, අරගලය කෙරෙහි අවිශ්වාසය ඇති කළ තත්ත්වයන්, අවිශ්වාසය ඇති කළ තීරණ, ජනතාවගේ යහපත පෙරටුක‍ර නොගෙන දියත් කළ ක්‍රියාකාරකම් ආදිය මා තුළ දැඩි හැඟීම් කැකෑරීමක් සහ ස්වයං විවේචනයක් සිදු කළේය.'' (පිටුව 208)


ඇගේ දේශපාලන සංවිධානය හා එහි භාවිතය සම්බන්ධව කිසිසේත්ම අපට එකඟ විය නොහැකි නමුදු සමාජ විමුක්තිකාමී අර්ථයකින් එහි ක්‍රියාධරයින්ගේ ජීවිත දෙස බැලීමේදී අපට ඒ සමාජ අභිලාෂයක් උදෙසා වන කැපකිරීම් අවතක්සේරු කිරීම කළ නොහැකිය. නොයුතුය. ඔවුන් සිය කායික හැකියාවන්ද බුද්ධිමය හැකියාවන්ද කැපකළේ සමාජ අරමුණක් වෙනුවෙනි. ඒ සමාජ අරමුණෙහි පටු-පුළුල්භාවය වෙනම ප්‍රශ්නයකි. සැබැවින්ම, මෙබඳු අර්බුදයක් නොවන යථාර්ථයක් වී නම් ඒ ජීවිත, ඒ හැකියාවන් හා ඒ කැපකිරීම් සමස්ත ලාංකේය සමාජය වෙනුවෙන් යෙදවෙනු ඇති ඒවාය. ඔවුන්ගේ ආයුධ නිෂ්පාදනයන් තුළ පැවති නිර්මාණාත්මක ශ්‍රමය, පර්යේෂණාත්මක ගුණය පවා අප වෙනස් කෝණයකින් තක්සේරු කළ යුතුව තිබේ.


සමාජ විමුක්තිය පිළිබඳව කොටි සංවිධානය පදනම් කොට ගෙන ඇය තුළ ඉපිද තිබූ අභිමානය එක්තරා ‍මොහොතක සිට ඉරිතලමින් අවිශ්වාසය හා කලකිරීම ඇය තුළ උපදින්නට පටන් ගැනීම සිදු විණි. ඒ හැඟීම ක්‍රියාකාරිකයකු වශයෙන් ඇය තුළ පමණක් නොව දෙමළ සමාජය තුළද ඇය දකී.


''අවුරුදු තිහකටත් වඩා වැඩි ආයුධ සන්නද්ධ අරගල ඉතිහාසය තුළ දහස් ගණන් සටන්කාමීහු තම ජීවිත කැප කරමින්ද ලක්ෂ ගණනක ජනතාව තම ප්‍රාණය හා වස්තුව අහිමි කර ගනිමින්ද දැරිය නොහැකි බරක් දරාගෙන උන්නෝය. එහෙත් යුද පෙරමුණුවලදී කොටි ලබාගෙන සිටි ජයග්‍රහණ හේතුවෙන්ද ජීවිත පරිත්‍යාග කර සිටි තම දරුවන් හේතුවෙන්ද කොටින්ගේ සියලු වර්ගයේ වැරදි සහ උල්ලංඝනයන් ඉවසාගෙන සිටීමේ ශක්තියෙන් යුතුව ආයුධ සන්නද්ධ අරගලය විසින් ඇති කරන ලද සියලුම වේදනාවන්ද, පීඩාවන්ද ජනතාව දරාගෙන උන්නෝය. දෙමළ ජනතාවගේ එකම එක දේශපාලන ශක්තිය ලෙසින් නැගී සිටි විමුක්ති කොටින්ව සියලුම විවේචනයන්ට ඔබ්බෙන් දෙමළ ජනතාව තමන්ට විමුක්තිය උදා කර දෙන ගැලවුම්කරුවන් ලෙස විශ්වාස කළහ. නමුත් එම හැඟීම් සුනු විසුනු කරන ලෙසින් සාම කාලයට පසුව සංවිධානයෙහි වැඩ කටයුතු සකස් විය. එහෙයින් ජනතාව අතෘප්තියෙහි හිණි පෙත්තට පැමිණියේය. දිගු යුද්ධයෙහි බර දරාගත නොහැකි තත්ත්වයක් තුළ අපේ ජනතාව අත් ඔසොවා කොටින්ට සාප කරනු අපි ඇස්වලින් දැක්කෙමු.'' (පිටුව 160)


දෙමළ සමාජයේ සමාජ විමුක්තිය සඳහා යැයි කියූ තම සංවිධානය දෙමළ සමාජය වෙතින්ම ප්‍රතික්ෂේප වීමේ යථාර්ථය ඇයට පෙනෙයි.


''තමිළිනී'' යනු හුදු පුද්ගල චරිතයක් නොවේ. ඇය ලංකාවේ ‍ඓතිහාසික සමාජ-දේශපාලන නිෂ්පාදනයකි. තමිළිනී අද නැත. ඇගේ සංවිධානයද අද නැත. නමුත් අනාගතයේ ''තමිළිනීලා'' නිෂ්පාදනය නොවන සමාජ-දේශපාලන යථාර්ථයක් ගොඩනඟන්නට රටක් ලෙස, සමාජයක් ලෙස අප සමත් වී තිබේද යන්න පැනයකි. ඒ පැනයට පිළිතුරු සොයායන්නට ප්‍රවේශයක් මෙම කෘතිය මගින් අප හමුවේ තබා තිබේ. ඒ අනුව මෙම කෘතිය පිළිබඳව සමාජ-දේශපාලන ව්‍යාපාරයන්හි නිසැකවම කතිකාවක් ඇති විය යුතුව තිබේ. 'කෙළවාගැනීමෙන්' ඉගෙන ගැනීම උතුරට මෙන්ම දකුණටද අරුමයක් නොවන බව අපි දනිමු. නමුත් සමාජයක් ලෙසත්, සමාජ-දේශපාලන ව්‍යාපාර ලෙසත් කෙළවාගෙන ඉගෙනගැනීම් තවදුරටත් අවශ්‍ය නොවන බව අප‍ගේ කල්පනාවයි. ඒ උදෙසා ප්‍රවේශයක් මේ කෘතියෙන් සපයාගැනීමේ විභවය තිබේ.


මෙරට සමාජ විද්‍යාඥයින්ටද මෙය සමාජ විද්‍යාත්මක අර්ථයකින් හැදෑරිය හැකි, හැදෑරිය යුතු කෘතියකි. එසේම පුරවැසියන් ලෙසද අපට අප දෙස හා අනෙකා දෙස බලන්නට, ස්වයං විවේචනාත්මක ප්‍රවේශයකින් බලන්නට මෙම කෘතිය ඉතා වැදගත් වේ. අවසානයේ ඒ සියලු අවබෝධයන්හි කෙළවර නැවත උතුරේද දකුණේද මිනිස් ජීවිත විනාශ නොවන යථාර්ථයක් මේ බිමෙහි ගොඩනැගීම විය යුතුය.


''තියුණු අසිපතක සෙවණ යට'' නමැති මෙම කෘතිය, හුදු කොටි ක්‍රියාකාරිකයකුගේ අත්දැකීම් ලෙස කියවීමට වඩා එය මතු කරන කාරණා පේළි අතර කියවීම වැදගත් වන බව සඳහන් කරන්නට මා කැමතිය. වඩාත් සමාජමය අර්ථයක් පිණිස අපට සිතන්නට හැකි වනු ඇත්තේ එබඳු කියැවීමක් ඔස්සේ පමණකි. සාමිනාදන් විමල් සිදු කළ කතාවේ අවසාන වැකියෙන්ම මෙම සටහන නිමා කිරීම සුදුසු යැයි සිතෙයි. ''අවසාන වශයෙන් මේ කෘතියෙන් අප නැවත නැවතත් ලබා ගන්නා පාඩම වන්නේ සිංහල හා දෙමළ සමාජයන් අතර පවතින දුරස්ථභාවය අහෝසිකිරීම සඳහා අප අයත් එක් එක් ක්ෂේත්‍රවල වැඩ කිරීම බව සිහිපත් කරමි.'' සැබැවින්ම එය එ‍ස‍ේය.

(මෙම කෘතිය අල‍ෙවයෙන් ලැබ‍ෙන මුදල් මහරගම පිළිකා ෝහේ ළමා අංශේ ප්‍රිකාර ලබන දුවන්ගේ කටයුතු වෙනුවෙන් ‍ෙදවේ.)






10 comments:

  1. මේ පොතෙන් සමාජයට දෙන පණිවිඩය බොහොම වැදගත්...

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත්. සමාජයක් ලෙස අපට අප ගැන දහස් වතාවක් නැවත නැවත සිතන්න මේ පොත බල කරනවා.

      Delete
  2. මේ පොත ගැන මා කියවූ හොඳම කියවීම...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ. පොත බරපතළ විදියටම මටත් වැදුණා. හෘදය සාක්ෂියට එකඟව පොතට ඒ සාධාරණය ඉටු විය යුතු බව දැනුණා. ඒක මා අතපසු නොකළ යුතු සමාජ වගකීමක් ඉටු කිරීමක් බව හිතුණා.

      Delete
  3. මමත් මේකේ කොපියක් එවන්න කිව්වා අපේ බ්ලොග් ලියන හිතවතෙකුට... ආශාවෙන් බලාගෙන ඉන්නවා කියවන්න

    ReplyDelete
    Replies
    1. අපි කියවිය යුතුවම පොතක් කවිඳු.

      Delete
  4. satan karna aya athara witharak nowe deshapalanaya krana ayath mehemayi, JVP samajikayage thathwayath meyamayi.

    ReplyDelete
    Replies
    1. සැබැවි, රන්සකු. අත්දැකීමෙන්ම දනිමි. පොත වඩාත් දැනුනේද,ඒ ගැන ලිවිය යුතුම බව හැඟුණේද එබැවිනි.

      Delete
  5. හොයාගෙන කියවන්න හිතුනා, ඒත් මම ආසා නැ යුද්ධ කතා කියවන්න.. මම විස්වාස කරන්නේ හැමෝම සමාන තලයකට ගෙන්න පුලුවන් සාමයෙන් විතරයි..

    ReplyDelete
  6. සොයාගෙන කියවන්න නිම්නි. ඒ ගැන ඔබටත් බොහෝ දේ ලියන්න පුළුවන් වේවි. මේ මොහොතේ ඒ සංවාදය, කතිකාව සමාජයට අත්‍යවශ්‍යයි.

    ReplyDelete