Friday, September 30, 2016

ගුරුතුමනි අපේ සොඳුරූ...

''සොඳුරු අාඥාදායකයා''යැයි සුගතපාල ද සිල්වා විසින් හඳුන්වනු ලැබූවෝ, වේදිකා නාට්‍ය නිෂ්පාදකවරු ය. එසේ ම, ''ගුරුවරුන් ද'', ''සොඳුරු අාඥාදායක'' යන නාමයෙන් හැඳින්වීමට සුදුස්සන් යැයි මට සිතෙයි. ''පාසල'' නම් වූ අඩවිය තුළ වසර 13ක කාලයක් මේ ''සොඳුරු අාඥාදායකයෝ'' අපගේ ජීවිත සකස් කළහ; වෙනස් කළහ. මඟ කියූහ; මඟ තැනූහ. 

ගම්පහ, ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයේදී සහ බණ්ඩාරනායක විද්‍යාලයේදී මට හමුවූ 'සොඳුරු අාඥාදායක පිරිවරක්' මේ මොහොතේ මගේ මතකයට නැඟෙයි. ඔවුන් පිළිබඳ මතකයන් දශක දෙක තුනක කාලයකට පසුවත් තවමත් අලුත් ය. ඒ මතකයන් තවමත් අලුත් වීමට හේතුව, ඔවුන් පිළිබඳ මට අැත්තේ සොඳුරු මතකයන් මිස, අඳුරු මතකයන් නො වීම විය හැකි ය.

Wednesday, September 21, 2016

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'වලස්පතිගේ අඩවිය'

එක්තරා පුවත්පත්කලාවේදියෙක් සිංහරාජයේ චාරිකාවක ගොස් එනවිට 'ඉරිදා ලක්බිමේ' සගයින්ට තෑගි පිණිස ගෙනා 'කිතුල් හකුරුමුලකට' ප්‍රතිචාර වශයෙන් සගයින් පිරිස කතාවක් පබැඳූහ. ඒ නිධාන කතාව කෙසේද යත්, ''සිංහරාජ වැසි වලසෙක්, දිනක් තම පැටවුන්ට කඩෙන් හකුරු මුලක් ගෙන යමින් සිටියේය. අතරමඟදී ඒ එක්තරා පුවත්පත්කලාවේදියාට වලසා හමු වූ අතර, ඔහු චාටු බස් කියා වලසාගේ හකුරු මුල උදුරාගෙන පැන දිවීය. ඉරිදා ලක්බිමේ සගයින්ට ඔහු ගෙනාවේ ඒ හකුරු මුලයි.'' එතැන් පටන් ඔහු මාධ්‍ය මිතුරන් අතර 'වලස්පති' නම් වූයේය. මේ වලස්පතියා අන් කිසිවකු නොව, ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ය. 

Tuesday, September 6, 2016

සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

'සිරිල් වරුන්' තිදෙනෙක් ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී මගේ සිහියට එයි. සිරිල් ඒ. (සීලවිමල) පළමුවැන්නාය. ඔහු පුවත්පත්කලාව හා ගීත රචනා ක්ෂේත්‍රයෙහි සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. දෙවැන්නා සිරිල් බී. (පෙරේරා)ය. ඔහු පුවත්පත් කලා ක්ෂේත්‍රයේ හා සිනමා විචාර කලාවේ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. මේ 'සිරිල් වරුන්' දෙදෙනාම ජීවිතයෙන් නික්ම ගොස් කලක් ගත වී තිබේ. තෙවැන්නා වූයේ සිරිල් සී. (පෙරේරා)ය. ඔහු පරිවර්තන සාහිත්‍යය තුළ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කරමින් සිටියේය. ඔහුද පසුගියදා ජීවිතයෙන් නික්මිණ.