Monday, September 9, 2019

පාස්කු ඉරිදා ඛේදවාචකයට මුහුණ දුන් දරුවන් දෙස අනුකම්පාවෙන් බලනවා වෙනුවට, බුද්ධිය - පෞරුෂය වර්ධනය වන පරිදි සාමාන්‍ය දරුවෙක් හදාගැනීමේදී ක්‍රියා කරන ආකාරයට කටයුතු කරන්න.



රටක ජාතික ආපදා අවස්ථාවකදී අසරණභාවයට පත්වන ප්‍රධාන කොටස වන්නේ දරුවන්ය. පසුගිය අප්‍රේල් මස 21 වන දා සිදු වූ (පාස්කු ඉරිදා) බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අපේ රට තුළ ජාතික ආපදා තත්ත්වයක් උද්ගත විණි. මෙයට මුහුණ දුන් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සමාජයක් ලෙස, රටක් ලෙස අප කළයුතු බොහෝ දේ තිබේ. කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා සහ නවයොවුන්විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය අපේක්ෂා නිපුණි හේවාගීගන මහත්මිය සමග ''ගවේෂණ'' සඟරාවේ අලුත්ම කලාපය වෙනුවෙන් මා විසින් සිදු කළ මෙම සම්මුඛ සාකච්ඡාව, ඒ දරුවන්ගේ මනෝ සමාජයීය සුරක්ෂිතතාව ගොඩනැඟීම පිණිස සිදු කළ හැකි දේ, සිදු කළ යුතු දේ අනාවරණය කරයි.




පසුගිය දා සිදු වූ බෝම්බ පිපිරීමත් සමග ඇති වූ ජාතික ආපදා තත්ත්වය තුළ කුඩා දරුවන්ගේ මානසිකත්වයට ඇතිවූ බලපෑම ඔබ හඳුනාගන්නේ කෙසේද?

කුඩා දරුවන් සැලකුවොත් මේ සිද්ධියට ඍජුව මුහුණ දුන් දරුවන් සිටිනවා. ඒ වගේම වක්‍රාකාරව මුහුණ දුන් දරුවන් සිටිනවා. ඍජුව මුහුණ දුන් දරුවන්ට සමාජයීය වශයෙන්, මානසික වශයෙන් බලපාන ආකාරය සහ වක්‍රව මේ සිදුවීම්වලට මුහුණ දුන් දරුවන්ට සමාජයීයව හා මානසිකව බලපාන ආකාරය වෙනස්. ඒ වගේම තමයි, ඍජුව මේ සිද්ධියට එක් වරක් මුහුණ දුන් දරුවොත්, වක්‍රාකාරව නැවත නැවතත් මෙම සිද්ධි මාලාව ගැන ජනමාධ්‍ය වෙතින් එන අනාවරණවලට මුහුණ දෙනවා. මේ තත්ත්වය තුළ පොදුවේ අප නිරීක්ෂණය කළ යම් තත්ත්ව තිබෙනවා. එකක් තමයි, දරුවන්ගේ කාංසාගතියක්, තැති ගැනුම් ස්වභාවයක් පොදුවේ අපිට දකින්නට ලැබුණා. එය අසනීප තත්ත්වයක් නෙවෙයි. නමුත් ඒ තත්ත්ව සාමාන්‍යයෙන් තිබෙන මට්ටමට වඩා යම්කිසි ඉහළ මට්ටමකින් පොදුවේ තිබෙන බව අපට දැනුණා. ඒ වගේම තමයි කාංසා තත්ත්වය, විෂාද තත්ත්වය වගේ රෝගී තත්ත්ව තිබෙන දරුවන්ගේ, ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් සිටි දරුවන්ගෙත් එම රෝග ලක්ෂණවල කිසියම් වැඩිවීමක් තිබෙන බව අපට දකින්නට ලැබුණා.

ඒ වගේම මේ දරුවන් සහ දෙමව්පියන් අතර තිබෙන සම්බන්ධය බැලුවාම, දෙමව්පියන්ගෙන් ඈත්වී සිටින්නට අකැමති, ඔවුන්ට වඩාත් සමීපව සිටින දරුවන් තුළ තමන් අනාරක්ෂිතයි යන හැඟීමක් ඇති වී තිබෙනවා. සමහර දෙමව්පියන් අපට කියූ දෙයක් තමයි, දරුවන් සෙල්ලම් කරන විලාසය වෙනස් වී තිබෙන බව. මෙය අපට සාමාන්‍යකරණය කරන්න අමාරුයි. නමුත් කුඩා අවධියට වඩාත් සමීප ක්‍රීඩා කරමින් සිටි දරුවන්, උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් සෙල්ලම් ගෙවල් දමමින් සිටි දරුවො, ඒ සෙල්ලම්ගෙවල්වලින් ඔබ්බට ගිහින්, යුද්ධ කරන ස්වභාවයක්, නැතිනම් සෙල්ලම් ගේ තුළට මේ සිද්ධි මාලාව එකතු කරගන්න ස්වභාවයක් තිබෙන බව සමහර දෙමව්පියන් ඇවිත් කියන කොට අපට තේරුණා. 

ඒ වගේම මේ දරුවන්ගේ නින්දේ ගැටලු, නිදාගැනීමේ අපහසුතා, සිහිනෙන් බියට පත් වීම වැනි තත්ත්වයනුත් තිබුණා. මේ සිදුවීම දරුවන්ට මානසිකව බලපෑවා, නැතිනම් ආතතියක් ඇතිවුණා කියල හිතන්න අපි ප්‍රධාන වශයෙන් දුටු ගැටලු මේවා.

මේ සිදුවීමට මුහුණ දුන් දරුවො මානසික ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේ වන විට පැමිණ තිබෙනවාද?

මේ සිද්ධියට ඍජුවම මුහුණ දුන්නු දරුවො කිහිප දෙනෙක් ප්‍රතිකාර ගෙන තිබෙනවා. දැනට මේ තත්ත්වය තිබෙන්නෙ මූලික අවස්ථාවෙ. මේකට ඍජුවම මුහුණ දුන් දරුවන්ට ඇතිවුණු කම්පනය, එක්වරම ඇති වුණු දැඩි ආතතිය ආදිය නැති වී යන්න කාලයක් ගතවෙනවා. එතෙක් ඔවුන්ට අවශ්‍ය සහයෝගය අප සපයමින් සිටින්නෙ.

මෙම සිදුවීමේදී මව්පියන්, සහෝදර සහෝදරියන් වැනි තමන්ගේ සමීපතමයින් අහිමි වෙනවා. මේ අහිමිවීම කියන දේ කුඩා දරුවන්ගේ මනසට බලපාන්නේ කොහොමද?

අහිමිවීම කියන දේ සැලකුවාම, මේ සිද්ධියේදී අහිමිවෙන්නේ එක්වරම. දරුවකුගේ කුඩා කාලයේදී මව්පියන් අහිමිවීම විවිධ හේතු නිසා විය හැකියි. සමහර වෙලාවට දරුවෙක් ඊට මුහුණ දෙන්න කාලයක් පුරා ලෑස්ති වෙනවා. අම්මාට හෝ තාත්තට රෝගාබාධයක් තිබෙනවා නම් දරුවාට යම්කිසි දැනීමක් තිඛෙනවා, අම්මාට හෝ තාත්තාට මෙහෙම රෝග තත්ත්වයක් තිබෙනවා, කොයි මොහොතේ හෝ මියයන්න පුළුවන් කියලා. නමුත් මෙතැනදි එදා උදෙත් තමන් සමග නීරෝගීව සිටිය කෙනෙක් තමයි නැති වුණේ. මේ වෙන්වීම දරා ගැනීම කියන එක උපරිම මානසික කම්පනයක් ශෝකයක් ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය මඟ හැර ගන්න උදව්වෙනවා, ඒ දරුවාට තිබෙන Supporting System එක. කොතරම් පිරිසක් ඉන්නවාද මේ දරුවාට සහනයක්, උදව්වක් සපයන්න කියන එක. මෙතැනදි වඩාත් සුදුසු වෙන්නෙ දරුවාගේ පරිසරයෙන් ස්වභාවිකව ලැබෙන උදව්. අපි දන්නවා මේ වගේ විපතකදි විශාල අවධානයක් ලැබෙනවා, විපතට පත් වුණු අයට උදව්කරන්න විවිධ පාර්ශ්වකරුවන් එනවා. සාමාන්‍ය හදිසි අනතුරකදි මව, පියා අහිමි වුනත් බොහෝ වෙලාවට පවුලේ සමීපතමයින් තමයි එකතුවෙලා, ඒ පවුලෙ අයට ශෝකයෙන් එළියට එන්න අවස්ථාව සලසන්නෙ. විශේෂයෙන්ම මේ වගේ මූලික අවස්ථාවකදි වඩාත්ම සුදුසු පියවර වෙන්නෙ ඒක. ඒ කියන්නෙ ඉතිරි වුණු පවුලකට වඩාත් සමීප පවුල්වලින් අවශ්‍ය කායික, මානසික සහ සමාජයීය වශයෙන් අවශ්‍ය වන උපකාර සැපයීම. මෙයින් දරුවාට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබාදීම. ඒ වගේම විවිධ ආගම්වලදි මරණයක් සිදුවුණාම, මේ මරණයෙන් පසු සිදුවන දේවල්වල, මරණයෙන් පසු සිදුකරන වතාවත්වල විවිධ වෙනස්කම් තිබෙනවා. මේ ආගමානුකූලව සිදු කරන චාරිත්‍රවලට දරුවාව සහභාගී කර ගැනීම සහ ඒ තුළින් දරුවාට තමන්ට දැනෙන දුක ශෝකය ප්‍රකාශකරන්න ඉඩ දීම ඉතාම වැදගත් වෙනවා. සමහර අවස්ථාවලදි දෙමව්පියො වැඩිහිටියො උත්සාහ කරනවා දරුවාට දැනෙන ශෝකය, හැඬීමෙන් ප්‍රකාශ වීම වළක්වන්න. උදාහරණයක් විදියට කිවුවොත් ඔයා අන්න එපා, ඇඬුවොත් අම්මට දුක හිතේවි. ඒ වගේම, වැඩිමල් දරුවකුයි කුඩා දරුවකුයි ඉන්නවා නම් එයින් වැඩිහිටි දරුවට කියනවා, ඔයා අඬනකොට මල්ලිත් අඬනවානෙ. ඒ නිසා ඔයා අඬන්න එපා කියලා. නමුත් හැඬීම කියන්නෙ කෙනෙකුගේ තමන්ට දැනෙන චිත්තාවේග ප්‍රකාශ කරන විදියක්. ඒක මේ ශෝකය ප්‍රකාශ කරන්න තිබෙන සරල සහ හොඳ ක්‍රමයක්. එහෙම නැතිවුණොත් ශෝකය හිත ඇතුළෙ එකතු වෙලා අන්තිමේ ශෝකය ප්‍රකාශ වෙන්නෙ සාමාන්‍ය තත්ත්වයෙන් එපිටට ගිහින්, වෙනත් ක්‍රමවලට.

මේ අහිමිවීම් එක්ක මේ වගේ අවස්ථාවකදි දරුවකුට දැනෙන දෙයක් තමයි, මේක සිදු වුණේ නැහැ කියලා. අපි කාට වුනත් හිතෙනවනෙ මේක වුණේ නැත්නම් කියලා. ඉතිං තමන්ට පෞද්ගලික අහිමි වීමක් සිදු වුණු පොඩි දරුවකුට හිතෙන්න පුළුවන් මේක සිදුවුණේ නැහැ කියල. ඒ වගේ දරුවෙක් තුවාල ලබල අසනීපයෙන් රෝහල්ගතව සිටියානම් ඒ තමන්ගෙ අම්මගෙ හෝ තාත්තගෙ මරණයේ අවසන් කටයුතුවලට සහභාගී වීමට අවස්ථාව අහිමි වුණා වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදි දරුවාට මේක විශ්වාස කිරීම ඉතාම අපහසුයි. ඒ නිසා එවැනි දරුවකුට තමන්ගෙ සමීපතමයාගේ මරණයේ අවසන් කටයුතුවලට සම්බන්ධ කරගන්න, ගෞරව දක්වන්න කෙටි වෙලාවකට හෝ සම්බන්ධ කර ගන්න පුළුවන් නම් ඒක වඩාත් සුදුසුයි. එසේ නොහැකි අවස්ථාවලදි මළගෙයට සම්බන්ධ වීඩියෝ දර්ශනයක් හෝ ඡායාරූප හෝ තිබෙනවා නම් ඒවා දරුවාට පෙන්වීම සුදුසුයි දරුවාගේ ශෝකය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් විදියට. ඒ වගේම සොහොනක් තිබෙනවා නම් එතැනට ගොස් ගෞරව කරන්න ඉඩ දීම, අදාළ ආගමික වතාවත්වලට සහභාගී කර ගැනීම සුදුසුයි. 

ඒ වගේම ඊළඟට දරුවාට  දැනෙන්න පුළුවන් එකක් තමයි, තමන් ගැන තරහක් ඇති වීම. මේ සිද්ධිය අම්මට වුණේ මං නිසා කියල දරුවාට වරදකාරී හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මොකද කුඩා දරුවෙකුට මේ සිද්ධිය සම්බන්ධ ක්‍රියාදාමය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැහැ. සමහර විට කුඩා දරුවෙකුට හිතෙන්න පුළුවන්, උදේ මගේ අතින් සිදුවුණු වරදක් නිසා තමයි අම්මා මාව දාල ගියේ කියල. ඊයේ නිදාගන්න යනකොට මම අම්මට සැර කරපු නිසා තමයි, මම අම්ම කියපු දේ ඇහුවෙ නැති නිසා තමයි මේක අම්මට වුණේ කියල. ඒ වගේ වරදකාරී හැඟීමක් එක්කම තමන් ගැන තරහක් ඇති වෙන්න පුළුවන්. මේවා කතා කරන්න දරුවාට ඉඩදීම, ප්‍රකාශ කරන්න එළියට ගන්න ඉඩදීම, ඒ වගේම ඒ සිද්ධිය සහ මේ සිද්ධිය අතර සම්බන්ධයක් නැහැ කියල දරුවාට තේරුම් කර දීම වැඩිහිටියන්ගේ පැත්තෙන් සිදුවිය යුතුයි. දෙමව්පියෝ දරුවන්ගෙ විනය හදාගන්න කරන ක්‍රියාවලදි සමහර විට කියනවා, ඔයා මේක කරන්නෙ නැතිනම්, ඔයා හොඳට ඉන්නේ නැතිනම් අම්මා ඔයාව දාලා යනව, අම්මා දෙවියන් ළඟට යනවා කියල. ඒ වගේ දේ සිදු වී තිබෙනවා නම් දරුවා එය තමන්ට සම්බන්ධ කරගෙන කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා දරුවාගේ ජීවිතයට ඒ සිදුවීම සම්බන්ධයක් නැහැ, දරුවාගේ ක්‍රියාවක් නිසා නෙවෙයි මේක සිදු වුණේ කියල දරුවාට අවබෝධ කරදෙන එක ඉතාම වැදගත්.

ඒ වගේම කුඩා දරුවකුගේ විශේෂයෙන්ම අවුරුදු 5ට අඩු දරුවකුට අම්මා හෝ තාත්තා කියන්නෙ දරුවාට පෙනෙන විශ්වාසදායීම සම්බන්ධය. ඒ සම්බන්ධය මත තමයි දරුවාගේ මුළු ජීවිතයම, ජීවිතයේ සම්බන්ධතා සියල්ලම ගොඩනැඟෙන්නෙ. එය හොඳ සම්බන්ධයක් නොවුනොත් ඉතිරි සම්බන්ධතා ගොඩනඟාගන්න අපහසුයි. කුඩා කාලෙදිම මේ සම්බන්ධතාව බිඳුනොත්, අපි හිතමු අම්මා හෝ තාත්තගෙන් එක්කෙනෙක් නැති වුණාම ඉතිරි වුණු කෙනාට ඒ අඩුවත් පුරවමින් දරුවාට වඩා සමීප වෙමින් මේ සුරක්ෂිතතාව, මේ සම්බන්ධතාව ඇති කරගන්න උදව් කරන්න පුළුවන්. යම් විදියකින් පවුලේ බොහෝ දෙනෙක් අහිමි වුණු දරුවෙක් නම්, තනිවුණු දරුවෙක් නම් පවුලේ නෑදෑයකුට හෝ වෙනත් සුදුසු කෙනෙකුට ස්ථීර වශයෙන්, ඒ කියන්නෙ දීර්ඝ කාලීනව මේ දරුවාට ආදරය රැකවරණය දෙන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම මේ කුඩාම දරුවන්ට රැකවරණය ලබා දෙන වැඩිහිටියන් අහිමි වුණාම, ඊට පස්සේ රැකවරණය දෙන වැඩිහිටියො කිහිප දෙනෙක් හමු වුනොතින් දරුවාට සුරක්ෂිත සම්බන්ධතා ගොඩනඟාගැනීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. දරුවෙකුගෙ පැත්තෙන් බැලුවොත් මෙවැනි ගැටලු තමයි ඇති වෙන්න පුළුවන්.

මෙවැනි තත්ත්වයට පත් වූ දරුවකුට පවුල් පරිසරය තුළ, ඥාති සම්බන්ධතා තුළ අනිවාර්යයෙන්ම විශාල අනුකම්පාවක් ලැඛෙනවා. සාමාන්‍ය දරුවකුට වඩා, අම්මා තාත්තා නැති දරුවා කියමින් විශේෂත්වයක් දක්වාවි. මේ අනුකම්පාව නිසා දරුවාගේ මනසට ඇති කරන බලපෑම කෙබඳුද?

එය නරක විදියට බලපාන්නත් පුළුවන්. මොකද අනුකම්පාව නිසා දරුවාගේ සියලුම කර්තව්‍යයන් සිදු කර දෙන්න වැඩිහිටියන් පෙළඹෙනවා. ඒ වගේම දරුවා ඉල්ලන හැම දෙයක්ම, දරුවාට ඇතිවන හැම අවශ්‍යතාවක්ම සපුරා දෙන්න උත්සාහ කරනවා. මෙතැනදි මතක තබාගත යුතු දේ තමයි දරුවාගේ තිබෙන මේ දුක ශෝකය ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න, සහායක් දෙන්න. හැබැයි අනෙක් දේවල්වලදි මෙ දරුවා සාමාන්‍ය දරුවෙක් විදියට සලකා කටයුතු කරන්න. අනෙක් දේවල්වලදි විශේෂත්වයකින් සැලකීමේදී මේ දරුවාගේ පෞරුෂය ගොඩනඟාගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනුකම්පාවෙන් බලනවා වෙනුවට, සාමාන්‍යයෙන් අපි දරුවකුගේ සංවර්ධනයට, බුද්ධිය වැඩි වෙන්න, පෞරුෂ වර්ධනයට සාමාන්‍ය දරුවෙක් බලා හදා ගැනීමේදී ක්‍රියාකරන ආකාරයට තමයි ක්‍රියා කළ යුතු වෙන්නෙ.

මේ දරුවන් දැනට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සිටින දරුවන් විය හැකියි. නැතිනම් පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට පැමිණීමට නියමිත දරුවකු විය හැකියි. මෙවැනි දරුවෙකුට පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ලැබෙන ප්‍රතිචාර හා ගුරුවරුන්ගෙන් ලැබෙන සැලකිලි හෝ ප්‍රතිචාර මනසට සිදුකළ හැකි බලපෑම පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?

මෙහි පැති කිහිපයක් තිබිය හැකියි. සමහර වෙලාවට බොහොම අනුකම්පාවෙන් බලනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට අනුකම්පාවෙන් තොරව බලනවා වෙන්නත් පුළුවන්. මොකද, ඒ දරුවා මව්පිය දෙදෙනාගෙන් එක් අයකු සමගයි හැදෙන්නෙ. එතකොට ඒ දරුවාට බලපාන ආර්ථීක - සමාජ ප්‍රශ්න තිබිය හැකියි. සහ මේ සිදුවීම සමග දරුවා තුළ ඇති වුණු ශෝකය පවතින ශෝකයක් වෙන්න පුළුවන්. මේවාත් සමග තමයි දරුවා පාසලට යන්නේ. එක පැත්තකින් පවුල් පරිසරයෙන්, අනෙක් අතින් දරුවා තුළින් වෙන්නට පුළුවන්. එතකොට දරුවා දෙස අනුකම්පාවෙන් බැලීම එතරම් සුදුසු වෙන්නේ නැහැ. දරුවාට හොඳ නරක පෙන්වා දීම, දරුවාගේ හොඳ අගය කිරීම සහ දරුවාව යහ මඟට ගන්න අවශ්‍ය ආකාරයේ යම් කිසි විනයානුකූල පද්ධතියක් තුළ දරුවා හැදීම වැදගත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඇතිවන ආර්ථීක සමාජයීය ප්‍රශ්නත් එක්ක දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යම් යම් බාධා එන්න පුළුවන්. මේවා පිළිබඳව ගුරුවරු ඇත්තටම සංවේදීව කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම මේ මූලික අවස්ථාවෙ සමහර වෙලාවට වෙනදා තරම්ම සම්පූර්ණ ධාරිතාවෙන් යුතුව වැඩ කිරීමේ අපහසුතා මේ දරුවන්ට ඇති විය හැකියි. ඒ වගේ වෙලාවලදි සංවේදීව ඉඳල දරුවාට සහාය දක්වල ආපසු පරණ සිටි තත්ත්වයට ගන්න මඟ පෙන්වීමක් කළ යුතු වෙනවා, විශේෂයෙන්ම පාසල් අවධියේදි.

මෙවැනි ජාතික ආපදා තත්ත්වයකට පසු පාසල් පද්ධතිය තුළින් ළමයින්ගේ මානසිකත්වය ගොඩනැඟීමට ලැබුණු දායකත්වය මෙයට පෙර සිදුවීම් සම්බන්ධ නිරීක්ෂණ ආශ්‍රිතව පැහැදිලි කළොත්...

මේ වගේ සිදුවීමකට මුහුණ දුන් අයට පශ්චාත් ව්‍යසන ක්ලමථය නමැති මානසික තත්ත්වය ඇතිවෙනවා. නමුත් අපට තිබෙන අතීත අත්දැකීම් අනුව අපිට වැටහුණු දෙයක් තමයි, අපේ දරුවන් සම්බන්ධව සමාජයේ තිබෙන රැකවරණ පද්ධතිය, සමාජයෙන් ලැබෙන රැකවරණය වඩාත් පුළුල් කියන එක. අපේ සමාජයේ පවුල කියන්නේ බොහොම සමීප, ශක්තිමත් එකක්. විශේෂයෙන් මෙවැනි සිදුවීමකදි කලින් ඈත් වී සිටි අයත් එකතු වෙනවා. දරුවන්ට එකවර සහායක් ලැබෙනවා, ඒ පවුල් සංස්ථාව ඇතුළෙන්. අපි දකින දෙයක් තමයි, මේ පවතින ගැටලු ඇතිවන දරුවන් ප්‍රමාණය, මේ සිදුවීමට මුහුණ දුන් දරුවො සංඛ්‍යාව සමග සාපේක්ෂව බැලුවාම බොහොම කුඩා ප්‍රමාණයක්. මේ ප්‍රමාණයට විශේෂ සහන, විශේෂ ප්‍රතිකාර ක්‍රම, උපදේශනය, සහයෝගය අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි දරුවන් සම්බන්ධව ගුරුවරුන්ගේ නිරීක්ෂණ තිබෙනවා නම් ඔවුන්ට පුළුවන් ඒ දරුවන්ව රෝහලක් වෙත, වෛදවරයකු වෙත යොමු කරන්න. නමුත් තවම ඒකට කාලය නෙවෙයි, තවම මෙහි උණුසුම ගිහින් නැහැ. තවම මේ දරුවන්ට ඉතාම සමීපව පවුල සහ ආගමික සංවිධාන එක්වී ගොඩනැඟී තිබෙන පද්ධතියෙන් හොඳටම උදව් උපකාර ලැබෙනවා. 

        අපට පෙර ති‍බෙන අත්දැකීම් අනුව බැලුවත්, මේ වගේ විශේෂ උදව් අවශ්‍ය වෙන දරුවන්, සිද්ධියට සාපේක්ෂව ලොකු ප්‍රමාණයක් වෙන්නේ නැහැ. ඒ කොටස පාසලක් තුළ හඳුනාගත හැකියි. සහ පාසල් තුළ සිටින උපදේශන ගුරුවරුන්ගේ දැනුම, මෙවැනි දරුවන්ට උදව්කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධ දැනුම හා අවබෝධය වර්ධනය කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. ඒ වගේම එවැනි උපදේශනවලට එහා ගිය සහයෝගයක් දරුවකුට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන සාකච්ඡා වෙමින් පවතිනවා. රටක් විදියට ගත්තාම මේ සිද්ධියට මුහුණ දුන් අයට සෞඛ්‍ය ක්ෂේත්‍රය විදියට, වෛද්‍යවරුන් විදියට සංවිධානාත්මකව උපකාර කරන්නේ කොහොමද කියල සාකච්ඡා වෙමින් තිබෙනවා. ඒ නිසා මේ දරුවන් මුළුමනින්ම පාසලටම දරාගත යුතු බරක් වෙන එකක් නැහැ. මැදිහත්වන පාර්ශ්ව සමග පාසලට මෙය විසඳාගන්න පුළුවන් වේවි කියා හිතනවා.

මෙම සිදුවීම සම්බන්ධ ජනමාධ්‍ය ආවරණවලදී වගේම, පුද්ගල මට්ටමේ කතාබහේදීද එක් ජාතිකත්වයක් - එක් ආගමක් ගැන අනිවාර්යයෙන්ම සඳහන් කිරීම සිදුවෙනවා. මෙහිදී මෙම සිදුවීමට මුහුණ දී ජීවතුන් අතර සිටින දරුවන්ගේ මනස තුළ වගේම, සමාජයේ සෙසු දරුවන්ගේ මනස තුළත් මෙම ජාතිකත්වය - මෙම ආගම කෙරෙහි වෛරයක් බවට මෙය පත් නොවීම සඳහා කටයුතු කළ යුතු ආකාරය කෙබඳුද?

මම හිතන්නේ ඒක වැඩි වශයෙන්ම දෙමව්පියන් සතු කාර්යභාරයක්. මේ සිද්ධියත් සමග එක් ජන කොට්ඨාසයක් වෙත ඇඟිල්ල දිගු වුණා. ඔවුන් පිළිබඳව වෛරී හැඟීම් උපදින ආකාරයේ, ක්‍රෝධය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් වුණා. නමුත් මේ සිද්ධියට සම්බන්ධ ඒ සමස්ත ජන කොටස නෙවෙයි, ඔවුන්ගේ අදහස්වලටත් පටහැනි අන්තවාදී කුඩා පිරිසක් කියන දේ දෙමව්පියන් දරුවන්ට පැහැදිලිව අවබෝධ කර දිය යුතුයි. විශේෂයෙන්ම මේක වැදගත් නව යොවුන් වියේ සිටින දරුවන්ට. ඔවුන් මේ වන විට ජනමාධ්‍ය සමග බොහොම සමීපව කටයුතු කරනවා. ඒ වගේම විද්‍යුත් මාධ්‍යවලිනුත් ඔබ්බට ගොස් සමාජ මාධ්‍ය සමග ඔවුන් ඉතාම සමීපව කටයුතු කරනවා. සමාජ මාධ්‍ය ජාලවල එන අදහස් බොහෝවිට පෞද්ගලික අදහස්, මත දැක්වීම්. සමහර අදහස් අතිශයෝක්තියෙන් කරුණු දැක්වීම්, යම් කිසි විදියක ක්‍රෝධය වෛරය ඇතිවන විධියේ අදහස්. ඒ නිසා මෙම සිදුවීම් ගැන නව යොවුන් වියේ දරුවන් සමග දෙමව්පියන් විවෘතව කතා කිරීම තමයි සුදුසු. ඒ සමග මේ දරුවන් තුළ එම සිදුවීමෙන් ඔබ්බට ගොස්, මෙතැන යම්කිසි කොටසක් ඉලක්ක කරගෙන සිදු වුණත් ඉන් එහා ඇති තත්ත්වය කෙබඳුද, මේ කොටස මෙහෙයවන බාහිර සමාජ - සංස්කෘතික - දේශපාලන හා සමාජයීය වටපිටාව කෙබඳුද කියන අවබෝධය ඇති කරන එක වැදගත් වෙනවා. කුඩා දරුවන් සම්බන්ධව නම් මම විශේෂයෙන් අවධාරණය කරන්නේ මේ සිදුවීම සම්බන්ධ ජනමාධ්‍ය ආවරණවලට, ඒ දරුවන් නිරාවරණය නොකර සිටීම වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම, අවුරුදු 13න් පහළ දරුවන්ට මේ සම්බන්ධ ප්‍රවෘත්තිවල පෙන්වන දර්ශන, සමාජ මාධ්‍යවල සාකච්ඡාවන දේවල් දැනගැනීම අත්‍යවශ්‍ය නැහැ. මේ වයසේ දරුවන්ගේ එදිනෙදා කටයුතු සම්බන්ධ තීරණ ගන්නේ දෙමව්පියන්. ඒ නිසා ඔවුන් ඒ ප්‍රවෘත්තියක් දැන ගත්තේ නැහැ කියන එකෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ.  මොකද, මේවා දැනගැනීම නිසා මේ දරුවන් තුළ මානසික ආතතිය, පීඩනය ඇති වෙනවා. අනෙක් අතට ඒ නිසා ක්‍රෝධය, වෛරය ඇති වෙන්නත් පුළුවන්. අපි එක රටක් විදියට ජීවත්වෙන්න නම්, එක රටක් විදියට ඉදිරියට යන්න නම් ක්‍රෝධ, වෛර හැඟීම් විශේෂයෙන්ම මේ අනාගත පරපුරට දෙනවද කියන එක ගැන දෙමව්පියො පාලනයක් ඇති කරගත යුතුයි.

දරුවා ඉගෙන ගන්නේ ජාතිකත්වයන් කිහිපයකට අදාළ දරුවන් සිටින පාසලක නම්, සියලු දරුවන් එකතු වී වැඩ කිරීම, එක් ආගමක කටයුත්තක් බහු ආගමික කටයුත්තක් ලෙස සියලු දෙනා සහභාගීකරගෙන සිදු කිරීම වැදගත්. දරුවන්ගේ මනසට කාවද්දන්න ඕන ඒ සහජීවනය. දරුවන්ට නැවත නැවත ඒ සිද්ධියට පෙර දේවල් මතක් කරමින්, ඒ ඒ මිතුරන් සමග සහයෝගයෙන් කටයුතු කළ හැටි, උදව් කළ හැටි සිහිපත් කරමින් දරුවන්ගේ මනස සකස් කිරීම වැදගත්.

ඒ වගේම මේ සිදුවීම් සමග විශේෂයෙන්ම තරුණ දරුවන් තුළ ඇති විය හැකි තත්ත්වයක් තිබෙනවා.  මේ දරුවන්ට පෙර පැවති යුද්ධය ගැන අත්දැකීම් තිඛෙනවා. අඩුම ගණනේ පෙර පැවති යුද්ධය ගැන ඔවුන් අසා හෝ තිබෙනවා. ඒ නිසා මේ දරුවන් තුළ මෙම සිදුවීම නිසා තැති ගැන්මක් එනවා අපිට ආපසු ඉස්සර වගේ තත්ත්වයකට යන්න වේවි, මෙතැනින් එහාට අපිට රටක් විදියට ගොඩනැඟෙන්න බැරි වේවි කියලා. මීට පෙර පැවති ත්‍රස්තවාදයත් රජය විසින් පාලනය කළා, ඒ වගේම මේ අවස්ථාවෙත් මැඩපවත්වන්න පුළුවන්, රටක් විදියට අපට ඉදිරියට යන්න පුළුවන් කියන හැඟීම බලාපොරොත්තුව තරුණ දරුවන් තුළ ඇති කරන එකත් වැදගත් වෙනවා.

මෙම සිදුවීමට අදාළ ජාතිකත්වය විශේෂ කොට හඳුනාගත හැකි පුද්ගල ප්‍රතිරූප, සංකේත, ඇඳුම් පැළඳුම් එදිනෙදා සමාජයේ නිතර දකින්නට පුළුවන්. එදිනෙදා ජීවිතයේදී, සමාජයේදී මේ ''සංකේත ලෝකය'' ඒ සිද්ධියට මුහුණ දුන් දරුවකුගේ මනසට බලපාන ආකාරය ඔබ හඳුනාගන්නේ කෙසේද?

ඇත්තටම මේ සම්බන්ධව දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් දරුවන්ට පැහැදිලි කිරීමක් සිදුවිය යුතුයි, එයට අදාළ වන්නේ ඒ සියලු ආගමිකයින්, ජාතිකයින් නෙවෙයි කියලා. කුඩා දරුවන්ට කතා කරද්දි, ඒ පාසල මිශ්‍ර ජන කොටස් සිටින පාසලක් නම් දරුවාට ඒ පාසල තුළින්ම උදාහරණ අරගෙන පැහැදිලි කර දෙන්න පුළුවන් දෙමව්පියන්ට. සුලු නරක පිරිසක් මේ වගේ දෙයක් කළාට, මේ ඉස්කෝලේ ඉන්න ඔයාගෙ යාලුවො කොච්චර හොඳද බලන්න, ඒ අය එක්ක සහයෝගයෙන් ඉන්න කියල කියා දෙන්න  පුළුවන්. ඒ වගේ පැහැදිලි කරන්න පුළුවන් පොඩි දරුවන්ට. ඊළඟට නව යොවුන් වියේ දරුවන්ට පෙන්වා දෙන්න පුළුවන්, මේ තත්ත්වය ඇති කරන්නට බලපෑ නමුත් මේ සිද්ධියෙන් ඔබ්බට ගිය අපි නොදන්න කාරණා රාශියක් තිබෙන බව. දරුවන්ට ඒ අවබෝධය ලබා දෙන්න පුළුවන් නම් ඒ ජාතිකත්වය දෙස වෛරයකින් හෝ තැතිගැන්මකින් හෝ බැලීම අඩු කරගන්න විශාල පිටිවහලක් වේවි.

1983 කළු ජූලියට මුහුණ දුන් දෙමළ දරුවන් සහ තරුණ තරුණියන් පසු කාලයේදී කොටි සංවිධානය තමන්ගේ සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා පාවිච්චි කළ බව අප දන්නවා. පසුගිය දා ඇති වූ සිදුවීමේදී තමන්ගේ සමීපතමයින් අහිමි වූ දරුවන්ව එබඳු ජාතිකත්වයකට විරුද්ධව යම් බලවේගයකට අනාගතයේ යොදාගත හැකි මානසික විභවය ඔබ දකින්නේ කෙසේද?

මේ සිද්ධියට මුහුණ දුන් දරුවන්ගෙන් විශේෂයෙන්ම ගැටලු දිගින් දිගටම පවතිනවා කියල දැනෙන දරුවන්ට විශේෂ උපකාර, විශේෂ උපදේශන ලබාදීම අවශ්‍ය වන්නේ ඒ නිසයි. ඒ තුළින් එවැනි ගැටලුවක් ඇති විය හැකි නම් අපට එය මැඩපවත්වා ගන්න පුළුවන් වේවි. යම් ආකාරයක සමාජ විරෝධී හැඟීම්, චර්යා ඇතිවෙන්න හේතු ගණනාවක් බලපානවා. මේ වගේ එක සිද්ධියක් නිසා කෙනෙක් සම්පූර්ණයෙන් සමාජ විරෝධී වෙනව කියල කියන්න අමාරුයි. ඒකට ඊට වඩා සාධක ගණනාවක් බලපාන්න පුළුවන්. මම කලින් කිවුව වගේ මේ දරුවන්ව සමාජය තුළින් ප්‍රතික්ෂේප වීමක් සිදුනොවේවි. සමාජය වෙතින් යම්කිසි ආකාරයකට දිගින් දිගටම ප්‍රතික්ෂේප වීමකට ලක් වුණු සහ දරුවාගේ කුඩා අවධියේදී පෙන්වන චර්යා ගැටලුවලදි දරුවට ධනාත්මක පිළිගැනීමක් නැති වුණු දරුවො තමයි බොහෝවිට පසුකාලීනව සමාජ විරෝධී මට්ටමට යන්නෙ. මේ සිද්ධියට මුහුණ දුන් දරුවන්ට උදව් කරන්නට, ඔවුන්ගේ ශෝකය, ආතතිය සහ බිය ප්‍රකාශ කරන්නට ඉඩ දෙන්නට ඔවුන්ගෙ සමීපතම වැඩිහිටියන්ට කාර්යභාරයක් තිඛෙනවා. ඒ වගේම ගුරුවරුන්ට වගකීමක් තිබෙනවා, මේ දරුවන් දෙස සංවේදීව බලන්න සහ ඔවුන්ව පැවති පුරුදු මාර්ගයට ගන්න උදව්කරන්න. ඊට අමතරව සෞඛ්‍ය කාර්යමණ්ඩලයට වගකීමක් තිබෙනවා, ගැටලු ඇතිවන දරුවන්ව - හැම දරුවෙක්ම නෙවෙයි - දීර්ඝ කාලීන පසුවිපරමකට ලක් කරමින් එවැනි තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාවක් තිබෙනවා නම් ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න.

මීට පෙර ඇතිවුණු ජාතික ආපදා තත්ත්වවලදී උදාහරණයක් ලෙස සුනාමි ආපදා තත්ත්වයේදී ඊට මුහුණ දුන් දරුවන්ගේ මනස ගොඩනැඟීමට සෞඛ්‍ය අංශ වෙතින් ලැබුණු දායකත්වය සහ මේ සිදුවීමට මුහුණ දුන් දරුවන්ට අදාළ දායකත්වය සම්බන්ධ ඔබගේ අදහස කෙබඳුද?

සුනාමි තත්ත්වය මීට අවුරුදු 15කට පෙර මුහුණ දුන් ආපදා තත්ත්වයක්. එදා තිබූ තත්ත්වය සහ අද පවතින තත්ත්වය සසඳා බැලුවොත් අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවිධාන බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ගෙවුණු අවුරුදු 15ක කාලය තුළ විශාල දියුණුවක් අපි දකිනවා. එවක තිබූ සීමිත සම්පත් අනුව වුනත් දිය හැකි වූ උපරිම දායකත්වය අදාළ ක්ෂේත්‍ර හැම එකකින්ම ලැබුණ කියල මම හිතනවා. සුනාමිය ගත්තොත් එය අපට සම්පූර්ණයෙන්ම නුහුරු අත්දැකීමක්. ඒ නිසා යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වුණා. නමුත් ඒකට මුහුණ දුන් දරුවන්ව, සුනාමියෙන් පසු අවධියේදී කළමනාකරණය කර ගැනීමේදී නැවත සංවිධානාත්මකව ඒකට උදව්වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් මේ තත්ත්වය අපට පෙර අත්දැකීම් තිබෙන තත්ත්වයක්. ඒ වගේම අපි කොහොමද මේ වගේ දෙයකදි මුහුණ දෙන්නෙ කියන එක ගැන වඩා හොඳ අවබෝධයක් තිබෙනවා. මේ නිසා අතීත අවස්ථාවලට වඩා මෙයට මුහුණ දුන් ජනතාවට උපකාර කරන්න, සහයෝගය දක්වන්න සංවිධානාත්මකව මැදිහත්වීම ඉදිරියෙන් තිබෙන බව මම විශ්වාස කරනවා.

දරුවන්ගේ මනස ගොඩනැඟීමේ කාර්යයේදී සෞඛ්‍ය අංශ වෙතින් දැනට සිදුවන කටයුතු ගැන පැහැදිලි කළොත්...

ඇත්තටම දැනට වඩාත්ම සුදුසු වෙන්නෙ දරුවන්ට පවුල ආශ්‍රිතව ස්වාභාවිකව තිබෙන උදව් උපකාර ලැබෙන පද්ධතියෙන් උදව් උපකාර ලබා දීමයි. ඒ අතරෙ කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් යම් කිසි සහනයක් ලබාගන්න, රජයේ රෝහල්වල මානසික සායනවලින් එය ලබා දෙන්න පුළුවන්. එතැනින් එහාට ගියාම, ගැටලු පවතින දරුවන්ට සහාය දෙන්නෙ කොහොමද කියන එක තීරණය කරන්න මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවිධානය වෙමින්, සාකච්ඡා වෙමින් තිඛෙනවා.

ජාත්‍යන්තර වශයෙන් ගත්විට බටහිර රටක සිදුවන මෙබඳු ආපදාවකදී ඊට මුහුණ දුන් දරුවන්ගේ මානසිකත්වය ගොඩනැඟීමට සමාජයෙන් ලැබෙන දායකත්වයත්, අපේ රටේ ලැබෙන දායකත්වයත් සංසන්දනය කළොත් දැකිය හැකි තත්ත්වය කෙබඳුද?

බටහිර රටවල් සහ ආසියාතික රටවල් සංසන්දනය කර බැලුවොත්, බටහිර රටවල පවුල් පරිසරයෙන්, එහෙම නැතිනම් සමාජයෙන් ලැබෙන සහයෝගය බොහොම අඩුයි. අපේ ආසියාතික සමාජයේ බැලුවාම, සාමාන්‍යයෙන් විපතක් වුණු අවස්ථාවකදි පරණ වාද භේද සියල්ලම අමතක කර මුළු ගමම ඒකරාශී වෙනවා. ඒ වගේම ලංකාව කියන්නෙ විවිධ ආගම්වල, විවිධ ඇදහිලි, විවිධ විශ්වාස තිබෙන රටක්. ඒ විශ්වාසවල විද්‍යාත්මක පදනමක් තිබුනත් නොතිබුනත්, ඒ විශ්වාස කෙනෙකුගේ මනසට සහනයක් ඇති කරනවා. සමහර වෙලාවට එක් ආගමක් අදහන පුද්ගලයෙක්, වෙනත් ආගමක තිබෙන විශ්වාස පසුපස වුනත් යනවා. ඒ ආගමට හැරෙනවා කියන එකම නෙවෙයි. නමුත් ඒකෙන් සමහර වෙලාවට සහනයක් ලැබෙනවා. ඉතිං මේ වගේ දේවල් බටහිර සමාජයේ එතරම් දකින්න නැහැ. නමුත් අනෙකුත් සංවිධාන වැඩපිළිවෙළ ගත්තාම අපේ වගේ රටවලට වඩා බටහිර රටවල ඉදිරියෙන් තිබෙනවා. නමුත් පසුගිය කාලවල සිදුවුණු දේවල්වලදි අපට තේරුම් ගිය දෙයක් තමයි, අපේ තිබෙන සීමිත සම්පත් පාවිච්චි කරල, ඒ වගේම අපට තිබෙන ප්‍රධානම සම්පත වන සමාජයේ අපි අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධය පාවිච්චි කරල අර රටවල් තරමට වගේම හොඳට ඒ දේවල් කළමනාකරණය කරගෙන තිබෙනවා.

දරුවන්ගේ මනස සකස් කරගැනීම පහසු කරගැනීම සඳහා ජනමාධ්‍ය භූමිකාව කෙසේ විය යුතුද?

මේ සිද්ධියට සම්බන්ධ ප්‍රවෘත්ති සමාජගත කිරීමේදී මාධ්‍යවලට විශාල වගකීමක් තිබෙනවා. ප්‍රවෘත්ති සමාජගත කරන ස්වභාවය අනුව, දරුවන් වගේම වැඩිහිටියන් වුනත් මානසික වශයෙන් පීඩනයට, ආතතියට පත් වෙන්න පුළුවන්. අපට මාධ්‍ය පාලනය කිරීම අපහසුයි. ඒ නිසා දෙමව්පියන්ට ලොකු වගකීමක් තිබෙනවා, දරුවන්ව මේවායින් ඈත් කර තබන්න. බටහිර මාධ්‍යවලදි මේ වගේ කම්පනයක් ඇතිවන සිද්ධියක් වාර්තා කිරීමේදී සිතට ඇතිවන පීඩාව අඩු කරගන්න කළ යුත්තේ කුමක්ද, ඒ සඳහා යොමු විය යුත්තේ කොතැනටද කියන පණිවිඩයත් ඒ සමග ලබා දෙනවා. ඒ වගේම තමයි, ඔවුන් එවැනි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නට පෙර යම් කිසි ආකාරයක නිවේදනයක් ලෙස නිකුත් කරනවා, මෙවැනි දෙයක් පෙන්වන්න සූදානම් එය දරාගත නොහැකි නම් ඉවත්වන්න  කියන පණිවිඩය. මම හිතන්නේ, එවැනි යම් කිසි ආකාරයක පාලනයක් විද්‍යුත් මාධ්‍යවල පවත්වාගෙන යන්න පුළුවන් නම් ඉතාම සුදුසුයි.

No comments:

Post a Comment