Tuesday, August 6, 2019

''සංසාරේ දඩයක්කාරයා" සහ සිනමාවේ කාව්‍යක්කාරයා




     











සයිමන් නවගත්තේගමගේ නවකතාවක් ස්වකීය සිනමා නිර්මාණය සඳහා තෝරාගැනීම ම සිනමාකරුවකුගේ අපූර්වවූත්, නිර්භයවූත් තීරණයකි. ඒ අනුව නවගත්තේගමයන් සිංහල සාහිත්‍යයට හඳුන්වා දුන් 'දඩයක්කාරයාගේ සංකල්පය' සහිත නවකතා අතරින් එකක් වන 'දඩයක්කාරයාගේ කතාව' ඇසුරෙන් ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කර ඇති 'සංසාරේ දඩයක්කාරයා' සිනමා නිර්මාණය ඉසියුම් ව විමසා බැලිය යුත්තකි. 


        'සංසාරේ දඩයක්කාරයා' චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය 'දඩයක්කාරයා', 'ගෝමරී' සහ 'හාමුදුරුවන්'වේ. එම චරිත පිළිවෙළින් සංජීව උපේන්ද්‍ර, ක්‍රිස්ටිනා බ්‍රිටෝ සහ හේමසිරි ලියනගේ නිරූපණය කරති. මෙම චිත්‍රපටය විවරණය කිරීම පිණිස වන ප්‍රවේශය මෙකී චරිත ත්‍රිත්වය ඔස්සේ පවතී.

        චිත්‍රපටය ආරම්භ වන්නේ ගෝමරී ගසක් සමග වෙළෙමින් බැෙඳමින්, පිරිමි ශරීරයක් සමග සම්භෝග සුව විඳින ආකාරයේ ස්පර්ශ තෘප්තියක් ගස වෙතින් ලබාගන්නා ජවනිකාවකිනි. ඇගේ සංසර්ගික සංඥාමය නො ඉවසිලිමත් සුසුම්, මෘදු කෙඳිරුම් මගින් ප්‍රේක්ෂකයාගේ සිත ගෝමරීගේ ස්ත්‍රී පැවැත්ම සමග චිත්‍රපටය පුරා බැඳ තබන බන්ධනයක් නිර්මාණය කරයි.

        ගෝමරී අස්වාමික, එහෙත් දරුවකු සිටින තරුණ මවකි. ඇය ස්වාභාවික ලිංගිකාශාවෙන් පිබිදුණු ස්ත්‍රී පැවැත්මක් වන අතර, ඇගේ පැවැත්ම සම්මත සංස්කෘතික බවින් ඈත් වූ හා ප්‍රකෘති සොබාවිකත්වයට වඩාත් ළං වූ එකකි. බණ දහම්, පින් පවු ඇගේ ජීවිත ආශා, අවශ්‍යතා හා අවස්ථා සමග නොමැත. හාමුදුරුවෝ ගම්වැසියන් පිරිසකට ධර්ම දේශනා කරන තැනෙක ඇය සිටිය ද, ඇගේ ආශාව වැඩ කරන්නේ වෙනත් මානයක ය. ගෝමරී සැණෙකින් පන්සලෙන් පලා යන්නී, තමන්ගේ ඒ මොහොතේ ස්වාභාවික ආශාව තෘප්තිමත් කරගනු පිණිස ය. වනාන්තරයේ දිව යන  පසුපස හඹා එන පෙම්වතාට තමන්ගේ ස්ත්‍රීත්වයේ බලය ද, වසඟය ද පෙන්නුම් කරන්නට ඇය පසුබට නො වන්නී ය. තමන්ගේ ආශාව ඇය පිරිමියාගේ ආශාව බවට පත් කරයි. ගෝමරී හා පෙම්වතා සිය ස්වභාවික ලිංගික ආවේග මුදා හරින අයුරු ගෝමරීගේ මුහුණේ සමීප රූපයෙන් ද, ඇගේ සුසුම් කෙඳිරුම් මගින් ද සංකේතවත් වෙයි. එහෙත් ඒ රමණය ගෝමරීගේ සුරතාන්තයෙන් අවසන් වීමට පෙර ඇසෙන්නේ කොටියාගේ රුදු ගෙරවුම් හඬයි. ඇගේ මෘදු කෙඳිරුම්, කොටියාගේ ගෙරවුම් සමග අවසන් වන්නේ ගෝමරීගේ විලාපයෙනි. චිත්‍රපටයෙහි 'ගෝමරී' නමැති ස්ත්‍රී පැවැත්ම ඉන් අවසන් වෙයි.


        පළමුව කොටියාට ද, දෙවනුව හිවලුන්ට ද, ඉනික්බිති සෙසු මාංශ භක්ෂක ප්‍රාණීන්ට ද, අවසන පණුවන්ට ද ආහාරයක් බවට පත් වෙමින් ඒ ස්ත්‍රී පැවැත්ම සොබාදහම තුළ මැකී යන අයුරු ඉන්පසු වරින්වර දර්ශනය වෙයි. චිත්‍රපටයේ ආරම්භයේදී ප්‍රේක්ෂකයාගේ සිත සසල කළ තුරුණු ස්ත්‍රී ශරීරය - ලිංගික වස්තුව - ස්වාභාව ධර්මය තුළ වෙනස් වන ආකාරය දකින ප්‍රේක්ෂකයාගේ සිතට තවදුරටත් එය ආශාත්මක වස්තුවක් නො වෙයි.

        ගෝමරීගේ මළ සිරුර අසලට ඇගේ දරුවා කැඳවාගෙන එන දඩයක්කාරයා දරුවාට, සිය මවගේ ශරීරය පළමුව කොටියාට ද, දෙවනුව හිවලුන්ට ද, ඉනික්බිති සෙසු කුඩා මාංශ භක්ෂක ප්‍රාණීන්ට ද, අවසන පණුවන්ට ද ආහාරයක් වෙමින් පවතින ආකාරය පැහැදිලි කරයි. ඒ අනුව සොබාදහම විසින් නිර්මාණය කරන ලද ජෛව පද්ධතියක්, පෙරළා සොබාදහම වෙත ම උරාගනිමින් තිබේ. දඩයක්කාරයාට අනුව ඒ ජෛව පද්ධතිය සතුන්ට ආහාරයක් වීම දානයකි. ඊට ඉඩ දිය යුතු ය. එය වළදැමීම සොබාදහමේ නියාමයට එරෙහි වීමකි.

        සොබාදහම - විශ්වය - පැවැත්ම 'ස්ත්‍රීභාවයේ' පවතින්නකි. සොබාදහම පුරා, පැවැත්ම පුරා, විශ්වය පුරා හුස්ම ගන්නේ ස්ත්‍රීත්වයයි. ස්වාභාවික ආශා - අවශ්‍යතා - අවස්ථා සමග සිය පැවැත්මේ 'මේ මොහොත˜ ගත කළ ගෝමරී නමැති ස්ත්‍රීභාවය විශ්වීය ගර්භාෂයක් බවට පත් වෙයි. පසුබිමෙන් ඇසෙන ස්ත්‍රීමය නාදය, වනාන්තරය අභ්‍යන්තරයෙන් නැඟෙන ස්ත්‍රීමය නාදය, විශ්වය සිසාරා නැඟෙන ස්ත්‍රීමය නාදය ඒ සමස්ත විශ්වීය ස්ත්‍රීභාවය නියෝජනය කරයි. 'ගෝමරී' නමැති ස්ත්‍රී පැවැත්ම වියැකී ගිය ද, වනාන්තරය තුළ - සොබාදහම තුළ - විශ්වය තුළ ස්ත්‍රීභාවයේ භූමිකාව නො නැවතී ගලාගෙන යයි.

        'දඩයක්කාරයා' කැළෑ වැදුණු හුදු වනචාරී මිනිස් පැවැත්මක් නො වේ. 'පාස් වෙන්න බැරි වුනත් දොළොස්වෙනි පංතිය වෙනකං පාසල් අධ්‍යාපනය ලැබූ' හා 'තාත්තා කියූ ලෙස 'රස්සාවක් කරල පව් පුරෝගන්නවට වඩා දන්න දඩයම කරන්නට පටන් ගත්' අයෙකි. ඔහු දඩයක්කාරයකු වුව ද, සතකු මරන්නේ ගම්මානයේ කිසිවකු මාංශ අවශ්‍යතාවකට ඉල්ලීමක් කළහොත් පමණි. එවැනි ඉල්ලීමකට සතකු මැරූව ද ඔහු මස් නො කන්නෙකි. මස් නො කන දඩයක්කාරයාගෙන්, වරෙක ගමේ ගැහැණියක් 'හා මස්' ඉල්ලන්නේ හත් දොහේ දානයකට ය. දඩයක්කාරයාගේ 'ප්‍රාණ ඝාතය සම්බන්ධ ධර්මතාව' එබඳු ය. දඩයක්කාරයා සතකු මරන්නේ නිරපරාදේ නො වනවාක් මෙන් ම, සෑම සතකු ම ඔහුගේ ඉලක්කය ද නො වේ. දඩයම සම්බන්ධ ඔහුට ඇත්තේ ඔහුගේ ම වූ ධර්මයකි. සතකු දිය බොන විටෙක, ගැබ්බර ව සිටින විටෙක, සතුන් දෙදෙනකු සංසර්ගයේ යෙදෙන විටක ඔහු උන් දඩයම් නො කරයි. ඔහුට අනුව එවැනි විටෙක සතකු දඩයම් කිරීම පවකි. එසේ ම, සතකු දඩයම් කරන විට ද නිසි නිලය බලා, එක්වර ම සතා මැරෙන්නට වෙඩි තැබිය යුතු ය. එසේ නො වී සතාට විඳවමින් මැරෙන්නට සැලැස්වීම පවකි. ඒ නිසා තමන් මැරුණු බව සතාටවත් නො දැනෙන්නට වෙඩි තැබිය යුතු ය. ඔහුගේ මෙම දඩයම් ධර්මතා අසන හාමුදුරුවෝ නිරුත්තර වෙති. 'ප්‍රාණඝාතය' හා බැඳුණු බෞද්ධාගමික චින්තනය පිළිබඳ ව වෙනස් මානයකින් දකින්නට දඩයක්කාරයාගේ පැවැත්ම අපට බලකරයි.

         එසේ ම, ඔහු 'හොර' ගන්නේ (සොරකම් කරන්නේ) නැත. ගැහැනියක් අකැමති නම් ඈ සමග බලහත්කාරයෙන් බුදියාගන්නේ නැත. බොරුවක් කියන්නේ නැත. ජීවත්වීමට සිහිකල්පනාව අවැසි බැවින් සුරා පානය කරන්නේ නැත. පංච ශීලය˜ සම්බන්ධ දඩයක්කාරයාගේ මේ අර්ථ විවරණය අපූරු එකකි. ඔහු ඒ ධර්මතා රකින්නේ ඒවා කඩ කළහොත් අනාගත ආත්මයක අත්වන ඉරණමක්, අපාගත වීමක් පිළිබඳ බියකින් නො වේ. දඩයක්කාරයා ජීවත් වන්නේ අනාගතයේ නො ව, මේ මොහොතේ ය. එකී ප්‍රතිපත්ති පදනම් වන්නේ මේ මොහොතේ තමන්ගේ ජීවන පැවැත්මේ අවශ්‍යතා සමග ය. දඩයක්කාරයාගේ මේ ධර්මය, සම්මත බෞද්ධාගමික චර්යා පද්ධතිය විනිවිද යන්නකි.

        දඩයක්කාරයාට තුවක්කුවක් තිබුන ද, ඔහු ඒ සන්නද්ධ බලය තමන් වෙත ආරෝපණය කර නො ගනී. 'තුවක්කුවක්' අතැ'ති දඩයක්කාරයකුට කැළෑ වැදුණු ගැහැනියකට බලහත්කාරකමක් කරන්නට ඒ ආයුධ බලය ඉතා ප්‍රයෝජනවත් ය. නමුත් මේ දඩයක්කාරයා එවැන්නකු නො වේ. 'ගෝමරී' කාමාශක්තව වනාන්තරයේ ගැවසෙන අවස්ථා, ඇය ගමේ තරුණයකු සමග රමණයේ යෙදෙන අවස්ථා දඩයක්කාරයා දෑසින් ම දකී. ඔහු ඒ සියල්ල දකින්නේ සොබා දහම තුළ තබා මිස, ශිෂ්ටත්ව - සංස්කෘතික රාමුවක් තුළ තබා නො වේ. ගෝමරී ද, තරුණයා ද ලිංගික ව එක් වන්නේ සොබාදහමේ අවශ්‍යතාවක් වෙනුවෙනි. ඒ බන්ධනයට දඩයක්කාරයා මැදිහත් වන්නේ නැත. සිය ආයුධ බලය යොදවමින් ගැහැණිය ලිංගික පීඩනයකට පත් කරන්නට දඩයක්කාරයා උත්සුක නො වේ. එහෙත් ඔහු නෂ්ටකාමියකු නො වේ. රමණයකින් ගැහැණියක හා පිරිමියකු ලබන ස්පර්ශමය තෘප්තිය, දඩයක්කාරයා ගඟ දියෙහිදී සිය නිරුවත් සම මත ගැටෙන මසුන්ගේ ස්පර්ශය හා සමීකරණය කරගනිමින් විඳ ගනී. එය කිසිවෙකුටත් හානි කර නො වූ තෘප්තියකි.

                දඩයක්කාරයා වනාන්තරයේ සෑම අහුමුල්ලක ම ඉසියුම් ව සැරිසරයි. දඩයක්කාරයා වනාන්තරයේ ස්වභාවය පිරිසිඳ දනියි. ඔහු වනාන්තරය විනිවිද දකියි. ඔහු වනාන්තරයෙන් වියුක්ත පැවැත්මක් නො වෙයි. ඔහු වනාන්තරය සමග නො ගැටෙයි. ඔහු වනාන්තරයට අභියෝග නො කරයි. ඒ අභිබවා නො යයි. ඔහු වනාන්තරය සමග ගලාගෙන යයි. වනාන්තරයෙන් උගනින හේ සොබාදහමේ පැවැත්ම පිළිබඳ වෙනස් දාර්ශනික චින්තාවලියක් ගොඩනඟා ගනී. ඔහු වනාන්තරය සමග බැඳෙන්නේ ද, නො බැඳෙන්නේ ද වෙයි. ඔහු ම වනාන්තරය වන්නේ ද, නො වන්නේ ද වෙයි. හර්මන් හෙසගේ 'සිද්ධාර්ථ', නදියෙන් උගනින්නාක් මෙන්, දඩයක්කාරයා වනයෙන් උගනී. වනාන්තරය හුස්ම ගන්නා හඬ ඔහු හඳුනයි. වනාන්තරයේ සිදුවන චලන ඔහුට දැනෙයි. වනාන්තරයෙන් උගනින ඔහුගේ ඉන්ද්‍රියයන් තියුණු සංවේදීතාවක් ලබාගෙන ඇත. එබැවින් අනෙකාට නො පෙනෙන දේ ඔහු දකියි. අනෙකාට නො ඇසෙන දේ ඔහු අසයි. අනෙකාට නො දැනෙන දේ ඔහුට දැනෙයි.

        මිනිස් පැවැත්මේ 'අවශ්‍යතා හා අවස්ථා' දඩයක්කාරයාට අරුමයක් නො වන අතර, ඒවා ඔහුට සොබාදහමේ නියාම පමණක් වේ. දඩයක්කාරයා ගෝමරීගේ නිරුවත් තුරුණු කය ද, ඈ හා පිරිමියා අතර රමණය ද දැක සසල නො වන ලෙස ම, ඈ කොටියාට ගොදුරු ව මළ සිරුරක් ව දකින අවස්ථාවේ ද සසල නො වෙයි. කොටියාගේ දඩයමට ලක් වූ බවට ඉඟි කරන මිනිස් ලේ පැල්ලම දකින දඩයක්කාරයා ඒ දෙස විමසිල්ලෙන් බලා හිඳී. ගෝනුන් දඩයම් කරන්නට බැරි මහලූ කොටියා මිනිස් ලේ රසට ඉව වැටී ගෝමරී ගොදුරු කර ගෙන ඇත. සත්ත්ව පැවැත්ම - සතකු තමන්ගේ ජීවිත පැවැත්ම සඳහා තවත් සතකු මරා කෑම - සොබාදහමේ මූලික නියාමයක් ක්‍රියාත්මක වීමක් පමණකි. ඉදින් දඩයක්කාරයාට අනුව කලබල වන්නට කිසිදු දෙයක් සිදුව නොමැත. නමුත් මේ මිනිස් ලේ රසට ඉව වැටුණු කොටියා තවදුරටත් ගම්වැසියන් ගොදුරු කරගැනීමට නියමිත බැවින් එය වළක්වාගැනීමේ වගකීම දඩයක්කාරයා තමන් වෙත පවරා ගනී.

        බෞද්ධාගමික චර්යා පද්ධතියේ 'පාපය' යනුවෙන් නාමකරණය කෙරෙන 'කටයුතු' ප්‍රායෝගිකව තමන් අභිමුවට පැමිණෙන විට හාමුදුරුවෝ ඉන් නිරුත්තර වෙති. මහලූ කොටියාට සතුන් දඩයමට හයි හත්තිය නොමැති නිසා මිනිස් ලේ රස වැටී මිනිසුන් මරා කෑමට සූදානම් බැවින්, වෙසක් පෝදා රාත්‍රියේ පන්සලේ ධර්ම දේශනාව පැවැත්වුවහොත් පසු දා ගමේ පාංශුකූලයකට සූදානම් වන ලෙසත් දඩයක්කාරයා හාමුදුරුවන්ට දැනුම් දෙයි. ''උඹ මට කියන්නේ මිනිස්සු පන්සලට එන එක නවත්වන්න කියලදැයි'' හාමුදුරුවන් දඩයක්කාරයාගෙන් විමසන විට දඩයක්කාරයා පෙරළා විමසන්නේ ''එහෙනම් හාමුදුරුවො මට කියන්නේ කොටියා මරන්න කියල ද'' යනුවෙනි. දඩයක්කාරයාගේ ඒ පැනයෙන් හාමුදුරුවෝ සිය ආගමික චර්යාවත්, ප්‍රායෝගික යථාර්ථයත් අතර සිර වෙති. ගම්වැසියන්ගේ ජීවිත රැකගැනීමට නම් කොටියා මරා දැමිය යුතු බව දඩයක්කාරයාගෙන් කියැවෙන විට හාමුදුරුවෝ නිරුත්තර වෙති. හාමුදුරුවෝ වෙසක් පෝ දින රාත්‍රියේ ගම්වැසියන්ට ධර්ම දේශනාව පවත්වති. ඒ අතර, වෙසක් සඳ යට වනාන්තරයෙන් ඇසෙන්නේ දඩයක්කාරයා සතකු මරා දමන්නට තැබූූ වෙඩි හඬයි. මරා දැමූ ඒ සතා, මිනිස් ලේ රසට ඉව වැටී සිටි කොටියා ය. ගම්වැසියන්ට තව දුරටත් මරණ බිය නො දැනෙනු ඇත. හාමුදුරුවන්ට ද දැන් නිදහසේ ගම්වැසියන්ට ධර්ම දේශනා කළ හැකි ය.

        එක්තරා දිනයක වනාන්තරයේ සැරිසරන විට විසල් ගසක් දකින දඩයක්කාරයා ඒ ගස ගැන දැහැන්ගත වෙයි. වනාන්තරයේ සැරිසැරීම නවතී. ගසක කඳක් සමග තවත් ගසක මුල් වෙලී පැටලී නිර්මාණය වී ඇති ස්වාභාවික ඇලීම් බැඳීම් ජාලය ඔහුගේ තියුණු නිරීක්ෂණයට ලක්වෙයි. සැබැවින්ම ඒ ස්වාභාවික මුල් ඇලී බැඳී ඇති ස්වරූප ස්ත්‍රී පුරුෂ සම්භෝගයේ විවිධ ඉරියව් මවා තිබේ. වාත්ස්‍යානගේ 'කාමසූත්‍රයේ' දැක්වෙන රමණ ඉරියව් නිරූපණය කරන කාජුරාවෝ දෙවොලේ ඇති ශිලා කැටයම් හා සමාන රූප ස්වාභාවික ව එහි නිර්මාණය වී තිබේ. ඒ ස්වාභාවික රූප වෙතින්, පිරිමි සත්ත්ව පැවැත්මක් ලෙස ඒ සම්භෝග සෞන්දර්යය දඩයක්කාරයාට දැනෙන්නට වෙයි. ඔහු ඊට ආශක්ත වෙයි. ඔහුගේ හැඟීම් අවදිවෙයි. ඒ වෘක්ෂයේ අසලට ළං ව මුවාවන දඩයක්කාරයා ස්වයං මෛථුන්‍යයකින් සිය හැඟීම් මුදා හරී. ඔහුගේ සිත ද, කය ද සැහැල්ලු වෙයි. ඉනික්බිති ඔහු ඒ ගස වෙතින් ඈත් වෙයි.

        දුරින් හිඳ නැවතත් ඔහු ගස වඩාත් ඉසියුම් ලෙස නිරීක්ෂණය කරන්නට පටන් ගනී. ගෙවුණු මොහොතේ ඒ ඇලීම් බැඳීම් වෙතින් දුටු මානව සම්භෝග සෞන්දර්යයට වඩා වෙනස් මානයකට ඔහුගේ සිතිවිලි ගමන් කරන්නට වෙයි. ඔහුගේ දෘෂ්ටිය වෘක්ෂයේ ඉහළ සිට කඳ හරහා මුල් දක්වා පහළට ගමන් කරයි. ඒ සමග ම ඔහුට ඇසෙන්නේ යුද බිමක අණ දෙන හඬ ය.¦ වෙඩි තබන හඬ ය¦ විලාප හඬ ය. සැබෑ දඩයම, සැබෑ දඩබිම ඇත්තේ මේ මහා වනාන්තරයේ නො ව, ඉන් පිටත ය. ශිෂ්ට - සංස්කෘතික ලෝකයේ ය. විවිධ බල අරමුණු උදෙසා ස්ව වර්ගයා දඩයම් කරන්නේ මේ වනාන්තරයෙන් පිටත වන ශිෂ්ට දඩබිමේ ය. වනාන්තරයේ ඇත්තේ එබඳු දඩයමක් නො ව, හුදු පැවැත්ම උදෙසා වන ස්වාභාවික අවශ්‍යතාවක් ක්‍රියාත්මක වීමකි. බල අරමුණු උදෙසා වන දඩයම්වලට පදනම් වී ඇත්තේ මිනිසාගේ විවිධ ඇලීම් ය¦ බැඳීම් ය. ජාති ලෙස, ආගම් ලෙස, වර්ග ලෙස, කුල ලෙස, පංති ලෙස, රටවල් ලෙස, ප්‍රදේශ ලෙස පදනම් වෙමින් ඇති කරගත් විවිධ ඇලීම් ය¦ බැඳීම් ය. මේ වෘක්ෂයේ ඇති ඇලීම් බැඳීම් දෙස දඩයක්කාරයා බලා සිටින්නේ ඒ දෘෂ්ටියෙනි. ඔහු ඒ දෙස නො සැලී, අඛණ්ඩ ව බලා හිඳී. මේ විශ්වයේ අඛණ්ඩ ගමන තුළ එසේ නැවතී හිඳින එක ම පැවැත්ම දඩයක්කාරයා වෙයි. මහගම සේකර ලියන්නාක් මෙන්, 'නැවතීම ම ය, ගමන! සංසාරය ය, නිවන!'

        දඩයක්කාරයා බැඳීම්වලින් තොර ය¦ ඇලීම්වලින් තොර ය. ඔහු ජීවත්වන්නේ 'මේ මොහොත' තුළ ය. ගෙවුණු මොහොතේ හෝ එළඹෙන මොහොතේ හෝ පැවැත්ම දඩයක්කාරයාට අදාළ නැත. මේ මොහොත. ඔව් ! මේ මොහොත පමණකි. ගෙවුණු මොහොතේ සතකු දඩයම් කළ දඩයක්කාරයා අදාළ වන්නේ ඒ ගෙවුණු මොහොතට පමණි. මේ මොහොතේ 'පැවැත්ම' වෙනස් වූවකි. 'වෙනස්වීම' පමණක් ස්ථීතික වූ විශ්වයේ, 'මම'ක් නො පවතින විශ්වයේ 'දඩයක්කාරයාගේ මොහොත' ගෙවී ගොස් අවසන් ය. මේ මොහොතේ, ඒ සිටි දඩයක්කාරයා නැත. මේ මොහොතේ, ඒ තිබූ වනාන්තරය නැත. මේ මොහොතේ, ඒ තිබූ සඳ නැත. මේ මොහොතේ, ඒ තිබූ විශ්වය නැත. සියල්ල වෙනසක ය. මේ මොහොතේ ඔහුගේ පැවැත්ම, ජීවිත ස්වභාවය - පැවැත්ම පිළිබඳ වෙනස් දෘෂ්ටියකින් දකින, අවබෝධයක් ලැබීම පිණිස සැරසුණු පද්ධතියකි¦ ස්වාභාවික පැවැත්මකි. අලුත් හා වෙනස් විදර්ශනාවකි. ඉදින් එළඹෙන ඊළඟ මොහොතේ මේ පැවැත්ම 'බුදුවරයකු' නො වනු ඇතැයි කිය හැකි ද?

        හාමුදුරුවෝ වනගත පැරණි විහාරයේ වැඩ වෙසෙමින් ගම් වැසියන් විෂයයෙහි සිය බෞද්ධාගමික භූමිකාව ඉටු කරමින් සිටී. ගම්වැසියන් පාපයෙන් වළක්වාගෙන, ඔවුන් මතු අනාගතයක අපාගත වීමෙන් වළක්වා ගැනීම වෙනුවෙන් උන්වහන්සේ ධර්මය දේශනා කරති. ඒ කැළෑ ගම්මානයේ වැසියන්ට අභිධර්ම කාරණා ඵලක් නැත. එබැවින් එදිනෙදා ජීවන පැවැත්ම සමග බැඳුණු, පංචශීලය හා බැඳුණු ධර්මානුශාසනා උන්වහන්සේ වදාරති. ගම්වැසියන්ට එසේ දේශනා කළ ද, චීවරයෙන් වැසුණු සිය ස්වාභාවික පැවැත්ම පාලනය කර ගැනීම උන්වහන්සේට අසීරු වූවකි. භික්ෂුවක වුව ද, පිරිමි අර්ධය වශයෙන් එහි අනෙක් අර්ධය වන ස්ත්‍රී ශරීරය සම්බන්ධ ස්වාභාවික අවශ්‍යතාව විෂයයෙහි තමන්ගේ සිත දමනය කරගැනීමට උන් වහන්සේ සමත් නො වේ.  


     කොටියා, ගෝමරී මරා දමා ඇති බවත්, ඒ අසල තවත් පිරිමි මළ සිරුරක් ද ඇති බවත්, ඒ පිරිමි සිරුර මුනින් අතට වැටී ඇති බවත් දඩයක්කාරයා හාමුදුරුවන්ට දැනුම් දෙන අවස්ථාවේ හාමුදුරුවන්ට එකවර ම කියැවෙන්නේ 'සමහර විට උන් දෙන්න ඒ වෙලාවෙ......' යනුවෙනි. ඒ අර්ධ වැකියෙන් උන් වහන්සේගේ අවිඥානික ආශාව නිරායාසයෙන් නිරාවරණය වෙයි. ගෝමරී හා රමණයේ යෙදෙන්නට තමන් තුළ වන අවිඥානික ආශාව, හාමුදුරුවෝ අනෙක් පිරිමියා වෙතින් දකී. එවිට දඩයක්කාරයා පිළිවදන් දෙන්නේ 'සත්තු, පිං පවු දන්න එකක්යැ හාමුදුරුවනේ...' යනුවෙනි. සතෙකු පිට උඩ නැඟ සිටින විට (එනම් සංසර්ගික අවස්ථාවක) උන් මරා දැමීම පවක් බව, ඊට පෙර අවස්ථාවක දඩයක්කාරයා හාමුදුරුවන්ට විස්තර කළ ආකාරය මෙහිදී සිහියට නැඟෙයි.

        වනාන්තරය මැද සතුන් කා දමා දුගඳ හමමින් ඇති ගෝමරීගේ මළ සිරුර බලන්නට හාමුදුරුවෝ රහසේ ම යති. මනුෂ්‍ය ශරීරය පිළිබඳ ව වන බෞද්ධාගමික දැක්ම, උන් වහන්සේ මනුෂ්‍ය ශරීරය ගැන ගම්වැසියන්ට දේශනා කළ ධර්මය, ගෝමරීගේ නිරුවත්, දුගඳ හමමින් කුණුවෙමින් යන ශරීරය අභිමුව හිරි වැටෙයි. හාමුදුරුවන්ගේ සිත තැති ගැනෙයි. මිනී කුණු ගඳ දරාගත නො හෙයි. ඒ අසල වන, හිවලූන් උඩු බැලි අතට හරවා ඇති පිරිමි මළ සිරුර දෙස බලද්දී හාමුදුරුවන්ට ඒ පිරිමි මුහුණ ලෙස පෙනෙන්නේ තමන්ගේම මුහුණ ය. උන් වහන්සේ වහා එතැනින් පළා යති.

        කොටියා මිනිස් ලේ ඉව කරමින් කැලේ සැරිසරන බව හාමුදුරුවෝ දනිති. එහෙත් උන් වහන්සේ ගෝමරීගේ මළ සිරුර නිරුවත් ව දකින්නට වන වදින්නේ, ගෝමරීගේ නිරුවත් ශරීරය දැකගැනීමේ ස්වාභාවික ආශාව, මරණ බිය ඉක්මවා බලවත් චිත්තාවේගයක්ව උන් වහන්සේගේ සිතෙහි රළ නැඟ එන බැවිනි. පණ පිටින් සිටියදී කිසි දා දැක ගැනීමට, විඳ ගැනීමට නොහැකි වූ ගෝමරීගේ නිරුවත් සිරුර කුණු වූ මළ සිරුරක් ලෙස හෝ දෑසින් දැක ගැනීමේ ආශාව මරණ බියට වඩා බලවත් ය.

        චීවරය දරාගත් පමණින් මනුෂ්‍ය පැවැත්මට අදාළ ස්වාභාවික පද්ධති ක්‍රියාකාරීත්වය පාලනය නො වේ. භික්ෂුවක ස්ත්‍රී ශරීරයක් කෙරෙහි අරමුණු පිහිටුවා ගැනීම වරදක් වන්නේ නම්, එය භික්ෂුවගේ හෝ චීවරයේ හෝ වරදක් නො ව, සොබාධාර්මික පැවැත්මේ වරදකි. ස්ත්‍රී පැවැත්ම හා සමග ශෘෘංගාරික ඇලුම් - බැඳුම්- විඳුම් භික්ෂු පැවැත්මට අකැප ය. එය පාපයකි. නමුත් සිතෙහි ආශාවක් බවට පරිණාමය වන්නේ මානව පැවැත්ම හා බැඳුණු ස්වාභාවික අවශ්‍යතාවකි. සැබැවින් ම, උන් වහන්සේ එහිදී අසරණ ය. හාමුදුරුවන්ගේ සිත හැම විට ම චංචල ය. උන් වහන්සේ නිරන්තර ව සිටින්නේ අභ්‍යන්තරික ව කැළඹීමක ය¦ ගින්නක ය. ඒ කැළඹීම සමහන් කොට නො ගෙන, ඒ ගින්න නිවා නො  ගෙන උන් වහන්සේට සංසාරයෙන් එතෙර විය හැකි ද?

        වනාන්තරය ද, සඳ ද මෙම චිත්‍රපටයේ සුවිශේෂ භූමිකා නිරූපණය කරයි. විශ්වයෙහි වන ක්ෂුද්‍ර අංශුවක් බඳු පෘථීවිය තුළ, ඒ පෘථීවියේ ක්ෂුද්‍ර අංශුවක් බඳු වනාන්තරය තුළ, ඒ වනාන්තරයේ වන ක්ෂුද්‍ර අංශුවක් බඳු මිනිස් පැවැත්ම, චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් පිහිටුවනු ලබන්නේ වඩාත් දාර්ශනික තලයක ය. එනම්, 'විශ්වය අභිමුව මිනිස් පැවැත්ම' වශයෙනි. හෙවත් 'මිනිසාගේ අනෙකා විශ්වය' වශයෙනි. එහිදී අධ්‍යක්ෂවරයා එක ම මොහොතේ විශ්වය තුළ මිනිසා / මිනිස් පැවැත්ම, ක්ෂුද්‍ර ජීවියකු බවට ද, අනෙක් අතට විශ්වය තරම් විසල් අනෙකා බවට ද පත් කිරීමෙහි සමත් වෙයි.

        සඳ, ස්වාභාවික පරිසරය හා මිනිස් පැවැත්ම කෙරෙහි සිදු කරන බලපෑම හාමුදුරුවෝ ධර්ම දේශනාවකදී වදාරති. සර්ප විෂ වැඩිවීම, උමතු බව වැඩි වීම, කොටහලූවීම, මිය යාම ආදී උදාහරණ එහිදී උන් වහන්සේ දක්වති. මෙහිදී 'සඳ' විශ්වයේ නියෝජිතයා බවට පත් වෙයි. මිනිස් පැවැත්ම සඳ ගමනට අනුව - හෙවත් විශ්වයට අනුව - තීරණය වන පැවැත්මක්, විටෙක මිනිසාගෙන් පරිබාහිර ද, පරිබාහිර නො වූ ද පැවැත්මක් බව මෙමගින් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි. ඕෂෝට අනුව, මිනිසා විශ්වයේ කොටසක් නො වේ. මිනිසා යනු ම විශ්වයයි.

        මිනිස් පැවැත්ම යනු සැරිසැරීම ය; චලනය ය. ඒ අර්ථයෙන් මෙහි ප්‍රමුඛ භූමිකාව නිරූපණය කරන්නේ වනාන්තරයයි. හෙවත් සංසාරයයි. දඩයක්කාරයා වනාන්තරයට බිය නැත/ සංසාරයට බිය නැත. දඩයක්කාරයා වනාන්තරයට සංසාරයට අභියෝග නොකරයි. ඒ සමග ගලා යයි. නමුත් හාමුදුරුවෝ සංසාරයට අභියෝග කරයි. සංසාරයට ප්‍රතිපක්ෂ වෙයි. එබැවින් හාමුදුරුවන්ගේ සිත හැම විට ම ගැටුමක ය; කැළඹිල්ලක ය; තැති ගැන්මක ය. සතකු මැරීම, ස්ත්‍රියක සමග රමණය ස්වාභාවිකත්වයෙන් වියුක්ත ව 'පාපයක්' බවට පත් කරගෙන ඇති හාමුදුරුවෝ, ඊට ප්‍රතිපක්ෂ බලයක් යොදමින් තමන් පාලනය කර ගැනීමට, තමන්ගේ භික්ෂුවත්වයට අදාළ සීමා ඉරි නො පැන සිටීමට නිරන්තර ප්‍රයත්නයක යෙදී සිටී. එහෙත් සොබා දහමේ පැවැත්ම හා ඒ විසින් නිර්මිත අවශ්‍යතා ඉක්මවා යාමට උන්වහන්සේට නො හැකි වෙයි.

        බෞද්ධාගමික චර්යා පද්ධතියක 'පාපය' යනුවෙන් නාමකරණය කෙරෙන 'පර පණක් නැසීම' ප්‍රායෝගික මොහොතක් ලෙස තමන් අභිමුවට පැමිණෙන විට හාමුදුරුවෝ ඉන් නිරුත්තර වෙති. කොටියා මිනිස් ලේ රස ඉව වැටී මිනිසුන් මරා කෑමට සූදානම් බැවින්, වෙසක් පෝදා රාත්‍රියේ ධර්ම දේශනාව කළහොත් පසු දා ගමේ පාංශුකූලයකට සූදානම් වන ලෙස දඩයක්කාරයා හාමුදුරුවන්ට කියයි. ගම්වැසියන්ගේ ජීවිත රැකගැනීමට නම් කොටියා මරා දැමිය යුතු බව දඩයක්කාරයාගෙන් කියැවෙන විට හාමුදුරුවෝ නිරුත්තර වෙති. 'උඹ මට කියන්නේ බණ කියන එක නවත්වන්නදැයි' හාමුදුරුවන් දඩයක්කාරයාට කියන විට, දඩයක්කාරයා කියන්නේ ''එහෙනම් හාමුදුරුවො මට කියන්නේ කොටියා මරන්න කියල ද'' යනුවෙනි. හාමුදුරුවන්ට සිය ආගමික සීමාව තුළ ඊට දිය හැකි පිළිතුරක් නැත.

        චිත්‍රපටයෙහි භික්ෂුව සහ දඩයක්කාරයා එකිනෙකාට 'අනෙකා' වන සේ අධ්‍යක්ෂවරයා විසින් ස්ථානගත කරනු ලැබ ඇත. දඩයක්කාරයා වනාන්තරයේ සංයුක්ත පැවැත්මක් වන විට, හාමුදුරුවෝ වනාන්තරයෙන් වියුක්ත පැවැත්මක් වෙයි. දඩයක්කාරයා වනාන්තරයට අභියෝග නො කරයි. එබැවින් වනාන්තරය ද ඔහුට අභියෝගයක් නො වෙයි. හාමුදුරුවෝ සංසාරයට අභියෝග කරයි. එබැවින් සංසාරය උන්වහන්සේට අභියෝග කරයි.

        චිත්‍රපටය ආරම්භයේ ගෝමරී සිය ලෞකික කාමාශාව සංසිඳුවාගැනීම පිණිස වෙලෙන - බැඳෙන - ස්පර්ශ කරන 'ගස' (ගස නමැති සංකේතය), චිත්‍රපටය අවසානයේදී දඩයක්කාරයාට ලෞකික පැවැත්ම ඉක්ම වූ ආධ්‍යාත්මික - දාර්ශනික පැවැත්මක් වෙත ප්‍රවේශය සලසන 'ප්‍රපංචයක්' බවට පත්වෙයි. ගෝමරී ගසට ළංවෙයි. ගස ස්පර්ශ කරයි. ඉන් ස්පර්ශමය, කායික තෘප්තියක් ලබයි. දඩයක්කාරයා ගසෙන් දුරස් වෙයි. ගස ස්පර්ශ නො කරයි. එහි බාහිර වන නන්විධ ඇලුම් - බැඳුම් දෙස ඔහු දුරස්ථ ව බලා හිඳී. ඔහු ගසේ අභ්‍යන්තරයට සවන් දෙයි. ඔහු ගසින් උගනී. ඉන් ආධ්‍යාත්මික විදර්ශනාවක් ඔහු ගොඩනඟාගනී. ඒ ඇලූම් බැඳුම් පසුබිමෙහි ඔහුට ඇසෙන්නේ, ඔහුට පමණක් ඇසෙන්නේ මිනිස් පැවැත්මේ සංසාරික ගමන තුළ නේක ඇලීම් බැඳීම් මත ඛෙදී එකිනෙකා දඩයම් කරන මිනිස් වර්ගයාගේ හඬ ය. දඩයක්කාරයා වනාන්තරයේ සැරිසැරීම අත් හරියි. ඔහු ඒ 'ගස' අභිමුව නවතී. ඉනික්බිති නිසල ව එ දෙස බලා හිඳින්නට වෙයි. ඔහු සිටින්නේ ගස අසල ය. එහෙත් ගස අතහැර ය. එළඹෙන 'බුද්ධිත්වයේ/බුද්ධත්වයේ මොහොත', මේ ගස අභිමුව නිවුණු 'දඩයක්කාරයාගේ' මිස, සිතින් නිරන්තර ව ඇවිලී දැවෙන 'පන්සලේ හාමුදුරුවන්ගේ' නොවන බව සිනමාකරුවා සංඥා කරයි.

        දඩයක්කාරයා, ගෝමරී සහ හාමුදුරුවෝ යන චරිත ත්‍රිත්වය ඔස්සේ අධ්‍යක්ෂවරයා ප්‍රතිනිර්මාණය කරන්නේ වඩාත් දාර්ශනික තලයක කතිකාවකි. ජාතක කතා තොරන ලෙස සිනමා තිර මත දිග හැරෙන හා ඊට සාදුකාර දෙන ලාංකේය ප්‍රේක්ෂකාගාරයට, 'දඩයක්කාරයාගේ කතාව' මඟ කියන්නේ වඩා ඉහළ රස වින්දනාත්මක ශික්ෂණයකට ය, අත්දැකීමකට ය. අධ්‍යක්ෂවරයාගේ රූප භාෂාව අවබෝධකරගැනීමට, යටි පෙළ අවබෝධකර ගැනීමට, සාපේක්ෂව දිගුකාලයක් පුරා පරිණාමය වන රූප ඉවසා දරාගෙන හිඳීමට පුහුණු කළ රසිකත්වයක්, විනයක්, ශික්ෂණයක් අවැසි ය.  

       සයිමන් නවගත්තේගම ගේ 'දඩයක්කාරයාගේ කතාව' නවකතාවක් වන විට, ප්‍රසන්න ජයකොඩිගේ 'සංසාරේ දඩයක්කාරයා' කවියකි. සිනමා - දාර්ශනික කවියකි.  ඒ සිනමා කවිය ඉසියුම් ශික්ෂණයකින් විඳිය යුත්තකි. ඉසියුම් රසික විනයකින් කියවිය යුත්තකි. එසේ කියැවූ විට, චිත්‍රපටය ආරම්භයේ ගෝමරීගේ ශරීරය නමැති ආශා වස්තුව නිසා ඇවිලූණු ප්‍රේක්ෂකයාගේ සිතිවිලි ධාරාව, අවසානයේ දඩයක්කාරයාගේ දාර්ශනික ඉසව්වේ නිවී නවතිනු ඇත. ඒ මිනිස් ජීවිත පැවැත්ම පිළිබඳ වෙනස් කියැවීමකට මඟක් පාදා දෙමිනි.



No comments:

Post a Comment