Wednesday, August 21, 2019

දැනුම සමාජගත කිරීම යනු දේශපාලනික ක්‍රියාවලියක්.



කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමග 'දැනුම' යන කාරණය පදනම්ව මේ සාකච්ඡාව මා විසින් සිදුකරන ලද්දේ 'පර්යේෂණ හා සංවර්ධන ආයතනය' විසින් පළ කරනු ලබන 'ගවේෂණ' සඟරාව වෙනුවෙන්.







මානව සමාජය තුළ 'දැනුමට' හිමි ඓතිහාසික සමාජ භූමිකාව කෙබඳුද?

මා කල්පනා කරන ආකාරයට, පළමුවෙන්ම අප සැලකිලිමත් විය යුත්තේ දැනුම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන කාරණය නිරාකරණය කර ගැනීමටයි. විවිධ සමාජ සහ සංස්කෘතීන් මගින් ඊට සපයන අරුත් විවිධ පරිමාණවලින් වෙනස් වීමට හැකියි. නමුත් මෙවැනි සාකච්ඡාවකදී ඒ ගැන යම් එකඟතාවකට පැමිණීම අවශ්‍යයැයි මා සිතනවා. දැනුම යනු මිනිස් මනස මගින් ඉතා ආයාසකර ලෙස අත්පත් කර ගත් ප්‍රවණතාවක ප්‍රතිඵලයක් ලෙසයි විග්‍රහ කළ හැකි වන්නේ. දැනුම සංස්ලේෂණය කරනු ලබන්නේ මොළයයි. එවැනි භාරදූර කාර්යයක් සඳහා හැඩ ගැසීමට මොළයට වසර දසදහස් ගණනක් ගත වූ බවට සාක්ෂි තිඛෙනවා. ඊට හේතුව, මිනිස් වර්ගයා වානර මූලයකින් ආරම්භ වී අඩුම තරමින් පසුගිය වසර ලක්ෂ 25ක පමණ කාලය තිස්සේ පරිණාමයට පත් වීමයි. වානරයෙකු, මිනිසෙකු බවට පත් වීමට මූලික වූයේ මොළයේ ඇති වූ පරිණාමයයි. ආරම්භයේදී ඝන සෙන්ටිමීටර 450 ක් වූ ඔස්ට්‍රලෝපිතිකස්ගේ මොළ පරිමාව කෙතරම් වර්ධනයකට ලක් වූයේ ද යත්, වර්තමාන හෝමෝ සාපියන්ගේ මොළයේ පරිමාව ඝන සෙන්ටිමීටර 1450 ක පමණ විශාලත්වයකට පරිවර්තනය වී තිබීමෙන් පෙන්නුම් කරනවා. මේ විශාලනය සිදුවූයේ අහම්බයක් ලෙසින් නොවෙයි. තමා ගැනත්, තමා වාසය කරන ස්වභාවික පරිසරය සමග වඩාත් තර්කානුකූලව ජීවත් වීමේ විධි ගැනත් නිරන්තරයෙන් කල්පනා කිරීමෙන් සහ ඊට අදාළ උපායමාර්ග සම්පාදනය කිරීමට අවධානය යොමු කිරීමෙන් මොළයේ ස්නායු ෙසෙල වර්ධනයටත්, ඛෙදීමටත් ලක් වුණා. නිදසුනක් ලෙස පැහැදිලි කරන්නේ නම් මුල් වරට ගල්මෙවලමක් නිපද වූ මානවයාගේ මොළය සහ එමගින් පාලනය වූ ඔහුගේ සංවේදන-යාන්ත්‍රණ ක්‍රියාවලිය (sensory-motor action) ඉතාමත් සංකීර්ණ වූවක් බව භෞතික මානව විද්‍යාඥයින් සහ ස්නායුවේදීන් විසින් පෙන්වා දී තිඛෙනවා. ආදිකාලීන මිනිසුන්ගේ ජීවිතය සංකීර්ණ වීම පදනම් වූයේ පැවැත්ම සඳහා අවශ්‍ය සම්පත් උදෙසා කරනු ලබන තරඟයේදියි. එය මිනිසා මිනිසා සමගත්, මිනිසා ස්වභාවධර්මය සමගත් ආදි වශයෙන් දෙආකාර වුණා. දීර්ඝකාලීනව මතකය වර්ධනය කිරීම, තීරණ ගැනීම සහ සැලසුම් කිරීම එහිදී අවශ්‍යයි. මිනිස් මොළයේ ඉදිරිපස කොටස (frontal lobe) වර්ධනය වූයේ ඒ සඳහායි. මොළයේ ඒ කොටස පරිණාමීය සමාප්තියකට පැමිණියේ මානව පරිණාම ඉතිහාසයේ ඉතා මෑත වකවානුවකදීයි.

මොළයේ සහභාගීත්වයෙන් මිනිසා කළ ක්‍රියාවලිය පැහැදිලි කළ හැක්කේ දැනුම රැස් කිරීම යනුවෙන්. මනුෂ්‍යයාගේ දේහය, වානර ස්වරූපයෙන් මිනිස් ස්වරූපයට පරිවර්තනය වීම භෞතික ක්‍රියාවලියක් වුවත්, ඔහුගේ සංස්කෘතික පරිණාමය වනාහී මුළුමනින්ම දැනුම පදනම් කර ගත් ක්‍රියාවලියක්. එහෙයින් දැනුම සහ මිනිස් සමාජයේ හැඩහුරුකම් අතර තිඛෙන අවියෝජනීය බැඳීමට කිසිවකුට අභියෝග කළ නොහැකියි. 



අතීත ලාංකේය සමාජ ආර්ථීක රටාව තුළ 'දැනුම' පිළිබඳ කාරණයට හිමි වී තිබුනේ කෙබඳු තැනක්ද?


දැනුම මගින් සමාජය නිර්මාණය කරවන බවට අපේ පැරැන්නන් නිතැතින්ම විශ්වාස කළා. ඔබ අපේ පැරණි නටබුන් නගර නැරඹීමට ගියේ නම් ඒ බව පැහැදිලි වනවා නිසැකයි. ඒවායේ දකින්නට තිඛෙන වැව්, පොකුණු, ඇළ මාර්ග, මහා ස්තූප, මහා පිළිම ආදී සෑම දෙයක් පසුපසම තිඛෙන්නේ ඓතිහාසික දැනුමයි. ඒ දැනුමට පසුබිම්ව තිඛෙන මූලධර්ම අද අප විශ්වාස කරන නූතන විද්‍යාත්මක දැනුම සමග වුවත් සැසඳීම අපහසු වන්නේ නැහැ. ඒ අපට පෙනෙන්නට තිඛෙන දේ පමණයි. එවැනි මහා නිර්මාණ වෙත එළැඹීමට තරම් සුදුසු කායික හා මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න පිරිසක් දීර්ඝකාලයක් තිස්සේ නඩත්තු කිරීමට අවශ්‍ය වන අන් අවශ්‍යතාවන්ට පසුබිම් වූ දැනුම ගැනත් අපි කල්පනා කළ යුතුව තිඛෙනවා. නිදසුනක් හැටියට මෙම කාරණය වැඩිදුරටත් පැහැදිලි කරන්නේ නම්, මිනිසාගේ නිරෝගීභාවය රැක ගැනීමත්, රෝගී වූ අවස්ථාවක එය කළමනාකරණය සඳහා අනුගමනය කළ ආකාරය ගැනත් අපට කල්පනා කළ හැකියි. සිංහල වෙදකම නමින් හැඳින්වෙන ක්‍රමයක් දැනට අපේ සමාජය තුළ වියැකී යමින් තිඛෙනවා. ස්වභාවධර්මයේ තිඛෙන ශාක වර්ග සහ ඇතැම් අවස්ථාවල ඛනිජ වර්ග යොදා ගනිමින් ප්‍රතිකාර කිරීම එහි ස්වභාවයයි. යන්ත්‍ර මන්ත්‍ර ආදී ක්‍රමත් ඊට ඇතුළත්. මේ සියල්ලක්ම අයත් වන්නේ දැනුමටයි. බටහිර විද්‍යාව හිස්මුදුනින් පිළිගන්නා අද සමාජයේ බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ තර්කය සහ විශ්ලේෂණය මත දැනුම වෙත විශ්වාසය තැබීමටයි. ඒ නූතන විද්‍යාවට පදනම දැමූ රීනී ඩේකාට්ස් සහ නිව්ටන් විසින් විශ්වාස කළ දේයි. ඒ බටහිර රටවල දියුණු වූ දැනුම් ව්‍යුහයක්. නමුත් පෙරදිග රටවල ඊට වඩා වෙනස් මුහුණුවරක් ගත් දැනුම ගොඩ නැගීමේ ක්‍රමවේදයක් තිබුණා. එය හඳුන්වන්නේ සහජ දැනුම යන නමින්. තමන් සතු ඉන්ද්‍රිය බලය ඒකාබද්ධ කිරීමෙන් ඇතැම් සත්‍යයන් ප්‍රත්‍යක්ෂ කිරීම එහි ස්වභාවයයි. පෙරදිග රටවල ප්‍රචලිත භාවනාව ඊට සැපයිය හැකි කදිම නිදසුනක්. බුදුන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ නිවන, නූතන විද්‍යාවේ පැහැදිලි කරන අන්දමේ ආනුභවික පර්යේෂණයකින් සාක්ෂාත් කළ දෙයක් නොවෙයි. එය ගැඹුරු මානසික අභ්‍යාසයකින් අනතුරුව ගොඩනැගූ දැනුමක්. අපේ රටේ දක්නට තිඛෙන යන්ත්‍ර මන්ත්‍ර ආදිය සහ ඊට සම්බන්ධ වෙනත් ක්‍රියාවලීන් එලෙස සහජ ප්‍රත්‍යක්ෂය මගින් ගොඩ නැගූ ඉතා සරල දැනුම් පද්ධති ලෙසයි විස්තර කළ හැකි වන්නේ.

අපේ රටේ සාම්ප්‍රදායික සමාජය, දැනුම පිළිබඳ දැඩි විශ්වාසයක් දැරූ බව පෙන්වන සාක්ෂි සාහිත්‍යයේ පවා ඉතිරි  තිඛෙනවා. අප කුඩා අවධියේ ඉගෙන ගත් පහත දැක්වෙන කවි දෙපදය ඊට උදාහරණයක්.

''අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා - 
ඇල්මෙන් අකුරු උගෙනිව් ඉදිරි වැඩ තකා..''

මෙහි 'අකුරු' යන්න යෙදී තිඛෙන්නේ රූපකයක් ලෙසයි. ඉන් අදහස් කරන්නේ දැනුමයි. තවත් උපදේශ කවියක දැක්වෙන ආකාරයට, ''දෙගුරුන් තම දරුවනට දෙන නොමද දන නම් - වියතුන් සබා මැද ඉන්ට සරිලන සිල්ප දෙනු මැයි'' යනුවෙන් සඳහන්. දෙමව්පියන් තමන්ගේ දරුවන්ට දිය හැකි උපරිම ධනය නම් වියතුන් මධ්‍යයේ හැදැරීමට අවශ්‍ය ශිල්ප ලබා දීම බව ඉන් පැහැදිලි කරනවා.

ලංකාව යටත්විජිතයක් බවට පත් වූ පසු දැනුම සම්බන්ධව මෙරට සමාජය තුළ ගොඩනැඟුණු තත්ත්වය කෙබඳුද?

මෙරට සමාජය යුරෝපීය ජාතීන් තුන් වර්ගයක බලපෑමට නතු වීමෙන් පසු ඇති වූ ප්‍රතිඵල වඩාත්ම බලපෑවේ දේශීය වශයෙන් පැවති දැනුමේ අවනතිය කරා යාමටයි. යුරෝපීය ජාතීන් මෙරටට පැමිණි අවධිය වන විට යුරෝපය තාක්ෂණික වශයෙන් යම් ප්‍රගතියක් ලබා තිබුණා. ඒ වන විටත් අපේ රට පැවතියේ කෘෂිකාර්මික ජීවන රටාවකට නතු වූ ආවෘත ස්වරූපයකින් බව තේරුම් ගත යුතුයි. එවක අප සතුව තිබූ දැනුම අපේ ජීවන වෘත්තීන් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් වුවත්, යුරෝපීය ජාතිකයින් විසින් රැගෙන එන ලද කාර්මික ප්‍රවණතාවලට අදාළ දැනුම සමග ගලපා ගැනීමට ප්‍රමාණවත් වුනේ නැහැ. පෘතුගීසි ජාතීන් මෙරටට ගොඩ බට අවස්ථාවේ ඔවුන් පාන් අනුභව කරමින් වයින් පානය කළ ආකාරය, අපේ වැසියන් වාර්තා කළේ මස් කමින් ලේ බොන ආකාරයක් හැටියටයි. එම ප්‍රකාශයේ සංකේතාත්මක අරුත නම් අපේ දේශීය වැසියන්ට බටහිර කාර්මික දැනුම වටහා ගත නොහැකි ප්‍රහේලිකාවක් වූ බවයි.

ක්‍රිස්තු වර්ෂයෙන් පහළොස්වන සියවස වන විටත් අප අත්දකිමින් සිටියේ යැපීම් ආර්ථීකයක් සහ ඊට අදාළ සංස්කෘතික වටපිටාවක්. යුරෝපීය ජාතීන් විසින් හඳුන්වා දෙන ලද්දේ ධනවාදී ලෝක ආර්ථීක ප්‍රවාහයකට අයත් ඇගයුම් පද්ධතියක්. ඒ නව ප්‍රවාහය සමග පෑහෙන්ට අපේ පැවති සම්ප්‍රදායික දැනුම  ප්‍රාමාණික නොවන බව ඒත්තු ගැන්වීමට යුරෝපීය ජාතීන් නොයෙක් උත්සාහයන් දැරුවා. බි්‍තාන්‍ය ජාතිකයින් විසින් හඳුන්වා දෙන ලද මිෂනාරි අධ්‍යාපනය ඒ වෙත කළ බලපෑම තීරණාත්මකයි. ලෝක ධනවාදී ආර්ථීක අපේක්ෂා සහ එවැන්ජලික ආගමික ව්‍යාපාරය මගින් අපේ පැවැත්ම සඳහා අප විසින්ම වසර දහස් ගණනක් තිස්සේ ගොඩනැගූ දැනුම යටපත් කිරීමේ හෝ නොවැදගත් බවට පත්  කිරීමේ ගම්‍යතාවන් නිර්මාණය කරනු ලැබුවා. ඒ වෙනුවට අපට අයිති නැති චින්තන ආකෘති මත ගොඩනැගූ බටහිර දැනුම් පද්ධතිය, සර්වභෞමික ලෙස සිතන්නට අවශ්‍ය කරන පෙළැඹවීම ඇති කළා. අද අපේ සමාජය යම් කිසි අර්බුදයකට පත් වී සිටින්නේ නම් ඊට බලපෑ එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ ආගන්තුක දැනුම් සම්ප්‍රදායට අප අහේතුකව සහ අපරිමාණව ගැති වී සිටීමයි.

මා මෙය එක්තරා සරල නිදසුනකින් පැහැදිලි කරන්නම්. ඉස්සර කාලේ අපේ ගැමියන් තමන්ගේ කුඹුරුවල පඹයන් සිටුවීම පුරුද්දක් කර ගෙන තිබුණා. මේ 'පඹයා' නමින් හැඳින්වෙන ප්‍රකාශනය මගින් ඔවුන් අපේක්ෂා කළේ කිසියම් ප්‍රායෝගික අවශ්‍යතාවක් සපුරා ගැනීමයි. සාමාන්‍යයෙන් පඹයාගේ හිස සඳහා භාවිතයට ගනු ලබන්නේ සිදුරු සහිත මැටි මුට්ටියක්. ඒ කාලයේ පඹයන් සාදන විට මෙම මුට්ටියේ පෙරුම්කායන් මිශ්‍ර කළ ඛෙහෙත් ගුලියක් තැන්පත් කිරීමේ සිරිතක් තිබුණා. සුළං හමන විට මුට්ටියේ සිදුරු තුළින් එන වායුව අර කී ඛෙහෙත් සුවඳ රැගෙන මුළු යාය පුරා ගමන් කරනවා. එමගින් සිදු වූයේ කෘමීන් පළවා හැරිමයි. එහෙත් අද ඒ දැනුම අතුරුදහන් වී ගොස්. දැන් කුඹුරුවල සිටින පඹයන් නිශ්ක්‍රීයයි. ඉන් ඇති කළ ව්‍යසනය කෙතරම්ද යත්, දැන් අපි කිසිවක් කර ගත නොහැකි අය හැඳින්වීමටයි ''පඹයන්" යන පදය ව්‍යවහාර කරන්නේ.

පශ්චාත් යටත් විජිත සමාජයක් බවට පත්වීමෙන් පසු ලාංකේය සමාජය තුළ දැනුම සම්බන්ධ කතිකාව ගොඩනැඟී ඇති ආකාරය කෙබඳුද?

අපේ රටේ පශ්චාත් යටත් විජිත යුගය යනුවෙන් හඳුන්වන කාලය යටත් විජිතයේම දිගුවක් ලෙසයි මා කල්පනා කරන්නේ. 'සුද්දට රට තිබුණා නම් මීට වඩා හොඳයි' යනුවෙන් කියන අය කොතෙකුත් අපේ සමාජයේ තවමත් ඉන්නවා. අපි තවමත් අගය කරන්නේ රටින් ගෙනෙන දේවල්. දේශීය ලා ගත හැකි දෙයක් වුවත්, එය තරමක විශාල දෙයක් නම් අපි එය හඳුන්වන්නේ 'රට' යන නාම විශේෂණයත් සමගයි. 'රට දෙල්', 'රට පුවක්', 'රට බුලත්' ආදී ව්‍යවහාර ඊට නිදසුන් කළ හැකියි. මේ අතරතුර, තරමක දුරදක්නා පිරිස් විසින් දේශීය සම්ප්‍රදායේ වටිනාකම් අගය කිරීමේ ව්‍යාපාරයක නිරත වුණා. 'හෙළ හවුල' ආදී දේශීය ව්‍යාපාර ඊට නිදසුන් කළ හැකියි. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, මුනිදාස කුමාරතුංග මහතා එවැනි ව්‍යාපාරවලට මූලිකත්වය දුන් චරිත කිහිපයක්. ඒ ව්‍යාපාර කෙතරම් සද්භාවයකින් ආරම්භ කළත් සාර්ථකත්වය කරා යොමු වූ බව පෙනෙන්නට නැහැ. ඊට හේතුව, යටත් විජිත අපේක්ෂා මගින් මෙරට ජනජීවිතයේ ආධ්‍යාත්මය පවා යටත් විජිතයක් බවට පත් කර තිබීමයි.

ලෝකයේ නූතන සමාජ ආර්ථීක කතිකාව තුළ 'දැනුම පදනම් වූ ආර්ථීකයක්' යන කාරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙමින් තිඛෙනවා. අපේ රටේ එවැනි 'දැනුම පදනම් වූ ආර්ථීකයක්' ගොඩනැඟීමේදී අපේ ඉතිහාසයෙන් ගත හැකි  පාඩම් කෙබඳුද?

යුරෝපීය ජාතීන් සහ ඔවුන් ආධිපත්‍යය දරන ලෝක බැංකුව වැනි ආයතන හිටිවනම එක් එක් ආකාරයේ සංකල්ප වැමෑරීමට පටන් ගන්නවා. ඒවායින් බොහෝමයක් අන් රටවල් තමන්ගේ ග්‍රහණයේ තබා ගැනීමට යොදන ආර්ථීක උපක්‍රම ලෙසයි පෙනෙන්නේ. යුරෝපය මෙතෙක් අප්‍රිකාවට ලබා දී ඇති ආධාර අනුව ඒ රටවල් දැන් සංවර්ධනයේ හිණිපෙත්තට ළඟා වී සිටිය යුතුයි. එය එසේ වනවා වෙනුවට, ඉතියෝපියාව ආදී රටවල් තව තවත් ආර්ථීක ප්‍රපාතයකට ඇද වැටෙමින් තිඛෙනවා.

අපේ රට පසුගිය වසර 2000කට වැඩි කාලයක් දියුණු වුනේ දැනුම පාදක කර ගෙනයි. ආර්ථීක සංවර්ධනයත් ඊට ඇතුළත්. එය සනාථ කිරීමට සාක්ෂි අවශ්‍ය නම් අපේ පැරණී සෙල්ලිපි දෙසට මඳක් අවධානය යොමු කර බලන්න. ඉතිහාස කාලය පුරාම අප ජීවත් වූයේ කෘෂිකාර්මික සමාජයක බව මා ඉහත සඳහන් කළා. එය සාමාන්‍ය ආකාරයේ එකක් නොවෙයි. රට සහලින් ස්වයංපෝෂිත කිරීමට තරම් සරිලන කාර්යක්ෂම කෘෂිකර්මාන්තයක්. එවැනි කාර්යයක යෙදීමට නම් පස සංරක්ෂණය, කෘමීන් පාලනය කිරීම, අස්වනු නෙලීමේ තාක්ෂණය, පසු අස්වනු කළමනාකරණය ආදී බොහෝ කටයුතු මනා පටුත්වයකින් හැසිරවීම අවශ්‍යයි. එවැනි කටයුතු සාර්ථකව කර ගැනීමට අවශ්‍ය කරන දැනුම අප තුළ තිබුණා. ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන සියවසට අයත් එක්තරා සෙල්ලිපියක පස සංරක්ෂණයට අදාළ නීතියක් දක්නට තිඛෙනවා. ඉන් කියැවෙන්නේ වර්ෂා කාලය එන තුරු හේන්වල සී සෑම සඳහා ප්‍රමාද කරන්නවුන්ගෙන් රජය දඩ මුදලක් අය කළ බවයි. ඒ කාලයේ රජය ජලය භාවිත කරන අයගෙන් බදු මුදල් අය කළා. ඒ ජලාපවහනය නඩත්තු කිරිම සඳහායි. ගස්කොළන් කැපීම තහනම් කරනු ලැබුවා. අමණ්ඩගාමිණී අභය රජු කිසිදු සතෙකු නොමැරිය යුතුය යන මාඝාත නීතිය පනවනු ලැබුවා.

ගණිතය සහ විද්‍යාව ආදී විෂයයන් ගැන වුවත් අපේ පැරැන්නන් තුළ පැවතියේ සාධනීය දැනුමක්. ෙජ්තවනාරාමය වැනි අතිවිශාල ගඩොළුමය ඉදි කිරීමක් නිම කිරීමට නම්, සංකීර්ණ සිවිල් ඉංජිනේරු දැනුමක් එය නිර්මාණය කළ ශිල්පීන්ට තිබිය යුතුයි. ඒ දැනුම ආදේශ කිරීමට යෙදු තාක්ෂණය අදත් එදත් යම් යම් වෙනස්කම් පිළිබිඹුු කළ හැකියි. එහෙත් ඒවායේ මූලධර්ම එසේ වෙනස් නොවන බව පැහැදිලියි. ''භෞතය වෙනස් නොවේ'' (Physics does not change) යන්න දාර්ශනික අදහසක්. යටත් විජිත ව්‍යාපාරය මගින් අපේ මනස යටත් විජිතයක් බවට පරිවර්තනය කර තිඛෙන නිසා ඒ පැරණි දැනුම අවිශ්වාස කිරීමටයි අප පෙළඹී තිඛෙන්නේ. එනිසාම ඒ දැනුම ගවේෂණය කර එය වඩා ඵලදායී ලෙස වර්තමානයට ගලපා ගැනීමේ හැකියාවන් සොයා බැලීමේ වුවමනාවක් අප තුළ දක්නට නැහැ.

දැනුම සම්බන්ධයෙන් ඉතිහාසයෙන් ලබා ගත හැකි පාඩම් මොනවාදැයි යන ප්‍රශ්නය ඔබ විසින් නගනු ලැබුවා. ඒ සඳහා මට දිය හැකි කෙටිම පිළිතුර වන්නේ, අපේ ඓතිහාසික දැනුමේ හරය වන සරල බව හා කාර්යක්ෂම බව යන ගුණාංග දෙක අවබෝධ කර ගෙන ඒ අනුව අපට ගැලපෙන දැනුම් ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමට වෑයම් කිරීම ඉතිහාසයෙන් අපට ලබා ගත හැකි පාඩම බවයි. එය බටහිර දැනුමට ආවේණික වූ සංකීර්ණ කාර්යක්ෂමතාව පිළිබඳ අදහසට වඩා වෙනස් වූ එකක්. අපට ආගන්තුක වූ දැනුමක තිඛෙන සංකීර්ණත්වය නිසා අපේ සමස්ත සමාජයම මහත් වෙහෙසකට පත්ව සිටින ආකාරය අපට දැන් හොඳින් පෙනෙන්නට පටන් ගෙන තිඛෙනවා. රජයේ සහ පෞද්ගලික රෝහල්වලට එක් දිනක් ගියොත් ඔබට මේ බව වටහා ගැනීම අපහසු වෙන එකක් නැහැ. දිනකදී මෙරට සිදුවන සියදිවි හානි කර ගැනීම්, ළමා අපචාර සංඛ්‍යාව නිරීක්ෂණය කිරීමෙන් තවදුරටත් එය තහවුරු කර ගත හැකියි. මේ සෑම ව්‍යසනයක්ම අප මෙහෙයවන දැනුමේ අනිසි ස්වභාවය මගින් ඇති කරන ලද ඒවා බව වටහා ගත යුතුයි.

ලංකාව වැනි ආසියානු රටවල සමාජය තුළ 'සාම්ප්‍රදායික දැනුම' විශේෂ වැදගත්කමක් දරනවා. දැනුම පදනම් වූ නූතන ආර්ථීයක් තුළ මෙම සාම්ප්‍රදායික දැනුම ආයෝජනය කළ හැකි, එය නූතන අර්ථයකින් භාවිත කළ හැකි ආකාරය ඔබ දකින්නේ කෙසේද?

ඔබ මේ නඟන ප්‍රශ්නය, බොහෝදෙනා විසින් සාම්ප්‍රදායික දැනුම සම්බන්ධයෙන් අසන පොදු ප්‍රශ්නයක් ලෙස මට හැඟෙනවා. එම ප්‍රශ්නය නැඟීමට අප තුළ අභිලාෂයක් ඇතිවීම තුළම අපි අත්විඳින අර්බුදය කුමක්දැයි යන්න පැහැදිලි වෙනවා. අපේ දේශීය දැනුම ගොඩනැගුනේ කෘෂිකාර්මික ජීවන පිළිවෙතක් සහිත වැඩවසම් සම්බන්ධතා ජාලයක් පසුබිම් කරගෙනයි.1839 න් පසු, එනම් විශේෂයෙන් කෝල්බෘෘක් - ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලින් පසු අප සතුව තිබූ ඒ සාම්ප්‍රදායික සමාජය බිඳ වැටීම ආරම්භ වුණා. විශේෂයෙන්ම, රාජකාරි ක්‍රමය අහෝසි කිරීම ඊට දැක්විය හැකි එක් නිදසුනක්. මෙම සමාජ පරිවර්තනය මගින් අපේ ජීවන ශෛලිය පමණක් නොව, ආකල්ප වෙත පවා දැඩි බලපෑමක් එල්ල කළා. ඒ කාලයේ සර්පයෙක් දෂ්ට කළ විට, ඊට ප්‍රතිකාර කළ හැකි වෙදුන් ගම්වල සිටි අතර ඔවුන් විවිධ කෙම්ක්‍රම සහ දේශීය ක්‍රම භාවිතයෙන් එවැනි ගැටළු නිරාකරණය කළා. එහෙත් දැන් අප විශ්වාසය තබන්නේ ප්‍රතිවිෂ එන්නත් කිරීම ගැනයි. ඉන් පිටතට ගොස් සාම්ප්‍රදායික ක්‍රමයට කටයුතු කිරීමට අපට නොයෙකුත් ප්‍රායෝගික බාධා තිඛෙනවා. ඒ අතරින් තීරණාත්මක වන්නේ අපේ ආකල්පයි. සාම්ප්‍රදායික දැනුම වර්තමානයට යොදා ගැනීමට නම් පළමුව කළ යුත්තේ ඒ දැනුම භාවිතයට යෙදවීමට අවශ්‍ය සමාජ සන්දර්භයට ප්‍රතිසංස්කරණ යෝජනා කිරිමයි. බටහිර ඛෙහෙත් වෙනුවට කසාය බීමෙන් පමණක් සාම්ප්‍රදායික දැනුම සමාජගත වුණායැයි සිතීම මුලාවක්. එසේ නොවේ නම්, මේ සමාජ ක්‍රමය තුළ කළ හැකි එකම දේ සාම්ප්‍රදායික දැනුම අලෙවි කිරීම පමණයි. දැන් සිදුවෙමින් තිඛෙන්නෙත් එයයි.


අපේ රටේ සංවර්ධනය සඳහා පවතින යම් ආකාරයක බාධාවක් ලෙස කාලාන්තරයක් තිස්සේ සමාජගතව පවතින විවිධ මිථ්‍යා විශ්වාස හඳුනාගන්නට පුළුවන්. දැනුම පදනම් කරගත් ආර්ථීකයක් සඳහා වන ගමනකදී මේ බාධාව මගින් මතුවන අභියෝග ජයගත හැක්කේ කෙසේද?


මිථ්‍යා විශ්වාස යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි මට පැහැදිලි නැහැ. මිථ්‍යාව සහ සත්‍යය අතර වෙනස ඔබටත් පැහැදිලි දැයි මට ස්ථීරව කිව නොහැකියි. මිථ්‍යාව යන අදහස සාපේක්ෂ වන්නේ විද්‍යාව යන අදහසටයි. යුරෝපීය දැනුමට ප්‍රතිපක්ෂ සෑම දැනුම් සම්ප්‍රදායක්ම හැඳින්වීමට 'මිථ්‍යාව' (Myth) යන පදය පටබැන්දේ යුරෝපීයයන්මයි. 'මිථ්‍යාව' යනුවෙන් ඔවුන් ප්‍රධාන වශයෙන් හැඳින්වූයේ හැඟීම් මගින් ප්‍රත්‍යක්ෂ කර ගන්නා දැනුමයි. නමුත් ඔවුන් ඊට පටබඳින ලද මිථ්‍යාව යන අදහස  නිරර්ථක බව ඔවුන් විසින්ම අද ඔප්පු කර පෙන්වා දී තිඛෙනවා. ඒ බව පෙන්වා දීම සඳහා මම කදිම නිදසුනක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. අපට දැනෙන 'සුවඳ' සහ 'රස' යනු හැඟීම් දෙකක්. සමහර අයට සුවඳ දේ, සමහර අයට ප්‍රසන්න හැඟීමක් ඇති කරන්නේ නැහැ. රසත් එලෙසමයි. ඒ නිසා ඒ පදනමේ සිට සුවඳ සහ රස යනු මිථ්‍යාවක් ලෙස කෙනෙකුට විග්‍රහ කළ හැකියි. නමුත් අණුක විද්‍යාඥයින් දැන් පැහැදිලි කර දෙන්නේ 'සුවඳ' සහ 'රස' යන දෙකටම රසායන විද්‍යාත්මක පසුබිමක් තිඛෙන බවයි. එසේ නම් ඒ අවස්ථාවේ මිථ්‍යාව යැයි සැලකූ දේ විද්‍යාත්මක සත්‍යයක් බවට පත් වී තිඛෙනවා. මේ ගැන ඉතා වටිනා අදහස් මාලාවක් ක්ලෝඩ් ලෙවි ස්ට්‍රාවුස් නමැති ප්‍රංශ ජාතික දාර්ශනිකයා විසින් ඉදිරිපත් කර තිඛෙනවා. ඔහුගේ දේශන මාලාවේ උධෘතය වූයේ 'මිථ්‍යා සහ අරුත' (Myths and meaning) යන්නයි. සමාජවල පවතින බොහෝ මිථ්‍යාවන්ට යම් යථාර්ථවාදී පසුබිමක් තිඛෙන බව පෙනී ගොස් තිඛෙනවා. සමාජයක් තුළ මිථ්‍යාවක් පවතින්නේ සමාජය මගින් දිගින් දිගටම එය අඛණ්ඩව පවත්වා ගෙන එන නිසයි. එය එසේ වන්නේ සමාජයට එම මිථ්‍යාව අවශ්‍ය වන නිසා බව අප විසින් තේරුම් ගත යුතුයි. මෙවැනි පසුබිමක මිථ්‍යාව සමාජයේ සංවර්ධනයට බාධාවක් යැයි කීමට තරම් නිර්භීත වීම සුදුසු යැයි මා කල්පනා කරන්නේ නැහැ. දැනුම පදනම් කර ගත් ආර්ථීකයක් නගා සිටුවීමේදී කළ යුත්තේ සමාජය මගින් රැගෙන ආ මිථ්‍යාවන් පිටු දැකීම නොව, එය එක් ආකාරයක දැනුම් ආකෘතියක් ලෙස තේරුම් ගෙන, එහි පසුබිමෙහි පවත්නා යථාර්ථයන් ප්‍රමාණගත කිරීමට වෑයම් කිරීමයි.


මෙරට සමාජගතව පවතින මෙරට ජාතිකත්වයන් හා ආගම් අතර විරසකභාවය ඇති කරන ඓතිහාසික පුරාවෘත්ත වෙනුවට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිදුවන පර්යේෂණ මගින් හඳුනාගන්නා නව දැනුම් සමාජගතවීමේ හා ඒ සම්බන්ධ පුළුල් කතිකාවක් ඇති නොවීමක් දකින්නට පුළුවන්. මෙම තත්ත්වය පිළිබඳව ඔබගේ අදහස කෙබඳුද?

දැනුම සමාජගත කිරීම යනු දේශපාලනික ක්‍රියාවලියක්. සමාජ භේදභින්න කරන මතවාද සමාජය තුළ පවතින්නේ නම් ඒවා කළමනාකරණය කිරීමේ වගකීම තිඛෙන්නේ මහජනයා විසින් පත් කරන රාජ්‍ය යාන්ත්‍රණයටයි. පුරාවිද්‍යාත්මක හෝ වේවා වෙනත් ශික්ෂණයක හෝ වේවා නව දැනුම සමාජගත නොවන්නේ පවතින දැනුම සමාජය පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් යැයි පාලක බහුතරය කල්පනා කරන නිසයි. එසේ නොවන්නේ නම් දැනුම යන ප්‍රපංචය ඔවුන්ට කිසිසේත්ම සංවේදනයක් ඇති නොකරන නිසා විය හැකියි. නව දැනුම පිළිගැනීමට සමාජය සූදානම් කිරීම පාලකයින්ට අයත් කාර්යයක් ලෙසයි මා දකින්නේ.

No comments:

Post a Comment