Saturday, November 5, 2016

පාඨයකාගේ බ්ලොග් විචාරය : 'නිම්නයක තනි වී හීන දකින්නී'

'බ්ලොග්' යනු සයිබර් සමුද්‍රයේ වන දූපත් සමූහයක් වැන්න. ඒ ඒ දූපත්වලට අාවේණික ලක්ෂණ, පරිසර තත්ත්වයන්, සංවේදී කලාප, අනන්‍යතා ලකුණු අාදිය තිබේ. සිංහල බ්ලොග් විවිධත්වයේ විචිත්‍රත්වයට හේතු වී අැත්තේ මෙලෙස ඒවාහි වන අනන්‍යතාවන් එකිනෙකට වෙනස් වීම ය. 

බ්ලොග් අඩවි පවත්වාගෙන යන්නවුන් අතරින් බොහෝ දෙනෙක් විවිධ වෘත්තිකයින් ය. නැතිනම්, තෝරාගත් ක්ෂේත්‍රයක් පිළිබඳ ව හදාරන්නවුන් ය. එම පසුබිම තුළ තමන්ගේ ක්ෂේත්‍රයට අදාළ දැනුම විවිධ අත්දැකීම් සමග සංයෝග කරමින් බ්ලොග් අවකාශයට මුදාහැරීම 'පාඨයකා' දකින්නේ වැදගත් වටිනා සමාජ කාර්යයක් වශයෙනි. 'නිම්නයක තනි වී හීන දකින්නී' බ්ලොගය යනු ද සමාජ කාර්යය පැත්තෙන් එක් විශේෂ අනන්‍යතා ලකුණක් පෙන්නුම් කරන බ්ලොගයක් බව 'පාඨයකාගේ' නිරීක්ෂණයයි.



ඒ අනුව මිනිස් චර්යාවන් පිළිබඳ විද්‍යාත්මක පදනමක පිහිටා සිදු කරන විග්‍රහ මෙම ''නිම්නයක තනි වී හීන දකින්නී'' බ්ලොගයේ වන සුවිශේෂ අනන්‍යතා ලකුණ බව පෙනේ. අැය වරෙක මෙසේ ලියා තිබිණ.

''මම හරිම අහම්බෙන් මේ දේවල් ගැන ඉගෙන ගන්න යොමු උනේ. හැබැයි මාව ගොඩක් සසල කළා මේ දැනුම. මේ දරුවන්. ජිවිතේ ගැන වෙනමම විදිහකින් බලන්න, මොකද්ද මේ ජීවිතේ කියලා කියන්නේ තේරුන් ගන්න, අනිත් කෙනෙක් වෙනුවෙන් අපිට කළ හැකි දේවල් තේරුන් ගන්න, අපි බොහොම ලේසියෙන් අවභාවිත කරන හැඟිම්, වචන මොන තරන් අමාරුවෙන් ද මොළේ අපිට හදලා දෙන්නේ කියල තේරුන් ගන්න මේ ඉගෙන ගන්න කරුණු ගොඩක් උදව් උනා..''

ඒ තුළින් අපට  මෙම බ්ලොග්කාරියගේ සමාජ දැක්ම කෙබඳු ද යන්න හඳුනාගැනීමට පිළිවන. එහිදී අැය තමන් ලබාගන්නා දැනුම පෙරළා සමාජය වෙත පිරිනමන චේතනාව කුමක් ද යන්න ද අපට තේරුම්ගැනීම අසීරු වන්නේ නැත. සැබැවින් ම, අැගේ මෙම ලිපි පිටුපස අැත්තේ අපට අනෙකා පැහැදිලි ව හඳුනාගැනීම, තේරුම්ගැනීම, අවබෝධකරගැනීම පිණිස වැදගත් වන සංඥාවකි. අනෙකා සමග ගැටුමකින් තොර සමාජ ජීවිතයක් - සමාජ පැවැත්මක් පිණිස අපගේ හැසිරීම් අපට ම පාලනය කරගැනීම සඳහා වන මඟ පෙන්වීමකි.  දැනුම සමාජගත කිරීම සඳහා වන අැගේ මෙම ප්‍රවේශය ඉතා ම අගනේ ය.

'ගමු ගැඹුරු හුස්මක් - පිට කරමු සොඳුරු හැඟුමක්' යනුවෙන් වරෙක ලියන ලිපියේ අැය මෙසේ සඳහන් කරන්නී ය.

''... අපිට පාසැලෙන් වත් ගෙවල් වලින්වත් හිතේ ඇතිවන  තරහ, බය , අනවශ්‍ය කලබලය වැනි සෘනාත්මක  ගැඹුරු හැගීම්  එක්ක හරියාකාරව  ගනුදෙනු කරන්න කියලා දීම වෙන්නේ හරි අඩුවෙන්. මට මෙතනදි මතක් උනා අපි කෙනෙක් එක්ක තරහින්, අමනාපෙන් ඉන්නවා කියන්නේ සල්ලි දිලා වස පානය කරන්නවා වගේ වැඩක් කියන කියමන. නමුත් අපිට පුලුවන් මේ වගේ හැඟිම් "හුස්ම" එක්ක පිට කරලා හරින හැටි ඉගෙන ගන්න හිත ඇතුලේ එකතු වෙන්න දෙන්නේ නැතුව. මෙහිදි එක එක විදිහේ හැඟිම් වලට එක එක විදිහේ "හුස්ම" ගැනිමේ රිද්මයන් යාවෙන නිසා එක එක රටාවන් ට "හුස්ම" ගැනීම පුරුදු කිරිමෙන් හැඟිම් වලට බලපැමක් කරන්න පුලුවන්. මේ රිද්මයන් වල ඇති කර ගන්න වෙනස්කම් තුලින් තරහ යාම, අනවශ්‍ය කලබලවිම්, කලකිරිම් අඩු කරගෙන සතුටත් , ධනාත්මක සිතුවිලිත් වැඩි කරගෙන බොහෝදුරට තම තමන්ට පාලනය කරගත හැකි මනසක් හදාගැනිමෙන් සුවදායක නින්දක්, සමබර මනසක්, වැඩි දරාගැනීමේ ශක්තියක්  ඇතිව සාර්ථකව ජීවිතයට මූණ දීමේ  හැකියාව වැඩි කර ගන්න පුලුවන්...''

අප ගන්නා 'හුස්මක්' පිළිබඳ ව මෙතරම් දුරට අප මීට පෙර කිසි දිනෙක සිතා තිබුණේ ද? අප ගන්නා හුස්මකින් පවා සමාජයට කළ හැකි බලපෑම පිළිබඳ ව අැය ලබාදෙන මේ දැනුම අපූරු ය.

'' ASD + මිනිස් වර්ගයා = අමුතු හැසිරීම්'' යනුවෙන් අැය මෑතකදී ලිපි පෙළක් ලියා තිබුණා 'පාඨයකාට' මතක ය. මෙහිදී විශේෂයෙන් ම අැය ලබා දෙන දැනුම මගින් කුඩා දරුවන්ගේ හැසිරීම් පිටුපස වන රෝගී තත්ත්වයන් ද, පසුකාලීනව වැඩිහිටි වූ පසු ඒවා ප්‍රකාශවන අාකාරයන් ද මනාව පෙන්වා දෙයි. එමගින් දරුවන්ගේ හැසිරීම් පිළිබඳ ව මව්පියන්ට වඩාත් අවධානයෙන් සිටීමේ අවශ්‍යතාව අැය මතුකරයි. 

සාමාන්‍ය සමාජයේ අැතැම් රෝගී තත්ත්වයන් විවිධ ''ඍෂිවරුන්ට'' තමන්ගේ ජාවාරම් සඳහා මනා තෝතැන්නක් වී අැති බව අපි දනිමු. එහිදී කුඩා දරුවන්ගේ වෙනස් හැසිරීම් නිර්වචනය වන්නේ විවිධ 'අපල' ලෙසිනි. මේ අපල නැති කරගැනීමට දස දහස් ගණන් වැය කරන දෙමව්පියන් ලාංකේය සමාජයෙහි විරල නො වේ. නමුත් අැත්ත නම් එවැනි හැසිරීම් පසුබිමෙහි අැත්තේ මනෝ - කායික තත්ත්වයන් බව ය. ඒවා සුව කරගැනීමට අදාළ ප්‍රතිකාර වෙෙද්‍ය විද්‍යාව තුළ තිබෙන බව ය. නමුත් ඒ මඟ පෙන්වීම අපේ රටේ විද්‍යා සන්නිවේදනය තුළ සිදුවනු දැකිය හැක්කේ අඩුවෙනි. සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට වඩාත් වැදගත් වන විද්‍යා දැනුම ඔවුන් වෙත ලබාදීම දැනුවත් ව හෝ නො දැනුවත් ව මඟ හැරී අැති පසුබිමක 'නිම්නයක තනි වී හීන දකින්නී' සරල ව, තේරුම්ගැනීමට පහසු ලෙස ලබා දෙන දැනුම බෙහෙවින් ම වැදගත් ය. නමුත් ප්‍රශ්නය නම් බ්ලොග් ලෝකය තුළ සංසරණය වන එම දැනුම වඩාත් පළල් සමාජ තලයක් වෙත ලැබිය යුතු වීම බව 'පාඨයකාගේ' කල්පනාවයි.

අපේ රටේ බොහෝ ලියන්නියන්  විවාහ වීමත්, එහි විවිධ තත්ත්වයනුත් නිසා 'ලිවිල්ල' අතහැර 'ඉවිල්ල' පමණක් තෝරාගනිති. එබඳු පසුබිමක විදේශගතව වුව සිංහලෙන් මෙම දැනුම සමාජගත කිරීම පිණිස අැය ගන්නා උත්සාහය සැබැවින් ම ප්‍රශංසනීය ය. අැගේ ලිපියකට එක් පාඨක‍යකු දක්වා තිබූ ප්‍රතිචාරයක සටහන් කර තිබුණේ එම ලිපි පෙළ එබඳු රාේග තත්ත්වයක් සහිත දරුවකුගේ දෙමව්පියන්ට කියැවීමට සැලැස්වීමක් පිළිබඳ ව ය. එබඳු පසුබිමක අැගේ ලිවිල්ලට සමාජ වටිනාකමක් නිසැක ව ම හිමි ව අැති බව පෙනේ. එක් දරුවකුගේ හෝ අනාගත ජීවිතය සාර්ථකව ගොඩනැඟීම සඳහා අැගේ ලේඛන මෙහෙවර ඉවහල් වන්නේ නම් අැයගේ 'ලිවිල්ල' සමාජයට ඵලදායී ලෙස භාවිත වී අැති බවට හොඳ ම සාක්ෂ්‍ය වන්නේ එයයි. 

මෙහිදී අැගේ බ්ලාෙගයේ වන මෙබඳු ලිපිවල දක්නා ලැබෙන එක්තරා අඩුපාඩුවක් පෙන්වා දෙන්නට 'පාඨයකා' සිතන්නේ හෙට දවසේ වඩාත් හොඳ ලේඛන භාවිතයක්, විද්‍යා සන්නිවේදනයක් මේ බ්ලොගයෙන් බලාපොරොත්තු වෙමිනි. එනම් සිය ලිපි හැකිනම් කිහිපවරක් හෝ කියවා හොඳ සංස්කරණයකින් පසුව පළ කිරීමට අැය උනන්දු විය යුතුය යන කාරණයයි. මන්ද යත් වටිනා දැනුමක් ලබා දෙන එබඳු ලිපිවල භාෂාමය අඩුපාඩු කියවීමට බාධාවක් ලෙස අැතැම් අවස්ථාවල 'පාඨයකාට' හැඟී ගොස් අැති බැවිනි. 

ඉදින් බ්ලොග්කරණයේ සාර්ථක දිගු ගමනකට - ලේඛනය හුදු පෞද්ගලික කාර්යය ඉක්ම වූ සමාජ කාර්යයක් ලෙස හඳුනාගත් බ්ලොග්කරණයකට පාඨයකා අවසන් වශයෙන් 'නිම්නයක තනි වී හීන දකින්නී' අඩවියට සුබ පතනු කැමති ය. සහෘදයිනි, අැය හීන දකින තැන මෙතැන ය. හීන දකින තැන



9 comments:

  1. ප්‍රභාත් , ඔබට බොහෝම ස්තුතියි...ඇත්තෙන්ම මේ මගේ ජීවිතේ පළවෙනිවතාව මම ලියු ලිපි හෝ කවි හෝ කිසියම් අදහස් මාලාවක් හෝ කිසියම් විෂයකට අඳාලව හෝ ලියැවුනු ලිපි මගෙන් මිදිලා ඔබ වැනි පාඨකයන් අතරට පත් වුනු..මින් පෙර පාසල් විභාග වලදී ඇරෙන්න කිසිම විදිහකින් මම මෙසේ දිගින් දිගට ලියා නැති අතර කිසි දිනක මගේ ඉතාම සමීපතයන් මිස වෙන කිසිවකුත් මගේ ලියවිලි දැක නැහැ..

    එක්තරා සුවිශේෂි හේතුවක් තියනවා මගේ මේ ලියවිලි මෙසේ ඔබ හැමට එළිදක්වන්න පසුබිම් වු.. එය නිම්නය තුලින්ම මම දිනක හෙළි කරන්නම්.. මෙසේ නොලියා මසිත මතුවු ඒ හේතුවට සාධාරණයක් කිරීමට වෙනත් විදිහක් මම දන්නේ නැහැ.. කොතෙක් දුරට මා සිතන වෙනස යන්තමින් හෝ අප අවට සමාජයේ ඇති කිරිමට මාර්ගයක් සෙවීම සඳහා මා ලියන ලිපි පාර කියාවිද කියාත් මම දන්නේ නැහැ..

    නමුත් මෙතෙක් මා ලද සහ ඉදිරියට ලබන දැනුම ලිවීම නම් හැකි සෑම විටම නතරවන්නක් නොවේ මා මියන තුරු.. ඒ නිසයි "ජීවන රඟමඩලේ නොනැවතී රඟන හීන දකින්නියක්" ලෙසින් මාව නිම්නයේ හැඳිවුයේ මුල ඉදන්ම..

    එක් අයෙක් හෝ කිසියම් විදිහකින් සාමකාමි සන්සුන් ගැටලු අවම සුන්දර ජීවිතයක් ගත කරන්න මේ දැනුම භාවිතා කරනවා නම් ඒ තරම් සතුටක් තවත් මම ලබන්නේ නැහැ.. මගේ එකම ප්‍රාර්ථනාවත් මේ ලියවිලි වල මේ බ්ලොගයේ අපි හැමෝටම සතුටින් නිදහස්ව ඉන්න පුලුවන් සමාජයක් හිමින් හිමින් ගොඩ නඟා ගැනිමයි.. එතෙක් මම නිම්නයට වී ඔබ සියලු දෙනා සමඟ පුලුවන් හැමවිටම මා ලබන අත්දැකිම් බෙදා ගනිමින් මා දකින හීන ලොවට කැඳවාගෙන යන්නම්..

    ඔබේ මේ අදහස්, උපදෙස් මා ඒ හීනයට තව තවත් ඇඳ බැඳ තබන බව නම් නොකියාම බැහැ හිතවත් පාඨකය.. ඔබට නැවතත් බොහෝම ස්තුතියි නිම්නය ගැන මේ විචාරයට.. විශේෂයෙන් අඩුපාඩු පෙනවා දිම ගැන.. එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න බැහැ කියලයි මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. මට හීනයක් තියනවා කවදහරි නැවත ලංකාවට ඇවිත් මා මේ ලිපි ලිවිමට හේතු වු කරුණ මුල්කරගෙන සමාජය වෙනුවෙන් යමක් කරන්න.. මගේ ජීවිතෙයේ මෙතෙක් ලද අත්දැකීම් අනුව ප්‍රභාත් මම දැන් හිතන්නේ මේ මොහොත ගැන පමණයි...ඒ විදිහට කාලේ ගෙවිලා ගිහින් මම මුලින් කිව්ව නැවත ලංකාවට එන හීනේ හැබැ උනොත් තමයි මම මේ පටන් ගත්ත වැඩේ සම්පූර්ණ කරන්න මට පුලුවන් වෙන්නේ...

      Delete
    2. නිම්නි, මම මෙතැනදී ‍විශේෂයෙන් මතු කරන්න උත්සාහ කළේ පොදු සමාජයීය වැදගත්කමක් සහිත ඒ වගේම ඔබගේ බ්ලාෙගයට අනන්‍ය ලකුණ වුණු ක්ෂේත්‍රයේ ලිපි පමණයි. ඔබගේ පෞද්ගලිකත්වය හා වඩාත් බැඳුණු අත්දැකීම් සටහන්, කවි මා කියවා තිබෙනවා.පාඨකයකු ලෙස ඒවා ගැන හැඟුණු දැනුණු දේවල් තිබෙනවා. නමුත් ඒවා ගැන යම් සීමාවක් පනවාගෙන මෙතැනදී කතා කිරීම අවශ්‍යයි කියා මට සිතුණා. මට සිතෙන්නේ ඔබගේ සමහර පෞද්ගලික කාරණා ගැන මෙවැනි සමාජ මාධ්‍යයකදී විවෘත වීම පිළිබඳව ඔබම යම් සීමාවක් පනවාගන්නේ නම් සුදුසු බවයි. ඒවා කියා දැමීමෙන් ඔබට සැහැල්ලුවක් දැනෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ ගැන නැවත සිතා බලන්න.
      'සමාජය වෙනුවෙන් යමක් කිරීම' එය තමයි අපව ඉදිරියට ගෙන යන හීනය. මට ලිවීම කියන්නේ සමාජ කාර්යයක්. ඔබගේ බ්ලොගය වෙනුවෙන් ලියූ සටහනත් එබඳු සමාජ වැඩක් !
      සුබ පැතුම් නිම්නි.

      Delete
    3. ඔබත් සමඟ මම එකඟයි ප්‍රභාත්.. මගේ පුද්ගලික ජිවිතය හා බැඳුනු තැන් මම වචන වලට පෙරළලා ගෙන එන්නේ මේ ලියවිලි ලිවිමට මුල් වු හේතුව ඒ හා කෙලින්ම සම්බන්ධ නිසයි.. කවදා කොතැනකදි හෝ මම එය සමාජය ඉදිරියේදි මුහුණ දිය යුතු දෙයක්..එහෙම නැතුව මම හිතන වෙනස සමාජයට මට කරන්න අමාරුයි.. ඇයි මම ඒ වගේ තීරණයක් ගත්තේ කියන එක සමාජයේ හැමෝම තේරුන් නොගත්තොත්..

      Delete
    4. මම මෙහෙම දෙයක් අසා තිබෙනවා. ජලය බොර වී තිබෙන විටෙක එය පැහැදිලි ජලය බවට පත් කරන්න අප මැදිහත් වෙනවා කියන්නේ ජලය නැවත නැවත බොර වීමක් වෙන්නේ. නමුත් කාලයට එය පැවරූ විට ජලය ඉබේම පැහැදිලි වෙනවා අපට දකින්න පුළුවන්. ඔබ මුහුන දී සිටින යම් කාරණයක් මම මේ කතාවෙන් අති සරල කරනවා නෙවෙයි. නමුත් කාලය අැතැම් විට හොඳම ඔෟෂධය වේවි !

      Delete
    5. නැ ප්‍රභාත් කාලයට මේ හේතුවට කිසිම දෙයක් කරන්න බැහැ.. තේරුන් ගැනීම පමණයි පිළිතුර..

      Delete
    6. අනිත් එක ප්‍රභාත් මේ ලොකේ හැම තැනම සෑහෙන ප්‍රමාණයක් මිනිසුන් මම මේ මුහුණු දුන් අතදැකීමට මුහුණ දෙනවා සහ ඉදිරියටත් මුහුණ දෙනවා... සමහරු මං වගේ එයින් මිදීමට වාසනාවන්ත උනත් ගොඩක් දෙනෙක්ට ඒ වාසනාව හිමි නැ.. මට එයට යමක් කරන්න හිතුනේ ඒ නිසයි..

      Delete
  2. පාඨකයා විචාරකයෙක් වෙලා. ඔහොම යං

    ReplyDelete
    Replies
    1. විචාරයක්ම නෙවෙයි, කොච්චි මිරිස්.
      පාෙඩි සහෘද සටහනක් සහ සහෝදර අත්වැලක් විදියට අනෙක් බ්ලොග්කරුවන්ට දිරිය දෙන්නට උත්සාහයක් මේ.

      Delete