Friday, April 15, 2022

1971 : අඩ සියවසකට පසු ප්‍රති විශ්ලේෂණයක්

 



1971 සිදුවීම තවදුරටත් කැපකිරීම හා වීරත්වය යන පටු චිත්‍රය තුළ තබා කියවමින් සාම්ප්‍රදායික විප්ලවීය ආස්වාදය විඳීම වෙනුවට, වසර 50කට පසුව හෝ වඩා පුළුල් චිත්‍රය තුළ එය ස්ථානගත කොටගෙන විශ්ලේෂණය කර ගැනීම අත්‍යවශ්‍යය. ඇමරිකානු මධ්‍යම තොරතුරු ඒජන්සියේ හෙවත් සී.අයි.ඒ. සංවිධානයේ බුද්ධි තොරතුරු විශ්ලේෂකයකු වූ Richards J. Heuer, (Jr.) සිය Psychology of Intelligence Analysis  කෘතියෙහි සඳහන් කරන ආකාරයට, නිගමන වරදින්නේ දත්ත $ තොරතුරුවල වරදක් නිසා නොව එම දත්ත $තොරතුරු විශ්ලේෂණය කරගන්නා ආකාරයේ වරද නිසා ය. 1971 සිදුවීම සම්බන්ධ තොරතුරු, පුද්ගල අත්දැකීම් පසුගිය වසර 50 තුළ කොතෙකුත් සාකච්ඡා වී තිබේ. නමුත් ඒ සාකච්ඡා $ විශ්ලේෂණ ලංකාව නමැති පශ්චාත් යටත්විජිත ජාතික රාජ්‍යයේ සමාජ - දේශපාලන - ආර්ථීක පටු විෂය රාමුවෙන් ඔබ්බට නොගියේය. ඒ වෙනුවට මෙම විශ්ලේෂණය '1971 සිදුවීම' ඊට පෙර කාලීන, සමකාලීන හා පසුකාලීන ලෝක ආර්ථීක - දේශපාලන මොහොත හා ලාංකේය ආර්ථීක - දේශපාලන මොහොත යන පුළුල් චිත්‍රය තුළ තබා විශ්ලේෂණය කරයි. මෙම විශ්ලේෂණය කිසි විටෙකත් 1971 අරගලයට දායක වූ පරම්පරාවේ ‘සමාජ අභිලාෂය අවතක්සේරු නොකරයි. නමුත් ‘1971 ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ අධිරාජ්‍යවාදී බල ව්‍යාපෘතියේ සවිඥානික කොටසක් බවට පාවිච්චිවීමේ පුළුල් චිත්‍රය විශ්ලේෂණය කරයි.


සීතල යුද්ධය තුළ ඇමරිකා එක්සත් ජනපද භූමිකාව

ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය අතර පැවති සීතල යුද්ධයේ උච්ඡතම අවධිය වූයේ පසුගිය සියවසේ 60 -70 දශක ය. මෙම අවධියේ සෝවියට් දේශය සිය කේ.ජී.බී. ඔත්තු සේවය මගින්ද, ඇමරිකාව සිය සී.අයි.ඒ. ඔත්තු සේවය මගින්ද ලොව පුරා රටවල් සිය ප්‍රතිපක්ෂ කඳවුරු දෙකට අත්පත් කරගැනීමේ හා ප්‍රතිපක්ෂ රාජ්‍ය බිඳ දැමීමේ රහස්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් තිබිණි.

විශේෂයෙන්ම සීතල යුද අවධිය තුළ ඇමරිකා එක්සත් ජනපදය සිය මධ්‍යම රහස් ඔත්තු සේවය (සී.අයි.ඒ.) මගින් ජාත්‍යන්තර බල දේශපාලනයට බහු විධ අයුරින්, බහු විධ හැඩයෙන් මැදිහත් වී ඇති බව මේ ආශ්‍රිත දේශපාලන සාහිත්‍ය විමර්ශනයේදී හඳුනාගත හැකිය.

ලතින් ඇමරිකාව          

තින් ඇමරිකානු කලාපයේ රටවල එක්සත් ජනපද හිතවාදී ආඥාදායකයින් හා ආණ්ඩු බලයට පත් කිරීම, සමාජවාදී - ප්‍රගතිශීලී ආණ්ඩු විවිධ කුමන්ත්‍රණ මගින් බිඳ දමා එබඳු නායකයින් ඝාතනය කිරීම, හමුදා කුමන්ත්‍රණ, හමුදා ආණ්ඩු පිහිටුවීම මෙම අවධිය තුළ කැපී පෙනෙන අතර, ආසියානු අප්‍රිකානු කලාපයේ රටවල් වෙතටද එබඳු මැදිහත්වීම් ඇමරිකාව විසින් අඩු වැඩි වශයෙන් සිදු කර තිබේ. මෙබඳු මැදිහත්වීම් සම්බන්ධ උදාහරණ ලෝක දේශපාලන සාහිත්‍යය තුළ කොතෙකුත් දැකිය හැකිය.

1961 -1964 කාලයේ බ්‍රසීල දේශපාලනයට අත පෙවූ ඇමරිකාව, 1961වසරේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපති ජොආම් ගුවුලාර්ට්ගේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කළාය. මෙහිදී 1964  දී එරට ඇමරිකානු තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් ජෙනරාල් හුම්බර්ටෝ ද කස්ටෙලෝගේ නායකත්වයෙන් හමුදා ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ.  1959 සිට 1980 දක්වා කියුබාවට එරෙහිව ඇමරිකාව විවිධ මැදිහත්වීම්, බලපෑම් සිදු කර තිබේ. කුමන්ත්‍රණ, යුද ප්‍රකාශ කිරීම්, බෝම්බ හෙළීම්, ත්‍රස්තවාදී ක්‍රියා, මිනිස් ඝාතන ඒ අතර වේ. 1960 ගණන්වල කියුබානු නායක ෆිඩෙල් කැස්ට්‍රෝ හා රාවුල් කැස්ට්‍රෝ ඝාතනය කිරීමට අවස්ථා ගණනාවකදී සී.අයි.ඒ. විසින් සැලසුම් දියත් කොට තිබේ. බොලීවියාවේදී චේ ගුවේරා ඝාතනය කිරීමට සී.අයි.ඒ. මැදිහත් විය.

ගෝතමාලාවේ ජනතා ඡන්දයෙන් පත් වූ ජකබෝ අර්බෙන්ස්ගේ ආණ්ඩුව පෙරළා දමා හමුදා ආණ්ඩුවක් පිහිටුවීමට සී.අයි.ඒ. සංවිධානය කටයුතු කර තිබේ. 1950 ගණන්වල දී කොස්ටරිකාවේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වූ ඇමරිකාව, එහි ජනාධිපති ජොසේ ෆිගුඑරේස් මරා දැමීමට දෙවරක් උත්සාහ දරා තිබේ. 1960 -1963 දක්වා කාලය තුළ ඉක්වදෝර දේශපාලනයට අත පෙවූ ඇමරිකාව විසින් ජනතා ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපති ජොසේ මරියා වලෙක්සෝට බලයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීය. 1964 -1973 කාලයේ චිලී රාජ්‍යයට විවිධ මැදිහත්වීම් සිදු කළ ඇමරිකාව, සැල්වඩෝර් අයන්ඩේගේ නායකත්වයෙන් යුතු සමාජවාදී රජය පෙරළා දමා ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළාය.

ආසියාව

ඇමරිකා එක්සත් ජනපදය 1945-1960 කාලය තුළ මහජන චීන සමූහාණ්ඩුවට එරෙහිව විවිධ කුමන්ත්‍රණ මැදිහත්වීම් සිදු කර ඇති අතර, චීන නායකයින් ඝාතනය කිරීමට සකස් කළ සැලසුම් කැපී පෙනේ. විශේෂයෙන්ම එවකට චීන අගමැතිවරයා වූ චෞ එන් ලායි ඝාතනය කිරීමට සිදු කළ සැලසුම් පසු කාලීනව අනාවරණය වී තිබේ.

1945-1953 අතර කාලයේ කොරියාව වෙත ආක්‍රමණ, බෝම්බ හෙළීම්, ඝාතන ඇතුළු සාපරාධී ක්‍රියා සිදු වූවේත්, 1949 දී කොරියාවේ විරුද්ධ පක්ෂ නායක කිම් කූ ඝාතනය කිරීමේ සැලසුම් හා 1951 දී උතුරු කොරියානු නායක කිම් ඉල් සුං ඝාතනය කිරීමේ සැලසුම දියත් වී ඇත්තේ එක්සත් ජනපද මැදිහත් වීමෙනි. 1940-1950 කාලයේ පිලිපීන පාලනයට අත පෙවීම් කළ ඇමරිකාව, පිලිපීනයේ විරුද්ධ පක්ෂ නායකයකු වූ කාර්ලෝස් එම්. රෙක්ටෝ ඝාතනය කිරීමට සැලසුම් කර තිබේ.

1950 දශකයේ ඉන්දුනීසියාවට දේශපාලන අත පෙවීම් කළ ඇමරිකාව 1955 බැන්ඩුන් සමුළුවට පැමිණෙන එවකට චීන අගමැති චෞ එන් ලායි සහ ඉන්දුනීසියානු ජනාධිපති සුකර්ණෝ ඝාතනය කිරීමට සැලසුම් කළ ද එය අසාර්ථක විණි. 1965 දී ඉන්දුනීසියානු ජනාධිපති සුකර්ණෝ අත්අඩංගුවට ගෙන මරා දැමීමට සහ දස ලක්ෂයක් පමණ සිවිල් වැසියන් ඝාතනය කිරීමට උපකාර කළ ඇමරිකාව, ඇමරිකන් ගැති සුහර්තෝගේ මිලිටරි රජය පිහිටුවීමට කටයුතු කළේය.          

1955-1973 දක්වා කාම්බෝජයට විවිධ මැදිහත්වීම් සිදු කළ ඇමරිකාව, කාම්බෝජ නායක නරදම් සිහනුක් කුමරු ඝාතනය කිරීමට 1959 දී හා 1963 දී උත්සාහ දරනු ලැබීය. 1957-1957 අවධියේ ලාඕසය තුළ බෝම්බ දැමීම්, ඝාතන ඇතුළු අපරාධ සී.අයි.ඒ. මැදිහත්වීමෙන් සිදු විණ.

යුරෝපය

ඇමරිකාව 1947-1948 කාලයේ ඉතාලි ආණ්ඩුවට බලපෑම් කරමින් එහි සිටි වාමාංශික ඇමතිවරු ඉවත් කිරීමට මැදිහත් වී තිබේ. 1947 සිට 1950 ගණන්වල මැද භාගය දක්වා ඇමරිකාව ග්‍රීසියට විවිධ මැදිහත්වීම් සිදු කළ අතර 1947 සෙෆ්නෙව්බර්වල ආණ්ඩුව විසිරුවා හැර නව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සිය බලය යොදවා තිබේ.

1949-1953 අතර කාලයේ ඇල්බේනියාවේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වූ ඇමරිකාව, 1949 දී අන්වර් රෝජාගේ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් දියත් කළද එය අසාර්ථක විණි.

මැද පෙරදිග

1956-1957 කාලයේ සිරියානු ආණ්ඩුව පෙරළා දැමීමට ඇමරිකාව කුමන්ත්‍රණ කළ නමුත් එය සාර්ථක නොවීය. එසේම, ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර් ඝාතනය කිරීමට ඇමරිකාව උත්සාහ දරා තිබේ.

අප්‍රිකාව

1960-1964 කාලයේ කොංගෝවට මැදිහත් වූ ඇමරිකාව, කොංගෝවේ පළමු නිදහස් අගමැතිවරයා වූ පැටි්‍රස් ලූමුම්බා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කටයුතු කළේය. 1966 දී ඝානාවේ ආණ්ඩුව පෙරළා දැමූ ඇමරිකාව, ජනාධිපති කවාබේ න්කෘෘමා බලයෙන් පහකොට එරට තුළ හමුදා ආඥාදායකත්වයක් ඇති කළාය. බි්‍රතාන්‍ය යටත් විජිතයක් වූ ගුයානා දූපතේ ජනතාවගේ නීත්‍යනුකූල ඡන්දයෙන් බලයට පත් වූ වෛද්‍ය ෂෙඩ්ඩි ජෙගන්ගේ ආණ්ඩුවට 1953-1964 කාලයේ විවිධ බලපෑම් කළ ඇමරිකාව, එරට තුළ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට මැදිහත් විය.

50 - 60 - 70 දශකවල ලෝකයේ විවිධ රාජ්‍යවලට ඇමරිකාව හා සී.අයි.ඒ. සංවිධානයේ මැදිහත්වීම් - අතපෙවීම් සම්බන්ධ zවිශාල චිත්‍රයZ මෙබඳුය. සෝවියට් හිතවාදී, චීන හිතවාදී, සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී ආණ්ඩු - රාජ්‍ය වෙනුවෙන් ඇමරිකාව විසින් මුදා හරින ලද මෙහෙයුම් හි පොදු හැඩතල මෙබඳු විණි.

පුද්ගලයකුගේ හෝ සංවිධානයක හැසිරීම සම්බන්ධ බුද්ධි තොරතුරු විශ්ලේෂණයේදී හඳුනාගත හැකි සුවිශේෂ දෙයක් වන්නේ එම හැසිරීම් මාලාව තුළ ඊටම අනන්‍ය රටාවක් පැවතීම බවත්, එහි අනාගත හැසිරීම් දිශානති පුරෝකථනය කිරීම හා හඳුනාගැනීම සඳහා එම රටාව හඳුනාගැනීම අතිශයින්ම වැදගත් වන බවත් Richards J. Heuer, (Jr.) සිය Psychology of Intelligence Analysis  කෘතියෙහි වැඩිදුරටත් පෙන්වා දෙයි. එම තර්කනය තුළ විශ්ලේෂණය කරන විට, සී.අයි.ඒ. සංවිධානය ලෝකයේ රාජ්‍යයන්ට මැදිහත්වීම තුළ එක්තරා රටාවක් නිර්මාණය කර තිඛෙන බව ඉහත තොරතුරු අනුව පැහැදිලිව හඳුනාගත හැකිය.

50 -60 -70 දශකවල ලාංකේය දේශපාලනය

50 - 60 - 70 දශකවල ලාංකේය බල දේශපාලනය කියවිය යුත්තේ පශ්චාත් යටත් විජිත ජාතික රාජ්‍ය සීමාවට අදාළ zකුඩා චිත්‍රයZ තුළ නොව, ඉහත සඳහන් කළ අන්තර්ජාතික බල දේශපාලනය හා සබැඳුණු zවිශාල චිත්‍රයZ හා සංයුක්තවය.

1948 වසරේ නිදහස ලැබූවද, ලංකාව මෙරටට අනන්‍ය ජාතිකවාදී දේශපාලන ගමන් පථයකට අවතීර්ණ වූයේ 1956 වසරේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතු රජය පිහිටුවීමත් සමගය. අඩු වැඩි වශයෙන් විවිධ අඩුපාඩු සහිතව වුවත් බණ්ඩාරනායක රජය, රටක් ලෙස ගමන් කළ යුතු දිශානතිය නිවැරදිව හඳුනාගෙන තිබිණ. යටත්විජිතවාදයෙන් මිදුණු රටක් ලෙස එය විදේශ ප්‍රතිපත්තිය තුළ සිටගත්තේ එක්සත් ජනපද - බි්‍රතාන්‍ය පාර්ශ්වය සමග නොව, ඊට ප්‍රතිපක්ෂ සෝවියට් - චීන - නැඟෙනහිර යුරෝපා පාර්ශ්වය වෙත නැඹුරුවය.

එසේම අධිරාජ්‍යවාදී බහුජාතික සමාගම්වලට එරෙහිව ලංකාව තුළ පළමු වරට කටයුතු කෙරුණේ මෙම යුගයේය. ඒ බහුජාතික ඖෂධ සමාගම්වලට එරෙහිවය. ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් අයත් වූයේ ඇමරිකාව හා මහා බි්‍රතාන්‍යය යන රටවලටය. ලංකාවේ පාලනය තුළ තමන්ට එරෙහිව නැඟුණු කුඩා ගිනි පුපුර වුව නොසලකා හරින්නට  මෙම රටවල් හා බහුජාතික සමාගම් කටයුතු කළා යැයි සිතිය නොහැකිය. තම කඳවුරට එරෙහිව සිටගන්නා, තම බහුජාතික සමාගම්වලට එරෙහිව සීමා පනවන රාජ්‍යවලට හා රාජ්‍ය නායකයින්ට එරෙහිව ඒ වන විටත් ලොව පුරා අත්හදාබලමින් තිබූ zක්‍රමවේදZ මෙරට තුළ භාවිත කිරීමට නොහැකියාවක් හෝ අකමැත්තක් හෝ ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී පාර්ශ්වයට තිබුනේ යැයි සිතිය නොහැකිය. ලොව පුරා මෙබඳු රාජ්‍ය නායකයින් විෂයයෙහි ඇමරිකාව එබඳු ක්‍රමවේද යොදාගෙන තිබූ පසුබිමක, 1959 වසරේ බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය වීම පිටුපස ඇති සැබෑ හස්ථය ඇමරිකානු - සී.අයි.ඒ හස්ථය නොවේ යැයි කිසිවකුටත් කිව හැකිද?

අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක් වීමෙන් පසු, 1960 මහ මැතිවරණයෙන් බලයට පත් වූයේ ඔහුගේ භාර්යාව වූ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතු රජයයි. ඇය ලෝකයේ පළමු අගමැතිවරිය බවට පත් වූවාය. ඇයද මෙරට විදේශ ප්‍රතිපත්තිය තුළ සිට ගත්තේ ඇමරිකා - බි්‍රතාන්‍ය පාර්ශ්වය සමග නොව, සෝවියට් - චීන - නැඟෙනහිර යුරෝපා පාර්ශ්වය සමගිනි. මෙරට තුළ නිෂ්පාදන ආර්ථීකයක් ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය වන කර්මාන්ත ශාලා ගණනාවක් මෙම රටවල් වෙතින් ලංකාවට ලැබුණේ මෙම අවධියේය. පශ්චාත් යටත් විජිත රාජ්‍යයක් ලෙස, නැවත ගොඩනැඟීමට අවශ්‍ය පදනම හා ශක්තිය මෙම කම්හල් මගින් මෙරටට ලැබුණු බව අවිවාදිතය.

මෙම පසුබිම තුළ සිරිමා බණ්ඩාරනායක අගමැතිවරිය, ඇමරිකා - බි්‍රතාන්‍ය බලපෑම් නොතකමින්, රටක් ලෙස අභිමානයක් - අනන්‍යතාවක් සහිතව නැඟී සිටිනු පිණිස විවිධ දේශපාලන තීන්දු තීරණ නොබියව ගත්තාය. මෙහිදී සෝවියට් හා චීන සහයෝගය ඇය පසුබිමෙහි තිබීම ඊට පිටිවහලක් වූවා නිසැකය. ඇමරිකානු හා බි්‍රතාන්‍ය මූලයක් සහිත තෙල් හා ගෑස් සමාගම් කිහිපයක් ඇගේ රජය විසින් ජනසතු කිරීම, සමකාලීන ලෝක දේශපාලනය තුළ නිර්භය හා කෑපී පෙනෙන තීරණයක් විණි. මෙම තීරණයට ඇමරිකාව හා බි්‍රතාන්‍යය දැක්වූ මතුපිට ප්‍රතිචාරය වූයේ ලංකාවේ තේ ආදී නිෂ්පාදන තම රටවලට මිල දී නොගන්නා බවට කළ තර්ජන ය. නමුත් යටි තලයේ, ලංකාවේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් සැලසුම් කොට එය පෙරළා දැමීමට සැලසුම් කෙරිණ. Sachi Sri Kantha සිය The CIA's Finger prints in Ceylon history ලිපියෙහි සඳහන් කරන ආකාරයට,සෝවියට් දේශය හා චීනය නැඟෙනහිරට සමීපව සීතල යුද්ධයේ උච්ඡතම වර්ෂ ගෙවන අතරතුරේ, දේශපාලනයේ පැවති මෙම වාමාංශික ප්‍රවණතාව සිරිමා බණ්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාල පරිච්ඡේදය සී.අයි.ඒ. සංවිධානයට සිය zබලයෙන් නෙරපා දැමීමේZ අත්හදාබැලීම් පරීක්ෂා කිරීමට පොළඹවාලීය.˜

මෙම අවධියේ ලාංකේය දේශපාලනය හා බැඳුණු විශේෂ සිදුවීම් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ය. 1961 මැයි 11 වන දා ෆ්‍රැන්සිස් එලිසබෙත් විලීස් මහත්මිය මෙරට ඇමරිකානු තානාපතිවරිය වශයෙන් අක්ත පත්‍ර පිරිනැමුවාය. 1962 අගෝස්තු 03 වන දා TIME සඟරාව ඇගේ කෙටි චරිත සටහන දක්වා තිබුනේ දැඩි හිතක් ඇති, බහු භාෂා හැකියාව ඇති 63 හැවිරිදි ෆ්‍රැන්සිස් එලිසඛෙත් විලීස්, ඇමරිකාව තුළ තානාපති තනතුර දිනාගත් පළමු රාජ්‍ය තාන්ත්‍රික කාන්තාව˜ වශයෙනි. ලෝකයේ පළමු අගමැතිවරියගේ පාලන සමය තුළ ලංකාවට ඇමරිකාවේ පළමු කාන්තා තානාපතිනිය පත්කර එවීම තුළ වන දේශපාලන සුවිශේෂත්වය අපගේ සැලකිල්ලට ලක් විය යුතුය.

★ 1961 මැයි 29 වන දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කෙරුණු අතර, සිල්ලර ඛනිජ තෙල් ඛෙදාහැරීම ජන සතු කෙරිණ.

1962 ජනවාරි 27 වන දා බණ්ඩාරනායක මහත්මියගේ රජයට එරෙහිව කළ කුමන්ත්‍රණයකින් ආණ්ඩු බලය අල්ලාගැනීමට සැලසුම් කළ ද එය අසාර්ථක විය.

★ 1962  අප්‍රේල් - TIME සඟරාවට අනුව (1962 අගෝස්තු 03), ESSO, CALTEX හා Burmah  Shell යන ඇමරිකානු හා බි්‍රතාන්‍ය සමාගම් 3ට අයත් ගෑස් මධ්‍යස්ථාන හා ඛනිජ තෙල් උපපොළවල් 200ක් මුළුමනින්ම රජය විසින් අත්පත් කරගනු ලැබීය. මෙසේ අයිතිය පවරාගත් දේපළවල මුළු වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 20කි.

1962 ජූලි - ‘‘මාස 06ක් තුළ හානි පූර්ණයකින් තොරව, ඇමරිකානු දේපළ අත්පත් කරගන්නා ඕනෑම රටකට, ආධාර අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති විශේෂයෙන් බලය දී ඇතැයිZ ඇමරිකානු තානාපති ෆ්‍රැන්සිස් විලීස් මහත්මිය ලංකාවේ මුදල් ඇමතිවරයාට සිහිපත් කළාය. බණ්ඩාරනායක මහත්මිය මේ සම්බන්ධව තානාපතිවරිය වෙත ප්‍රකෝප කරවන සුලු ලිපියක් යවමින්, zකුඩා රටවල් සඳහා ඇමරිකාවේ ආධාර ලබා දිය හැකි හොඳම ආකාරය වන්නේ, ඔවුන්ගේ සම්බන්ධතා තුළ අනුන්ගේ කටයුතුවලට අතපෙවීමෙන් වැළකීමයිZ යනුවෙන් කියා සිටියාය.

මෙම පිළිතුර, 1962 ජනවාරි අසාර්ථක කුමන්ත්‍රණය තුළ සී.අයි.ඒ. සංවිධානයේ zගණන් නොගත්Z භූමිකාවට අනියමින් කළ තරවටුවක්, දෝෂාරෝපණයක් ලෙසද අර්ථකථනය කළ හැකිය.

1950 ගණන්වල සී.අයි.ඒ. විසින් ක්‍රියාත්මක කරන ලද zබලයෙන් නෙරපීමේZ රටාව ලංකාවේ සිදුවීමෙහි ද හඳුනාගත හැකිය. උදාහරණ ලෙස, 1953 අගෝස්තු 21 වන දා ඉරාන අගමැති මොහොමඩ් මොසාඩික්ගේ වාමාංශික ආණ්ඩුව, සී.අයි.ඒ. විසින් බලයෙන් නෙරපා දැමුවේ, ඔහු බි්‍රතාන්‍යයට හිමි ඇන්ග්ලෝ - ඉරානියන් තෙල් සමාගම ජනසතු කිරීමෙන් පසුය.  එසේම, ගෝතමාලව තුළ කෙසෙල් වගා කළ එක්සත් පළතුරු සමාගමට අයත් නිෂ්ප්‍රයෝජන ඉඩම් අක්කර 400,000ක් ජනසතු කළ, ජැකෝ ආර්බෙන්ස්ගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් බලයෙන් නෙරපීමට සී.අයි.ඒ. සංවිධානය සිය සහයෝගය ලබා දුන්නේය.

මෙබඳු පසුබිමක, ලංකාවේ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව පෙරළීමේ 1962 කුමන්ත්‍රණයට සම්බන්ධ මහා චිත්‍රය කෙබඳුද යන්න හඳුනාගැනීම අසීරු නොවේ. ලංකාවට මෙය ජනතා ඡන්දයෙන් බලයට පත් වූ ආණ්ඩුවක් බලයෙන් නෙරපා දැමීමේ එකම කුමන්ත්‍රණය වුවද, ඇමරිකාවට නොඑසේ නම් සී.අයි.ඒ. සංවිධානයට මෙය තමන් ඒ වන විටත් ලොව පුරා විවිධ රටවල ක්‍රියාත්මක කළ එබඳු කුමන්ත්‍රණ දාමයක තවත් එක් අවස්ථාවක් පමණක් විණි.


1971 ආපදා අධිරාජ්‍යවාදයේ පළමු ලාංකේය අත්දැකීම

1971 වසරේ අප්‍රේල් මස, ලංකා රජය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවුණු සිවිල් යුද්ධය ලංකාවේ දේශපාලන සාහිත්‍යයෙහි නාමකරණය වී ඇත්තේ zවිප්ලවයක්Z, zජනතා අරගලයක්Z හා zතරුණ කැරැල්ලක්Z ආදී වශයෙනි. පශ්චාත් යටත් විජිත ලංකාවේ රජයක් සමග පළමු වරට ආයුධ සන්නද්ධව ගැටුණු තරුණ පරම්පරාවක වීරත්වය පිළිබඳ රාමුවකට මෙය ලඝුවීම මගින්, මෙම සිදුවීම සමග ගැටගැසුණු අන්තර්ජාතික දේශපාලන සම්බන්ධතා පිළිබඳ විශාල චිත්‍රය ඉතිහාසයෙන් සැඟවී ගොස් තිබේ.

මෙහිදී මුලින්ම, 1970 මහා මැතිවරණයෙන් බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණු ආණ්ඩුව පිළිබඳ බටහිර ජනමාධ්‍ය වාර්තා කළ ආකාරය අපගේ අවධානයට ලක් විය යුතුමය. සමගි පෙරමුණු රජය පිහිටුවීමෙන් මාස 05කට පසු, බ්‍රිතාන්‍යයේ Daily Telegraph පුවත්පත ලංකාව පිළිබඳ වාර්තාවක මෙසේ සඳහන් කරයි.  

ලංකාවේ ජනප්‍රිය මුහුණුවර, අතෘප්තිය හා බියපත් වීමක් දක්වා දැවැන්ත ලෙස කඩා වැටී තිබේ. මෙවැනි පහත් ආකාරයකට ඇමතිවරුන් සිය අනුගාමිකයින්ව රැවටීමට හා අපේක්ෂා භංගත්වයට පත් කරනු ඇත්තේ කලාතුරකිනි. අලුත් ඇමතිවරු, පැරණි ආර්ථීක  පොතේ ගුරුවාද කරපින්නාගත් හාන්සි පුටු මාක්ස්වාදීන් හා බණ කියන සමාජවාදීන් වුවත් අනපේක්ෂිත ලෙස තම පරමාදර්ශ, පවතින යථාර්ථය සමග වෙනස් කර ගැනීමට සූදානම්ය.

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ආදී රටවල ජනමාධ්‍යවල හිමිකාරීත්වය දරන්නේ තවත් දැවැන්ත ව්‍යාපාර ජාලයක හිමිකාරීත්වය දරන ව්‍යාපාරිකයින්ය. උදාහරණ ලෙස ජනමාධ්‍ය සමාගම්වලට අමතරව ඛනිජ තෙල් කැණීම්, අවි ආයුධ නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, දැව කර්මාන්ත, කඩදාසි නිෂ්පාදනය, මූල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, පාරිභෝජන භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය, අවහන්හල් ආදී ව්‍යාපාර ජාලයක් එකම හිමිකාරීත්වයක් යටතේ පවතින අතර, මේ ඒකාධිකාරී සමාගම් සිය ව්‍යාපාරික උපාය මාර්ග තෝරන්නේ සිය රට තුළ අදාළව නොව ලෝකය පුරා සිය වෙළෙඳ පොළවල් වී තිඛෙන රටවලට අදාළවය. එම පදනම තුළ තමන්ට හිමි ජනමාධ්‍ය ආයතනවල න්‍යාය පත්‍රය සැකසෙනුයේ ස්වකීය දැවැන්ත ව්‍යාපාර ජාලයේ ආර්ථීක උපාය මාර්ගයට අනුගතවය. ඒ අනුව එම මාධ්‍ය (පුවත්පත් හා සඟරා, ගුවන්විදුලි, රූපවාහිනී) විසින් නිෂ්පාදනය කොට සමාජගත කරන zජනමතයZ, එකී සමාගම් හිමි ප්‍රාග්ධන හිමිකාරීත්වයේ අවශ්‍යතාව අනුව සැකසුණු එකක් වීම පුදුමයක් නොවේ.

සිරිමා බණ්ඩාරනායක අගමැතිවරියගේ රජය, මෙරට පවතින ඛනිජතෙල් හා ගෑස් සමාගම් ජනසතු කරන විට, බ්‍රිතාන්‍ය පුවත්පත් එම සිදුවීම හඳුනාගන්නේ සහ එම කාර්යය සිදුකරන රජය දෙස බලන්නේ බ්‍රිතාන්‍යයට අවැසි සහ එම මාධ්‍ය හිමිකාරීත්වයට අවැසි දෘෂ්ටි කෝණයෙන් මිස ලාංකේය ජනතාවට හිතැති දෘෂ්ටි කෝණයකින් නොවේ. බ්‍රිතාන්‍ය බහුජාතික සමාගම්වල දේපළ අත්පත් කරගන්නා විදේශ රටක ආණ්ඩුවක සාධනීය ලක්ෂණ මතුකරගන්නට හෝ එය සමාජවාදී ප්‍රවේශයකින් යුතු ආණ්ඩුවක් වනු දකින්නට මෙම බ්‍රිතාන්‍ය මාධ්‍යවලට අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව මනා නොවේ. ඉහත උපුටා දැක්වූ පුවත්පත් වාර්තාව මගින් ලෝකයට මවන චිත්‍රය පිටුපස වන මතවාදය බ්‍රිතාන්‍ය ආර්ථීක  - දේශපාලන බල වුවමනාව තුළ ගොඩනැඟෙන්නක් බව පැහැදිලිය.

සමගි පෙරමුණු ආණ්ඩුව තුළ කොමියුනිස්ට් පක්ෂයේ හා ලංකා සම සමාජ පක්ෂයේ නියෝජනයන් තිබුණු නමුත් එය zසමාජවාදී රජයක්Z නොවූ බව ඇත්තකි. නමුත් එය ලංකාව තුළ සුබසාධනවාදී ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කරමින්ද, ආනයන සීමා කොට දේශීයත්වය මත පදනම් වූ ආර්ථීකයක් ගොඩනැඟීමට අඩු වැඩි වශයෙන් කටයුතු කරමින්ද පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනය තුළ මෙන්ම ලෝක දේශපාලන සිතියම තුළද අනන්‍යතාවක් ගොඩනඟාගනිමින් තිබුණු බව අවිවාදිතය. උදාහරණයක් ලෙස බහුජාතික ඖෂධ සමාගම්වල සූරාකෑමට එරෙහිව මෙරට තුළ ගොඩනැඟුණු zජාතික ඖෂධZ ප්‍රතිපත්තිය සම්බන්ධ කාරණය පමණක් වුව, එම අනන්‍යතාව ලෝකයට අනාවරණය කරන අවස්ථාවක් විණි. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය සේනක බිබිලේ විසින් සකස් කරන ලදුව, 1971 මාර්තු 23 වන දා අගමැති බණ්ඩාරනායක මහත්මිය වෙත පිළිගැන්වුණු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාවේ අන්තර්ගත ප්‍රධාන යෝජනා අතර, ලංකාවට අනවශ්‍ය ඖෂධ වර්ග ගෙන්වීම නැවැත්වීම, රාජ්‍ය ආයතනවලත් පෞද්ගලික අංශයේත් ඖෂධවලට ඖෂධීය නාමය පමණක් යෙදීම, මෙරටට ඖෂධ ගෙන්වීම සහ මේ රටේ ඖෂධ ඛෙදා හැරීම සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයකට පැවරීම, ලංකාවේ ඖෂධ නිෂ්පාදනය, තත්ත්ව පාලන අංශය සහ පර්යේෂණ අංශ වැඩිදියුණු කිරීම සඳහන් විණි. සමගි පෙරමුණු රජයේ මෙම ප්‍රවේශය හා ආර්ථීක දිශානතිය, තම බහුජාතික සමාගම්වල ව්‍යාපාරික කටයුතු සඳහා හිතකර නොවන වග ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දුන් අවස්ථාවකි. ජාත්‍යන්තර තලයේ ගත් විට ගෝතමාලාව තුළ එක්සත් පළතුරු සමාගමට අයත් ඉඩම් ජනසතු කළ එරට ආණ්ඩුව පෙරළා දැමීමට සහයෝගය ලබා දුන් සී.අයි.ඒ. සංවිධානය නොඑසේනම් ඇමරිකාව, ලංකාව නමැති රාජ්‍යයේ ඇති ආණ්ඩුවේ ප්‍රවේශය ඉවසා දරා සිටීමට තර්කනයක් තිබේයැයි විශ්වාස කළ හැකිද? එසේම, බණ්ඩාරනායක අගමැතිවරිය 1960-1965 අවධියේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය තෙල් - ගෑස් සමාගම් ජනසතු කරමින් සිදු කළ ‘‘පෙර වැරදි ඔවුන් අමතක කොට දමා තිබිය හැකිද? සෝවියට් දේශය, මහජන චීනය හා නැඟෙනහිර යුරෝපයට නැඹුරුව ලෝක දේශපාලන සිතියම තුළ ස්ථානගත වන පරිධියේ රාජ්‍යයක සමාජවාදී කන්‍යාභාවය නොමැතිවීම ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට වේදනාවක් හෝ ගැටලුවක් වීම අප හඳුනාගත යුත්තේ කෙසේද?

ඇමරිකානු අධිරාජ්‍යවාදය පිටුපස ඇත්තේ දැවැන්ත ආර්ථීක බලවේගයකි. ඇමරිකාව මව්බිම කරගත් විවිධ ව්‍යාපාරවල නියුතු බහුජාතික සමාගම් සඳහා ලෝකය තුළ වෙළෙඳපොළවල් නිර්මාණය කරදීම හා ඒ ව්‍යාපාර සඳහා අවැසි භූ සම්පත් අත්පත් කරගැනීම අවසාන විග්‍රහයේදී ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛ කාර්යය වේ. කිසියම් රාජ්‍යයකින් ඔවුන්ගේ එම ආර්ථීක බල ව්‍යාපෘතියට එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා එය සිය දේශපාලන හස්ථය හා සී.අයි.ඒ. සංවිධානයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබේ. ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදන ආයතනවල ඉහළම මට්ටමේ ප්‍රධානීන් එරට ප්‍රමුඛ සමාගම්වල ඉහළ නිලතල හොබවන බව නොරහසකි. ඒ අනුව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ හැඩතල සැකසෙන ආකාරය කෙබඳුදැයි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

සීතල යුද්ධයේ උච්ඡ අවධිය වූ මෙම යුගයේ ඇමරිකා - බ්‍රිතාන්‍ය කඳවුරට අවශ්‍ය වූයේ සෝවියට් කඳවුරට නැඹුරු කුඩා රාජ්‍යවල ආණ්ඩු දුබල කරමින්, බලයෙන් නෙරපා හරිමින්, ඇතුළතින් බිඳ දමමින් තම කඳවුරට පක්ෂපාත, තම නව නිබරල්වාදී ආර්ථීක ක්‍රමවේදය පිළිගෙන සිය බහුජාතික සමාගම්වල නිෂ්පාදන සඳහා වෙළෙඳපොළවල් බවට පත්වන රටවල් බවට ඒවා පත්කර ගැනීමටය. මෙම අන්තර්ජාතික බල දේශපාලන ගැටුම තුළ ලංකාවේ සමගි පෙරමුණු රජය බිඳ දැමීමට හෝ එය තමන්ට පාලනය කරගෙන යා හැකි ස්වභාවයකට පත් කර ගැනීමට හෝ ඇමරිකා බි්‍රතාන්‍ය කඳවුරට දැඩි අවශ්‍යතාවක් පැවතිණි. ඒ වන විට ලෝකයේ රටවල් ගණනාවක එබඳු අත්හදාබැලීම් ඇමරිකාව විසින් සිදු කරමින් තිබුණි.

1971 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ ආයුධ සන්නද්ධව නැඟිටින්නේ මෙබඳු මහා චිත්‍රයක් තුළය. ලංකාවට පමණක් සීමා වූ කුඩා පටු චිත්‍රය දකින විට මෙම අරගලය ගැන විමුක්තිකාමී ආස්වාදයක් විඳිය හැකි වුවද මෙම විශාල චිත්‍රය තුළ තබා මෙම සන්නද්ධ නැඟිටීම ගැන කියවන විට දැකිය හැක්කේ වෙනස් තත්ත්වයකි.

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ 71 කැරැල්ල, 87 භීෂණ සමය හා තිස් වසරක බෙදුම්වාදී සටන යනාදී ගැටුම් ඇති වීමට මුල් වූ තත්ත්වයන් විමසීමේදී රහස් ඔත්තු සේවාවන්හි බලපෑම් කිසිසේත් නොසලකා හළ නොහැකිය. ඇති වූ මෙම ගැටුම් එවකට පැවති සීතල යුද්ධයේ ප්‍රොක්සි යුද්ධය (Proxy War) ලෙස හඳුන්වන තෙවැනි පාර්ශ්වයක බලපෑම හෝ සහයෝගය මත සිදු වූ යුද ගැටුම් විය.

71 කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යය, ඉන්දියාව, යුගොස්ලාවියාව, චීනය, ඇමරිකාව, සෝවියට් දේශය යනාදී රටවල් වෙතින් යුද උපදේශක සේවාව හා අවි ආයුධ ලැබිණි. එසේම එය මැඩපැවැත්වීමටද කැරැල්ල නිර්මාණය කළ එකී විදේශීය රහස් ඔත්තු සේවා මෙන්ම, ඔවුන් සතුරු ලෙස සලකනු ලැබූ රාජ්‍යයන්ගේ රහස් ඔත්තු සේවාවන්ගේද යුදමය සහාය එවකට රජය වෙත රාජ්‍ය තාන්ත්‍රික ස්වරූපයෙන් ලබා දුණි. ප්‍රොක්සි යුද්ධයෙහි ස්වභාවය එයයි. (ජාතික ආරක්ෂාව අවුල් කරන විදේශීය රහස් ඔත්තු සේවා - ලුතිනන් කර්නල් සුසන්ත සෙනෙවිරත්න)

තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී, 1971 සිදුවීම හරහා ලංකාව තුළ අත්හදා බලන ලද්දේ ‘ආපදා අධිරාජ්‍යවාදයට අදාළ භාවිතයක් බව පැහැදිලිව හඳුනාගත හැකිය. ආපදා අධිරාජ්‍යවාදය යනු රටක් තුළ ජාතික මට්ටමේ ආපදාවක් ඇති වූ අවස්ථාවක හෝ එබඳු දැවැන්ත ආපදාවක් ඇති කොට හෝ එම ආපදාවට පිළියම් කිරීමේ මුවාවෙන් එරට පාලනයට අතපෙවීම ලෙස සරලව හඳුනාගත හැකිය.

එබඳු වර්ගයේ පහරදීමකින් රජය බිඳ දැමිය නොහැකි බව කිසිවකුත් නොදැන සිටියා නොවේ. නමුත් ඇත්තටම අවශ්‍ය වූයේ රජය බිඳදැමීම නොව එම සිද්ධිය ඇති වන්නට සලස්වා ඒ සම්බන්ධ ප්‍රතික්‍රියා කළමනාකරණය කර ගැනීමයි.

එතෙක් ලංකාවේ ආණ්ඩුවට සතුරු භාවිතයක සිටි ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, 1971 අප්‍රේල් සිදුවීම සමග ක්ෂණිකව මෙරට ආණ්ඩුවට මිතුරු භූමිකාවකට අවතීර්ණ වෙයි. මේ භූමිකා මාරුවීමේ ස්වභාවය සියුම්ව නිරීක්ෂණය කිරීමේදී එහි පූර්ව සැලසුමක සෙවණැල්ල විද්‍යමාන වේ.

ෆ්‍රෙඩ් හැලිඩේ නමැති විදේශීය දේශපාලන විචාරකයා විසින් රචිත 1971 Ceylonese Insurrection නමැති දේශපාලන විවරණයෙහි මෙසේ සඳහන් වේ.

ආණ්ඩුව විදේශයන්ගෙන් ආයුධ ඉල්ලු විට ඊට සතුටින් සහයෝගය පළ කරමින්ම, 1971 1 අප්‍රේල් 14 වන දා London Daily Telegraph පුවත්පත මෙසේ සඳහන් කළාය. ‘බණ්ඩාරනායක මහත්මියගේ බංකොලොත්, වගකීම් විරහිත ආණ්ඩුවට බ්‍රිතාන්‍යයේ ආයුධ ලබාදිය යුතුයි කීම කිහිප අතකින්ම විකාරයක් බව පෙනේ...‘ එය අවසන් කර තිබුණේ ‘ඇය පාඩමක් උගෙන නැත්නම් ලංකාවේ ජනතාව එය උගන්වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය... යනුවෙනි.

            මෙම බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තාව ලාංකේය දැක්මකින් විශ්ලේෂණය කරන විට හඳුනාගත හැක්කේ ලංකාවේ ආණ්ඩුවේ ආර්ථීක ප්‍රතිපත්තිය තුළ බ්‍රිතාන්‍ය සමාගම්වලට වැදී ඇති ප්‍රහාරය පිළිබඳව වේදනාව හා කෝපයයි. එබඳු රජයකට රටේ ‘ජනතාව ‘පාඩමක් උගන්වනු ඇති බවට බ්‍රිතාන්‍යයේ නොසිඳෙන බලාපොරොත්තුවයි. නොඑසේව, 1971 කැරැල්ලට හේතු වූවා යැයි ඇතැමුන් සඳහන් කෙරෙන මෙරට උගත් තරුණ පරපුරට රැකියා නොමැතිවීම, කුල භේදය ආදී ජාතිකමය වශයෙන් ප්‍රකාශිත කරුණු කාරණා නොවේ. බ්‍රිතාන්‍යය මෙම පුවත්පත් වාර්තාව මගින් සංඥා කරන්නේ බණ්ඩාරනායක මහත්මියගේ බංකොලොත් ආණ්ඩුව පෙරළා දමා ජනතා විමුක්ති පෙරමුණ යටතේ සැබෑ සමාජවාදී ආණ්ඩුවක් ලංකාව තුළ බිහිකිරීමට තම රටේ ආශිර්වාදය ලබා දෙන බව ද?

            ෆ්‍රෙඩ් හැලිඩේ සඳහන් කරන ආකාරයට, 1971 අප්‍රේල් මාසයේදී විදේශ රටවලින් ලැබුන ප්‍රථම අවි ආයුධ තොගය, සිංගප්පූරුවේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරේ සිට ලංකාවට ගෙන එන ලදී. මෙම අවි තොගයට කුඩා වර්ගයේ ආයුධ ප්‍රමාණයක් අයත් විය. එම අවි තොගය අරගලය දියත්ව දින හතර තුළ එනම් අප්‍රේල් 10 වන දා ලංකාවට ළඟා විය. අප්‍රේල් 11 වන දින තමන්ගෙන් හෙලිකොප්ටර් ඉල්ලා තිඛෙන බවට බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කළාය. Bell Jet Ranger වර්ගයේ හෙලිකොප්ටර් හයක් සැපයීමට බ්‍රිතාන්‍යය එකඟ වී තිබුණි. බ්‍රිතාන්‍යය සතුව ඒවා නොවූයෙන් එකක් ඇමරිකන් ඩොලර් ලක්ෂය බැගින් ලංකාව වෙනුවෙන් මේවා ඇමරිකාවෙන් මිල දී ගත්තේ බ්‍රිතාන්‍යයයි. එක්සත් ජනපදය හෙලිකොප්ටර් උපාංග ලංකාවට එවීය. අප්‍රේල් 21 වන දින ඕස්ට්‍රේලියානු ආණ්ඩුවද ප්‍රකාශ කළේ, තමනAද ලංකා ආණ්ඩුවට ආයුධ ලබාදෙන බවකි. ඊට පෙර බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කර තිබිණ.

බණ්ඩාරනායක අගමැතිවරිය 1960-1965 පාලන සමයේදී මෙරට තුළ ව්‍යාපාර කටයුතු කරමින් සිටි බි්‍රතාන්‍ය ඇමරිකානු සමාගම් ජනසතු කරන විට තර්ජනය කළ, ඒ ආණ්ඩුව බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණය කළ ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, වසර කිහිපයකට පසු එම අගමැතිවරියගේම තවත් පාලන සමයකදී ඇගේ ආණ්ඩුවට එරෙහිව රට තුළ මතු වූ සන්නද්ධ නැඟිටීමක් මර්දනය කිරීමට ඇගේ ආණ්ඩුව ගැන පතල මහා කරුණාවෙන් ආයුධ සපයාදෙමින්, ආයුධ මිලට ගනිමින්, ලංකා ආණ්ඩුව තම රටෙන් ආයුධ ඉල්ලා ඇති බව සිය ජනමාධ්‍ය ඔස්සේ ලොව පුරා පතුරුවා හරිමින් නිරූපණය කරන හදිසි මිතුරු භූමිකාවේ අරමුණ කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ නැඟිටීම මර්දනය කොට සමගි පෙරමුණු ආණ්ඩුව රැක දී ඊට සුපුරුදු ආර්ථීක - දේශපාලන ගමන යාමට ඉඩ සැලසීමද? නැත.

ලංකාව තුළ ජාතික ආපදාව ඇති කිරීමට සූක්ෂ්ම ලෙස මැදිහත් වී, ඉන්පසු එයට පිළියම් යෙදීමේ වුවමනාවෙන් එනම් මර්දනය කිරීමට ආණ්ඩුවට සහාය ලබා දී අභ්‍යන්තරිකව සමගි පෙරමුණු ආණ්ඩුව විෂයයෙහි ඇමරිකා - බ්‍රිතාන්‍ය භූමිකාව සමීප වූත් තීරණාත්මක වූත් මට්ටමකට ගොඩනඟාගැනීම මෙහි සැබෑ අරමුණ විණි.

 1971 සිදුවීමෙන් පසු මෙරට විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් සිදු විණි. අරගලයට පෙර එක්සත් ජනපදය හා සම්බන්ධතාව නිහඬවූවකි. නමුත් මේ වන විට එක්සත් ජනපදය බණ්ඩාරනායක රජය වෙත ආධාර කරන්නකු ලෙස පියවරක් ඉදිරියට තබා තිබිණි. 1972 වර්ෂයේ පළමු මාස කිහිපය තුළ එක්සත් ජනපදයේ 7 වැනි නාවික සේනාංකයට අයත් නැව් කිහිපයක් වරින් වර කොළඹට පැමිණුනි. පළමුවරට පැමිණි USS – MOBILE නමැති ටොන් 18,000ක සැපයුම් නැවක් ඇමරිකානු ඩොලර් මිලියන 3ක හමුදා ආධාර ගෙන ආවේය. යුද රථ, හෙලිකොප්ටර් සහ ප්‍රවාහන ගුවන් යානා පැමිණීමට නියමිත විය. එක්සත් ජනපද ෆැසිපික් නාවික සේනාංකයේ අද්මිරාල් ජෝන් මැකේන් මාර්තුවේදී දින 4ක සංචාරයකට ලංකාවට පැමිණියේය. සිරිමා බණ්ඩාරනායක, වියට්නාම් ජනතාවට එරෙහිව නාවික ආක්‍රමණ ඇති කළ මිනීමරු නාවික නිලධාරියා උණුසුම් ලෙස පිළිගත්තාය. යනුවෙන් ෆ්‍රෙඩ් හැලිඩේ සිය දේශපාලන විවරණයෙහි සඳහන් කරයි.

මෙය එතෙක් සමගි පෙරමුණු ආණ්ඩුව ලෝක දේශපාලන සිතියමෙහි ගොඩනඟාගෙන තිබූ සමාජවාදී කඳවුරට පක්ෂපාතී ප්‍රතිරූපය වෙනස් කිරීම සහ එම ප්‍රතිරූපය ඇමරිකාවට හිතවත් එකක් බවට ප්‍රතිනිර්මාණය කිරීම සඳහා එකී එක්සත් ජනපද මැදිහත්වීම හඳුනාගත හැකිය.

එක්සත් ජනපද හා ඊශ්‍රායල ඔත්තු සේවා මෙහෙයුම් විමර්ශනයේදී හඳුනාගත හැකි කාරණයක් නම් විරුද්ධ බලවේග ගොඩනැඟීම මෙන්ම, ආණ්ඩු තුළ සිය නියෝජිතයින් පැළ කරමින් ප්‍රතිපත්තිමය වශයෙන් තමන්ට අවශ්‍ය තීන්දු තීරණ රජයන් ලවා ගැනීමට අවශ්‍ය වන පරිදි සූක්ෂ්ම සීරු මාරු කිරීම් කිරීමටද ඔවුන්ගේ මැදිහත්වීමයි. එම ඔත්තු සේවා සිය නියෝජිතයින් එසේ පැළකරන්නේ එක රැයකින් එහි ප්‍රතිඵල දකින්නට අපේක්ෂාවෙන් නොව සාපේක්ෂව දිගු කාලයක් ඔවුන්ගේ සේවය බලාපොරොත්තුවෙනි. ඒ අනුව ලංකාවේ සමගි පෙරමුණු රජය තුළද එබඳු ඔත්තු සේවා නියෝජිතයකු හෝ කිහිප දෙනෙකු ක්‍රියාත්මක වන්නට ඇති බව උපකල්පනය කළ හැකිය. විශේෂයෙන්ම සමගි පෙරමුණු රජය තුළින් කොමියුනිස්ට් - සම සමාජ නියෝජනය නැති කිරීමට කටයුතු කිරීම, ලංකා දේශපාලනය තුළ zසමාජවාදයZ යන්න ජනතාවට තිත්ත දෙයක් බවට පත් කිරීම සඳහා සමගි පෙරමුණු රජය ක්‍රියාත්මක කළ සුබසාධනවාදී ආර්ථීක ජනතාවට අප්‍රසන්න තත්ත්වයට පත්කිරීම බඳු ක්‍රියාකාරීත්වයන් පිටුපස එම ඔත්තු සේවා හස්ථය ක්‍රියාත්මක වන්නට ඇති බව හඳුනාගත හැකිය.

1971 මාර්තු 13 වැනි දා රෝහණ විජේවීර ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. මාර්තු 16 වන දා ආණ්ඩුව හදිසි නීතිය පැන වූ අතර, එදිනම රෝහණ විජේවීර යාපනය හිරගෙදරට ගෙන යන ලදී. විජේවීර ඔහු බලන්නට ගිය ඔස්මන්ඩ් ද සිල්වාගේ මව අත ජනතා විමුක්ති පෙරමුණ වෙත මෙබඳු පණිවිඩයක් එවා තිබිණ.

            ‘වහාම පසු බසින්න. හෙළිදරව් වී ඇති සහෝදරවරුන් දිස්ත්‍රික්ක මාරු කරන්න. කුපිතකාරී ක්‍රියා නොකරන්න.

එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස මෙම පණිවිඩය ඇතැම් නායකයින් සැඟවූ බවත් ඒ වෙනුවට විෙජ්වීරගේ පණිවිඩය විකෘති කළ බවත් පසුකලෙක අනාවරණය විණි.

            1971 අප්‍රේල් 02 වැනි දා විද්‍යෝදය සංඝාරාමයට එක් රැස් වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීන්දුවක් ගත්හ. එයින් කියැවුණේ 1971 අප්‍රේල් 05 වන දින ආණ්ඩුවට පහර දිය යුතු බවයි.

 එහි අවසානය කුමක්වීදැයි අපි දනිමු.

1971 අප්‍රේල් සිදුවීම තුළ අගමැති බණ්ඩාරනායක මහත්මිය අල්ලාගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණු විශේෂ කණ්ඩායමක් යොදවා තිබූ අතර, ඒ කණ්ඩායම තුළ ජේ.ආර්. ජයවර්ධනගේ ඔත්තුකරුවකු වූ එඩිසන් ගුණතිලක (පසුකලෙක නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ) කටයුතු කර ඇති බව හෙළි වුණේ පසුගිය 2021 වසරේ ඔහු විසින්ම කළ අනාවරණයකදීය. ඔහු එහිදී මෙසේ පවසා තිබිණ.

            මට ඕන වුණේ මේ වැඩපිළිවෙළ ඇතුළට රිංගලා, ඒක කඩාකප්පල් කරන්න. මම ඉක්මනට මේ ආරංචිය ජේ.ආර්.ජයවර්ධන මහත්තයාට කිවුවා. මම හොඳටම එතුමාව අඳුරන නිසා වෝර්ඩ් ප්ලේස් එකේ එතුමාගේ ‍ගෙදර ගියා. එතකොට එතුමා විපක්ෂ නායක. එතුමාට විස්තරේ කිවුවාම මෙහෙම කිවුවා. ‘හොඳයි මේක කියපු එක. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක නායිකාවකට තුන්වැනි පන්තියේ බලවේගයකට ගහලා වට්ටන්න දෙන්න බැහැ. ඒ නායිකාව අපි රකින්න ඕනේ. ඔයා වහාම ඒ ගැන හොයන්න. හොයලා මට විස්තර කියන්න කියලා එතුමා මට කිවුවා. එහෙම කියන ගමන් ‘මැතිනියට දැන් ගන්නවා‘ කියලා එතුමා මැතිනියට ටෙලිෆෝන් එකෙන් මැතිණියට කතා කළා. සිද්ධිය ගැන මැතිනියට කියපු ජේ.ආර්. මහත්තයා මේ ගැන තොරතුරු හොයන්න මම එක්කෙනෙක් දාල තියෙන්නෙ‘ කියලත් කිවුවා. එහෙම කියලා මේ වැඩේ හොඳට කරගෙන යන්න. පුලුවන් තරම් මේකට සහයෝගය දෙන්න කියලා මට කිවුවා... (දිවයින ඉරිදා සංග්‍රහය, 2021 අප්‍රේල් 04)

ඔහු මෙලෙස 1971 සිදුවීමෙන් වසර 50කට පසු අනාවරණය කරන තුරු, මෙවැනි තොරතුරක් 1971 හා සබැඳි මෙරට දේශපාලන තොරතුරු වාර්තා තුළ දක්නට නොවීය. 1971 අරගලයට අදාළ එබඳු සුවිශේෂ කණ්ඩායමක් තුළ පවා ‘ඔත්තුකරුවකුට කටයුතු කළ හැකි විභවයක් පැවතිණි නම්, 1971 වන විට මතවාදී වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ තුළ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වෙමින් තිබූ පසුබිමක, ඒ කණ්ඩායම් ක්‍රියාත්මක වූ න්‍යාය පත්‍රය කෙබඳු විදේශ බලවේගවලට අයත්ද යන්න හා ඒ කණ්ඩායම් තුළ පුහුණු ඔත්තුකරුවන්ට ක්‍රියාත්මක වීමට තිබුණේ කෙබඳු විභවයක්ද යන්න හඳුනාගැනීම අපහසු නොවේ.

අවසාන වශයෙන්, යුරෝ - ඇමරිකා අධිරාජ්‍යවාදී කඳවුරේ  ‘ආපදා අධිරාජ්‍යවාදී‘ වුවමනාව වෙනුවෙන් 1971 දී ජනතා විමුක්ති පෙරමුණ zපාවිච්චි කෙරුණුZ බවට විවාදයක් තිබිය නොහැකිය. 1970 දශකය වැනි, සන්නිවේදන සබඳතා නොදියුණු සමාජ දේශපාලන අවධියක, ලෝක දේශපාලන සිතියමේ සිදුවන විපර්යාස වඩා ඉක්මනින් දැනගත නොහැකි පසුබිමක, අන්තර්ජාතික ඔත්තු සේවාවන්ගේ උපාය උපක්‍රම පිළිබඳව අවබෝධයක් නොමැති දේශපාලන ව්‍යාපාරයකට එලෙස අධිරාජ්‍යවාදී අවශ්‍යතාවක් වෙනුවෙන් පාවිච්චි වීමේ ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ.

ඉනික්බිති, 1971 න් වසර 6කට පසු එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන නව ලිබරල්වාදී ආර්ථීකයක් රැගෙන - ආනයන සිය දහස් ගුණයකින් ඉහළ දමන ඇමරිකානු - බ්‍රිතාන්‍ය සමාගම්වලට සිය භාණ්ඩ සඳහා වෙළෙඳපොලක් බවට ශ්‍රී ලංකාව පත්වන දේශපාලන ගමන අරඹන්නේ, සැඟවුණු පුළුල් න්‍යාය පත්‍රයක ඊළඟ තාර්කික අදියර බවට පත් වෙමිනි.

ආපදාවක් අවස්ථාවක් බවට හරවාගැනීමේ ආපදා අධිරාජ්‍යවාදයේ පළමු ජයග්‍රහණය ලාංකේය භූ දේශපාලන සිතියම තුළින් ඇමරිකා එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍යය අත්පත් කරගත්තේ එලෙසිනි.

 

No comments:

Post a Comment