Wednesday, May 18, 2016

ලියවෙන්නෙත් නැති - සම්මානත් නැති කතාමල්ල : අත්තම්මා (අපේ සාහිත්‍යකරුවන් බිහිවුණේ අත්තම්මාගේ ඔඩොක්කුවෙන්)

සැප්තැම්බරය නිමාවීමත් සමග අපේ රටේ සාහිත්‍ය පිළිබඳ කතිකාවන්ද නිවීගිය සේය. ඊළඟ වසරේ සැප්තැම්බරය වන තුරු ‍මෙරට සාහිත්‍ය කතිකාවට නිවාඩුය. එහෙත් නිවාඩු නොලබා සාහිත්‍යය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් ඉටු කරන පිරිසක් වෙසෙති. ඔවුහු සිය මෙහෙවර වෙනුවෙන් කිසි කලෙකත් අැගයුම් සම්මාන උපහාර නොලබති. ඔවුන් නිහඬව කළ මෙහෙවරේ ප්‍රතිඵල සමාජය වෙත ලැබෙන විට ඔවුහු බොහෝ විට ජීවතුන් අතර පවා නොවෙති. මේ සුවිශේෂ පිරිස කවුරුන්ද? ඔවුහු නම් මිත්තණියන් හෙවත් අත්තම්මාවරුය.  


සමාජ විද්‍යානුකූලව බලන විට සමාජානුයෝජන ක්‍රියාවලිය තුළ වන ප්‍රාථමික සමාජානුයෝජනය අතිශයින්ම වැදගත් වන්නකි. කුඩා දරුවකුගේ අනාගත සමාජ ජීවිතයේ පදනම නිර්මාණය වන්නේ මුල් අවුරුදු කිහිපය තුළ සිදුවන ප්‍රාථමික සමාජානුයෝජනයේදීය. මෙහිදී භාෂාව උගැන්වීම, ඥානන නිපුණතා හා සංස්කෘතික ප්‍රතිමාන හා අගයන් අභ්‍යන්තරීකරණය, චිත්තවේගී බැඳීම් අැති කර ගැනීම හා අන් අයගේ කාර්යයන් අගය කිරීම් යනාදිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙන බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන අාකාරයට මෙම ප්‍රාථමික සමාජානුයෝජනයේ එක් වැදගත්ම කොටසක් වන්නේ ප්‍රතිමාණ අභ්‍යන්තරීකරණයයි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සමාජයේ පවතින ප්‍රතිමාන පුද්ගලයින් විසින් අභ්‍යන්තරීකරණය කරගනු ලැබීම තුළින් ඒවා පුද්ගල පෞරුෂත්වයේ අංග බවට පත්වීමයි. ප්‍රාථමික සමාජානුයෝජනයේ ප්‍රධාන කාර්යභාරය ඉටු කරනු ලබන්නේ දරුවාගේ මව්පියන් විසිනි. එහෙත් ඊට නොදෙවෙනි කාර්යභාරයක් මිත්තණියන් විසින් ඉටුකරනු ලබන බව පෙනේ. 

ඒ අනුව පරම්පරා කිහිපයක සංස්කෘතික සම්බන්ධීකරණයක් සිදු කරන්නට අත්තම්මා සමත්වූවාය. ඒ ඔස්සේ අැය ස්වකීය මුණුබුරු මිණිබිරියන් තුළ ස්වදේශික සංස්කෘතියට අනුගත පෞරුෂයක මූල බීජයන් රෝපණය කළාය. මෙහිදී ජනකතා, ජනකවි, ජන ගී, තේරවිලි, ප්‍රස්ථාව පිරුළු අාදී අංග රැසක් අැය විසින් යොදාගනු ලැබිණි. මෙහිදී අැය එක් පැත්තකින් දරුවාගේ මවගේ (එනම් තම දියණියගේ හෝ ලේලියගේ) කාර්යය සමතික්‍රමණය කළාය. මන්දයත්, අත්තම්මා යනු පරම්පරා දෙකක අත්දැකීම් සහිත  සංස්කෘතියක දැනුම් කෝෂ්ඨාගාරයක් වූ බැවිනි.  

සිය මව අැසුරේ පමණක් වැඩෙන දරුවකු සහ මව හා අත්තම්මා යන දෙදෙනාම අැසුරේ වැඩෙන දරුවකු අතර පැහැදිලි වෙනසක් හඳුනාගත හැකිය. සිය මවට අමතරව අත්තම්මාගේද අැසුර ලබන දරුවකු තුළ සංස්කෘතික කාරණා, සමාජ පුරුෂාර්ථ, සාරධර්ම සම්බන්ධව වැඩි නැඹුරුවක් ද අාගමික ශික්ෂණයක්ද දැකිය හැකිය. ස්වකීය ජන සාහිත්‍ය උරුමයන් පිළිබඳවත්, ඉතිහාසය පිළිබඳවත් කුඩා වියේදීම අවබෝධයක් ලබන්නේද අත්තම්මාගේ අැසුර  ලබන දරුවාය. පොතක් බලාගෙන කතාන්දරයක් කියවීමට වඩා අත්තම්මා විසින් නිර්මාණාත්මක ලෙස කියනු ලබන කතාන්දරයකින් දරුවා ලබන අවබෝධය පුළුල් වූවකි. ඒ ඔස්සේ අනාගත සාහිත්‍ය නිර්මාණකරුවකුගේ පළමු ගුරුතුමිය බවට නිස්සරණාධ්‍යාශයෙන්ම පත්වන්නී අත්තම්මාය. ඒ බවට කොතෙකුත් උදාහරණ දේශීය මෙන්ම විදේශීය සාහිත්‍ය නිර්මාණකරුවන් අතරින් ඔවුන්ගේ පසුකාලීන සාහිත්‍ය නිර්මාණ කටයුතු සඳහා ළමා වියේදී ඔවුන්ගේ අත්තම්මාවරුන් වෙතින් ලැබී අැති දායකත්වය අපූර්වය.

අපේ රටේ සිටි අදීන පුවත්පත්කලාවේදියකු, තීරු රචකයකු හා සාහිත්‍ය නිර්මාණකරුවකු වූ දයාසේන ගුණසිංහ මහතා තම සාහිත්‍ය නිර්මාණකරණය තුළ වන අත්තම්මාගේ සෙවණැල්ල පිළිබඳව වරෙක සඳහන් කොට අැත්තේ මෙලෙසිනි.

''දිවියෙහි පළමුවරට මා කතාවක් අැසුවේ මාගේ මවගෙන් හෝ මිත්තණියගෙනියි මම සිතමි. එවක මව්වරුන් සහ මිත්තණියන් තම දරු මුණුබුරන්ට බොහෝ විට කියා දුන්නේ බණ කතා, ඉතිහාස කතා හෝ ජනකතාය. ඒ ඒ මවගේ හෝ මිත්තණියගේ හෝ ප්‍රතිභා ශක්තිය සංවේදීභාවය හා බස් වහරෙහි නිපුණත්වය අාදී වූ විවිධ සාධක අනුව එම කතාවල රසවත් බව අඩු වැඩි විය.

මගේ මවටත් වඩා මගේ මිත්තණිය ඉතා සූර ලෙස කතා කියන්නියක බැව් මට මතකය. අෑ යෙදූ උපමා උපමේය යෙදුම් සහ කට වහරින් මට සිළිටි  වූ සජීවී ගැමි වදන් දැනුදු මා පිරිවරමින් මගේ උදව්වට සිටී.

ස්වර්ණහංස ජාතකයේ සියලු පියාපත් සිඳ දමනු ලැබූ හංසයා උන්දෑට පෙනුණේ ඉඹුල් කිරිබත් ගෙඩියක් පරිද්දෙනි. සිව්මංසලින් සිව් දෙසකට ගිය සිව් බෑ කුමාරවරුන්ගේ කතාවෙහි එන රාක්ෂයාගේ මුව කොරහක්  වැනිය. දත් වහල්ල පූවාලු අැවරියක් සේය.

අෑ එදා කී වදන් මගේ මනස තුළට කෙතරම් තදින් කා වැදී අැත්දැයි කියතොත් දැනුදු මා සිහිනෙන් දකින රකුසන්ගේ දත් පූවාලු  වැනිය.'' ('කැනල් පාරේ නිශාචරයෝ' කෙටිකතා සංග්‍රහය, පෙරවදන)

අත්තම්මාවරුන්ගේ අැසුර ලබන සෑම දරුවකුම සාහිත්‍ය නිර්මාණකරුවකු නොවන බව සැබෑවකි.  අනාගත සාහිත්‍ය නිර්මාණකරුවකු බිහිවීම පිණිස වන පළමු නිර්මාණාලෝක කදම්භය වනුයේ අත්තම්මා විවිධ ඉරියව් පාමින් දරුවා ඉදිරියේ පවසන කතාන්දරයන්ය. අෑ කතාන්දරය සජීවී ලෙස ඉදිරිපත් කිරීමට යොදා ගන්නා ඉරියව් අැගේ ස්වරය පවා දරුවා තුළ උපදවන්නේ අපූර්වත්වයකි. ඒවා දරුවාගේ මනසෙහි ගැඹුරින් තැන්පත් වන්නේ නිරායාසයෙනි. පසුකාලයක ඔහු හෝ අැය නොදැනුවත්වම සිය නිර්මාණකරණය තුළ ඒ මතකයන් යළිත් ප්‍රාණය ලබන්නට පටන්ගනී. එහිදී තම දේශයට අනන්‍ය කතා කලාවක් ගොඩනඟාගැනීමේ විභවයද දරුවා තුළ පවතී.

ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස්ගේ නිර්මාණ කෘති අතර අග්‍රස්ථානය හිමි වන්නේ 'හුදෙකලාවේ සියවසරක්' නමැති නවකතාවටය. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතියකින් රචිත ඒ නවකතාව සඳහා සිය මිත්තණියගේ දායකත්වය පිළිබඳව මාකේස් පසු කලෙක සඳහන් කරන්නේ මෙලෙසිනි.

''අවසානයේදී හුදෙකලාවේ සියවසරක්හි, මා යොදාගත් ස්වරය මගේ මිත්තණිය කතන්දරය කියූ අාකාරය මත පදනම් විය. අැය අද්භූත හා මායාකාරී දේවල් කියූ මුත් අෑ ඒවා සම්පූර්ණ ස්වාභාවික අාකාරයකින් කීවාය. වඩාත්ම වැදගත් දෙය වූයේ අැගේ මුහුණේ ස්වරූපයයි. කතන්දර කියද්දී අැය තම බැල්ම කොහෙත්ම වෙනස් නොකළ අතර, ඉන් සියලු දෙනාම මවිතයට පත් වූහ. මීට පෙර ලිවීමට ගත් උත්සාහයන්හිදී මම කතන්දරය එය විශ්වාස නොකරමින් කියන්නට වෑයම් කළෙමි. මා කළ යුත්තේ ඒවා විශ්වාස කරමින් මගේ මිත්තණිය ඒවා කියූ විලසින් ගඩොලින් කළාක් බඳු මුහුණකින් යුතුව කීම බැව් මට තේරුම් ගියේය.'' ('හුදෙකලාවේ සියවසරක්' - පරිවර්තනය- සාගර විජේසේන)

ලංකාවේ මතු නොව ලතින් අැමරිකානු කලාපයේ පවා අත්තම්මාවරුන් එබඳුය. 

නමුත් අද වන විට අත්තම්මාවරු පවුල තුළින් පිටමං කරනු ලැබ සිටිති. එසේ නැතිනම් අද බොහෝ අත්තම්මාවරු තම මුණුබුරන් මිණිබිරියන් ඔඩොක්කුවේ තබාගෙන මෙගා ටෙලි නාට්‍යයක් රස විඳිති. 

''අප සියලු දෙනාම බිහිවූයේ ගොගොල්ගේ හිම කබායෙන්''('හිම කබාය' නමැති කෙටිකතාව) යැයි දොස්තොව්ස්කි පැවසීය. එමෙන්ම, 'අප බිහිවූයේ අත්තම්මාගේ ඔඩොක්කුවෙන්'යැයි කිව හැකි සාහිත්‍ය නිර්මාණකරුවෝ ද මෙරට පමණක් නොව, පිටරටවලද විසූහ. වෙසෙති. නමුත් හෙට දවසේ අත්තම්මාවරුන්ගේ ඔඩොක්කුවෙන් බිහිවූ සාහිත්‍යකරුවන් සිටිනු අැත්ද?

(මා විසින් ලියන ලද මෙම ලිපිය මුල් වරට 2010 ඔක්තෝබර් 10 වන දා ලක්බිම ඉරිදා සංග්‍රහයේ 'මංජුසාව' අතිරේකයේ පළ විණි.)

3 comments:

  1. බ්ලොගර් ෆලෝවරය දාල , බ්ලෝගර් ෆෝපයිල් එකේ ඉදන් කමෙන්ට් කරන්න

    ReplyDelete
  2. ස්තූතියි උපදෙස්වලට. ෆලෝවරය දාගත්තා.

    ReplyDelete
  3. බොහොම හොඳ ලිපියක්. ඔබ මගේ අඩවියේ දමා තිබුණු ලින්ක් එක ඔස්සේ ආවේ. මගේ බ්ලොග් ලයිස්තුවටත් දාගත්තා.

    සෑම ජන සමාජයකම වැඩිහිටි පරපුර, බාල පරපුර වෙත දායාද කරන, එක් වටිනා වස්තුක් වන්නේ, පාරම්පරිකව ගෙන එක අත්දැකීම් සහ ඥාන සම්භාරයයි. නමුත්, අනාගතයේදී, ඒ තැන කෘත්‍රිම බුද්ධිය විසින් පැහැරගනු ඇතැයි කියා, දුකක් ඇතිවෙනවා. රෝබෝවකුට, කවදාවත් අත්තම්මාගේ උනුසුම දරුවකුට දෙන්නට බැහැ.

    ReplyDelete