Sunday, November 3, 2019

කෙබඳු ගුරු තරුවක්ද නිවුණේ - කෙබඳු හදකද ගැස්ම සිඳුණේ...


ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේ නිර්මාතෘ පී.ජී. ජයසේන ගුරු පියාණන් වර්ෂ  2019ක් වූ නොවැම්බර් මස 03, එනම් ඊයේ ජීවිතයෙන් නික්ම ගියේය. පරම්පරා ගණනාවකට ඥානාලෝකය පෑදූ ඔහු මෙම විද්‍යාලය ගොඩනැඟීම සහා ගත් වෙහෙස,  මෙරට පාසල් ඉතිහාසය පිළිබඳ ලියැවෙන ග්‍රන්ථයක අනිවාර්ය පරිච්ඡේදයක් විය යුතු තරමට අපූර්වත්වයක් සහිතය.  එමතු නොව එතුමාගේ විදුහල්පති භූමිකාව, ලංකාවේ පාසලක විදුහල්පති භූමිකාව පිළිබඳ පරමාදර්ශයක් බඳුය.  එතුමා සමග  2011 වසරේදී මා විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලද මෙම ලිපිය, මෙස ඔබ හමුව තබන්න ජයසන ගුරු පියාණන්ට උපහාරයක් වශයෙනි.
                                                                             



දශක තුනකට පමණ පෙර නිරතුරුව ඇවිද ගිය ශ්‍රී බෝධි පාරේ නිහවම ඇවිද යමි. එහෙත් පාසල හා සබැඳි ළමා වියේ මතකයන් සිතෙහි නොනවත්වා නැඟ එන්නේ රළක් සේය. එදවස ශ්‍රී බෝධි පාර පුරා ගලා ගිය දිය දහර අද මාර්ගය පසෙකින් ගලා ගෙන යයි. එදවස මඟ දෙපස හිඳ අපට සෙවණ දුන් තුරු පෙළ අද නැත. ශ්‍රී බෝධි පාරේ කෙළි දෙළෙන් පිය නැඟූ ඒ මතක සිත අවදි කර ගනිමින් මේ පා නඟන්නේ ශ්‍රී බෝධි විද්‍යාලය වෙත යැයි ඔබ සිතනු ඇත. නැත. අද මා පිය නඟන්නේ, අතීතයේ අප අකුරු කළ ඒ සොඳුරු සිප් හල ගොඩ නැඟූ දිරිය මිනිසා මුණ ගැසෙනු පිණිසය. ශ්‍රී බෝධි විද්‍යාලයේ නියමුවා හෙවත් සමාරම්භක විදුහල්පතිතුමා වූ පී.ජී. ජයසේන ගුරු පියාණන් හමුවනු පිණිසය.


එදවස ශ්‍රී බෝධි පාසල් බිමෙහි දුටු ඒ ගුරු පියාණන්ගේ රුව මතකයට නඟා ගන්නට උත්සාහ කරමි. ජාතික ඇඳුමින් සැරසුණු, ඒ පෞරුෂවත් ගුරු පියාණන්ගේ රුව මතකයට නැඟෙයි. නිවෙස වෙත ගොස් මම එතුමා අමතමි. මොහොතකින් ජයසේන ගුරු පියාණන් මා අබියස හිඳී. බෙහෙවින් වියපත් වුව එතුමාගේ පෞරුෂය අතීතයේ සේමය.


කෙටි කතාබහකින් ඉක්බිති එතුමාගේ මතක, ශ්‍රී බෝධි විද්‍යාලයේ ආරම්භක සමය වෙත කැඳවමි. දශක තුන හමාරකට පෙර ඒ අවධිය පිළිබඳ මතක ඔහුගේ සිතෙහි දැල්වෙන්නේ දෙනෙත් දීප්තියෙන් දිදුළවමිනි. 


''ඒ වනවිට ගම්පහට හොඳ පාසලක් අවශ්‍ය වී තිබුණා. ඒකට හේතුව වුණේ ගම්පහ නම් දරාපු පාසල් දෙකක් වුණු ගෝතමී විද්‍යාලයෙත්, බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙත් ලොකු තදබදයක් ඇතිවී තිබීම. ඒ වගේම ඒ පාසල්වල ගොඩනැගිලි තවදුරටත් ව්‍යාප්ත කරන්නත් බැරි තත්ත්වයක් ඇති වී තිබුණා. ඒ නිසා තව පාසලක් ගොඩනැඟිය යුතුයි කියලා මතයක් ගොඩනැගුණා. එක් දහස් නවසිය පනස් ගණන්වල ශ්‍රී බෝධි විද්‍යාලය නමින් ඉංග්‍රීසි පාසලක් මේ ගමේ තිබුණා. කල් යාමේදී ඒ පාසල වැසී ගියා. හැත්තෑව දශකයේදී මේ ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ උපදෙස් මත ඒ ගොඩනැගිලි රජයෙන් බදු ගෙන බණ්ඩාරවත්ත  පරාක්‍රම විද්‍යාලයේ පන්ති හතරක් මෙතැන පවත්වාගෙන ගියා...''


එතුමා ශ්‍රී බෝධි විද්‍යාලය ආරම්භ කිරීමට බලපෑ පසුබිම පැහැදිලි කරයි.


''ඉතිං මං ඒ වන විට ඒකල  මහා විද්‍යාලය ගොඩ නඟමින් හිටියේ. එවකට සිටි අධ්‍යාපන අධ්‍යක්ෂතුමා මාව කැඳවා තත්ත්වය පැහැදිලි කරලා, මේ අලුත් ප්‍රාථමික පාසල ආරම්භ කරන්න මට පැවරුවා. ඊට පස්සෙ අධ්‍යක්ෂතුමා ඇහුවා මේ පාසලට දමන නම මොකක්ද කියලා. එතකොට මම කිවුවා, සර් මෙතැන තිබෙන්නේ ශ්‍රී බෝධි පාර. ශ්‍රී බෝධි පාරෙ මේ පාසල පටන්ගන්න නිසා ශ්‍රී බෝධි විද්‍යාලය කියලා නම දැම්මොත් ඒකෙ වටිනාකමක් තිබෙනවා. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින් මෙතැන ශ්‍රී බෝධි විද්‍යාලය කියලා පාසලක් තිබුණා. නමුත් ඒ පාසල වැහිලා අවුරුදු ගණනක් ගත වෙලා. එතකොට ඒ ශ්‍රී බෝධි විද්‍යාලය කියන නම මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. කවුරු හරි මොනවත් ඒ ගැන කියන්න ආවොත් ඒ වගකීම මම භාරගන්නව කියල කිවුවා. ඉතිං මමත් අධ්‍යක්ෂතුමාත් එකතු වෙලා මේ අලුතින් පටන් ගන්න යන පාසලට ශ්‍රී බෝධි විද්‍යාලය කියල නම දැමුවා. ඊට පස්සේ එවේලෙම අධ්‍යාපන අධ්‍යක්ෂතුමා මට ශ්‍රී බෝධි විද්‍යාලයේ විදුහල්පති වශයෙන් පත්වීම් ලිපිය ලියල දීලා අදම පටන් ගන්න කිවුවා. ඔන්න ඔහොමයි ඉතිං ආරම්භ වුණේ...''


මොහොතක් නිහඬව සිට එතුමා නැවත හඬ අවදි කරයි.

''ඊට පස්සේ මම පත්වීම් ලිපියත් අරගෙන ඒ භූමියට ආවා.ඒ වෙනකොට එතැන තිබුණු ගොඩනැගිල්ලේ පරාක්‍රම විද්‍යාලයේ පංති දෙකක් පවත්වමින් තිබුණේ. ඒ පංති දෙක භාරව හිටපු කුරුප්පු මහත්තයා මුණ ගැහිලා මම ඒකෙ පංති කාමර දෙකක් ඉල්ලා ගත්තා. ඊට පස්සේ ඒ මහත්තයාගෙන් ඩෙස් එකකුයි පුටුවකුයි ඉල්ලාගෙන වාඩි වෙලා කල්පනා කරන්න පටන් ගත්තා. මගෙ පැමිණීම සටහන් කරන්න පොතක්වත්, ලොග් පොතක්වත් මොනවත් නැහැ. මම ආපසු අධ්‍යාපන කන්තෝරුවට ගිහින් පැමිණීම සටහන් කරන්න පොතකුයි, ලොග් පොතකුයි, ඔරලෝසුවකුයි අරගෙන ආවා...''


ඉක්බිති අලුත් පාසල ගොඩනැගීමේ කාර්යය ඇරඹිණ. ඉන්පසු එතුමා හමුවේ වූ බැරෑරුම් කාර්යය වූයේ පාසල සඳහා අවශ්‍ය ගුරු භවතුන් සොයා ගැනීමය. ඔහු ඒ බව අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට දන්වා සිටියේය. 


''ආවට ගියාට ගුරුවරු ගන්න එපා. හොඳට හොයල බලල මට කියන්න. මං ඒ ගුරුවරු අරගෙන දෙන්නම්...''


අධ්‍යක්ෂතුමාගෙන් ලැබුණේ හොඳ උපදෙසක්ද සහිත ප්‍රතිචාරයකි. ඒ අනුව විදුහල්පතිතුමා ගුරු භවතුන් සිව් දෙනකු පාසල සහා තෝරාගත් අතර, ඔවුහු අධ්‍යක්ෂතුමන් විසින් ශ්‍රී බෝධි විද්‍යාලයට පත්කරනු ලැබූහ. 


''ඒ කාලෙ අපේ රටේ ප්‍රාථමික අධ්‍යාපනයෙ ලොකු අවදි වීමක් තිබුණු කාලයක්. කමලා පීරිස් මැතිණිය තමයි ඒ වැඩපිළිවෙළේ නියමුවරිය වුණේ. ඉතිං පාසලට පත්කෙරුණු ගුරුවරියන් තිදෙනාට කතා කරලා මං කිවුවා, ප්‍රාථමික පාසලක ගුරුවරියො අඳින හැටි, පංති කාමරය සකස් කරන හැටි, ළමයින්ට කතා කරන හැටි, ළමයින්ව හොඳින් හැඩගස්වන හැටි... මේ වගේ හැම දෙයක්ම ඉගෙන ගෙන එන්න කියලා ඒ අයව මුලින්ම බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයටයි, ගෝතමී විද්‍යාලයටයි යැවුවා. ඊට පස්සේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයටයි, කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයටයි යැවුවා. ඒ ගුරුවරියන් තිදෙනා උදේ පාසලට එනවා. පොත අත්සන් කරනවා. සල්ලි තිබුනෙ නැත්නම් මං අතින් සල්ලි දීලා ඒ පාසල්වලට යවනවා. ඒ අය අර පාසල්වලදී බලා ගත්ත දේවල් සටහන් කරගෙන ආවාම අපි සාකච්ඡා කරනවා. ඒ විදියට ඒ හතර දෙනාව පුහුණු කර ගත්තා. ඇත්ත වශයෙන්ම මගේ තෝරා ගැනීම හරි. ඔවුන් පුහුණු කර ගත් විදියත් හරි. ඒ හතර දෙනා අවංකවම ඒ කාර්යය කරන විදිය ඉගෙන ගත්තා. ඒ අතරෙ මමත් ප්‍රාථමික අධ්‍යාපනය ගැන පොත් කියවලා සේරම ඉගෙන ගත්තා. මං ප්‍රාථමික අධ්‍යාපනය ගැන දන්නේ නැතිව ගුරුවරුන්ගෙන් වැඩ ගන්නේ කොහොමද... නේද? ඊට පස්සේ මම පාසලට පිරිමි ගුරුවරයකුත් අවශ්‍යයි කියලා ඒ වෙනකොට අධ්‍යාපන කන්තෝරුවේ හිටපු කුලතුංග මහත්තයාවත් පාසලට අරගත්තා....''


එලෙස ගුරු භවතුන් සොයාගත් පසු විදුහල්පතිතුමා අභිමුව වූ විශාලතම අභියෝගය වූයේ පාසල සඳහා ළමයින් බඳවා ගැනීමයි.


''ඇත්තටම පාසලක් පටන් ගන්න ඕන අවුරුද්දෙ මුලනෙ. නමුත් ශ්‍රී බෝධි විද්‍යාලය ආරම්භ කරන්න සිදුවුණේ  1978 ජනවාරි 16 වෙනිදා. ඒ වනවිට ළමයින් අනෙක් පාසල්වලට බඳවාගෙන ඉවරයි. ඉතිං මම ඊළඟට ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියලා කල්පනා කළා. ඒ වෙනකොට බාලාංශය පංතියට ළමයි බඳවාගන්න බැරිව හිරවුණු අයදුම් පත්‍ර ගොඩක් අධ්‍යාපන කන්තෝරුවෙත්, බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙත්, ගෝතමී විද්‍යාලයෙත් තිබුණා. මම ඒ අයදුම් පත්‍ර අරගෙන ඇවිත් ඒ ඔක්කෝටම ලියුම් දැමුවා ශ්‍රී බෝධි විද්‍යාලයට ඇතුළත් වෙන්න එන්න කියලා. ඒ වෙද්දි මේ පාසල ගැන කවුරුවත් දන්නෙ නැහැනෙ. මම මේ අවට ගෙවල්වලට ගිහින් කිවුවා ශ්‍රී බෝධි විද්‍යාලය කියලා අලුත් පාසලක් පටන් ගත්තා. ළමයි මේ පාසලට එවන්න කියලා. මට මතක හැටියට අර යවපු ලියුම්වලටත් ප්‍රතිචාර හැටියට ළමයි 18 දෙනෙක් විතරයි ආවෙ. ඉතිං ඒ දහ අට දෙනා අපි බාලාංශයටයි, පළමුවන ශ්‍රේණියටයි බඳවාගෙන පටන් ගත්තා...''


එය අසාගෙන සිටින විට මගේ සිහියට ආවේ 'ගුරු ගීතය' නමැති සෝවියට් නව කතාවේ එන දුයිෂෙන් ආරම්භකරන අලුත් පාසලට ළමුන් බඳවා ගැනීම සඳහා ඔහුට විඳින්නට සිදුවුණු වෙහෙසෙය. එබඳු දුෂ්කර ව්‍යායාමයකට ජයසේන ගුරු පියාණන්ටද මුහුණ දෙන්නට සිදු වූ සේය. මේ අතර මුහුණ දුන් අපූරු සිදුවීමක් පිළිබඳච ජයසේන ගුරු පියාණන් හඬ අවදි කරන්නේ සිනාසෙමිනි. 


''අපේ ඉස්කෝලෙට එතරම් ප්‍රචාරයක් තිබුණෙ නැහැනෙ. ඉතිං බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයේ එවකට සිටි විදුහල්පතිතුමා ඒ පාසලේ ළමයින්ට කියල තිබුණා ඒ පාසලෙන් අස්වෙලා අලුතින් පටන් ගත්ත ශ්‍රී බෝධි විද්‍යාලයට ඇතුළත් වෙන්න ඒ පාසල හොඳයි කියලා. මේ කතාව අහල දෙමව්පියො කලබල වුණා. මොකද ඒ වනවිට ඒවා නමගිය ඉස්කෝලනෙ. මේ ඉස්කෝලෙ අලුත් එකක්නෙ. ඒ නිසා මේ අලුත් පාසල ගැන විශ්වාසයක් නැහැ මට ඇහෙන්න කෑගහමින් මේ ගමේ දෙමව්පියො පෙළපාළි ගියා. ඇත්තටම එදා ඒ සිද්ධිය මාව තව තවත් ධෛර්යවත් කරන්න හේතු වුණා. ඊට පස්සේ මම කොහොම හරි පාසල හොඳට හදාගෙන ගියා...''


දිරිය මිනිසුන් එසේය. තමන් හමුවට එන අභියෝග බාධකයක් ලෙස නොව, ආශීර්වාදයක් කර ගනිමින් වඩ වඩාත් ධෛර්යවත්ව නැඟී සිටින්නට ජයසේන විදුහල්පතිතුමා සමත් වූයේය. අලුත් පාසල පැවැත්වෙමින් යන අතර, එය ප්‍රදේශයේ සෙසු පාසල් අතරින් සුවිශේෂ ලෙස ඉදිරියට ගතහැකි ආකාරය පිළිබඳව එතුමා ඊළඟට කල්පනා කළේය. 


''ළමයින්ට ඉංග්‍රීසි භාෂාව උගන්වනවා කිවුවාම දෙමව්පියන්ට ඒක ලොකු දෙයක්නෙ. ඉංග්‍රීසි උගන්වන්න නියමව තිබුණෙ දෙකේ හෝ තුනේ පංතියේ ඉඳලා. මං කළ දේ තමයි බාලාංශයේ ඉ`දලා ඉංග්‍රීසි උගන්වන්න පටන් ගත්තා. දෙමව්පියෝ ඒකට හරිම කැමති වුණා. ඊට පස්සේ මම නැටුම්වලටයි, සංගීතයටයි ගුරුවරියන් දෙදෙනෙක් අරගෙන ඒ විෂයයන් දෙකත් උගන්වන්න පටන් ගත්තා. ඒ වගේම සියලු ළමයින්ට හොඳට ඉගැන්වුවා. ඉංග්‍රීසි, නැටුම්, සංගීතය විෂයයන් උගන්වන්න පටන් ගත්තාම ළමයිනුත් ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා...''
 

මේ අතර ශ්‍රී බෝධි විද්‍යාලය පිළිබඳව ප්‍රදේශය පුරා පැතිර යන්නට හේතු වූ  අපූරු කාරණයක්ද හෙළිදරව් කරන්නට එතුමා අමතක නොකරයි.


''තවත් අතුරු කතාවක් තියෙනවා, පාසලට ළමයි වැඩි වෙන්න බලපාපු. උදේට ශ්‍රී බෝධි විද්‍යාලයට තමන්ගේ ළමයි අරගෙන එන අම්මලා ඊට පස්සෙ ගම්පහ සිරිකුරුස විද්‍යාලය ළඟට ගිහින් එතැන ඉන්න අම්මලත් එක්ක කතා කර කර ඉන්නවා පාසල ඇරෙන තුරු. ඒ අතරේ ඒ අම්මලා ඉතිං ශ්‍රී බෝධියෙ විස්තරත් කියනවා. ඉංග්‍රීසි නැටුම් සංගීතය උගන්වනවා, ටීචලත් හො`දට උගන්වනවා, ඒක නිසා ඉස්කෝලෙ හොඳට වැඩ කෙරෙනවා කියලා. ඉතිං ඒ අය නිසා ශ්‍රී බෝධි විද්‍යාලය හොඳට පැවැත්වෙනවා කියල ජනතාව අතර කටින් කට පැතිරුණා. මෙන්න ඊළඟ අවුරුද්දේ ඉඳලා ළමයි පාසලට එන්න පටන් ගත්තා. අනෙක මේ ප්‍රදේශයේ ධනවත් පවුල්වල ළමයින් පිරිසකුත් ශ්‍රී බෝධි විද්‍යාලයට ඇතුළත් වුණා. එතකොට අනෙක් අයටත් පාසල ගැන විශ්වාසයක් ඇති වෙනවනෙ. පාසලට එන ළමයි සංඛ්‍යාව වැඩි වෙන්න ඒකත් වාසියක් වුණා...''


පාසල ක්‍රම ක්‍රමයෙන් ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් යන අතර, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත් අධ්‍යාපන බලධාරීන්ගේත් අවධානය ශ්‍රී බෝධි විද්‍යාලය වෙත යොමු කරවා ගන්නට එතුමා කල්පනා කළේය.


''අවුරුදු දෙක තුනක් යන තුරු ළමයි පාසල තුළම හැඩ ගැස්වුවා. හැබැයි මම කරගෙන යන වැඩපිළිවෙළ ගැන දැනුවත් කරන්නත් කටයුතු කළා. මුලින්ම පාසලේ ළමා සංදර්ශනයක් පවත්වන්න කටයුතු කළා. සිංහල අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුවා. ඊළඟට පුංචි ළමා උයනක් හදල විවෘත කළා. මේ වගේ කටයුතුවලින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රජයේ නිලධාරීනුත් ඇහැරුණා. මං තව හොඳ වැඩක් කළා. මට මතක විදියට ඒ පළමුවැනි ළමා සංදර්ශනයෙදි. එතකොට අධ්‍යාපන අධ්‍යක්ෂ වෙලා හිටියෙ යූ.ජී.පී. කාරියවසම් මහත්තයා. එතුමාට අධ්‍යාපනය ගැන හොඳ දැක්මක් තිබුණා. මං එතුමාට ආරාධනා කළා මේ ළමා සංදර්ශනය  බලන්න එන්න කියලා. එතුමා ඒ ආරාධනාව පිළිගත්තා. ඊළඟට මං පාසලේ ළමයින්ගේ මව්වරුන්ට කිවුවා, මේ උත්සවය දවසට කොට ගවුම් ඇඳගෙන පාසලට එන්න එපා, ලස්සනට සාරි ඇඳගෙන වැදගත් විදියට එන්න ඕන කියලා. ඇත්තටම දරුවන්ගේ දෙමව්පියන් එදා ඉතාම පිළිවෙළට සුන්දරව පාසලට ඇවිත් හිටියා. උත්සවය දවසේ කාරියවසම් මහත්තයා ඇවිත් කාරෙකෙන් බැහැලා පාසලේ වටපිට බලලා, අධ්‍යාපන කන්තෝරුවෙ දෙවන නිලධාරියා වුණු නිලමේ මහත්තයට කියල තියෙනවා, 'මිස්ට නිලමේ මේක මං හිතපු ජාතියෙ ඉස්කෝලයක් නෙවෙයි.' කියලා. නිලමේ මහත්තයා තමයි මට ඒ කතාව පස්සේ දවසක කිවුවේ. මමත් එදා කාරියවසම් මහත්තයාට පාසල හොඳින් බලාගන්න ඉඩහැරලයි බුලත් අතක් පිරිනමලා කතා කළේ. ඊට පස්සේ ළමා සංදර්ශනයේ තිබුණු නැටුම් ගැයුම් අංග දිහා ඒ නිලධාරීන් බලා හිටියේ වශී වෙලා වගේ. ඔවුන් ඒවා හරියට අගය කළා. මේ කටයුත්ත හොඳ ආරම්භයක් වුණා පාසලට අවධානය යොමු කරගන්න..''


අධ්‍යාපන බලධාරීන්ගේ සිත් තුළ ශ්‍රී බෝධි විද්‍යාලයීය සලකුණ සනිටුහන් කරන්නට විදුහල්පතිතුමා සමත් වූයේ එසේය. වැඩිකල් නොගොසින්ම ඔහුගේ ඒ උපක්‍රමය ඵල දරන්නට වූයේය.


''ඒ දවස්වල ළමයින්ට පුහුණු වෙන්න දෙන්න පාසලේ සංගීත භාණ්ඩ මොනවත් තිබුණේ නැහැ. ළමයි පෞද්ගලිකව ගත්ත ඒවයි, ළමයින්ට උදව්කරපු කිහිප දෙනෙක් දුන්නු ඒවයි තිබුණේ. මට දවසක් ආරංචියක් ආවා, පාසල්වලට බෙදලා දෙන්න සංගීත භාණ්ඩ අධ්‍යාපන කන්තෝරුවට ලැබිලා තියෙනවා කියලා. මං වහාම කන්තෝරුවට ගිහින් සංගීතය භාර නිලධාරී මහත්තය හමුවෙලා ඇහුවා මොනවද තිබෙන සංගීත භාණ්ඩ කියලා. තබ්ලා, හේවිසි  ඔය වගේ භාණ්ඩ වර්ග ගොඩක් තිබෙනවා කිවුවා. මං කිවුවා අපේ ශ්‍රී බෝධි විදුහලටත් ඕන කියලා. එතකොට ඔහු කිවුවා, 'අපෝ පොඩි ඉස්කෝලවලට දෙන්නෙ නැහැ. ලොකු ඉස්කෝලවලට විතරයි ඒවා දෙන්නේ' කියලා. ඊට පස්සේ මං ගිහින් කිවුවා අධ්‍යාපන අධ්‍යක්ෂ කාරියවසම් මහත්තයට. එතුමා අර නිලධාරියාව කැඳෙව්වා. කැඳවලා කිවුවා, මුලින්ම ශ්‍රී බෝධි විද්‍යාලයට අවශ්‍ය සංගීත භාණ්ඩ දීලා ඉතිරි ඒවා අනෙක් ඉස්කෝලවලට දෙන්න කියලා. අන්න එහෙමයි පාසලට අඩුපාඩුවක් වෙලා තිබුණු සංගීත භාණ්ඩ ටික ලැබුණේ....''


ජයසේන  ගුරු පියාණන් පාසලට අවශ්‍ය භෞතික සම්පත් ලබා ගැනීමට කටයුතු කරන අතරේම මානව සම්පත් ලබා ගැනීමේදීද විශේෂයෙන් සැලකිලිමත් වූයේය. එය දැකිය හැකි අවස්ථාවක් වූයේ ගුරු මාරුවලදීය.


''හිතු මනාපෙට කවදාවත් ශ්‍රී බෝධි විද්‍යාලයට ගුරුවරු ගත්තේ නැහැ. ශ්‍රී බෝධි විද්‍යාලයට එන්න කැමතියි කියල ගුරු මාරුවක් ආවොත් ඒ දවස්වල අධ්‍යාපන අධ්‍යක්ෂවරයාව සිටි හෙට්ටිආරච්චි මහත්තයා ඒ ගුරුවරයාට හෝ ගුරුවරියට කියනවා විදුහල්පතිතුමාව මුලින්ම හමුවෙලා එන්න කියලා. ඔන්න බලන්න එතුමාගේ ඒ තිබුණු ලක්ෂණය. මාව මුණගැහෙන්න එවන්නේ නැතිව එතුමාට ඒ ගුරුවරු ශ්‍රී බෝධියට දාන්න බලය තිබෙනවනේ. නමුත් එතුමා එහෙම කළේ නැහැ. මාව හමුවෙලා එන්න කියන්නේ මට මේ ගුරුවරයා හෝ ගුරුවරිය වැඩ කරන්න ගැලපෙනවද කියලා පරීක්ෂාකර ගන්න. බලන්න ඒක කොච්චර වැදගත්ද?''


ජයසේන ගුරු පියාණන්ගේ විදුහල්පති භූමිකාව හා ආචාර්ය මඬුල්ලේ කැපවීම නිසා ශ්‍රී බෝධි විද්‍යාලය ගම්පහ ප්‍රදේශය තුළ ජනප්‍රිය වන්නට වැඩිකල් නොගියේය. ආරම්භයේදී පාසල සහා ළමයින් සොයා යන්නට සිදු වූ එතුමාට වසර කිහිපයකට පසු දකින්නට ලැබුණේ පාසලට ළමයින් ඇතුළත් කරගැනීමට ඇතිවන තරගයකි. ජනප්‍රිය පාසලකට ළමයින් ඇතුළත් කර ගන්නා සමය උද්ගත වන තත්ත්වය එතුමා හමුවේද විය.


''පාසලට ඉල්ලුම වැඩිවෙන්න පටන් ගත්තාම දෙමව්පියෝ ළමයි දාගන්නා අරමුණින් එළවළු, කේක්, බිස්කට් වගේ සිත් ගන්න විදියට මොනවා හරි අරගෙන මාව හමුවෙන්න එන්න පටන් ගත්තා. ඒ වගේ අය ගෙදරට ආපුවාම මං මොකද කරන්නේ දන්නවද? මං අහනව, මහත්තයා මොකටද ආවේ? ළමයෙක් ඉස්කෝලෙට දාගන්න. ඔය අතේ තියෙන පාර්සලය මොකක්ද? එතකොට උත්තර දෙන්නේ නැතිව ඇඹරෙන කොට මං කියනවා, මේ පාර්සලය ගෙනාවේ මා උදෙසා නම් මට පොරොන්දුවක් වෙන්න ඕන, මහත්තයා ආපහු යන කොට මේ පාර්සලයත් ආපසු අරගෙන යනවා කියලා. එහෙම පොරොන්දු කරවා ගන්නවා. ඊට පස්සේ සාකච්ඡා කරල අවශ්‍යතාවය පුළුවන් නම් ඉටු කරලා දෙනවා. බැරි නම්, බැහැ කියල කියනවා. අපහසුතාවයට නම් පත් කළේ නැහැ. කොහොම හරි කරල දෙන්න උත්සාහ කළා. ඊට පස්සේ මං කියනවා, ළමය පාසලට ඇතුළත් කළාට පස්සේ ළමයගේ විදුහල්පතිතුමා හමු වෙන්න එන්න. දැන්ම ඔබයි මමයි අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ ගෙනාපු දේවල් මට උදව්වක් වශයෙන් ආපසු ගෙනියන්න කියලා. සල්ලි දීලා දරුවන් පාසලට ඇතුළත් කරගන්න එන දෙමව්පියන්ට මම කිවුවේ, අපේ පාසලට උදව් කරන්න කියලා. ඉස්කෝලේ තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය ඩ්‍රම්ස් අරන් දෙන්න කියලා ඔවුන්ට කිවුවා. ඒවට වැඩි වියදම් යන නිසා බල කිරීමක් කළේ නැහැ. නමුත් ඒ දෙමව්පියො පාසලට ඒ උදව් කළා. ඒ විදියට පාසලේ තූර්ය වාදක කණ්ඩායමත් හදා ගත්තා. ළමයි පාසලට ඇතුළත් කරන්න මං කවදාවත් සල්ලි ගත්තෙ නැහැ. මට එහෙම පෞද්ගලිකව මුදල් හෝ වෙනත් දේවල් ගන්න වුවමනාවක් තිබුනෙ නැහැ. ඒ නිසා මට ලොකු චිත්ත ශක්තියකින්, අභිමානයකින් පාසලේ වැඩ කරගෙන යන්න පුළුවන් වුණා...''


එතුමාගේ ස්ථීර, නොසැලෙන හඬෙහි තවමත් ඒ අභිමානය රැඳී තිඛෙන සේය. ශ්‍රී බෝධි විද්‍යාලය තුළ ස්වකීය භූමිකාව, ස්වකීය කාර්යභාරය පිළිබඳව එතුමා තුළ වන තෘප්තිමත්භාවයට තවත් හේතුවක් නම් එතුමාගේ විශ්‍රාම යාමෙන් පසු විදුහල්පති ධුරයට පත් කල්‍යාණි රාජපක්ෂ මහත්මිය ශ්‍රී බෝධි විද්‍යාලය වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට කාර්ය භාරයයි.


''මගෙන් පසුව පාසලේ විදුහල්පති ධුරයට පත් වුණේ කල්‍යාණි රාජපක්ෂ මහත්මිය. එතුමිය ශ්‍රී බෝධි විද්‍යාලය නියමෙටම ගොඩනැඟුවා...''


එතුමා ඒ වචන කිහිපයකින් පවසන්නේ තමන් සිදුකළ ආරම්භයට නිසි වටිනාකමක් ලබා දෙමින් විදුහල්පති රාජපක්ෂ මහත්මිය පාසල වෙනුවෙන් ඉටු කළ භූමිකාවයි.


අතීතයේ එතුමා සෙවනේ අකුරු කළ කුඩා දරු දැරියෝ අද වැඩිහිටියන් ලෙස එතුමාට මුණගැසෙති. ඇතැමෙක් නිරතුරුව එතුමා හමු වී සුව දුක් විමසති.


''ඇත්තටම ශ්‍රී බෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැකීමත් මට මහත් සතුටක්. අපි කටයුතු කළේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් විදියට. අපට වඩා ඉහළ මට්ටමේ වෘත්තීන්වල ඔවුන් නිරත වී සිටනවා. ඔවුන් තමන්ගේ පාසල අතහැර ගිහින් නැහැ. මගේ මේ අවසාන කාලෙදිත් සෑම විටම ශ්‍රී බෝධි විද්‍යාලයේ ප්‍රගතියක් දකින්න ලැබෙන එක තමයි මගේ එකම සතුට...''


වියපත් දෙනෙත් අග දිළිසෙන සතුටු කඳුළක් අතරින් එතුමා අවසාන වශයෙන් කීවේය.


ශ්‍රී බෝධි විද්‍යාලය අපමණ වීර්යයෙන් ගොඩ නැඟූ ඒ දිරිය මිනිසාගේ, ඒ සුවිශිෂ්ට ගුරු පියාණන්ගේ පා නමැද මම නික්ම එන්නට වීමි. ජයසේන ගුරු පියාණන් අවසන් වරට පැවසූ වැකිය, නික්ම එන අතරෙහිත් මා දෙසවනෙහි නින්නාද වනු දැනෙයි.


''මගේ මේ අවසාන කාලෙදිත් ශ්‍රී බෝධි විද්‍යාලයේ ප්‍රගතියක් දකින්න ලැඛෙන එක තමයි මගේ එකම සතුට...!''

2 comments:

  1. ඔබගේ හිටලර්ගේ කතාන්දරයට කොමෙන්ටුවක් දැම්මා. කියවන්න!

    ReplyDelete