Sunday, August 11, 2019

සමපාත වූ සුසුම් දෙකක් !



 
               
            




















            දිනය කවදාදැයි හරියට ම මතක නැති, එහෙත් එය වසරකට පමණ පෙර සුන්දර සෙනසුරාදාවකි' උදෑසනකි' මම පෞද්ගලික බසයක කාර්යාලයට පැමිණෙමින් සිටියෙමි' අවුරුදු තිස්පහක් හතලිහක් පමණ වයසැති ලලනාවක්" මා හිඳ සිටි පිටුපස අසුනේ මගේ අසල්වැසිනිය වූවා ය.

           පෞද්ගලික බසයක අසා සිටිය හැකි - රස විඳිය හැකි ගීත ඇසෙන්නේ කලාතුරකිනි. එබඳු කලාතුරකින් දවසක් වූ එදා, ඒ බසයේ සොඳුරු ගීත මාලාවක් ඇසෙමින් තිබිණ. වෙනදාට බස්වල රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ මව්වරුන් සිතින් සිහිකරන මට, එදින ඒ බසයේ සේවක දෙපළ ගැන ද ඔවුන්ගේ මව්වරුන් ගැන ද ඉපදුණේ කෘතඥතාපූර්වක කල්පනාවකි' මේ අතර අමරසිරි පීරිස් ගයන ඒ අමයුරු ගීතයේ ආරම්භක වාදනය නැඟෙන්නට විණි.




           හිස ආසනයට හේත්තු කොට ගෙන මම දෑස් පියා ගතිමි. මා වඩාත් ප්‍රිය ගීත බොහෝ විට මා විඳින්නේ දෑස් පියාගෙන, මගේම සංසාර චක්‍රයක ඒ අත්දැකීම් පිහිටුවාගනිමිනි. මං ආසා එහෙම ය. මේ ද, එබඳු ආත්මීය ව මා බැඳුණු ගීයකි.

           ගීතය ඇසුණු මිනිත්තු තුන, ඊට වඩා දිගු කාලයක් යැයි මට සිතුණේ ගීතයේ පද ඔස්සේ ඉපැරණි මතකයන් අතර සිත රස්තියාදු වෙන අතරේ ය. ගීතය නිමා විය. මටත් නො දැනීම මා හෙලූයේ දිගු සුසුමකි. මගේ අසල්වැසිනිය, ඉන් තත්පර දෙක තුනකට පමණ පසු තමන්ගේ දිගු සුසුම කෙළවර කරනු මට ඇසිණ' දැනිණ' මම දෙනෙත් විවර කළෙමි.

            එක ළඟ, සමපාත වූ සුසුම් දෙකක් æ

            ඒ අහඹු සුසුම්, දෙදෙනා ම මඳකට විස්මයට පත් කළ සේ ය.

           හිස නො හරවා, එහෙත් ඇස් අගින් මා දෙස බලා ඉක්බිති ඈ කවුළුවෙන් අනන්තය දෙස බලාගෙන දිගු කල්පනාවකට වැටුණා ය. මම ද ඒ අනන්තය දෙස ම බලාගෙන සම්මා සතියෙන් ද, යහපත් කල්කිරියාවෙන් ද සිටියෙමි. එහෙත් බසයේ ඉන්පසු වාදනය වූ ගී මොනවාදැයි මට නෑසිණ. ඇය අසුනින් නැඟිට පෑලියගොඩ - අලුත්පාලම බස් නැවතුමෙන් බැස, තවත් බසයකට නඟිනු පිණිස දිව යනු මා බලා සිටි වග මට මතක ය.

           දැන් ඇය බසයෙන් බැස ගොස් වසරකට වැඩි කලක් ගත වී තිබේ. එහෙත් මම තවමත් ඒ බසයේ - ඒ අසුනේ හිඳ කවුළුවෙන් අනන්තය දෙස බලා හිඳිමි. ඒ ගීය හෙමි හෙමින් මගේ සවණට පාව එනු දැනෙයි. එහෙත් මා අද ඒ ගීය විඳින්නේ තනිව ම ය. අසල්වැසිනිය නැති වුව, ඇගේ දිගු සුසුම ඉමහත් බරකින් මගේ සිතට තවමත් දැනෙයි'

          ඉකි ගසා හ`ඩන අතීතයක
          කඳුළු එක්ක ගනුදෙනු කරනා
          මට මගේ නොවන
          මගේම ආදරයක් තිබුණා

          හීනෙන් හිනැහී තුන් යම මා රවටා
          මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
          නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
          මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

          රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
          සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
          උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
          මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

          ඉතිං සහෘදයිනි, සුසුම් සමපාත වන අවස්ථා ජීවිතයේ කොතෙක් තිබුන ද, අහඹු ලෙස සුසුම් දෙකක් සමපාත කළ, අමිල තේනුවර විසින් විරචිත, දර්ශන රුවන් දිසානායක විසින් සංගීතය නිමැවූ, අමරසිරි පීරිස් විසින් සිය බරැති හ`ඩින් ගයන ඒ ගීතයේ අපූර්වත්වය මා කැඳවනු ලබන්නේ උමතු චමත්කාරයකට බව අමුතුවෙන් කිය යුතු ද? 
 
          නිවී සැනසිල්ලේ මේ ගීතය නැවත අසා බලන්න. මගේත්, ඇගේත් සුසුම් දෙක අතරට ඔබේ සුසුම ද එක්වනු නිසැක ය. ගීතය අසන්න මෙතැනින්..



1 comment: